- 22 කොටස- ‘‘හෙලෝ ..නිශාදි…”
හිමංස නිශාදිට කෝල් කළේ මගින් යද්දි.
“කියන්න හිමංස මොකෝ කලබලෙන් වගේ”
“නිශාදි…ආ….මේ මගෙ යාළුවෙක්ගෙ මළ ගෙයක් වෙලා… ඔයා ලෑස්ති වෙන්න මං පැය කාලක් යනකොට එනවා..දැන් මග ඉන්නෙ..හරිද?”
“මාත් එන්න ඕනෙද?”
“ඔව් නැතුව… හරිනෙ..”
“හා..”
නිශාදි ලෑස්ති වුණේ හිමංසගෙ හැටි දන්න හින්දා..දවසක් මතකනේ කැබ් එකක් අරං ඇවිත් හෝන් එක කඩන්න හැදුව හැටි…
⚡⚡⚡⚡⚡
හිමංස නිශාදිවත් එක්කගෙන කාර් එකේ ගියේ කිසි සද්දයක් නැතුව…..හයිවේ එකට කාර් එක දානකොට නිශාදි ටිකක් කලබල වුණා..
“හිමංස..ඔයා ඇයි අමුතු වෙලා….මළ ගෙදර කාගෙද?”
“ම්ම්…කීවනෙ මං යාළුවෙක්ගෙ කියලා…..”
හිමංස මෙච්චර නිශ්ශබ්ද මොකද? ..හයිවේ එක ඉවර වෙලා එළියට ඇවිත් හිමංස කාර් එක දැම්මේ නිශාදිගෙ ගමට වැටෙන පාරට…එතන තිබුණු සුදු කොඩි පහු කරලා හිමංස කාර් එක අරගෙන ගියේ වෙල මැදින් ගිහින් අබරං සීයගෙ ගේ පැත්තට…
‘‘ දෙයියනේ හිමංස ..ඔයා මේ යන්නෙ අබරං සීයගේ ගේ පැත්තටනේ…”
“ඔව් නිශාදි ..ඔයා අප්සෙට් වෙයි කියලයි මං නොකීවෙ..මං දන්නවනෙ ඔයාගෙ හැටි..අබරං සීයගෙ ආච්චි තමා නැතිවෙලා තියෙන්නෙ..”
“අනේ පව් හිමංස..සීයා දුකෙන් ඇත්තෙ…”
නිශාදි කීවෙ ඇස් වල කදුළු පුරවගෙන…
“අද තමා ෆියුනරල් එක තියෙන්නෙ…මං දැන ගත්තෙ දැන් “
මළගෙදර ගමේ අය කිහිපදෙනෙක් එකතු වෙලා හිටියා…
නිශාදි වාහනෙන් බහිනකොටම ඒ ළඟට දුවගෙන ආව අබරං සීයා නිශාදිටයි හිමංසටයි අත්දෙක එකතු කරගෙන වදින හැටි නිශාදි බලං හිටියේ පුදුමෙන්…
“මං දැන ගෙන හිටියා සුදු නෝනා එනවා කියලා…කොහෙ හිටියත්…අනේ බලන්නකො නෝනෙ වෙච්චි දේ…”
“සීයෙ…ඔහොම වදින්න එපා සීයේ…. දැන් දුක් වෙලා වැඩක් නැහැනෙ…”
“සුදු නෝනෙටයි..මහත්තයාටයි පින්සිද්ද වෙන්න …අන්තිම කාලෙ අපි හරි සැපෙන් සතුටෙන් කරදරයක් නැති ජීවත් වුණා..මගෙ හාමිනෙත් නිතරම සුදු නෝනෙට පිං දුන්නා..”
“මොනවද අබරං සීයෙ මේ කියන්නෙ..”
නිශාදිට ඒ කතාව තේරුණේ නෑ..අනික නිශාදි කියන්න තරම් මහලොකු උදව්වක් කරලත් නෑ..
