.හිටපු හමුදාපති යසස් සමරදිවාකරගේ රිය අනතුර සම්බන්ධව සැකපිට ඔහුගේ සොහොයුරු, තවත් හිටපු හමුදාපතිවරයෙකු වන සුරේෂ් සමරදිවාකර ඊයේ අත්අඩංගුවට ගෙන ඇත…

නදිනි පෙර දින සවස පටන් කටපාඩම් වන තෙක් ඇසූ මෙම පුවත යළි යළිත් ඇසෙද්දී සසල වූයේ නැත. දෙසතියක පටන් ඈ පසුවූයේ මිදුණු සිතැත්තියක පරිද්දෙනි. දෙසතියකට පමණ පෙර දිනෙක පාන්දර පැමිණි රනුකගේ අවසන් කෙටි පණිවුඩයෙන් පසුව මෙතෙක් ඔහු කිසිඳු අයුරකින් තමන්ව සම්බන්ධ කරගැනීමට උත්සාහ කළේ ද නැත. මෙය මෙලෙස සිදුවන බව පෙර සිට ම දැනසිටිය ද එය දරාගැනීම මෙතරම් අසීරු යැයි ඈ නොසිතුවා ය. ලිහාරා නිහඬ වෘතයක් පිරූ නමුත් හැකි සෑමවිට ම තම සොහොයුරිය සමීපයේ රැඳෙන්නට උත්සාහ කළා ය. කවිනි බොහෝවිට ඇගේ විවේක කාලය ගතකළේ නදිනි සමඟ ය. ජානු සහ ඉමෝද් ද පෙරට වඩා ඉහළ මහලට පැමිණ සිටින්නට උත්සාහ කළේ නදිනිව තනි නොකර සිටින්නට මෙනි.

“ඌට ටිකක් කල් දීපන්… මේ ටිකේම දවල්ට බිස්නස් වැඩ. රෑට නස්පුට් වෙන්න බොනවා… ඌට තරහා බහිනකන් මාත් මේ බලාගෙන ඉන්නේ…”

දෙදිනකට පෙර ඈ හමුවීමට පැමිණි විසල් කීවේ ය.

“අනික නදී, උඹට පුලුවන් නම් චුට්ටියි, එරානයයි ගැන ඔයිට වඩා ෆ්‍රීලී හිතන්න… මං එදා කේන්තියට මොනා කිව්වත් ඇත්තටම උන් වරදක් කරලා නෑ නේද..? ආදරේ කරන එක වැරදි නම් උඹ, මං, රනුවා, කවී අපි හැමෝම වැරදියි බං… අනික උඹේ හිතට බය එරානයා කොම්රේඩ් කෙනෙක් උන එක ගැන නම් උඹට මං එකක් කියන්නම්… කොම්රේඩ්ස්ලා තරම් ආදරේ කරන්න දන්න මිනිස්සු මේ ලෝකේ තවත් නෑ බං. ඒකයි අපි කොම්රේඩ්ස්ලා උනේ… අපි ආදරේ කරන්නේ අපිට ආදරේ කරන උන්ට විතරක් නෙවි. අපිව දන්න, නොදන්න, අපිට ආදරේ කරන, නොකරන හැමෝටම ආදරේ කරන මිනිස්සු ජාතියක් බං අපි… මං දන්නෑ මේ මිෂන් එක ඉවර වෙනකොට අපේ කීදෙනෙක් ඉතුරු වෙලා ඉඳීද කියලා. ඒ ඉන්න අය ඇතුලේ එරානයා ඉඳීවි කියලා මට ගැරන්ට් කරන්නත් බෑ නදී… ඒත් මං එක දෙයක් දන්නවා. මේ මිෂන් එකෙන් ඌ මළත් චුට්ටිට කවදාවත් ඌ වරදක් වෙන්න ඉඩක් තියන්නෑ කියලා දන්නවා… මං කවීට ආදරේ කරන තරම, රනුවා උඹට ආදරේ කරන තරම, නිට්ටා ජානුට ආදරේ කරපු තරම, නඳුනා සූරිට ආදරේ කරන තරම දැක්කම උඹට හිතාගන්න පුලුවන් වෙන්න ඕනේ කොම්රේඩ් කෙනෙක් කියන්නේ ලෝකේ ඉන්න විශ්වාසවන්තම ආදරවන්තයෙක් කියලා…”

විසල්ගේ වදනින් නදිනිගේ සිත මෙලෙක් වුවත් ඇය පෙරළා කිසිවක් නොකීවා ය. ඇය සිටියේ වේදනාව විසින් හද දවන වාතාවරණයක ය. ඒ බව විසල් පසක් කරගත්තේ ඇගේ මුහුණෙන් පළ වූ හැඟුම් කියවීමෙනි.

“එරාන්ගෙයි ලිහාරාගෙයි ප්‍රශ්නේ ගැන තමුසේ වදවෙන්නෙපා… රනුවාගේ විදිය දන්නවනේ. ඌට කාලේ දීපන්… පොඩ්ඩක් ඉවසන් ඉඳපන්…”

ඈ හිස සැලුවා ය. කුමක් වුවත් විසල්, කවිනි කෙරෙහි අපරිමිත සමාවක් ලබාදෙන බවත් රනුකගෙන්, තමාට කිසිවිටෙක එය නොලැබෙන බවත් ඈ දැනසිටියා ය. මිතුරන් දෙදෙනා අතර අහස-පොළොව තරම් විෂම වූ ගති-ගුණ වූ අතර කවිනි කෙරෙහි විසල්ගේ හැමවිටම නම්‍යශීලී වන මෘදු ප්‍රතිපත්තිවලට නදිනි බෙහෙවින් ප්‍රිය කළා ය. නමුත් රනුක වනාහි ප්‍රතිපත්ති විෂයයෙහි මවට, පියාට වුවත් වෙනසක් නොකරන්නෙකි. එය ඔහුගේ ස්වභාවය යි.

සුළු පියාගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව විසල් හා කතාබස් කිරීමේ අවශ්‍යතාවයක් වුවත් ඒ සඳහා ඔහුගේ කාර්යබහුලත්වය හරස් විය. රනුක සහ දුලාජ් සමඟින් තම ව්‍යාපාර ගොඩනැගීම කෙරෙහි කාර්යබහුල වූ විසල් පසුවූයේ බෙහෙවින් විඩාපත් මානසිකත්වයක ය.

නදිනිගේ කල්පනාවලිය බිඳවැටුණේ විදුලි සීනුව නාද වූ හඬිනි. එදින ලිහාරා රාජකාරි සඳහා පිටව ගොස් සිටියා ය. තවමත් උදෑසන වූ බැවින් පහත මාලයේ ජානු සහ පුතු, ඉමෝද් ද මේ මොහොතෙහි නොවන බව නදිනි දැනසිටියා ය.

රනුකගේ ආගමනය අපේක්ෂාවෙන් විවර කළ දොර ඉදිරියේ වූයේ රෝහිණි සමරදිවාකර ය. තම පියාගේ මව ය. නැතහොත් තම මිත්තණිය යි.

