ඉන්දීය ධීවරයින් හා මන්නාරමේ ධීවරයින් එක්ව මහා පරිමාණයෙන් සිදු කරන මිනිස් ජාවාරමක් පිළිබදව තොරතුරු හෙළි කර ගැනීමට මන්නාරම මඩු පොලීසිය සමත් වී තිබෙනවා.

පසුගියදා පියකු සහ දැරියක ඉන්දියාවේ සිට මන්නාරම ප්‍රදේශයට රැගෙන ඒමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකල විමර්ශනවලදී ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙලිවී තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ඉන්දියාව පුරා පැතිර යන කොරෝනා වසංගතයට ඇති බිය නිසා කෙසේ හෝ ශ්‍රී ලංකාවට පැමිණීමටට උත්සහ දරමින් සිටින බවත්, ඉන්දීය ධීවරයින් හා මන්නාරමේ ධීවරයින් එක්ව ඉන්දියාවේ සිටින පිරිස් බෝට්ටු මගින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

ඔවුන් මේ සදහා එක් අයෙකුගෙන් ඉන්දීය රුපියල් 30000 ත් 50000 ත් අතර මුදලක් අය කරන බව දසඳහන් වන අතර මඩු පොලීසිය විසින් මෙම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරනු ලබනවා.