අදුරු පාස්කුවේ රිදී රේඛාව…

” ස්වාමිනි මගේ ජීවිතේ මම බෝම්බ විශාල සංඛ්‍යාවක් නිශ්ක්‍රීය කර තිබෙනවා. එත් අදටත් බෝම්බයක් ගාවට යද්දි මට මගේ දරුපවුල මතක් වෙනවා. ඔය බෝම්බයේ පරිපතයේ එක පැත්තක් හංගලා තියෙනවා කියලා තෙරෙද්දි, හිතුවට වඩා ඉක්මනට නුල බිමට ඇදිලා එද්දි මම මගේ මිනිය එතන තියෙනවා ඇස් දෙකට දැක්කා… “

ඒ පාස්කු ප්‍රහාරය එල්ල වු දිනට පසුදින කොච්චිකඩේ දෙවස්ථානය අසල තිබි සොයාගත් සුදු පැහැති වෑන් රථයේ සවිකර තිබු බෝම්බය කිසිදු මනුෂ්‍ය ජීවිතයකට හානි නොවන පරිදි ආරක්ෂිතව පුපුරුවා නිශ්ක්‍රීය කළ මිනිස් වෙසින් මෙලොව සිටිනා දෙවිවරයෙකුගේ හඩයි.

ඔහු නමින් දිමුතු සුරංග සමරනායක. වර්තමානය වන විට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කර්යය බලකායේ ත්‍රස්ත මර්ධන සෝදිසි සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා වන්නේ ඔහුයි. 30 වසරක කුරිරු යුද්ධය පැවති කාලවකවානුව තුළ 2005 – තලවිල මරාගෙන මැරෙන බෝට්ටු බෝම්බය, 2006 – බොරැල්ල හංදියේ බෝම්බය සහ ආයුවේද වටරවුමේ මරාගෙන මැරෙන බෝම්බය වැනි සිදුවීමට ගිය මහා ඛේදවාචක රැසක් වලක්වාලමින් මරුවා දෑතින් ගෙන අන් අයගේ ජීවිත බේරනා මොහු මේ මොහොතේ මේ රට තුළ සිටිනා මල්මාලා නොපැලදූ සැබෑම විරුවා බව මගේ විශ්වාසයයි.

පාස්කු ප්‍රහාරය පිළිබද පෙර බුද්ධි තොරතුරු ලැබි තිබියදි එය වලක්වා ගැනීමට කටයුතු නොකළ මෙරට මුල් පුරවැසියාගේ සිට පහළට සිටි උසස් යැයි පවසන සියළු නිලධාරින් සිය රාජකාරිය සාපරාධි වගකිම් පැහැර හැරීමක් බවට පත්කර, නොනිල මීනිමරුවන් බවට පත් වූ පසුබිමක මේ පාස්කු ඝන අන්ධකාරය තුළ අප දුටු එකම රිදි තාරකාවයි. වෙනත් විදිහකින් කිවහොත් පාස්කුවේ ත්‍රස්තයන්ට බිලිවීමට ගිය ජීවිත ගණන, 10කින්, 100කින් හෝ 1000කින් අඩුකළ වීරයායි.

ජනාධිපති විමර්ශ කොමිසම හමුවේ 2020.03.03 දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ සිද්ධස්ථාන පරිපාලක ගරු ජුඩ් රාජ් ප්‍රනාන්දු පියතුමන් සාක්ෂි දෙමින් අනාවරණය කළේ බොම්බ ප්‍රහාරය සිදුවූ දිනයේ පස්වරුව වන විටත් එම ස්ථානයේ නවතා තිබු මෝටර් රථ ඉවත් නොකරන්නේ මන්දැයි තමන් ආරක්ෂක අංශ වලින් විමසූ බවයි.

එයට පිළිතුරු දුන් පොලිස් නිලධාරියා පියතුමන්ට පවසා තිබුනේ ” Father Don’t Worry. Everything is Tagged and Clear ” යනුවෙනි. පොලිස් නිලධාරියා එලෙස සියල්ල පරික්ෂාවට ලක්කර තිබු පසුබිමක ඒ වන විටත් එම ස්ථානයේ නවතා තිබු බෝම්බ සවි කරන ලද සුදු පැහැති වෑන් රථය එම ස්ථානයට පසුදින අහසින් කඩා වැටුණා විය යුතුය.

