මුරුගසන් වැහි ❤️🔥
-26 කොටස-
‘හානියට පත් පුද්ගලයන් භයානක ය. මන්දයත් ඔවුන්ට නැවත නැවතත් ගොඩනැගිය හැකි බව ඔවුන් දන්නා බැවිනි…’
“Kawi, Open the gate… (කවී, ගේට් එක අරින්න…)”
කවිනිගේ නිවස ඉදිරියේ තම මෝටර්රථය නැවතූ රනුක පැවසුවේ සවනත තබාගත් ජංගම දුරකතනයට ය. තත්පර කිහිපයක් ඇතුළත යාන්ත්‍රික ගේට්ටුව ස්වයංක්‍රීයව විවර වූයෙන් රනුක මෝටර්රථය කවිනිගේ ගෙමිදුල මැදින් රිය නතර කළේ ය. පාර්සලයක් අතින් ගෙන රථයෙන් බට රනුක ආපසු හැරී බැලුවේ ස්වයංක්‍රීයව වැසෙන ගේට්ටුව සහ අලුත් සිමෙන්තියෙන් පිළිස්සී ගිය තණබිස්ස දෙස ය. එහි වූ අවශේෂයන් කියාපෑවේ ගේට්ටු කණු සහ ඒ ආශ්‍රිත ඉදිකිරීම් මෑතක දී සිදුකළ ප්‍රතිසංස්කරණ බව යි.
“සේරම හරි නේද..? CCTV එහෙම..?”
රනුක ආලින්දයට ගොඩවදිමින් විමසුවේ ඉදිරිපස දොර උලුවහුව යට සිටගෙන සිටි කවිනිගෙනි.
“සේරම හරි රනූ… නදීලගේ දිහාත් සේරම හරි…”
කවිනි කීවේ රනුක හට නිවසට පිවිසීමට ඉඩදෙමින් පසෙකට වෙමිනි. කවිනිගේ හිස මත නිදහස් අත තබාගෙන ම රනුක විසිත්ත කාමරයට ප්‍රවිෂ්ට වූයේ ය. කලක් පුරා හුරුපුරුදු නිවසෙහි යම් යම් වෙනස්කම් සිදු වී තිබුණ ද ඉන් එහි වූ ළබැඳියාව මැකීගොස් නොතිබිණි.
“මොනවා හරි බොන්න දෙයක් හදන්නද රනූ..?”
කවිනි විමසුවේ රනුක සුවපහසු සෝපාමය අසුනක් මත අසුන්ගත් පසුව ය.
“එපා කවී… කාපු ගමන් ආවේ… ඔයා වැඩකද හිටියේ..?”
“මං ආටිකල් එකක් ලියන ගමන් හිටියේ… ඇයි අවුලක්ද රනූ..?”
“නෑ මං නිකං ඇහුවේ…”
රනුකගේ පිළිතුරෙන් අනතුරුව ඉදිරිපස දොර වසා දැමූ කවිනි, ඔහුට ඉදිරියෙන් වූ අසුන මත හිඳගත්තා ය. තරමක අවුල් සහගත බවක් පෙන්නුම් කළ කොණ්ඩය හිස්මුදුනට කර කොණ්ඩා කටුවකින් රඳවා, කෙටි කලිසමක් සහ සැහැල්ලු ටී කමිසයකින් සැරසී හුන් කවිනි දෙස රනුක තියුණු බැල්මක් හෙලුවේ ය. ඔවුන් දෙදෙනා අතර පරතරය වූයේ කුඩා කනප්පුවේ විෂ්කම්භය පමණි.
“විස්සා ආවද..?”
රනුකගේ පැනයට කවිනි කළේ හිස දෙපසට සලා ඍණාත්මක පිළිතුරක් දීම ය.
“උන් අද ඉඳන් වැඩ පටන්ගනී…”
රනුකගේ මීළඟ වදන් හමුවේ ද කවිනි කළේ ගැඹුරු සුසුමක් ගිලිහෙන්නට ඉඩහැරීම පමණි.
“කවී… මේක ඔයාට දරාගන්න පුළුවන් කියලා ශුවර් නේද..? මොකද විස්සට මේකේ කොයි තරම් දුරක් යන්න වෙයිද කියලා අපිට දැන්ම ප්‍රෙඩික්ට් කරන්න බෑ… අනික ලිමිට්ස් දාගෙන විස්සට මිෂන් එකට එන්ටර් වෙන්නත් බෑ…”
රනුක මන්ද්‍ර ස්වරයෙන් පැහැදිලිව කීවේ ය.
“මං දන්නවා…”
කවිනි සිහින්ව මිමිණුවා ය.
“ඔයා මේ කරන දේ සැක්‍රිෆයිස් එකක් වගේ දෙයක් කවී… සමහරවිට මං විස්සගේ තැන හිටියා නම් නදී කවදාවත් මාව ඔයා වගේ නිදහස් කරන එකක් නෑ…”
කවිනිගෙන් නෙතු මුදාගනිමින් රනුක කීවේ ය.
“ඇයි රනූ, ඔයා නදීගෙන් ඈත්වෙලා ඉන්නේ..? තරහා නිසාමද..? ඒක එකම හේතුව වෙන්න බෑ… අපි දැන් කොම්රේඩ්ස්ලා උනාට ඒක ඇතුළේ අපි නොදන්න සෑහෙන දේවල් ටිකක් තියනවා කියලා මං දන්නවා…”
කවිනි විචාළා ය.
