2020.05.08

ප්‍රවෘත්ති නිවේදනය
සමාජ මාධ්‍ය ඔස්සේ පැතීරී යන අසත්‍ය ප්‍රචාර

සමාජ මාධ්‍ය ඔස්සේ පැතීරී යන පහත දැක්වෙන අසත්‍ය කරුණු කෙරෙහි අවධානය යොමු කරවමි.

  1. රුපියල් ලක්ෂ 3000ක් වටිනා වාහන අමාත්‍යංශ වෙනුවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යන ප්‍රචාරය සම්පුර්ණ අසත්‍ය හා ගොතනලද ප්‍රවෘත්තියක් වන බවත් එවැනි කරුණු ඇතුලත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හෝ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වී නොමැති බවත් කැබිනට් ප්‍රකාශක ගරු උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා තහවුරු කරයි.
  2. ගරු අමාත්‍යවරුන්ට හා හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතර ඉන්ධන දීමනාවක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවට පැතීරී යන ප්‍රචාරය සම්පුර්ණයෙන්ම අසත්‍යයකි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පහත කරුණු කැබිනට් ප්‍රකාශක ගරු උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා තහවුරු කරයි.

“පාර්ලිමේන්තු මහ මැතිවරණය 2015 – අග්‍රාමාත්‍යවරයා සහ සෙසු අමාත්‍යවරුන් විසින් සිය පක්ෂය, අපේක්ෂකත්වය ප්‍රවර්ධනය සඳහා නිල වාහන පාවිච්චි කිරීම හා ඒ සම්බන්ධයෙන් රජයට මුදලක් ගෙවීමේ අවශ්‍යතාවය” යන මැයෙන් එවකට මුදල් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අංක15/1090/613/082 හා 2015.07.14 දිනැති හා 2015.07.22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පූර්වාදර්ශයක් කරගනිමින් ගරු අග්‍රාමාත්‍ය තුමා විසින් 2020 මාර්තු 18 වන දින අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් ගරු අග්‍රාමාත්‍යතුමන් නිර්දේශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය, කථානායක, විපක්ෂනායක, අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වෙත අනුයුක්ත කර ඇති නිල වාහන සහ නිල නිවාස තමන්ගේ පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සඳහා හෝ මැතිවරණ කටයුතු සඳහා භාවිතා කරන්නේ නම් නිල වාහනයකට මසකට රුපියල් ලක්ෂයක් හා නිල නිවස සඳහා මාසිකව රුපියල් ලක්ෂයක් සිය පෞද්ගලික මුදලින් රජයට ගෙවිය යුතු බවට වන අතර අමාත්‍ය මණ්ඩලය විසින් එම නිර්දේශය අනුමත කර ඇත.

එසේ වුවද මැතිවරණය පැවැත්වන දිනය කල් දැමුණු නිසා සහ මනාප අංක මෙතෙක් නිකුත් කර නොමැති හෙයින් ඉහත තීරණය ක්‍රියාත්මක කල යුතු දිනය පිළිබඳව 2020 මැයි 06 දිනැති අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කරන ලද අතර එහිදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ මනාප අංක නිකුත් කිරිමෙන් පසුව පමණක් අදාළ මුදල ගරු අග්‍රාමාත්‍යතුමන්ගෙන්, කථානායකතුමන්ගෙන් විපක්ෂනායකතුමන්ගෙන් සහ අමාත්‍යවරුන්ගෙන් අය කර ගත යුතු බවයි. එසේ වුවද හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් ඉහත පහසුකම භාවිතා කරන්නේ නම් ඔවුන්ගෙන් අදාල මුදල මුල් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක වන 2020 මාර්තු 18 වන දින සිටම බලපැවැත්වෙන පරිදි අයකරගත යුතු බවද තීරණය කර ඇත.

  1. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය අංශයේ ප්‍රධානීන් වෙත 2020 මැයි 05 වන දින නිකුත් කරන ලද පෞද්ගලික ආයාචනය සම්බන්ධයෙන් දායකත්වය දැක්වීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් සම්පුර්ණ කල යුතු ආකෘති පත්‍රය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවන ආකෘතිය ව්‍යාජ ආකෘතියක් වන අතර එවැනි කිසිඳු ආකෘතියක් මේ දක්වා නිකුත් කර නොමැත. ජනාධිපති ලේකම්වරයා ඉහත ලිපිය මගින් ඉල්ලා ඇත්තේ සිය කැමැත්ත මත පමණක් මැයි මස වැටුපෙන් යම් දායකත්වයක් වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා සිදුකරන ලෙස පමණි.

නාලක කලුවැව
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්