ඔයා මාත් එක්ක කේන්තියෙන් නේද ඉන්නෙ චේතනා?මං දන්නවා ඔයා මේ තීරණේට එකඟ උනේ කැමැත්තෙන් නෙවෙයි කියලා. ඔයා වගේම මාත් මේක කරන්නෙ කැමැත්තෙන් නෙවෙයි.දරුවා ආපහු මාලකටයි මනුලිටයි බාර දෙනවා ඇරෙන්න අපිට වෙන කරන්න දෙයක් නැහැ චේතනා…”

රෝහලේ කොරිඩෝව මතින් ඇවිද යන තේනුක චේතනාගේ අතකින් අල්ලාගෙන ඇයව නතර කරගත්තා.නිවසේ සිට රෝහලට එන තෙක්ම චේතනා තේනුකත් එක්ක එක වචනයක්වත් කතා කරේ නැහැ. ඇගේ මේ දැඩි නිශ්ෂබ්ද බව තේනුකට දරා ගන්න බැරි උනා.ආරණ්‍යාව මාලකටයි මනුලිටයි බාර දෙමු කියලා යෝජනා කරේ තේනුකයි.ඒ නිසා ඇය තමා සමඟ මෙලෙස කතා නොකර තරහෙන් ඉන්නවා කියලයි තේනුක හිතුවෙ.

“ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නැත්තෙ චේතනා?මට ඔයාගෙ හිතේ තියන වේදනාව නොතේරෙනවා නෙවෙයි.ඒ වගේම දුකක් වේදනාවක් මගෙ හිතෙත් තියනවා.මං දරුවව එයාලට බාර දෙමු කිව්වෙ දරුවගෙ ජීවිතේ ගැන හිතලා චේතනා.

එයා දිගින් දිගටම මෙහෙම අඬලා අඬලා ලෙඩ උනොත්,,,,, එහෙම දෙයක් උනොත් එදාට අපි දෙන්නටම කවදාවත් හිත හදාගන්න බැරි වෙයි.ප්ලීස් මාව තේරුම් ගන්න චේතනා…”

“මං ඔයත් එක්ක තරහ නෑ මහත්තයා…”

සෑහෙන වෙලාවකට පස්සෙ චේතනා එහෙම කියලා ඈතින් පේන දැඩි සත්කාර ඒකකයේ දොරටුව දෙස බලාගෙන හිටියා.පුංචි ආරණ්‍යා තවමත් ඉන්නෙ ඒකෙ.ඇගේ තත්වය යහපත් අතට හැරීගෙන එන බව වෛද්‍යවරයා ප්‍රකාෂ කරා.

“එහෙනම් ඇයි මාත් එක්ක කතා කරන්නෙ නැත්තෙ?…”

තේනුක මහත්තයා දැන් ගොඩක් වෙනස් වෙලා.ඉස්සර හිටපු කෙනා නෙවෙයි දැන් ඉන්නෙ.අපි මාලක ඇමතිගෙ ගෙදර හිටපු කාලෙ මාව පේන්න බැහැ එයාට.දකින තැන මට බැනගත්තු ගමන්මයි.ඒත් අද මං එයත් එක්ක කතා නොකර පැයක් හිටියත් ඒක එයාට ප්‍රශ්නයක් වෙලා.

“මං මොනවා කියන්නද මහත්තයා?ඔයා අවුරුදු හතරක් තිස්සෙ හිරේට වෙලා දුක් වින්දා.කවදා හරි නිදහස් වෙලා ඇවිත් දරු පැටියගෙ මූණ දකින්නයි ඔයා හැමදාම ආසාවෙන් බලාගෙන හිටියෙ.ඒත් ඔයා එද්දි දරුවා මං ගාව හිටියෙ නැහැ.එයා වෙන කේනෙකුට අයිති වෙලා.

