අනේ මහත්තයා මාව බේරගන්න.මේ මිනිස්සු මට කරදර කරන්න හදනවා…”

බදුලු කෝච්චියෙන් ඇවිත් රාගල ස්ටේෂන් එකෙන් බහින්න හදද්දි දොර ගාව හිටපු රස්තියාදුකාරයො තුන් දෙනෙක් මට කරදර කරන්න හැදුවා.උන්ගෙන් බේරිලා මං ඉඳගෙන ආපු සීට් එක ළඟ හිටපු මනුස්සයා ගාවට දුවගෙන ගියා.උදව් ඉල්ලන්න පුලුවන් වෙන කවුරුවත් කෙනෙක් හිටියෙත් නැහැ.රෑ නිසා කෝච්චියෙ හිටියෙත් දෙතුන් දෙනයි.

“කව්ද මේ?…”

ඒ සීට් එකේ හිටපු මනුස්සයා මාව පිටිපස්සට කරගෙන මගෙ ඉස්සරහින් හිට ගත්තා.

“අනේ මං දන්නෑ මහත්තයා.මේ තුන්දෙනා මට කෝච්චියෙන් බහින්න නොදී කරදර කරන්න හැදුවා.අනේ මාව බේරගන්න මහත්තයා…”

මං බයෙන් බයේ ඒ මනුස්සයගෙ අතේ එල්ලුනා.ඔහු මාව ඒ මැරයින්ගෙන් බේර ගනියි කියන විශ්වාසෙ මගෙ හිතේ ඇති උනා.

“හොඳින් කියන්නෙ වරෙන් යන්න අපිත් එක්ක…”

මට කෑගැස්සුනා.අර මනුස්සයා මාව පැත්තකට කරලා ඒ මැරයො තුන්දෙනාට කෝච්චි පෙට්ටිය ඇතුලෙ බිම දාගෙන හොඳටම ගැහුවා.මං බයේ ගැහි ගැහි සීට් එක අයිනටම වෙලා හිටියෙ.

අර මනුස්සයා දෙවි කෙනෙක් වගේ ඇවිත් මාව බේර ගත්තා.නැත්නම් මේ රෑ වෙලා මං කාගෙන් කියලා උදව් ඉල්ලන්නද?පුදුම විදියට මං අසරණ උනේ.

උන් තුන් දෙනා ඒ ගුටි කාපු හැටියට නම් ආයෙ මතක ඇති කාලෙක ගෑණු ළමේකුට කරදර කරන්න හදන එකක් නැහැ.

“මහත්තයට ගොඩක් පින් මගෙ ජීවිතේ බේර ගත්තට.මහත්තයා නොහිටියා නම් අද මගෙ ජීවිතේට මොනවා වෙයිද දන්නෑ…”

මං ඇස් දෙකේ කඳුලු පුරවගෙන ඒ මනුස්සයට හදවතින්ම පින් දුන්නා අර මැරයින්ගෙන් මගෙ ජීවිතේ බේර ගත්තට. පව්.මාව බේරගන්න උන් එක්ක ගහගෙන එයාගෙ තොලත් පැ/ලි/ලා *ල් එනවා.කමිසෙ බොත්තමකුත් කැඩිලා.

“ගෑණු ළමේක් නේද ත/මු/න්?මේ මහ රෑ වෙලා තනියම ගමන් බිමන් යන්න බය හිතුනෙ නැද්ද?බලනවා තව ඩිංගෙන් මං හිටියෙ නැතන්ම් මොකක්ද වෙන්නෙ කියලා. මොළයක් නැද්ද…”

මං බයත් උනා ඒ මනුස්සයා මට බැනපු විදියට.බැන්නත් ඒ කියපු දේ ඇත්ත.ගෑණු ළමයෙක් මේ වගේ රැයක මෙහෙම ගමනක් යන එක අවධානම්.ඒත් මං මොනවා කරන්නද?මගෙ අසරණකම මේ මනුස්සයා දන්නෙ නෑනෙ.