“මට බොරු කරපු එකට තරහක් නැත්තෙම නෑ කවී… ඒත් මං නදීට පුදුම විදියට ආදරෙයි. ඒක තරහකින් ඉවරවෙන ආදරයක් නෙවි… මගේ ජීවිතේ මට අතාරින්න බැරි උන් ඉන්නේ දෙන්නයි. එක්කෙනෙක් නදී. අනික් එකා විස්සා… මේ වෙලේ නදීට තනියම සර්වයිව් වෙන්න බැරිකමක් නෑ… ඒත් විස්සා ඉන්නේ රිස්ක් එකක. මගේ ෆුල් අටෙන්ෂන් එක ඌ ළඟ තියාගන්න ඕනේ මට… ඒකට නදී බාධාවක් කවී… එයාට මේ ඇත්ත කියලා අයින්වෙන්න මට පුලුවන් ටික කාලෙකට… ඒත් එයා දෙපාරක්ම මගෙන් දේවල් හැංගුවට මට එයාට පනිෂ් කරන්නත් ඕනේ… ඒ නිසයි මං හේතු නොකියම ඈත්වෙලා ඉන්නේ…”
“ඇයි දැන් මට මේක කිව්වේ..?”
කවිනි විමසුවේ අඩසිනහවකින් මුව සරසාගෙන ය.
“මොකද තමුසේ ඕවා නදීට කියන්නෑ කියලා මං දන්න නිසා… තමුසෙලා කොහොමත් ටිපිකල් ශ්‍රී ලංකන් විමෙන් තීම් එක ට්‍රාන්ස්සෙන්ඩන්ස් (අතික්‍රමණය) කරපු ගෑනුනේ…”
මුව අගින් සිනහවක් පාමින් රනුක කී කතාවට කවිනි මඳක් හඬනගා සිනාසුණා ය. ජීවිතයේ අර්බුදකාරී ම කාර්තුවක පසුවෙමින්, ගැහැනියකට කළ හැකි උපරිම ප්‍රේමණීය පරිත්‍යාගය පවා කරමින්, ඒ සියල්ල පසෙකලා සැහැල්ලු සිනහවකින් සිනාසලන මේ යුවතිය දෙස රනුක බලාසිටියේ සානුකම්පිත බැල්මකිනි.
“කවී… ඔයාට දෙන්න දෙයක් තියේ…”
අසුන් ද්විත්වය මධ්‍යයේ වූ කනප්පුව මත එතෙක් තබා තිබූ පාර්සලය අතට ගෙන ලෙහමින් රනුක කීවේ ය. කවිනි දෑස් හැකිලුවේ එය කුමක්දැයි සිතාගත නොහැකිව ය. ආවරණ කිහිපයක් ඉවත් කිරීමෙන් අනතුරුව පිටතට ගත්තේ ගිනි අවි ද්විත්වයකි. ඉන් එකක් Revolver (රිවෝල්වර්) වර්ගයේ ගිනි අවියක් වූ අතර අනෙක Pistol (පිස්තෝල) වර්ගයේ ගිනි අවියකි. දේශපාලනමය පසුබිමක් සහිත පවුලකින් පැවත එන කවිනි හට අවි ආයුධ නුහුරු නොවුණ ද රනුක මෙලෙස ගිනි අවි ගෙන පැමිණියේ මන්ද යන්න ඇයට ගැටලුවක් විය.
“මේ දෙක ඔයාටයි, නදීටයි…”
කවිනිගේ විමසුම් දෑස් දෙස ඍජුව බලමින් රනුක කීවේ ය.
“මේවා කොම්රේඩ්ස්ලාගේ ඒවද..?”
කවිනිගේ පැනය හමුවේ රනුක හිස දෙපසට සැලුවේ ය.
“කොම්රේඩ්ස්ලාට තියෙන්නේ ට්‍රේනින් වෙපන්ස් විතරයි. අනික මේ දවස්වල අපිට මිෂන් එකටවත් වෙපන්ස් ගන්න විදියක් නැතුව ඉන්නේ… මේවා හරිත්ගේ මැරුණු අයියාගේ නමට ලයිසන් කරපු ගන්ස්. ඌම තමයි මේ දෙක ඔයාලට දෙන්න කිව්වේ…”
රනුක යළි ගිනි අවි ද්විත්වය වෙන වෙනම ඇසුරුම්වලට බහාලන අතරතුර කීවේ ය.
“හරිත්..? ඒත් අපිට ඇයි..? ඔයාලටනේ මේවා ඕනේ…”
කවිනි හට හරිත්ගේ අරමුණු පැහැදිලි නොවූයෙන් විමසුවා ය.
“For self-defense… (ආත්මාරක්ෂාව සඳහා…)”
රනුක කෙටියෙන් පිළිතුරු දුන්නේ ය.
“ඒ වගේම ඔයාගේ ටාර්ගට් එකට…”
රනුක අනතුරුව කී වදන්වලට කවිනි යටිතොල සපාගත්තා ය.
“මං දන්නෑ කවී ඉස්සරහට මොනවා වෙයිද කියලා… හැබැයි ඔයාට හදිසියක් උනොත් හරිත්ව කන්ටැක්ට් කරගන්න පුලුවන්… දුලාජ්ටයි, රිද්මටයි වඩා ඌ අවේලබල්… අනික් දේ ඌ හැමදේම දන්න එකා… ඒ නිසා ප්‍රශ්නයක් උනොත් ඔයාලා කන්ටැක්ට් කරගන්න ඕනේ හරිත්ව… ඌ ඔයාලට කරන්න ඕනේ දේ කියයි…”
“මට තේරෙන්නෑ රනූ මේ…”
“තේරුම්ගන්න උත්සාහ කරන්නත් එපා කවී…”
කවිනිගේ කතාවට බාධා කරමින් රනුක කීවේ ය.
