💔බැඳීමක් නැති මුදුවක් 💔

37 වන කොටස

“අපේ අම්මයි තාත්තයි මට වඩා මෙයාට ආදරෙයි..මෙයාට අපේ ගෙදර ඉන්න බෑ කියන්නේ අපේ ගෙදර අය පෙන්නන්න බැරි නිසානේ…හරි එහෙනම් මගේ ගෙදර අය අම්මා තාත්තා අයියා මේ සේරම අය එක්ක තියෙන සම්බන්ධකම් අතාරින්නම්..හැබැයි මෙයාටත් කියන්න ඕනේ මෙයා මෙයාගේ ගෙදර අය එක්ක තියෙන සේරම සම්බන්ධ කම් අතාරින්න කියලා..”

මම එහෙම කියපු ගමන් උ/ඹේ මූණ වෙනස් වෙනවා මම දැක්කා..

“ඔයා මොනවද මේ ගැන කියන්නේ?.”

එතන උන්නු පොලිස් කාන්තාවන් දෙදෙනා උ/ඹෙන් එහෙම ප්‍රශ්න කළා.

උ/ඹ පිළිතුරක් නොදී මොහොතක් කල්පනා කරන්නට වුණා..මගේ හදවතේ ගැස්ම පවා වැඩි උනේ උ/ඹ මොන වගේ පිළිතුරක් දේවිද කියලා හිතලා..

“මට අම්මව අතාරින්න බෑ…මම දික්කසාද වෙනවා…”

උ/ඹ එහෙම කියපු ගමන් පොලිස් කාන්තාවන් දෙන්නා මුහුණ ට මූහුණ බලා ගත්තා..

උ/ඹේ අම්මාගේ මුහුණට නැගුනේ ජයග්‍රාහි හිනාවක්…තමන්ගේ දුවගේ දික්කසාදය ගැන අහලා හිනා උනු එකම අම්මා උ/ඹේ අම්මා වෙන්න ඇති කියලා මට හිතුනා..

උ/ඹේ පිළිතුර ගැන මම පුදුමයට පත් නොවුණේ මම කොහොමත් උ/ඹ ගැන හොඳින් දැනගෙන හිටපු නිසා…අම්මගේ අතේ නැටවෙන රූකඩයක් වෙච්චි උ/ඹෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ…

“දැක්කද මිස්..හැමදාම වුනේ මේක තමයි..

අපේ පවුල් ජීවිතය විනාශ වුණේ මෙයාගේ අම්මා නිසා ..මේ අම්මා අපිට කවදාවත් සතුටින් පවුල් කන්න දුන්නේ නැහැ..

දූවව මගෙන් වෙන්කරගෙන එයාගේ ලඟට ගන්නයි මේ අම්මට හැමදාම ඕනේ වුනේ..

පවුල් ජීවිතය රැකගන්න ඕන වුනේ මට විතරයි..කසාද බැඳපු දෙන්නගෙන් එක්කෙනෙක්ට විතරක් පවුල් ජීවිතය රැකගන්න උවමනාවක් තිබ්බට වැඩක් නෑ.මටත් දැන් මේක ඇති වෙලා…”

“නෙහාරා…එතකොට මේකද ඔයාගේ අන්තිම තීරණය..?දරුවා වෙනුවෙන් වත් ඔය දෙන්නට සමාදාන වෙන්න බැරිද?..”

“මමත් මෙච්චර කාලයක් ඉවසගෙන හිටිය දරුවා නිසා.මේ මනුස්සයා මට කොයි වෙලාවෙත් අත උස්සගෙන එනවා…මේ වගේ කෙනෙක් එක්ක මට ජීවත්වෙන්න බෑ..”

උ/ඹ එහෙම කියපු ගමන් පොලිස් කාන්තාවන් දෙන්නා මගේ දිහා බැලුවේ තදින් වගේ..

“දිලංක මේ කියන කාරණය ඇත්තද?..”

“මිස් මම අවුරුදු හයක් මේ අම්මා ගෙයි දුවගෙයි වදහිංසා ඉවසගෙන හිටියා.මම තරම් ඉවසපු කිසිම පිරිමියෙක් නැතුව ඇති..මම මෙයා කියපු විදිහටම මෙයාට නිතරම අත උස්සගෙන ගිහින් නෑ..මේ අවුරුදු හයට දෙපාරයි මම පාරක් ගහලා තියෙනවා නං ගහලා තියෙන්නේ ..ඒකත් කම්මුල් පාරක්.ඒ ගැහුවෙත් කියවිල්ල ඉවසගන්න බැරුව …”

“මට තේරෙනවා ඔයාලා ගතකරපු මේ පවුල් ජීවිතය ගැන..ඒත් මොනම හේතුවක් නිසාවත් ගෑ/නු කෙනෙක්ට කෙනෙක්ට අත උස්සන්න කාටවත් බෑ..ඔයා අවුරුදු කීයක් ඉවසන් හිටියත් ඒ ඉවසන් හිටපු හැම දෙයක්ම නැති වෙලා ගියා ඔයාගේ ඔය එක කම්මුල් පාරට…ඔයාගේ මම වෙන වරදක් දකින්නේ නෑ.හැබැයි ඒදේ වැරදියි.”