“ඒ පාර ත/මු/න් ඔය අඬනවද?අඬන්න තරම් දෙයක් මං කිව්වෙ නෑනෙ.මං කිව්වෙ ඇත්ත. දැන් වෙලාව දහයයි හතලිස් පහයි.ගෑණු ළමයෙකුට තනියම ගමනක් බිමනක් යන්න සුදුසු වෙලාවක් නෙවෙයි මේ…”

මං බිම බලාගෙන ඇස් දෙකේ කඳුලු පුරවන් ඉන්නැද්දි ඒ මනුස්සයා හිතුවෙ මං අඬනවා කියලා.ඒ නිසා එයා සැර බාල කරලා කතා කරා.මං ඔලුව උස්සලා හිමින් සීරුවෙ ඔහුගෙ මුහුණ දිහා බැලුවා.කට තුවාල වෙලා පව්.

මං මොකුත් නොකියා අතේ ගුලි කරගෙන හිටපු ලේන්සුව එයාට දුන්නා කට පිහදාගන්න.

“මොකටද?…”

“මහත්තයගෙ කට තුවාල වෙලා. පිහදාගන්න…”

“වතුර බෝතලයක් තියනවද ළඟ?…”

“ඔව් මහත්තයා…”

මං ටක්ගාලා බෑග් එක ඇරලා මගෙ වතුර බෝතලේ අරන් එයාගෙ ඔහුගෙ දුන්නා.ඔහු ඒකෙන් මූණ කට හෝදගෙන මගෙ ලේන්සුවෙන් පිහදාගත්තා.

“නම මොකක්ද?…”

ඔහු මගෙන් ඇහුවා.

“පිනිදි…”

“ගෙදර යන ගමන්ද?නැත්නම් කො ල්ලෙක් එක්ක පැනලා යන්න ආපු ගමනක්ද?…”

ඔහු එහෙම ඇහුවෙ මගෙ අතේ තිබ්බ ලොකු බෑග් එක දිහා බලන ගමන්.මේ වගේ රැයක මේ විදියට ලොකු බෑග් එකකුත් අරගෙන ගමනක් යද්දි දකින කෙනෙකුට එහෙම දෙයක් හිතෙන එක වැරදිත් නෑ.

“අනේ මං මේ එහෙම ගමනක් යනවා නෙවෙයි මහත්තයා…”

“එහෙනම්?…”

මං කොහොමද මට වෙච්චි දේ මේ මනුස්සයත් එක්ක කියන්නෙ?අඳුරන්නැති, මීට කලින් කවදාවත් දැකලා නැති කෙනෙකුට මං කොහොමද මගෙ අසරණකම කියන්නෙ?

“කතා කරනවා.මොකද සද්දෙ නැතුව ඉන්නෙ?පොලීසියට අල්ලලා දෙන්න කලින් ඇත්ත කියනවා.ත/මු/සෙ හොරෙක් නේද?…”

“අනේ නෑ මහත්තයා…”

“එහෙනම් ඇත්ත කියනවා.බලනවා ත/මු/සෙ/ව එක්කන් යන්න කවුරුවත් මේ ස්ටේෂන් එකට ඇවිත් නැහැ.ගෑණු ළමේක් මේ වගේ රෑ වෙලා තනියම ගමනක් යන්නෑ. ත/මු/සෙ හොරෙක් නේද?…”

මගේ නිශ්ෂබ්ද බව නිසා ඔහුට මං ගැන එහෙම හිතෙන්න ඇති.ඒකෙ වැරැද්දක් නැහැ.මගෙ ජීවිතේ අර නපුරු මිනිස්සුන්ගෙන් බේරගත්තු ඔහුට මං ගැන ඇත්ත කිව්වට කමක් නැහැ කියලා මං හිතුවා.

“අනේ නැහැ මහත්තයා.මං හොරෙක් නෙවෙයි.මං මහත්තයට ඇත්තම කියන්නම්. මං ලොකු කරදරේක වැටිලා ඉන්නෙ…”

“කරදරේක?….. යමුකො අතෙන්ට වාඩි වෙන්න…”

ඔහු මාත් එක්ක ඇවිත් ස්ටේෂන් එක ඉස්සරහ තියන බංකුව උඩින් වාඩි උනා. ස්ටේෂන් එකේ කවුරුවත් හිටියෙ නැහැ.අපි දෙන්නා විතරයි.මගෙ හිතට බියකුත් දැනනා. ඒත් ඒ බිය ලොකුවට නොදැනුනේ මොහු මාව අනතුරකින් බේරුව නිසයි.

