මුරුගසන් වැහි ❤️‍🔥
-23 කොටස-

‘ආලෝකය පසුපස සෙවණැල්ල සිටින්නාක් මෙන් වරද ළඟින් නිවැරැද්ද ඇත.’

-වෘකයන් අතර නග්නව (බෘෘනෝ ආපිට්ස්)

“රිද්ම අයියා බයවෙන්නෙපා. අක්කයි, බබයි, අම්මයි තුන්දෙනාවම මගේ අම්මයි, තාත්තයි ගාවට යවන්නේ… අක්කව හිමේෂ්ගේ උන් ෆලෝ කරනවා අයියේ… අක්කා මෙහෙ ඉන්න එක පොඩ්ඩක්වත් සේෆ් නෑ… කවීගේ මාමලත් එහෙ ඉන්නවා… මගේ තාත්තා වගේම කවීගේ මාමත් අක්කාගේ තාත්තා වගේම SPF මෙම්බර්ස්ලා… අක්කාගේ තාත්තයි, අයියයි, මල්ලියි තුන්දෙනාවම මරලා තියෙන්නේ අයියගේම තාත්තයි, අයියයි… ඒ නිසා මොකක් හරි ප්‍රශ්නයක් උනොත් අයියා තමයි ගොඩක්ම අසරණ වෙන්නේ…”

එරාන් කීවේ රිද්ම දෙස බලමිනි.

“මගේ කොල්ලා තව පොඩ්ඩෙන් තාත්තා කියන්නෙත් වෙන මිනිහෙක්ට… මට දුක දරුවව දැන් ඈත් කරලා තියන්න වෙන එකට… ඒත් එයාලගේ ජීවිතේට තර්ජනයක් තියනවා නම් ඒක කරමු… ඒත් ඇයි ඔයාලා මාව විශ්වාස කරන්නේ මෙතනදි..? මං හිමේෂ්ගේ එක් කුස උපන් මල්ලි… පාලිත සිරිවර්ධනගේ බාල පුතා… කවිනි දිසානායකගේ එක්ස්-හස්බන්ඩ්…”

රිද්ම ප්‍රශ්න කළේ විසල් දෙස බලමිනි. අනෙක් තරුණයන් සේ දොඩමලු නොවුණ ද විසල් වනාහි මෙම පිරිසේ කේන්ද්‍රය බව රිද්මයේ ව්‍යාපාරික ඥානය ඔහුට වටහාදුන්නේ ය. නමුත් ආරම්භයේ පටන් මේ වන තෙක් පසෙක වූ අසුනක තියුණු බැල්මක් සහිතව හිඳගෙන සිටියා විනා ඔහුගෙන් වදනකුදු මෙම සංවාදයට දායක නොවූ බවත් රිද්ම හට සිහිවිණි.

“ඔයා කවීව බැන්දේ ඔයාගේ අයියාගෙන් පළිගන්න ඕනේ නිසා කියලා අපි දන්න නිසා…”

විසල්, තමන් ඉලක්ක කොටගෙන රිද්ම විමසූ පැනයට ඍජු පිළිතුරක් ලබාදුන්නේ ඔහුගේ ම සහෘදයන් පවා මවිතයට පත් කරවමිනි. රිද්ම සිනහවක් පෑවේ ය.

“ඒක හොයාගත්ත විදියටම මං අනික් හේතුත් හොයාගන්නම් රිද්ම අයියා… ඒත් මං දැනට දන්නවා ඔයා අපිට උදව් කරනවා කියලා…”

විසල් යළිත් කීවේ ය.

“යාහ්… ශුවර්… මේ වෙලේ මට මගේ දරුවාගේ ජීවිතේ තරම් වෙන මුකුත් වටින්නෑ… හැබැයි මට දෙයක් දැනගන්න ඕනේ… ඔයාලා නිකම්ම ස්ටුඩන්ට් ලීඩර්ස්ලා ටිකක් නෙවෙයි නේද..? ඔයාලා SPF එකට සම්බන්ධ තරුණ සංවිධානයක්ද..?”

රිද්ම විමසන්නට වූයේ ය.

“ඒ ප්‍රශ්නෙට දැනට ඔව් කියලා හිතාගන්න රිද්ම අයියේ… අපිට ඔයාට හැමදේම කියන්න වෙන මොහොතක් එයි… එදාට අපි හැමදේම කියන්නම්… ඒත් දැනට මුකුත් කියන්න බෑ…”

එරාන් කීවේ ය. රිද්ම හිස සැලුවේ ය.

“මං ලබන සතිය වෙනකොට ඉෂීයි, පුතයි, අම්මයි ඕස්ට්‍රේලියා යවන්න සේරම රෙඩි කරන්නම්… එරාන් මල්ලි එහෙ වැඩ ගැන බලාගන්න… ඊටපස්සේ මං කවීගේ ගෙදරට එන්නම්… ඩිවෝස් කේස් එක ගැන සැක හිතෙන්න දෙයක් නෑ… ඒක සෑහෙන්න රහසින් වෙච්ච දෙයක්… ඒකට සම්බන්ධ උනේ මගේ විශ්වාසවන්තම අය… ඒ නිසා ඒ ගැන බයවෙන්නෙපා…”

රිද්මගේ වදන් පොරොන්දුවක් සදිසි ය. ඔහු අසුනෙන් නැගිට ආලින්දය වෙත ගියේ ය. ඔහුත් සමඟ තරුණයන් කිහිපදෙනෙක් ද පැමිණි අතර ඔහු ආලින්දයේ දී නැවතී විසල් දෙස හැරී බැලුවේ ය.

“විසල්, මට ඔයා එක්ක පොඩ්ඩක් තනියම කතා කරන්න පුලුවන්ද..?”

ඔහුගේ ආරාධනයට එකඟවෙමින් විසල්, ඔහුත් සමඟ ම ඔහුගේ මෝටර්රථය තෙක් යන්නට වූයේ ය.

“මට කතා කරන්න දේවල් ටිකක් තියනවා… මෙහෙම නැතුව සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් ස්පේස් එකක් මට ඕනේ… මගේ තැනක මට කතා කරන්න බෑ විසල්. මං හිතන්නෑ තවදුරටත් මං සේෆ් කියලා තේරනවනේ..?”