ප්‍රහාරය එල්ල වූ දිනට පසුදින කොච්චිකඩේ දෙව්මැදුරේ ගායනා කණ්ඩායමේ දරුවෙකුගේ නිවසේ CCTV කැමරා දර්ශන පරික්ෂාවෙදි හසුවී තිබුනේ, බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු ප්‍රහාරය වූ දින එම ස්ථානයේ වෑන් රථය නවත්වා ප්‍රහාරය සදහා දෙව්මැදුරට යන ආකාරයයි. ගරු ජූඩ් රාජ් පියතුමන් පවසන ආකාරයට පියතුමන්ලාට දැනුම් දීමට පෙර එම නිවැසියන් 119 අමතා මේ පිළිබදව දැනුවත් කළද ක්‍රියාත්මක විමක් සිදුව නොමැත. පසුව ඒ පිළිබදව දෙවස්ථාන සහයක පියතුමන් ඔස්සේ ගරු ජුඩ් රාජ් පියතුමන්ව දැනුවත් කර ඇති අතර පියතුමන් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමෙන් අනතුරුව ඉහළ ආරක්ෂක අංශ ක්‍රියාත්මක වී ඇත.

පොලිස් විශේෂ කර්යය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂවරයා සිය සක්ෂිය තුළින් කියා සිටි ආකාරයට ඔහුට පෙර ඔහු යටතේ සිටි ප්‍රියන්ත නම් නිලධාරියෙකු මෙම බොම්බ සහිත වෑන් රථය පරික්ෂාවට ලක්කර දිමුතු සමරනායක මහතාට දැනුම් දි ඇත්තේ ” සර් ආබාදේ ” යනුවෙනි. ඔවුන්ගේ බසින් කී එකි දැනුවත් කිරීමේ තේරුම නිශ්ක්‍රීය කිරීමට ඉතා අසීරු අන්දමින් ඇටවා ඇති අධිබලැති බෝම්බයක් යන්නයි.

එම සැලකිරීමත් සමග දිමුතු සමරනායක මහතා විනාඩි 05ක් වැනි කෙටි කාලයක් තුළ බෝම්බය සහිත වෑන් රථය හමුවු ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනට විටත් ත්‍රීවිඩ හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශ මෙය නිශ්ක්‍රීය කිරීමට ඇපහසු බෝම්බයක් බව තීරණය කර තිබුනි.

දිමුතු සමරනායක මහත එම ස්ථනයට පැමිණි අවස්ථාවේදිද එම ස්ථානයේ සිටි ආරක්ෂක නිළධාරින් ඔහුට බෝම්බය ඇති ස්ථානයට නොයන ලෙස බලකරමින් ඔහු නැවැත්වීමට උත්සහ දරා ඇත.

කෙසේ වුවද එම වැලැක්වීම් නොසලකා හැරි ඔහු ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් හෝ නොසැරසි හැකි විගස බෝම්බය තිබු රථය වෙත ගොස් එය සකසා ඇති ආකාරය පරික්ෂාවට ලක්කර තිබේ.

එහිදි නිරික්ෂණයට ලක්වී ඇති අන්දමට අදාළ වෑන් රථය තුළ ත්‍රස්තවාදින් විසින් ඉතා සියුම් උපාය මාර්ග 3ක් ඔස්සේ නවතම ගෑස් සිලින්ඩර 04ක් උපයෝගි කරගනිමින් මෙම අධිබලැති බෝම්බය සවිකර ඇති බව අනාවරණය වී තිබේ.

එයින් පළමු ක්‍රමය ලෙස රෙදි සෝදන යන්ත්‍රයක කාල විරාමයක් බෝම්බයට සවිකර තිබි ඇති අතර එම කාලවිරාමයට අනුව පැයක් වැනි උපරිම කාල සීමාවක් තුළ බෝම්බය පිපිරීමට නියමිතව තිබි ඇත.

කෙසේ වෙතත් දිමුතු සමරනායක මහතා එය පරික්ෂාවට ලක්කරන අවස්ථාව වන විටත් කාලවිරාමයේ පැයක කාලය ඉක්මවා ගොස් එය පිපිරිය යුතු තත්ත්වයකට පැමින තිබුණද පරිපථයට ලබාදී තිබු විදුලිය අතරමග ඇණහිටිම හේතුවෙන් මෙම බෝම්බය පුපුරායාම ඇණහිට ඇති බව ඔහු කරුණු අනාවරණය කරමින් කියා සිටියා.