“ඇයි නෝනෙ බලන්නකො අපෙ ගේ දිහා ..අර”
නිශාදි එතකොටයි ගේ දිහා බැලුවෙ..එතන කලින් තිබුණු කටු මැටි ගෙදර වෙනුවට දැන් තියෙන්නෙ තනි තට්ටුවේ හොද ගෙයක් ..
හිමංස ඒ වෙනකොට හිටියේ ගමේ කිහිප දෙනෙක් එක්ක කතා කර කර..ඒ නිසා හිමංසට මේ කතාව ඇහුණෙ නෑ..
“සීයේ දැන් ගේ හරි ලස්සනයිනෙ…”
“ඔව් නෝනෙ..නෝනගෙ මහත්තයා තමා අපිට ගේ හදලා දුන්නෙ..නැත්නම් අපි අව්වට කර වෙවී..වැස්සට තෙමී තෙමී කොච්චර දුක් වින්දද? හරියට කන්න අදින්නවත් තිබුණද?
ගේත් හදලා දීලා මහත්තයා අපිට මාසෙටම හරියන්න බඩුත් එවනවා.. අපෙ ගමේ ඉන්න මහත්තයාගෙ යාළුවා තමා ඒවා ඔක්කොම හොයලා බලලා කරලා දෙන්නෙ..”
නිශාදි ඈතින් ඉන්න හිමංස දිහා බැලුවෙ පුදුමෙන්…මේ කිසිම දෙයක් හිමංස නිශාදිට කියලා නෑ…ඒත් මෙච්චර ලොකු දෙයක්..
“සීයෙ…ඇත්තටම මට පුදුමයි මහත්තයා ගැන..”
“රත්තරං මහත්තයෙක් සුදු නෝනෙට ඉන්නෙ.. දැන් මගේ දරුවොත් මං ගැන බලනවා නෝනෙ..මහත්තයා උන්ටත් සළකනවා..පොඩි එකාට රස්සාවකුත් දෙනවා කිව්වලු කියලා ගමේ මහත්තයා කීවා…යමු ගේ ඇතුලට නෝනෙ…”
අබරං සීයා කදුළු පිහ පිහා පිං දෙන හැටි නිශාදි බලං හිටයේ ආයාසයෙන් ඇඩුම නතර කරං… හිමංස මේ හැම දේම කරන්න ඇත්තෙ මං නිසා… එයා මහ පුදුම කොල්ලෙක්..නිකමටවත් මට කීවෙ නැති හැටි..
මළගෙදර කටයුතු අවසන් කරලා නිශාදිගෙ මහගෙදරටත් ගොඩ වෙලා දෙන්න එද්දි රෑ වුණා..
“හිමංස ..ඇයි මට නිකමටවත් මේවා ගැන කීවෙ නැත්තේ..”
“මොනවද නිශාදි..”
“අබරං සීයට ඔයා ගෙයක් හදලා දුන්නා කියලා…ඒ මදිවට එයාට සලකනවා කියලා..”
“ඒවා කියන්න තරම් වැදගත් දේවල්ද?”
“නැතුව..”
“ඇත්තටම මං හිතාන හිටියේ ළඟදි දවසක ඔයාව එහෙ එක්කං ගිහින් සප්‍රයිස් කරන්න.. ඒත් හිතුවෙ නැති විදහට මේ දේ වුනා…ඒකයි දුක…”
හිමංස ගැන නිශාදිගෙ හිතේ ඇතිවුනේ ලොකු ගරුත්වයක්.. හිමංස කොච්චර නපුරු උනත් හොද වැඩත් කරනවනෙ…..
