මුරුගසන් වැහි ❤️‍🔥

-25 කොටස-

‘තවත් එක පඹයෙක් හදන්නට

ගිහින් එක්කහු වෙනවා වෙනුවට

උපන් කමතට පොහොර වෙන එක

සැපකි සතුටකි පිදුරු ගහකට’

-රුවන් බන්දුජීව

සරසවිය ඉදිරියෙන් ම වූ පටු මාවත් කිහිපයක් ම ඔස්සේ ධාවනය වූ යතුරුපැදිය අවසානයේ අඩක් නිමකළ ගොඩනැගිල්ලක් ඉදිරිපිට නැවතිණි.

“මෙතනින් බහින්න සුදූ… මං බයික් එක දාලා එන්නම්…”

යශෝද් කීවේ පසුපස අසුනේ සිටි සසඳි හට ය. විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්ය ධූරය සඳහා වූ සම්මුඛ සාකච්ඡාව නිම වූ සැණින් යශෝද් සමඟ මෙහි පැමිණි බැවින් ඈ සැරසී සිටියේ දම් සහ රෝස පැහැයන් මුසු වූ කපු සාරියකිනි. තම හඬට අවනතව යතුරුපැදියෙන් බැසගත් ඇගේ හිස් ආවරණය තමන් විසින් ම ගලවාගෙන යළිත් යතුරුපැදිය පදවාගෙන ගොඩනැගිල්ලේ බිම් මහලේ ගරාජයක් වැනි කොටසකින් නැවතූ යශෝද් හිස් වැසුම් ද්විත්වය ම එහි තබා සසඳි නැවතීසිටි ස්ථානයට පැමිණියේ ය. ඉදිකිරීම් කටයුතු සඳහා වැසීමට භාවිත කරන විසල් ඝන ඉටිරෙද්දකින් ගරාජයේ මුවවිට වසාතිබුණෙන් එහි වූ යශෝද්ගේ යතුරුපැදිය හෝ අනෙක් යතුරුපැදි ගරාවැටී තිබූ තාප්පයෙන් එපිට වූ මාර්ගයේ ගමන් කරන්නෙකු හට දර්ශනය නොවීය. සහතික පත්‍ර සහ ඇඳුම් කිහිපයක් අඩංගු ගමන් මල්ලක් සහ තම අත්බෑගය අතින් ගත් සසඳි, යශෝද් එන තෙක් ගොඩනැගිල්ලේ කෙටි ආලින්දයේ පුළුල් කණුවකට මුවාවී සිටියා ය.

“යමු… කට්ටිය උඩ ඇත්තේ…”

සසඳිගේ අතකින් අල්වාගත් යශෝද් කීවේ හුණු පිරියම් නොකළ බිත්ති අතරින් වූ පටු පියගැටපෙළක් නගිමිනි.

“මෙතන ඔයාලගේ තැනක්ද..?”

සසඳි සිහින් හඬින් විමසුවා ය.

“හ්ම්ම්ම්…”

යශෝද්ගේ පිළිතුරෙන් සෑහුණු ඇය යළිත් ප්‍රශ්න නොනැගුවා ය. තෙවන මහලේ පියගැටපෙළ අවසන් වන ස්ථානයේ ම වූ දොරක් විවර කරගත් යශෝද්, සසඳි සමඟින් එයට ඇතුල්වන විට එහි තැනින් තැන කණ්ඩායම් වී සිටි තරුණයන් රැසක් සිටින බව සසඳි වටහාගත්තා ය. ඒ තරුණයන් අතර විවිධ වයස් කාණ්ඩවල පසුවන්නන්, විවිධ විලාසිතා අනුව සැරසී සිටින්නන්, විවිධ හැඩතල දරන්නන් වන බව සසඳි වටහාගත්තේ කෙටි බැලුම් කිහිපයකිනි. තරුණයන් අතරින් යශෝද් ඇවිදගියේ සසඳිගේ අත අතනෑරම ය. අතරමග හමු වූ ඇතැම් තරුණයෙකු සමඟ ඔහු මොහොතක් නැවතී කතාබස් කළේ සසඳිව ද හඳුන්වාදෙමිනි.

“කවීලා රූම් එකේ ඇති යශා… නංගිව එහාට දාලා උඹ වරෙන්…”

කණුවකට පිට දී සත්සර සමඟ කතාබහක නිරතව හුන් රනුක කීවේ යශෝද් දුටු විගස ය. ඔහුට අතින් සන් කළ යශෝද්, රනුක පෙන්වූ දොර විවර කරගෙන කාමරයකට පිවිසියේ ය.

“කවී අක්කේ… මේ මගේ ගර්ල් සඳී…”

ඔහු කීවේ කාමරයට ඇතුල්වන තැන ම සිටගෙන ජනනි සමඟ කතාබහක හුන් කවිනි හට ය.

“එන්න නංගි… මල්ලි ගියාට කමක් නෑ ඔයා අපිත් එක්ක ඉන්න…”

කවිනි සුහදව කීවේ සසඳිගේ අතකින් ද අල්වාගනිමිනි. සසඳිව, සෙසු යුවතියන් හට පැවරූ යශෝද් කාමරයෙන් පිට වී ගියේ ය. කවිනි, සසඳි අතැති ගමන් මල්ල සහ අත්බෑගය ඉල්ලාගෙන එය එහි වූ කොහු මෙට්ටයක් ඇතිරූ ඇඳක් මත තැබුවා ය.

