ස්නයිපර් නීරෝ කියන්නෙ රටම දන්න යුද හමුදාවේ දක්ශයෙක්. ඒ ඔහුගේ විශිෂ්ට ඉලක්කය නිසා. ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායේ කෝප්‍රල් වික්‍රමසේකර ඉමිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි වන මොහු යුද හමුදා විශේෂ බළකායේ ප්‍රකට ස්නයිපර් වෙඩික්කරුවෙකි. ඔහු හැඳින්වූයේ නීරෝ යන නමිනි. නීරෝ යනු යුද බිමේ එකම තැනක වෙස්වළාගෙන දින ගණන් සැඟවී එකම ඉරියව්වකින් සිට ඉලක්ක ලබාගෙන කොටි ත්‍රස්තවාදීන් මරා දැමිය හැකි අති දක්ශ රණකාමියෙක් විය. ඔහුගේ ඉලක්ක 100%ක්ම නිවැරැදි වූ අතර, යුද බිමේදී ඔහු කොටි ත්‍රස්තවාදීන් 217 දෙනකු මරා දමා තිබේ.

වන්නි මානුෂීය මෙහෙයුමේදී මුලතිව්, පුදුමාතලන්හිදී සතුරු ඉලක්ක ලබා ගනිමින් සිටියදී 2009 අප්‍රේල් 28 වැනිදා පෙ.ව. 6.20ට නීරෝ සතුරු ප්‍රහාරයට ලක්වන අතර පුදුමාතලන් ඉදිරි ආරක්ෂක වළල්ලේදී වෙඩි වැදුණු පසු වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළද එදිනම පෙ.ව 7.15ට පමණ නීරෝ මිය ගියේය.

මිය යන විට තිදරු පියකු වූ නීරෝ තවත් දරුවකුගේ සුරතල් බැලීමට සූදානමින් සිටියේය. එවිට ඔහුගේ බිරිය ගැබිනියකි. ඔහුගේ පුතුන් දෙදෙනාගේ නම් වූයේ රශ්මික නිමේෂ, ධනුෂ්ක නිමේෂ යන පුතුන් දෙදෙනාගේ හා දියණිය නිලුපමා රසාජි නම් විය. පියාගේ අඩි පාරේ යමින් ධනුෂ්ක වයසින් වැඩෙද්දී තීරණය කළේ, තමාත් පියා මෙන් යුද හමුදාවට බැඳී ගිනි අවිය අතට ගෙන රට රැක ගැනීමට දායක වීමටයි. ඒ අනුව සිය පියාගේ ගමන් මඟ ගිය පුතා අද යුද හමුදා රණවිරුවකු ලෙස කටයුතු කරමින් සිටී. ධනුෂ්ක 2018 අගෝස්තු 01 වැනිදා සාමාන්‍ය සෙබළකු ලෙස යුද හමුදාවට බැඳී මේ වන විට ගජබා රෙජිමේන්තුවේ 20 වැනි බළඇණියේ සේවය කරයි.

නීරෝගේ වැඩිමහල් පුතා රශ්මික ධීවර රැකියාව කරන අතර ඩබ්ලිව්.කේ නිලූකා ප්‍රියදර්ශනී මහත්මිය සමඟ විවාහ වී සිටි දෙවැනි පුතා හමුදා සෙබළෙකි. දියණිය ඇඟලුම් කම්හල් සේවිකාවකි. බාල පුතු පාසල් සිසුවෙකි. දැනට සාලියපුර ගජබා රෙජිමේන්තු හමුදා කඳවුරේ සේවය කරන සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.ඊ. ධනුෂ්ක නිමේෂ ප්‍රේමසිරි සිය පියා සිටි විශේෂ බළකායට යෑමට බලාපොරොත්තුවෙන් සිටී.

“ ක්‍රීඩාවලින් ඉදිරියට යෑමටත් කැමැතියි. කුඩා කාලෙ ඉඳන් මමත් තාත්තා වගේ හමුදාවට යන්න ලොකු ආසාවෙන් හිටියෙ. තාත්තා වගේ ස්නයිපර්මන් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා. තාත්තා මියගිය පසු අපේ පවුලේ ආර්ථික තත්ත්වය පහත වැටුණා. ඒ නිසා අපිට උසස් අධ්‍යාපනය කරන්න අමාරු වුණා. අයියා මුහුදු රස්සාවට ගියා. නංගි ගාමන්ට් ගියා. මම ආමි එකට ආවා”

පියාගේ අඩිපාරේ ගිය රණවිරු පුතාගේ අදහස් එසේ විය.

උපුටා ගැනීම

සිරිමෙවන් කස්තුරිආරච්චි

මව්බිම පුවත්පත