“ආච්චි…”

නදිනි මවිතයෙන් කීවේ මේ මොහොතෙහි ඇය දැකගැනීමේ අපේක්ෂාවක් සිත්හි නොවූ බැවිනි.

“මට ලොකු දුව එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ…”

ඇය වෙව්ලන ස්වරයෙන් කීවා ය. නදිනි හිස සැලුවා ය.

“එන්න ආච්චි ඇතුළට…”

රෝහිණි මෙහි පැමිණි මුල් ම වර මෙය විය.

“ඔයාලා මේක සල්ලිවලට ගත්තද..?”

ඈ විමසුවා ය. නදිනි මඳසිනහවක් පෑවා ය.

“නෑ මේක කවීගේ අයියගේ… මායි නංගියි උඩ තට්ටුව රෙන්ට් එකට ගත්තා… පහළ තට්ටුවේ තව මං දන්න අක්කා කෙනෙකුයි බබයි ඉන්නේ… ඒ හින්දා කරදරයක් නෑ…”

රෝහිණි හිස සැලුවා ය.

“අර දරුවා කෝ..?”

ඈ විමසන්නේ රනුක පිළිබඳව බව නදිනිට වැටහුණ ද ඈ ඒ බවක් නොහැඟවී ය.

“කවුද ආච්චි..?”

“ඔයා යාලුවෙලා ඉන්න දරුවා…”

“අපි දෙන්නා සෙපරේට් උනා… එයා මෙහෙන් ගියා…”

නොදන්නා හේතුවකට එලෙස කියන්න යැයි නදිනිගේ සිත ඈට මුර ගා කීවෙන් ඈ සිතට අවනත වූවා ය.

“අනේ මන්දා ඒවත්…”

රෝහිණි විස්සෝප ස්වරයෙන් කීවා ය. නදිනි නිහඬව ම නැගිට ගොස් තේ පිළියෙළ කොටගෙන පැමිණ රෝහිණි හට සංග්‍රහ කළා ය.

“බාප්පා ගැන ආරංචි උනාද ලොකු දුව..?”

“හ්ම්ම්ම්… මං දැක්කා ඊයේ…”

“මේ සිද්ධි අවුරුදු ගාණකට පස්සේ එළියට අදින්නේ කවුරු කියලද ලොකු දුව හිතන්නේ..?”

නදිනි පිටවෙන්නට ආ සිනහව මුව තුල ම අගුලු ලා ගත්තා ය. එසේ නම් රෝහිණි පැමිණ ඇත්තේ එයට යි. නැත. ඇයව කිසිවෙකු විසින් එවා ඇත. එසේ නම් ඔවුන් දැනට ම හඹායාම අරඹා ඇත. මෙය ආරම්භය පමණ යි.

“මටත් හිතාගන්න බෑ ආච්චි… මං හෙව්වා… ඒත් ඒ කිසිකෙනෙක් ගැන හරි ඩීටේල් එකක් නෑ… බාප්පට කොහොමද..?”

රෝහිණි අතැති ලේන්සුවෙන් කඳුළු පිසදාගත්තා ය.

“මං ගියේ නෑ බලන්න… එක දරුවෙක් නැති උනා… තව දරුවෙක් හිරේ… මොන අම්මටද මේවා දරන්න පුළුවන්..?”

නදිනි මොහොතක් ඈ දෙස බලාසිටියා ය.

“බාප්පා, තාත්තාගේ මර්ඩර් කේස් එකට සම්බන්ධ නැත්නම් නිදහස් වෙයි ආච්චි… අනික තමන්ගෙම අයියානේ…”

සැකයේ වාසිය උරගා බලමින් නදිනි කීවා ය. රෝහිණි කඳුළු සැලීම නවතා හිස ඔසවා බැලුවා ය.

“ඔයා මීඩියාවලනේ ලොකු දුව ඉන්නේ… මුකුත් නැද්ද ආරංචි..?”

එවර ඈ වෙන ම අංශයකට කර පොවන්නී ය.

“මං ඉන්නේ විශේෂාංග පැත්තටනේ ආච්චි… මට එහෙම ඔය වගේ ආරංචි එන්නෑ… මං හොයන්න යන්නෙත් නෑ… බලෙන් හිත පාරවගන්න ඕනෙත් නෑනේ…”

රෝහිණි හිස සැලුවා ය.

“කවිනිගේ තාත්තාගේ ප්‍රශ්නෙට මොකද උනේ..?”

ඈ යළිත් විමසුවා ය.

“අර ආටිකල්වල ගිය ටික තමයි ආච්චි අපි දෙන්නම දන්නෙත්… කවීවත් ඔය සිද්ධි ආටිකල්වල යනකන් දන්නෑ… ආටිකල් ලියපු කෙනාව හොයාගන්න එයා නම් සෑහෙන ට්‍රයි එකක් දුන්නා. ඒත් වැඩක් උනේම නෑ… අන්තිමටම අපි හිතාගත්තා තාත්තලා වෙනුවෙන් දානයක් දීලා පින් අනුමෝදන් කරලා හිත හදාගන්න… එයාලව ඇත්තටම මරලා දාලා උනත් අපිට බෑනේ දැන් මුකුත් කරන්න… නීතියෙන් මොනවා හරි කරනවා නම් කරයි… කවී හිතන්නෙත් එහෙමයි…”

“එතකොට කවිනිගේ අයියා..?”

“එයාත් එහෙම තමා… එරාන් අයියා කොහොමත් කවීගේ තාත්තා ගාව හැදුන කෙනෙක් නෙවෙයිනේ… එයාට ඒක ලොකු බලපෑමක් උනේ නෑ…”

රෝහිණිගේ ප්‍රශ්න කිරීම් පිළිබඳව නදිනිගේ සිත වූ අපැහැදීම වර්ධනය වෙමින් පැවැතිණි.

“කවිනි නම් අර මිනිස්ටර් කෙනෙක්ගේ පුතෙක්ව නේද මැරි කරලා ඉන්නේ..? එයාලා හොඳින් ඉන්නවද..?”

යළිත් පැනයකි.

“අනේ ඔව්… රිද්ම අයියා හරි හොඳයි… මේ ටිකේම කවීව මෙහෙ එව්වත් එක්ක මේ ප්‍රශ්න නිසා මං අවුලෙන් ඇති කියලා…”

නදිනි මුසා පවසන්නට වූයේ සැකය තීව්‍ර වන බැවිනි.

“කවිනි යාළුවෙලා හිටපු පිරිමි ළමයට මොකද උනේ..?”