“මල්ලි ඇක්සිඩන්ට් වෙලා ඉද්දි මං බලන්න ගිය වෙලේ සුදු අක්කා මට ඔයාව පෙන්නුවා… ඒත් කතා කරන්න උනේ නෑ එවෙලේ…”

විසල්ගේ වැඩිමහල් සොහොයුරිය පිළිබඳව සඳහන් කරමින් කවිනි කීවේ සසඳි හට සුහදවෙමිනි. සුරතල් පෙනුමකින් සහ පිරුණු අඟපසඟින් යුතු කුඩා යුවතිය කවිනි සමඟ පමණක් නොව නදිනි, ජනනි, ජානු සහ ලිහාරා යන එහි සිටි තරුණියන් සියල්ල ම සමඟ කුළුපග වූවා ය.

“අද මුල්ම වතාවට මෙතනට කෙල්ලෝ ඇවිත් තියෙන්නේ… අනික කොම්රේඩ්ස්ලා නොවන අයත් මුල්ම වතාවට ඇවිත් තියෙන්නේ…”

නදිනි කීවේ සිනහවක් පාමිනි.

“අපි ඉතිං කොහොමත් ඉතිහාසය අලුතින් ලියන මිනිස්සුනේ…”

ඇඳසිටි ගවුමේ කුඩා කොලරය ඔසවමින් ලිහාරා සිනාසුණා ය. සසඳි, ඈ සමඟ සිටි කවිනි, නදිනි, ජනනි සහ ජානු දෙස බැලුවේ ගෞරවයෙන් යුතු බැල්මක් සමඟිනි. ඔවුන් විශ්වවිද්‍යාල ඉතිහාසයේ අමරණීය කාල පරිච්ඡේදයක තම නම් ඉහළින් ම රැන්දූ පුරාවෘත බඳු ය. ඉඳහිටෙක විවර වූ කාමරයේ දොරෙන් ඇතුලුව යුවතියන් හා සංවාදයේ යෙදුණු තරුණයන් ද විය. මෙහි පැමිණීමට පෙර සසඳිගේ සිතේ මැවුණු කොම්රේඩ්වරුන්ට වඩා ඔවුන් හාත්පසින් වෙනස් වූහ. විප්ලවකාරයින් කියූ සැණින් ඈ සිතේ ඇඳුනු ප්‍රතිරූ එහි පැමිණ සිටි තරුණ-තරුණයින්ගේ විවිධ පෞරුෂයන් හමුවේ බිඳවැටිණි.

“වරෙන් උඹලත් එළියට… සේරමලා ඇවිත් ඉන්නේ…”

කාමරය තුළට හිස පමණක් දැමූ තරුණයෙකු කීවෙන් තරුණියෝ කාමරයෙන් පිටත ශාලාවට පැමිණියහ. විවිධ වයස් මට්ටම්වල තරුණයන් සියයකට ආසන්න හෝ එයත් ඉක්මවූ ගණනක් එහි විය. ලෑලි ගසා ආවරණය කරන ලද ජනෙල් පියන්පත් සහිත කවුලුවකට පිටුපා සිටගෙන සිටියේ විසල් ය. ඔහු අසලින් ම ජනෙල් පඩිය මතට අතකට බර දී තවත් තරුණයෙකු හා කතාවක යෙදෙමින් සිටියේ රනුක ය. විසල් සිටියේ ඔහු සමඟ සිටි සමීර, සහස් සහ සත්සර සමඟ කතාබස් කරමිනි.

එකවරම ඔවුන්, සිය සංවාද නවතා පිරිස දෙසට හැරුනෙන් සියල්ලෝ ම නිශ්ශබ්ද වූයේ මීයට පිම්බාක් මෙනි. විසල් සහ රනුක සිය සුරත් ඔසවා සුපුරුදු සමාචාරය දක්වන විට අනෙක් සියල්ලෝ ද එය අනුගමනය කරමින් සමාචාර දැක්වූහ. යුවතියන්ගෙන් එම සමාචාරයට ප්‍රතිසමාචාර දැක්වූයේ කවිනි, නදිනි සහ ජනනි පමණි. ජානු සහ ලිහාරා සමඟින් සසඳි ඒ දෙස බලාගෙන සිටියා ය.

“කොම්රේඩ්ස්…”

සමාචාරයෙන් අනතුරුව ඇතැමුන් අසුන්ගත් අතර ඇතැම්හු සිටගත් වනම සිටියහ. යුවතියන් හට පනවා තිබූ අසුන්වල හිඳගන්නා අතරතුර සසඳිගේ දෑස සෙවූයේ යශෝද්ව ය. ඔහු ඉදිරිපස කෙළවරකට වන්නට සිටගෙන සිටියේ සසඳි දෙසට මුහුණලා මෙනි. දෑත් පපුවෙන් බැඳගත් ඔහුගේ අවධානය යොමුව තිබුණේ විසල් වෙතට ය.

“අද ලංකාවේ ඉන්න සේරම කොම්රේඩ්ස්ලා මෙතන ඉන්නවා… ක්ලෑන් එක වෙනුවෙන් ලංකාවෙන් ගිය අය විතරයි මෙතන නැත්තේ… මුලින්ම කතාකරන්න මං සමීර අයියට ඉඩදෙනවා…”

විසල් පසෙකට වී සමීරට ප්‍රමුඛත්වය දුන්නේ ය.

“කියන්න ලොකු දේවල් මට නෑ… ඒත් අපි ලබන අවුරුද්දේ කොම්රේඩ්ස්ලා විදියට අපේ ක්‍රියාකාරී දේශපාලන ප්‍රවේශය ලබනවා කියන එක නිල වශයෙන් දැනුම්දෙනවා… ඒ කියන්නේ SPF (සමාජවාදී ජනතා පෙරමුණ) එකත් එක්ක අපි PLF නැත්නම් Populist Left Front නමින් හවුල් පක්ෂයක් විදියට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනවා… අපෙන් කීපදෙනෙක් ඡන්ද අපේක්ෂකයන් විදියට ඉදිරිපත් වේවි… ඒ එක්කම කොම්රේඩ් ක්ලෑන් එක සහ කොම්රේඩ් සර්කල් එක, සහෘද සංසදය නැත්නම් Comrade Community (කොම්රේඩ් කොමියුනිටි) කියන නමෙන් දේශපාලන කරළියට එනවා…”

“එතකොට ක්ලෑන් එකයි, සර්කල් එකයි දිගටම තියාගන්නේ බිම් මට්ටමෙන්මද..?”

