කොළඹ පතාලය මෙහෙය වූ ප්‍රබලතම පාතාල නායකයෙකු වන පාතාල නායක ‘ගොනාකොවිලේ රාජා’ පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබෙනවා.

ඝාතන ගණනාවකට සම්බන්ධ ‘ගොනාකොවිලේ රාජා’ රත්මලාන ප්‍රදේශයේ කප්පම් ජවාරම මෙහෙයවූ ප්‍රධානතම පාතාල නායකයාද වනවා. ඔහු විදෙස්ගතව සිටිනා පාතාල නායක අංජුගේ මෙහෙයවීමෙන් ඝාතන මෙහෙය වූ මෙරට ප්‍රධාන පාතාල නායකයාද වන බව සඳහන් වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු අවස්ථාවේදී අදාල සැකකරු විසින් පොලීසියට වෙඩි තබා ඇති බවයි.

අනතුරුව පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් ඇති අතර ඔහු රංජන් සිල්වා ඝාතනය සම්බන්ධයෙන්ද අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.