විසල් හිස සැලුවේ ය.

“කවදා වගේද..?”

“අද හවසම… මට හතරහමාර, පහ වෙද්දි ෆ්‍රී… ඒ ටයිම් එකට එන්න පුලුවන් තැනක්…”

විසල් මොහොතක් කල්පනා කළේ ය.

“මං ලොකේෂන් එකක් WhatsApp කරන්නම්… අපි දෙන්නා විතරයිනේ..?”

“නෑ… විසල්ට ශුවර් කරන්න පුලුවන් මීඩියා ෆීල්ඩ් එකේ කෙනෙක් ඉන්නවා නම් මං කැමතියි එහෙම කෙනෙකුත් එක්කත් පොඩ්ඩක් කතා කරන්න… ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කෙනෙක්… හැබැයි කවී හැර…”

විසල් මඳ සිනහවක් පෑවේ ය.

“කෙනෙක් ඉන්නවා… මං මුණගස්සවන්නම්… අපේ තුනක් හිටියට අවුලක් නෑනේ මාත් එක්ක..?”

“අනික් කෙනා ශුවර් කරන්න පුලුවන් කෙනෙක්ද..?”

“මගේ මල්ලි…”

“නෝ ප්‍රොබ්ලම්… මගේ පැත්තෙන් මං විතරයි… මේක මගේ ඔලුවේ අවුරුදු ගාණක ඉඳන් තිබ්බ දෙයක්… මං හිතනවා අපි දෙගොල්ලන්ට දෙපැත්තට උදව් කරගන්න පුලුවන් වෙයි කියලා… මොකද අපි දෙගොල්ලන්ටම ඉන්නේ කොමන් එනිමි කෙනෙක්…”

විසල් හිස සැලුවේ ය.

“ඔයාලගේ මැරිච්ච කොල්ලෝ ගැනත් මං දන්න දේවල් ටිකක් මං කියන්නම්… හවසට හම්බෙමු එහෙනම්…”

සිය මෝටර්රථයට නගිමින් රිද්ම කීවේ ය. ඔහු පිටත්වගිය පසු විසල් කල්පනාකාරීව ආලින්දයට ගොඩවූයේ ය.

“මොකෝ මලයා කේස් එක..?”

අසංක විමසුවේ ය.

“කවී ගැන කතා කළේ අයියේ… උටයි මටයි රණ්ඩු ඉතුරු කරගන්න ඕනේ නෑනේ… මං දැන් යන්නම්… අද දෙකට මීටින් එකකුත් තියේ මට…

රනුවා, උඹ මීටින් එකටම එනවද..?”

විසල්, රනුක වෙතට හැරී විමසුවේ ය.

“මං ටිකක් පරක්කු වෙලා එන්නම්…”

රනුකගේ පිළිතුරෙන් විසල් හිස සලා මිතුරන්ගෙන් සමුගෙන මෝටර්රථයට නැගී පිටත්වූයේ ය.

“මං හිතන්නේ මං මිස්ටර් සත්සරව දන්නවා… ඔයා කවීගේ මෙන්ටෝර් (උපදේශකයා) නේද..? කවී ඔයා ගැන කියලා තියනවා…”

රිද්ම පැවසුවේ සත්සර හට අතිනත දෙමිනි.

“මිස්ටර් කෑලි ඕනේ නෑ නේද මල්ලි..? අපි රිලැක්ස් එකේ කතා කරමු… මෙතන ඉන්න අපි හතරදෙනාම එක වයසේ නූනට කිංග්ස් එකේ කොල්ලොනේ… අයියේ මල්ලි කියලා කතා කරන්න බැරි නෑනේ අපිට…”

සත්සර වඩා සුහදවෙමින් කීවේ ය.

“මේ එතකොට විසල්ගේ මල්ලිද..? මං හිතුවේ විසල් පවුලේ බාලයා කියලා…”

යශෝද් හට අතිනත දෙමින් රිද්ම විමසුවේ ය.

“යශෝද් මගේ කසින්. මගේ නැන්දගේ පුතා… දැන් මගේ කම්පැනි එකේම HR සෙක්ෂන් එකේ ඇසිස්ටන් මැනේජර් විදියට වර්ක් කරනවා…”

රිද්ම සිනහවක් සමඟින් යශෝද් දෙස බැලුවේ ය.

“යශෝද්ගේ ස්කූල් කාඩ් එක මොකක්ද..? ඔයාලගේ ෆැමිලි එකේ කොල්ලන්ට කාඩ් එකක් නැතිවෙන්න බෑ…”

“Silent Killer…”

යශෝද්ගේ ගැඹුරු හඬ මුල්වරට සුසර විය.

“Definitely… (අනිවාර්යෙන්ම…) ඔයාලගේ කසින්, නදීජ අයියා එක්ක මං එකට රග්බි ටීම් එකේ ප්ලේ කළා… He’s the greatest and the most aggressive school player I’ve ever seen… (එයා තමයි මං දැකලා තියන විශිෂ්ටතම හා ආක්‍රමණශීලීම පාසල් ක්‍රීඩකයා…)

මං හිතන්නේ එයා සත්සර අයියලාගේ වයසේ නේද..?”

සත්සර දෙස බලමින් රිද්ම විමසුවේ ය.

“ඔව්… ඌ මගේ වයසේ… හය වසරේ ඉඳන් ඕලෙවල් වෙනකන් අපි එක ක්ලාස් එකේ…”

සත්සර මඳ සිනහවක් සහිතව කීවේ ය.

“යශෝද් හැදුනේ මායි, නදීජ අයියයි එක්කමයි…”

විසල් කීවේ යශෝද්ව නෙතින් ඉඟිකර පෙන්වමිනි.

“Then I should not talk about you… (එහෙනම් මං ඔයා ගැන මුකුත් කතා කරන්න හොඳ නෑ…)”

යශෝද් වෙත ඉඟිපාමින් රිද්ම කීවෙන් තරුණයන් සිව්දෙනා අතර තරමක සිනහවක් පැනනැගිණි.