“සමහර දේවල් තියේ ක්ලෑන් එක ඇතුළේ උනත් අපිට ශෙයා කරගන්න බැරි… තරහකට නෙවි. ආරක්ෂාවට… දැනට ඔයාට ඕනේ පාත් එක මං හදලා දීලා තියෙන්නේ… ප්ලෑන් එක මිස් උනොත් ඔප්ෂන් එකකුත් මං රෙඩි කරලා තියන්නම්… හැබැයි එක දෙයක්…”
රනුක මඳක් ඍජු වූයේ කියන්නට තනන කරුණෙහි බැරෑරුම් බව හගිස්සන්නට මෙනි.
“හැමදේම අවුල් උනොත් ලංකාවෙන් යන්න පුළුවන් පළවෙනි ෆ්ලයිට් එකෙන් මෙහෙන් යන්න ඕනේ… ඒ කරන්න ඕනේ ටික විස්සා, රිද්ම එක්ක සෙට් කරලා තියෙන්නේ… ඔයා, නදී, චුට්ටි, ජානු, ඉමෝද්, සූරි මෙහෙන් යන්නම ඕනේ… ඔයාලගේ පාස්පෝට් එකතු කරලා සූරි අතට දෙන්න. මං එයාගෙන් ගන්නම්… තව දෙයක්. යශ්ගේ කෙල්ල ඔයාලා එක්ක ගොඩක් සෙට් නැති උනාට ඒකිවත් අරන් යන්න වෙනවා අවුලක් උනොත්. ඒකිගේ අම්මා ලෝයර් කියලා ඒකිව මුන් අතාරින එකක් නෑ… ඒ නිසා ඔයා ඒ කෙල්ල එක්ක කතා කරලා ඒකිගේ පාස්පෝට් එකත් ඉල්ලගන්න ඕනේ කවී. ඒකත් සූරිටම දෙන්න… සමහරවිට මිෂන් එකට යූස් කරන කෙල්ලෝ දෙන්නගෙන් වැලා ටැකල් කරන කෙල්ල, සදීෂාවත් අපිට පරිස්සම් කරගන්න වෙයි. ශේෂා වගේ නෙවි ඒ කෙල්ල හරිම ඉන්සෙකියෝර් කෙල්ලෙක්.. කෙල්ලගේ පොලිටිකල් වීව් එක නම් අපිට සෙට් නෑ. ඒත් වැලයි, යශුයි මෙතනදි ඒ කෙල්ලව අතාරින්න ලෑස්ති නෑ… ශේෂා ගැන තමයි අපිට ලොකු රෙස්පොන්සිබිලිටි එකකට යන්න බැරි…”
කවිනි හිස සැලුවා ය. මෙවැනි මෙහෙයුම්වල දී සියල්ල රැකගත නොහැකි වනු ඇත. නමුත් හැකි තරම් දේ රැකගන්නට රනුක ඇතුළු පිරිස උත්සාහ දරණ බව ඈ වටහාගත්තා ය.
“ඔයාලා මෙහෙන් යන්නේ චෙන්නයි හෝ දිල්ලි වලට… එතනදි අපේ එකෙක් ඔයාලව පික් කරයි… එහෙන් ඔයාලව ගෙනියන තැන ඔයාලට දැනගන්න හම්බෙන්නේ එතනදි. එතෙක් ඒ ගැන මගෙන් අහන්නෙපා කවී… ඒ ඕස්ට්‍රේලියාවත්, US වත් නෙවි කියලා විතරක් දැනට මං කියලා තියන්නම්… ඒත් ඒ යන රටේ ඔයාලා වෙනුවෙන් සේෆ් ප්ලේස් එකක් අපි දැනටම හදලා තියෙන්නේ… ඒ නිසා අපේ ප්ලෑන්ස් ස්පොයිල් නොකර ඒවට සපෝර්ට් කරන්න… මොකද ෆ්‍රන්ට් එකේ හතරත් මැරිලා, අපෙනුත් වැඩිදෙනෙක් මැරිලා හරි හිරේ හරි හිටියොත් ආයේ ටර්න් එකක් ගන්න නම් ඉතුරු වෙලා ඉන්න ටික සර්වයිව් කරගන්න වෙනවා අපිට… ඔයාලා කෙල්ලෝ ටික ඇර අපේ සමහර කොල්ලොත් එකතුවෙයි ඔයාලට එහෙම තත්වෙකදී ලංකාවෙන් යන්න…”
රනුකගේ වදන් අවසන් වූයේ සියුම් රිදුමක් කවිනිගේ සිත තුළ ශේෂ කරවමිනි.
“ඇයි මැරෙන්නම කතා කරන්නේ ඔයාලා..? ඇයි ජීවත්වෙන එකක් ගැන කතා කරන්න බැරි..?”
කවිනිගේ පැනය හමුවේ රනුකගේ මුවින් ගිලිහුණේ මඳ සිනහවකි.