💜️💜️💜️💜️
කාලය ගත වෙලා ගියේ හිමංසගෙයි නිශාදිගෙයි බැදීම තවත් ශක්තිමත් කරමින්…. මාසයක් විතර ගත වෙන කල් දෙන්නා රණ්ඩු වෙවී ….යාළු වෙවී …තරහ වෙවී …ජීවත් වුණේ ගොඩක් සතුටින්…
හිමංස නං හිටියේ රජෙක් වගේ..චතුරිකා රාජ් එක්ක එතනින් පස්සෙ අපල ගැන කතා කලේ නෑ…හැමදාම නිශාදි වැඩ ඇරිලා එනකල් බලං හිටපු පොඩි දෙන්නා සෙල්ලමට නිශාදි අල්ල ගත්තෙ හරි සංතෝෂෙන්..සමහර දවස් වලට හිමංසත් අහුවුණා….
“බාප්පි..අපි අද කරන්නෙ අල්ලන සෙල්ලම්….ඔයත් එනවද? “
චුටිටා අහද්දි හිමංස හිටියෙ සෙටියෙ උඩ ඉදන් ෆෝන් එක ඔබ ඔබ.
“මට බෑ බං… “
“අනේ.. එන්නකො..”
“ඇයි අර පුංචා ඉන්නෙ…”
” අල්ලන සෙල්ලම් කරන්න කට්ටිය ගොඩක් ඕනෙ… රෙදි පටියක් ඇහැට බැදලා අල්ලන්න ඕනෙ…අනික් අය දුවන්න ඕනේ”
“ඇත්තට..”
ඒ පාර හිමංසට සෙල්ලමට ආස හිතුණා..
“හරි යමුකො මාත් එන්නම්….හැබැයි කොන්දේසියක් පිට ….ඉස්සෙල්ලම පුංචගෙ තමා ඇස් බදින්න ඕනේ.. හරිද”
“හා එකඟයි..”
තුන්දෙනාම එළියට යද්දි නිශාදි මල් වලට සාත්තු කරනවා..
“පුංචා..වැඩේ හරි..බාප්පි කැමතියි..එන්න ඔයත්..”
“හරි චුට්ටෝ..”
සෙල්ලම පටං ගත්තා..ඉස්සෙල්ලම නිශාදිගෙ ඇස් බැදලා…පොඩි එවුන් කෑ ගහනවා..හූ..හූ..අපි..මෙහේ…
හිමංස හිනාවෙවී බලං ඉන්නවා…
“අනේ..ඔයාලා කොයි අනේ..මට මොකුත් පේන්නෙ නැහැනේ…”
ටිකකින් හිමංසම ළඟට ඇවිත් නිශාදිගේ ඇගේ හැප්පුණා.නිශාදි ටක් ගාලා හිමංසව බදා ගත්තා..
“ඒ..ඒවා ඔට්ටු නෑ..බාප්පි හොර කරනවා..”
චුට්ටා කෑ ගැහැවා..
“නෑ..නෑ..මං අල්ල ගත්තා..බාප්පි අවුට්…”
නිශාදි අයින් වෙන්න හැදුවට හිමංස අයින් වෙන් නෑ..
“මේ මොකද අනේ..අයින් වෙන්නකො..”
“බෑ..බෑ.. මට බෑ… අල්ලගත්තා නම් අල්ලගෙනම ඉන්නවා…”
“පිස්සු මෙයාට…චුට්ටෝ..මෙයා හරි යන් නෑ..සෙල්ලම් කරන්න දන්නෙ නැහැ…”
“ඔව් පුංචා..”
“හිමංස අත අරින්නකො…”
“මට බෑ ඕයි..අත අරින්න හිතෙන් නෑ”
හිමංස හෙමීට මුමුණන්නෙ නිශාදිගෙ කන ලගට ලං වෙලා…
පොඩි එවුන් දෙන්නා හිමංසගෙ ඇගේ එල්ලි එල්ලි අදිනවා..එතන එකම කාලගෝට්ටියයි..හිමංස මේ වැඩේ කරන්නෙ ප්ලෑන් කරලමයි..