ඔවුන් ඒ මොහොතෙහි රැස්ව සිටියේ යශෝද් හට ආයතනය මඟින් ලබාදුන් නවාතැනෙහි ය. එය ආයතනයේ අවිවාහක නිලධාරීන් සඳහා ලබාදෙන නවාතැන් සංකීර්ණයේ එක් නිවෙස්කඩක් විය. රිද්ම විසින් ලබාගත් සුහදශීලී ප්‍රවේශය හේතුවෙන් එතරම් දොඩමලු වන්නෙකු නොවන යශෝද් පවා කතා කරන්නට වූයේ ය. විසල්, තමන් ගෙන ආ Lion Lager වර්ගයේ බීර කෑන හතරක් සිව්දෙනා අතර බෙදාදුන් අතර යශෝද් කටගැස්ම සකස්කොට මේසය මත තැබුවේ ය. අඩහෝරාවක් පමණ පාසැල් ස්මරණ අතර කරක්ගැසූ ඔවුන් සිවුදෙනා වටා තුනී Dunhill දුම් පටලයක් ද සැකසී තිබිණි.

“මං පොයින්ට් එකට එන්නම් දැන්… මේක අවුරුදු ගාණක් මං හංගගෙන හිටපු කතාවක්… පළවෙනි පාරට මේක මං කෙනෙක් එක්ක කියන්නේ… මේක ඉෂීවත්, කවීවත් මේ වෙනකන් නොදන්න කතාවක්…”

රිද්ම කතාව ආරම්භ කරමින් කීවේ ය.

“හැමෝම හිතාගෙන හිටියට හිමේෂ්නුයි මමයි එක කුසේ උපන් සහෝදරයෝ කියලා ඇත්ත ඒක නෙවෙයි…”

තරුණයන් තිදෙනා ම තිගැස්වමින් රිද්ම, සිය කතාව ආරම්භ කළේ ය.

“මගේ අම්මා මගේ තාත්තාගේ ලීගලි වයිෆ්. ඒත් තාත්තාට තව සම්බන්ධකම් ගොඩක් තිබ්බා… මගේ අම්මට මුලින්ම හම්බෙන්න හිටිය බබා මාස හතේදී විතර ඇබෝට් වෙලා… අම්මට ඒ ශොක් එක තදටම තිබිලා. ඒක නැතිවෙන්න කියලා තමයි තාත්තා හිමේෂ්ව හදාගන්න කියලා අරන් ඇවිත් තියෙන්නේ… ඒත් අම්මා පස්සේ කාලෙක දැනගන්නවා හිමේෂ් කියන්නේ තාත්තාගේ අතින් අනාථ වෙච්ච ගෑනුළමයෙක්ට දාව උපන්න ළමයෙක් කියලා. මොන දේ උනත් අම්මා හිමේෂ්ට ආදරේ කළා… වෙනසක් කළේ නෑ… බබා නැතිවෙනකොට අම්මා ලංකාවේ හිටියේ නැති නිසයි, අම්මා ආයේ ලංකාවට ආවේ හිමේෂ් එක්ක නිසයි, අම්මා මෙහෙන් යද්දි ප්‍රෙග්නන්ට් නිසයි ඒක මෙහෙ අයගෙන් හංගන්නත් ලේසි උනා… ඒ නිසා හැමදාම හිමේෂ් හැදුණේ අම්මගේ බඩින් උපන්න ළමයෙක් විදියටමයි… ඊට අවුරුදු ගාණකට පස්සේ මං ඉපදුණා කියලාවත් අම්මා හිමේෂ්ට වරදක් කළේ නෑ… තාත්තාගේ ගති වෙනස් උනෙත් නෑ… අදටත් තාත්තා අර පරණ විදියම තමා…”

රිද්ම විරාමයක් ගත්තේ ය.

“මගේ අම්මට තාත්තගෙන් ඩිවෝස් වෙන්න ඕනේ උනා… අම්මා හොඳ ෆැමිලි එකක එකම ගෑනු ළමයා… අද තාත්තා කරගෙන යන ඔය බිස්නස්වලින් වැඩි හරියක් අම්මගෙන් ඩවුරි එකට හම්බුණ ඒවා… ඒ නිසා තාත්තා බය උනා අම්මව ඩිවෝස් කරන්න… අම්මා පොඩි කාලේ ඉඳන්ම එයාගේ අම්මයි, තාත්තයි ඒ කියන්නේ මගේ සීයයි ආච්චියි ගාව මාව හැදුවේ… අම්මයි තාත්තයි හරියට වලි ඒ කාලේ… තාත්තා අම්මට ගහනවා… අම්මා අයියවත් මාත් එක්ක තියන්න ට්‍රයි කළා… ඒත් අයියා අම්මට වඩා ක්ලෝස් උනේ තාත්තට. ඒ නිසා එයා තාත්තා දාලා ආවේ නෑ… අම්මා අයියවයි මාවයි වෙන් නොකර හදන්නත් ලොකු ට්‍රයි එකක් දුන්න. ඒ සමහරවිට අම්මා අයියට ආදරේ කරපු නිසා වෙන්නැති… එක පාරක් තාත්තා අම්මට හොඳටම ගහලා අම්මා පොලීසි ගිහින් තිබ්බා… ඒ පාර අම්මා ඩිවෝස් කේස් එකත් ෆයිල් කළා… නඩුව අම්මට ලේසියෙන්ම දිනන්න පුලුවන් වෙන සිටුවේෂන් එකක් තිබ්බේ… ඒ අතරේ තමයි අම්මා ඇක්සිටන්ඩ් එකක් වෙලා නැති උනේ…”

විසල්, යශෝද් සහ සත්සර ගොළු වූ මුවින් යුතුව අසාසිටියේ මහා මන්දිරයක ඇතුළත ඇවිලුණු ලොවක් නොදන්නා ගින්නක් පිළිබඳව ය.

“ඒක කරවපු එකක් කියලා ඔප්පු කරගන්න බැරි උනා… ඊට අවුරුදු තුනකට වගේ පස්සේ තාත්තා ආයේ බිස්නස් ෆැමිලි එකකින් මැරි කළා… නංගිගේ අම්මා එයා… අයියා දිගටම එයාලා එක්ක හිටියා… මං ආච්චියි සීයයි ගාව හිටියේ ඒ දෙන්නා නැතිවෙනකන්… පස්සේ කාලෙක තාත්තාගේ ඉල්ලීමට වගේ මං ඒ ගෙදරට ගියේ ඇත්තටම මගේ අම්මගේ මරණේ මිනීමැරුමක් කියලා ඔප්පු කරන්න සාක්ෂි මට හොයාගන්න ඕනේ උන නිසා…”

රිද්ම මොහොතකට තම කතාව නතර කළේ ය.

