ඇය මීරිගම බෝතලේ පහලගම පදිංචි උඩුවිදාන රාළලාගේ බෙලෝනෝනා මහත්මියයි. 1917 දෙසැම්බර් මස 17 වැනිදා මෙලොවට බිහිව ඇත්තේ පවුලේ පස්වැනියා ලෙසයි.

නිවසේ කුදුමහත් කටයුතුවලට දායක වෙමින් මී මුණුබුරන් බලා කියා ගනිමින් ඇය ඉකුත්දා සිය 102 වැනි ජන්ම දිනය සැමරුවාය.

එවකට 6 පන්තිය දක්වා ඉගෙනුම ලැබූවත් අසනීප තත්වයකට ගොදුරුවීමෙන් පසු ඉගෙනුම් කටයුතු අත්හැර දැමීමට සිදු වුණා. වැඩිමහල් සොහොයුරන් හා සොහොයුරියන් දෙදෙනා බැගින්ද බාල නැගණියකගෙන්ද යුත් පවුලක සාමාජිකාවක වූ බෙලෝරෝනා යුවතිය මූලික අධ්‍යාපනය හදාරනු ලැබුයේ කදන්ගමුව විදුහලෙනි.

නව යොවුන් වියේ පසුවන යුවතියක වූ සමයේ ඇය බෝතලේ පහලගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ ඒබ්‍රහම් සමරදිවාකර තරුණයා සමග විවාහ දිවියට පත්වී ඇත. ඇගේ සැමියා නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වූ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායකයන්ගේ ඉඩකඩම් ආදිය කළමනාකරණය කරමින් ව්‍යාපාර කටයුතුවල යෙදී ඇත.

විවාහයෙන් ඇයට දරුවන් සිව් දෙනෙකි. වැඩිමහල් පුතු ලයනල් සමරදිවංකර 79 හැවිරිදි ය. ඔහු මීරිගම ඩබ්ඩ්ලි සේනානායක ආදර්ශ විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙන්ම හාපිටිගම මහා විදුහලේ විදුහල්පතිවරයා ලෙසද සේවය කර විශ්‍රාම ලබා දැනටත් සිය මව සමීපයේම ජීවිතය ගත කරයි.

වැඩිමහල් පුතුගේ බිරිය සුදර්මා දසනායක 79 එවකට හෙදියක වු බැවින් ඇගේ දරුවන් බලා කියාගෙන ඇත්තේද බෙලෝනෝනා මාතාව විසිනි. එහෙයින්ම මුණුබුරු මිණිබිරියට ඇය අම්මාය. ඇගේ බාල නැගණිය 90 හැවිරිදිය. ඇය පමණක් තවමත් ජීවතුන් අතරය. එහෙත් ඇය දැඩිසේ රෝගාතුරව සිටීම ගැන නම් බෙලෝනෝනා මාතාවට සතුටක් නැත.

ඇය සිය නැගණියට නිරෝගි සුවය පතන්නේ එහෙයිනි. අපේ කතා නායිකාවට දරුවන් සිව් දෙනෙකි. මුණුබුරු මිණිබිරියන් 14ක් දෙනෙකි. මේවනවිට ඇය මීමුත්තියක කළ මී මුණුබුරන් මිණිබිරියන් 22 ක් හුරතල් කරන්නට තරම් වාසනාවන්ත වී ඇත.

අල බතල, මෙන්ම කැලෑ කොලත් සමග තුන්වේල බත් කෑමෙන් සිය ජීවිතය නිරෝගීව තබා ගන්නට ඉඩ ලැබුණු බව ඇය මහත් සතුටින් පවසන්නීය. කඩචෝරු තම ජීවිතයට ගෑවීවත් නැති බව ඇය කියන්නේ මහත් අහංකාරකමිනි. දෑස පෙනීම මදක් අඩු වුවත් එය කිසිවකු හඳුනා ගන්නට තරම් බාධාවක්වී නැති බව ද ඇය සඳහන් කරන්නීය.

සවසට කුස්සියට අවශ්‍ය කරන දර පොල්කොළ ටික එකතු කිරීම ඇගේ දින චරියාවේ කොටසකි. එකල
කිතිතුලාගල කන්ද තරණය කර දර කඩා හිස මත තබාගෙන ගෙදර ගෙනා අන්දම ඇය සිහිපත් කරන්නේ මහත් සතුටිනි. සිය සැමියා සමග ජීවන බරට උර දෙන්නට ඇය කළ කී දේ අතරින් ඉඳිආප්ප පිළියෙළ කළ අන්දම ගැනද ඇය මතක් කළාය.

මෑතක් වනතුරුම බෝතලේ ගෝඨාභය රාජ මහා විහාරස්ථානයට ගොස් සිල් සමාදන්වූ ඇය මාස කිහිපයක සිට දරුමල්ලන්ගේ ඇවිටිල්ල නිසා නිවසේදී සිය ආගමික කටයුතු කර ගන්නට පියවර ගෙන ඇතත් ඉඩ ලැබුණු සෑම අවස්ථාවකම විහාරස්ථානයට ගොඩ වැදීමට ද පියවර ගනී.

ගෙවුණු ජන්ම දිනයදා අසල්වැසි වැඩිහිටි පිරිසකට ආහාර වේලකින් සංග්‍රහ කරන්නට ද ඇය කටයුතු කළේ සිය දරු මල්ලන්ගේ සහාය ඇතිවය.

කිසිවෙකුටත් බරක් නොමැතිව තම කුදු මහත් කටයුතුවල යෙදෙමින් දරුවන් මුණුබුරන්ට සහාය වෙමින් මී මුණුබුරන් හුරතල් කරමින් සැඳෑසමය ගත කරන බෙලෝ නෝනා මාතාවට ආලෝකයක් වෙන්නට අවස්ථාවට ලැබේවායි ප්‍රාර්ථනය කරයි.

-පුෂ්පකුමාර මල්ලවආරච්චි-