උඩවලව වැව ඉස්මත්තට වෙන්න තිබුණත් හරිම කර්කශ වෙච්ච වටපිටාවක්.

ගමේ නම තිත්තවැල්පත වුණත් ඒ ගමේ උපන් තරුණයකුගෙ දස්සකමට ගමම විතරක් නෙවෙයි, රටම රස ගැන්වෙන ඇත්ත කතාවකට තමයි මේ මුල පිරෙන්නේ.

තිත්තවැල්පත ප්‍රාථමික විදුහලෙන් අත්පොත තියලා පල්ලබැද්ද මහ විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබාපු ප්‍රසාද් හරේන්ද්‍ර කුමාර රුහුණ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් විතරක් නෙවෙයි කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියකුත් ගත්ත කෙනෙක්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදකයකු විදිහට කලක් කටයුතු කරපු ප්‍රසාද් ගුවන් විදුලි ක්‍රිකට් විස්තර ප්‍රචාරයටත් නම් දරාපු නිවේදකයෙක්.

ඒත් අපි දැන් කතා කරන්නේ ප්‍රසාද්ගේ උපාධිය ගැනවත් පශ්චාත් උපාධිය ගැනවත් ගුවන් විදුලියෙන් පෙන්නපු දස්කම් ගැනවත් නෙවෙයි.

ඒ සියල්ල අතහැරලා අමුතුම මඟක ගිහින් දක්වපු විශේෂ දස්කමක් ගැන.

ඔහු උඩවලව වැව ඉස්මත්තෙ මහ කැලේ මැද තනියම වැවක් හදාගෙන අක්කර ගාණක ගොවි බිමක් හදාපු විස්මිත කාරිය ගැනයි.

මේ ගොවිබිම ගැන මුලින්ම දැනගත්තෙ අන්තර්ජාලයෙන්. කොළඹගෙආර සංඛපාල විහාරය ආශ්‍රිතව තමා ප්‍රසාද්ගෙ පදිංචිය තියෙන බව දැනගත්තේ.

ඒ නිසා පසුගිය තෛපොංගල් දවසේ උදෙන්ම ප්‍රසාද් හොයන ගමනට මුලපිරුවේ සංඛපාල පන්සලෙන්.

“මේක සංඛපාල පන්සලට අයිති නින්දගමේ කොටසක්.

දන්නවනේ කරතොට ධම්මාරාම හාමුදුරුවො භාරස කාව්‍යය ලියලා පෙන්නපු දක්ෂකමට කීර්ති ශ්‍රී රජ්ජුරුවො දීපු අක්කර 12,400ක් විතර නින්දගම.

ඉස්සර අලින්, කොටින් හිටපු මහ කැලේ.

දැන් පන්සලෙන් බදු අරගෙන හුඟක් දෙනා වගා කරනවා. ඒත් වතුර නැතිව හුඟක් අතඇරලා මගෙ ගමත් මෙයට ටිකක් ඉස්මත්තෙ තියන තිත්තවැල්පොත.

අපේ තාත්තා නම් මුලින්ම මෙතැන අස්වද්දලා ගොවිතැන් බත් කළේ.

මමත් පුංචි කාලේ අම්මා තාත්තා එක්ක ඇවිත් හරි හරියට මේ පොළොවත් එක්ක හැප්පුණා.

අපට තිබුණු ලොකුම ප්‍රශ්නෙ තමා වතුර. වලවේ ගඟ පේන මානේ උඩවලව ජලාශයේ ඉස්මත්ත. ඒත් අපි ඉන්න මේ හරියට වතුර නැහැ.

පොඩි පොඩි ආරවල් තියෙනවා. ඒත් වතුර තියෙන්නේ වැහි කාලෙට විතරයි.

තාත්තා මහ පොළොවත් එක්කලා හැප්පිලා දහදිය හලාගෙන වගාව කළත් පලදාව ගන්න ලැබෙන්නේ කලාතුරකින්.

එක්කො නියඟෙට දා පිලිස්සෙනවා. එහෙම නැත්නම් සතා සිවුපාවා කා දමනවා.

ඒත් අපි කොහොම හරි කලක් දත ගහගෙන රෑ පැල් රැකගෙන ගොවිතැන රැක්ක.