“ජීවත්වෙන එක හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ශුවර් නම් ඇයි කවී ඔයාට මං වෙපන්ස් දෙන්නේ මෙහෙම..? ම්ම්ම්ම්..? කවී… දේශපාලනය ඇතුළේ තියෙන්නේ ඔප්ෂන්ස් දෙකයි. එක්කෝ ජයග්‍රහණය. නැත්නම් මරණය… අපි හැප්පෙන්නේ විපක්ෂේ ඉඳලත් බලය අඩුවක් නැති උන් දෙන්නෙක් එක්ක… දේශපාලනය කියන එක පරම්පරාවෙන් එන, කපටිකම කියන එක ජෙනටික්ස් වලින්ම එන උන් දෙන්නෙක් එක්ක… ගිය පාර උන්ට අපිව මිස් උනාට මේ පාර උන් අපිව මිස් කරගනී කියලා හිතන්න අමාරුයි… ඒ නිසා බොරු බලාපොරොත්තු තියාගන්න ඕනේ නෑ නේද මේ පාර..?”
රනුකගේ වදන් අතිශයින් කාරුණික වුව ද ඒ තුළ ගැබ් වූ සත්‍ය හලාහළ විෂ තරම් කඨෝර විණැයි කවිනිට සිතිණි. ඈ ගැඹුරු සුසුමක් හෙලුවේ ඒ කරුණ ගෙනදුන් වේදනාව නිසා ම ය.
“දැන් මෙතන කතා උන දේවල්වලින් නදී දැනගන්න ඕනේ මොන ටිකද කියලා ඔයා දන්නවා නේද කවී..?”
කවිනි හිස සැලුවා ය.
“ඇයි මාව ශුවර් කරන්නේ..?”
රනුක සිනහවක් පා අසුනෙන් නැගීසිටියේ ය.
“හරියටම බැලුවොත් විස්සට වඩා වැඩිපුර අවුරුද්දක් මං ඔයා එක්ක ඉඳලා තියේ කවී… මිනිස්සුන්ගේ ඇතුළාන්තය අඳුරගන්න ඒ මිනිස්සුන්ට ආදරේ කරන්නවත්, ඒ මිනිස්සු එක්ක සෙක්ස් කරන්නවත් ඕනේ නෑ…”
රනුක මන්ද්‍ර ලෙස කීවේ කවිනි අසුනෙන් නැගිටින අතරතුර දී ය.
“මං යන්නම් කවී… අසා අයියා හම්බෙන්නත් ගිහින් මං ඔෆිස් එකටත් යන්න ඕනේ…”
දොර දෙසට පියවර කිහිපයක් යමින් රනුක කීවේ ය. කවිනි, ඔහුට ඇහුම්කන් දෙමින් ඔහුට සමාන්තරව ගමන් ගත්තා ය. දොර අසල දී මොහොතකට නතර වූ ඔහු දොර විවර කරන්නට අල්ලුවට අත තබාගෙන ම යළි කවිනි දෙසට හැරුණේ ය.
“කවී…”
රනුක මෘදු ස්වරයෙන් ඇයව ආමන්ත්‍රණය කළේ ය. ඇය හිස ඔසවා ඔහු දෙස බලන ඇසිල්ලේ ම ඔහු, ඇගේ අතකින් ඇද තම තුරුලට ගත්තේ ඇයට සිතාගැනීමට අවස්ථාවක් නොදෙමිනි. අනතුරුව ඇගේ දෙවුර වටා දෑත් යවා ඇයව, තමාට තවත් සමීප කරගත්තේ ය.
“අලුත් තුවාලවලට වඩා භයානක පරණ තුවාල. සනීපයි කියලා හිතුවට ඒවා ඇත්තටම සනීප වෙලා නැති නිසා අපිට ඒවාගේ ගැඹුර ගැන හිතාගන්න බෑ… නදීගේ තුවාලෙට වඩා ඔයාගේ තුවාලේ පරණයි. ගැඹුරුයි… ඒ වගේම කවිනි කියන අහිංසක කෙල්ල රවීන්ද්‍ර දිසානායකගේ මරණෙත් එක්ක මැරිලා ගියා… ඒ නිසා මං දැන් ඉන්න කවී ගැන බයයි… මොකද ඒ මගේ හොඳම යාලුවාගේ ජීවිතේ ලොකු කොටසක් නිසා… මං මේ දැන් කතා කරන්නේ ඌ වෙනුවෙන් කවී… දීලා තියන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට පිටින් මොනාවත් කරලා අහුවෙන්නෙපා… අනික් අතට එහෙම ප්‍රශ්නයක් වෙලා ඒක ෆ්‍රන්ට් එකේ ඉන්න මගේ උන් හතරදෙනාගෙන් එකෙක්ගේ හරි ජීවිතයක් නැතිවෙන්න ඒක හේතු උනොත් ඔයාට ගන්ස් ගෙනත් දුන්න අත් දෙකෙන්ම ඔයාගේ ඇඟටත් බුලට්ස් හතරක් පහක් බස්සන්න මං දෙපාරක් හිතන්නෑ… ඔයා ගන්න මොනා හරිම වැරදි තීරණේකින් එහෙම වෙන්න පුලුවන් කියලා දැනගෙන ඔයාගේ ට්‍රැක් එකේ යන්න… අපි නැති අතරේ කරපු හිතුවක්කාරකම් ආයේ කරන්න ලෑස්ති වෙන්නෙපා…”
සිය අනතුරු ඇඟවීම අවසන් වූ පසුව රනුක, කවිනිගේ හිස්මුදුන මත සිය දෙතොල් තැබුවේ ය. අනතුරුව ඇයව, තම පපුතුරෙන් නිදහස් කර ඈ දෙස ඍජුව බැලුවේ ය.
“විස්සා වෙනුවෙන් මට මැරෙන්නත් පුළුවන්. මරන්නත් පුළුවන්…”
රනුක ඒ වදන් කීවේ හඬ ඉතාම බාල කොට ය.
