අපේ රටේ වෙරළ තීරයේ පමණක් වසරකට ප්ලාස්ටික්, පොලිතීන් කිලෝ ග්‍රෑම් ලක්ෂ 326ක් පමණ එකතු වන බවත්, ඉන් 99%ක්ම මුහුදට එක් වන බවත් ශ්‍රී ලංකා සමුද්‍ර දූෂණ ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.

මේ අධ්‍යයනය අනුව අපේ රටේ සියලු වෙරළ තීරවල සතියකට ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්‍රෑම් ලක්ෂ 6ක් එකතු වන බවත් ඔහු පවසයි.

මේ අතර කොළඹ, ගාල්ල, මාතර, මහනුවර වැනි ප්‍රදේශවල ප්ලාස්ටික් හා පොලිතීන් බහුලව බැහැර කරන නමුත් ඒවා නිරන්තරයෙන්ම එකතු කරන නිසා අපට ඒවා දකින්නට නොලැබෙන බව ආචාර්ය ටර්නි පවසයි.

පසුගිය වසරේ සමුද්‍ර දූෂණ ආරක්ෂණ අධිකාරිය කළ සමීක්ෂණයක් අනුව වෙරළේ කිලෝ මීටර 98ක් ඇතුළත ප්ලාස්ටික් හා පොලිතීන් කිලෝ ග්රෑම් 36,000ක් තිබුණු බවත්, ප්ලාස්ටික් බෝතල් 106,000ක් හා සිලිසිලි බෑග 31000ක් මෙන්ම ප්ලාස්ටික් කැබලි 15,000ක් තිබූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එහෙත් අපේ වෙරළ තීරයේ එකතු වන ප්ලාස්ටික් ප්‍රමාණ එකතු කිරීමට මානව සම්පත් නැති බැවින් මේ ප්ලාස්ටික් කිලෝ ග්‍රෑම් ලක්ෂ 366ම මහ මුහුදට එකතු වීමට වැඩි අවදානමක් ඇති බවද පෙන්වා දුන්නේය.