ඊට පස්සෙ අපි මාස ගානක් දුක් වින්දා දරුවව අපි ගාවට ගන්න.මහා මන්දිරේක කෝටිපතියෙක් වෙච්චි ඔයා ඩ්‍රයිවර් කෙනෙක් උනා දරුවා වෙනුවෙන්.අන්තිමේදි අපි කොහොම හරි දිනාගත්තු වස්තුව අපිට නැති වෙන්න යද්දි මට ඉඳලා වැඩක් නෑ කියලා හිතෙනවා මහත්තයා…”

“අමාරුවෙන් හරි හිත හදාගන්න චේතනා. අපි මේ කරන්නෙ දරුවට හොඳක්නෙ. දරුවගෙ සතුටනෙ අපෙත් සතුට.එයා එයාගෙ මාමයි නැන්දයි ගාව හැමදාම සතුටින් ඉඳියි…”

තේනුක මහත්තයා මාමයි නැන්දයි කියනකොටයි මට මතක් උනේ මාලක විජේවර්ධන මගෙ සහෝදරයා නේද කියලා. දරුවගෙ මතකයෙන්ම විතරක් පිරිලා තිබ්බ මගෙ හිතට මාලක ඇමති මගෙ කව්ද කියන එක අමතකම වෙලා ගිහින් තිබුනා.

“මේ දුක මට දරාගන්න බැහැ මහත්තයා. මාත් අම්මා වගේම මැ/@/ලා ගියා නම්,,,,,

ඉතුරු ටික කියන්න නොදී තේනුක මහත්තයා මගෙ කට මැද්දට ඇඟිල්ලක් තිබ්බා.මං ජීවත් වෙලා ඉන්න එක එයාට ඒ තරම්ම වටිනවද?දරුවව අපිට අහිමි උනොත් එයා මාව දික්කසාද කරනවා කියලත් එදා කිව්වනෙ.

“ඔහොම කතා ආයෙමත් කියන්න එපා.ඔයා ජීවත් වෙන්න ඕනි චේතනා.අපේ දරුවා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕනි…”

“ඒත් එයාව වෙන කෙනෙකුට අයිති වෙන්නනෙ යන්නෙ මහත්තයා…”

“මං ආරණ්‍යා ගැන නෙවෙයි මැණික කිව්වෙ. මෙන්න මෙයා ගැනයි මං කිව්වෙ…”

තේනුක මහත්තයා මගෙ බඩ අතගාලා ආදරෙන් මගෙ දිහා බැලුවා.මට හිතාගන්න බැහැ මොකක්ද උනේ කියලා.මගේ ඇස් වල තිබ්බ ප්‍රශ්නාර්ථවත් බව අඳුරගෙන වගේ එයා ඇස් වලින් මගෙ බඩ පෙන්නලා යමක් ඉඟි කරා.

ඒ කියන්නෙ මං ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යනවද.අවුරුදු පහකට පස්සෙ මගෙ කුසට ආයෙමත් දරු පැටියෙක් ඇවිත්. හිතාගන්න බැරුව මං ළඟ තිබුනු පුටුවෙන් වාඩි උනා.තේනුක මහත්තයත් මගෙ ළඟින් වාඩි වෙලා මාව එයාගෙ උරහිසට හේත්තු කරගත්තා.

“ඔයාට සතුටු නැද්ද මැණික ආයෙත් අම්මා කෙනෙක් වෙන්න යද්දි?…”

එක පැත්තකින් සතුටු වෙද්දි තවත් පැත්තකින් දුක් වෙන්න සිද්ද වෙලා.මොනවා කියන්නද මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ.ආරණ්‍යාව තව ටික දවසකින් මගෙන් අහිමි වෙලා යද්දි මං කොහොමද සතුටු වෙන්නෙ?එක දරුවෙක් ගැන හිතලා මං කොහොමද මගෙ කුසින් වදාපු අනික් දරුවා ගැන දුක් නොවී ඉන්නෙ?

