කුඩා දරුවන් මල් වැනිය. සිඟිති හදවත් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් තොරය. එබැවින් දෙවියන්ගේ ඇල්ම බැල්ම කුඩා දරුවන් වෙත නිරන්තරයෙන් යොමුවන බවට ද මතයක් ඇත. ඉකුත් දිනක පුදුම හිතෙන පුවතක් මෙරටින් වාර්තා වන අතර මෙවර සිදුවීමට මුල්වන්නේ මාස හතක් පමණ වයසැති පිරිමි දරුවෙක්ය. එම සිදුවීම පෙළ ගැසෙන්නේ පහත සඳහන් ආකාරයටය.
මොහොමඩ් 29 හැවිරිදි දෙදරු පියෙකි. මීට මාස 7 කට පමණ පෙර ඔවුන්ගේ පවුලට සාමාජිකයෙක් එක්විය. අලූත උපන් බිළිඳාට නම් තබනු ලබන්නේ යුනුසුෆ් රිස්මාන් ලෙසය. ඒ අනුව ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පිරිස සිවු දෙනෙක්ය. කටාර් දේශයේ රැකියාවක නිරත මොහොමඩ් ඉකුත් ජනවාරි මස පළමුවැනි දින නිවාඩුවට පැමිණෙන්නේ තම ආදරණීය බිරිඳ හා දරුවන් දෙදෙනාගේ සුවදුක් විමසා බැලීමය.
ඒ අනුව සති දෙකකට ආසන්න කාලයක් මාතලේ කළුදාවල පිහිටි නිවසේ සතුටින් ගත කරන ඔහු ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් දෙදෙනා ඉකුත් 13 දා පස්වරුවේ කොළඹ පැමිණීම පිණිස සිය නිවසින් පිටත්ව ඇත. ත්‍රීවීල් රථයකින් කොළඹ බලා පිටත්වන ඔවුන් ක්‍රමයෙන් නිට්ටඹුවට ආසන්න වනවාත් සමග මොහොමඞ්ගේ මව විසින් මොහොමඞ් වෙත දුරකථන ඇමතුමක් ලැබෙන අතර ත්‍රීවීල් රථය මාර්ගයේ අයිනකට වන්නට නතර කරන මොහොමඞ් එම ඇමතුමට පිළිතුර ලබාදෙනවා. ඒ අවස්ථාවේ පිටුපස බැලූ මොහොමඞ්ට දකින්නට ලැබී ඇත්තේ තම සිවු හැවිරිදි දියණිය හා පුතුනුවන් බිරිඳගේ උණුසුමට තුරුළුව ත්‍රීවිල් රථය තුල නිදා සිටින ආකාරයක්ය. එම ස්ථානයේ මඳ වේලාවක් විවේක ගෙන නැවතත් ත්‍රිරෝද රථය පනගන්වනු ලබන්නේ ගමනේ ඉතිරි මඟ ගෙවා දමා ඉක්මනින් කොළඹට ළඟාවීම පිණිසය.
ඒ අනුව ත්‍රිරෝද රථය කෙමෙන් යක්කලට ආසන්න වෙමින් තිබී ඇති අතර මොහොමඞ් ත්‍රීවීල් රථය පදවන අතර රථයේ පසුපස අසුන වෙත දෑස් යොමු කර ඇත්තේ බිරිඳත් දරුවන් දෙදෙනාත් තවදුරටත් නින්දේ පසුවන්නේ දැයි විපරම් කර බැලීම පිණිසය.
මොහොමඞ්ගේ ඉහමොළ රත්වන්නේ එවිටය. එවෙලෙහි ද බිරිඳ සුව නින්දකය. බිරිඳගේ උකුල මත නිදි සුව විඳිමින් සිටි සිඟිත්තා බිරිඳ සමීපයේ නැත. සිදුවී ඇති විපත පිළිබඳ කිසිවක් තේරුම්ගත නොහැකි වූ මොහොමඞ් බිරිඳ අවදිකොට දරුවා පිළිබඳ විමසීය. ඒ අනුව මොහොමඞ්ගේ බිරිඳ වන ෆාතිමා විලාප තබන්නට ගෙන ඇත්තේ දරුවාට සිදුවූ දෙයක් පිළිබඳ කිසිවක් ඇය නොදැන සිටීම හේතුවෙන්ය. ත්‍රිරෝද රථයෙන් බිමට පැන ගන්නා ෆාතිමා පිස්සියක මෙන් මහාමාර්ගයේ පසුපසට දුවන්නට ගැනීමත් සමග ත්‍රිරෝද රථය නැවත නිට්ටඹුව දෙසට රථය ධාවනය කරන්නට ගෙන ඇත්තේ සිඟිත්තාට වූ විපත පිළිබඳ යම් හෝ හෝඩුවාවක් සොයා ගැනීමටය.
