මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (03) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති නිසා රජයේ රැකියා ලබාදීම, භාණ්ඩ බෙදාදීම, අත්‍යවශ්‍ය හේතුවකින් තොරව නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම තහනම් කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරයි.

ඒ අනුව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන ද මාස දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස තමන් රජයට දැනුම් දී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

“දේශපාලන පත්වීම්, භාණ්ඩ බෙදාදීම් කෙළින්ම නවතිනවා. රජයේ නිලධාරීන් අත්‍යාවශ්‍යම හේතුවක් නැත්නම් විනය පරීක්ෂණයක් නැත්නම් මාරු කරන්න බෑ.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරනවා කියන යෝජනාව ඒක නිශ්චිතව තීන්දු කරලා තියෙන එකක් නම්, කවුරුවත් දේශපාලන වාසි ගන්න යන්නෙ නැත්නම් ඒ ගැන මට නිශ්චිත වචනයක් කියන්න බෑ. කමිෂන් සභාව සලකා බලනවා.

මේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ අත්‍යාවශ්‍ය, තියෙන පුරප්පාඩුවලට නම් අපි කමිෂන් සභාව සලකා බලනවා. මේක එවැනි කටයුත්තක් නෙවෙයි. ඒක හින්දා මෙය අත්හිටුවන ලෙස මාස දෙකකට අපි කියලා තියෙනවා. පහුගිය ඡන්ද විමසීමෙදි අපි ව්‍යාපෘති සහකාර පත්වීම් එහෙම නැවැත්තුවා. නමුත් අවාසනාවකට ඔවුන්ට තවමත් පත්වීම් ලබලා දීලා නෑ. අපි ඒ පිළිබඳවත් රජයට කියනවා ඒ පත්වීම් දෙන්න කියලා” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.