“විසූ මෙතන හිටියා නම් ඔයා ගැනත් එයා ඔහොමම කියාවි…”
කවිනි සෙමෙන් මිමිණුවා ය. තියුණු බැල්මක් ඈ වෙත හෙලූ රනුක දොර විවර කරගෙන ආලින්දයට බටුයේ ය.
“ගේට් එක ඇරලා මං ගියාම වහගන්නවා… ගන්ස් දෙක පරිස්සමින් අරන් තියාගන්නවා… ඇවිත් තියෙන්නේ කවුද කියලා ඩබල් චෙක් නොකර මොකෙක්වවත් මෙහාට ගෙන්න ගන්නෙපා… රිද්ම ඇර වෙන කවුරුවත් මෙහාට එන්න ඕනෙත් නෑ…”
කවිනිගෙන් තවත් යමක් නොඅසා ම රනුක, සිය මෝටර්රථය වෙත පැමිණියේ ය. ඔහුගේ මෝටර්රථය පිට වූ පසුව ස්වයංක්‍රීය ගේට්ටුව වසාදැමූ කවිනි ගැඹුරු හුස්මක් ඇද්දා ය.
.
.
.
.
“යකෝ මේක ලක්ෂරි අපාට්මන්ට් එකක්නේ… කොහෙන්ද තෝ මේක හොයාගත්තේ..?”
යශෝද්ගේ කර වටා අතක් දමා ගනිමින් තාරක විමසුවේ හාත්පස බැල්මක් හෙලමිනි. ස්වභාවයෙන් ම අඩු වදන් භාවිතයක් සහිත යශෝද් සිනහවකින් තාරක වෙත පිළිතුරු දුන්නේ ය.
“කාගෙද යශෝද් මේක..?”
එවර විසල් විමසුවේ නවීන ගෘහ භාණ්ඩ සහිත නිවස දෙස තියුණු බැල්මක් හෙලීමෙන් අනතුරුව ය.
“වත්සල අයියා ලංකාවේ ඉන්න කොට යූස් කරපු එක… යද්දි ඌ මට කීස් දීලා ගියේ… මේක ඌ සල්ලිවලට ගත්ත එකක්…”
යශෝද් කීවේ විසල්ගේ තියුණු බැල්මට පිළිතුරු බැල්මක් සමඟ ය. වත්සල යනු විදෙස්ගතව සිටින කොම්රේඩ්වරයෙකි.
“මේක ඌ පොපුලරිටි එකේ පීක් එකේ ඉද්දි ගත්ත එකක් වෙන්නැති…”
සත්සර සුවපහසු සෝපාව මතින් අසුන්ගන්නා අතරතුර කීවේ ය. යශෝද් එයට හිස සලා එකඟ විය. වත්සල කලක් ලංකාවේ ජනප්‍රියතම ගායකයෙකු වශයෙන් සිටි නමුත් ජනප්‍රියත්වය මත පූර්ණ විශ්වාසය තැබීමට අකමැති අයෙකු විය. සිය ජනප්‍රියත්වයේ ඉහළතම හිණිපෙත්තේ සිටිය දී ම ගායනයට සමුදුන් ඔහු රැකියාවක් සඳහා බව සඳහන් කරමින් විදෙස්ගත වූයේ ය.
“ඒත් කොල්ලෝ මෙහෙම තැනක් අපේ වැඩේට හරියනවද..?”
සත්සර යළිත් විචාළේ ඍජුව යශෝද් දෙස බලමිනි.
“මේකයි අයියේ… ලංකාවේ මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක ටිකක් වෙනස්… මෙහෙ අය හිතන්නේ විප්ලවකාරයෝ වගේ උන් පරණ ඇඳුම් අඳින, බාටා කෑලි දාන, කොණ්ඩ රැවුල් වවාගෙන ඉන්න, ගංජා ගහන, රස්තා ටයිප් පොරවල් කියලා… උන් කීයටවත් බලාපොරොත්තු වෙන්නෑ ලංකාවේ තියන එක්ස්පෙන්සිව් හවුසින් කම්ප්ලෙක්ස් එකක අපාට්මන්ට් එකක ඉඳගෙන කොල්ලෝ හතරදෙනෙක් විප්ලව කරයි කියලා… උන් හිතන්නේ එහෙම ලක්ශූරියස් ලයිව්ස් ගත කරන ගමන් ගේම් ගහන උන් ස්මග්ලර්ස්ලා (ජාවාරම්කරුවන්), ඉකොනොමික් හිට්මෙන්ලා (ආර්ථික කුලී ඝාතකයෝ), පොලිටීශියන්ස්ලා වගේ උන් කියලනේ… ලංකාව කියන්නේ එකෙන්ම විප්ලව කන්ඩෙම් කරන රටක්… එහෙම රටක අපිට මේ වගේ තැනක් අපේ ඩේ ටුඩේ ලයිෆ් එකේ වැඩවලට යූස් කරන එක සේෆ්…”
යශෝද්ගේ විග්‍රයෙන් විසල් සිනාවක් පා සෝපාවක් මත හිඳගත්තේ ය.
“හොඳ වෙලාවට තමුසේ ස්මග්ලර් කෙනෙක් හරි ඉකොනොමික් හිට්මෑන් කෙනෙක් හරි නූනේ…”
යශෝද් එයට සිනහවක් පෑවා විනා ඉන් එහා යමක් නොකීවේ ය.