“විසූද..? එයා දැන් රනූ එක්ක බිස්නස් කරනවා… බිස්නස් මොනවද ඒ විස්තර නම් මං දන්නෑ ආච්චි… ඒත් ඉතිං හැමදාම පරණ ලව් ස්ටෝරීස් වල මිනිස්සුන්ට එල්ලිලා ඉන්න බෑනේ… කවී බැන්දා. එයා හොඳින් ඉන්නවා… රනූයි මායි අපි ගැළපෙන්නෑ කියලා හිතපු නිසා වෙන්වෙන්න හිතුවා… හොඳ කෙනෙක් හම්බුණොත් මං ආයේ හිතලා බලනවා… අපිව අතෑරුනට විසූයි, රනූයි දෙන්නා එයාලගේ ගමන් යාවි… ලෝකේ ස්වභාවය ඒකනේ ආච්චි…”

නදිනි කීවේ උපේක්ෂා සහගත වතක් මවාගනිමිනි. තවත් අඩහෝරාවක් පමණ ම එතරම් වැදගත් නොවූ දේ කතාබස් කරමින් සිටි රෝහිණි, නදිනිගෙන් සමුගෙන යන්නට වූවා ය. නදිනි වැඩිහිටි බව සලකා ගේට්ටුව තෙක් පසුගමන් කළා ය. ඇගේ නික්මයාමෙන් අනතුරුව නිදහස් හුස්මක් ගත් නදිනි ගේට්ටු පියන්පත වසන්නට සූදානම් වූවා ය.

“නදී…”

ඈ ඉදිරියේ යතුරුපැදිය නවතාගෙන සිටියේ අන් කිසිවෙකු නොව සංජුල ය. ඔවුන්ගේ නිවස පිහිටි බීච් රෝඩ්හි අවසන් නිවස වූයේ අසංකගේ බෝඩිම යි.

“කවුද ඒ..?”

රෝහිණීගේ නික්මයාම දුටු සංජුල විමසුවේ ය.

“අයියා ඇතුලට එන්න. කතාවක් කියන්න තියනවා…”

නදිනි වහා කීවේ රෝහිණීගේ සැක සහිත පැමිණීමේ තතු නොවලහා කොම්රේඩ්වරුන් වෙත දැනුම්දිය යුතු යැයි සිතුණු බැවිනි. විවර කළ ගේට්ටුවෙන් සංජුල යතුරුපැදිය ගෙමිදුල වෙත ගෙන එන අතරතුර නදිනි ගේට්ටුව වසාදැමුවා ය.

“එන්න අයියේ වාඩිවෙන්න… ඒක ටිකක් දිග කතාවක්…”

සියල්ල අකුරක් නෑර කීමට අත්පොත් තබමින් නදිනි, සංජුල හට ආලින්දය වෙත ආරාධනා කළා ය.
.
.
.
.
“මහිලාල් අතුකෝරලගෙන් අපිට උදව් ගන්න කොහොමත් බෑනේ විස්සා. එහෙම උනොත් ඉතිං පොරගේ දුවව තමා අපිට යූස් කරන්න වෙන්නේ…”

අසංක කීවේ දුලාජ් සොයාදුන් විස්තර විසල් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

“ඒකට පොඩි ප්ලෑනක් ගහමු කියලා දුලා කිව්වා…”

විසල් කීවේ කල්පනාකාරීව ය.

“ඌ අනිද්දා මීටින් එකට එනවද..?”

තිසර විමසුවේ ය. විසල් හිස දෙපසට සැලුවේ ය.

“බලමු. මං කියන්නම් ඌට… අනිද්දා මීටින් එකට එන්න කියන්නේ අපේ කීපදෙනෙක් විතරයි… මෙතන ඉන්න අපි සෙට් එක ඇරුණම යශෝද්, නඳුනා දෙන්නා විතරයි…”

විසල් තීරණාත්මක ලෙස කීවේ ය.

“කෙල්ලෝ තුන්දෙනාටත් එන්න කියපන්… උන්ගෙන් උදව් ඕනේ වෙයි මේ වැඩේට…”

එවර සමීර ය.

“ඒත් අයියේ…”

විසල් එයට විරුද්ධව කරුණු දැක්වීමට උත්සාහ කළේ ය.

“විස්සා… මල්ලි, අපි මෙතන ඩීල් කරන්නේ කෙල්ලෙක් එක්ක… ඒ නිසා දැනට අපේ ඉන්න කොම්රේඩ් ගර්ල්ස්ලා තුන්දෙනා ඉන්නවා නම් හොඳයි අනිද්දට මීටින් එකට… මොකද එයාලා අපිට වඩා කෙල්ලෝ ගැන දන්නවා…”

අවසානයේ සමීරගේ මතය සියල්ලෝ ම පිළිගත්හ.

“අනික නදීගේ විස්තරය ගැන අපි ටිකක් ඩීප් කතා කරන්න ඕනේ විස්සා එදාට…”

සංජුලගේ වදනට විසල් හිස සැලුවේ ය. සංවාදය අවසන්ව විසල් ඉවත්ව යන්නට අසුනෙන් නැගීසිටියේ ය.

“මට දුලා එක්ක මීටින් එකකට යන්න තියේ… උඹලා එහෙනම් වැඩේ කතා කරගන්න… අනිද්දා මීටින් එකට මොනා හරි අයිඩියා එකක් තියේ නම් උඹලා පොඩ්ඩක් කතා කරගනින්…”

පිරිසගෙන් සමුගන්නා අතරතුර විසල් කීවේ ය. ඔහු සමඟ ම තාරක ද, පිටවී ගිය බැවින් එහි ඉතිරි වූයේ අසංක, රනුක, එරාන්, සමීර, සංජුල, තිසර සහ සත්සර පමණි.

“එරා… මෙතන ඉඳන් වැඩේ උඹ ලීඩ් කරපන්…”

සමීර එරාන් දෙසට හැරෙමින් කීවේ ය.

“මේක මට වඩා හොඳට විස්සා කරයි අයියේ…”

එරාන් එයට එකඟනොවුණේ ය.

“වැඩේ වෙන්න ඕනේ ඊයේ රෑ කතා උන විදියට… එහෙම උනොත් ඊළඟ මාස හයට විස්සට වෙනම වැඩක් තියනවා… අපිට තව උපරිම මාස දහයයි තියෙන්නේ… ලබන අවුරුද්දේ ඡන්දේ… ඒ වෙද්දී මේ මිෂන් එක ඉවරවෙලා අපේ උන්ගෙන් කැන්ඩිඩේට්ස්ලා (අපේක්ෂකයෝ) දෙන්නෙක් තෝරලා උන්ව රෙඩි කරන්නත් ඕනේ…”

සමීරගේ හඬ දැඩි ය.

“විස්සා කීයටවත් ඕකට කැමති වෙන්නෑ… මං ඌ ගැන දන්නවනේ…”

රනුක කීවේ හිස දෙපසට සලමිනි.

“ඌ අරුන්ව මරණ එක පැත්තකින් තියලා අපි එකා එකාව වෙන වෙනම මරයි අයියේ ඕක කියන්න ගියොත්…”

එරාන් ද කීවේ ය.

“රනුවා ඌට කියපන්… ඌ උඹ කියන දේ අහනවනේ…”

තිසරගේ වදනට රනුක හිස දෙපසට සැලුවේ ය.

