සත්‍ය කතා ලෙස අපට නිතර ම අසන්නට ලැබෙන්නේ දුක්‌බර අවසානයන් සහිත කතාවන් ය. මේ කියන කතාවේ කතා නායිකාව එලෙස දුක්‌මුසු අවසානයකට උරුමකම් කී අයෙකු නොවේ.
නීලමණී වතුකරයේ දෙමළ කෙල්ලකි. එහෙත් ඈ ළඟ දෙමළ පෙනුමක් තිබුණේ නැත. ඇය ද්‍රවිඩ යෑයි හඳුනා ගත හැකි වූයේ නළලෙහි වූ කළු තිලකය නිසාය. වතුකරයට උරුම වූ දුගීකම ඇය සහ ඇගේ පවුලට ද උරුම වී තිබුණි. දුගී බව නිසා ම ඇය නිවෙසක මෙහෙකාරකමට ගියා ය. එය විශ්වවිද්‍යාල පීඨාධිපතිවරයෙකුගේ නිවසකි. ගෙදර සිටියේ පීඨාධිපතිවරයා සහ බිරිඳ පමණි. දෙදෙනා ම සැර පරුෂ නැති යහපත් ගතිගුණ ඇත්තෝ වූහ.
නීලමණීට ඒ ගෙදර වෙනම කාමරයක් ලැබුණි. ඒ කාමරයට සම්බන්ධ කළ නාන කාමරයක් ද වැසි කිළියක් ද තිබුණි. හොඳ ඇඳක් ඇයට ලැබිණි. පීඨාධිපතිවරයාගේ දුව සහ පුතා සිටියේ ඕස්‌ටේ්‍රලියාවේය. පුතා වෛද්‍යවරයෙකි. දියණිය ද උගනිමින් සිටියාය. දූ දරුවන් කිසිවෙකුත් නැති නිවසේ නීලමණීට ලොකු නිදහසක් තිබුණි. සැබවින් ම මේ නිවෙසින් මෙහෙකාරකමට වඩා තැනක් ඇයට ලැබුණි. ඇය හොඳින් මේ ගෙදර කටයුතු කරමින් සිටියා ය.
ලැයිමේ ඇයට තිබුණේ ඉතා දිළිඳු නිවසකි. මීට වඩා හොඳ ගෙයක සිහිනය ඔවුන් තුළ තිබුණි. මව මැද පෙරදිග රැකියාවකට යන්නට සූදානම් වූයේ ඒ සඳහාය. ඒ අනුව මව මැද පෙරදිග රටකට ගියාය. ගෙදර ඉතිරි වූයේ නංගී පමණය. නංගී කුස්‌සියේ කිසියම් කාර්යයකදී අත කපා ගත්තාය. ප්‍රතිඵලය වූයේ ඇගේ වැලමිටට පහළින් සම්පූර්ණයෙන් කපා දැමීමටය. කොළඹ මහ ඉස්‌පිරිතාලයේ නතර කොට සිටි නංගී බලන්නට යන්නට සිටියේ නීලමණී පමණ
නීලමණී තනිවම කොළඹ ගියාය. ගෙදර ස්‌වාමිදුව කොල්ලන්ගේ සටකපටකම් මේ යුවතියට කියා දුන්නාය. ඇය ඒ අවවාද හොඳින් පිළි ගත්තාය. ඈ කොළඹ ගොස් එද්දී බසයේදී ඇයට තරුණයෙක් මුණ ගැසුණි. වමනේ යන බැවින් වීදුරුව ළඟ අසුන ඇය ඉල්ලා සිටියාය. තරුණයා වහා ඇයට අසුන දුන්නේය. ප්‍රේමය ඇරඹුණේ එතැනිනි. දැන් ජංගම දුරකතන ඕනෑ තරම් තිබෙන හෙයින් ප්‍රේමයේ අතු ඉති ලා වැඩෙන්නට වැඩිකල් ගියේ නැත.
විශ්මයජනක දෙය නම් දෙමළ යුවතියට හමු වී ඇත්තේ සිංහල තරුණයෙකු වීමය. ඇය ඔහුට ඇත්තම කීවාය.
” මම දෙමළ, මම ඉන්නෙ ගෙදරක වැඩ කාරකමක, අපේ ගෙවල් තියෙන්නෙ වතු ලැයිමක. කොටින්ම අපි හරිම දුප්පත් මිනිස්‌සු.
තරුණයා නොසැලී සියල්ල අසා සිටියේය.
“ඒකට කමක් නෑ. මං ඔයාට කැමතියි. සාමාන්‍ය සම්ප්‍රදායේ කතාවල හැටියට නම් මෙතැනදී සිදුවන්නේ මේ කොල්ලා මේ දෙමළ යුවතිය වසඟයට ගෙන ඇගෙන් ගත හැකි සියලු ප්‍රයෝජන ලබා ගෙන ඇය අත හැර දැමීමය.
එසේත් නැත්නම් අපේ සිංහල දෙමළකම ප්‍රශ්නයක්. ඒ නිසා මට බෑ යෑයි කියමින් කෙල්ල අතහැර යැමට කොල්ලාට ඕනෑ තරම් ඉඩකඩ තිබුණි. එහෙත් මේ තරුණයා එසේ කළේ නැත. ඇගේ දෙමළකම ඔහු සැලකුවේ නැත.
“අපි කසාද බඳිමු.”
දෙමළ තරුණිය විශ්මයට පත් වූවාය. නමුත් ඉතා කුඩාවට මංගල්‍යක් ගත් ඔහු යුවතිය විවාහ කර ගත්තේය. දැන් මේ යුවල පීඨාධිපතිවරයාගේ ගමට අල්ලපු ගමෙහි කුඩා නිවසක පදිංචි වී සිටී. සංහිදියාව සහජීවනය සඳහා රජය වෙනම අමාත්‍යාංශ පිහිටුවා තිබේ. ජාතික සමඟිය සඳහා විශාල ව්‍යාපෘති සකස්‌කොට දියත් කරයි. එහෙත් ඒවා උත්සවශ්‍රීයට පමණක් සීමාවේ.
නමුත් මේ සිංහල තරුණයා නීලමණී නම් දෙමළ තරුණිය සමඟ විවාහ වූ පුවත සාමයේ සහ සංහිදියාවේ ව්‍යාපෘතිවල කිසිදු තැනක ලියෑවී නැත.
* චන්ද්‍රසිරි දොඩන්ගොඩ