“සතුටුයි…”

“එහෙනම් ඇයි දුකින් වගේ ඉන්නෙ?…”

“මං දුක් නොවී ඉන්නෙ කොහොමද මහත්තයා?….. ඒ අපි දෙන්නගෙම දරුවා….. එදා උසාවියෙදි දරුවව…… නීත්‍යානුකූලවම අපිට අයිති වෙද්දි……. කවදා හරි මෙහෙම දෙයක් වෙයි කියලා……. මං බලාපොරොත්තු උනේ නැහැ දෙයියනේ…… මගෙ ප/පු/ව පැ/ලෙන්න වගේ එනවා…… සති දෙක තුනක් හරි ගිහිල්ලා….. දරුවා අපිට හුරු වෙයි කියලයි මං හිතුවෙ…”

මට හිතුනා තේනුක මහත්තයා ආපහු මට දරුවෙක් හදලා දුන්නෙ ආරණ්‍යාව හැමදාම අපි ගාව තියාගන්න බැරි වෙන බව කලින්ම තේරිලා වෙන්න ඇති කියලා.මේ ලැබෙන්න ඉන්න දරුවා ගැන හිතලා ආරණ්‍යාව අපිට අහිමි වෙන එක මං දරාගනියි කියලා තේනුක මහත්තයා හිතන්න ඇති.

“අඬන්න එපා චේතනා.අමාරුවෙන් හරි හිත හදාගන්න.දරුවගෙ සතුට වෙනුවෙන්නෙ අපි මේ දේ කරන්නෙ.හිත හයිය කරගන්න.මෙයා ටික ටික ලොකු වෙද්දි ඔයාට ඔයාගෙ හිත හැදෙයි…”

එයා මගෙ බඩ අතගාලා නලල සි/ප ගත්තා. මේ ආදරේ සෙනෙහස එදා වගේම එයාගෙන් ආපහු බලාපොරොත්තුවෙන් මං කොච්චර දුක් වින්දද.ඒ දුක ඉවර වෙලා මං ප්‍රාර්ථනා කරපු දේ මට ලැබුනා.දැන් තේනුක මහත්තයා මට ආදරෙයි.

එක දෙයක් ලැබෙද්දි තව දෙයක් අහිමි වෙනවා.එක් පැත්තකින් ජීවිතේට සතුට ලැබෙනකොට අනික් පැත්තෙන් දුක ලැබුනා.

“අපේ ආරණ්‍යා දුවව අමතක කරන්න ලේසි වෙන්න නේද මහත්තයා ආපහු දරුවෙක් හදමු කියලා තීරණේ කරේ?…”

මං ඇහුවා.එයා මගෙ ඔලුව අතගාලා දුකින් වගේ මගෙ මූණ දිහා බලාගෙන හිටියා.

“ඒකත් එකක් තමයි චේතනා.ආරණ්‍යා දුව අපිව දෙමව්පියො විදියට පිලිඅරගෙන අපිත් එක්ක සතුටින් හිටියත් මං ඔයාට කියන්න හිටියෙ අපි කෙ/ල්ලට මල්ලියෙක් හරි නංගියෙක් හරි ගෙනත් දෙමු කියලා…”

“ඔයා…. ඇමතිතුමාට කතා කරාද?…”

“තවම නෑ චේතනා…”

“අපි දුව බලන්න යමු.ඩොක්ටර් ඇවිල්ලත් ඇති දැන්…”

දවස් තුනක් විතර යද්දි ආරණ්‍යා තත්වෙ යහපත් අතට හැරුනා.දැඩි සත්කාර ඒකකයෙන් ඇයව සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබුවා.ඇය ගාව තනියට හිටියෙ චේතනා.

දින කිහිපයක් ගත වෙද්දි ආරණ්‍යාව නිවසට රැගෙන ආවා.චේතනා දරුවා ගාවටම වෙලා හිටියා.කිසිම මොහොතක ඇය දරුවව තනි කරේ නැහැ.