“ඌ ලව්වා මේක කරවන්න පුලුවන් එකම එක විදියයි තියෙන්නේ…”

රනුක බිම බලාගත් වනම මිමිණුවේ ය.

“කොහොමද..?”

අසංක විමසුවේ ය. සත්සර සියල්ල දෙස නිහඬව බලාසිටියේ නිරුත්තර විලසිනි.

“කවී ලව්වා…”

“නංගිව ගාව ගන්නෙපා බං… ඒකි මං නිසා කාපු කට්ට ඇති හොඳටම…”

එරාන් වේදනාවෙන් යුතුව මිමිණුවේ ය.

“කවීට මං කතා කරන්නම්… ඒකි කොහොමත් උඹට වඩා මට එකතුයි…”

රනුක කීවේ එරාන් සුසුමක් හෙලා ඉවත බලාගන්නා අතරතුර දී ය. රනුක ජංගම දුරකතනය ගෙන ඇමතුමක් ලබාගත්තේ කවිනිගේ නම්වරයට ය.

“කවී… කොහෙද ඉන්නේ..?”

…….

“පොඩි හදිසියකට… පොඩ්ඩක් අසාගේ පොට් එකට ඇවිත් යන්න එනවද..?”

……..

“විස්සා නම් නෑ මෙතන… ඌට කියන්නත් එපා මං එන්න කිව්වා කියලා… පොඩි ප්‍රයිවට් වැඩක්… වරෙන්කො… ආවම කියන්නම්…”

………

“හරි බං… එල…”

………

“කවී දැන් එයි…”

රනුක කීවේ සෙස්සන් දෙස බලමිනි.

“උඹේ වැඩේට මොකද කරන්නේ..?”

එවර තිසර විමසීය.

“මගේ වැඩේ කොහොමත් විසඳිලා තියෙන්නේ බං… මං නදීගෙන් ටෝටලි සෙපරේට් වෙලා ඉන්නේ… අපි අතරේ කිසිම රිලේෂන්ශිප් එකක් මින් ඉදිරියට නෑ… ක්ලෑන් එකේ වැඩ විතරයි… ඒ නිසා ඒ ප්‍රශ්නේ විසඳිලා ඉවරයි… ඒ ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ…”

රනුකගේ හඬ දැඩි ය.

“රනුවා…”

එරාන් යමක් කීමට උත්සාහ කළේ ය.

“අපේ බ්‍රේක්-අප් එක උඹෙයි, චුට්ටිගෙයි අෆෙයාර් එකට බලපාන්නෑ… කොම්රේඩ් ක්ලෑන් එකට බලපාන්නෙත් නෑ… ඒක අපි දෙන්නගේ පුද්ගලික දෙයක්… ආයේ ඒ ගැන කතා නොකර ඉමු…”

රනුකගේ හඬේ වූ තීරණාත්මක බව හේතුවෙන් සියලුදෙනා නිහඬවූහ. නමුත් තරුණයන් සියලුදෙනාට ම නදිනි පිළිබඳව වූයේ කණගාටුවකි.
.
.
.
.
අසංකගේ බෝඩිම වෙත තරුණයන් සහ තරුණියන් කිහිපදෙනෙක් රැස්ව සිටි නමුත් රැස්වීම ඒ වන තෙක් ආරම්භ වී තිබුණේ නැත.

“How’s your new catch..? (කොහොමද ඔයාගේ අලුත් කෑල්ල..?)”

ආලින්දයේ සිටි තාරකගේ පිටට පහරක් ගසමින් දුලාජ් සිනාසුණේ ය. තාරක, තමන් අසල ම සිටි විසල් දෙස බලා මනමාල සිනහවක් පෑවේ ය.

“You mean Sadeesha..? She’s amazing, man… (ඔයා කියන්නේ සදීෂා ගැනද..? එයා නම් නියමයි මචං…)”

තාරක කීවේ ඒ සිනහවෙන් ම ය.

“මූව දැන් අල්ලන්නත් අමාරුයි බං… හැබැයි කෙල්ලටත් මූව අල්ලලම ගිහින්… මේ ටිකේම ඒකි ඉන්නේ මූ එක්කමයි…”

විසල් කීවේ තාරකගේ කර වටා අතක් දමාගනිමින් දුලාජ් හට ය.

“එහෙනම් ඒ වැඩේ සාර්ථකයි…”

දුලාජ් සතුටෙන් කීවේ ය.

“හ්ම්ම්ම්… දැන් මං ඒකිගේ මාර්ගෙන් සාගරගේ මල්ලි පවිත්‍රට ඇහැ ගහගෙන ඉන්න ට්‍රයි කරන්නේ… හිමේෂ්, වතික දෙන්නා එක්ක සාගරගේ පැහැදිලි කන්ටැක්ට්ස් තියනවා… ස්පෙෂලි පවිත්‍රට… අනික මිනිස්සු අතුරුදහන් කරන්න පාලිත සිරිවර්ධනට වඩා සාගරගේ තාත්තා ප්‍රියංකර ධර්මබන්ධුට හොඳ හැකියාවක් තිබ්බා… ගහේ කටු උල් කරන්න ඕනේ නෑනේ…”

“බලහන් බං… අපිට අපේ ඉස්කෝලේ උන් එක්කමනේ හැප්පෙන්න උනේ…”

තාරකගේ විස්තරයෙන් අනතුරුව දුලාජ් දෙවුර සලමින් කීවේ ය.

“උන් මැරුවෙත් අපේ ඉස්කෝලේ උන්මනේ බං… නිට්ටා, ගැට්ටා, දිවුලා, සිරා, සාලි අපේ ඉස්කෝලේ උන්නේ… ඇකඩමික්, ස්පෝර්ට්ස් වලින් ඉස්කෝලෙට කොච්චර කලර්ස් ගෙනාපු උන්ද..?”

විසල් කීවේ ශෝකයෙනි. ඒ හැඟීම අනෙක් දෙදෙනාට ද දැනුනාක් මෙනි. ඒ සමඟ ම යතුරුපැදියක් පැමිණ නැවත්වූයෙන් තිදෙනාගේ අවධානය ඒ වෙත යොමුවිණි. යතුරුපැදිය නවතා ඉන් බැසගත් යශෝද් හිස්වැසුම ගලවා තබා ආලින්දයේ උන් තිදෙනා වෙත පැමිණියේ සිනහවක් සමඟිනි.

“මොකද හු-තෝ පරක්කු..? අනික් සේරම ආවා… තෝ එනකන් මෙච්චර වෙලා බලන් හිටියේ…”

තාරක විමසුවේ ආලින්දයට ගොඩ වූ යශෝද් දෙස බලමිනි.