“දැන් කියන්න බලන්න මොකක්ද උනේ කියලා…”

“මහත්තයා මං….. බෝඩිමක නතර වෙලා කොළඹට කිට්ටුව ගාමන්ට් එකක වැඩ කරන්නෙ.බෝඩිමේ අයිතිකාර ඇන්ටි මාව බෝඩිමෙන් පැන්නුවා.යන්න තැනක් එකපාරටම හොයාගන්න බැරුව මං ගොඩක් අසරණ උනා මහත්තයා.මට කාත් කවුරුවත් නැහැ.උදව් කරන්නවත් කිසිම කෙනෙක් හිටියෙ නැහැ…”

මට ඇඬුනා මගෙ අසරණකම නිසා. දෙමව්පියො හිටියා නම් අද මගෙ ජීවිතේට මෙහෙම කාලයක් උදා නොවෙන්න තිබුනා. යන්න එන්න තැනක් නැතුව ගෑණු ළමේක්ව මේ විදියට පාරට වැටුනම මොන තරම් අසරණකමක්ද දැනෙන්නෙ.

“ඇයි ඔයාව බෝඩිමෙන් පැන්නුවෙ?මොකක්ද හේතුව?ගෑණු ළමේක්ව මෙහෙම රෑ වෙලා පාරට ඇදලා දාන්න ලොකු හේතුවක් තියෙන්න ඕනිනෙ…”

ඔහුට තවමත් මාව විශ්වාස නැහැ වගේ. ඒකයි මෙහෙම ප්‍රශ්න අහන්නෙ.

“මං වැරැද්දක් කරේ නැහැ මහත්තයා. මන්ත්‍රීතුමාගෙ පුතා මගෙ පස්සෙන් එනවා. මං ඒ මනුස්සයට කැමති නෑ කියලා කීප වතාවක්ම තේරුම් කරලා කිව්වා…”

“ඒත් මෑන් උගෙ උත්සහය අතෑරියෙ නැහැ?…”

ඔහු ඇහුවා.

“ඔව් මහත්තයා.එයා දවසක් මට බෝඩිම ළඟට ඇවිල්ලත් තර්ජනේ කරලා.ගියා.මං සද්දෙ නැතුව හිටියා.ඊට පස්සෙ අද උදේ බෝඩිමේ ඇන්ටිට සල්ලි වගයක් දීලා මාව බෝඩිමෙන් පන්නලා දාන්න කියලා.මං හවස වැඩ ඇරියා යද්දි ඇන්ටි මගෙ බඩු සේරම එළියට ඇදලා දාලා.

කොහෙ යන්නද කියලා මට හිතාගන්න බැරි උනා.කල්පනා කර කර ස්ටේෂන් එකට එද්දියි මතක් උනේ රාගල පැත්තෙ ආරාමෙක අපේ ආච්චි අඳුරන සිල් මෑණි කෙනෙක් ඉන්නවා කියලා.එතුමිය මට හරිම ආදරෙයි.මං එහෙ හොයාගෙන යන්නයි ආවෙ…”

“මහණ වෙන්නද?…”

ඔහු ඇහුවා.

“නැහැ මහත්තයා.මෑණියන්ගෙ උදව්වෙ මට රස්සාවක් හොයාගන්න පුලුවන් වෙයි කියලා හිතුනා.උදව්වක් ඉල්ලන වෙන කිසිම කෙනෙක් මට නෑනෙ…”

“මොකක්ද ත/මු/සෙ/ගෙ නම කිව්වෙ.මට මතක නෑ…”

“පිනිදි…”

“මේ මහ රෑ වෙලා තනියම යන්න බෑනෙ ඔයාට.ඒ ආරමෙ තියන තැන කියන්නකො. මං ගිහින් දාන්නම්…”