එසේම බෝම්බයේ පරිපතයට ගමන් කර තිබු තංගුස් නුල් කැබැල්ලක් වැසෙන සේ චිත්ත රෙද්දක් යෝදා තිබු බවද කිසියම් කෙනෙකු එය සෙලවීමට පොළඹවන අයුරින් රුපියල් 1000 නෝට්ටු දෙකක් තබා තිබු බවද ඔහු අණාවරණය කළා.

මෙම බෝම්බය සකස් කර තිබු ආකාරය පිළිබදව විනාඩියක් වැනි කෙටි කාලයක් තුළ තමන් කියවීමක් කළ බවද, එය නිශ්ක්‍රීය කිරීමටනම් එහි වයර් කැබැල්ලක් ඇදීය යුතු බව තමන්ට වැටහුණු බවද දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළා.

බෝම්බ නිශ්ක්‍රීය කිරීමට යොදාගන්නා කොක්කක් ආධාරයෙන් එම වයර් කැබැල්ල ඇදීමට යාමෙදි තමන් සිතුවාටත් වඩා එක්මනින් එය පහත් වූ බවත් එම අවස්ථාවේ තමන් ඉදිරියේ තම මළමිනිය පවා දිස්වූ බවත් ඔහු සදහන් කළා. බොම්බයේ එම නූල් කැබැල්ල පිටතට ඇදී එමත් සමග තමන් ඉවතට පැන්න බවත් එත් සමගම බොම්බය පුපුරුවා ගිය බවත් දිමුතු සමරනායක මහතා කියා සිටියා.එම අවස්ථාවේ අසල සිටි සුනඛයෙකු කැබැලි වලට කැඩි විසිවු අතර තම ඉනට දෙපසින් යම් පීඩනයක් ඉදිරියට ඇදි ගිය බවක් දැනුනු බවද ඔහු සදහන් කළා.කෙසේ වෙතත් තමන්ට කිසිවක් සිදු නොවුයේ මන්දැයි විමතියට පත් වූ බවත් එවිට තමන් නොදැනුවත්වම කණුවකට මුවාවී සිටි බව දුටු බවත් ඒ හේතුවෙන් කණුවට දැඩි හානි සිදුව තිබු බවත් දිමුතු සමරනායක මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළා.

මෙහිදි ජනාධිපති කොමිසම විමසා සිටියේ යම් කිසි ලෙසකින් දිමුතු සමරනායක මහතා ආරක්ෂිත ලෙස බෝම්බය පුපුරුවා යැවීමට පෙර එය පිපිරී ගියේ නම් කිනම් ප්‍රතිඵලයක් අත්වීමට ඉඩ තිබුනේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ ත්‍රස්තවාදින් විසින් මෙම බෝම්බය සැලසුම් කර තිබුනේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පළමු බොම්බ ප්‍රහාරය එල්ලවීමෙන් පසු එකතු වන ජනතාව ඉලක්ක කර බැවින් යම් හෙයකින් ඉලක්ක කළ මොහොතේ එය පුපුරාගියේ නම් අහිමිවී යන මිනිස් ජීවිත ප්‍රමාණය 2000 – 3000 ටත් අතර වීමට ඉඩ තිබුනු බවයි. ඒ අනුව බැලීමෙදි එසේ බෝම්බය පුපුරා ගියේනම් අහිමි වූ මිනිස් ජීවිත ප්‍රමාණය 265ක් නොව දහස් ගණනක් වීමට බොහෝ දුරට ඉඩ පැවතුනි.

ප්‍රහාරය සිදුවීමට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබුනේද නැද්ද සම්බන්ධයෙන් තවත් තර්ක කිරීමට දෙයක් ඉතිරිව නැත. ජාතික බුද්ධි ප්‍රධානියා විසින් සහ ඉන්දීය රෝ ඔත්තු සේවය තුළින් ඒ පිළිබදව පුර්ව දැනුවත් කිරිමේ බුද්ධි තොරතුරු ලබා දී තිබු බව මේ වන විට ක්‍රියාත්මක ජනාධිපති කොමිසම හමුවේද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින මුලික අයිතිවාසිකම් පෙත්සම් 12 තුළින්ද සක්සුදක් සේ තහවුරු වී ඇත. ඉන් එහාට මෙරට ජාතික ආරක්ෂාව භාර ප්‍රධානියා වන එවකට සේනාධි නායකයා සහ ආරක්ෂක ලේකම්ව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ සිවිල් ආරක්ෂාව භාරව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ සිට ආරක්ෂක අංශවල බොහෝ නිලධාරින් වගකිම් විරහිත ලෙස ක්‍රියාකරමින්, සාපරාධි වගකීම් පැහැර හැරීම තුළින් මෙම මිනිමැරීමට වක්‍රව දායක වී ඇති බව මේ වන විට බොහෝ කරුණු අනාවරණය වී තිබේ.