“අඩෝ අයියේ, මගේ බොස්ලා තුන්දෙනාම මෙතන… එයිනුත් දෙන්නෙක් ඉස්සරහා, මට කලින් ඔෆිස් එකෙන් පනින්න කියන එක එතිකල් නෑ නේද..? තාම සති දෙකයි වැඩට ගිහිල්ලත්…”

යශෝද් කීවේ සිනාසෙමින් දුලාජ් සහ විසල් නෙතින් පෙන්වමිනි.

“මුගෙන් නම් උඹ ඒ කාලේ ඉඳන් බැට කනවනේ… ඕවා සංසාර ගනුදෙනු මලයා…”

යශෝද්ගේ කර වටා අතක් ලා ගනිමින් තාරක කීවේ ය.

“තෝ හොඳ ට්‍රිප් එකක් ගියා නේද වීක්-එන්ඩ් එකේ..?”

විසල් විමසුවේ තමා තරමට ම උසැති යශෝද්ගේ හිසට තට්ටුවක් දාමිනි.

“සඳී බලන්න ගියා…”

වැළමිට තෙක් නවා තිබූ කමිස අත යළි නවමින් යශෝද් කීවේ ය.

“හනිමූන්ද..?”

දුලාජ්, යශෝද්ගේ උරහිසකට පහරක් ගසමින් විමසුවේ ය. යශෝද් බිම බලාගෙන ම සිනාසුණේ ය.

“සඳී සීගිරිය සයිට් එකේ වැඩ කරන්නේ අයියේ… එයා ෆයිනල් එක්සෑම් ලියපු ගමන් එහෙ ජොබ් එක සෙට්වෙලා ගියා… වීක්-එන්ඩ් එයාටත් නිවාඩුයිනේ… චුට්ටක් බලලා එන්න ගියා… පත්තු බැඳලා ඉද්දි බයික් එකේ එච්චර දුර යන්න බැරි නිසා යන්න විදියක් නැතුව හිටියේ… ඒ නිසා අත හරිගිය ගමන් ගියා…”

සිනහවක් මුවග දල්වාගනිමින් කීවේ ය.

“ඩෙමාට කියලා හොඳ හොටෙල් එකක් එහෙම බුක් කරගෙන කොල්ලා ගියේ…”

විසල් කීවේ අනෙක් දෙදෙනාට ඉඟි මරමිනි.

“අයියලාගෙන් තමා ඕවා නම් ඉගෙනගත්තේ ඉතිං…”

යශෝද්ගේ වාක්‍ය අවසන් වෙත්ම විසල්ගෙන්, ඔහුගේ කුසට එල්ල වූ මුෂ්ටි ප්‍රහාරයෙන් ඔහු හැකිලුනේ ය.

“ගහන්නෙපා යකෝ… වැඩ ඇල්ලුවා විතරයි… නැත්නම් අපිටත් බලාගෙන ඉන්න වෙයි උඹලට වගේ ලොම් හැලිලා නාකි වෙනකන්…”

දෑතින් ම කුස අල්වාගත් යශෝද්, විසල්ගේ උරයට, තම උරහිසකින් අණිමින් කීවේ ය.

“කිව්වා කියලා හිතාගනින් පොඩි එකා… අනික මං දැන් තොගේ බොස් යකෝ…”

විසල්, යශෝද්ගේ ගෙල වටා අතක් යවා ඔහුව ග්‍රහණයට ගනිමින් තමන් හා සිනාසෙමින් සිටින තාරක සහ දුලාජ් සමඟ ම නිවස තුළට ඇතුල්වූයේ ඒ වනවිට අනෙක් සියල්ලෝ ම පැමිණ සිටි හෙයිනි.

“යශෝද් ආව එකේ වැඩ පටන්ගමුද..?”

යශෝද් දුටු වහා සත්සර විමසුවේ ය. අනතුරුව සියල්ලන්ගේ ම එකඟත්වයෙන් රැස්වීම ආරම්භ කරන ලදී. ශේෂානිගේ පියා වූ මහිලාල් අතුකෝරල සමඟ හිමේෂ් සිරිවර්ධන සහ වතික අතපත්තුගේ ව්‍යාපාර බොහොමයක් බැඳී පවතින බවත් මහිලාල් තම කොටස් ඉවත් කරගතහොත් ඔවුන් දෙදෙනාගේ ව්‍යාපාර බිඳවැටෙන බවත් දුලාජ් විසින් පිරිසට දත්ත සහිතව පෙන්වාදුන්නේ ය. එසේ ම ඒ වනවිට මහිලාල්ගේ ව්‍යාපාරවලින් වැඩි ප්‍රමාණයක් පාලනය කරනු ලබන්නේ ඔහුගේ එකම දියණිය වන ශේෂානි විසින් බව ද දුලාජ් කියාසිටියේ ය.

“මහිලාල් මේ දවස්වල හොඳ බෑණා කෙනෙක් හොයනවා… මොකද පොරට හොඳ දුවෙක් හිටියට වෙන දරුවෝ නෑ… ඒ කියන්නේ පුත්තු නෑ… ඒ නිසා මහිලාල් ට්‍රයි කරන්නේ ශේෂානිව හොඳ බිස්නස්මන් කෙනෙක්ට මැරි කරවන්න…”

දුලාජ්, තම අවසන් දත්තය ඉදිරිපත් කරමින් නිහඬවූයේ ය.

“ඔන්න ඕක තමා අපේ තුරුම්පුව… මහිලාල්ගේ වැඩේ ලේසි කරලා දීලා ශේෂානිට ඇප්‍රෝච් කරන එක…”

සමීර සාකච්ඡාව අරඹමින් කීවේ ය.

“අයියේ… මේකට ප්ලෑන් හදන්න කලින්ම මං මේක කියන්න ඕනේ… ශේෂානි කියන්නේ සදීෂා වගේ කෙල්ලෙක් නෙවි… කෙල්ලගේ කලින් අෆෙයාර් එකක් තිබිලා තියනවා තමා. ඒත් එහෙම හැම කොල්ලා එක්කම නිදාගන්න ජාතියේ කෙල්ලෙක් නෙවි ශේෂා කියන්නේ… හරිම ඩීසන්ට්, සෙන්සිටිව් කෙල්ලෙක්… දුලා වගේම නදීත් US ඉද්දි ඒකිව දැනගෙන හිටියා… ෆැෂන් කළාට, ක්ලබ් ගියාට ඒ කෙල්ල නරකයි කියලා හංවඩු ගහලා මේ ප්ලෑන් ගහන්න පටන්ගන්න එපා…”

විසල්ගේ ස්වරයෙහි වූයේ ඉල්ලීමකි.

“ඒක ඇත්ත අයියේ… විසූ කිව්වා වගේම හරිම හොඳ කෙල්ලෙක් ශේෂා කියන්නේ… ඒ නිසා ඒ ළමයට ගැටළුවක් නොවෙන්න කරන දෙයක් කරමු…”

නදිනි ද, විසල් හා එකඟ වූවා ය.

