රියදුරු ධාවන පරීක්‍ෂණවලින් පුද්ගලයන් සමත් කර ගැනීම සඳහා රියදුරු පාසල් විසින් අදාළ පරීක්‍ෂකයන්ට අල්ලස් ගෙවීම ඇතුළු සියලු අක්‍රමිකතා සොයාබැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් මේ යොදවා ඇති බව අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදුකරමින් පවතින රියැදුරු ධාවන පරීක්‍ෂණවලදී තවදුරටත් අක්‍රමිකතා සිදුවන්නේ නම්, අදාළ පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමේ බලය ලංකා ගමනාගමන මණ්ඩලයට පැවරීමට සිදුවන බවද ඔහු සදහන් කර සිටියා.
රජයෙන් වැටුප් ලබන නිලධාරීන්ට අල්ලස් දීම මෙන්ම ඔවුන් විසින් අල්ලස් ලබාගැනීමද නීතිවිරෝධී වන බවට එහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, නීත්‍යනුකූල ලෙස තම කටයුතු කරගෙන යන ලෙස රියැදුරු පුහුණු පාසල්වලින් සහ අදාළ පරීක්‍ෂකවරුන්ගෙන් ඉල්ලා සිටින බවද පවසා සිටියේය.
ඒ අනුව නීතියට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්‍ෂකවරුන්ට මෙන්ම රියැදුරු පුහුණු පාසල්වලටද එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, නාරහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී ඊයේ (16දා) පැවති සමස්ථ ලංකා රියදුරු පාසල් සංගමයේ වාර්ෂික මහා සම්මේලනය අමතමිනි.
උත්සව සභාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,
සුදුසුකම් නොලද, විධිමත් පුහුණුවක් නොමැති ඇතැම් අයදුම්කරුවන් රියැදුරු පුහුණු පාසල්වලට මුදල් ගෙවනවා ට්‍රයල් පෙන්වන්න. රියදුරු පුහුණු පාසල් පරීක්‍ෂකවරුන්ට අල්ලස් ගෙවනවා ඒ අයදුම්කරුවන් සමත් කරවන්න කියලා.
රජයෙන් වැටුප් ගන්න කිසිම සේවකයෙක්ට බෑ අමතර මුදල් ගන්න. අල්ලස් දීම වගේම අල්ලස් ලබාගැනීමද නීතිවිරෝධී දෙයක්.
රියැදුරු පුහුණු පාසලක වගකීම විය යුත්තේ නිසි පරිදි පුහුණුව ලබාදීම සහ නුපුහුණු නම් තවදුරටත් පුහුණුව ලබාදී අයදුම්කරුවන් පරීක්‍ෂණවලට යොමු කිරීමයි
පසුගිය කාලයේ සී.ටී.බී. එක මගින් මෙම පරීක්‍ෂණය පවත්වා තිබෙනවා. නමුත් ඒක මේ වනවිට අත්හිටුවා තිබෙනවා. නමුත් තවමත් එය කරගෙන යාමේ හැකියාවත් තිබෙනවා.
“අක්‍රමිකතා දිගින් දිගටම සිදු වුණොත් සී.ටී.බී. එකේ සහාය ලබාගැනීමට අපට සිදු වෙනවා. ඒ තත්ත්වය උදාකර නොගෙන තමන්ගේ කටයුතු විධිමත්ව කරගෙන යන ලෙස මම රියැදුරු පුහුණු පාසල්වලින් වගේම පරීක්‍ෂකවරුන්ගෙන්ද ඉල්ලා සිටිනවා” යනුවෙන්ද පවසා සිටියේය.