පාර්ලිමේන්තුව මීට සුලු මොහොතකට පෙර විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ගෝඨාභයරාජපක්ෂ මහතා අත්සන් තබා තිබෙනවා.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ඊයේ මධ්‍යම රාති‍්‍ර 12 න් පසු වත්මන් පාර්ලිමේන්තුවේ කාලසීමාව අවුරුදු හතර හමාර ඉක්මවීම හේතුවෙන් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබී තිබුණා.

මහ මැතිවරණය පැවැත්වෙන දිනය සහ පාර්ලිමේන්තුව කැදවන දිනයද අදාළ ගැසට් නිවේදනය මගින් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇති. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දින 10 ක් තුළ මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවිය යුතු වනවා.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනෙන්නේ එතැන් සිට දින 17 ක් ඇතුළතයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර සති 05 ත් 07 ත් අතර කාලය තුළදී මහ මැතිවරණය පැවැත්විය යුතු වනවා. මහ මැතිවරණය ලබන අපේ‍්‍රල් මස 24 වනදාත් මැයි මස 04 වනදාත් අතර දිනක පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

එම කාලසීමාවේදී මහ මැතිවරණය පැවැත්විය යුත්තේ පොහෝ දින, ඉරිදා දින සහ මැයි දිනය හැර වෙනත් දිනකයි. බොහෝ විට මහ මැතිවරණය අපේ‍්‍රල් මස 25 වන සෙනසුරාදා දින පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

ඡන්ද විමසීමෙන් පසු නව පාර්ලිමේන්තුවේ පළමු සැසිය මැයි මස 2 වන සතියේදී පැවැත්වෙනු ඇති බවද දේශපාලන ආරංචි පැවසුවා.