දෙවැනි වරටත් දින දාහතරක් නිරෝධානය වන්නට සිදු වෙතැයි බියෙන් දරු මල්ලන් ද අතහැර කැලෑ වැදුණු පුද්ගලයකු පිළිබඳ පුවතක් අනුරාධපුර දුෂ්කර ගම් පෙදෙසකින් වාර්තාවේ.

සිද්ධිය මෙසේය.

අවුරුදු 65ක් පමණ වයසැති මොහුගේ වෘත්තිය ගොවිතැනය. මාස් කන්නයේ කුඹුරු, බඩඉරිඟු‍ ගොවිතැන් කොට අස්වැන්නද ගෙට ගෙන තිබුණි. ආවේ නරක කාලයකි. කොරෝනා වෛරසය හේතුවෙන් රටටම ඇඳිරි නීතිය වැටිණි. කිසිවෙකුට නිවසින් එළියට යාමට තහනම්ය. නීතිය එසේ වුවද ළඟපාත ගෙවල් කිහිපයකට හෝ ගොස් තොරතුරු සොයා බැලු‍වේ උපතේ සිට මේ දක්වා මෙවැනි අත්දැකීමක් නොලැබූ නිසා ය. කෙටියෙන්ම කිවහොත් නිවසට වී ඉඳීම ඔහුට අන්තයටම එපා වී තිබුණි.

දින කිහිපයකට පසුව පැය කිහිපයකට පමණක් ඇඳිරි නීතිය ලිහිල් විය. හදිසියේ නුවර සිටි සමීප ඥාතීන් දෙදෙනෙකු නිවසට පැමිණියේ කිසිවෙකු බලාපොරොත්තු නොවුණ ලෙසටය. තොරතුරු සෞඛ්‍ය අංශවලට සැලවුණි.

‘‘අද ඉඳලා නුවර ඉඳන් ආපු දෙන්නයි ගෙදර ඉන්න පස්දෙනයි දවස් දාහතරක් ස්වයං නිරෝධානය වෙන්න ඕනෑ. මොනම හේතුවකටවත් ගෙදරින් එළියට බහින්න බෑ. බැස්සොත් නඩු”‍

‘‘මෙම නිවස ස්වයං නිරෝධායනය වන ස්ථානයකි. ඇතුළු වීමෙන් වළකින්න”‍

බැනරය නිවස ඉදිරිපිට ඇලවිනි.

එදා සිට කිසිවකු එන්නෙත් නැත. යන්නට අවසරද නැත. වෛරසයට වඩා නීතියට අවනත විය යුතුය. නැතිනම් හිරබත් කෑමට සිදු වන්නේය. කායික මානසික අප්‍රමාණ දුක් මැද දින 13ක් ගත විය.

‘‘අප්පෙ ඇති යාන්තම් හෙටින් පස්සෙ කරදරෙ ඉවරයි”‍. යැයි නිවැසියන්ටද කියමින් ඔහු සිටියෙ මහත් සතුටිනි. ගතවූයේ පැය කිහිපයකි. ලැබුණේ ඇමතුමකි.

‘‘තාත්තේ මම බොහොම අමාරුවෙන් නිවාඩු අරගෙන දඹුල්ලට ඇවිල්ලා ඉන්නවා. එන්න කිසිම වාහනයක් නෑ. කොහොම හරි රෑ වෙනකොට මම ගෙදරට එනවා.”‍

කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියැලෙමින් සිටි තම එකම බෑනාගෙන් ලැබුණෙ ඇමතුමකි.

දෙයියන් බුදුන් සිහි විය උන් හිටි තැන් අමතක විය ‘‘මේ මනුස්සය මේ මළ ඉලව් අස්සෙ ගෙදර ආවොත් තව දවස් දාහතරක් අදින්න වෙනවා මේක හරියන වැඩක් නෙමෙයි. ආලුත් අවුරුද්දට ළඟ පාත ගෙදරකටවත් යන්න වෙන්නෑ”‍

වහා ක්‍රියාත්මක විය. අතේ ඇති මුදලට ගමේ කඩෙන් උයා පිහා ගන්නට අඩුමකුඩුම ටිකක් ගත් ඔහු දරුමල්ලන් ද අමතක කර කැලෑ වැදි ඇත්තේ හිටපු දින දාහතරේ අමිහිරි රසය යළි විදින්නට බැරි බව කියමින්ලු‍. ගම්මානයෙන් බොහෝ දුර අත්හැර දැමු හේනක ඇති පැලකට වී මේ දිනවල කාලය ගත කරන බව නිවැසියන්ගෙන් කළ විමසීමේදී දැනගන්නට ලැබිණි.

ලංකාදීප පුවත්පතිනි

(හොරොව්පොතාන පැතුම් දර්ශන)