උදා වූ දුරුත්තේ සීතල පිනි කැට කඩා වැටෙන සුන්දර සැඳෑවක ඇය මට මුණ ගැසුණේ මාගේ මිතුරකුගේ මාර්ගයෙනි.

ආදරය නිසා ඇයගේ ජීවිතය විටෙක අපායක්ම විය. ගතින් පමණක් නොව හිතින් ද ගෙවී ගිය හැම මොහොතකම අපමණ දුක් වින්දාය. අහිමි වූ සැබෑ ආදරයක් වෙනුවෙන් අද ද ඇය සිය දහස් වරක් සිතින් හඬා වැටෙන්නීය.

“මම අයෝමා. මේ කතාව ඔයාට කියලා මගේ හිතේ තියන ලොකු බරක් නිදහස් කර ගන්න ඕනෑ. හැබැයි මගේ කතාව අහන ඔබ, මම කියන සමහර දේ විශ්වාස කරන එකක් නැහැ. කමක් නැහැ. මගේ හෘද සාක්ෂියට බොරු කරන්න මට බැහැ. මගේ කතාව අහලා සමහරවිට ඔබ හිතාවි ගැහැනියක් ජීවිතේ මේ තරම්ම දුක් වින්ද ද කියලා. ඇත්තටම ජීවිතයේ මම තරම් දුක් විඳපු ගැහැනියක් තවත් නැතිව ඇති…” අයෝමා කීවේ ජීවිත කාලය පුරාම විඳි වේදනාව පිටකර හරිමින් විය යුතුය.

“ජීවිතය තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි. ඒත් මගේ කරුමෙ ද දන්නේ නැහැ, මට ජීවිතය විඳින්න ලැබුණේ නැහැ. ඒත් මම ජීවිතයට මුහුණදුන්නා”යි අයෝමා කීවේ අපේ කතාවට ආරම්භයක් දෙමිනි.

“කොහෙන් පටන් ගන්න ද කියලා මට හිතා ගන්න බැහැ. ඒත් කොහෙන් හරි පටන් ගන්න එපැයි නේද” අයෝමා කීවේ කෝපි උගුරකින් දෙතොල් උණුසුම් කර ගනිමිනි.

“මේ වෙරළට, ජීවිතය වගේ තෙරක් නොපෙනෙන මහ මුහුදට මම ගොඩාක් ආදරෙයි. ඒකයි මේ වගේ තැනකට ඔයාට එන්න කීවේ.

අයියලා දෙන්නෙක් මල්ලිලා දෙන්නෙක් එක් නංගියෙක් මගේ පවුලේ අම්මා තාත්ත මාත් එක්ක ඔක්කොම අට දෙනෙක්.

අපේ පවුලේ ඔක්කොම ගොවිතැන් වැඩ කළේ. කුලියට තාත්තා ළඟ තිහ හතළිහක් වැඩ කළා. වතු පිටි එක්ක ඒ කාලේ තාත්තට යමක් කමක් තිබුණා. මට මතක පුංචි කාලේ ඉඳලා මගේ කතාව කියන්නම්.

ඔයා විශ්වාස කරන එකක් නැහැ, මාව මේ ලෝකෙට බිහි කරපු අම්මා මට පුංචි කාලේ ඉඳලම සැලකුවේ පරම හතුරෙකුට වගේ. කුඩම්මා කෙනෙක් වගේ. කවුද විශ්වාස කරන්නේ අම්මා කෙනෙක් තමන්ගේ ලේවලින් බිහි කරපු දරුවකුට එහෙම සලකයි කියලා. දෙවියන් පල්ලා විශ්වාස කරන්න, මගේ අම්මා මට සැලකුවේ හතුරෙක් ගාණට” අයෝමා කීවේ දැඩි වේදනාවෙනි.

අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට එහෙම කරයි කියලා කවුද විශ්වාස කරන්නේ? මම අයෝමාගෙන් ඇසුවෙමි.

“ඔව්. ඔයා කියන කතාව හරි… ඒකට හේතුව තමයි අම්මාගේ බඩට මාව ආපු දවසේ ඉඳල මම මෙලොවට බිහිවෙනකම් අම්මා ගොඩක් දුක් විඳලා තියනවා. ඒ වේදනාවට තමයි එයා මගෙන් පළිගත්තේ. හැතැප්ම දෙක තුනක් ඉස්කෝලෙට පයින්ම ගියේ. මට මතක කාලේ ඉඳලම අම්මා මම ගැන හෙව්වේ බැලුවේ නැහැ. අයියලා දෙන්නයි මල්ලිලා දෙන්නයි නංගි ගැන අම්මා හොයලා බලන කොට මට ගොඩක් දුක හිතුණු වාර අනන්තයි. පොඩි කාලේ ඉඳලම මට මගේ ජීවිතය අපායක් වගේ දැනුණේ.