“අපිට අපේ ප්‍රොෆෙෂන්ස් වලට මැච් වෙන්න වාහන යූස් කරන්නත් වෙනවා… ඒ නිසා මං සමීර අයියාට කිව්වා අපේ ජොබ්ස්වලට ගැලපෙන්න වාහන ටිකක් සෙට් කරලා දෙන්න කියලා… ඒකට වෙහිකල් දෙකක් සමීර අයියා පහළ වෙහිකල් ස්ලොට් එකට අද උදේ ගෙනත් දාලා ඇති… මට Range Rover එකක් යූස් කරන්න වෙනවා බිස්නස්මන් කෙනෙක් විදියට. මොකද මේ පොඩි කාලෙට අපේ බිස්නස් එක සෑහෙන ප්‍රොෆිට් අරගෙන තියන නිසා මගේ හිඟන කාර් එක ඒ පර්සනැලිටි එකට සෙට් වෙන්නෑ කිව්වා… අනික ශේෂාට ඇප්‍රෝච් කරන්න ඒ හැමදේම බලපානවා…”
විසල් කී දේ අනික් සියල්ලන් ම අනුමත කළේ ය.
“සතා අයියට ඔයාගේ සුපුරුදු පරණ Benz එකම යූස් කරන්න පුළුවන්. මේ තකහනියේ සතා අයියා අලුත් කාර් එකක් ගන්න හේතුවක් නෑ කියලා හැමෝම දන්නවනේ… අනික හරි නම් මියුසියම් එකේ තියන්න ඕන ඒ පරණ ඇන්ටික් කාර් එකට සතා අයියා කොච්චර ආදරේද කියලත් හැමෝම වගේ දන්නවනේ…”
සත්සර සිනහවක් පෑවේ ය.
“සමීර අයියා ගෙනත් දාලා තියන අනික් වාහනේ වැලාට. ඒක වයිට් Vessel එකක්… ප්‍රොෆිටබල් කම්පැනි එකක හයිලි පේඩ් සොෆ්ට්වෙයා ඩිවෙලපර් කෙනෙක්ට ගලපන්න ට්‍රයි කරන්න තමයි ඒ වාහනේ ගන්න ඇත්තේ…”
තාරක ඒ වනවිට සේවය කළේ විදේශීය මෘදුකාංග සමාගමක මෘදුකාංග සංවර්ධකයෙකු වශයෙනි.
“ලබන සතියේ ඉඳන් යශ්ගේ ට්‍රේනින් මන්ත් එක ඉවරවෙන නිසා කම්පැනි එකෙන් කාර් එකක් කොහොමත් උඹට දෙනවා… බොහෝදුරට Vitz එකක් වගේ වෙයි ඒක…”
යශෝද් හිස සලා පිළිගත්තේ ය.
“දැනට ඔයාලා යූස් කරන ෆෝන් වෙනුවට අපි අතරේ විතරක් යූස් කරන්න ෆෝන්ස් ඇන්ඩ් සිම් කාඩ්ස් දෙනවා… හැබැයි මිෂන් එකේ කිසිම දෙයක් ඕවර් ද ෆෝන් කතා කරන්න බෑ. ඒවා මෙතනදි ෆේස් ටු ෆේස් විතරයි කතා කරන්න පුලුවන්… අපි හතරදෙනා ඇර වෙන කිසිම කෙනෙක් මේ අපාට්මන්ට් එකට එන්නෙත් නෑනේ… ආයේ හැමෝටම ලැප්ටොප් එක ගානේ තියනවා…”
තාරක, තම කොටස අනාවරණය කළේ ය.
“මේ අපාට්මන්ට් එකේ රූම්ස් හතරක් තියේ… මේක වත්සල අයියා චූටි අයියට රෙන්ට් කරලා තියෙන්නේ… ඔයාලා තුන්දෙනා රෙන්ට් එක ශෙයා කරගෙන ඉන්නවා… මම චූටි අයියා මගේ කසින් නිසා මෙතන ඉන්නේ. එයාගේ කම්පැනි එකේ වැඩ කරන නිසා… ඒ තමයි අපි මෙහෙ ඉන්න එක ගැන අපිට තියන පොදු උත්තරය…”
යශෝද් තවත් යමක් ඉදිරිපත් කළේ ය.
“ඔෆිස් එකේ මගේ PA (පුද්ගලික සහායක) මේ සතියෙන් අයින් වෙනවා… ඒ නිසා තාවකාලිකව යශාට ඒ පෝස්ට් එකේ වැඩ බලන්නත් වෙනවා… මේ වෙලේ ඒක වටිනවා අපි දෙන්නට එකට වැඩ කරන්න…”
විසල් කීවේ තරමක් කල්පනා කිරීමෙන් අනතුරුව ය.
“අවුලක් නෑ… මං අදින්නම්…”
නමුත් එයට විසල් හිස දෙපසට සැලුවේ ය.
“උඹ සුපර් මෑන් කියලා හිතුවට ඔෆිස් එකේ ඩිවිෂන් දෙකක වැඩ කරන්න උඹට බෑ යශ්. අනික ඒක කම්පැනි රූල්ස්වලට විරුද්ධයි… මං ඒ නිසා බෝර්ඩ් එකට දාලා උඹව කෙලින්ම මගේ ගාවට ගන්නම්… කොහොමත් දුලායි, රනුවයි ඕකට කැමතිවෙන නිසා අවුලක් නෑ… උඹ දැන් ඉන්න පෝස්ට් එකට වෙන එකෙක්ව දායි… උඹට උඹ දැන් ඉන්න අපාට්මන්ට් එකෙන් අයින් වෙලා මෙහාට එන්න වෙන්නේ ඊටපස්සේ… මොකද අපිව ට්‍රැක් කරන උන්ට සැක හිතෙන පුංචිම දෙයක්වත් වෙන්න බෑ…”
විසල්ගේ වදනට අනෙක් තිදෙනා ම හිස සලමින් එකඟවූහ.
