සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ.
වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම් කිතුනු පල්ලියක (Foursquare church) පූජකවරයකු ලෙසත් කටයුතු කරන ලද තැනැත්තෙකු වන අතර එම ආගමික සංවිධානයත් ඔහුගේ ක්‍රියාවන් හෙළා දැකීමට ලක් කරයි.
“බීබීසී අප්‍රිකානු ඇස” (BBC Africa Eye) නම් වැඩ සටහන මගින් වසරක පමණ කාලයක් සිදුකළ ගවේෂණයක කොටසක් ලෙස විශ්වවිද්‍යාල ඇදුරන් කීපදෙනෙකුගේ චර්යාවන් රහසිගතව රූපගත කරන ලද අතර ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් පමණි.
එම බීබීසී චිත්‍රපටයේ බටහිර අප්‍රිකාවේ ඉහළම පිළිගැනීමක් සහිත සරසවි දෙකක අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් සිදු කරනු ලබන ලිංගික අතවර දර්ශන ප්‍රදර්ශනය කෙරෙන අතර, එම දර්ශන දක්නට ලැබීමත් සමඟ සමාජ මාධ්‍යජාලයෙහි මහා කතිකාවක් ආරම්භ විය.
නමගිය කලාකරුවන් සහ දේශපාලනඥයන් ද ඇතුළුව සමාජයේ කීර්තිමත් චරිත රැසක් එම සංවාදයට එක්ව සිටිති.
සරසවි ආචාර්යවරුන් සමඟ ගනුදෙනු කිරීමේ දී තමන් මුහුණ දුන් ස්වීය අත්දැකීම් විස්තර කරන ශිෂ්‍යාවන් බීබීසී චිත්‍රපටයේ පෙනී සිටින අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ඒවා විස්තර කරන්නේ සිය අනන්‍යතාව වසන් කරමිනි.
තමාට එරෙහිව එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු අදහසක් පළ නොකරයි.
“සෙක්ස් කළොත්” ඉහළ සාමාර්ථ
වැඩ තහනම් කළේ ඇයි?
වෙස්වළාගත් බීබීසී මාධ්‍යවේදිනිය, ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු හමුවට යන්නේ සරසවියට ඇතුළත් වීම සඳහා උපකාර පතන දාහත් හැවිරිදි ශිෂ්‍යාවක ලෙසය.
එම අවස්ථාවේ ආචාර්යවරයා බීබීසී මාධ්‍යවේදිනියට ඉදිරිපත් කළ අනුචිත ප්‍රශ්න සහ ඇයට කරන යෝජනා රහසිගතව පටිගත කරන ලද චිත්‍රපටයට ඇතුළත් වෙයි.
ඔවුන් දෙදෙනා අතර සිදු වූ අවසන් හමුවේ දී ආචාර්ය ඉග්බෙනෙගු, ශිෂ්‍යාවකගේ චරිතය රඟන ගවේශනාත්මක මාධ්‍යවේදිනියට ශාරීරික හිරිහැර කරයි.
දොරගුළු ලෑ කාර්යාල කාමරයේ දී ඇය සිප ගන්නදැයි ආචාර්යවරයා “ශිෂ්‍යාවගෙන්” අසයි.
තමාට අකීකරු වුවහොත් ඇයගේ මවට පැමිණිලි කරන බවට ඔහු “ශිෂ්‍යාවට” තරවටු කරන ආකාරයක් ද චිත්‍රපටයේ දක්නට ලැබෙයි.
කාන්තාවගේ ඇඳුම, කාන්තා හිංසනයට හේතුවක්ද?
Image caption
අකීකරු වුනොත් අම්මාට කියනවා -ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු ගෙන් ශිෂ්‍යාවකට තර්ජනයක්
ඉහත කී බීබීසී චිත්‍රපටයේ පෙනී සිටින ශිෂ්‍යාවන් ගණනාවක්ම කථිකාචාර්යවරුන්ට එරෙහිව ලිංගික අපචාර චෝදනා ඉදිරිපත් කරති.
ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගුගේ පැරණි ශිෂ්‍යාවක් සිය අනන්‍යතාව වසන් කර ගනිමින් අදහස් දක්වමින්, සිය ආචාර්යවරයා නිසා විඳීමට සිදු වූ අතවර හමුවේ තමා කීපවරක්ම සියදිවි හානි කර ගැනීමට තැත් කළ බව කියා සිටින්නීය.