“මාව ඒ තත්ත්වයට පත් කෙරේ මේ ගෑ/නි..

මටත් කොහොමත් මෙයත් එක්ක එකට ජීවත් වෙන්න අමාරුයි..දැන්නම් මගේ ඉවසීමත් නැත්තටම නැති වෙලා තියෙන්නේ…”

“අපි දෙන්නා මෙතන කොච්චර ඔය දෙන්නා සමාදාන කරන්න හැදුවත් වැඩක් නෑ..දෙන්නටම ඕනේ දෙන්නගෙන් වෙන්වෙන්න..ඇයි ඔය දෙන්නට බැරි මේ දරුවා වෙනුවෙන් වත් මේ දේවල් ඉවසගෙන ඉන්න.”

පොලිස් කාන්තාවක් එහෙම ඇහුවේ චූටි පුතාව අභිනයෙන් පෙන්නන ගමන්…

පුංචි පුතාව දැක්කම නම් මගේ පපුවත් රිදෙන්න ගත්තා..අපි දෙන්නගේ මේ ඉවරයක් නැති රණඩු නිසා හැම පැත්තෙන්ම අසරණ වෙන්නේ පුංචි පුතා…

මෙතන මේ තරම් බැරෑරුම් කතාවක් ගියත් පුංචි පුතා හිනා වෙවී වටපිට බලමින් ඉන්නේ ඒ කිසි දෙයක් ගැන ගණනකටවත් නැතිව..

අපේ ප්‍රශ්න ඉදිරියේ දැන් මේ විදියට හිනා වෙලා හිටියත් ,ලොකු උනාම පුංචි පුතාට මේ දේවල් මොන විදියට බලපාවිද කියලා මම කල්පනා කළේ දුකින්…

උ/ඹත් එක්ක ජීවත් වෙන එක අපහසු වුණත්,පුංචි පුතා වෙනුවෙන් ඒ හැම දේම ඉවසගෙන ඉන්න මට හිත හදාගන්න පුලුවන්.

ඒ වුණත් උ/ඹ මාව මේ තරම් ප්‍රතික්ෂේප කරද්දී මම තවත් කොහොම නම් උ/ඹේ පස්සෙන් යන්න ද?..

“මට මේ මනුස්සයා එක්ක තවත් ජීවත් වෙන්න බෑ..ළමයා වෙනුවෙන් වත් බැහැ…අපි ඩිවෝස් වෙනවා ..”

උ/ඹ එක හෙලා එහෙම කියද්දී මම නිහඬව බලාගෙන උන්නේ පුංචි පුතා දිහාවට..

පුංචි පුතා කල්පනා බරිතව මේ සේරම දේවල් දිහා අහගෙන ඉන්නවා …

“එතකොට මේ දරුවා…දරුවාගේ කස්ටඩි එකට මොකක්ද වෙන්නේ ?..”

එතන හිටපු පොලිස් කාන්තාවක් එහෙම ප්‍රශ්න කරද්දී උ/ඹත් උ/ඹේ අම්මත් කට කොනකින් හිනා උනේ මගේ දිහා බලාගෙන….

“මිස් ම දැක්කනේ මේ මනුස්සයගේ පේ ෂීට් එක.. කුලී ගෙයක් ගන්න බැරි මේ මනුස්සයට දරුවෙක් ගේ වගකීම බාර දෙන්න පුලුවන්ද?..මේ මනුස්සයා ජිවත් වෙන්නේ බෝඩින් වල ,අන්තිමට මේ දරුවාට අම්මත් නැති වෙනවා.. තාත්තත් නැති වෙනවා..”

උ/ඹ එහෙම කිව්වම මට මම ගැන ඇති උනේ ලොකු අසරණ හැඟීමක්…මගේ අත මිටේ සල්ලි නැති නිසා චූටි පුතාත් මට නැති වෙන්නේ ද යන්නේ..මම එහෙම කල්පනා කළේ තෝන්තුවෙන් වගේ…..

