අලුත් උපන් සිට මිනිබිරිය දැකබලා ගැනීම සඳහා ඇඳිරි නීතිය වේලාවේ උදැල්ලක් කර තබාගෙන සැතපුම් පහක් පමණ පා ගමනින්ම ගිය සමාද්ධිලාභියකු පිළිබඳ වාර්තාවෙයි.ගොවිතැන සිය ආදායම් මාර්ගය කරගත් ඔහු සමාද්ධිලාභියෙකි.
මේ වනවිට පවත්නා කොරෝනා තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ඔහු නිවෙසට කොටුවී සිටියේ කිසිදු කටයුත්තක් කර ගත නොහැකිවය. අසල්වැසි ගමක තරුණයකු සමග විවාහ වී සිටි සිය වැඩිහල් දියණිය දරුවකු ප්‍රසූත කළ පුවත අසන්නට ලැබුණේ මේ අතරවාරයේය.හෙතෙම තම වැඩිමහල් දියණිය ප්‍රසූත කළ දරුවා දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණුද දියණිය පදිංචි නිවෙසට යෑමට නම් ප්‍රධාන මාර්ගයක් ඔස්සේ අනිවාර්යයෙන්ම යායුතු වූ අතර පනවා ඇති ඇඳිරි නීතිය ඊට දැඩි බාධාවක් විය.
ඒ පිළිබඳව සිතමින් සිටි ඔහුට අසල්වැසි හිතවතකුගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.ඇඳිරි නීතිය තිබුණට කුඹුරට යන්න බාධාවක් නැහැ. ඒ නිසා උදැල්ලක් අරන් දුවලාගේ ගෙදර යන්න. හිතවතාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.
තවතාගේ උපදෙස් අනුව හොඳින් සෝදා පිරිසිදු කරගත් උදැල්ලක්ද කර තබා ගත් හෙතෙම මිනිබිරියට අවශ්‍ය අඩුම කුඩුම කීපයක්ද මල්ලක දමාගෙන මීගහකිවුල නගරය හරහා සිය දියණිය පදිංචි නිවෙස වෙත කිලෝමීටර් පහක පමණ දුරක් පා ගමනින්ම ගමන් කළේ කුඹුරට යන ගොවියකු පරිද්දෙනි. මේ වන විට ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු ආරම්භ වී තිබීම නිසා මෙම පුද්ගලයා දුටු පොලිස් නිලධාරීන් ද ඔහුගේ ගමනට කිසිදු බාධාවක් එල්ල නොකළේ ඔහු සැබෑම ගොවියකු යැයි සිතමිනි.මිතුරාට පින් අත්වන්නට කිසිදු උපද්‍රවයකින් තොරව සිය මිනිබිරිය දැක බලා ඇය හුරතල් කළ හෙතෙම සවස් වෙද්දී යළි පා ගමනින්ම නිවෙසට පැමිණියේ බෑණාගේ සංග්‍රහයක්ද භුක්ති විඳීමෙන් අනතුරුවය.
උපුටාගැනීම ලංකාදීප (වියලුව වාර්තාකරු)