ඒත් එන්න එන්නම තත්ත්වය නරක අතට හැරුණාම තාත්තා ගොවිතැන අත හැරලා ඇඹිලිපිටිය – කොළඹ පාරට ගිහින් පුංචි පුංචි වෙළෙ¼දාම් පටන් ගත්තා. අපි සංඛපාල ළඟට ගියේ එහෙමයි.

නංගියි මමයි ලොකු මහත් වෙද්දී අපේ ඉගෙනුමටත් පහසු වෙන්න එහෙම කරන්න ඇති. කොහොම හරි තාත්තා අතින් ගොවිතැන අතහැරිලම ගියා.

ඒත් මට ටිකක් තේරෙන කොට තමයි දැනෙන්න ගත්තේ මගේ ඇඟ ඇතුළේ ගොවිකම තියෙනවා කියන එක.

මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දිත් නිවාඩු තියෙන කොට හේන්වලට යනවා.

තාත්තා හිටවපු ගහකොළ දිහා බලලා ඇති වුණේ හරිම දුකක්. පොල් ගස් දෙසීයක් විතර කෙහෙටු වෙලා ගිහින්.

මම මගේ ඉගෙනීම ඉවරකරපු ගමන් ඒ කියන්නේ උපාධිය සමත් වෙලා රටේ ලෝකෙ ගැන දැනගත්තට පස්සේ පළමුවෙන් කළේ රැකියා පෝලිමට එකතු වෙන එක නෙවෙයි.

මගේ උත්සාහයෙන් ගොඩ එන්න කියලා තාත්තා අතහැරපු ගොවිපළට ආයේ පණ දෙන එක.

මම ඒක පටන් ගත්තේ 2012දී. අම්මයි තාත්තයි දෙන්නම මියගියා. එකම නංගි දීග ගියා. මම ගෙදර තනි වුණා. මට මගේ පාළුව, කනස්සල්ල මකාගන්න තිබුණු හොඳම මඟ කියලා දැනුණේ ගොවිතැන.

ඒත් මට ඒක මහා පරිමාණෙන් කරගෙන යන්න තරම් අතමිට සරු තිබුණේ නැහැ. මුලින් මුලින් වැඩ කළේ අතමාරු අරගෙන.

මට මුලින්ම දැනුණේ වතුර අවශ්‍යතාව. ළඟක පාතක ඇළක් ‍ෙදාළක් නැහැ. ඒත් වලවේ ගඟ විතරක් නෙවෙයි උඩවලව ජලාශෙත් පේන මානේ.

බැරිම තැන මමම විසඳුමක් හිතුවා. අහස් වැස්ස එකතු කරන වැවක් හදන්න. ඒකට මම මුලපිරුවා.

මුලින්ම කළේ ඉඩමේ ගලන වතුර ටික එක තැනකට එකතු කරන්න වටේ උස්සන එක.

ගමේ පාරවල් කපන්න ඩෝසරයක් ආවා. මම ඒ අයගෙන් බොහොම සහනදායක විධියට ඒ වතුර එකතු වන තැන මුලින්ම ගැඹුර කරලා ඒ පස්වලින්ම බැම්ම තව ටිකක් දික් කළා.

වැහි කාලය ආවම වතුර පිරුණා. මට හරිම සතුටුයි. වැහි වතුර ඉඩමෙම ඉහළ තැනක එකතු කරලා පහළ වගාවට ටික ටික අරගත්තා.

වගාව සරු වෙද්දී ආදායම වැඩි වෙද්දී මගේ හිතේ හයියත් වැඩි වුණා. තාත්තා ජීවත් වෙලා හිටිද්දී තාත්තාගේ තිබුණ ලොකු බලාපොරොත්තුවක් තමා මගේ හිතෙත් යටවෙලා තිබුණේ.

තාත්තා කීප වතාවක්ම ඉඩමේ වතුර එකතු වෙන විධියක් ගැන හිතුවා. ඒත් තාත්තාට ඒකට වියපැහැදම් කරන්න සල්ලි තිබුණේ නැහැ.

සබරගමුව සංවර්ධන බැංකුවට මගේ මේ ගොවිපොළ ගැන ආරංචි වෙලා මාව හොයාගෙන ආවා. මගේ සැලැස්ම අහලා මට ලොකු ණයක් දෙන්න කැමැති වුණා.

ඒත් මම ඒ තරම් ලොකු මුදලක් ණය වෙන්න හිතුවේ නැහැ. ගත්තා ලක්ෂ පහක්. ඒකෙන් තමා මේ වැව විධිමත්ව නිර්මාණය කළේ.