“ගෙදරට වෙලා ඉන්න ඔයාට කොහෙන්ද ආදායමක්…”

එතන උන්න උස මහත පොලිස් කාන්තාව එහෙම ඇහුවේ උ/ඹේ දිහා බලාගෙන..

“මේ ළමයගෙ මල්ලි ඒ කියන්නේ මගේ පුතා මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්…මගේ පුතා එයාගෙ අක්කාවයි මේ පොඩි එකාටයි සලකනවා..මේ වගේ හි/ඟන පවුලකට අහු උනාට අපි හොද වැදගත් මිනිස්සු..”

උ/ඹේ අම්මා එතන ඇවිත් වංශේ කබල් ගාන්න පටන් ගත්තා.

මට මගේ දුප්පත්කම ගැන ඒ මොහොතෙත් ඇති ඇතිවුණේ දරාගන්න බැරි තරම් ලොකු තරහවක්…

මේ සේරටම මුල මගේ දුප්පත්කම…

මිනිස්සු කැමති හොඳ ගති ගුණ තියෙන මිනිස්සුන්ට නෙවෙයි..අතේ මිටේ සල්ලි ගැවසෙන මිනිසුන් ට..

උ/ඹ මේ විදිහට වෙනස් වුණේ ඒ නිසා…

මම කවදාවත් මාව දාලා යන්නේ නැති දුප්පත් කමට එහෙම ශාප කරන්න ගත්තා….

“තාත්ති…තාත්ති එන්න එහේ යන්න..”

උ/ඹේ අතේ එල්ලිලා යන චූටි පුතා මට එහෙම කතා කළාම මට දැනුනේ මගෙ පපුව පත්තුවෙලා ගියා වගේ..

“අපි යමු පුතේ…”

උ/ඹ එහෙම කිව්වේ මගේ දිහා එකදු බැල්මක් වත් නොහෙළා ඉදිරිය බලාගෙන ඇවිදින යන ගමන්.

“අම්මී…තාත්තා….ඕනේ….”

පොලිස් ස්ථානයේ ගේට්ටුව ලඟ ඉඳන් පුංචි පුතා එහෙම මහ හයියෙන් අඬන්න ගත්තා …

හිතට දැනෙන වේදනාව වැඩි කමට මුළු පපුවම රිදුම් කනවා වගේ..මම පුංචි පුතා ළඟට ගියේ තවත් ඒ හැඬුම් බලාගෙන ඉවසගෙන ඉන්න බැරි කමට…

“පුතා එන්න තාත්ති එක්ක යන්න…”

පුංචි පුතා ඇස් වල කඳුළු පිහිදාලා මගේ දිහා බැලුවේ පුංචි කටේ හිනා මලක් පුරවාගෙන …

“අම්මී.අපි තාත්ති එක්ක යමුද ?”

පුංචි පුතා උ/ඹෙන් එහෙම ඇහුවේ මගේ ලඟට ඇවිදගෙන එන ගමන්..

උ/ඹ පුංචි පුතා ළඟට ආවේ කලබලයෙන් වගේ මගේ දිහා රවාගෙන.

“නොතේරෙන පොඩි ළමයින්ව රවට්ටන්න එපා..”

අපි දෙන්නා එක් වුණේ මේ විදිහට වෙන්වෙලා දෙමංසලේ තනිවෙන්න වෙන්න ඇති..ඒක අපේ ඉරණම වෙන්න ඇති…

මම මේ තරම් කාලයක් ඒ ඉරණම වෙනස් කරන්න උත්සහ කළත් මට ඒ ඉරණම වෙනස් කරන්න බැරි වුණා..තවත් නම්

මට ඉරණම එක්ක සටන් කරන්න අමාරුයි…

අපේ වෙන්වීම තවදුරටත් මට දුකක් වෙන්නේ නැති වුණත් අපි දෙන්නා නිසා අසරණ වෙන්නේ පුංචි පුතා කියලා හිතෙද්දි

හිතට දැනෙන්නේ ලොකු පසුතැවීමක්..

වරදකාරී හැඟීමක්…

මට සමාවෙන්න මගේ පුංචි පුතේ…

මට මේ වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ..මම විසල් සුසුමක් පිටකළේ එහෙම හිතන ගමන්…

කාලය හීයක් තරම් වේගයෙන් ගතවෙලා ගියත් හිතට දැනෙන දුක නම් වැඩ් වෙනවා මිසක් අඩු වුණේ නැහැ..

වැඩපලෙන් බෝඩිමටත් බෝඩිමෙන් වැඩපලටත් මගේ ජීවිතය ඔහේ දිය වෙලා ගියා..