මම ඉස්කෝලේදීම තමයි ලොකු ළමයෙක් වුණේ. මගේ ළඟම යාළුවෝ දෙන්නට කීවාම ඒ අය ගෙදරට පණිවුඩය කියන්න හැදුවා. මම කිව්වා ගෙදරට මොකුත් කියන්න එපා කියලා. කාටවත්ම නොකියා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා. ඒ එද්දි මගේ යාළුවෙක් අපේ ගෙවල් ළඟම ඉන්න නැන්දා කෙනෙකුට විස්තරය කිව්වා. නැන්දා එදාම මාව නෑව්වා. ඒ විදියට තමයි මගේ කොටහළු මංගල්ලේ ගත්තේ. පස්සේ දවසක අර නැන්දා අම්මාට සිද්ධිය කියලා තියනවා.

ඉස්කෝලේ යන්න අවශ්‍ය කිසිම දෙයක් මට ගෙදරින් දුන්නේ නැහැ. අම්මාගේ තාත්තාගේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් තමයි මට ඉස්කෝලෙට අවශ්‍ය දේ අරගෙන දුන්නේ.

අපේ තාත්තට යමක් කමක් තිබුණත් මම ඉස්කෝලේ යද්දි අනුන්ගේ තැන්වල කුලියට වැඩ කළා ඉස්කෝලේ යන්න අවශ්‍ය දේ ගන්න. ඊට අමතරව ගෙදර වැඩපළ කළා. මම ගෙදර හිටියේ වැඩකාරියක් ගාණට. මා ගැන හොයලා බලන්න ගෙදර කවුරුත්ම හිටියේ නැහැ. මම මගේ ගෙදර හිටියේ පිට කෙනෙක් ගාණට.

ඉස්කෝලේ යන කාලේදි වසන්ත අයියා මා ගැන ලොකු උනන්දුවක් තිබුණා. වසන්ත කියන්නේ අපිට ළඟින්ම නෑදෑවෙන කෙනෙක්. නෑකම හරියටම කිව්වොත් මම නැන්දා… එයා පුතා වෙනවා. ඒත් එයා මට වඩා වැඩිමහල්. වසන්ත අයියා හරිම ලස්සනයි. හරියට… අර ටෙලි නාට්‍යයේ නළුවා වගේ. අද කොණ්ඬේ දිගට වවල හිටියට මම ඉස්කෝලේ යන කාලේ කොණ්ඩෙ කොටට කපලා… හරියටම කියනවා නම් චම්පා කල්හාරි වගේ.” අනෝමා කීවේ සිනහසෙමිනි.

“වසන්ත අයියා බයිසිකලෙන් අපේ පිටිපස්සෙන් ආවත් මම වචනයක් දුන්නේ නැහැ. මාත් එක්ක ඉස්කෝලේ ගිය අනිත් කෙල්ලෝ දෙන්නා නම් කීවේ වසන්ත වගේ කොල්ලෙක් අපිට කතා කරනවා නම් අදම පැනල යන්නේ කියලා.

ඇත්තම කීවොත් මට ආදරයක් බැඳීමක් ගැන කිසිම හැඟීමක් තිබුණේ නැහැ. සමහරවිට මම දන්න කාලේ ඉඳලම විඳපු දුක නිසා වෙන්නැති.

කොහොම හරි වසන්ත අයියා දෙන ලියුම් මගදිම බලලා වත්තේ කෙසෙල් ගහක පිත්ත අස්සේ ගහලා එන්නේ.

වසන්ත අයියා එක්ක තියන සම්බන්ධය ගෙදරට ආරංචි වෙලා අම්ම හොඳටම ගැහුවා. අයියලා දෙන්න ගැහුවා වහාම සම්බන්ධෙ නවත්තපන් කියලා. කොටින්ම ගුටි නොකාපු දවසක් නැහැ. වසන්ත අයියට මේ ගැන ආරංචි වෙලා තිබුණා. එතකොට මම ඉස්කෝලෙ දහය පංතියේ. එයා කිව්වේ ගෙදරින් පැනලා එයත් එක්ක යන්න එන්න කියලා.

අපේ ලොකු අයියා මැරයෙක්. මම බය වුණා වසන්ත අයියයි මාවයි මරලා දායි කියලා. මට ඕනෑ වුණේ වසන්ත අයියගේ ජීවිතේ බේර ගන්න.

එක දවසක් වසන්ත අයියාගේ නංගි මට කතා කරලා කිව්වා ගෙදර කවුරුත් නැහැ ටිකක් කතා කරමු කියලා. මමත් එයාගේ කතාව විශ්වාස කරලා වසන්ත අයියගේ ගෙදර ගියා. ගෙදර කවුරුත්ම පේන්න හිටියේ නැහැ. නංගි මාව වසන්ත අයියාගේ කාමරේට එක්කගෙන ගියා. මට කාමරේට වෙලා ටිකක් ඉන්න කියලා නංගි ගෙයි ඇතුළට ගියා. ටික වේලාවකට පස්සේ පිටිපස්සෙන් ඇවිත් වසන්ත අයියා මාව බදාගත්තා. එකම එක පාරක් මූණ ඉඹල කිව්වා ‘කුමාරි ගෙදර යන්න එපා අපේ ගෙදර නවතින්න’ කියලා.