වැව් බැම්ම දිගේ ඇවිදගෙන යද්දී මට දැනුණේ ඒ බැම්ම කොතරම් ක්‍රමානුකූලද ලස්සනද කියලා.”

“මේ වැව හදන්න කාගේ හරි උපදෙස් ගත්තද?” මම එහෙම ඇහුවේ වැවේ දකින්න තිබුණු සොරොව්ව වගේම පිටවානත් පහුකරගෙන යද්දී. ඒ විතරක් නෙවෙයි වැව් බැම්ම මත්තේ ලස්සන මල් වවලා.

“නැහැ, මේ හැම දෙයක්ම මගේ සැලසුම්. මම පොතින් පතින් දැනුම ලැබුවා. ඒ දැනුම ප්‍රයෝජනයට ගත්තා.”

මේ වෙද්දී කුඹුරු අක්කර 3කට වැඩිය අස්වද්දලා තියෙනවා. වතුර ප්‍රශ්නය නැතිනම් මගේ ඉලක්කය ඒක අක්කර පහ දක්වා වැඩි කරන්න.

ඒත් ඒකට ප්‍රමාණවත් වතුර නැති එකයි ප්‍රශ්නය. මොකද දැන් ඉස්සර වගේ කලට වැහි වහින්නේ නැහැ. ටිකක් අපිළිවෙළක් අනපේක්ෂිත රටාවක්.

“මොකක්ද මේකට විසඳුමක් තියෙනවාද?” මම ප්‍රසාද්ගෙන් ඇහුවේ ඔහුට ප්‍රදේශය ගැන කාලගුණය ගැන හොඳ දැනුමක් තියෙන බව දැනුණු නිසයි.

“දැන් නින්දගමට අයත් ඉඩම් හුඟක් බදු දීලයි තියෙන්නේ. හුඟක් අය කරන්නේ අහස් වැස්ස බලාගෙන ගොඩ ගොවිතැන, හේන් ගොවිතැන.

ඒත් මම දැකලා තියෙනවා මේ ඉඩමට මීටර් 300ක් විතර දුරින් තියෙනවා ආරක්. ඒකට කියන්නේ කණ්ඩිආර කියලයි. ඒක තවත් කිලෝමීටර් හයක් හතක් ගලාගෙන ගිහින් වලවේ ගඟට වැටෙනවා.

මේ වැවට ඒ ආරෙන් වතුර ටිකක් ගන්න තියෙනවා නම් මට ලොකු වැඩක් කරන්න පුළුවන්. ඒත් ඒක කරන්න රජයේ අනුමැතිය සහ සහාය ඕන.

මොකද මට එහෙම අනුමැතියක් සහායක් ලැබෙනවා නම් මම මේ හදලා තියෙන වැව පුරවලා යම් අතිරික්තයක් තියෙනවා නම් තවත් අයටත් වතුර දෙන්න පුළුවන්.”

හරියට කැප වුණොත් ගොවිතැන තරම් හොඳ රැකියාවක් නැහැ කියලයි මට හිතෙන්නේ. ඒත් අපිට තනියම මේ කටයුත්ත කරන්න බැහැ. වගකිවයුත්තොත් අපි ගැන හිතන්න ඕන.

දැන් අපිට ලැබෙන්නෙ පිටරට බීජ. ඒවා හුඟක් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. පලදාව වැඩි වුණත් රසය ගැන අපිට ගැටලු තියෙනවා.

දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව විෂයයන්ගෙන් උපාධිය ලබලා ජන සන්නිවේදනය පශ්චාත් උපාධිය ලබපු ප්‍රසාද්ට රජයේ රැකියාවක් නැත්නම් පෞද්ගලික අංශයේ රැකියාවක යෙදෙන්න හොඳටම පුළුවන්.

ප්‍රසාද් සැබැවින්ම ප්‍රායෝගික මිනිසකු බව දැනුණේ ඔහු සමඟ ගත කළ හෝරා කිහිපයෙන්. ඔහුගේ ගොවිබිම සරසන ඔහු නිර්මාණය කළ පුංචි වැව මනස්කාන්තය.

එයින් සොබාදහමටද ලොකු පිටිවහලකි. ප්‍රසාද් වැනි තරුණයන් තව තවත් රටට අවශ්‍යව ඇත.

Source – මව්බිම