සමීරට බාධා කරමින් ජනක විමසුවේ ය.

“ඔව්… එක පාරටම අපිට දේශපාලනයට එක්ස්පෝස් වෙන්න බෑ… මොකද අපට Armored division (සන්නද්ධ අංශය) එකක් තියනවා කියන එක ලොකු මතභේදයක් ඇති කරන නිව්ස් එකක් වෙන්න පුලුවන්. ඒ නිසා අපි දේශපාලනික ප්‍රවාහයට ඇතුල් වෙන්න ඕනේ අලුත්ම කන්සෙප්ට් එකක් ෆලෝ කරන අලුත් පක්ෂයක් විදියට. ඊටපස්සේ අපි ඉලෙක්ෂන් එක වෙනුවෙන් SPF එක එක්ක එකතුවෙනවා… හැබැයි කොම්රේඩ් කොමියුනිටි එක ඇතුළේ ක්ලෑන් එකේ අයයි, සර්කල් එකේ අයයි දෙගොල්ලොම ඉන්නවා… කොහොම උනත් කොම්රේඩ්ස්ලා එළියට එනවා… වෙනස තියෙන්නේ අපේ ඇත්තම ස්ට්‍රක්චර් එක අපි එළියට නොදෙන එක විතරයි…”

පිරිස එය පිළිගත් බව දක්වමින් හිස් සැලූහ. සමීර, විසල් හට ඉඟි කරමින් පසෙකට වූයේ ය.

“මෙතන හැමෝම දන්නවා අපි මිෂන් එකකට රෙඩි වෙනවා කියන එක… මොකද අපිට ඕනේ මරලා දාපු අපේ සහෝදරයෝ වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරන්න… ඒ වගේම කොම්රේඩ්ස්ලා විදියට පොලිටිකල් ඇප්‍රෝච් එකක් ගන්න. ඒ කියන්නේ සමීර අයියා දැන් ටිකකට කලින් කිව්ව පක්ෂයක් විදියට එළියට එන්න නම් අපිට ඒකට පාත් එකක් හදාගන්න ඕනේ… මේ මිෂන් එක ඒ දෙකම වෙනුවෙන්. ඒකට මෙතන ඉන්න හැම කොම්රේඩ් කෙනෙක්ගෙන්ම දායකත්වය ඕනේ… ඒත් මිෂන් එකේ ෆ්‍රන්ට් එකට යන්නේ හතරදෙනයි. ඒ වගේම තව කෙනෙක් ක්ලෑන් එක ලීඩ් කරයි. ෆ්‍රන්ට් එකේ හතරදෙනාට බැක්-අප් එකට තව තුනක් හෝ හතරක් ඕනේ. අනික් අය මිෂන් එකේ මේන් රෝල්ස් වලට ඇතුළත් නොවුණට එයාලගෙන් එක එක උදව් ඕනේ වෙයි මේ අයට… එහෙම කරන්නේ මේ කමියුනිටි එකේ රියල් ෆේස් එක කවර් කරගෙන පොලිටිකල් ඇප්‍රෝච් එක ගන්න නිසයි… මොකද අපි නිකම්ම පක්ෂයක් කියලා එලියට ආවට කවුරුවත් අපිව ගණන් ගන්නෑ. ඒ නිසා අපේ ස්ටේජ් එකත් අපිම හදාගෙන තමයි අපි පක්ෂයක් විදියට එළියට එන්නේ…”

විසල් කතාව ආරම්භ කරමින් කීවේ ය. කවිනි මෙන් ම නදිනි ද ගැඹුරු හුස්මක් ඉහළට අදිනු සසඳිට ඇසිණි.

“ෆ්‍රන්ට් එකක් හදනවා කියන්නේ ඉස්සෙල්ලම බෙල්ල ගහලා යන්නේ ෆ්‍රන්ට් එකේ ඉන්න හතරදෙනාගේ… අනික උන් හතරෙන් එකෙක් හරි පණපිටින් අහුවුණොත් වැඩේ ගැස්සෙන්නත් පුලුවන් විස්සා…”

ජනක, සිය හමුදාමය දැනුමෙන් කීවේ ය.

“ඒ නිසාම තමයි ෆ්‍රන්ට් එකක් හදන්නේ… මිෂන් එකේ සම්පූර්ණ ප්ලෑන් එක දන්නේ ඒ හතරදෙනා විතරයි. එතකොට ඒ හතරම අහුවුණත් ඩැමේජ් එකක් නෑ ක්ලෑන් එකට… තෝරගත්ත හතරදෙනා හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් ශුවර්. ඒ නිසා උන් ඒ හතරදෙනාම මැරුවත් ප්ලෑන් එක පිටට යන්නෙත් නෑ. කමියුනිටි එකේ අනික් අයට හානියක් වෙන්නෙත් නෑ… ඒ හතරදෙනා තෝරාගත්තේ ෆිසිකලි, මෙන්ටලි දෙපැත්ත ගැනම හිතලා බලලා…”

විසල්ගේ හඬේ වූයේ විශ්වාසවන්ත බවකි.

“කවුද ෆ්‍රන්ට් එකේ ඉන්නේ..?”

සචිත් විමසුවේ ය. විසල් මීළඟට කියූ වදනින් සසඳිට දැනුණේ සියොළඟ හිරිවැටී ගිය බවකි.