ගෙදර ගිහින් ඉන්නකොට පුංචි පුතා නැති තනිකම පාලුව වැඩි වැඩියෙන් දැනෙද්දි මම ගෙදර නොයා ඉන්න පුරුදු වුණා..

අම්මගෙන් එක පිට එක ඇමතුම් ආවත් මම ගෙදර නොයා බෝඩිමට වෙලා හිටියා ..

“පොඩි පුතා..මොනවද ළමයෝ බෝඩිමට වෙලා කරන්නේ..හරියට මේ ළමයට ගෙයක් දොරක් නෑ වගේ..”

“ලබන සතියේ ගෙදර එන්නම්…”.

මම එහෙම කිව්වේ ඒ කතාව එතනින් මගහරින්න..

“මොනවද පුතේ ඔයාට මේ වෙලා තියෙන්නේ..කවද්ද ඔයා ඔය කියන ලබන සතියේ එන්නේ…”

“මට ගෙදර එන්න බෑ අම්මේ…”

“ඒ මොකද ?.”

අම්මා එහෙම ඇහුවේ පුදුම වෙලා වගේ..

“ගෙදර ආවම පුතා මතක් වෙද්දි ඉවසන්න බෑ අම්මේ..”

රිසීවර් එකේ එහා පැත්තෙන් මට ඇහුණේ අම්මාගේ සුසුමක්…

“නොකිව්වාට අපිටත් එහෙම තමයි පුතේ..

පුංචි පැටියා නැතිව මුළු ගේම සොහොන් පිට්ටනියක් වගේ..ඒ වුණත් පුතේ අපි දැන් ඒ දේවල් වලට පුරුදු වෙන්න ඕනේ..මොනා කරන්නද පුතේ..?.අර ය/ක්ෂ ගැ/නි ගෙන් නම් දරුවා ගන්න හිතන එක බොරු.. “

“මොන දේ ඉවස ගත්තත් දරුවා ගැන හිතද්දී ඉවසන් ඉන්න අමාරුයි …”

මම අම්මට එහෙම කිව්වේ තවත් මේ දේවල් හිත ඇතුලේ හිරකරගෙන ඉන්න අමාරු නිසා…

“පුතා කරන්නේ මහා බොරු වැඩක්..ඔහෙට වෙලා හිටියත් පුතා කරන්නේ දරුවාව මතක් කරකර ඉන්න එක..ඔහෙට වෙලා තනියම දුක් විඳ විඳ ඉන්නේ නැතුව ගෙදර ඇවිත් යන්න එන්න පුතා..”

අම්මා එහෙම කිව්වේ ගොඩක් දුක්බර කටහඬින්..

කොහොම හරි ලබන සතියේ අම්මාව බලන්න යන්න කියලා මම හිතාගත්තේ පුංචි පුතා වගේම මාව නොදැක ඉන්න එකත් අම්මා ට දුකක් කියලා මට වැටහුණ නිසා .

💔💔💔💔💔💔💔

අම්මා කියපු නිසා ගෙදර ආවත් ගෙදර ආපු මොහොතේ පටන්ම මගේ හිත ට දැනෙන්න ගත්තේ දරාගන්න බැරි තරම් ලොකු දුකක්…

බැලු බැලු හැම අතකම පුංචි පුතා මැවි මැවි පෙනෙද්දි, තාත්ති කියලා ඒ කටහඬ දෝංකාර දීලා ඇහෙද්දී කොහොම නම් මම ඉවසා දරාගෙන ඉන්නද?

මගේ ජීවිතයට මට ලැබුන වටිනාම තෑග්ග මගේ *ලේ ධාතුවෙන් උ/ඹ මට දුන්නු මගේ පුංචි පුතු පැටියා.

පුංචි පුතා දුන්නු උ/ඹම මගෙන් ආපහු උදුරාගෙන ගියම මම කොහොම නම් ඉවසන්නද ?..

කාමරේ පුරාවට පුංචි පුතාගේ සෙල්ලම් කාර්,සෙල්ලම් ට්‍රක් සීසීකඩ තියෙද්දි කොහොම නම් මම පුංචි පුතාව අමතක කරන්න්ද?.

පුංචි පුතා මගේ අතේ එල්ලිලා ඇවිදගෙන ගිය හැටි..ක්‍රිකට් සෙල්ලම් කරපු හැටි සිහිපත් වෙද්දි මම කොහොම නම් ඉවසගෙන ඉන්නද ?..

මම එහෙම හිතුවේ මගේ ඇස් ඉස්සරහා පුංචි පුතාගේ රුව මැවි මැවි පෙනෙද්දි ..

