මතක අතරින් 🌻

පලමු කොටස

සීතල සුලං අපි දෙන්නාව සිපගෙන හමා යද්දි මම බලන් හිටියේ ඈත අහස දිහා. අදින් පස්සෙ මගේ ජීවිතය මොන විදිහට එයා නැතුව ගෙවෙයිද මම දන් නෑ…

“අයියේ මාව හිමිහිට අමතක කරන්න. ඔයාට පුලුවන්. මන් දන්නවා අමාරු වෙයි. කමක් නෑ. අපි ලොකු පවක් කරලා ඇති. ඒ පව ගෙවන්න කාලය ඇවිල්ලා…”

මම ඇහුවේ ඒ ඇස් දිහා බලාගෙනම හැඩුම් අපහසුවෙන් වලක්වාගෙන. ඒ ඇස් වල තියෙන අසරණකම තෙරුම්ගන්න මට අමාරු උනේ නෑ. එයාට වගේම මටත් අමාරුයි. ගොඩාක් අසරණයි අපි දෙන්නාම.

“මාව අසරණ කරන්න එපා සුදු. හොදටම දන්නවා මට ඔයා ගැන ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ගැන හිතන්න බැ කියලා…”

ඒ ඇස් අග නලියන කඳුලු බිංදු වැටෙන්න ඕන්න මෙන්න වගෙ. එයාගේ අම්මා ළග එයා ගොඩාක් අසරණයි කියලා නොතෙරුණා නෙවේ.

“ඊළග ආත්මයේ නම් ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් වෙන්න එපා අයියේ. නැත්තම් මට ඊළග ආත්මයෙත් ඔයාව වෙන කෙනෙක්ට දෙන්න වෙයි…”

මම නහය ඉහලට ඇද ඇද පැවසුවේ බොහොම අමාරුවෙන්. ඒ බොර පාට ඈස් දිහා තවත් බලන් ඉන්න බැරිම තැන මම තණබිස්ස දෙසට බැල්මක් හෙලුවේ අසරණව. වත් පොහොසත්කම් ආදරයට මෙහෙම බලපායි කියලා මන් කීයටවත් හිතුවේ නෑ.

“අයියේ එකම එක පාරක් අන්තිම වතාවට මට ඔය පපුවට තුරුලුවෙන්න දෙනවද. එකම එක පාරක් අයියේ. පොරොන්දු වෙනවා මන් ආයේ ඔය ඇස් ඉස්සරහාට එන් නෑ කියලා.

වැටෙන්න දඟලන ක‍ඳුලු ඇහි පිල්ලම් ගසමින් ආයාසයෙන් නතර කරගෙන මම එයා දිහා බැලුවේ. එයා ඇස් වලින් එන්න කියන ගමන් අත් දෙක දික් කරද්දි මම ඔහුගේ තුරුලට පැන්නෙ පමාවට. පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙද්දි මම ලොකු හුස්මක් ඉහලට ගත්තෙ පෙනහැලි පුරාම ඒ සුවද විදින ගමන්. පුදුම ලෝභකමක් දැනෙන්නේ එයාව අත අරින්න.

විනාඩියක් දෙකක් පැයක් නෑ ඊටත් වඩා මන් ඒ තුරුලේ ඉන්න ඇති. අයින් වෙන්න හිතුණේම නෑ මොහොතකටවත් ඒ පපුවෙන් මට. ඒ පපුවේ මන් වෙනුවෙන් ගැහෙන හඩ මං අහන් හිටියේ ඇස් දෙකත් පියාගෙනමයි. මට ඇහුණෙත් මන් වෙනුවෙන් ගැහෙන ඒ ආදරයේ හඩ විතරයි. මම ඒ පපුවට තුරුලු වෙලා හිටපු ඒ කාලයේම ඔහු මගේ හිස පිරිමදිමින් නලල මත සියුම් හාදු තැවරුවා පමණි.

“කොහේ කා එක්ක හිටියත් මගේ අයියා පරිස්සමින් ඉන්න. හැමදාමත් මේ පපුවේ ඔයාට වෙන් උන ඉඩට වෙන් උන ආදරයට වෙන කෙනෙක්ට නම් ලං වෙන්න බැරි වෙයි…”

මන් ඒ පපුවෙන් මෑත් වෙලා කිව්වේ උගුරෙන් වගේ ඒ ඇස් දිහා බලාගෙනම. පපුව පැලෙන්න වගේ. කෑ ගහලා අඩන්න ඕන උනත් මන් තාම කඳුලු හිර කරන් එයා දිහා බලන් ඉන්නවා.