“මම, වැලා, සතා අයියා, යශා…”

විසල්ගේ දෙනෙත් තාරක, සත්සර සහ යශෝද් මත පිළිවෙලින් ගමන් ගත්තේ ය. සසඳිගේ දෑසට කඳුලු පිරුණේ තමා වෙතට එක එල්ලේ එල්ලවූ යශෝද්ගේ තියුණු බැල්ම හේතුවෙන්ද, නැතහොත් තම අතැඟිලි මිරිකෙන තරම් තදින් අත තදවුණු කවිනිගේ දැඩි ස්පර්ශය හේතුවෙන් ද යන්න ඇයට නිනව්වක් නොවීය. කවිනිගේ අතැඟිලිවල සීතල පහස සසඳිගේ සෛලයක් සෛලයක් පාසා දැනෙන්නට විය.

“කවුද ලීඩර්ශිප් රිප්ලේස්මන්ට් එක විස්සා..?”

එවර අසංක ය.

“රනුවා තනියම ඇදගෙන යයි අයියේ ඒක… ඔයා, සචියා එක්ක රනුවව කවර් කරන්න… මොකද එරානයට යශාගේ වැඩවලට සප් කරන්න වෙයි…”

අනතුරුව විසල් දැඩි හුස්මක් ඇද්දේ ය.

“මේක වොලන්ටියර් සිලෙක්ෂන් එකක්… මිෂන් එකේ හතරදෙනාගේ බැක්-අප් එකට තුනක් හරි හතරක් හරි ඕනේ…”

විසල්ගේ වදන් අවසන් වත්ම මිට මෙලවූ දෑත් පනහකට වඩා එසවී තිබෙනු දැකගත හැකි විය. විසල්, රනුක දෙස හිස හරවා බැලුවෙන් ඔහු ඉදිරියට පැමිණියේ ය.

“තිසා, ජනා, සංජු බැක්-අප් එකට ගමු… නඳුනා කොහොමත් බැක්-අප් එක ලීඩ් කරන්න ඉන්නවා…”

රනුක කීවේ තිසර, ජනක, සංජුල සහ නඳුන් දෙස පිළිවෙලින් බලමිනි.

“අනික් හැමෝමවම ටීම් කරලා ඒරියා විදියට බෙදනවා… මේක ඉවර වෙලා සර්කල් එකේ එවුන් එක්ක පොඩි මීටින් එකක් තියේ… ඒකෙන් පස්සේ බලමු ඒවා ඩිවයිඩ් වෙන්නේ කොහොමද කියලා… දැනට තම තමන්ගේ වගකීම් කරගෙන යන්න… මොන දේ උනත් කමියුනිටි එකේ වෙන කිසිම කෙනෙක් එළියට එන්න බෑ අපි හතරදෙනා හැර. ඒ තමයි අවසන් තීරණය…”

විසල් කීවේ අවසන් වශයෙනි. අනතුරුව එකිනෙකාගේ රාජකාරි බෙදීම් පිළිබඳ සාකච්ඡා දීර්ඝ ලෙස ඇදීගියේ දෙහෝරාවකට ආසන්න කාලයක් පුරාවට ම ය. එය අවසන් වූයේ විසල් නුදුරු අනාගතයේ ආරම්භ වන මෙහෙයුම හේතුවෙන් තමන් නායකත්වයෙන් ඉවත්වන බව දැනුම්දීමත් සමඟ ය. ඉන් සියලුදෙනා අතර පැතිරුණේ දරුණු නිහැඬියාවකි.

“අපි අවිහිංසාවාදියෝ නෙවි… මෙතන ඉන්න හැමෝම වෙපනරි ට්‍රේනින් ගත්ත අය. කෙල්ලෝ තුන්දෙනා පවා… අපි මැරෙන්න වගේම මරන්නත් ලෑස්ති පිට ඉන්න මිනිස්සු… මගේ ආගමට අනුව මං කර්මය විශ්වාස කරනවා… ඒත් මගේ අතින් හෙලවෙන හැම ලේ බින්දුවක්ම එහෙම වෙන්නේ අතිශය සාධාරණ හේතුවක් මත කියලා මං විශ්වාස කරනවා. අඩුගානේ මගේ හිත හදාගන්න හරි…”

විසල්ගේ හඬේ වූයේ බිඳුණු බවකි.

“මෙතන ඉන්න බහුතරයක් මරණය කියන දේ අත්විඳපු අය… නැත්නම් ළඟම කෙනෙක් නැති වෙච්ච අය… ඒ නිසා මේ කරන්න යන වැඩේ බයානකකම හැමෝටම දැනෙනවා ඇති කියලා මං හිතනවා… අපි අවුරුදු හතක් පහුබැස්සා… හොඳට සූදානම් උනා… ඉලෙක්ෂන් එකට අවුරුද්දයි… අවුරුදු දාසයක් තිස්සේ අපි දැක්ක හීනේ එළිවෙන්න අවුරුද්දයි තියෙන්නේ… ඉස්සරහා මාස දහය අපිට කල්පනාවෙන් වැඩ කරන්න වෙයි… මෙතන කවුරුවත් මැරෙනවා දකින්න අපි ආස නෑ… ඒත් උන්ගේ සිස්ටම් එක ඒක. අපි මදුරුවෙක් මරණවා වගේ ලේසියෙන් උන් අපිව මරලා දාවි… ඒ නිසා හැමෝම කල්පනාවෙන්…”

රනුකගේ දැඩි ස්වරය යළි සුසර විය. විසල් නායකත්වය දරණ අවසාන මොහොතේ අවසන් වරට තම සහෘදයන් ඇමතුවේ ය.