“මගෙ දූ මේ හබුං ටික කාලා ඉම්මුකො…”

ආරණ්‍යා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරා. රෝහලේදි චේතනා ඇයට කෑම ටික කවා ගත්තෙ සනීප වෙලා ගෙදර ගියාම අම්මා ගාවට එක්කන් යනවා කියලා කියමිනුයි. ඉතින් එදා පටන් ආරණ්‍යා ආසාවෙන් බලාගෙන හිටියෙ මනුලිගෙ තුරුලට යන්න.

“ඇන්ති මාව අම්මි ගාවට එක්කන් යනවා කියලා කිව්වනෙ.මං හබුං කන්නෙ අම්මි ආවොත් විතරයි.මත අම්මිව ඕනී…”

“මං මගෙ මැණිකව ඉක්මනටම අම්මා ගාවට එක්කන් යන්නම්.එතකල් මේ බත් ටික කන්නකො හොඳ ළමයා වගේ.බත් කන්නැතුව බෙයියන් බොන්න බෑනෙ…”

“බෑ.මට අම්මි ඕනි…”

“හොඳ දුව වගේ මේ බත් ටික කාලා බෙයියන් ටික බොන්නකො.හෙට උදෙන්ම අපි දෝණිව දෝණිගෙ අම්මා ගාවට එක්කන් යන්නම්…”

තේනුක ඇවිත් ඇඳේ පැත්තකින් වාඩි වෙලා ආරණ්‍යාව ඔඩොක්කුවෙන් වාඩි කරවගත්තා.චේතනාගෙ මුහුණ අඳුරු වලාවකින් වැසී ගිහින් වගේ.ඇය කල්පනා කරන්නෙ හෙට දවස ගැන විය යුතු යැයි ඔහු සිතුවා.හෙට දිනයේදී ආරණ්‍යාව මාලකටයි මනුලිටයි බාර දෙන්න තේනුකයි චේතනායි අමාරුවෙන් උනත් තීරණය කරා.

“අංකල් බොරු කියන්නෙ…”

“බොරු නෙවෙයි දූ.ඔන්න ඔයාගෙ අම්මියි අප්පච්චියි හෙට එනවා ඔයාව ගෙදර එක්කන් යන්න.ඒ නිසා හොඳ දූ වගේ අඬන්නැතුව මේ බත් ටික කාලා බෙහෙත් ටික බොන්න…”

“යේ….. මට හෙට අම්මි ගාවට යන්න පුලුවන්…. යේ…”

පුංචි ආරණ්‍යා උඩ පැනලා සතුටින් අත්පුඩි ගැහුවා.මනුලිගේ උණුහුමෙන් මිදිලා ආවට පස්සෙ ආරණ්‍යා සතුටින් හිනා වෙලා හිටියෙ අද විතරයි.ඒත් චේතනා හිටියෙ දුකින්.හෙට දවස තමාගේ ජීවිතයේ දුක්බරම මොහොත උදා වන අඳුරු දවසක් කියලා ඇය හිතුවා.ඒ දවස උදා වීමට ප්‍රථමයෙන් තමාගේ හුස්ම නතර වෙනවා නම් කෙතරම් හොඳදැයි ඇය හිතුවා.

ඔයාව නැතුව මට ඉන්න බැහැ මගෙ රත්තරං මැණික.මේ අම්මට පි/ස්/සු හැදෙයි වස්තුවෙ. මං කොහොමද දෙයියනේ ඔයා නැති දුක දරා ගන්නෙ?ලොකු උනාම ඔයා ආයෙමත් මගෙ ගාවට එයිද?එදාට ඔයාට මාව මතක් වෙයිද මගෙ මැණික.

තේනුක පැවසූ මාර්ගයන් ඔස්සේ මාලක මනුලිත් සමඟ බණ්ඩාරවෙල නිවසට ආවා. පෙරදින රාත්‍රියේ පටන්ම චේතනාගේ දෑස් වලට නිදිදෙව් දුව ළඟා වූයේ නැහැ.ඇය ඇහැරී කල්පනා කරේ පුංචි ආරණ්‍යා ගැනයි. තමාගෙන් වෙන්ව යන තම ප්‍රාණය බඳු දරුවා ගැනයි.