“හිමේෂ් දන්නවද එයයි ඔයයි එක අම්මාගේ ළමයි නෙවෙයි කියලා..?”

සත්සර විමසුවේ ය.

“දන්නවා… ඒත් ඒක මං දන්නවා කියලා අයියාවත්, තාත්තාවත් දන්නෑ… මං ඔය විස්තර දැනගන්නකොට මට අවුරුදු විස්සත් පැනලා…”

“ඔයාගෙයි, ඉෂිනිගෙයි අෆෙයාර් එකට කේස් එකක් දැම්මේ නෑ නේද පාලිත..? ඉෂිනි කියන්නේ වෘත්තීය සංගම් නායකයෙක්ගේ දුවෙක් කියන එක දැනගෙනත් පාලිත සද්ද නැතුව හිටියනේ…”

සත්සරගේ එම පැනයට රිද්ම සිනාසුණේ ය.

“ඒවාට කියන්නේ අයියේ කපන්න බැරි අත් ඉඹිනවා කියලා… මොක උනත් තාත්තා මට ආදරෙයි… ඉඳලා ඉඳලා අවුරුදු ගාණකින් ඒ ගෙදර පදිංචියට මං ගියාට පස්සේ ඉෂී ගැන කියලා කේස් දාලා මං ගෙදරින් යයි කියලා තාත්තා බය උනා… අනික මං ඉෂී එක්ක යාලු උනේ ඉස්කෝලේ යන කාලේ… ඒක මං කවදාවත් නතර කළෙත් නෑ. තාත්තා ඒකත් දැනගෙන හිටියා… ඒ නිසා ඒකට කේස් දැම්මේ නෑ… ඒත් මං හොඳටම දන්නවා ඉෂීගේ තාත්තවයි, අයියාවයි මැරුවේ මගේ තාත්තයි, අයියයි. ඒ වගේම ඉෂීගේ මල්ලි ඒ ගැන හොයන්න ගියාම ඒ කොල්ලවත් මරලා දැම්මා…හැබැයි කරපු කැතම වැඩේ කළේ හිමේෂ්… ඌ කොහෙද යන කපුවෙක් මාර්ගෙන් ඉෂීගේ අම්මව රවට්ටගෙන උගේ හෙන්චයියෙක්ට මගේ කෙල්ලව බලෙන් බන්දලා දෙන තැනට වැඩ සිද්ධ කළා… තාත්තයි අයියයි නැතිවෙලා ඉන්න අස්සේ ඉෂීටත් අම්මව අතෑරලා මාව තෝරගන්න පුලුවන්කමක් තිබ්බේ නෑ… ඒ අසරණකමට අන්තිමටම මගේ දරුවා ඉෂීගේ බඩේ ඉද්දිම ඉෂීට කොහෙවත් යන පාතාලේ එකෙක්ව බඳින්න උනා…”

රිද්ම වේගයෙන් ආශ්වාස කරන්නට වූයේ ය.

“ඒ ජරා මිනිහා අර බඩදරු ගෑනිව රේප් කරලා තිබ්බා කියලා කිව්වොත් උඹලා විශ්වාස කරනවද..? ඔව්… ඌ මැරේජ් එකට මුවාවෙලා මගේ කෙල්ලව සතෙක් වගේ රේප් කරලා තිබ්බා… ලීගලි රේප් කරලා තිබ්බා…”

රිද්ම බීර කෑනය ගෙන උගුරු කීපයක් එකවර පානය කරන්නට වූයේ ය.

“හැබැයි ඒක නිසා ඉෂීගේ අම්මගේ ඇස් පෑදුනා… යන්තම් ඒක පිට දාලා ඩිවෝස් වෙන්න කියලා හැදුවේ… ඒත් ඊටකලින් ඌව පාතාල සීන් එකකදි මරලා දාලා තිබ්බා… ඒ නිසා ඉෂී බේරුණා… කවී මේ සේරම දැනගත්ත ගමන් ඩිවෝස් එක ලෑස්ති කරලා ඩිවෝස් උනා මගෙන්… මගෙයි කවීගෙයි ඩිවෝස් එකේ ලීගලි වැඩ සේරම ඉවර වෙද්දි පුතාට මාස තුනකටත් කිට්ටුයි…”

රිද්ම මඳ සිනහවක් පාමින් දෙනෙත් පියාගත්තේ ය. පිරිමියෙකුගේ දුක දන්නේ තවත් පිරිමියෙකු ම පමණි. වදනකුදු නොකීවද, බැල්මකුදු නොහෙලුවද ඔවුනොවුන් අතර රිද්මගේ වේදනාව සම්ප්‍රේෂණය විය. මරණය යන්න ඔවුන් සිව්දෙනා ම අතිශය සමීපයෙන් අත්විඳ තිබූ අත්දැකීමකි. ඔවුන් සිව්දෙනාට ම තම සමීපතමයන් අහිමි කොට ඇත්තේ පොදු පුද්ගල චරිත කිහිපයක් විසිනි.

“රිද්ම අයියා හරි… අපි නිකම්ම ස්ටුඩන්ට් ලීඩර්ස්ලා නෙවි තමයි… අපි ග්‍රවුන්ඩඩ් ඕර්ගනයිසේෂන් එකක්…”

විසල් නිහඬ බව බිඳිමින් කීවේ ය.

“මං දන්නවා… ඔයාලගේ ඕර්ගනයිසේෂන් එකේ ඩීටේල්ස් වගයක් ලීක් වෙලා තිබ්බා… ඒ ඩීටේල්ස් වලින් තමයි උන් ඔයාලව ටාර්ගට් කළේ…”

රිද්ම කීවේ ය. තරුණයන් තිදෙනා අතර නිහඬ බැලුම් හුවමාරු විය.

“ඔව්… අපේ උන් විස්සකට වඩා මැරුවා හිමේෂ්ලා…”

විසල් පිළිතුරක් ලෙස කීවේ ය.

“ඔයාලට තියෙන්නේ රිවෙන්ජින් පර්පස් එක විතරමද..?”

