ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය කල්ලියක සාමාජිකයන් 9 දෙනෙකු ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඉන්දීය රුපියල් කෝටි 1300 ක් වටිනා මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

ඉන්දීය මත්ද්‍රව්‍යනාශක ආයතනය පසුගිය සිකුරාදා නවදිල්ලියේදී කිලෝග්‍රෑම් විස්සක කොකේන් තොගයක් සොයාගත් අතර, ඉන්පසුවයි මෙම මත්ද්‍රව්‍ය කල්ලිය වැටලීමට හැකිවී ඇත්තේ.

එහිදී ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු, ඇමරිකානුවෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙකු සහ නයිජීරියානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

එම මත්ද්‍රව්‍ය කල්ලිය ඉන්දියාවේ ප්‍රාන්ත රැසක මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, කාම්බෝජය, මැලේසියාව, නයිජීරියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් සමඟ සබඳතා පවත්වන බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ඉන්දියාව, හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන ඇති බවටද හෙළිදරව් වී තිබෙනවා.

Advertisment