14 කොටස-

කොල්ලෝ ටික නියමෙට ඩාන්ස් කරනවා..හිමංසත් ෆුල් හැපි එකේ…..කාලෙකින්නේ චාන්ස් එකක් ලැබුණේ..

හිමංස වගේම හිමංසගෙ ඩාන්ස් එකත් ගති.. ඔෆිස් එකේ අන්මැරීඩ් කෙල්ලො ටික බලන්නෙම හිමංස දිහා… වරුන් ධවාන් වගේ හැන්ඩ්සම් කොල්ලෙක් එහෙම ලස්සනට ඩාන්ස් කරද්දි නොබැලුවොත්නෙ පුදුමෙ….

එකපාරටම ඩීජේ එක නැවතුණා…..

‘‘ඒයි..මොකද්ද කලේ….ඔහ් නෝ……….වටි ද හෙල්….”

කොල්ලො කෑ ගහනවා..

“ඩීජේ මල්ලි නිදිදෝ….”

හිමංසත් ඩාන්ස් එක නවත්වලා නිශාදි ඉන්න දිහා බැලුවා..ඒත් නිශාදිවත් රශ්මිවත් පේන්න හිටියෙ නැහැ..හිමංසගේ ඇග සීතල වෙලා ගියා..නිශාදි..

එතකොටම ගාර්ඩ්න් එකේ ලයිට්ස් ඩිම් වුණා..

“මේ මොකද්ද වෙන්නේ….කවුද යකුනේ මෙහෙම කරන්නෙ…”කට්ටිය කෑ ගහනවා..

මියුරු සංගීත රාවයක් ඇහෙන්න ගත්තා..ඒ එක්කම කට්ටිය නිශ්ශබ්ද වුණා..ගාර්ඩ්න් එකේ එක තැනක විතරක් ලයිට්ස් ඔන් වුණා.හිමංසට හිතා ගන්න බෑ.

එතන හිටියෙ රශ්මියි…තවත් ගෑණු ළමයි තුන් දෙනෙකුයි.. රවුමක් හැදිලා…සංගීතේ අනුව තාලෙට ඒ හතරදෙනා ඈත් වුණු ගමන් මැද හිටියේ නිශාදි…හිමංස විතරක් නෙවෙයි හැමෝම පුදුමෙන් බලං ඉන්නවා…මියුසික් එකේ තාලෙට ලස්සනට ඩාන්ස් කරන්නෙ මේ නිශාදිමද? ලයිටස් ඔක්කොම එකවර ඔන් වුනා..

උන්මාද වූ ප්‍රේම සන්ධ්‍යාවේ .සන්ධ්‍යාවේ…

නිම්නාද දේ මියුරු ගී නාදේ….ගී නාදේ

මම ඔබ සොයලා එන්නම්

තුරුලේ සැනහී ඉන්නම්..

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්…

සමිතා මුදුන් කොටුව මහත්මියගේ ලස්සනම ලස්සන සිංදුවක්…අමුතුම දිලිසෙන නිල් පාට සාරියට නිශාදි ගොඩක් හැඩයි…දිග කොණ්ඩෙ කඩා දාලා…දිග කරාඹු දෙක තාලෙට හෙලවෙනවා..හිටිය හැමෝම නිශාදි දිහා බලං ඉන්නවා.. තාලෙට ලස්සනට ඩාන්ස් කරනවා….

අනිත් හතර දෙනා දිහාට වඩා ඇස් යොමු වෙන්නෙ නිශාදි ළඟට..සිංදුව ස්ලෝ එකක් වුණාට නිශාදිගෙ ඩාන්ස් එක ඇත්තටම අපූරැයි..

මතක ආවාම රෑ තිස්සේ..

නින්ද නෑ සිහින නෙතු අස්සේ…

තරු ලිහී වැටෙන ආකාසේ

ඔබ සදක් වෙන්න සංසාරේ…

හිමංස ඉස්සරහට ඇවිත් ඇසිපිය හෙලන්නෙත් නැතිව බලං හිටියා…නිශාදි ඩාන්ස් කර කර හිමංස වටේ යනවා.ඒ සිංදුව නිශාදි කියන්නෙ තමන් වෙනුවෙන් කියලා හිතනකොටත් හිමංසට පුදුම සතුටක් දැනුනෙ..