රිද්ම ප්‍රශ්න කළේ ය. විසල් අවංක වීමට තීරණය කළේ ය.

“නෑ. ඒක එකක්… අනික ලබන අවුරුද්දේ ඡන්දේ…”

රිද්ම කල්පනාකාරීව හිස සැලුවේ ය.

“සත්සර අයියට පුලුවන් නම් කවීගේ තාත්තා ගැන තොරතුරු එළියට දැම්මෙව්ව විදියට ඉලෙක්ෂන් එක කිට්ටු කරලා මගේ අම්මාගේ මර්ඩර් කේස් එක ගැන තොරතුරු එළියට දාන්න… මං ඕනේ කරන තොරතුරු දෙන්නම්…”

රිද්මගේ වදනට සත්සර නළල රැළි කරගත්තේ ය.

“එහෙම කළොත් ඒක ඔයාගේ තාත්තාටත් බලපානවා රිද්ම…”

සත්සර නිවුණු සරින් කීවේ ය.

“ඒක මට ගැටලුවක් නෑ… තාත්තත් එක්ක මං බැඳීම් අලුත් කරගත්තේ අම්මාගේ මර්ඩර් කේස් එක ගැන හොයන්න විතරයි… මං ලැජ්ජා වෙනවා මගේ ඇඟේ පාලිත සිරිවර්ධන කියන දූෂිත මිනිහගේ ලේ දුවන එක ගැනත්…”

රිද්මගේ හඬේ වූයේ වෛරී ස්වරූපයකි.

“රිද්ම අයියේ, ඔයාට ශුවර්ද මේක..?”

විසල්ට යළිත් තහවුරු කරගැනීමට අවශ්‍ය විය.

“මට උන් හැමෝමවම මරන්න ඕනේ… ඒත් මං මිනීමරුවෙක් උනොත් මගේ දරුවයි, ගෑනියි අනාථයි. ඒ නිසයි මං ඉවසලා ගේම ගහන්නේ… උන් මගේ දරුවව මගෙන් වෙන් කළා විතරක් නෙවෙයි මගේ අම්මවත් මරලා දැම්මා. ඊටපස්සේ ඒ මරණේ උන්ගේ බලයෙනුයි, සල්ලිවලිනුයි වහලා දැම්මා… මං හැදුණේ මගේ අම්මාගේ අම්මයි, තාත්තයි ගාව… අනාථයෙක් වගේ… තව පොඩ්ඩෙන් මගේ දරුවත් මං ජීවතුන් අතර ඉද්දිම අවජාතකයෙක් වෙනවා… ඉතිං තවත් හේතු ඕනෙද මට උන්ගෙන් පළිගන්න..?”

විසල්, ඔහු හා එකඟ විය.

“අපිට ප්ලෑන් එකක් තියේ…”

මොහොතකින් විසල් කීවේ ය. අනතුරුව ඔහු මිනිත්තු කිහිපයක් වැය කොට තමන්ගේ සැලසුම පිළිබඳව රිද්ම හා සංක්ෂිප්තයක් කීවේ ය.

“කවී කැමතිද උඹ ශේෂානි අතුකෝරලට ඇප්‍රෝච් කරනවට..?”

රිද්ම විමසුවේ විසල් දෙස බලමිනි.

“හ්ම්ම්ම්… එයා තමයි අන්තිමටම මාව කැමති කරවගත්තෙ…”

“ගෑනු කියන්නෙත් මාර අමුතුම කෝස් එකක් බං… උන් ආදරේ කරද්දි තමන්ගේ මිනිහා දිහා වෙන ගෑනියෙක් බලනවටවත් කැමති නෑ… වෛර කරද්දි තමන්ගේ මිනිහා වෙන ගෑනියෙක් එක්ක නිදාගත්තත් කමක් නෑ…”

රිද්මගේ උපහාසී ස්වරයට තරුණයන් තිදෙනාගේ මුවගින් සිනහවක් මැවුණි.

“කවී කොහොමත් කපටියි… සත්සර අයියගේ කනෙන් උනත් රිංගයි… එයා මේ තීරණේට එන්න ඇත්තේ හොඳට හිතලා බලලා…”

රිද්මගේ වදනට විසල් සහ යශෝද් අතර ඉක්මන් බැල්මක් හුවමාරු විය.

“කොහොමත් මේ ලෝකේ විසල් අයියගේ කනෙන් රිංගන්න පුළුවන් එකම කෙනා කවී අක්කා… විසල් අයියත් ඇස් දෙක පියාගෙන විශ්වාස කරන එකම කෙනා කවී අක්කා…”

යශෝද් සිනහවක් සමඟින් කීවේ ය.

“ඒක තමයි මලයා පිරිමි අපිට වරදින තැන… ගෑනු…”

රිද්ම දෙවන බීර කෑනය විවෘත කරමින් කීවේ ය.

“අන්න ඒකයි මං ගෑනු හුටපට ගාව ගන්නැතුව ඉන්නේ… ගෑනුයි, ආදරෙයි කියන දෙකම මගේ ජීවිතේට සම්බන්ධ වෙච්ච හැමවෙලාවකම මං හොඳම එකෙන් හු-වගත්තා…”

සත්සර සිනහවක් පාමින් කීවේ ය.

“අනික විස්සා, හිමේෂ් ඇත්තටම කවීට ආදරේ කළා හෝ නැතා කවීව බඳින සීන් එකක් ඔලුවේ තියන් හිටියා… ආදරේ කළාටත් වඩා පොර කවීට වහ වැටිලා හිටියේ… ඒ නිසා හිමේෂ් එක්ක ඩීල් කරද්දි කවීව පැත්තකින් තියන එක වැඩිය හොඳයි…”

රිද්ම කල්පනාකාරීව කීවේ ය.

“ඒක නම් මටත් හිතෙනවා…”

සත්සර, ඔහුව අනුමත කළේ ය.

“උඹලා හිමේෂ්ව, වතිකව වගේම සාගරවත් ට්‍රැක් කළා නම් හොඳයි… සාගරගේ තාත්තා ප්‍රියංකර ධර්මබන්ධු කියන්නේ මීට අවුරුදු විස්සකට, තිහකට කලින් ලංකාවේ ප්‍රසිද්ධියෙම වධකාගාර රන් කරපු මනුස්සයෙක්. ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ…”

රිද්ම කීවේ බරපතල ස්වරයෙනි.