“මේකයි නදී ප්‍රශ්නේ… සදීෂා කියන්නේ අපිට ඉන්නේ පොඩි තුරුම්පුවක් විතරයි මෙතනදි… සදීෂාව ඕනේ අපිට වධකාගාරේ තිබ්බ තැන හොයාගන්න විතරයි… ඒත් එතනට අරගෙන යන්න නම් අපිට ශේෂාව ඕනේ… හිමේෂ්ලා දැන් ආතල් එකේ ඉන්නේ… මාස හයක් ඒ ආතල් එකේ ඉන්න දීලා ඒ ආතල් එක කුඩු කරන්න ඕනේ… ඊටපස්සේ උන් පිස්සු බල්ලෝ වගේ බුරාහැලෙන්න ගන්න ඕනේ… අන්න එතකොට තමයි අපිට ඕනේ ටාර්ගට් එකට අපිට යන්න ලේසි… ඒ නිසා ශේෂා අපේ ආසියා… මේ අත අපි හරියටම සෙල්ලම් කරන්න ඕනේ නදී… පරිස්සමින්…”

සමීර කීවේ නදිනි දෙසට හැරෙමිනි. නදිනි හිස සෙලවූවා ය.

“මොකක්ද ශේෂාගේ වැඩේට කරන්න ඉන්නේ..?”

ජනනි ප්‍රශ්න කළා ය.

“පරණ ක්‍රමයමයි නංගි… සදීෂාට දුන්න ඇම සෙක්ස්. මොකද ඒකිගේ වීක් පොයින්ට් එක ඒක… ශේෂා කියන්නේ සෙක්ස් වලින් නම්මගන්න බැරි කෙල්ලෙක් කියලයි මට මේ විස්තර අහද්දී හිතුනේ… එහෙම කෙල්ලෙක්ට යූස් කරන්න වෙන ටූල් එක සෙක්ස් නෙවි ලව්… ආදරය… ඒ කියන්නේ අපේ කොල්ලෙක්ට ඇක්ට් කරන්න වෙනවා ශේෂාට ආදරෙයි කියලා… එහෙම ඇක්ට් කරලා ඒකි ලව්වා අරුන් දෙන්නව වට්ටවන්න ඕනේ…”

සමීරගේ වදන් අසල විසල් යළි කතා කළේ ය.

“එහෙම කළාට අවුලක් නෑ… සදීෂාගේ කේස් එකේදි වගේම මේකෙදිත් ඒ කෙල්ලගේ අනාගතයට ප්‍රශ්නයක් නොවෙන්න මේ ගේම් එක ප්ලේ කරමු අයියේ… අපි කොම්රේඩ්ස්ලා… තිරිසන්නු නෙවි…”

විසල්ගේ හඬේ වූයේ තීරණාත්මක බවකි.

“හැබැයි ශේෂා එක්ක ඩීල් කරන එක කරන්න ලේසිම විස්සට…”

දුලාජ්ගේ කියුමෙන් විසල් මෙන් ම සෙස්සෝ ද, ඔහු දෙස බැලූහ.

“ඒ කිව්වේ..?”

නඳුන් විමසුවේ ය.

“ශේෂා US ඉන්න කාලේ ඉඳන් විස්සට ක්‍රෂ්… ශේෂාගේ ඉන්ටර්න්ෂිප් එක පටන් අරගෙන මාසයක් විතර යද්දී කවීගේ වෙඩින් එක නිසා විස්සා පිස්සු නටන්න ගත්තනේ… ඒ කාලේ ශේෂා තමයි විස්සව බලාගත්තේ… නදීට නම් මතකත් ඇති… මූ බීලා වැඩි උනාම එහෙම බලාගන්නේ ඒ කෙල්ල තමයි ඒ දවස්වල… මූට ඒ කෙල්ලගේ ෆීලින්ස් තේරෙන්න තරම් සෙන්ස් එකක් ඒ කාලේ නොතිබ්බට ඒක ප්‍රොජෙක්ට් එකේ වර්ක් කරපු අපි හැමෝටම දැනිලා තිබ්බේ… ඒත් ඒකි මාස්ටර්ස් කම්ප්ලීට් කරලා, ඉන්ටර්න්ෂිප් එකත් කම්ප්ලීට් කරලා මුකුත් නොකියම ලංකාවට ආවා…”

දුලාජ් කීවේ විසල්වත් නොදැන සිටි විස්තරයකි.

“එහෙනම් මේක කරන්න ලේසිම විස්සට…”

එරාන් වහා කීවේ ය.

“එරානයා, තෝ මගෙන් මැරුම් කනවා… එක පාරක් උඹ මගේ ගෑනිව වෙන මිනිහෙක්ට බැන්දුවා මිෂන් එකකට තොරතුරු හොයන්න කියලා… දැන් උඹ මාව අර පොඩි කෙල්ලෙක් එක්ක නිදිවද්දන්නද හදන්නේ මේ මිෂන් එකට කියලා… හු-ගනින්… එන්නෙපා තෝ මාත් එක්ක ඕවා කරන්න නම්…”

විසල්ගේ දෑසින් පිටවූයේ ගිණි පුළිඟු ය. ඒ බැල්ම පවා මාරාන්තික ය. කවිනි සුසුමක් හෙලා බිම බලාගත්තා ය.

“විස්සා, ඒ කරපු දෙයින් වරදක් උනේ නෑනේ… අනික උඹ දන්නවනේ අපිට අපේ මිෂන් නිසා කසාද බඳින්න වුණත් පුලුවන් කියලා කොන්ස්ටිටියුෂන් එකේම තියනවා… එච්චර දුර යන්න කියනවා නෙවෙයි… එහෙම එකේ ටිකක් මේ කෙල්ලව ශේප් කරගන්න උඹට බැරිකමක් නෑනේ…
කවී මේකට අවුලක් දාන්න තරම් මෝඩ නෑ කියලා මං දන්නවා…”

එරාන්ගේ තීරණාත්මක හඬට කවිනි සෙමෙන් හිස සැලුවා ය.

“පිස්සුද හු-තෝ… මට බෑ…”

විසල්ගේ හඬ තීරණාත්මක ය.

“විස්සා, එරානයා කියන එක ඇත්ත… ශේෂාට ඇප්‍රෝච් කරන්න ලේසිම උඹට…”

රනුකගේ හඬෙහි වූයේ විසල් දමනය කරවන තරම් සංයමයකි.

“ඒත් රනුවා…”

විසල්ගේ හඬට රනුක බාධා කළේ ය.