ප්‍රහාරයක් එල්ල වී පැය 24ක් ගතවී ප්‍රහාරය එල්ල වූ ස්ථානයට මීටර 100කට නොඅඩු දුරකින් තවත් බෝම්බයක් සොයාගන්නා වතාවරණයක් තුළ ප්‍රහාරයට පෙර නොව ප්‍රහාරය එල්ල වූ පසුවද ආරක්ෂක අංශ තම රාජකාරිය නිසි ලෙස ඉටු කලේද යන්න ප්‍රශ්න කල යුතුමය. ගරු ජුඩ් රාජ් පියතුමන් පවසන පරිදි ප්‍රහාරයට පසුදින කොච්චිකඩේ දේවස්ථානය අසල නිවසේ නිවැසියන් තම CCTV දර්ශන පරික්ෂා කර බෝම්බකරු පමිණි රථය ඒ වන විටත් එම ස්ථානයේ පැවති බව දැනගන්නා තුරුම ආරක්ෂක අංශ CCTV දර්ශන පරික්ෂා නොකලේ මන්දැයි ප්‍රශ්න කළ යුතුමය. එසේම ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේම එම ප්‍රදේශයේ විශාල ජනතාවක් රැස්ව සිටියද ඉන් පැය 05ක් හෝ ඉක්මව ගිය පසු එම ස්ථානයේ පුර්ණ සෝදිසි මෙහෙයුමක් නොකලේ මන්ද යන්නත් එවැනි සෝදිසි මෙහෙයුමක් කලේ නම් බෝම්බ සැගවු රථය ඊට පෙර සොයාගැනිමට හැකියාව තිබුනා නොවේදැයි ප්‍රශ්න කළ යුතුය.

මන්ද දිමුතු සමරනායක මහතා පවසන ආකාරයට බොම්බය අටවා පැයක් ගත්වූ පසු එය ඕනෑම අවස්ථාවක පුපුරා යා හැකි තත්වයේ සක්‍රීය මට්ටමක පැවත ඇත. එසේනම් බොම්බ ප්‍රහාරය එල්ල වූ දින සිට එම ස්ථානයෙන් අති උතුම් කාදිනල් හිමිපාණන් එහා මෙහා ගමන් කරන ලදි. රටේ ඉහළ පෙලේ නායකයින් එම ස්ථානයෙන් ගමන් කරන ලදි. කිසියම් අවස්ථාවක එවැනි විශේෂ පුද්ගලයෙක් ගමන් කරන අවස්ථාවක බෝම්බය පුපුරා ගියේනම් එහි වගකීම ගන්නේ කවුද?

පාස්කු ප්‍රහාරය සහ ඉන් පසු සිදුවූ බොහෝ දේ පිළිබදව අදටත් නොවිසදු ප්‍රශ්න රැසක් ඉතිරිවී අති පසුබිමක දිමුතු සමරනායක වැනි නිලධාරියෙකුගේ වටිනාකම ගැන යම් අකුරුකිරීමක් අවැසිමය.

ප්‍රහාරය එල්ල වූ දින කිහිපය තුළ රට පුරා තැනින් තැන සිදුවූ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් වලදි සැකකටයුතු පාර්සල්, යතුරු පැදි පුපුරුවා හැරීම් දුටු බොහෝ දෙනා සිතුවේ බෝම්බ නිශ්ක්‍රීය කිරීම කටින් බතල සිටුවන්නා සේ පහසුයි කියාය.

නමුත් නිවසේ සිට රෑපවාහිනිය බලමින් පොර ටෝක් දෙන්නන් මතක තබාගත යුතු එක් දෙයක් ඇත, බෝම්බයට ලගාවන නිශ්ක්‍රීය කිරීමේ නිලධාරින් ඒ වෙත ලගාවන්නේ කොයි මොහොතේ පුපුරා යාවිදැයි නොදැන මරණය අත තබාගෙනය.