“විස්සා හරි… නදීගේ ආච්චි ඇක්ට් කරපු රෝල් එක එක්ක බලද්දි අනිවා අපි ගැන ඇහැ ගහගෙන ඇත්තේ මුන්…”
සත්සර විසල්ගේ වදන් අනුමත කරමින් කීවේ ය.
“සතා අයියාගේ වැඩේට සප් එකට සර්කල් එකෙන් කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා අයියේ… උන් කොම්රේඩ් කමියුනිටි කියන නමින් Facebook, Instagram වගේ සෝෂල් මීඩියා, සෝෂල් නෙට්වර්ක්ස් වලින් වැඩේ කරගෙන යයි… මුලින් නිකං හයිලයිටඩ් පොලිටිකල් ක්වෝට්ස්, ඒවට මැච් වෙන මූවී සීන්ස් වගේ ඒවා අරන් හදන වීඩියෝස්, විරෝධාකල්පී ගීත වගේ හෙවී නැති ඒත් හීන් නූලෙන් යන්ග් ජෙනරේෂන් එකට ඉක්මණට ටච් වෙන විදියේ පෝස්ට්ස් ශෙයාර් කරන පේජස් විදියට වගේ කරගෙන යන්නේ… කොම්රේඩ් කමියුනිටි එක එළියට එනකොට ඒවගෙන්ම පබ්ලිසිටි දෙන්න තරම් ඕඩියන්ස් එකක් ඒවට හැදිලා තියේවි එතකොට… ඒ වැඩ ටික අර කොල්ලෝ දෙන්නා කරයි. සතා අයියට තියෙන්නේ ඒවට මැච් වෙන අයිඩියාස් ඒ කොල්ලෝ දෙන්නට දෙන එක විතරයි…”
යශෝද් කීවේ තවත් පසෙකින් දිවෙන පූර්ව ප්‍රචාරණ වැඩසටහනක් පිළිබඳව ය.
“මේ වැඩේට වැලාටත් පුලුවන්නේ මට උදව් කරන්න…”
සත්සරගේ යෝජනාව හිස සලමින් තාරක පිළිගත්තේ ය. මොහොතක් කල්පනා කරමින් සිටි විසල් යළි හඬ අවදි කළේ ය.
“එක අවුලක් තියේ තව…”
අනෙක් තිදෙනා ඔහු දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් රැඳි දෑස්වලිනි.
“මේ සේරම හරි කියමුකෝ… අපිට ඕනේ දැන් වෙපන්ස්… ඒකට නම් අපිට පිටින් උදව්වක් ගන්න වෙයි වගේ…”
විසල් කීවේ හිසකෙස් මතින් නොසන්සුන් ලෙස අතැඟිලි යවමිනි.
“සමීර අයියලට බැරිද ඒකට අපිට උදව් කරන්න..?”
තාරක විමසුවේ ය. විසල් හිස දෙපසට සැලුවේ තාරකගේ බලාපොරොත්තු කඩ කරමිනි.
“අපිට ඕනේ වෙපන් එකක් දෙකක් නෙවි වැලා… අපි හතරදෙනා විතරක් ආර්ම්ඩ් වෙලා මදි මේ වෙලාවේ. රනුවට, අපේ බැක්-අප් එකේ උන්ට, එරානයට, ගාඩ් එකට ඉන්න උන්ට, ඩීල්වලට බහින උන්ට සේරටම බඩු ඕනේ… ලීගල් වෙපන්ස් වලින් මුකුත් කරන්න බෑ. මොකක් හරි ලීක් උනොත් රෙජිස්ටර් ඩීටේල්ස් තියන නිසා ඒක කේස්… ඒ නිසා ඉල්ලීගල් වෙපන්ස් ගන්න විදියක් ඕනේ… ඉසුරු අයියටයි, අප්පුටයි තමා කියන්න වෙන්නේ…”
විසල් විස්තර කරමින් කීවේ ය.
“ඉසුරුලාට ඉල්ලීගල් වෙපන්ස් අපිට ඕනේ තරම් ප්‍රමාණයක් මේ වෙලාවේ සප්ලයි කරන්න බෑ විස්සා…”
සත්සර කීවේ එම ප්‍රයානය අසාර්ථක බව දක්වමිනි. සිව්දෙනා අතර මොහොතකට වූයේ නිහැඬියාවකි.
“දුලාජ්, හරිත්, රිද්ම තුන්දෙනාගෙන් කාගෙන් හරි උදව් ගන්න බෑද..?”
යලිත් තාරක ය.
“බෑ බං… හරිත්ට කොහොමත් ඒ තරම් පවර් එකක් නෑ… රිද්මයි, දුලායි කියන්නේ වෙපන්ස් වගේ සීන් එක්ක කන්ෆ්ලික්ට් වෙන විදියේ බිස්නස්වලට සම්බන්ධ උන් නෙවි… අනික මොක උනත් හිමේෂ්ව මරන්න රිද්මගෙන් කොයිම විදියකින්වත් උදව් ඉල්ලන්න බෑ බං…”
සත්සර හිස සැලුවේ ය. මෙතෙක් නිහඬව සිටි යශෝද් හිස ඔසවා විසල් දෙස බැලුවේ ය.