ඩාන්ස් එකක් ලස්සන වෙන්න නම් ගීතයෙන් කියැවෙන හැඟීම් ටිකත් ඩාන්සර්ගෙ මූණෙ ලියවෙන්න ඕනේ..එතකොටයි ඒ ඩාන්ස් එක හදවතට දැනෙන්නේ….. ඉතිං …නිශාදිගේ ඇස් වලින් මුහුණෙන් මේ කියැවෙන්නෙ ඒ හැගීම් නේද?

හිමංස ජීවිත කාලෙටම කෙල්ලෙක්ගෙ ඩාන්ස් එකක් මේ තරම් ආසාවෙන් බලලා නෑ..

සුවද දැනුනාම ඔබෙ සුසුමේ..

අමතකයි ලොවම ඒ මොහොතේ

හිත හදා ගන්න නෑ දන්නේ

මම ඔබේ වෙන්නමයි ඉන්නේ….

ඒ අන්තිම කොටස නිශාදි කීවේ හිමංස ගෙ ළගටම ඇවිත් ඇස් දෙක දිහා බලාගෙන …හිමංස හිටියෙ පිස්සුවෙන් වගේ.. මේ තරම් ලස්සනට නිශාදි කොහොමද ඩාන්ස් කරන්නෙ..හිමංසට මතක් වුනා එයා හවස නිශාදිට නෝන්ඩි කරපු විදිහ…..රශ්මි කැලේ නිශාදි එක්ක හැරෙන්නවත් බෑ එයාලට..

කට්ටිය හයියෙන් අත්පුඩි ගහනවා… ඒ සද්දෙටයි හිමංස මේ ලෝකෙට ආවෙ..නිශාදි ඔළුව පාත් කරලා ආචාර කලා…ඩාන්ස් එක ඉවරයි.

“common madam…ones more.. with sir……….himansa sir……….common sir….”

නිශාදි ලැජ්ජාවෙන් ඇඹරෙනවා..

හිමංස නිශාදිගෙ ළඟට ගියා…නිශාදි බිම බලාගෙන ඉන්නවා.. දැන් හිමංසගෙන් බැනුම් අහන්න වෙයිද?හිමංස එයාගෙ දකුණු අත දිග් කළා… මේ ආරාධනාව ඩාන්ස් එකට..

කට්ටිය විසිල් ගහනවා… කෑ ගහනවා…එක විකාරයයි…නිශාදිට හති .කැරකි කැරකි ඩාන්ස් කළාට වඩා හිමංසගෙ ඇස් දෙක දකිනකොට…

මියුසික් එක එක්ක ඩීජේ මල්ලි දැම්මෙ එදා වෙඩින් එකේ දාපු සිංදුවමයි.සචින් හා රඛිත යන ගායකයො ගායනා කරන අපූරු ඒ ගීතය.

සොදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ..

උණුසුමේ හැංගීලා පාවෙමුද ආකාසේ…

දම්පාට හැන්දෑවේ හිරු බසින මේ යාමේ…

සුළගෙ අප දැවටීලා පියනගමු ලගටම වී…

හදගැහෙන හැමවේලේ ඔබවමයි මා පැතුවේ..

හිම කන්දකින් සඟවා ගන්න බෑ උණුසුම වී..

ඇස්පියන් මත දැවටී යන්නෙපා ඔබ වෙන්වී..

ඔබෙ සුවඳ මා දිවියේ හුස්ම සේ ඇත ලංවී..

එදා වගේ නෙවෙයි අද නිශාදි හිමංසගෙ ඇස් දෙක දිහා බලාන ලස්සනට ඩාන්ස් කළා… එදා වෙඩින් එකේදිත් මෙහෙම හිටියා නම් වෙඩින් එක කොච්චර ලස්සන වෙනවද? හිතත්දිත් දුකයි හිමංසට නම්….මේ කපල් එකේ ඩාන්ස් එක කට්ටිය වීඩියොත් කරනවා.. හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්නවා.. ඒත් ඒ දෙන්නා අද හිටියේ ඒ දෙන්නගෙ ලෝකෙ…

හිමංස සිංදුවේ පද කීවේ නිශාදිගෙ මූණෙන් ඇස් ඉවතට ගන්නෙ නැතුව..ඉතිං නිශාදිත් නිකම් හිටියෙ නෑ..හිමංස විදිහටම නිශාදිත් කියන්න පටං ගත්තා..තරුන් ඒ මොහොතේ නිශාදිගෙ ලෝකෙන් යන්නම ගිහින් හිටියෙ.. නිශාදි දන්නෙම නැතිව හිමංසට ආදරේ කරන්න පටං අරං..නිශාදිට ඒක තේරුණේ දැන්…

අම්බරේ රන්ඉරසේ මගෙ ලොවේ පෑයූවේ..

මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ..

තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ..

ඔබයි මගෙ සද කිදුරී දිවිය ඇතිතෙක් මාගේ.

නෙතු ඉමේ පායාලා ඉන්න රන් තරුව සේ..

සිත් හැගුම් පුබුදාලා ලංවෙමුද මේ යාමේ..

දේදුන්න වෙත පියඹා පාට තවරා සිහිනේ..

ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ..

අන්තිම පේළි දෙක දෙන්නම කීවෙ එකට… ඩාන්ස් එක ඉවර වුණා.. දෙන්නම දෙන්නගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා.. දන්නෙම නැතිව හීන ලෝකෙක පාවෙවී හිටපු දෙන්නට කට්ටියගේ අත්‌ පොලසන් නාදෙවත් ඇහුණෙ නැහැ..

රශ්මි ඇවිත් කතා කරනකල්ම දෙන්නා මූණින් මූණ බලාගෙන හිටියා..

‘’හ්ම්.. Excuse me’’

දෙන්නම පුදුම වෙලා රශ්මි දිහා බැලුවා..

‘’ඩාන්ස් එක ඉවරයි.. මං පොඩ්ඩක් මතක් කරන්න ආවෙ.. “

රශ්මි කියද්දි නිශාදි ලැජ්ජාවෙන් බිම බලනවා…

‘’සුපිරි බොස්…කියලා වැඩක් නෑ…”

කොල්ලො සෙට් එක හිමංසට විශ් කරනවා ..

“රශ්මි..නිශාදිව එක්කන් යන්න ඇතුලට මං එන්නම්…”

“හරි සර්”

💙💙💙💙💙💙

නිශාදි රූම් එකේ ජනේලයක් ළඟ ඉදගෙන ඈත පේන අහස දිහා බලාන හිටියා.. හිමංස තවම නැහැ.රෑ දොළහටත් ළඟයි දැන්…නින්ද යන්නෙත් නැහැ..නිශාදිව රූම් එකට එක්කං ඇවිත් රශ්මි ගියා යාළුවො එක්ක නිදිය ගන්න…

දැන් නම් නිශාදිට බයයි හොදටම.. එළියට යන්නත් බෑ…. හිමංසට පිස්සුද මංදා මෙච්චර රෑ වෙනකල් මොනවා කරනවද?

මං ගැන ගාණක්වත් නෑ එයාට..නිශාදි අඩන්න ඔන්න මෙන්න..

එතකොටම ඇහුණා දොරට තඩිබාන සද්දයක්..

නිශාදි ඉක්මණට ගිහින් දොර ඇරියා..

හිමංස එක පාරටම ඇතුලට ඇවිත් දොර වහලා නිශාදිව තුරුළු කර ගත්තා

“නිශාදියෝ..මගෙ…..නිශාදියෝ …අද නම් අතඅරින්නෙ නෑ මං…”

නිශාදි හිමංසව තල්ලු කළා…හිමංස නිශාදි දිහා ඇස් පුංචි කරලා බලනවා..

“මෙයා අමුතුයි ..අයියෝ….මොකද මේ..හොද සිහියෙන් නෙවෙයිද ඉන්නෙ..”

නිශාදි කල්පනා කරනවා.

“උන්මාද වූ ප්‍රේම සන්ධ්‍යාවේ…………………”

හිමංස වැනි වැනී ඇවිත් ආයෙත් නිශාදිව තුරුළු කර ගත්තා..

“හිමංස මොකද මේ..පිස්සුද ඔයාට.මං හිතුවෙ නෑ ඔයා මෙහෙම… යනවා මගෙ ළඟට එන්න එපා..”

“ඒ්යි…මොකද්ද තමුසෙ…ඒ්….තමුසෙ කීවේ..මං තමුසෙගෙ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා..”

හිමංසගේ ඇස් දෙකත් රතු වෙලා වගේ…නිශාදි බයේ ගැහෙනවා. හිමංස නිශාදිගෙ සාරි පොටෙන් ඇද්දා……අපොයි…බයටම නිශාදි කෑගහලා අඩන්න පටං ගත්තා..