ඒ අනුව අතරමඟ මුණගැසෙන පුද්ගලයන්ගෙන් ද සිඟිත්තා ගැන විමසමින් කිලෝමීටර් කිහිපයක් ගමන් කරන ඔවුන්ට තිහාරිය හා මල්වත්ත අතර එක්තරා ස්ථානයකදී දකින්නට ලැබී ඇත්තේ ප්‍රධාන මාර්ගය අද්දර කිසියම් පිරිසක් එක්රැස් වී සිටින ආකාරයක්ය. ඔවුන් වෙත සමීප වන ත්‍රීවීල් රථය ඒ අසල නතර කිරීමත් සමග ඉන් බැස ගන්නා මොහොමඞ් එම පිරිස හමුවේ තමන්ට වූ විපත පවසා සිටින්නේ ගැහෙන හදින් යුතුවය.
මොහොමඞ් හා ඔහුගේ බිරිඳට යම් හෝ සැනසුම් සහගත ආරංචියක් ලැබෙන්නේ එම නන්නාඳුනන පිරිසගෙන් ය. ඒ අනුව ඔවුන් පවසා සිටින්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වැටී සිටි බිළිඳෙක් ඊට ටික වේලාවකට පෙර කිසියම් පුද්ගලයකු විසින් දැක සිඟිත්තාව වතුපිටිවල රෝහලට ඇතුළත් කළ බවක්ය.
සිදුවීම සම්බන්ධව නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාව දැනුවත් කරන අතර එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා විසින් උපදෙස් ලබාදෙමින් පවසා සිටින්නේ දරුවා රෝහල්ගත කිරීම පිණිස අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් දරුවා රෝහල වෙත රැගෙන එන ලද පුද්ගලයාගෙන් ඒ පිළිබඳව කටඋත්තරයක් ලබාගැනීමට කටයුතු කරන ලෙසත්ය.
මෙම කතාවේ වීරයා ඉස්මතු වන්නේ පොලිස් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමගය. ඔහු තිහාරිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීවීල් රථ රියැදුරෙක්ය. ඊට අමතරව ඔහු ප්‍රදේශයේ වෙළෙඳසල් කිහිපයක් මුල්කර ගනිමින් අනියම් රැකියාවක නිරතවන්නෙක්ය. ලොරි රථවලින් රැගෙන එන ටයිල් බෑමෙන් අමතර ආදායමක් උපයන ඔහු නමින් යුසුෆ් මොහොමඞ්ය. 41 හැවිරිදි විවාහකයෙක් වන ඔහුට විවාහ වී වසර 10 ක පමණ කාලයක් ගත වී ඇතත් දරු සම්පත ලැබිමට තරම් වාසනාවන්ත නොවූ පුද්ගලයෙක්ය.
ඉකුත් 13 දා රාත්‍රි 9.30 ට පමණ ඔහු තිහාරිය – මල්වත්ත අතර ප්‍රදේශයේ පිහිටි එක්තරා වෙළෙඳසලක් වෙත රැගෙන එන ලද ටයිල් තොගයක් ලොරි රථයෙන් බිමට ගනිමින් සිටින අතර එකවරම ඔහුගේ සවන වැකෙන්නට ගන්නේ කුඩා බිලිඳකුගේ හැඬුම් හඬක්ය. අවට කිසිවෙක් පෙනෙන්නට නැත. තම රාජකාරිය මොහොතකට නතර කරන යුසුෆ් අඳුරේම එම හඬ එන දෙසට ගමන් කරන්නට ගන්නේ කුමක් හෝ විපතක් සිදුවී ඇතැයි යන දෙගිඩියාවෙන් යුක්තවය.
