වසර ගණනාවක් ලග්ගල ප්‍රදේයේ පිහිටි මෙම පැරණි ගස් හිටිහැටියේ කපා දැමීම පිළිබඳ දේශපාලන මැදිහත්වීමක් පවතින බවට ප්‍රදේශවාසිහු චෝදනා කරති.

මෙම ගස් කපා හෙළිම සම්බන්ධයෙන් ලග්ගල ප්‍රාදේශිය සභාවේ වත්මන් සභාපති එච්.එම්. සූජීව බුද්ධික සේනාරත්න (ශ්‍රී ලං පො ජ පෙ) මහතාගෙන් විමසීමක් කළ විට එහිදී ඔහු කියා සිටියේ බංකොළොත් පිරිසක් විසින් මේ සම්බන්ධයෙන් වැරදි ප්‍රචාරයක් ගෙන යන බවය.

තමන් විසින් කිසිදු අවස්ථාවක මෙම ගස් කැපීම සදහා අනුබලයක් ලබාදී නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවශ්‍යතාව අනුව ගස් කැපීම සිදුකර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්ජිනේරු ඩී.බී.විජේරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් වීමසීමක් කළ විට ඔහු කියා සිටියේ කලක් තිස්සේ පවතින පැරණි ගස් තුනක් කපා ඉවත් කළ බවය.

මහජනතාව නිතර රැස්වන ස්ථානයක දිරාගිය අතු සහිතව පවතින එම ගස් ඉවත් කර නැවත සුදුසු ගස් රෝපණය සඳහා පියවර ගැනීමට තීරණය කළ බව ද හෙතෙම කියා සිටියේය.

යම් අයුරකින් අනතුරක් සිදුවූයේ නම් චෝදනා එල්ල කරන පිරිස් වෙනත් චෝදනාවක් නගනු ඇති බවත් පැරණි ගස් වෙනුවට වඩාත් හිතකර ගස් රෝපණය තුළින් පරිසරයට නව ජීවයක් එක්කිරිම සදහා අදාළ ගස් කපා ඉවත්කළ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් වැඩිදුරටත් කියා සිටියේ මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් විශාල ගස් ප්‍රමාණයක් රෝපණය කර හරිත නගරය ඇති කළ ද අද වන විට හරිත නගරය කාන්තාරයක් බවට පත්ව ඇති බවය.

එවැනි තත්ත්වයක තව දුරටත් ගස් කපා දැමීම කෙතරම් කාලෝචිත ද යන්න දෙවතාවක් සිතා බැලිය යුතු බව ද ඔවුහු අවධාරණය කරති.

(නාඋල – අයි.ඒ. කුමාර)

උපුටා ගැනීම මව්බිම

Advertisment