“විස්සා, අපි මේක පුලුවන් ඉක්මණින් ඉවර කරමු… දැන්ම පටන්ගන්න ඕනේ මේක… ලබන අවුරුද්දේ ඡන්දේ බං…”

“ඔව් මලයා… දැනටම SPF (සමාජවාදී ජනතා පෙරමුණ) අපේ න්‍යායන් එක්ක එකඟවෙලා පක්ෂේ නමත් මාරු කරලා PLF (ජනතාවාදී වාමාංශික පෙරමුණ- Populist Left Front) කියලා අපේ අජෙන්ඩා එකෙන් එන්න සේරම ලෑස්තිවෙලා ඉන්නේ… මේ වෙලේ අපි මේ වැඩේ කරලා ඉවර කරන්න ඕනේ අපේ මැරිච්ච කොම්රේඩ්ස්ලා වෙනුවෙන්… මොකද බාගෙට මිෂන් එකක් ඉතුරු කරලා තියලා අපිට ඡන්දෙට යන්න බෑ… අනික හිමේෂ්ලගේ ඇත්ත එළිකරගන්න එක අපේ ඉලෙක්ෂන් කැම්පේන් එකට හොඳයි… ඒ නිසා මාස හයෙන් මේ ගේම් එකේ මුල් ස්ටෙප් එක ඉවර කරන්න ඕනේ… අනික්වා ඒ අතරේ අපි රෙඩි කරමු…”

රනුක සහ සමීර එක හඬින් කීහ.

“මට බෑ මේක නම් කරන්න… මාව මරපන්… ඒක හොඳයි මීට වඩා…”

විසල් උස් හඬින් කීවේ කවිනි දෙස නෙතගින් බලමිනි. කවිනි, ඔහුගේ බැල්ම මඟහැර ඉවත බැලුවා ය. යශෝද්ගේ තියුණු දෙනෙත් කවිනි මතට එල්ල වී තිබුණු අතර අනෙක් සියල්ලෝ ම බලාසිටියේ විසල් දෙස ය.

“විස්සා… කවී හැමදේම දැනුවත්ව උඹ මේක කරන්නේ…”

රනුක පැහැදිලි කරන්නට උත්සාහ කළේ ය.

“ඒත් රනුවා ඒක කරන්න බෑ… දුලා කියන විදියට ශේෂා මට ඇත්තටම ක්‍රෂ් නම් ඒ කෙල්ලගේ හැඟීම් එක්ක අපි ඒ ගනුදෙනු කරන්නේ… පව් යකෝ… අනික කෙල්ලෙක් එක්ක බොරුවට ආදරෙයි වගේ රඟපානවා කියන්නේ තමුසේ හිතන්නේ ලව් කරනවා කියන්නේ සෙල්ලමක් කියලද..?”

විසල්ගේ වදනට රනුකගේ දෙනෙත්හි ක්ෂණික රැවුමක් ඇතිවිය.

“මේ තත්ත්වේ තේරුම්ගනින් හු-තෝ… බබා වෙන්න හදන්නෙපා… කවී ඇර වෙන ගෑනු එක්ක උඹ ඉඳලම නැද්ද..?”

රනුක ද, විසල්ට නොදෙවැනි සේ හඬ නැගුවේ ය.

“හිටියා… හිටියා… ඒ මේ කෙල්ලට ආදරෙයි කියන්න කලින්… මෙහෙම කෙල්ලෙක් මේ ලෝකේ ඉන්නවා කියලා දැනගන්න කලින්… මේකිට ආදරෙයි කිව්වට පස්සේ අද මේ වෙනකන් අසිහින්වත් වෙන ගෑනු ගාවට ගිහින් නෑ… මං හොඳ එකෙක් නෙවි තමා… ඒත් මේ ගෑනිට මං ආදරෙයි යකෝ… මේ ගෑනි ඉස්සරහා තියාගෙන මිෂන් එකකට හරි වෙන ගෑනියෙක්ට ළංවෙන්න මට බෑ… මේකි මළත් මට බෑ…”

විසල් කෑගැසුවේ නැගීසිටිමිනි. යශෝද් වහා ඔහුගේ පසෙකින් සිටගත්තේ උරයක් මත අත තබාගෙන ය.

“විස්සා කවීට රිද්මගේ මැරේජ් එක කන්ටිනිව් කරනවා වගේ රඟපාන්න වෙනවා… උන් තාමත් දන්නෑ මෙයාලා ඩිවෝස් කියලා… උන් අපි හැමෝම පස්සේ වැටිලා ඉන්නේ… මං හිතනවා එරාන්ව උනත් උන් දැන් ෆලෝ කරනවා ඇති කියලා… ඒ නිසා හොඳම දේ ඉෂිනිව ලංකාවෙන් පිට කරලා මේ ප්‍රශ්නෙන් විසඳෙනකන් රිද්මට කවී එක්ක ඉන්න කියලා කෙලින්ම රිද්ම එක්ක කියන එක… අපි හෙට රිද්ම එක්ක මේ ගැන මීට් වෙලා කතා කරමු…”

සත්සර සන්සුන් ස්වරයෙන් කීවේ ය.

“ඒ කියන්නේ මට දැන්ම කවීව මැරි කරන්න බැරිද..?”

විසල් විමසුවේ කුඩා දරුවෙකු පරිද්දෙනි.

“බෑ විස්සා… උන් තාම අපිව ශුවර් කරන්නෑ… අපි උන්ට ඒත්තු ගන්වන්න ඕනේ අපි වෙන් වෙන්ව අපේ ට්‍රැක්වල දැන් යනවා කියලා… ඒකට සේෆ්ම විදිය මේක… කවීට සේෆ්ම තැන රිද්ම ගාව… හිමේෂ් තමන්ගේ මල්ලිගේ ගෑනිට අත තියන්න එන්නෑ… නදී, චුට්ටියි, ජානු එක්ක ඒ ගෙදර සේෆ්… මේ වෙලේ නදීලට ඇටෑක් කරන්නෑ… ඒත් කවී ගැන ශුවර් කරන්න බෑ… අනික් පැත්තෙන් උඹ ශේෂා එක්ක සෙට් කියලා උන් දැනගත්තම රිද්මයි, කවීයි පස්සේ උන් පන්නන එක ඉබේම නතරවෙයි… ඒ අතරේ අපිට අපේ ටාර්ගට්ස් වලට යන්න ලේසි වෙයි…”

රනුක සන්සුන් ලෙස කීවේ ය. විසල් ඉහ අත් බැඳගෙන අසුන මතට කඩාවැටුණේ ය.

“මේකද ෆයිනල් ප්ලෑන් එක..?”

යශෝද් විමසුවේ ය.

“ඔව්…”

රනුක කීවේ ය. යශෝද් ද හිස සලමින් අසුන් ගත්තේ ය. විසල් නිහඬ වූයේ කෝපයෙනි.

“විසූ, අපි කතා කරමුද..?”

කවිනි විමසුවේ කෝපයෙන් තවමත් දෑත් අඹරවමින් සිටින විසල් දෙස බලමිනි. ඔහු නිහඬව ම පුටුවෙන් නැගීසිටියේ හඬ නගා පුටුව පසුපසට කරමිනි. කිසිවෙකු හෝ දෙස එකඳු බැල්මක් හෝ නොහෙලමින් ඔහු දිගු පියවර තබා විසිත්ත කාමරයෙන් ආලින්දය වෙත ගියේ ය. කවිනි, එරාන් සහ රනුක දෙස බලා නෙතින් ඉඟිකොට ඔහු පසුපසින් යන්නට වූවා ය. නමුත් එය යශෝද්ගේ දෑසින් නොමිදුණි.