“මං දන්න කෙනෙක් ඉන්නවා චූටි අයියේ… පොරගේ කන්ටැක්ට් එකක් තියේ මේ වැඩකට උදව් ගන්න පුලුවන් වෙන විදියේ පොරක් එක්ක…”
විසල් දෑස් හකුළා යශෝද් දෙස බැලුවේ ය. සත්සර සහ තාරක ද, ඔහු දෙස විමසිලිමත් බැල්මක් හෙලූහ.
“ශුවර් කරන්න පුලුවන් එකෙක්ද..? අනික අපිට ඕනේ තරම් ප්‍රමාණයක් බඩු ගන්න පුලුවන් එකෙක්ද..?”
විසල් විමසුවේ ය.
“අපේ ඉස්කෝලේ මට සීනියර් බැච් එකේ කොල්ලෙක් තමා මට කතා කළේ. ඉස්කෝලේ කාලේ පොඩ්ඩක් දන්නවා මං උන්ව… උන්ට අපේ යුනියන් වලින් පොඩි සප් එකක් ඕනේ වෙලා තියේ උන් ගහන පොලිටිකල් ගේමකට…”
යශෝද් විස්තර කරන්නට විය.
“ඒ කිව්වේ..?”
විසල් කොන්ද කෙලින් කර අසුන මත හරි-බරි ගැහුණේ කතාව අතිශය වැදගත් වූ බැවිනි.
“උන්ගේ ගේම යන්නේ ඉස්සරහට එන ප්‍රසිඩෙන්ශල් එකත් එක්ක. අපි ඒකට කොහොමත් ප්‍රිපෙයා වෙන්නෑනේ… උන්ට ඕනේ එකාව මහපුටුවෙන් තියන්න අපෙන් කැම්පස් යුනියන්වල සප් එක උන්ට ඕනේ… මං අහපු වෙලේ හිතලා බලන්නම් කිව්වා… දැන් ජාතිකෙන් අයින් උනු කැම්පස් කීපෙකුත් තියේනේ. ඒත් අනික් ටික අපේ අතේ නිසා උන්ගේ කැන්ඩිඩේට්ව පුටුවට ගෙන්නන්න අපෙන් උදව් ඉල්ලන්නේ…”
විසල් මොහොතක් රැවුල පිරිමදිමින් යශෝද් දෙස බලාසිටියේ ය.
“මෙවෙලේ අපිට ප්‍රසිඩන්ෂල් එක අදාළම නෑ විස්සා… අපේ ටාර්ගට් එක නෙක්ස්ට් ඉයර් පාර්ලිමන්ට් ඉලෙක්ශන් එක…”
සත්සර කළ සිහිගැන්වීමට විසල් හිස සැලුවේ ය.
“මේක ඌරගේ මාලු ඌරගෙම පිටේ තියලා කපන වැඩක් බං… ඒ නිසා හයිලි ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩන්ශල් වෙන්න ඕනේ…”
සත්සර ඌනපූර්ණයක් එක් කළේ තම කණ්ඩායමේ ස්ථාවරය මෙනෙහි කරමිනි.
“යශ්… මේක ඕවර් ද ෆෝන් කතා කරන්න බෑ. උන් එක්ක මීට්-අප් එකක් ඉල්ලපන්… මේක ෆෙයා ඩීල් එකක් වෙන්න ඕනේ… උන්ට ඕනේ දේ අපි දෙනවා. අපිට ඕනේ දේ උන් දෙනවා… එතනින් අපේ ඩීල් එක ඉවරයි… හැබැයි ඒ ඩීල් එක අපේ ටාර්ගට්ස් වලට කිසිම බාධාවක් වෙන්න බෑ… අපෙන් උන්ට කිසි කේස් එකකුත් නෑ…”
විසල්ගේ ගැඹුරු ස්වරය දැඩි ය. බැරෑරුම් ය.
“ශුවර්… මං මට කතා කරපු එකාට ගන්නම්… උගේ කන්ටැක්ට් නම්බර් එක මා ගාව තියේ…”
යශෝද් කීවේ සිය ජංගම දුරකතනය අතට ගනිමිනි.
“කවුද යශා ඔය පොර..? අපේ ඉස්කෝලේ එකෙක් නම් අපි දන්න එවුන් වෙන්නත් ඇතිනේ…”
තාරක විමසුවේ ය. යශෝද්ගේ මුවග සිහින් සිනහවකට ඇද වී යන්නට විය.
“මට කතා කළේ හිමංස කියලා ඩයල් එකක්. ඌව තමයි ඒ සෙට් එකෙන් ඉස්කෝලේ යන කාලේ මං හොඳටම දන්නේ… අපෙන් උදව් ඕනේ එකා චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ්ගේ (ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි) නෙෆිව් කෙනෙක්. අපේ ස්කූල් රග්බි ටීම් එකේ සුපිරි ප්ලේයර් කෙනෙක්… ඔයාලා නොදන්නම කෙනෙකුත් නෙවි… පොරගේ තාත්තා ලංකාවේ රියල් ස්ටේට් ලීඩින්ග් බිස්නස්මන් කෙනෙක්… නුගවෙල ෆැමිලි එකේ එකෙක්…”
යශෝද් ජංගම දුරකතනය සවනත තබාගත්තේ තමන් දෙස බලාසිටි තිදෙනාගේ ම මුවේ සිහින් සිනා රැළි ඇඳෙන අතරතුර ය.
✍🏼 සකුනි හතරසිංහ