“කොම්රේඩ්ස්, මේ මිෂන් එක ඉවරවෙනකන් අපි හම්බෙන අන්තිම මීටින් එක මේක… සමහරවිට අපි ආයේ මුණගැහෙන එකක් නෑ… ඒත් අපි අපේ ජීවිතේ වටිනාම කාලේ කැපකරලා, සමහරවිට අපේ ජීවිත පවා කැපකරලා මේ කරන විප්ලවය දවසක ජයග්‍රහණය කරාවි කියන විශ්වාසෙන් වෙන්වෙමු… අපේ වැඩිහිටියෝ අපිට උරුම කරපු රටට වඩා හොඳ රටක් ගොඩනැගීම වෙනුවෙන් අපි අපේ උපරිම උත්සාහය දරමු…”

විසල්ගේ හඬ දැඩි වුවත් එම වදන්වලින් ජනිත වූයේ හිත කීරිගැසෙන තරම් සංවේදීභාවයකි. පෙර කථිකා කරගත්තාක් මෙන් රනුක, විසල් ඉදිරියේ සිටි පිරිස සමඟ සිටගත්තේ විසල් දෙසට මුහුණලා ය. තෙත් නොවුණ ද රනුකගේ දෙනෙත්වල වූයේ බොර පැහැයකි. ඒ සමඟ ම යශෝද්, තාරක සහ සත්සර, විසල් සමඟ පෙළට සිටගත්තේ සෙසු තරුණයන්ට මුහුණලා ය. නඳුන්ගේ ඉඟියකට යටත් වූ තරුණියන් සයදෙනා ද, තරුණයන් සිව්දෙනාට මුහුණලා සිටි පිරිසට එකතුවූහ.

“මේ ආචාරය අපි අතරින් වියෝවුණු කොම්රේඩ්වරු වෙනුවෙන්…”

“කොම්රේඩ්ස්…”

ජානු, ලිහාරා සහ සසඳි හැර අනෙක් සියලුදෙනා ම මිටි කළ සුරත් නළල තෙක් ඔසවා මියගියවුන් වෙනුවෙන් සිය සමාචාරය පුදකළහ. ජානු, තම පපුව මතින් සුරත තබාගත්තා ය.

“මිෂන් එක හෙට ඉඳන් ක්‍රියාත්මකයි… ඉලෙක්ෂන් එකට කලින් ආයේ වතාවක් ජෙනරල් මීටින් එකක් ගන්න වෙයි… එදාට මේ හැමෝමවම හමුවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා…”

විසල් අවසන් වශයෙන් කීවේ තිර හඬිනි. විසල්, තාරක, සත්සර සහ යශෝද් හැර අනෙක් සියලුදෙනා යළිත් මිටි කළ හස්තයන් නළල මතට ගත්හ. කවිනිගේ හස්තය තරමක් වෙව්ලන්නට විය.

“Farewell Comrades… (සමුගැනීමක් සහෘදයනි…)”

සසඳිගේ දෙනෙත් ඉවුරු බිඳගෙන කඳුළු ගංගාවක් කොපුල් මතින් ගලන්නට විය. ඇය දෑත් එක් කොට වැඳගත්තේ සීතල බැල්මක් දෑසෙහි තවරාගෙන හැඟුම් විරහිතව තමන් දෙස බලාසිටින යශෝද් දෙස බලාගෙන ය. විසල් යටිතොල සපාගත්තේ සසඳිගේ වැඳගත් දෑත් සහ හඬන දෙනෙත් දෙසත්, කවිනිගේ වෙව්ලන හස්තය දෙසත් බලමිනි. තාරක ගැඹුරු සුසුමක් හෙලුවේ හැඟීම් විරහිත දෑසිනි. සත්සර පමණක් මුවග සිනහවක් තවරා සිය සහෘදයන් දෙස සැහැල්ලුවෙන් බැලුවේ ය. අනතුරුව ඔවුන් සිව්දෙනා ද මිට මෙලවූ හස්තයන් නළලත තෙක් ඔසවා සමාචාර කළහ.

“Farewell Comrades…”

ඒ සිව්හඬේ වූයේ ජවයකි. දැඩි බවකි. ජානු, සසඳිගේ උරහිස් මතින් අතක් යවමින් ඇයව වත්තන් කරගත්තා ය. ඇය ඉකිගසමින් ජානුව වැළඳගත්තේ ලිහාරා මෘදුව ඇගේ හිස පිරිමදින අතරතුර ය. තරුණයන් එකිනෙකා බැගින් තමන්ට මුහුණලා සිටගෙන සිටින සිව්දෙනා හට සමුදුන්නේ වැළඳගනිමිනි. අනතුරුව කවිනි සහ සසඳි වෙත පැමිණි තරුණයන්, ඔවුන් දෙදෙනාට ද, සිය සෙනෙහස පුද කිරීමට අමතක නොකළහ. කවිනි දැඩි සිතින් යුතුව ඔවුන් හා කතාබස් කළ නමුත් සසඳි තවමත් ජානුගේ ගතට බර වී හඬන්නී ය. ඇය වෙතට පැමිණි සියල්ලෝ ම, ඇගේ හිස අතගා ඉවත්ව ගියේ ඈ කතා කරන්නට තරම් ප්‍රකෘතිමත් තත්ත්වයක නොවන බැවිනි.

විසල් ඉදිරියේ සිටගත් රනුක, සිය බොර පැහැති දෙනෙතින් විසල් දෙස මොහොතක් නිසලව බලාසිටියේ ය. අනතුරුව තම සුරතින්, විසල්ගේ සුරත දැඩිව ග්‍රහණය කරගත්තේ ය.

“උඹ ආපහු එන්නම ඕනේ… එච්චරයි…”

ඔහු විසල් හට කීවේ වැළඳගන්නට මොහොතකට මත්තෙනි. විසල් කිසිත් නොකීව ද, රනුකගේ දෙනෙතෙහි බොර පැහැය ඔහුගේ දුඹුරු පැහැ දෙනෙතට ද පුරන්නට විය.