“අනික දැන් සාගරට බලය වැඩී…”

යශෝද් ඌණ පූර්ණයක් එකතු කළේ ය.

“ඔව්… හිමේෂ්ලව වගේ බිස්නස් පාට්නර්ස්ලා යූස් කරලා සාගරව වට්ටන්න බෑ. ඌට තියෙන්නේ ෆැමිලි බිස්නස්… සාගරගේ මල්ලි පවිත්‍රට සාලිය අල්විස්ගේ දුවත් එක්ක පැටලිල්ලක් තියනවා කියලා මමත් ළාවට දැනගෙන හිටියා… හැබැයි සාලිය අල්විස්ගේ දුව කියන්නේ කවීලා, ඉෂීලා වගේ කෙල්ලෙක් නෙවෙයි… මාස්ටර් මයින්ඩ් එකක්… උඹලා මනුස්සකම් එක්ක ගේම් ගැහුවට උන් ගාව එහෙම ඒවා ගෑවිලා නෑ ගෑනු උනා කියලා…”

රිද්මගේ හඬ දැඩි විය.

“සදීෂා නරක කෙල්ලෙක් නෙවි… මං සදීෂාව දන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන් අයියේ…”

යශෝද් කීවේ ය.

“සාලිය අල්විස්ගේ දුව නේද සදීෂා කියන්නේ..? කෙල්ල නරක නැතුවැති මල්ලි. හැබැයි පවිත්‍ර ධර්මබන්ධුලාගේ ඩර්ටි ගේම්ස් ගොඩකට ඒකිත් සම්බන්ධයි… මං දන්නෑ ඒ කෙල්ල ඒවගේ බරපතලකම නොදැන ඒවට සම්බන්ධ වෙනවද කියලා. ඒ කෙල්ලගේ මොළෙන් පවිත්‍ර සෑහෙන්න වැඩක් ගන්නවා කියලයි ආරංචි… හැබැයි ඒ කෙල්ලට ඇප්‍රෝච් කරන ඔයාලගේ යාලුවා සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ…”

විසල් සහ සත්සර එයට හිස සැලුවේ ය. යශෝද් කල්පනාවෙන් යුතුව දුම්වැටියක් දල්වාගත්තේ ය.

“ඕනෙවට වඩා මේ වගේ ගේම්වලදි මානුෂීය වෙන්නත් එපා විසල්…”

රිද්මගේ ස්වරය අවවාදාත්මක ය.

“උඹ තාම බිස්නස්වලට අලුත්… මහිලාල් අතුකෝරල කියන්නේ මිනිස්සු මරලා බිස්නස් අල්ලගත්ත මිනිහෙක්… බල්ලෝ මරලා හරි හම්බ කරන තරම් චීප් මිනිහෙක්… එයාගේ දුව ශේෂානි අතුකෝරල උඹ ඔය හිතන තරම් ධාර්මික කෙල්ලෙක් නෙවෙයි… She’s a ruthless businesswoman by birth… (ඒකි උපතින්ම නිර්දය ව්‍යාපාරික කාන්තාවක්…) නැත්නම් ඔය වයසට තාත්තාගේ බිස්නස් මෙච්චර ලස්සනට හැන්ඩ්ල් කරන්න ඒකිට බෑ බං… ශේෂානිට උනත් ඕනෙවට වඩා බුරුලක් දෙන්නෙපා… අනික ඒකි කලින් බඳින්න හිටියේ සාගර ධර්මබන්ධුව. ඒක නම් ප්‍රපෝසල් එකක්… ඒත් ඒක බඳින්න ඔන්න මෙන්න තියෙද්දි තමා බ්‍රේක්-අප් උනේ… ඊටපස්සේ තමයි ඒකි US ගියේ… ඒකි ගල් හිතක් තියන ගෑනියෙක්. මනුස්සයෙක් මරන්න උනත් බැරිකමක් ඒකිට නෑ… ඒ නිසා පරිස්සමින්…”

රිද්ම ව්‍යාපාරික ලෝකය තුළ තමාගේ ශක්තියෙන් සහ නිරීක්ෂණයෙන් ගමනක් ගිය චරිතයකි. ඔහු උපකල්පනවලට එළඹෙන්නේ තමන් ඇසූ-දුටු දේ අනුව ය. ඒ අනුව ඔහුගේ දත්තයන් වඩා නිවැරදි බව විසල් සේ ම සත්සර ද වටහාගත්තේ ය. තවත් හෝරා කිහිපයක් ඔවුන් හා දොඩමලු වූ රිද්ම, ඔවුන්ගෙන් සමුගෙන යන්නට තීරණය කළේ රාත්‍රිය එළඹීමෙන් පසුව ය.

“විසල්… කවීගේ හිතේ මගේ ගැන ෆීලින් එකක් නෑ කියලා මං තේරුම්ගත්ත දා ඉඳන් ඒ ෆීලින් එක ඇතිවෙනකන් මං එයාට ඉඩදීලා ඈත්වෙලා හිටියා… එතකොට මං හිතාගෙන හිටියේ ඉෂී අර මැරේජ් එක ඇතුළේ සතුටින් කියලා… ඒකයි අයියට රිද්දන්න කවීව මැරි කළාට මං කවී එක්ක හොඳින් ඉන්න ට්‍රයි කළේ… ඔයා වගේම මමත් කෙල්ලන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න කැමති මිනිහෙක් නෙවෙයි විසල්… ඉඳලා හිටලා සමහර තැන්වල මගේ අතින් මමම දාගත්ත ලිමිට්ස් බිඳුනා තමයි… ඒ හැමවෙලාවකම මට සිහිය තිබ්බත් මං හිටියේ එක්කෝ බීලා. නැත්නම් ඔලුව අවුල් කරගෙන… එහෙම තැන්වලදි මුල්කාලේ කවී ගොඩක් අසරණ උනා කියලා මට දැනුණා. ඒත් පස්සේ සමහර වෙලාවට එයා ඔහේ හිටියා… ඒ මං දුර යන්නෑ කියලා තේරුන නිසා වෙන්නත් ඇති සමහරවිට… ඒත් එයා ඔයාට ආදරේ තරම මගේ ඉස්සරහා කන්ෆෙස් කරද්දි මට හරිම ගිල්ටි ෆීලින් එකක් දැනුනා…”

විසල් සමඟ තම රථය තෙක් පැමිණෙන අතරතුර රිද්ම කීවේ ය.