“මං ඒ තැන හරියටම මතක නෑ මහත්තයා. ටව්මෙ ඉඳන් කිලෝ මීටර් දෙකක් විතර යන්න ඕනි.පොලීසිය පාරෙන් ගියාම පල්ලියක් හම්බ වෙනවා.එතනින් ගියාම කැලේ පාරකින් යන්න ඕනි.කන්ද මුදුනක තමයි ඒ ආරාමෙ තියෙන්නෙ…”

ඔහු මද වෙලාවක් කල්පනා කරා.එතෙන්ට යන්න නම් තව පැය දෙකක්වත් යයි.මේ රෑ වෙලා කැලෙන් යන්න බෑනෙ. වාහනේකින්වත් යන්න බැහැ ඒ කැලේ පාරෙ. මං අන්තිමට ඒ ආරාමෙට ගියේ අවුරුදු දෙකකට විතර කලින්.

“මේ වෙලාවෙ ත්‍රීවිලර් එකක්වත් නෑ.කමක් නෑ.පයින් යමුකො පල්ලිය ගාවට යනකල්…”

ඔහු මගෙ අතේ තිබ්බ බෑග් එක අරන් කරට දාගෙන මගෙ අතින් අල්ලගත්තා.

“යමු…”

ඔහු මට මහා රැකවරණයක් ලෙසින් දැනුනා. මං හිතින් හිතමින් දෙවියන්ට පිං දුන්නා මේ වෙලාවෙ ඔහුව මුණ ගැස්සුවට.නැත්නම් මේ මහ රෑ වෙලා මං කොහොමද තනියම ඒ ආරාමෙ හොයාගෙන යන්නෙ?නපුරු මිනිස්සු ඉන්න ලෝකෙ මේ වගේ හොඳ මිනිස්සුත් ඉන්නවා කියලා මං තේරුම් ගත්තා.

පොලීසිය පාරෙන් ඇවිත් ඔහු මාත් එක්ක පල්ලිය ගාවට ආවා.රෑ නිසා අවට පරිසරය අඳුරු උනත් පල්ලියෙ විදුලි ආලෝකයට පාර හොඳට පෙනුනා.

“මෙතන ඉඳන් පයින් තමයි යන්න ඕනි.දැන් නම් දොළහටත් කිට්ටුයි.මේ වෙලාවෙ කැලයක් මැද්දෙන් යන එක අනතුරුදායකයි. එහා පැත්තෙන් පාරක් තියනවා.ත්‍රීවිලර් එකක නම් යන්න පුලුවන්.ඒත් මේ වෙලාවෙ කොහෙන්ද ත්‍රීවිලර්…”

අපි දෙන්නා පල්ලිය අයිනෙ බංකුව උඩින් වාඩි උනා.එලිය වැටෙන්න තව පැය ගානක් තියනවා.ඒ වෙනකල් අපි කොහොමද මෙතෙන්ට වෙලා ඉන්නෙ.අනේ දෙවියනේ මේ මනුස්සයට මාව කරදරයක් කියලා හිතිලා මාව මෙතන දාලා යයිද?

“මොකෝ ත/මු/සෙ/ට සීතලද?…”

මං කකුල් දෙකයි අත් දෙකයි උණ්ඩි කරගෙන වගේ හිටපු ඔහු එහෙම ඇහුවා.රෑ වෙන්න රෑ වෙන්න සීතල වැඩියි.උදේටත් එහෙමයි. දවල්ට තමයි ටිකක් හරි රස්නයක් දැනෙන්නෙ.

“ඔව් මහත්තයා.ටිකක් විතර…”

එයාට නම් මේ සීතල ගානක්වත් නෑ වගේ ඔහේ ඉන්නවා.මාව වෙව්ලනවා වගේ.දැන් නම් ගොඩක් බඩගිනියි.මේ වෙලාවෙ කඩවල් ඇරලා නෑනෙ.

“මෙතන හිටියා කියලා වැඩක් නෑ.යමු ආරාමෙ හොයාගෙන.කැලේ පාරෙන් යන්න බෑ මේ කලුවරේ.එහා පැත්තෙ අනික් පාරෙන් යමු…”

“හා මහත්තයා…”

අපි දෙන්නා ඒ කට්ට කළුවරේ ආරාමෙ හොයාගෙන පාර දිගේ ඇවිදගෙන ආවා. නිදිමත වැඩිකමට මගෙ ඇස් නිකන්ම පියවෙනවා වගේ.ඊටත් වඩා බඩගින්න.දවල් එකට විතර කාපු ගමන්නෙ මේ ඉන්නෙ.