මම එයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ආපහු ගෙදර ගියා. එදත් ගෙදරින් හොඳටම ගුටි කෑවා.

මට මොන දේ කළත් අම්මා තාත්තා අයියලා දෙන්න ගැන ලොකු ගෞරවයක් බයක් මගේ හිතේ තිබුණා. අයියලා දෙන්න ඉස්සරහ මූණ බලාගෙන එක වචනයක් කතා කරන්න හයියක් මට තිබුණේ නැහැ. ඒ තරම් බයක් මට තිබුණේ එයාලා ගැන.

වසන්ත අයියා එක්ක යන්න කියලා කොච්චර කීවත් මට ගෙදර දාලා එයා එක්ක යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

එහෙම තිබුණත් කළේ නැහැ. ඒකට හේතුව මගේ තිබුණ බය වගේම ආදරේ ගැන ඒ තරම් හැඟීමක් නොතිබුණ නිසා වෙන්නැති. අද කොල්ලෝ වගේ නෙවෙයි වසන්ත අයියා නියම පිරිමියෙක්. මගේ අතින් බලෙන් අල්ලලා නැහැ. අදටත් එදා කාමරේදි මගේ මූණ ඉඹපු එක විතරමයි. ඒ තරම් පවිත්‍ර ආදරයක් මට කළේ.

මම වසන්ත අයියට ලියුම් ලියලා පොතේ පිට කවරේ ඇතුළේ දාලා ස්ටෙප්ලර් කටු ගහලා තියන්නේ ගෙදරට ලියුම අහුවේවි කියලා බයට.

එක දවසක් මම ලියුම පොත අස්සේ දානවා හොරෙන් බලන් ඉඳපු අම්මයි තාත්තයි ඒ ලියුම් අරගෙන මේ මඟුල කවදාවත් කෙරෙන්නේ නැහැ කියලා ලියලා. ඒක මම දන්නේ වසන්ත අයියා ලියුම බලලා කිව්වට පස්සේ.

වසන්ත අයියාගේ තාත්තා අපේ පවුල්වලට ළඟ නෑදෑකමක් තිබුණ වැදගත් විදියට ජීවත් වුණ කෙනෙක්. නමුත් එයාගේ අම්මා ඒ ගෙදර වැඩකාරකම් කරපු වැඩකාරි නිසයි අපේ සම්බන්ධයට ගෙදර විරුද්ධ. වසන්ත අයියගේ තාත්තා මුලින්ම බැඳපු නැන්දා මැරුණම තමයි ගෙදර වැඩ කරපු ඒ නැන්දා බැඳලා තියෙන්නේ.

මම ඊට පස්සේ කුලී වැඩ කරන්න ගත්තා… මම ඉස්කෝලෙ යන කාලේ රටේම කලබල. අපේ පැත්තේ දරුණුවටම තිබුණා. මම කුලී වැඩ හොයාගෙන ගියේ බයිසිකලෙන්. මහා කැලෑවේ ඕනෑ තැනක බය නැතිව ගියා. හැම තැනම ගියේ බයිසිකලෙන්. හරියට පිරිමියෙක් ගාණට වැඩ කළේ. ඒ තත්ත්වයට මාව පත්වුණේ මම විඳපු අනන්ත දුක…” කියමින් අයෝමා කල්පනාවට වැටුණාය.

“මම ජේ.වී.පී කරනවා කියන ආරංචිය ගමේ පැතිරුණා. ඇත්තට මම කරපු ජේ.වී.පියක් නැහැ. පොතක් ලියන්න තරම් ගොඩක් ප්‍රශ්න මට ආවා. මම ගම දාලා ටවුමේ නෑදෑ ගෙදරකට ගිහින් ටවුමේ ඉස්කෝලෙකට ගියේ උසස් පෙළ කරන්න. මට ලියන්න පොතක් පෑනක් ඇඳුමක් කිසිම දෙයක් හරියට තිබුණේ නැහැ. මට ඒ ඉස්කෝලේ ශිෂ්‍ය නායක අයියා උදව් කළා. එයා මුළු ඉස්කෝලෙටම කියලා තිබුණේ එයාගේ නංගි කෙනෙක් කියලා. ඒ නිසා මට ඉස්කෝලේදී රැග් කළේ නැහැ. ඒ අයියා මට කිව්වේ හොඳට ඉගෙන ගන්න නංගි කියලා. පොත්පත් පවා මට දුන්නා.