පල්ලියෙනුත් පන්නයි
එම දර්ශන ඇතුළත් වීඩියෝ පටය ප්‍රචාරය වීමත් සමඟ ‘ලේගෝස්’ සරසවි බලධාරීන් පසුගියදා හදිසි රැස්වීමක් කැඳවමින්, ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගුගේ සේවය වහාම තහනම් කිරීමට පියවර ගෙන ඇත.
අදාළ කාරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ‘ලේගෝස්’ සරසවිය, එල්ල වී ඇති චෝදනා මගින් තමන් “බලවත් දුෂ්කර තත්වයකට” පත්ව සිටින බවත් ඒ පිළිබඳව විභාග කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් කියා සිටියි.
සිය ආයතනයේ සිදු වෙතැයි කියන හිරිහැර තර්ජන ආදියට එරෙහිව සටන් වදින බවත් ‘ලේගෝස්’ සරසවිය පවසයි.
ඇතැම් ගුරුවරුන් විසින් ශිෂ්‍යාවන් රැගෙන යනු ලබන්නේ යයි චෝදනා කෙරෙන “සීතල කාමරය” (“cold room”) ලෙස හැඳින්වෙන අධ්‍යයන කාර්ය මණ්ඩල උත්සව ශාලාව වසා දැමීමට පියවර ගත් බවත් ‘ලේගෝස්’ සරසවි බලධාරීහු පවසති.
මේ අතර “ෆොර්ස්ක්වයාර්” කිතුනු පල්ලිය (Foursquare church) නිවේදනයක් නිකුත් කරමින්, එහි පූජකයකු ලෙස ක්‍රියාකළ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු එම පල්ලියේ ආගමික කටයුතුවලින් ඈත් කරනු ලැබ ඇත.
“ඉතා සාහසික එසේම ධර්මවිරෝධී ක්‍රියා පල්ලිය අනුමත නොකරයි. පූජකවරයෙන් ඉවත් වෙන ලෙස අපි ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගුගෙන් ඉල්ලීමක් කර ඇත,” යනුවෙන් ෆොර්ස්ක්වයාර් කිතුනු පල්ලිය (Foursquare church) විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.
පොලිස් කාන්තාවන්ට පොලිසියෙන් ‘ලිංගික හිරිහැර’
Image caption
සරසවි බලධාරීන් විසින් ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගුගේ කාර්යාලය වසා දමනු ලැබ ඇත
චිත්‍රපටයේ ඇතුළත් තවත් කරුණු
පුරා පැයක් දිවෙන බීබීසී වාර්තාමය චිත්‍රපටය ඝානා සරසවියේ (University of Ghana) කථිකාචාර්යවරුන් දෙදෙනෙකුගේත් ඉහත කී මට්ටමේ අන්තර් චර්යාවන් ප්‍රදර්ශනය කරයි.
ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් මහාචාර්ය රන්ස්ෆෝර්ඩ් ගයන්පෝ (Professor Ransford Gyampo) වන අතර,දෙවැන්නා ආචාර්ය පෝල් ක්වාමේ බුතකෝර්(Dr Paul Kwame Butakor) නම් වෙයි.
වෙස්වළාගත් මාධ්‍යවේදියකු සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී අදහස් දැක්වූ ඔවුහු “ලිංගික පහසට මිල වශයෙන් ඉහළ සාමාර්ථ” දුන් බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කළහ.
“තමා බීබීසියට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කරන” බව මහාචාර්ය රන්ස්ෆෝර්ඩ් ගයන්පෝ ඝානාවේ මාධ්‍යවලට ප්‍රකාශ කර ඇත.
ලිංගික හිරිහැර ආදියට හවුල් කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයකුට හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවකට රැකවරණ සැලසීම සහමුලින්ම ප්‍රතික්ෂේප කර ඇතැයි ‘ඝානා’ සරසවිය කියා සිටියි.
එම සරසවියේ ලිංගික අතවරවලට එරෙහි කමිටුවේ සභාපතිවරිය අදහස් දක්වමින්, බීබීසී වාර්තාමය චිත්‍රපටයේ දැක්වෙන ආචාර්යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් විභාගයක් ආරම්භ කරන බව සඳහන් කළේය.
එසේවුවද, “ලිංගික පහසට මිල වශයෙන් ඉහළ සාමාර්ථ” දුන් බවට එල්ල වෙන චෝදනා අදාළ චිත්‍රපටය මගින් තහවුරු කරනු ලැබ නැතැයි සභාපතිවරිය ප්‍රකාශක කරන ලදැයි ඇය උපුටා දක්වන ඝානාවේ මාධ්‍ය මගින් කියැවෙයි.