“පරණ දේවල් අමතක කරලා ඉන්නේ අයියේ මං…”

විසල් කීවේ යමක් කිව යුතු වූ බැවිනි.

“කවී වගේ කෙල්ලෙක් ගාව කොල්ලෙක්ට ලිමිට් වෙන්න අමාරුයි සෑහෙන්න…”

තම මෝටර්රථයට ගොඩවන අතරතුර රිද්ම කීවේ ය. විසල් සිනහවක් පෑවේ ය.

“හැබැයි කොල්ලෝ ඉෂී නොහිටියා නම්, උඹ ආයෙත් ආවත් මං කවීව දෙන්නෙත් නෑ…”

මෝටර්රථය පණගන්වා ගනිමින් රිද්ම කීවේ ය.

“බයවෙන්නෙපා… මේ පාර මං කවීට කිට්ටු වෙන්නෑ… මං දැන් දරුවෙක් ඉන්න තාත්තෙක්… කසාද බැඳපු මිනිහෙක්… මං මගේ බැඳීම්වලට ලෝයල් මිනිහෙක්… උඹේ ගේම් එක ඉවර වෙනකන් කවී මා ගාව පරිස්සම්…”

පිටවයන්නට පෙර පිළිනදෙමින් රිද්ම කීවේ ය.

“උඹ තාමත් හිතාගෙන ඉන්නේ ශේෂා එක්ක කතා කරලා ඩීල් එකකට එන්න වගේ දෙයක් ගැනද විස්සා..?”

සත්සර විමසුවේ රිද්ම පිටවගිය පසු ආපසු පැමිණ අසුන්ගත් විසල්ගෙනි.

“නෑ… මං දන්න ශේෂායි මෙහෙ ඉන්න ශේෂායි දෙන්නෙක් කියලා හිතුනා… කෝකටත් තව හොයලා බලන්න ඕනේ…”

විසල් පිළිතුරු දුන්නේ තවත් බීර කෑනයක් විවෘත කරමිනි.

“උඹ හරි… අපි කොම්රේඩ්ස්ලා… අපි මිනිස්සුන්ට ආදරේ කරන්න ඉගෙනගත්තු මිනිස්සු… මිනිස්සු රකින්න ප්‍රතිඥා දීපු මිනිස්සු… හැබැයි මචං ඒ වගේම අපි හොඳ වෙපනරි ට්‍රේනින් එකක් තියන ආර්ම්ඩ් ඕර්ගනයිසේෂන් (සන්නද්ධ සංවිධානය) එකක්… ඒකත් අමතක කරන්නෙපා… අපේ වෙපන්ස් අහිංසක සිවිල් වැසියන්ට පත්තු නූනට, අපායේ යන්න හරි පෝරකේට යන්න හරි දූෂිත පාලකයින්ට වෙඩි තියන්න අපි ප්‍රතිඥා දීලා තියනවා… ඒකත් අමතක කරන්නෙපා…”

සත්සර, තම කතාවට මුල පුරමින් කීවේ ය.

“අපි මුලින්ම මේක සුද්ධ කරලා ඉමු… මේ ලෝකේ මානුෂීය මෙහෙයුම් කියලා ජාතියක් නෑ විස්සා. ඒ වචනේ ලේ සුවඳ මකාගන්න ගහන පොඩි පර්ෆියුම් පාරක් විතරයි… උඹ හිතාගෙන ඉන්නේ ඔය කියන හැම මෙහෙයුමම මිනිස්සු නොමරා දින්නා කියලද..? අනේ පලයන් බං යන්න…”

සත්සර උපහාසී සිනහවක් පෑවේ ය.

“අහපන් විස්සා හොඳට…

යශ් මේ උඹටත් එක්ක මං කියන්නේ…

උඹලා දැන් හැතැම්ම ගණන් පාගමන් ගිය, පිකට් කරපු, බැරියර් පෙරලපු ස්ටුඩන්ට් ලීඩර්ස්ලා නෙවෙයි. ඒ මෙන්ටලිටි එකෙන් දැන් අයින් වෙයන්… මේ තමයි රියල් බැට්ල් ෆීල්ඩ් එක. අපි මේ රියැලිටි එකට එකා වගේ මූණදෙමු කොල්ලෝ… Be practical… (ප්‍රායෝගික වෙයන්…)

විස්සා, උඹ ඔහොම වීක් උනොත් කොම්රේඩ් ක්ලෑන් එකම කඩන් වැටෙනවා… උඹම හදපු ක්ලෑන් එක උඹම කඩන්නෙපා… රනුවා හිටියට උඹ නැත්නම් කවදාවත් මෙහෙම ක්ලෑන් එකක් හැදෙන්නෑ… ඒ නිසා දැන් ඔලුව පාවිච්චි කරලා වැඩ කරපන්… පැරදුනොත් අපිට නැතිවෙන්න දෙයක් නෑ… දින්නොත් රටක අනාගතයක් අපි බේරාගත්තා වෙනවා…”

සත්සර අවධාරණයෙන් කීවේ ය.

“කොහොමත් මේ ගේම් ඉවර වෙනකොට අපේ බහුතරයක් හුස්ම ගන්න එකක් නෑ… ඒක මං තරමටම උඹලා දෙන්නත් දන්නවා… උඹලා ආදරේ කරන ගෑනුත් දන්නවා උඹලා ඉන්නේ දැන් මරණේ නළලේ කොටාගන්න ලෑස්ති පිට කියලා… නිකම්ම නිකම්මු වගේ මැරෙන්න අපි උපදින්න ඕනේ නෑනේ… මේක තැනකට ගෙනත් මැරෙමු…”

සත්සර, විසල් දෙස ඍජුව බැලුවේ ය.