මම ගමෙන් ටවුමට ආවයින් පස්සේ ගමේ ප්‍රචාරය වෙලා තිබුණේ මම හමුදාවට පොලිසියට බයේ ගමෙන් පැනල ආවා කියලා. මම කවදාවත් ජේ.වී.පී. කළේ නැහැ. පස්සේ ආරංචි වුණා අර ශිෂ්‍ය නායක අයියා නම් ජේ.වී.පී. කියලා.

මම ටවුමේ ඉඳලා ගෙදර ආවම, ඒ ආරංචිය හමුදාවට පොලිසියට ගිහින් එදාම ගේ වටකරනවා.

කොහොම හරි මේ කාලේ මේ වෙද්දී මම වෙනම ඉඩම් කෑල්ලක පොඩි පැලක් හදාගෙන පදිංචියට ගියා. ඒක අපිට අයිති ඉඩමක්. නිවාඩු දවස්වලට මම ඒකේ ගොවිතැන් කළා. මම තනියම ජීවත්වෙන්න පටන්ගත්තේ පොඩි කාලේ ඉඳලාම කිව්වොත් ඔයා පිළිගන්නව ද?” යි අයෝමා මගෙන් විමසුවාය.

“මම ටවුමේ ඉස්කෝලේ ගිහින් ගෙදර ආවම නගින්නේ වත්තේ ලොකුම ගහට. ඒ ගහට නැග්ගම හමුදාව, පොලිසිය එනවා හොඳට පේනවා. කොටින්ම මට දවාලට රෑට ගෙදර නිදාගන්න නිදහසක් තිබුණේ නැහැ. මම මරණය අතේ තියාගෙන බයේ ජීවත් වුණේ. ඒ දවස්වලත් වසන්ත අයියා අනන්ත කිව්වේ එයා ළඟට එන්න කියලා. නමුත් මම ගියේ නැහැ.

කොහොම හරි අපේ ලොකු අයියා හමුදාවෙන් හරි පොලිසියෙන් හරි අරගෙන ගිහින් තිබුණා. ගෙදර හැමෝම එයාව ඉන්න තැනක් ගැන හෙව්වා. ඒත් ආරංචියක් ලැබුණේ නැහැ.

මොනව කළත් මගේ අයියා මට ලොකුයි. මම එයා ගැන හැම තැනම හෙව්වා. එක දවසක් ආරංචියක් ලැබුණා එයා ගැන. ඒක මට කිව්වේ අයියගේ යාළුවෙක් කියලා කියපු කෙනෙක්.

‘නංගි අයියා මේ තැනක ඉන්නවා. ඔයා කැමති නම් මාත් එක්ක ගිහින් හමුවෙන්න පුළුවන්’ ඒ අයියා මට කිව්වා. මම දෙපාරක් නොහිතා අයියා බලන්න ඒ අයියා එක්ක ගියා.

ටවුමට ටිකක් එහා පාළු හරියක තිබුණ ගෙදරකට මාව එක්කගෙන ගියා. එතන අයියා හිටියේ නැහැ. එතන හිටපු තිරිසන්නු තුන් හතර දෙනාම මාව මාරුවෙන් මාරුවට දූෂණය කළා…

මම ඒ අයියලාට වැඳලා අඬ අඬා කිව්වා මට කරදර කරන්න එපා කියලා… ඒත් උන් හතරදෙනා කිසිම හිතක් පපුවක් නැති ගාණට හැසිරුණේ…” ඇය කීවේ කෝපයෙනි.

ඇයි අර ඔයා එක්කගෙන ගිය කෙනා අයියාගේ යාළුවෙක් නෙවෙයි ද? මම ඇසුවෙමි.

“මොන පිස්සු ද? ඒ මිනිහා අයියාගේ යාළුවෙක් නෙවෙයි. ආරක්‍ෂක අංශයක කට්ටියක් කියලා තමයි මට පස්සේ ආරංචි වුණේ.

මම මට වෙච්ච කරදරේ කාටවත්ම කිව්වේ නැහැ. මම ආපහු ගමට ආවේ බයේ. එදා මගදී වසන්ත අයියා මාව මුණගැහිලා කිව්වේ දැන්වත් එයා කියන දේ අහල එයා ළඟට එන්න කියලා.”

දෙයියනේ මට දැන් එයා ළඟට කොහොමටවත් යන්න බැහැ. කොහොම ද එයාට මට වුණ මේ කරදරේ කියන්නේ…

“වසන්ත අයියා මාත් එක්ක තිබුණ සම්බන්ධයට එයාගේ අම්මා උඩින්ම කැමැති වෙලා හිටියේ. වසන්ත අයියා එක දවසක් හමුවෙලා මට කිව්වා එයාට වෙන කෙනෙක් කසාද බඳින්න කියලා නැන්දා බලකරනවා කියලා. ඒ නිසා දැන්වත් එයා එක්ක යන්න එන්න කියලා. එකට මම කැමති වුණේ නැහැ.