“ආ..දැන් අඩගහනවකො ආයෙ මට සෙල්ලම් කරන්න…ගොඩේ සෙල්ලම්..”
“ඔයා එපා අපිට ආයෙ…”
“සීතා ..සීතා..මේ බලන්නකො”
නිශාදි හිනා වෙවී…කෑ ගහනවා
සීතා එතනට ආවෙ තේ බොන්න අඩගහන්න.
“හත් දෙයියනේ චූටි මහත්තයෝ..මේ මොකෝ”
ඒ පාර හිමංස නිශාදිව අත ඇරියා…
“ඇයි ..සීතා මැජික්ද?”
” නෑ..මන්තර…පිස්සුද චූටි මහත්තයා පොඩි එකෙක් වගේ නටන්නෙ..පොඩි කාලෙදිවත් ඔහොම සෙල්ලම් කරලා තියෙනවද මං අහන්නෙ..”
“ඒකනේ සීතා ..අපි පොඩි කාලෙ බොහොම ඩීසන්වට හිටපු හොද ළමයිනෙ…කොහද මේ ගොඩේ කෙල්ලො ආවම අපිත් එහෙම වෙනවා..”
“ආ..ඇත්තද ..කවුද දැන් ගොඩේ කෙල්ල..
“කවුද ඉතිං තමුසෙනේ…”
“හහ්..”
නිශාදි ගස්සගෙන ගෙට යන හැටි හිමංස බලං හිටියෙ හිනා වෙවී…
“නපුරු බාප්පි ..ගෑවුණෙත් ඉවරයි තැනක.චා….ටර්…”
ලොකු කොල්ලෙක් වගේ චුට්ටා ඇදලා කියද්දි හිමංස චුට්ටට ටොක්කක් ඇන්නා..චුට්ටා අඩාගෙන දිව්වෙ අම්මට පැමිණිලි කරන්න..
“ඇයි චූටි මහත්තයා ඔහොම කරන්නෙ..”
“ඇයි සීතගෙ මනමාලයා එනවලු ඕන්..”
සීතගෙ ඇස් දෙක ඉලිප්පුනා..
“චිකේ මේ චූටි මහත්තයා .. මං මේ නහින දෙහින කාලෙ පද හදන හැටි…. දැන් මං බලං ඉන්නෙ නිශාදි නෝනගෙ බබාවත් බලා කියාගෙන අන්තිම කාලෙ බනක් බාවනාවක් කරන්න.
මං කසාද බැන්දම කවුද චූටි මහත්තයගෙ බබාලා බලා ගන්නෙ”
“ඈ මොකද්ද බං ඒ කතාව..”
“බං”
“ආ සොරි සොරි… මොකද්ද ඔය බබාලන්තෙ කතාව..”
“ඇයි ඇත්තනේ කීවෙ මං..”
“නිශාදි එහෙම දෙයක් කීවද..”
“අනේ නෑ… ඒ වුණාට මං එහෙම උනොත් හොදයි කියලා හිතනවා”
“ඇත්තට.. ගුඩ් අයිඩියා… මං මේ ගැන නිශාදි එක්ක සාකච්ඡා කරලා බලන්නම්කො..
එහෙනම් සීතට කසාද බදින්න දෙන්නෙ නෑ මං.. ඕං ආයෙ චුරු චුරු ගාන්න එපා.. මට බදින්න ඕනෙ කියලා හරිද..අමිතාබ් බච්චන් ආවත් මං සලකා බලන් නෑ.”
“ඈ.. කවුරු කීවා.. “
” ඇයි දන් නැද්ද .. අර වයසක නලු බට්ටා…”
“අපෝ කට නම්.. පව් අර නිශාදි නෝනා..”
“ඔව් ඒ නෝනා විතරයි පව් ..මේ ගෙදර ඉන්න බල්ලොන්ටත්…හහ්…..”
