-20 කොටස-

“රාජ්..මං කීවනේ ඔයාට …ඔයා ගණන් ගත්තෙ නෑනෙ.. දැන් බලන්න අර දරුවා ඇදේ දාලා ඉන්න හැටි ..”

චතුරිකා දුක්ගැනවිලි ගිරිරාජ්ට කියන්නෙ හොස්පිට්ල් එකේ යට ගාර්ඩ්න් එකේ බංකුවේ ඉදගෙන.

.හිමංස පිස්සෙක් වගේ නිශාදි ඉන්න රූම් එක දිහා බලං ඉන්නවා හිත වාවන්නෙ නැති හින්දමයි ජෝඩුවම පහළට ආවෙ..

“චතූ ප්ලීස්..ඔය මනස්ගාත අතඇරලා දාලා දැන් වෙන දෙයක් ගැන කතා කරමු…බය වෙන්න එපා දුවට හොද වෙයි…”

“ඔයා ඔහොම කීවට අපි දැන දැනමනේ ඒ දරුවව ගින්දරට ඇදලා දැම්මෙ..එයාලාගේ අම්මලා දැන ගත්තොත් මොනවා වේවිද..අපිට කොච්චර සල්ලි තිබුණත් කර්මය වළක්වන්න බැහැනේ..”

“චතූ මට ඔයාගෙ දුක තේරෙනවා..ඒත් ඔයා පුතා ඉස්සරහදි ඔහොම දේවල් කියන්න එහෙම එපා… මං දන්නවනේ අපෙ එකාගේ හැටි..එයාගේ කේන්දරේ නිසා නිශාදි දුවට කරදර වුණා කියලා දැනගත්තොත් මිනිහා ඔය කෙල්ලව ඩ්වෝස් කරන්නත් බැරි නෑ.. ඒ තරම් ආදරෙයි….”

“දෙයියනේ..ඔව්..රාජ්…. ඔයා කියන්නෙ ඇත්ත..මටත් ඒක දැනුයි තේරුණේ.. පුතා ඒ තරම් බැදිලා ඉන්නෙ දුවට…”

“චතූ…මං ගැන දන්නවනේ ඔයා…. නිකම්වත් එහෙම දෙයක් වෙලා තිබුණොත් මං තරම් නරක මිනිහෙක් ලෝකෙම නැති වෙයි….මගෙ පුතාගෙ සතුට විතරයි මට වැදගත්….

මේ ගිරිරාජ් දෑලබණ්ඩාර ගැන ඔයාට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ විස්තර…”

ගිරිරාජ්ගේ තියුණු නෙත් චතුරිකා දිහාට යොමු වුණේ තරවටු බැල්මකින්…

චතුරිකා දන්නවා ගිරිරාජ් කිව්වොත් දෙයක් කිව්වම තමා කියලා.. ගිරිරාජ්ගේ ගතිගුණ එහෙම පිටින්ම හිමංසට පිහිටලා තිබුණා..සමහර වෙලාවට ඊටත් වඩා…ඉතිං හිමංස අර වගේ සෘජු තීරණ ගන්න එක අහන්නත් දෙයක්ද?”

ඒ නිසා ආයෙ මේවා ගැන කතා නොකර හිතේම හිර කරගෙන ඉන්නවා කියලා චතුරිකා තීරණය කළා….

🌿🌿🌿🌿🌿

හිමංස කොහොමහරි ඩොක්ටර්ට කෙදිරි ගාලා නිශාදි ඉන්න රූම් එක ඇතුලට යන්න අවසර ගත්තා…

නිශාදි ගෙ ඇද ළඟ පුටුවක් තියාන කොල්ලා බලං හිටියේ හුස්ම වැටෙන කෙල්ල දිහා..

නළලෙ තැන් දෙකක ප්ලාස්ටර් අලවලා..අතෙත් ප්ලාස්ටර් අලවලා.. ඒ තුවාල වල වේදනාව හිමංසටත් දැනෙනවා වගේ ..

ඇයි නිශාදි ඇස් අරින්නෙ නැත්තෙ..ඇයි….කතා නොකරන්නෙ ඇයි….

හිමංසට මතක් වුණේ නිශාදි දවසක් පොඩි එවුන් දෙන්නට කියලා දුන්නු Sleeping Beauty ගෙ කතන්දරේ….එදා හිමංසත් ටීවි බල බලා ඒ කතන්දරේ අහගෙන හිටියා..

නිශාදි කැටයම් දදා ලස්සනට කතන්දරේ කියද්ද පොඩි දෙන්නාට විතරක් නෙවෙයි හිමංසටත් ඒක අහන් ඉන්න ආසයි..

මන්තරකාරියෙකුගෙ ශාපෙකට අහුවෙලා ගැඹුරු නින්දකට වැටුණු නිදි කුමාරි වගේ නිශාදිත් නිදාගෙන ඉන්නවා…වෙනදට හිමංසට බනින…ඔරවන….ඇද කරන.. හිනාවෙන..ඒ මූණ අද සීතල වෙලා …..දන්නෙම නැතිව හිමංසගෙ ඇස් කෙනකින් කදුලු බිංදුවක් ගලාගෙන ගියා.

” හිමංස….ඔයා ඇයි මට බනින්නෙ නිතරම…”

නිශාදි ඊයෙ පෙරේදා දවසක ඔෆිස් ඇරිලා එද්දි කාර් එකේදි දුක්බර මූණක් මවාගෙන අහපු හැටි හිමංසට මතක් වුණා..

“ඒ මගේ හැටි..තමුසෙට බනින කොට මට හරිම සන්තෝෂයි….කියලා වැඩක් නෑ..”

“එහෙමද? හා කමක් නෑ..හැබැයි මට නම් දුකයි ඔයාට මං බැන්නහම..මං ඔය තරහ ගියාම ඔයාට තමුසෙ කියලත් කියනවනෙ.. ඒත් මටපස්සෙ හිතෙනවා මං එහෙම කියපු එක හොද නෑ කියලා..”

“ඒ මොකද?”

“ඉතිං ඔයා මගෙ මහත්තයානෙ..නම්බු දීලා කතා කරන්න ඕනෙනෙ…”

“ඒකනෙ ඇති යන්තං ඒක තේරුණා…මේ තමුසෙ ආයෙ අර ශාලුක එක්ක මුකුළු කරලා මට අහුවෙන්න එපා… “

හිමංස එහෙම කීවෙ කාර් එකේ වේගෙ වැඩි කරන ගමන්..

“හරි ඉතිං..මොකද ආයෙත් ඩූම් ත්‍රී පටං ගන්න යන්නෙ ශාලුක ගැන කියලා….”

නිශාදි ඇහැවෙ කට කොනින් හිනා වෙවී…

“දවසක මං ඩූම් ත්‍රී ඇත්තටම පෙන්නන්නම්කො…ඕකත් එක්ක මුකුළු කරලා අහුවුණොත්…”

හිමංස එහෙම කීවෙ නිශාදිගේ දකුණු අත එයාගෙ වම් අතින් තදින් අල්ලන ගමන්….