ඔයා විශ්වාස කරන්න. අපි දෙන්නට හමුවෙලා කතාකරන්න ඉඩක් දුන්නේ නැහැ. ඊටත් අපේ ගෙදරින් මට හොඳටම ගුටිකන්න වෙනවා කියලා එයා දන්නවා. මොකද මට ගෙදරින් ගහන හැම දවසකම එයා ඒ ගැන දන්නවා. අපි දෙන්නා පාරේ දෙපැත්තට වෙලා දෙන්නගේ මූණු බලාගෙන පැයක් දෙකක් ඉඳලා ගෙදර යන්නේ වචනයක්වත් කතා නොකර. ඒත් අපි ඇස්වලින් කතා කරගන්නවා.

වසන්ත අයියා මට දවසක් කතා කළා. කතා කරලා කිව්වේ එයා ළඟදි බඳිනවා, මටත් වෙන කෙනෙක් එක්ක විවාහ වෙන්න කියලා කිව්වා. මම හා කියලා කිව්වා. එහෙම කිව්වේ කැමැත්තකින් නෙවෙයි. වසන්ත අයියා ගැන මගේ හිතේ තියන ආදරය නිසා.

සතියකට දෙකකට පස්සේ එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා කියලා මට ආරංචි වුණා. මට දුක හිතුණේ නැහැ. මට ඕනෑ වුණේ එයාගේ සතුට විතරයි. හැබැයි එයාගේ ඒ විවාහය නමට විතරයි කියලා ආරංචි වුණා.

මේකට නැන්දයි අර වසන්ත අයියා බැඳපු නෝනයි වෛර බැඳගත්තේ මාත් එක්ක. බැරිම තැන මම කොළඹ රස්සාවකට ආවා.

ගාමන්ට් එකක මම වැඩ කළේ. මාස කීපයක් වැඩ කරනකොට මට උණ හැදිලා ගොඩාක් අසනීප වුණා. දවස් ගාණක් කොළඹ ඉස්පිරිතාලේ නතර වෙලා හිටියා. බලෙන් ටිකට් කපාගෙන බෝඩිමට ඇවිත් ආපසු වැඩට ගියා. මගේ අසනීපය එන්න එන්න වැඩි වුණා.

මට පණිවුඩයක් ලැබුණා අම්මට හොඳටම අමාරුයි කියලා. මාව එක්කගෙන යන්න කොළඹට ඇවිත් හිටියේ තාත්තා ළඟ කුලියට වැඩ කරපු සරත්. එයා ඒ දවස්වල මට බැල්ම දාගෙන හිටියේ. තාත්තාගෙන් මාව ඉල්ලල කම්මුල් පාරකුත් කාලා තිබුණා.

අම්මගේ අසනීපය වගේම මගේ අසනීපය නිසා මම සරත් එක්ක ගෙදර යන්න ගාමන්ට් එකෙන් පිටවුණේ කූඩුවෙන් එළියට ආ කිරිල්ලියක් ගාණට.
කොළඹින් බස් එකක නැගලා එනකොට මට තේරුණා, මේ ගෙදර නෙවෙයි යන්නේ කියලා. සරත්ගෙන් ඒ ගැන ඇහුවම කිව්වා එයාලගෙ ගෙදරට පඩි සල්ලි දීලා ගමට යමු කියලා. මම බයක් නැතිව එයා එක්ක ගියා.

සරත් මාව එක්කගෙන ගියේ වැල්ලේ මාළු වාඩියකට. එයාගෙන් ඇහුවම කිව්වේ එයාගේ නංගිගේ ගෙදර කියලා. ඒ ගෙදරට ගිහින් මාව බාර දුන්නේ ඒ සැරපරුෂ නංගි කියන කෙනාට.”

“ඊට පස්සේ මොකද වුණේ..?” මම ඇසුවෙමි.

“සරත් කිව්වා මට ආපහු යන්න දෙන්නෙ නැහැ කියලා. මම ඇහුව ඇයි එහෙම කරන්නේ කියලා. එයා කිව්වා මගෙනුයි ගෙදර අයගෙනුයි පළිගන්න තමයි මෙහෙම කළේ කියලා. මට දෙයියෝ සිහි වුණා.

ඒ ගෙදර මාව බලෙන් තියාගත්තේ. යන්න හැදුවොත් මරණව කියල තර්ජනය කළා. මගේ අසනීපය තව වැඩි වුණා. එදා රාත්‍රී ආපහු හොඳටම උණ ගැනුණා. මම බිම පැදුරු කඩමල්ලක නිදාගත්තේ ගැහි ගැහි ගුලිවෙලා. උණ වැඩිකමට මාව වෙව්ලනවා.