පුංචි පුතා බලන්න යන්න තියෙනවා නම් කියලා එකපාරටම මට හිතුනේ පුංචි පුතාගේ මතකය මගේ හිත පාරවපු නිසා…

මැවි මැවී පෙනුණ ඒ රුව හැබැහින් දකින්න

හිත ඇතුලේ තිබුණෙ ලොකු ආශාවක්…

පොලීසියේදී පුංචි පුතාව දැකලා දැන් අවුරුද්දකටත් වැඩියි..මම පුංචි පුතාට ඇමතුමක් දෙන්න තීරණය කළේ අඩුම තරමේ ඒ කටහඬ වත් අහන්න තිබුණා නම් කියලා මට හිතුණ නිසා..

උ/ඹේ මොබයිල් එකට ගන්නේ නැතුව ගෙදර තිබුණු ස්ථාවර දුරකථනයට ඇමතුමක් ගන්න මම තීරණය කළේ උ/ඹත් එක්ක කතා කරන එක මට ඒ තරම්ම පීඩාකාරී දෙයක් වුණ නිසා..

ඒ ඇමතුමට පිළිතුරු දුන්නේ උ/ඹේ තාත්තා…

මගේ කටහඬ ඇහුණ ගමන් ම උ/ඹේ තාත්තා කලබල වුණ හැටි මට දැනුනේ.

“හලෝ දිලංක ද?.ත/මු/සේ මොකටද මෙහෙට කතා කරන්නේ?”

“මම කතා කළේ මගේ පුතාට…කරුණාකරලා ඔය ෆෝන් එක පුතාට දෙන්න…”

“නෙහාරයි අම්මයි ටවුන් එකට ගියා..පුතා මට බලාගන්න දීලා…කරුණාකරලා මට කරදර නොදී ෆෝන් එක තියෙනවා…”

උ/ඹේ තාත්තා මට එහෙම බැන වදින්න ගත්තේ මාව පිටස්තරයෙක් ගානට දමලා..

“මේ..මම කතා කළේ ඔහේට නෙමෙයි…මගේ පුතාට…ඒ මගේ පුතා ..මට මගේ පුතා එක කතා කරන්න අයිතිය තියෙනවා…”

උ/ඹේ තාත්තා මදක් මෙල්ල උනේ මම එහෙම කිව්වම..

“හරි දැනට මම දෙන්නම්..හැබැයි ආයේ ළමයාට කතාකරන්න තියාගන්න එපා..”

මම තරහෙන් ගැහෙන්න ගත්තේ උ/ඹේ තාත්තා මට එහෙම දොස් කියද්දී..

“හලෝ…”

මම එකපාරටම නිවිලා ගියේ රිසීවර් එක එහා පැත්තෙන් පුංචි පුතා ගේ ඒ කට හඬ ඇහිලා..

“හෙලෝ පුතේ මම තාත්තා…ගෙදර එන්නේ නැද්ද පුතේ…”

මම එහෙම ඇහුවේ පුංචි පුතාගේ කටහඬ ඉස්සරහා ගොඩක් හැඟීම්බර වෙලා..

“ඔයා අපිට ආදරේ නෑනේ..ඔයා අපිව ගෙදරින් එළෙව්වා නේ..අපි ආයේ එහේ එන්නෙ නෑ..”

පුංචි පුතා එහෙම කියද්දි මට දැනුනේ මගේ මුළු ලෝකයම මගේ ඇස් ඉස්සරහා බිමට ඇදන් වැටුනා වගේ..

මේ කතා කරන්නේ මගේ පුංචි පුතාමද කියලා මම කල්පනා කළේ පුදුමයෙන් ..

“ඔයා අපි ගැන පොඩ්ඩක් වත් බැලුවෙ නෑනේ..මම ඉපදෙන්න ඉන්නකොට ඔයා අම්මව ක්ලීනික් වත් එක්කගෙන ගියේ නෑනේ…”

පුංචි පුතා එහෙම කියද්දි මට දැනුනේ මගේ පපුව පිහි තුඩකට සීරිලා යනවා වගේ හැඟීමක්..

මේ කතා කරන්නේ මගේ පුංචි පුතාමද?..

අපේ ගෙදරින් ගිය අවුරුද්දට පුංචි පුතා මේ තරම් වෙනස් වෙලාද?…

කෝ ඒ තිබ්බ හුරතල් කම…

මම එහෙම කල්පනා කළේ අදහගන්න බැරුව වගේ…

හමුවෙමු මීලඟ කොටසින්