Image caption
නයිජීරියාවේ සහ ඝානාවේ ඇතැම් සරසවි ආචාර්යවරුන්ගේ ලිංගික හිරිහැර පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍යජාලයේ හුවමාරු වෙමින් පවතී
ලැබී ඇති ප්‍රතිචාර
බීබීසිය මගින් අනාවරණය කර ගන්නා ලද කරුණු සම්බන්ධයෙන් ඝානාවේ සහ නයිජීරියාවේ සමාජ මාධ්‍ය ජාලවල විශාල පරිමානයෙන් ප්‍රතිචාර පලවෙමින් පවතී.
‘ට්විටර්’ පණිවුඩ මගින් අදහස් දැක්වූ බොහෝ දෙනෙක්, චිත්‍රපටයේ අන්තර්ගත හිරිහැර හෙලාදුටු අතර, කථිකාචාර්යවරුන්ගේ අවිනීත චර්යාවන් සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතුව ඇතැයි කියා සිටියහ.
මේ අතර බීබීසී චිත්‍රපටය ප්‍රචාරය වීමත් සමඟ තවත් පිරිසක් එම විරෝධතා රැල්ලට එක්වුණේ ඔවුන්ගේ ස්වීය අත්දැකීම් සමුදාය අදහස් මගින් හුවමාරු කර ගනිමිනි.
මාධ්‍යවේදිනියක වන කිකී මෝර්ඩි (Journalist Kiki Mordi) ඉහත කී සංවාදයට එක්ව සිටින එක් කාන්තාවකි.
සරසවියේ දී තමා මුහුණ දුන් අතවර පිළිබඳ අත්දැකීම් හෙළිදරව් කළ කිකී මෝඩි, එවැනි අතවර නිසා තමා සරසවියෙන් එළියට වැටුන බවත්, වෛද්‍ය අංශයේ රැකියාවක් කිරීමේ තම සිහිනය බිඳ වැටුන බවත් සඳහන් කළාය.
ඉහත කී වාර්තාව මගින් දිරිය ලද තවත් කාන්තාවන් රැසක් තමන් මුහුණ දුන් අතවර අත්දැකීම්වල තොරතුරු බීබීසියට යොමු කරමින් ඇත.
“මට දරුණු තර්ජනයක් එල්ල වෙලා තියෙනවාය කියල දැනෙනවා” නයිජීරියානු උපාධිධාරිනියක් පසුගියදා “බීබීසී නිව්ස්ඩේ” ( BBC Newsday) වැඩ සටහනට ප්‍රකාශ කළාය.
කැතරින්ගේ ඉරණම
“මම සරසවියට ඇතුල් වෙන්න පෙරත් මේ මිනිහා ගැන කතන්දර අහල තිබුණා. ඔහුගේ ලිංගික හිරිහැර ආදියට ගොදුරු වූ මිතුරියො මට ඉන්නවා,” ඇය පවසන්නීය.
“අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ බිය ගැන්වීම් නිසා ඇති වූ මානසික තත්වය හමුවේ ඔහුට භාර දීමට නියමිත සිය කටයුතු ප්‍රමාද කළ,” බවත් ඇය විස්තර කළාය.
“අපි ශිෂ්‍යයෝ. අපට නැතිවෙන්න ගොඩාක් දේවල් තියෙනවා. මෙතැන බලය තුලනය කිරීමක් නැහැ,” එම කාන්තාව වැඩි දුරටත් පෙන්වා දෙන්නීය.
ඝානාවේ සරසවි තුළ ලිංගික හිරිහැර කිරීම මහා පරිමාණයෙන් සිදු කෙරෙන බව ‘කැතරින්’ නම් කාන්තාවක් සඳහන් කළාය.
“කථිකාචාර්යවරයකු විසින් ඉහළ සාමාර්ථයක් සඳහා ලිංගික පහසක් යෝජනා කළ දිනයේ තමා ළදරුවකු මෙන් හඬා වැළපුන” බව ‘කැතරින්’ බීබීසීයේ පිටස්තර ආරංචි මාර්ගයකට ප්‍රකාශ කළාය.
“අවාසනාවට හොඳ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කවුරුහරි පැමිණිල්ලක් කළොත් තියෙන සාක්ෂි මොනවද කියල අහනවා. ඉතින් පැමිණිලිකාරියට ඉදිරිපත් කරන්න සාක්ෂි නැහැ. එතකොට පැමිණිල්ල විසි කරලා දානවා. අන්තිමට පැමිණිල්ල විත්තිය වෙනවා.”