හිමංස කට ඇද කරලා යනකොට සීතට හිනා..
. පොඩි කාලෙ ඉදලා හිටපු හැටියට මෙහෙම හරි විහිලුවක් කරලා මනුස්සයෙක් වගේ ඉන්නෙ නිශාදි නෝන නිසා.. බබාලන්තෙ අයිඩියා එක ලොකු නෝනගෙ ඔලුවට දාන්න ඕනෙ
💜️💜️💜️💜️💜️
“හෙලෝ හිමංසයා..කොහොමද වාස දේස..”
“හල්ලෝ… විනෝද්..ඉතිං ඉතිං..”
“ආ දැන් නම්..සනීපයිනේ උඹට… “
“කියලා වැඩක් නෑ”
“මේ ඒක නෙවේ ..නැගණිය ඉන්නවද ඔය ළග පැත්තෙ..මට නම් බයයි කතා කරන්නත්..”
“නෑ බං ..නානවා..”
“ආ..ඒක හොදයි…මේ පොඩි ආරාධනාවක් කරන්න ගත්තෙ…හෙට මගෙ බර්ත්ඩේ එක..”
“නෑ..හැපි බර්ත්ඩේ මචං..”
“අද නෙවෙයි බං හෙට..හෙට විෂ් කරපන්”
“අද වුණාම මොකෝ හෙට වුණාම මොකෝ…හෙට පාටිනෙ..මං එන්නම්..”
” උඹ විතරක් වැඩක් නෑනේ..නෑනවත් එක්කගෙන වරෙං…බර්ත්ඩේ එක මං ගන්නෙ මේ පාර සුපිරියට…හොටෙල් එකක..”
“ෂා…මරුනේ..අපේ සෙට් එකත් එයි නේද?”
“ඔව් ..ඔව්… තනියම බෑ..කපල් එක එන්න ඕනේ…මේ නෑනා මගෙ එක්ක තාම තරහද?”
“නෑ බං දැන් අපි ඕවා කතා කරන්නෙත් නෑ..”
“හරි එහෙනම් මං තියනවා…විස්තර හෙට උදේ කියන්නම්..බායි..”
“ඕකේ..”
💜️💜️💜️💜️💜️
හිමංස හිටියෙ නිශාදි බාත් රූම් එකෙන් එළියට එනකල් පණිවිඩේ කියන්න..කාලෙකින් සෙට් වුණු වැඩේට හිමංසට ෆුල් හැපි…නිශාදි එක්කගෙන යන්න ඕනේ ඇදුමක් ගන්න.
මෙච්චර වෙලා මොනවා කරනවද බාත්රූම් එකේ.
“.නිශාදි…නිශාදි….”
ඒ පාර හිමංස බාත් රූම් එකේ දොර කඩන්න හදනවා..
“මොකද?”
“එනවකො ඉක්මණට..”
“ඉන්න චුට්ටක්… “
නිදහසේ නාගන්නවත් දෙන්නෑ..පුදුම හස්බන්ඩ් කෙනෙක්..ආයෙත මොකක් හරි රණ්ඩුවක් අල්ලන්න වෙන්න ඇති…නිශාදි තනියම හිතනවා.
“මොකද ඕයි ඔච්චර වෙලා ඕක ඇතුලෙ කරේ…”
නිශාදි එලියට එනකොටම හිමංස ඇගට කඩා පැන්නා.
“පොල් ගෑවා..”
“ඇත්තට…”
“ඔව්..මොකටද දැන් මට කතා කලේ…”
නිශාදි කොණ්ඩෙ පිහින ගමන් අහනවා…හිමංස ළඟට ඇවිත් කොණ්ඩෙ ඉඹිනවා…ඒ පාර කාරණේ මතකත් නෑ..
“සුවදයි..ම්ම්ම්ම්ම්…”
නිශාදිට හිනා..
“මොකද හිනාවෙන්නෙ..”..