“ආරණ්‍යා….. මගෙ පුතේ… ඔයා කොහෙද මගෙ රත්තරං… ඔයාගෙ අම්මි ආවා ආරණ්‍යා…. මගෙ පුතේ…”

මනුලිගේ කෑ ගැසිල්ලට ඇසී පුංචි ආරණ්‍යා චේතනාගෙ තුරුලෙන් මිදිලා සාලෙට දුවගෙන ගියා.මනුලි පුංචි පැටික්කිව තුරුල් කරගෙන ආදරෙන් වැළඳ ගත්තා.උතුරා යන මව් සෙනෙහසින් ඇය ආරණ්‍යාව වඩාගෙන මොහොතක් කඳුලු සැලුවා.

“ඔයාට කොහොම ස්තූති කරන්නද කියලා මට තේරෙන්නෑ චේතනා.දරුවා නැතුව මං ජීවත් උනේ පි/ස්/සි/ය/ක් වගේ.මේ මගෙ පන ඩිංග.මට මෙයා නැතුව ඉන්න බෑ චේතනා. ඔයාට පිං මගෙ වස්තුව මට ආපහු ලබා දුන්නට…”

වැදූ මවගේ දරු සෙනෙහසත්,හැදූ මවගේ දරු සෙනෙහසත් ඉදිරියේ තේනුකත් මාලකත් නිශ්ෂබ්දව අසරණ දෑසින් බලාගෙන හිටියා. තේනුක කරේ වෙලාවෙ හැටියට කරන්න තිබෙන හොඳම දෙයයි.ආරණ්‍යාව මනුලිටත් මාලකටත් බාර නොදුන්නා නම් සියල්ලන්ටම සිදු වනේ හඬා වැලපෙන්නටයි.

“ඔයාට වගේම මටත් දරුවව නැතුව ඉන්න බෑ මනුලි.පුලුවන් කමකට දරුවව ඔයාලට දුන්නා නෙවෙයි.මං හිතන්නෑ මට මේ දුක දරාගන්න පුලුවන් වෙයි කියලා.මට මනුලිගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි.උපදින කිසිම ආත්මෙක මේ විදියට අම්මා කෙනෙකුගෙ හිතට දුක් ගින්දර නම් දෙන්න එපා.පව් කරේ ඔයා.ඒකට දඬුවම් විඳින්නෙ මං…”

මාලකයි මනුලියි ආරණ්‍යාව අරගෙන යද්දි චේතනා මහ හයියෙන් බෙරිහන් දිදී ඇඬුවා. අඬලා අඬලා අන්තිමේදි ඇය සිහිසුන්ව ඇද වැටුනා.

“මගෙ පනව ගෙනිච්චා මහත්තයා…. මගෙ මැණිකව අරන් ගියා දෙයියනේ…. මට පි/ස්/සු හැදෙයි දෙයියනේ….. මට දරුවව නැතුව ඉන්න බෑ…”

“හිත හදාගන්න මැණික.එයා අපිට අයිති වස්තුවක් නෙවෙයි.මටත් දුක නැතුව නෙවෙයි…”

දරුවා ගැනම කියව කියව ඉඳලා චේතනාට තේනුකගෙ ඔඩොක්කුව මතම නින්ද ගිහින් තිබුනා.නින්දෙනුත් ඇය කියෙව්වෙ ආරණ්‍යා ගැනයි.තේනුක ඇයට සීට් එක පොරවලා පසෙකින් වැතිරුනා.

චේතනා හිත හදාගන්නකල් ඇය ළඟින්ම හිඳිමින් ඇයව පරිස්සමෙන් රැකබලා ගත යුතු යැයි තේනුක හිතාගත්තා.ගැබිණියක් නිසා ඇයව වෙනදාට වඩා ප්‍රවේශමෙන් ජීවත් විය යුතුයි.