“විස්සා, උඹ හිතන තරම් ශේෂා අහිංසක නෑ… උඹයි පරිස්සම් වෙන්න ඕනේ… ඒකි ලස්සන බාඳුරා මලක්… උඹ පරිස්සමින් ගේම ගහපන්… කවී ඇත්ත දන්නවා… ඒකිගේ හිත හයියයි… අනික ඒකිත් දැන් කොම්රේඩ් කෙනෙක්… ඒ නිසා ඒ ගැන හිතන්නෙපා… හෙටම උඹේ ගේම පටන්ගනින්… කල් අරින්නෙපා…”

විසල් එකඟතාවය දක්වමින් හිස සැලුවේ ය.

“යශ්, උඹ කෝකටත් අර කෙල්ලට අපි ගැන කියලා තියපන්… මං දන්නවා උඹත් යන්නේ මුගේ අඩි පාරෙමයි කියලා… ඒත් ඒ කෙල්ල කවීලට වඩා පොඩී… මේන් ගේම් එකේ ඉන්න පොඩිම එකා උඹ… ඒ නිසා උඹ ඉන්න රිස්ක් එක ගැන පොඩි හින්ට් එකක් හරි ඒකිට දීලා තියපන්… ඒකිව කවීලට, නදීලට ඉන්ට්‍රඩියුස් කරලා දීපන්… මේන් ගේම් එකේ ඉන්න අපේ කොල්ලෝ හැමෝගෙම ගෑනු, ළමයි වටේ කොම්රේඩ් සර්කල් එකෙන් සේෆ් ගාඩ් එකක් දාපන්… කොම්රේඩ් සර්කල් එක දැන් බලාත්මක කරන්න කාලේ හරි… හැමදේටම කලින් අර කෙල්ලව දැනුවත් කරලා තියපන්… නැත්නම් උඹලට නිදහසේ ඇස් පියාගන්නවත් බැරිවෙයි…”

යශෝද් හිස සලා පිළිගත්තේ ය.

“මං සඳී එක්ක කතා කරන්නම් අයියේ…”

ඔහු කීවේ ය.

“මේ ලෝකේ හැම මනුස්සයම සරල, සුන්දර ජීවිත ගත කරන්නෑ බං… උඹලා අපි වගේ උන්ට ඔය සරල, සුන්දර කියන කාලකන්ණි වචන දෙක කොහෙත්ම යාදෙන්නෑ…”

සත්සර කීවේ බීර කෑනයේ අවසන් උගුර මුවට හලාගනිමිනි.

“සේරම හරි නේද..?”

රනුක ආලින්දයට පැමිණි පසුව ආපසු හැරී තමන් පසුපස පැමිණි එරාන්ගෙන් විමසුවේ ය.

“හරි… ඕනේ කරන ටික සේරම ගත්තා… අපි යමු…

නංගි දොර වහගෙන ලොක් කරගන්න…”

එරාන් අවසන් වදන් කීවේ විසිත්ත කාමරයට පිවිසෙන දොර අසල සිටගෙන සිටි කවිනි හට ය.

“හරි අයියේ… ඔයාලා පරිස්සමින් යන්න…”

ඇය කීවා ය. එරාන් අත ලිපිගොනු කිහිපයක් විය.

“අඩේ කාර් එකේ කී එක ටීපෝ එක උඩ බං…”

ගේට්ටුවෙන් පිටත නවතා තිබූ මෝටර්රථය වෙතට ම පැමිණි පසු රනුක එකවර ම කීවේ ය.

“තොගේ සිහිය නම්…”

“මං ටාර් ගාලා ගිහින් අරගෙන එන්නම්…”

කවිනි වැසූ දොර යළි විවර කළේ ගේට්ටුව විවර වූ හඬට ය.

“කී එක අමතක වෙලා…”

ගේට්ටුව අසල සිට ම තරමක හඬින් කී රනුක වේගවත් ගමනින් පැමිණ නිවසට ඇතුළු වුණේ කවිනිගේ වැළමිටෙන් අල්වා ඇයව ද ඇතුළට ඇදගෙන ම ය.

“කවී… ඔයා ඉල්ලපු දේ… ඒක ඕනෙමද..?”

ඔහු, කවී දෙසට මඳක් නැඹුරු වෙමින් විමසුවේ ය.

“ඔව්… ඔයා පොරොන්දු උනා රනූ… මං විසූව මාස හයකට මගෙන් නිදහස් කළා… එයා ශේෂා එක්ක මොන දේ කළත් ඉවසන් ඉන්න හිත හදාගත්තා… එයා බෑ කියද්දී එයාව මේ මිෂන් එකට කැමති කරවගත්තා… දැන් ඔයා මට උනු පොරොන්දුව ඉෂ්ට කරන්න…”

රනුක නිකට පිරිමැද්දේ කවිනි දෙස තියුණු බැල්මක් හෙළමිනි.

“හරි… මං ඒ සේරම රෙඩි කරන්නම්… හරි වෙලාව එනකන් සද්ද නැතුව ඉඳපන්… ඔයාට කන්ටැක්ට් එකක් මං හදලා තියන්නම් හදිසියක් උනොත්…”

“හ්ම්ම්ම්…”

“නදීත් එක්ක එකතුවෙලා ගහන ගේමක්ද මේක..?”

කවිනි හිස දෙපසට සැලුවා ය.

“තාම එයාට කිව්වේ නෑ මං…”

“හ්ම්ම්ම්…”

“ඔයා ඇත්තටම නදීගෙන් ඈත්වෙනවද රනූ..?”

රනුක මොහොතක් කවිනි දෙස බලාසිටියේ ය.

“එයා දෙපාරක් මාව පණපිටින් මැරුවා කවී… වධකාගාරේදී මට තිබ්බේ ෆිසිකල් පේන් එකක් විතරයි… නදී නිසා මං ලොකු ශොක් එකක් එක පාරක් වින්දා… මේ දෙවනි පාර… තාම මට සමාවදෙන්න හිත හදාගන්න බෑ…”

එසේ කී රනුක, තම කලිසම් සාක්කුවට අත දමා එහි වූ යතුර අතට ගත්තේ ය.

“දොර වහගන්නවා… මං ගේට්ටුව වහගෙන යන්නම්… විස්සා ඇවිත් කතා කරනකන් දොර අරින්නෙපා එළදෙන වගේ…”

අනතුරු ඇඟවූ රනුක ආපසු ගියේ කවිනි ඉදිරිපස දොර වසාගත් බව සැකහැර දැනගත් පසුව ය.