තරුණයන් එකා, දෙන්නා බැගින් සමුගෙන ගිය පසු යශෝද් පැමිණියේ යුවතියන් වෙතට ය.

“සඳී…”

ඔහු සසඳිගේ හිසට අතක් තබාගෙන කතා කළ ද ඇය නෙතු තදින් පියාගත්තේ යළිත් කඳුළු අලුත් වූ බැවිනි.

“කවී අක්කේ ඔයාලා ආවේ කාර් එකේ නම් මෙයාව ශේප් එකේ එක්කන් යනවද අසංක අයියලාගේ පොට් එකට… මට සර්කල් එකේ මීටින් එකටත් ඉඳලම එන්න වෙන්නේ…”

ඔහු, කවිනි දෙසට හැරෙමින් කීවේ ය.

“අපි එක්ක යන්නම් මල්ලි… ඔයා ඒ වැඩ ඉවර කරගෙන එන්න…”

කවිනි වහා කීවේ ඔහුව නිදහස් කරමිනි. ඔහු, ඈ දෙසට කෘතඥතා පූර්වක සිනහවක් පෑවේ ය.

“මෙයාට wheezing (ඇදුම) තියේ අක්කේ… චුට්ටක් බලන්න ඒ නිසා…”

ඔහු යළිත් කීවේ ය.

“බය වෙන්නෙපා මල්ලි… අපේ නංගිත් ඉන්නවනේ…”

නදිනි වහා කීවේ ලිහාරාව පෙන්වමිනි. සසඳිව, යුවතියන් හට බාර කළ යශෝද්, විසල් ඇතුළු පිරිස සමඟ එහි ම රැඳුනේ තවත් හෝරාවකින් පමණ තවත් රැස්වීමක් ආරම්භ කිරීමට තිබූ බැවිනි.

නදිනිගේ නිවසට ගිය සසඳි ගත දොවාගෙන සැහැල්ලු දිගු ගවුමකින් සැරසුණේ රෝබෝවරියක මෙනි. කවිනි එතෙක් සිරකරගෙන සිටි සිය කඳුළු මුදාලූයේ නාන කාමරයේ වතුර මල යට දී ය. ලිහාරා සිටියේ තරමක වික්ෂිප්ත බවකිනි. එරාන්ගේ කාර්ය වපසරිය ඇයව බියගන්වා තිබිණි. නදිනි සියල්ලම දරාගෙන සිනාසී සිටිය ද ඈ සිටියේ ඇතුළතින් දැවෙමිනි. ජනනි දැඩි හිතැත්තියක වූයෙන් ඈ පසුවූයේ උපේක්ෂා සහගතව ය.

රාත්‍රී අඳුර පරිසරය ගිලගන්නට සූදානම් වෙමින් සිටි මොහොතක විසල් එහි පැමිණියේ තාරක, යශෝද් සහ නඳුන් සමඟ ය. යුවතියන් හා කෙටි පිළිසඳරකින් අනතුරුව ඔවුන් සූදානම් වූයේ අසංකගේ නවාතැන්පොළ වෙත යාමට ය.

“විසල්..”

ජානු පැමිණියේ ඔවුන් ආලින්දයට පැමිණි මොහොතේ ය. කොහේදෝ සිට දුවගෙන ආ ඉමෝද් පැන්නේ විසල්ගේ තුරුලට ය. විසල්, ඔහුව වැළඳගනිමින් ජානු දෙස බැලුවේ ය.

“ඉමෝද්ටයි, මටයි ඔයාලා හැමෝම ඕනේ… ඒ නිසා ඔයාලා හැමෝම පරිස්සමින් ආපිට එන්න…”

ජානු කීවේ ගැඹුරු සුසුමක් හෙළමිනි. විසල් අසීරුවෙන් සිනහවක් පෑවේ ය.

“ඔයා එන්නේ නැද්ද ජානු..?”

ඔහු විමසුවේ ය.

“බෑ බං… පුතා එක්ක මං ඉන්නම්… ඔතන කතා කන්ෆිඩන්ෂල්නේ… මෙයා එක්ක බෑ…”

ඉමෝද්ව නෙතින් පෙන්වමින් කීවා ය.

“මං කෑම ගෙනත් දෙන්නම් අක්කේ…”

යශෝද් කීවේ සිනහවක් සමඟිනි. ජානුගෙන් සමුගත් පිරිස පාගමනින් ම අසංකගේ නවාතැන්පොළ වෙත එන්නට පිටත්වූහ.

“සසඳි නංගිව අද මං එහෙ තියාගන්නවා…”

කවිනි, විසල් හා කීවේ සසඳිව පෙන්වමිනි.

“නංගිලාගේ ගෙදරට කිව්වද..?”

විසල්, කවිනි දෙස දෑස් සිහින් කර බලමින් විමසුවේ ය.

“ඔව් අනේ… මං කතා කළා නංගිගේ අම්මට… එහෙ ශේප්…”

“නංගිව එහෙ තියාගන්නවා කියන්නේ මූත් එහෙ තමයි අද…”

තාරක කීවේ යශෝද්ගේ කර වටා අතක් දමාගනිමිනි. සසඳි බිම බලාගෙන සිනාසුණා ය. මෘදු ගති ඇති මේ සංවේදී යුවතියට කවිනි මෙන් ම අනෙක් යුවතියන් ද ඒ වනවිට ද ඇලුම් කරන්නට වූහ. කතාබස් සමඟින් ඔවුන්, අසංකගේ නවාතැන්පොළ වෙත පැමිණෙන විට තවත් තරුණයන් කිහිපදෙනෙක් ම එහි විය. එරාන් දුටු විට නදිනිගේ නෙත් සිහින් වූවත් එහි කෝපයක් නොවී ය. නමුත් එරාන්, ඔවුන් වෙත පැමිණීමෙන් වැළකී සිටියේ ය. රිස්වාන් පැමිණ සිටියේ අවුරුදු එකහමාරක් වයසැති තම පුතු ද සමඟිනි. ජනනි වහා දරුවා හා කුළුපග වූයෙන් රිස්වාන් හට සෙසු තරුණයන් හා කතාබස් කිරීමට නිදහසක් ලැබිණි.