“මගේ හුස්ම ගැහෙන්නෙත් සුදු වෙනුවෙන් විතරමයි. මන් දන් නෑ අද ඉදන් මගේ හුස්ම වැටෙයිද කියලාවත් මේ පපුව ගැහෙයිද කියලාවත් දන් නෑ. ජීවත්වෙයි මන් මල මිනියක් ගානට. හැඟීම් දැනිම් නැති මනුස්සයෙක් ගානට…”

ඒ වචන මගේ පපුව හී තුඩකින් පාරනවා වගේ වේදනාවක් ගෙනදුන්නේ.

“අයියේ…”

මන් උගුරෙන් වගේ කතා කරද්දි එයා මගේ අත් දෙක එයාගේ අත් දෙකට හිර කරගත්තා. මගේ අතේ ඇගිලි සියුම්ව පිරිමැදපු එයා මගේ දිහා බැලුවේ දිගු හුස්මක් වා තලය පා කරමින්.

“මන් වෙන කෙනෙක්ගේ උනත් ඔයාට දුන්න ආදරය වෙනකෙනෙක්ට දෙන්න බැරි වෙයි. ජිවත්වෙන හැම තත්පරයක් ගානේම අපේ ලස්සන මතකයන් මාව ජිවත් කරයි සුදු…”

එයා උගුරෙන් වගේ කතා කරද්දි මගෙ ඇස් වලින් කඳුලු වැල් එක පෝලිමට කඩන් වැටුණේ. මගේ එක් අතක් නිදහස් කරපු එයාගේ අතින් මගේ කොපුලේ වූ කදුලු පිස දැම්මේ මගේ දෑස් පියවෙද්දි. ඒ ස්පර්ශය මගේ ඉකිගැස්ම වැඩි කලා.

“මට පොරොන්දු වෙන්න සුදු. මන් එක්ක දැකපු හැම හීනයක්ම ඔයා සැබැ කරගන්නවා කියලා. මනමාලියක් වෙලා ඔයා ලස්සන ගමන් යනවා කියලා. අපි දෙන්නා හීන මැව්වා වගේම ලස්සන දූ පැටියෙකුයි පුතු පැටියෙකුයි හදනවා කියලා පොරොන්දු වෙන්න…”

එයා මගේ අත් දෙකත් අල්ලන් එහෙම කියද්දි තවත් හිටන් ඉන්න කකුල් දෙකට වාරු නෑ වගේ දැණුනේ. මන් වැටෙන්න වගේ යද්දි එයා මාව එයාගේ වතට බරකරගත්තේ හරි පරිස්සමට…

“අ… අනේහ් අ… අයියේ…”

මන් අපහසුවෙන් වචන ඇමිණුවේ පපුව පිච්චෙනවා.

“මට මේ ගමන සැනසිල්ලේ යන්න නම් පොරොන්දු වෙන්න සුදු. මට පොරොන්දු වෙන්න ඒ හීන හැම එකක්ම හැබැකරගන්නවා කියලා…”

එයා මගේ අත අල්ලන් පොරොන්දු ඉල්ලද්දි මන් අසරණව බලන් හිටියේ ඒ ඇස් දිහා.

“පොරොන්දු වෙන්න සුදු…”

ඒ අතක් මගේ දිහාට දික් කරලා පවසද්දි මම අසරණව බැලුවේ. කොහොමද මම එයා එක්ක දැකපු හීනය වෙන කෙනෙක් එක්ක දකින්නේ. ඒත් මගේ ඇස් දිහා ආයාචනාත්මකව බලාන ඉද්දි මම පුදුම විදිහට අසරණ උනේ.

“සුදූ…”

අපි අතර නිහඩතාවය එයා ආයෙත් බින්දා.

“ප්.. පොරොන්දු වෙන්නම් ම්.. මං…”

ඒ ඇස් දිහා බලන් මන් අමාරුවෙන් වචන ඇමුණුවේ. එයයි මායි ගොඩාක් අසරණයි. ඒත් මොනවා කරන්නද. එයාට යන්නම දෙන්න වෙනවා. ඒ ගමන සතුටින් යන්න දෙන්න ඕන හින්දාම මම පොරොන්දු උනේ. ඒත් මම දන්නවා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න බෑ කියලා. එයා දුන්න ආදරය රැකවරණය කිසිම කෙනෙක්ට මට දෙන්න බෑ.