මම හිටියේ නින්දත් නොනින්දත් අතරේ. එදා රෑ සරත් මාව එයාගේ කරගත්තේ මං අසිහියෙන් වගේ හිටියදී…

මට දිගටම ඒ ගෙදර හිරකාරියෙක් වෙලා ඉන්න සිද්ධ වුණා. ඔයා දන්නව ද… ඔයා විශ්වාස කරනව ද ඒ ගෙදර අර නංගි කියන ගෑනි පවුල් කෑවේ එයාගෙම වැඩිමහල් අයියා එක්ක කියලා දැනගත්තේ දින කීපයකට පස්සේ. විශ්වාස කරන්න පුළුවන් ද? මේ රට ඇතුළෙ මෙහෙම වෙනවා කියලා…

මම මේ කියන කතාවේ කිසි තැනක බොරුවක් කියන්නේ නැහැ. මම මේ කියන්නෙ මම විඳපු තිත්ත ඇත්ත.”

අයෝමා කීවේ දුක්මුසු හඬිනි… ඒත් ඇයගේ කටහඬ තුළ ගැඹුරු අධිෂ්ඨානයක් ඇතැයි විටෙක මට සිතේ. ඇය අප රටේ එක් ගැහැනියක් පමණි.

“මේ වගේ දුක් කන්දරාවක් විඳපු ගැහැනියක් තවත් නැතිව ඇති…” අයෝමා සුපුරුදු ලෙස කතාව යළි ආරම්භ කරමින් කීවාය.

“කොහොම හරි සරත්ට දාව දුවෙක් හා පුතෙක් මට ඉපදුණා. දුව වැඩිමලා. හැබැයි විවාහය ලියාපදිංචි කළේ නැහැ. සරත්ට නොවේ ඒක කරන්න මටත් ඕනෑකමක් තිබුණේ නැහැ. හැබැයි එයා මට කිව්වට වඩා අවුරුදු කීපයක් වැඩිමහල්. මට කිව්වේ එයාගේ බොරු උපන් දිනයක්. ඒ මිනිහට දාව දරුවන් දෙදෙනකු ඉපදිලාත් මේ මිනිහා ඇත්ත කිව්වේ නැහැ.

කොහොම හරි දරුවෝ දෙන්නගේ උප්පැන්න සහතිකයට දුන්නේ සරත්ගේ නම. දරුවෝ ලැබෙන්න ඉන්නකොට මම අපාදුක් වින්ඳා…. වැල්ලේ මාළු දැල් ඇද්දා… කරවල වේළුවා… මොනවද නොකළේ… ජීවත්වෙන්න හැම කුලී වැඩක්ම කළා. මේසන් බාස්ලාගේ අත්වැඩකාරියක් හැටියට වැඩ කළා. මගේ අම්මෝ… වෙළෙඳාම් කළා. මොනදේ වුණත් මොන බාධක ආවත් මම ජීවිතේට මුහුණ දුන්නා. අභියෝගවලට බය වුණේ නැහැ.

දුවයි, පුතයි අතරට තව දරුවෙක් මගේ බඩට ආවා. මම සරත් එක්ක දීග කෑවේ ආසාවකින් නෙවෙයි. මට තිබුණේ අප්‍රසන්නකමක්… අපේ තාත්තා ළඟ කුලියට වැඩ කරපු සරත්… මගෙන් අපේ පවුලෙන් පළිගත්තේ මාව බිල්ලට අරගෙන… බලන්න මොනතරම් වෛරයක් ද කියලා.

දවසක මම සරත්ට කිව්වා අපේ ගමට යමු කියලා. අපි දවසක් මහගෙදරට ගියා. දෙයියනේ සරත් කියල තියෙන්නේ මහා බොරුවක්. අම්මට අසනීපය කියලා මාව ගෙන්න ගත්තේ මිනිහා හොඳට ප්ලෑන් කරලා. මම ගෙදරට ගිය එකට අම්මා කැමති නැහැ. තාත්තා කිව්වේ දැන් කරන්න දෙයක් නැහැ කියලා. අපි මහගෙදර පදිංචි වුණා.

එතකොට තමයි දැන ගත්තේ භීෂණ කාලේදී තාත්ත කපල කොටල අනූනවයෙන් ජීවිතය බේරගෙන තියන්නේ කියලා. අපේ පවුලට ජේවීපී එකෙන් වගේම හමුදාවෙන් පොලිසියෙන් හරියට කරදර වුණා.

අවුරුදු දහනමය විස්ස වෙනවිට මම දරුවො තුන්දෙනෙකුගේ අම්මා කෙනෙක්. හැමෝම මට අනුකම්පා කළා. උදව් කළා. හැබැයි අපේ පවුලේ අය නෑදෑයෝ අපිව පවුලෙන් ඈත් කළා… කොටින්ම අම්මලා ගෙවල් අත හැරලා ගියා. ඇත්තටම මම ජේ.වී.පී. කළේ නැහැ. මට ඕනෑ වුණේ ජීවත් වෙන්න. කොහොම හරි වසන්ත අයියට දරුවෝ හිටියේ නැහැ. වසන්ත අයියාගේ අම්මයි එයාගේ නෝනයි නිතරම මා එක්ක රණ්ඩුවට ආවා. අපි මහගෙදර අත ඇරල වසන්ත අයියා හොයල දීපු ගෙදරකට පදිංචියට ගියා.

