දැරියගේ ස්වශන මාර්ගයේ කවුපි ඇටය සිර වී ඇති බවයි වාර්තා වුණේ.

කවුපි ඇටයක් සිර වී අවුරුදු එකහමාරේ දරුවෙකු මිය ගිය පුවතක් ගාල්ල ප්‍රදේශයන් වාර්තා වනවා. මියගොස් ඇත්තේ ඔඹරහෙනගෙදර, අතුලවිල හොරන්ගල්ල තල්ගස්විල ප්‍රදේශයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ එසදි අයන්සා නැමති දැරියකි. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති හදිසි මරණ පරික්ෂණයකදී මේ බව අනාවරණය වුණා.

“දැරිය මගේ ලොකු දුව. මගේ බිරිඳ තමයි දරුවන් දෙදෙනාවම බලා ගත්තේ. බිරිඳ උදේ දරුවාට බත්දෙන්න හැදුවා. නමුත් බත් කෑවෙ නැහැ. පසුව බිරිඳ කවුපි ඇට තැම්බුවා. උදැසන 9.00 ට පමණ බිරිඳ සාලයේ ඉදගෙන පොඩි හැන්දකින් ලොකු දරුවට කවුපි ඇට කැව්වා. එකපාරට දරුවාට කැස්සක් අවා. දරුවාට කැස්ස වැඩි නිසා තෙරුණා එය හිස්මොලයේ ගියා කියලා. අපි දරුවාගේ පිටට තට්ටු කළා. දරුවාගේ කැස්ස අඩු වුනා. දරුවා ඉක්මනින්ම රෝහලට රැගෙන ගියා. හෙදි නිලධාරිණිය දරුවාගේ පිටට තට්ටුකොට බැලුවා. වෛද්‍යවරයෙක්ද ආවා. දරුවා කරාපිටිය රෝහලට මාරු කළා. හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී දරුවා මියගියා.” හදිසි මරණ පරික්ෂණයේ දී සාක්ෂි ලබාදෙමින් මියගිය දැරියගේ පියා වන චාමර මදුරංග (29) නැමැත්තා එසේ සඳහන් කර තිබුණා.

පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඩී වීරරත්න විසින් කළ අතර එහිදී කවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවීමෙන් හුස්ම ගැනීමට අපහසුවීමෙන් මරණය සිදු වී ඇති බවට තින්දු කර තිබෙනවා.

Advertisment