රෑ එකොළහට විතර තේනුකට චේතනාගෙ වෙනසක් දැනුනා.ඇගේ ඇ/ඟ/ත් රත් වෙලා උණ හැදිලා වගේ.වහාම ක්‍රියාත්මක වූ ඔහු ඇයව ඇහැරවන්න උත්සහ කරා.නමුත් කෙඳිරි ගානවා ඇරෙන්න චේතනා නැගිට්ටෙ නැහැ.

“චේතනා…. මගෙ මැණික ඔයාට ගොඩක් අමාරුයිද?අනේ නැගිටින්නකො වස්තුවෙ. මොකද ඔයාට මේ වුනේ?…”

කෙඳිරි ගාමින් හිටපු චේතනා අමාරුවෙන් වගේ නැගිටින්න හැදුවත් ඇයට නැගිටින්න පුලුවන් උනේ නැහැ.මහ රෑම තේනුක ඇයව ඔසවාගෙන රෝහලට පැමිණියා.

“ඇයි මිස්ටර් තේනුක?එකපාරටම මට මොකද උනේ වයිෆ්ට?…”

“හිතාගන්න බෑ ඩොක්ටර් මොනවා උනාද කියලා.දරුවා ගැන කියව කියව චේතනා ගොඩක් ඇඬුවා.රෑ එකොළහට විතර බලද්දි මුළු ඇ/ඟ/ම රත් වෙලා උණ හැදිලා වගේ. නැගිට්ටෙත් නෑ.කතා කරන්නෙත් නෑ.කෙඳිරි ගානවා විතරයි.අනේ මගෙ වයිෆ්වයි දරුවවයි බේරලා දෙන්න ඩොක්ටර්…”

කලබලෙන් හිටපු තේනුකට වචනත් පැටලුනා වෛද්‍යවරයා සමඟ කතා බහ කරද්දි.චේතනාව ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කෙරුනු තේනුක පිටතට වී ඉවසීමෙන් බලාගෙන හිටියා.

දින කිහිපයක් ගත වූ විට චේතනාගේ උණ තත්වය සම්පූර්ණයෙන්ම පහව ගියත් ඉන් පසුව සිදු වූයේ කිසිම කෙනෙක් සිහිනෙකින්වත් ප්‍රාර්ථනා නොකල දෙයකි. තත්වය එහෙම් පිටින්ම වෙනස් විය. මෙතුවක් කල් දරුවා වෙනුවෙන් හඬා වැලපුනු ඇය දැන් මානසික රෝගියෙකු වී ඇත.

බාහිර ලෝකයේ සියලූම දෙනා ඇගේ මතකයෙන් ඈත්ව ගොස් ඇත.දෙමස් ගැබිණියක් වූ චේතනා රෝහලේ ඇඳක් මත වාඩි වී ඔහේ බලා ගත්තු අත බලාගෙන සිටියා.ඇගේ මුවින් පිට වන්නේ වචන කිහිපයක් පමණි.මගෙ දුව,මගෙ බෝනික්කි යනුවෙන් ඇය කියවයි.

“අපි ගෙදර යමු මැණික.ඔයාට ඉක්මනටම සනීප වෙයි…”

“කෝ මගෙ බෝනික්කි?එයා ආවොත් විතරයි මං ගෙදර යන්නෙ…”

මුරණ්ඩු ලෙස එසේ කියූ චේතනා අත් දෙකත් බැඳගෙන ඇඳේ ඉඳගත්තා.

“මේ ඉන්නෙ ඔයාගෙ බෝනික්කි.මෙයා ගොඩක් ලස්සනයි නේද?…”

කඩෙන් ගත්තු රෝස පාට ලොකු බෝනික්කෙක් තේනුක චේතනාට දුන්නා. චේතනා ආසාවෙන් හිනා වෙලා බෝනික්කා අතට අරන් කකුල් දෙකේ තියලා නැලවිලි ගී කියවලා නැලෙව්වා.

මතු සම්බන්දයි.🌼

චේතනාට සනීප වෙයිද?…. 🤔කතාවෙ අන්තිම කොටස් ටික යන්නෙ.