“විසූ…”

ආලින්දයට පිවිසි කවිනි, විසල්ව ඇමතුවේ ඔහුගේ දෑත්, තම දෝතින් ගෙන ය.

“මාස හයයි විසූ… ඔයාට මාව හොරෙන් හරි බලන්න එන්න පුලුවන්නේ… රිද්මට ඇත්ත කියමු. එයා තේරුම්ගනී… මම දන්නවා ඔයා කරන්නේ මිෂන් එකක් කියලා… ඔයා ඒ වෙනුවෙන් මොනවා කළත් මට ඒක දරාගන්න පුලුවන්… අපේ මැරුණු කොල්ලෝ වෙනුවෙන් මේක කරමු විසූ… දැනටම ආණ්ඩුව ආයේ පොඩි පොඩි කේස් දාන කොල්ලෝ-කෙල්ලෝ ඇරස්ට් කරනවා… ආයේ එහෙම කාලයක් ආවොත්..? තව අය මැරෙයි විසූ… එහෙම වෙන්න දෙන්නෙපා… මේක ඉවරයක් කරමු… ඒ මිනීමරුවෝ ඉවරයක් වෙන්න ඕනේ…”

කවිනිගේ දෑස් දෙස විසල් මොහොතක් බලාසිටියේ ය.

“ගෙට යන්න යශෝ… මං මිනිත්තු පහකින් එන්නම්…”

තම දෑත් මුදාගනිමින් ඔහු කීවේ ය. ඇය හිස සලා යළි විසිත්ත කාමරයට ගියා ය. මිනිත්තු පහකට පමණ පසුව විසල් යළි විසිත්ත කාමරය තුළට පිවිසෙද්දී ඇතුළත කතා කරමින් සිටි සියලුදෙනා නිහඬ වූහ.

“මං මේක කරන්නම්…”

විසල් හැඟීම් විරහිත දෑසින් රනුක දෙස බලා කීවේ ය. රනුක හිස සලා ඔහුගේ එකඟත්වය පිළිගත්තේ ය.

“අපේ කොන්ස්ටිටියුෂන් එකේ විදියට මිෂන් එක සක්සස් කරගන්න උඹට ශේෂා එක්ක කැමති විදියට මේ ගේම් එක ප්ලේ කරන්න පුලුවන් විස්සා… මේ මාස හය ඇතුළත උඹ ඒකිව බැන්දත් ගැටළුවක් නෑ… ගේම් එක ක්ලෝස් කළාම රඛිත අයියා ලව්වා ඩිවෝස් කේස් එකක් ෆයිල් කරන්න පුලුවන්… කෙල්ල ප්‍රෙග්නන්ට් නොවෙන්න උඹ පරිස්සම් වෙයන්…”

සමීර උපදෙස් දුන්නේ බිම බලාසිටි විසල් හට ය. තවත් හෝරාවක් පමණ ඇදුණු රැස්වීම අවසන් වූ පසුව යශෝද් ආපසු යාමට සැරසුණේ ය. ඔහුගේ යතුරුපැදිය අසලට පැමිණි විසල්, දෑත් සාක්කුවල රුවාගත්තේ ය.

“කොම්රේඩ් සර්කල් එකේ වැඩ උඹට පවරපු එක අවුලක් නෑ නේද..?”

ඔහු, යශෝද්ගෙන් විමසුවේ ය.

“නෑ… මං බලන්නම් ගිරාලා එක්ක ඒ වැඩ…”

“හ්ම්ම්ම්… අද ප්ලෑන් එකේ මාවම මේ මිෂන් එකට දාන්න යෝජනා කරපු අපේ එකා කවුද කියලා මට හොයලා ඕනේ යශ්… මං දන්නවා උඹට මුන් සේරම ආදරෙයි… දුලායි, වැලායි ඇර අනික් හැමෝම උඹේ සැකකාර ලැයිස්තුවේ ඉන්න ඕනේ…”

“මං හොයන්නම්…”

යශෝද් පිළින දුන්නේ ය.

“කවීව මේකට කැමති කරවගත්ත එකත් මට හොයලා ඕනේ…”

විසල් යළි කීවේ ය.

“හ්ම්ම්ම්…”

යශෝද් හූමිටි තබා නිහඬ වූයේ තාරක, ඔවුන් වෙත පැමිණි බැවිනි.

“සදීෂා උඹේ බැචී නේද..?”

තාරක, යශෝද් වෙතින් විමසුවේ ය.

“බැචී නෙවි අයියේ, ඒකිව මං ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්නවා… මාර හිත හයිය කෙල්ලෙක්… ස්වාධීනේ වෙලත් මං හැමදාම රෙස්පෙක්ට් කරන කෙල්ලෙක්…”

“ඒක නම් ඇත්ත…”

“ඒකෙ තත්වේ කොහොමද..?”

“හොඳයි…”

නිකට කසමින් තාරක කීවේ ය.

“අයියේ, බැචී නිසාම නෙවි. මතක කාලේ ඉඳන්ම දන්න කෙල්ලෙක් නිසා කියන්නේ… ඒකි උඹට ලව් වගේ දැනුනොත් පොඩ්ඩක් හරි ආදරේ පෙන්නපන් බොරුවට හරි… සදීෂා කියන්නේ අම්මගෙන්, තාත්තාගෙන්වත් හරියට ආදරයක් හම්බුණේ නැති කෙල්ලෙක්… මට දුක හිතුණා අපි ඒකිගේ සෙක්ෂුවල් නීඩ්ස් ටාර්ගට් කළා කිව්වම… ඇත්තටම ඒකි එක එකා එක්ක නිදාගෙන හොයන්නේ සෙක්ස් කියලා මං හිතන්නෑ… මගේ අම්මයි, මගේ කෙල්ලයි ඇර මං වෙන කෙල්ලෙක්ට රෙස්පෙක්ට් කරනවා නම් ඒ සදීෂාට විතරයි… ඒ නිසා පරිස්සමින් ඒකිගේ ඉමෝෂන්ස් එක්ක ඩීල් කරපන් අයියේ…”

තාරක සුසුමක් හෙලුවේ ය. යශෝද් යතුරුපැදියේ නැගී පිටවී ගියේ ය.

“විස්සා, මේ මිෂන් එකේ අන්තිමටම බල්ලෝ වෙන්නේ අපි දෙන්නා බං… මොන මඟුල උනත් මේ කරන සෙල්ලමෙන් එන ගිල්ටි ෆීලින් එකෙන් උඹටයි මටයි මැරෙනකන් නිදහස් වෙන්න වෙන්නෑ…”

තාරක කීවේ මළ හිරු දෙස බලාගෙන කල්පනා කරන විසල් හට ය. ඔහු හිස සැලුවේ එය පිළිගනිමිනි. මෙතරම් දැඩි අභියෝග ලබාදෙන තම දෛවයට ඔහු වෛර කරන්නට වූයේ ය.