නාවික හමුදාවෙන් සහ කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේදැයි හඳුනාගෙන පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීම අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) දින රැස්වූ COVID-19 මර්දනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා.ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රිය තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

“සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරිත්වය යළි අරඹා තිබෙනවා. වසංගතයක් පැමිණිය ද ඒ සමග සාගතයක් පැමිණීමට ඉඩ නොතැබිය යුතුය. සැලසුම් ඉදිරියට ගෙන යාමේදි පෙර සිදු වූ අතපසුවීම් පාඩමක් ලෙස ගෙන එවැන්නක් යළි සිදු නොවන බවට වග බලා ගත යුතුව ඇති බවයි” මෙහිදී ජනාධිපතිතුමා පෙන්වාදී ඇත්තේ.බස් රථ, ත්‍රිරෝද රථ සහ ඉදිකිරීමේ වැඩබිම්වලත්, මැණිං වෙළෙඳපොළ වැනි ජනතාව බහුලව එක් රැස්වන ස්ථානවලත් පිරිස් විටින් විට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කරනු ලැබුවා.

වෛරසය පැතිරයාම වැළැක්වීමට මෙවැනි ස්ථානවල ගැවසෙන පිරිස් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡාවට ලක් විය. පාසල් දරුවන් හැසිරවිය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. එකී නිර්දේශ මත පාසල් විවෘත කිරීමේ හැකියාව පිළිබඳව අද පැවති සාකච්ජාවේදී අවධානයට ලක්ව ඇත. පාසල් ඇරඹීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්ව දැනුවත් කළ යුතු බව මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දී තිබෙනවා.විදේශයන්හි අධ්‍යාපනය ලද සිසුන් සහ තාවකාලික වීසාලාභී 3,297ක පිරිසක් මේ වන විට රැගෙනවිත්, නිරෝධායනයට යොමු කර තිබෙනවා. විදේශගත පිරිස් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් පාලනයක් සහිතව කළයුතු බව මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

නීති විරෝධි මත්පැන් භාවිතය නිසා සෞඛ්‍ය ගැටලු මෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ද ගැටළු රැසක් පැන නැගී ඇත. විශාල මුදලකට නීතිවිරෝධි මත්පැන් අළෙවි කෙරෙන බව වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ මෙහිදී පෙන්වාදී ඇත. ඉන් උද්ගතවිය හැකි අවදානම දීර්ඝ වශයෙන් මෙහිදී සෞඛ්‍ය බලධාරීන්ගේ සාකච්ඡාවට ලක්ව ඇත.නිවාසවල රැඳී සිටීමට සිදුවීමෙන් නගරබද ජන ජීවිතයට මහත් පීඩනයක් එල්ල වී ඇත. එවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට සෞඛ්‍ය නිර්දේශ මත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද සාකච්ඡා විය. ශරීර සුවතාව උදෙසා ව්‍යායාම මංතීරු මෙන්ම සෙසු මානසික සුවතා ක්‍රියාකාරකම්ද යළි ආරම්භ කළ යුතු බවට අවධානයට ලක්ව ඇත.

ජීව දත්ත එක් පද්ධතියකට ගොනු කොට, ගුවන් ගමන් බලපත් සහ හැඳුනුම්පත් දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් කිරීම කඩිනම් කළ යුතු බව මෙහිදී ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.

කෘෂි අස්වනු කල්තබා ගැනීමේ තාක්ෂණික සහ කළමනාකරණ ක්‍රමවේද යළි අධ්‍යනය කොට අවශ්‍යතාව පරිදි භාවිත කරන්නැයි ජනාධිපතිතුමා කාර්ය සාධක බලකායට දැනුම් දුන් බවයි ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කලේ.