මම ජීවත් වෙන්න කඩයප්පන් හදල කඩවලට දැම්මා. අපි මහගෙදර අතඇරල ගියේ වසන්ත අයියලාගේ මහගෙවල් කිට්ටුවම තිබුණ ගෙදරකට. ඒ ගෙදරටත් ඇවිත් නැන්දයි එයාගේ නෝනයි රණ්ඩු වුණා.

වසන්ත අයියා කඬේක වැඩ කළේ. අත් දිගට දාලා සුදු සරම ඇඳලා ලස්සනට නීට් එකට එයා අඳිනවා. ගමේ ටවුමේ හැමෝගෙම පිළිගැනීමක් එයාට තිබුණා. එයා මගෙන් කවදාවත් අයුතු ප්‍රයෝජන ගත්තේ නැහැ. උත්සාහ කළෙත් නැහැ. පුදුම අවංක ආදරයක් තිබුණ කෙනෙක්…

ඔයා දන්නවද… මම ඉඳිආප්ප හදලා කඬේට විකුණන්න තිබ්බම එයා අම්මා හදපු ඉඳිආප්ප යටට වෙන්න තියලා මගේ ඉඳිආප්ප උඩට තියලා විකුණන්නේ. මම කිව්වේ එක උදාහරණයක් විතරයි. එයා මම ගැන කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනෙක් ද… සරත් ගෙදර හිටියත් රස්සාවක් කළේ නැහැ. නිකමෙක් වගේ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා. මම දිවා රෑ නොබලා කඩයප්පන් හදලා කඩවලට දැම්මා. පොළවල්වලට ගිහින් බඩු වික්කා. ඒ දරුවෝ තුන්දෙනා ජීවත් කරවන්න… ඒ තුන්දෙනාට උගන්නන්න… මම විඳපු දුක් එයාලා තුන්දෙනාට දෙන්න මම කැමති වුණේ නැහැ. මට ඕනෑ වුණේ දරුවන්ට හොඳින් උගන්නලා, හොඳ සමාජයකට දාන්න.

ඒ දවස්වල වසන්ත අයියා අපේ ගේ ළඟට ඇවිත් ගේ ඉස්සරහ බයිසිකලේ වාඩිවෙලා ඉඳගෙන කකුලක් බිම ගහගෙන කතා කරලා යනවා. කවුරුත් ගෙදර නැත්නම් ගේ ඇතුළට ආවේ නැහැ. එයා තමයි ජීවත්වෙන්න අපිට උදව් කළේ. අවශ්‍ය දේවල් ගෙනැත් දුන්නා. ඒත් මම කිව්වා අයියේ ඔයා එන්න එපා, උදව් කරන්න එපා, ඔයාගේ පවුල් ජීවිතේ විනාශ වෙයි කියලා. එයා කිව්වා විනාශ වෙන්න මට පවුලක් නැහැ කියලා. එයා ඒ වෙනකොටත් ආදරේ කළේ මට. දවසක් මට කිව්වා දරුවා වඩාගන්න ආසයි කියලා. මම ඒකට විරුද්ධ වුණේ නැහැ. තව දවසක් දරුවො තුන් දෙනා එයාගේ ගෙදර ගෙනිහින් කවල පොවල නාවල එක්කගෙන ආවා. වසන්ත අයියගේ අම්මයි නෝනයි මට ඒ ගෙදර ඉන්න දුන්නේ නැහැ. නිතරම රණ්ඩුවට ආවා. මම ඒ ගෙදර අතඇරලා ගොඩක් දුරක පදිංචියට ගියේ වසන්ත අයියටත් නොකියා හොර රහසේ. ඒ එයාගේ පවුල් ජීවිතයට මම බාධකයක් වෙයි කියලා හිතාගෙන…

මම වෙන පළාතක පදිංචියට ගිහින් ටික දවසකට පස්සේ හැමදාම රෑට වසන්ත අයියා හීනෙන් පේන්න පටන් ගත්තා. දවස් කීපයක්ම එක දිගටම හීනෙන් එයා ඇවිත් මට කථා කළා. දවසක් රෑ හීනෙන් මම දැක්කා වසන්ත අයියලාගේ ගෙවල් ළඟ පිට්ටනියක අලුතින්ම හදපු සොහොනක්. මිනියක් වළලපු තැනක්. ඒ ළඟ ගහක මගේ ෆොටෝ එකක් එල්ලල මම දැක්කා. ඒ ෆොටෝ එක බලාගෙන වසන්ත අයියා හොඳටම අඬනවා මම දැක්කා…මේ හීනෙ දැක්කයින් පස්සේ මගේ හිත කිව්වේ වසන්ත අයියා ගැන හොයලා බලන්න ගමට යන්නම කියලා. සතියකට විතර පස්සේ මම ගමට ගියා. මට කෙනෙක් හමුවෙලා විස්තරේ කිව්වා. මම වසන්ත අයියලාගේ ගෙදරට ගියා. නැන්දා මාව බදාගෙන හොඳටම ඇඬුවා. එයා මගෙන් සමාව ඉල්ලුවා.