දිමුතු සමරනායක මහතා මා සමග පෞද්ගලිකව බෙදාගත් කරුණු අනුව ඔහු මේ ක්ෂේත්‍රයේ සිටින්නේ තවත් නොබෝ දිනක් පමණි. පාස්කු ප්‍රහාරයෙන් පසු සාපරාධි වගකිම් පැහැර හැරි නිලධාරින්ටද උසස්වීම් ලැබුනේ යැයි වාර්ථා විය. එහෙත් මරණ බිය අතේ තබාගෙන සිය රැකියාවේ යෙදෙන දිමුතු සමරනායක වැනි නිලධාරින්ට අවසානයේ ඉතිරිව ඇත්තේ මෙරට තුළ රටට ආදරය කළ, රට වෙනුවෙන් සේවය කළ බොහෝ දෙනාට අවසානයේ ඉතිරි වූ සිත්‍ රිදීම පමණි. ගොට්ට අල්ලන්නන් දිනෙන් දින ඉහළට යන්නාවු මෙකි කාලකන්නි සමාජය තුළ ඇගයිය යුතු දෙයට ඇගයීමක් හෝ වටිනාකමට වටිනාකම් ලබාදිමක් ගැන අංශූ මාත්‍රයක හෝ බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවට දිමුතු සමරනායක කදිම උදාහරණයකි.

මගේ දිවි ගමනේ හමුවූ විශිෂ්ඨයන් අතරෙත් විශිෂ්ඨ යෙකු ඔබට මෙකි සටහන තුලින් හදවතින්ම උත්තමාචාර කරන්නේ ඔබ මෙතෙක් බේරු ජීවිත ගණනට හෝ ඔබ මගේ මාතෘභූමියට කර ඇති සේවයට අපගේ ජීවිතයෙන් වන්දි ගෙවා හෝ ඒ ණය පියවිය නොහැකි නිසාවෙනි.

ලිපිය අවසාන කිරිමට තවත් එක් දෙයක්නම් කිව යුතුමය. ඉදිරියේදි මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතය. පාස්කු ප්‍රහාරය එල්ල වී හරියටම වසරකුත් දින 4ක් ගෙවෙන මොහොතේ එකි මැතිවරණට පැවැත්වීමට කටයුතු යොදා ඇත. එවැනි වතාවරණයක් තුළ වසරක් ගතවී තිබුණද ප්‍රහාරයට වගකිවයුතු එකදු තැනැත්තෙකු හෝ නීතිය ඉදිරියට ගෙන එමට පැවති රජය හෝ වත්මන් රජය ක්‍රියා කර නැත. ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් විනිසුරු මලල්ගොඩ මහතාගේ ප්‍රධාන්ත්වයෙන් කමිටුවක් පත් කළ අතර එහි වාර්තාවක් ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ වුයේ නැත. පාර්ලිමේන්තුව විසින් තේරිම්කරාක සභාවක් පත් කළද එයින් සිදුවුයේ රටක් ඉදිරියේ චෝදනා එල්ලවන්නන්ට සුදු හුණු ගෑමකි. වර්තමානයේ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර විධිමත් ලෙස විමර්ශන කටයුතු කරගෙන ගියද, මහ දවල් රටේ පාලකයන් විසින් සිය වගකිම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් පුරවැසියන් 265 ක් මරාදැමු මිනිමැරුම පිළිබදව සොයා බැලීමට එම කොමිසම පත් කෙරුණේද ප්‍රමාද වී බව මාගේ මතයයි.

කෙසේ වුවද ඉදිරි මැතිවරණය සදහාද ප්‍රහාරයේ ප්‍රධාන වගකිවයුත්තා ජනතා මනාපය ඉල්ලීමට සුදානම් සිටි. ත්‍රස්තවාදයට අනුබල දුන්නේ යැයි බරපතල චෝදනා එල්ල වූ මුස්ලීම් මැති ඇමතිවරුද කිසිදු පරික්ෂණයකට මුහුණ නොදිම නැවතත් පාර්ලිමෙන්තුයාමට ජනතා මනාපය ඉල්ලීමට සුදානම්‍ ය. අනෙකුත් වගකිවයුත්තන්ට එරෙහිව නෛතික කටයුතු නිවැරදි සාක්ෂි ගොනුකිරීමකට අනුව සිදුවූ නිසාම අද ඔවුන් ඇප මත මුදා හැර සිටි.

මෙවැනි වතාවරණයක් තුළ පාස්කු ප්‍රහාරයට වසරක් ගතවී තිබියදිත් මියගිය අපගේම සහෝදරත්වයට කිසිදු සාධාරණත්වයක් ඉටුවී නොමැති පසුබිමක මිනිමරුවන් පාර්ලිමෙන්තු යවන්නේද නැද්ද යන්න ඔබම තීරණය කරන්න…..

  • විදු –
    2020.03.05

උපුටා ගැනීමකි