“වයිෆ්ට වැඩ නංගි… ඒ නිසා මං බබාව එක්කන් ආවා…”

බොදු යුවතියක හා විවාහවීම හේතුවෙන් රිස්වානුත්, මුස්ලිම් තරුණයෙකු හා විවාහවීම හේතුවෙන් ඔහුගේ බිරිඳත් පවුල්වලින් ඉවත් කර තිබිණි.

“අසාද් දවසක එයාට කැමති ආගමක් අදහාවි…”

බෞද්ධ හෝ මුස්ලිම් ආගම් ද්විත්වය අතර දෝලනය නොකළ තම පුතු පිළිබඳව රිස්වාන් දැරුවේ එවැනි මතයකි. ඔහු, තම පුතුට නම තබා තිබුණේ ද හින්දි බසින් නිදහස යන අරුත එන පරිදි අසාද් (Azad) ලෙස ය.

වෙරළට අද්දර වූ ශිලාමය බංකු මතට පිරිස එකතු වනවිට කළුවර පරිසරය වෙලාගෙන තිබිණි.

“මිෂන් එකකට සිලෙක්ට් වෙන එකේ එපාම වෙන දේ තමයි කන එකේ ඉඳන් හු-න එක වෙනකන් අනික් උන් මොනිටර් කරන එක…”

තාරක කීවේ පිරිස සිනාගන්වමිනි.

“සතා අයියට අවුලක් නෑ. කෙල්ලෝ නෑනේ… වැලා අයියට ඉතිං කොහොමත් කරන කියන සේරම කියන්න වෙනවනේ… අපේ අයියාටත් අවුලක් නෑ. කවී අක්කා කොහොමත් මේවා දන්නවා. ශේෂාගේ සීන් එක මිෂන් එකක් විතරයිනේ… මට තමා මේකෙන් ලොකුම සීන් එක වෙන්නේ… මගේ පුද්ගලිකත්වය කියන එක බල්ලටම යනවා…”

යශෝද් කීවේ පිරිස නැවත වරක් සිනහා සාගරයක ගිල්වමිනි.

“ඒ කියන්නේ ඔයාලා කරන හැමදේම අනික් අය එක්ක ශෙයා කරගන්න ඕනේ කියන එකද..?”

සිනහව අවසානයේ ලිහාරා විමසා සිටියා ය.

“බයවෙන්නෙපා නංගි එරානයට එහෙම අවුලක් නෑ…”

සංජුල කීවේ එරාන් වෙත ඉඟියක් පාමිනි. යළිත් පිරිස සිනාසෙන්නට වූහ.

“නෑ චුට්ටි… මිෂන් එකකට තෝරගත්තම ඒ මිෂන් එකේ ඉන්න අය අතරේ ප්‍රයිවසි කියලා දෙයක් තියාගන්න බෑ… ඒ කියන්නේ හෙට ඉඳන් මං කරන හැමදේම අනික් තුන්දෙනා දැනගන්න ඕනේ… අපි නිතර ලින්ක් වෙන්න ඕනේ… මොකද යන ගේම සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ අතේනේ… එතකොට ඉතිං මං කවීව මීට් වෙන්න ගියත් ඒ ගියේ කොහේද, හේතුව මොකක්ද ඔය වගේ දේවල්වත් මං අනික් අයට කියන්න ඕනේ… එතකොට ඉතිං කිසිම ප්‍රයිවසි එකක් නෑනේ අපි අතරේ… අනික ලීඩර්ශිප් එක ඩිමාන්ඩ් කළොත් එයාලටත් කියන්න ඕනේ… ආරක්ෂාවට බැක්-අප් එකේ ඉන්න අයටත් කියන්න වෙනවා සමහර වෙලාවට…”

විසල් සියල්ල පැහැදිලි කළේ ය.

“ඔයාලා කලින් මෙහෙම මිෂන් කරලා තියනවද විස්සා..?”

රිස්වාන්ගේ පුතු අත දරාගෙන හුන් ජනනි විමසුවා ය.

“හ්ම්ම්ම්… කරලා තියේ…”

විසල් කෙටි පිළිතුරක් දුන්නේ ය.

“අපි කැම්පස් ආව එකත් මිෂන් එකක් තමා… ඒක අවුරුදු හතරක ලෝන්ග් ටර්ම් මිෂන් එකක්…”

නඳුන් කීවේ ජනනි දෙස බලමිනි.

අනතුරුව පිරිස අතර සංවාද එකිනෙක ඇති වූ අතර තරුණයන් මෙන් ම යුවතියන් ද කතාබස් කරමින් සිටියේ මීට හෝරා කිහිපයකට පෙර සිදු වූ සංවේදී රැස්වීම අමතක වූ පරිද්දෙනි. විසල්, කවිනි අසලින් හිඳගෙන සිටි අතර විසල්ගේ අතක් ඇගේ කර වටා ගොස් තිබිණි. යශෝද්ගේ බාහුවක් දෑතින් ම වෙලාගත් සසඳි, ඔහුගේ උර මත හිස රඳවාගෙන සිටියා ය. නඳුන් අසලින් අසුන්ගෙන සිටි ජනනිගේ උකුළේ නිදිගත් කුඩා අසාද් විය. නදිනි සහ ලිහාරා එකිනෙකාට ආසන්නයෙන් අසුන්ගෙන සිටියේ තරුණයන්ගේ සංවාදවලට සම්බන්ධ වෙමිනි. රනුක දුම්වැටියක් ඉරුවේ සෙස්සන්ගේ කතාබහට රුකුල් දෙමිනි. ඔහු, නදිනිව සම්පූර්ණයෙන් ම අමතක කොට සිටියේ ය.