නැන්ද මට කතාව කිව්වා. මම ගෙවල් අතහැරලා ගියායින් පස්සේ වසන්ත අයියා දුක දරාගන්න බැරිව වහ බීලා. අවසාන මොහොතෙත් ඉස්පිරිතාලේ ඇඳේ ඉඳගෙන මට කතා කළා කියලා නැන්දා මට කිව්වා.

දෙයියනේ… එයාගේ අන්තිම මොහොතේ මට එයා ළඟ ඉන්න බැරි වුණා. මම නිසයි එයාට මේ දේ වුණේ… මට දවස් ගාණක් හීනෙන් පෙන්නුවේ මේ වසන්ත අයියට වෙන විපත.

හීනෙ දැක්ක විදියට මම අලුත් පිට්ටනිය ළඟට ගියා. ඒ සොහොනේ මුලින්ම වළදාලා තියෙන්නේ වසන්ත අයියා. මම එයාගේ සොහොන ළඟ ඉඳගෙන ඇති තරම් ඇඬුවා… නැන්දත් සොහොන ළඟට ඇවිත් තිබුණා.

කොහොම හරි අදටත් මට දැනෙන්නේ මම තමයි වසන්ත අයියාගේ මරණයට වගකියන්න ඕනෑ කියලා. මට දැනෙන්නේ මම එයාගේ බෙල්ල මිරිකලා මැරුවා වගේ හැඟීමක්. මට ඒ හැඟීම මගේ ජීවිතෙන් කවදාවත් අමතක කරන්න බැහැ.

මම හිතාගත්තා මේ ආත්මේ වසන්ත අයියාගේ ප්‍රාර්ථනාව ඉටුකරන්න මට බැරි වුණත් ලබන ආත්මෙ හරි ඒක ඉෂ්ට කරනවා කියලා. එයා වෙනුවෙන් පිං දෙනවා… දාන මාන දෙනවා… බුදුන් වැඳලා උදේ හවස පිං දෙනවා… එයා අදටත් මට හීනෙන් ඇවිත් මග පෙන්වනවා. ඔයා විශ්වාස කරයි ද මන්දා… නින්දත් නොනින්දත් අතර කාලය තුළ එයා මට කතා කරනවා.

මට ජීවත් වෙන්න හැමදේටම මග පෙන්වන්නේ වසන්ත අයියා. එයා මැරුණ කියලා මට හිතෙන්නේ නැහැ. මැරිලත් එයා අදටත් මාව ආරක්‍ෂා කරනවා. මගේ වැඩවලට මග පෙන්වනවා. එවා සාර්ථක කරලා දෙනවා.

අපේ මහ ගෙදර ඉඩකඩම් විකුණලා දාලා දැන් අම්මයි තාත්තයි දෙන්නම ඉන්නේ මගේ ළඟ. සහෝදර සහෝදරියනුත් විතරක් නෙවෙයි නෑදෑයෝ හිතවත්තු ඕන තරම් මට ඉන්නවා. ඊට පස්සේ මට රජයේ රස්සාවක් ලැබුණා… මට බාධක ආවා වගේම ප්‍රමෝෂන් ලැබුණා… දරුවෝ තුන්දෙනාට හොඳට ඉගැන්නුවා… හොඳ ගෙයක් දොරක් හැදුවා… ලොකු දුව ළඟදී විවාහ වෙනවා. ඒ හොඳ පවුලකින්… තාත්තා කෙනෙක් නමට හරි ඉන්න ඕනෑ නිසා සරත් ආපහු ගෙදරට ගෙන්න ගත්තා. එයා දැන් අසරණ වෙලා ගෙදරටම වෙලා ඉන්නේ. හැමෝම මට ආදරෙයි. මම වැරදි නැහැ කියලා මගේ අම්ම තාත්තා විතරක් නෙවෙයි පවුලේ අය තේරුම් ගන්නකොට ගොඩාත් ප්‍රමාදයි. මට වෙන්න ඕනැ දේ වෙලා. ඔවුන් ඒ ගැන පසුතැවිලි වෙනවා. මට එහෙම පසුතැවිල්ලක් නැහැ. මට තියන එකම පසුතැවිල්ල මට අච්චර ආදරය කරපු වසන්ත අයියට මම කරපු අසාධාරණය ගැන.