“ඇඩුවට වැඩක් නැහැ…තමුසෙට මං කීවා ඩාන්ස් කරන්න එපා කියලා..ඇහැවද..අරුන් ඉස්සරහා කැරකි කැරකි නැටුව හැටි….”

හිමංසගේ මූණ තරහෙන් පුපුරනවා..මේ හිමංසට පිස්සුද….හිටපු ගමන් මොනවා වෙනවද කියලා නිශාදිට තේරෙන් නැහැ.ඉස්සෙල්ලා කොච්චර හොදට හිටියද?

“කියනවා දැන්..ඇයි මං කියන දේ ඇහැවෙ නැත්තෙ..”

“අනේ සොරි හිමංස මං ..මං ඩාන්ස් කරන්න ආසයි..ඒ්ත් ආයෙ කවදාවත් එහෙම කරන් නැහැ..”

“කොහොමද?”

හිමංස ළඟටම ඇවිත් ඇස් දෙකට එබුණා.

නිශාදි බයටම ඇස් පියා ගත්තා…

“හහ්…හහ්…………………හා………….”

නිශාදි ඇස් අරියා…මේ මොකද? හිමංස දෙකට නැමිලා බඩ අල්ලගෙන හිනා ගෙවනවා…පිස්සුද මෙයාට…

“අයියෝ.. නිශාදි ඔයා නම්…. “

“හිමංස ඔයා බොරුවක්ද කලේ..මෝඩයා ..මං බයවුණා තරමක්…”

“තේරුන් නැද්ද මගේ ඇක්ටින් පාර”

“අඅඅඅඅඅඅ..මං හිතුවෙ ඇත්තටම වෙරි කියලා…”

“ඇත්තටම වුණා නම් …ම්………………”..

හිමංස නිශාදිව ළඟට අරං ඇස් වලට එබුණා…..මොකද්ද මේ කෙල්ලත් එක්ක මේ තරමට මට තියෙන බැදීම…………..හිත කීරි ගැහෙන ආදරයක්….ඇයි මගේ ආදරේ දැනෙන්නෙ නැත්තේ නිශාදි…හිමංස හිතුවට ඇහැවෙ නැහැ…

හිමංසගෙ ඇස් දිහා බලං හිටපු නිශාදි හෙමීට හිමංසගේ පපුවෙ ඔලුව තියා ගත්තා..

“හිමංස මං ආදරෙයි…….”

ඒ ළයේ උණුහුම දැනෙද්දි ….ඒ හද ගැස්ම ඇහෙද්දි … ඒ රැකවරණය ..ආදරේ..ආරක්ෂාව දැනෙද්දි………ඉබේම නිශාදිට කියවුණා…තරුන් නිශාදිගෙ ලෝකෙන් ගොඩක් ඈතට ගිහින් හිටියා….තරුන් ගැන මෙහෙම හැඟීමක් නිශාදිට දැනිලා තිබුණෙ නැහැ..

හිමංසට දැනුනෙ ලෝකයක් දිනුවා වගේ….එයා නිශාදිගේ නළල සිප ගත්තෙ ගොඩක් ආදරෙන්..

“මං ඔයාගෙ විතරයි හිමංස…”

“මං දන්නවා මැණිකේ…මාත් ආදරෙයි..”

💜️💜️💙💜️💙💙💜️💜️

නිශාදි පහුවදා ඇහැරෙන කොට හිමංස කාමරේ නැහැ…වොශ් රූම් එකෙත් නැහැ..බැල්කනි එකෙත් නැහැ..කොහෙ ගිහින්ද? නිශාදි ඉක්මණට වොෂ් එකක් දාගත්තෙ පහලට යන්න බලාගෙන…රූම් එකෙත් එළියට යන්න යනකොටම ෆෝන් එකක් රිං වෙනවා…

“ආ..මේක හිමංසගෙ ෆෝන් ඒක නේද? කතා කරන්නෙ රශ්මි…”

නිශාදි කෝල් එක ආන්ස්වර් කලා..

නිශාදි හෙලෝ කියන්නත් කලින්ම රශ්මි කියවන්න පටං ගත්තා..

“අනේ මැඩම්…අනේ මැඩම්..ඉක්මණට එන්න පහළ මේන් හෝල් එකට…..අනේ මැඩම්..ප්ලීස්……….”

“රශ්මි..ඇයි මේ…”

“මැඩම්..මැඩම්.සර්……………….අනේ..”

රශ්මි ෆෝන් එක කට් කලා…