තාරක ගිටාරය සුසර කරගත්තේ ගීතයක් ගැයීමට ය.

“මේ නිහඬ බව බිඳෙන්න

තව මොනව හරි කියන්න

ඔය නෙත් අගින් සිනාසී

මා දිහා දැන් බලන්න…

මේ නිහඬ බව බිඳෙන්න

තව මොනව හරි කියන්න

ඔය නෙත් අගින් සිනාසී

මා දිහා දැන් බලන්න…

ඔබ මගේමයි කියන්න

මට අයිති නැත සිතන්න…

ඔබ මගේ මයි කියන්න

මට අයිති නැත සිතන්න

ඔබ පතා තැවෙන්න

මට සුසුම් නෑ හෙලන්න…

මේ නිහඬ බව බිඳෙන්න

තව මොනව හරි කියන්න

ඔය නෙත් අගින් සිනාසී

මා දිහා දැන් බලන්න…

දැන් ළඟයි හිරු නැගෙන්න

තව වරක් මා සිඹින්න…

දැන් ළඟයි හිරු නැගෙන්න

තව වරක් මා සිඹින්න

මට ආදරේ යැයි

එක වරක්වත් කියන්න…

මේ නිහඬ බව බිඳෙන්න

තව මොනව හරි කියන්න

ඔය නෙත් අගින් සිනාසී

මා දිහා දැන් බලන්න…”*

තාරකගේ හැඟුම්බර කටහඬ විරහ දුකට නැඹුරු සිතැත්තන්ගේ සිත් අවුලුවන්නට සමත් විය. කවිනිගේ නෙතු තෙත්වුවත් ඈ කඳුළු නොහෙලන්නට තමන්ට ම සපථ වූවා ය. නමුත් එසේ තහංචි දැමීමට සමත් නොවූ සසඳිගේ දෑසින් ගැලූ කඳුළුවලින් යශෝද්ගේ කමිස අත තෙමීයන්නට විය. අවිනිශ්චිත නුදුරු අනාගතය පසෙක ලූ ඔවුහු සියල්ල අමතක කළාක් මෙන් යළි සව්දිය පුරන්නට වූහ.

“කෝ ජෝඩුව..?”

විසල් විමසුවේ කාමරයට පැමිණි කවිනිගෙනි.

“නංගි මාත් එක්ක කතා කර කර ඉඳලා දැන් ගියේ රූම් එකට…”

කවිනි කීවේ විසල් අසලින් හිඳගනිමිනි.

“කෙල්ල බයෙන් ඉන්නේ විසූ… මට පව් කියලා හිතෙනවා…”

විසල් සුසුමක් හෙලුවේ ය.

“අපි කවුරුත් කැමැත්තෙන් මේ දේවල් කරනවා නෙවි කවී…”

කවිනි මොහොතක් නිහඬව ම සිටියා ය.

“ඉස්සරහට මොන දේ උනත්, ඔයා මොන දේ කළත් මං ඔයා එක්ක ඉන්නවා… පරිස්සමින් විසූ…”

ඇය, ඔහුගේ පපුව මතින් කොපුලක් තැබුවා ය.

“ගියාට කමක් නෑ ආයේ එන්න විසූ… ප්ලීස්…”

කවිනිගේ නිවස තුළ අමුත්තන්ගේ කාමරය වූ වාතය එතෙක් කැළඹවූ යශෝද්ගේත්, සසඳිගේත් උද්වේගකාරී සුසුම් ධාරා කෙමෙන් සන්සුන් වන්නට විය. ඇඳ වියළ මතට හිස බර කළ යශෝද්, සසඳිගේ හිසකෙස් අතරින් රිද්මයානුකූලව අතැඟිලි යවන්නට විය.

“යශ්…”

සසඳි නිහැඬියාව බින්දා ය.

“ම්ම්ම්ම්…”

“මේ ලෝකේ හැම විප්ලවයක්ම ඉවර වෙනකොට හැම විප්ලවකාරයම මැරුනේ නෑ යශ්. ඒ විප්ලවයෙන් දිනපු රට ගොඩනගන්නත් විප්ලවකාරයෝ ඉතුරු වෙන්න ඕනේ… චේ ගුවේරා මැරුණට ෆිඩෙල් ක්‍රස්තෝ, රාවුල් ක්‍රස්තෝ ඉතුරු උනා කියුබාව ගොඩනගන්න… ලෙනින්, ස්ටාලින්ලා විප්ලවෙන් පස්සෙත් ජීවත් උනු නිසයි සෝවියට් රුසියාවක් බිහිවුණේ… ඒ නිසා මේ විප්ලවේ අවසානෙත් ඔයාලා මැරෙන්නේ නැතුව ඉන්න යශ්… ඔයාලා දිනලා දෙන රට ගොඩනගන්නත් ඔයාලා ඉන්න ඕනේ…”

සසඳි කීවේ කල්පනාකාරී වතෙනි. පිළිවදන් නුදුන් යශෝද්, ඇගේ වත මතට නැඹුරු වී නළල් තලය මතට දෙතොල් තද කළේ ය.

“මට බයයි යශ්. ඒත් ඔයාව නවත්තන්න නොහිතෙන තරම් මං ආදරෙයි ඔයාට… මොන දේ කළත් පරිස්සමෙන්…”

ඉකියක් උගුර මුල සිරකරගනිමින් ඈ සෙමෙන් මිමිණුවා ය.

✍🏼 සකුනි හතරසිංහ

මුරුගසන_වැහි