“හැමදාම සතුටින් ඉන්න මගේ අයියේ. හැමදාම. කොහේ කොතන හිටියත් හැමදාම හිනාවෙලා ඉන්න. මේ ලෝකේ කොහේ හරි තැනක ඔයා වෙනුවෙන් පණ වගේ ආදරය කරන හිතක් තියෙනවා කියලා අමතක කරන්න එපා…”

එයා අසරණව මන් දිහා බලාන ඉද්දි මම එයා දිහා බැලුවේ. ඒ පිරිමි ඇස් වලින් කඳුලු කඩා හැලුනේ එක පෝලිමට. අවුරුදු හතරක් ඒ විදපු ආදරය හිතේ හිරකරන් අපිට යන්න වෙලා. එක මාර්ගයේ යන්න හීන දැකපු අපි දෙන්නාගේ අත් දෙක අත අරින්න කාලය ඇවිල්ලා.

මන් එයාගේ එක අතක් මගේ අත් දෙකට මැදි කරන් එයා දිහා බැලුවේ. මන් එයාට හා හා පුරා කියලා අර දුන්න ඒ මුද්ද අතැගිලි අතර හිර වෙලා තිබ්බා. මම හිමිහිට ඒ මුද්ද පිරිමැදලා ගලවලා ගත්තේ අතට.

“එපා සුදු. මට තියන ලස්සන මතක ගන්න එපා…”

මම මුද්ද ගුලිකරගනිද්දි එයා මුද්ද මගේ අතෙන් ගන්න ගදද්දි මම අත පිටිපස්සට කරගත්තේ අසරණව.

“සුදු දෙන්න…”

ඒත් මට ඒ මුද්ද දෙන්න බෑ. මන් ගුලිකරන් හිටපු මුද්ද එයා ඉස්සරහාම අත දිග ඇරලා බලන් හිටියේ බොද වෙච්ච ඇස් වලින්.

“මම ඔයාග අරන් දුන්න පලවෙනි තෑග්ග. මගේ මතක ඔයාගේ ලස්සන ජීවිතයට බරක් වෙනවාට කැමති නෑ. මම දන්නවා ඔයා මේ මුද්ද මම මේ ඇගිල්ලට දාපු දවසෙ ඉදන් අද වෙනකම් ගලවලා නෑ. ඔයා ගලවන්නෙත් නෑ. ඒත් මමම අද දාපු මුද්ද මමම ගැලෙව්වා….”

මම ගොඩාක් අසරණව ඒ ඇස් දිහා බැලුවේ. ඒ ඇස් තාම කදුලු පටලයකින් වැහිලා. ඒ ඇස් දිහා බලාගෙනම එහා පැත්තෙන් ගලාගෙන යන දොල පහරට මුද්ද විසික්කරේ ඒ ඇස් ගැස්සෙද්දි.

“සුදු…”

එයා දොල ළගට යන්න හදද්දිම මම ඒ අත තදින් අල්ලන් නැවැත්තුවා. මන් එයාට අරන් දුන්න මුද්ද දොල පාරත් එක්ක නිසොල්මන්ව ගලාගෙන යනවා ඇති…

“මේ මුද්ද විසි කරා වගේ ඔයාව මගේ හිතෙන් විසිකරන එක ලේසි කියලාද හිතන්නේ සුදු. කියන්න. ඔයා හිතන්නේ ලේසි කියලාද. මන් මුලු හිතින්මයි ආදරේ කරේ…”

මගේ උරහිස්වලින් සොලවමින් එයා කතා කලේ. අපි දෙන්නාටම බැ අපි දෙන්නාව හිත් වලින් ඈත් කරන්න. ජීවිතය මැරෙන තුරාවට මට බැ මේ ආදරය අමතක කරන්නත්…

“අවුරුදු හතරක ලස්සන මතක අද ඉදන් මාව ජිවත් කරයි. මන් කවදාවත් ඔයාලාගේ ජීවිතයට තුන්වෙනියෙක් වෙන් නැ. අයියේ. මම යන්නම් ඉන්න තැනක පරොස්සමින් ඉන්න. බුදු සරණයි සුදු අයියේ…”

මම එහෙම්මම දණ නවලා එයාට හැමදාම වගේ අදත් වැන්දේ. ඒ කළු සපත්තු ජෝඩුව මත මගේ කඳුලු වැටි සිත්තම් මැවෙද්දි මම නහයත් අතින් පිහදලා නැගිටලා එයා දිහා නොබලාම යන්න හැදුවේ. ඒත් මට යන්න උනේ නෑ.

මතුවට….

පැය ගානක් මහන්සි වෙලා ලියන කතාවට හිතට දැනෙන දේ අකුරු කරලා පුලුවන් අය ශෙයා කරන්න. ඔයාලාගේ අදහස් තමා මාව මොටිවේට් කරන්නේ. හැමදාම කතාව කියවලා ලයික් කරන,ලස්සන කමෙන්ට් දෙන, ඉන්බොක්ස් මැසෙජ් දාලා අදහස් කියන හැමෝටම ආදරෙයි

©️️ යේශ්න් අකේල්‍යා