ගතව යන්නේ තත්පර කිහිපයක් පමණය. ඔහුට දකින්නට ලැබී ඇත්තේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වැටී සිටින මල් කැකුළක් බඳු සිඟිත්තෙක්ය. කාගේ කවුද තමන්ට මොන වගේ විපතකට මුහුණදීමට සිදුවේද? ඒ කිසිවක් පිළිබඳව දෙවරක් නොසිතන යුසුෆ් මලක් දෑතට ගන්නා ආකාරයට සිඟිත්තා ඔසවාගෙන ඉන් අනතුරුව දිව යන්නේ ඒ අසල පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතය.
එහිදී සිඟිත්තා පරීක්ෂා කර බලන වෛද්‍යවරයාගේ උපදෙස වී ඇත්තේ සිඟිත්තා රෝහල්ගත කරන ලෙසය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන මෙම නාඳුනන ගැලවුම්කරු තමන්ට අයත් ත්‍රීවීල් රථයෙන්ම අතරමඟ අතරමංව සිටි සිඟිත්තා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන්නේය.
පාලූ අන්ධකාර රැයක මහමඟ වැටී සිටි ළදරුවකු බේරාගැනීම පිණිස මිනිස් වෙස්ගත් දෙවියකු බඳු පුද්ගලයෙක් නොබියව ඉදිරිපත් වීමෙන් සිදුවීමට නියමිතව තිබුණ මහා විපතක් හෝ අබිරහසක් ඒ ආකාරයෙන් නිමාවට පත්වුව ද ඉන් සෑහීමකට පත් නොවන යුසුෆ් රෝහල් කාර්ය මණ්ඩලය හමුවේ පවසා ඇත්තේ ළදරුවාගේ හිමිකරුවන් කිසිවෙක් ඉදිරිපත් නොවේ නම් ඔහු භාරගැනීමට තමන් සූදානම් බවත් ළදරුවාගේ තනියට තම බිරිඳ රෝහල වෙත රැගෙන ආ හැකි බවත්ය.
මේ සිදුවීම් පෙළ එසේ සිදුවන අතර ළදරුවාගේ දෙමාපියන් රෝහල වෙත පැමිණ ඇත්තේ අතරමඟදී අසා දැනගත් තොරතුරු ඔස්සේය.
ඒ වන විට ද ළදරුවා රෝහල තුළ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිට ඇත. තම ප්‍රාණ සම දරු පැටියා රෝහල තුළ හිඳිනු දකින මොහොමඞ් ෆාතිමා යුවළ ඉහිලූම් නොදෙන සුලූ සතුටින් යුතුව පැය කිහිපයක් තිස්සේ අහිමි වී තිබූ වස්තුව නැවතත් සුරතට ගෙන ඇත්තේ සිහිනයක් සැබෑවූවා වැනි හැඟීමකින් යුතුවය. මිනිසුන් අතර දෙවියන් ද වැඩ සිටින බව මෙම සිදුවීම හරහා ගම්‍ය වන සත්‍යයක්ය. යුසුෆ් වැනි පුද්ගලයෙක් නොවන්නට ඇතැම් විට මෙම සිඟිත්තාගේ ඉරණම ඛේදවාචකයකින් නිමාවීමට ඉඩක් තිබෙන්නට ඇත.
මවට නින්ද යෑම හේතුවෙන් ත්‍රීවීල් රථයෙන් මහ පාරට වීසි වන එම ළදරුවා සීරීම් තුවාලයකින් පමණක් රිදුම් ලබමින් තවදුරටත් ජීවත්වීමට වරම් හිමිකරගත් වාසනාවන්ත උපතක්ය. සිදුවීමට ගිය විපතක් කුමන හෝ වාසනා මහිමයක් හේතුවෙන් වැළකී ගිය ද ඒ හරහා යම් පණිවුඩයක් සමාජගත කිරීමට එම සිදුවීම ප්රමාණවත්ය.
ගමනාගමනයේදී පමණක් නොව ගෙදරදොරදී පවා කුඩා දරුවන් දෑස් මෙන් රැකගත යුතු බව මෙවැනි සිදුවීම් හරහා අවබෝධ කරගත යුතුව ඇත.මෙම සිදුවීම සම්බන්ධව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා, අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පිට නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ මෙහෙයවීම් මත පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂණ කටයුතු සිදුකරන ඇත.
දිවයින