“මහත්තයගෙ නම මොකක්ද?…”

“මෙච්චර වෙලා ගිහින් ත/මු/සෙ/ට දැන්ද මතක් උනේ මගෙ නම අහන්න?…”

“අනේ මට සමාවෙන්න මහත්තයා.මං හිටියෙ ගොඩක් බයෙන්.කාත් කවුරුවත් නැතුව යන්න එන්න තැනක් නැතුව මං ගොඩක් අසරණ වෙලයි හිටියෙ.මහත්තයා කව්ද කියලාවත් අහන්න මට නිච්චියක් තිබුනෙ නෑ…”

“ඒකට කමක් නැහැ.මගෙ නම විරාජ්.මං ඉන්නෙ නුවරඑළියෙ…”

“එතකොට මහත්තයා ඇයි රාගලින් බැස්සෙ?මොකක් හරි උවමනාවකද?…”

මං එහෙම ඇහුවා විතරයි එයා එකපාරටම මග නතර වෙලා මගෙ දිහා බැලුවා.මට බයත් හිතුනා ඒ බලපු බැලිල්ලට.වැරදි දෙයක් ඇහුවයැ මං.

“කොයි ලෝකෙද ඉන්නෙ?තමුසෙව අරුන්ගෙන් බේර ගන්න ගිහින්නෙ මටත් රාගල ස්ටේෂන් එකෙන් බහින්න උනේ…”

අපොයි දෙයියනේ මට ඒක අමතක උනානෙ. මේ මනුස්සයා රාගල ස්ටේෂන් එකෙන් බැස්සෙ නෑනෙ.මං නිසානෙ බහින්න උනේ.

“මට ඒක අමතක උනා මහත්තයා.අනේ මට සමාවෙන්න…”

“හොඳයි හොඳයි.ඔහොම අමතක වෙනවා නම් තමුසෙ කොහොමද තනියම ජීවත් වෙන්නෙ?කොහොමද ජොබ් එකක් කරේ?…”

“අනේ මට එහෙම අමතක වෙන ලෙඩක් නෑ මහත්තයා…”

පාරවල් කීපයකින්ම හැරිලා ගිහින් ලොකු කන්දකුත් නැගලා අන්තිමේදි අපි ආරාමෙට ආවා.පුදුම මහන්සියක් තිබ්බෙ.බඩගින්නයි මහන්සියයි නිදිමතයි එක්ක් දැඩි වෙහෙසකාරී බවක් දැනුනා.

“මහත්තයා දැන්ම යන්න එපා.චුට්ටක් ඉන්න. මෑණියො ආරාමෙ ඉන්නවද කියලා මං බලන්නම්…”

“හ්ම්ම්…”

ලොකු ගල් පර්වතයක් එක්ක හරිම නිස්කලංක භූමියක තියන හරිම සුන්දරයි ආරාමයක්.දැන් රෑ නිසා පැහැදිලිව නොපෙනුනත් දවල්ට ඒ සුන්දර බව හොඳට විඳගන්න පුලුවන්.පහලින් ලස්සන පිරිසිදු දොල පාරක් ගලාගෙන යනවා.ඒකෙන් තමයි ආරමෙට වතුර එහෙම ගන්නෙ.

බෙල් එක එබුවට පස්සෙ කව්දෝ ගෑණු කෙනෙක් ඔලුවෙ ඉඳන් රෙද්දක් පොරවගෙන ලොකු චිමිනි ලාම්පුවකුත් අරගෙන ඇවිත් දොර ඇරලා අපි දිහා පුදුමයෙන් වගේ බැලුවා.මට මතක විදියට මීට කලින් මේ ගෑණු කෙනා ආරාමෙ හිටියෙ නෑ.ළඟදි වෙන්න ඇති එන්න ඇත්තෙ.

“ඔය මහත්තයයි නෝනයි කව්ද?කොහෙ ඉඳන්ද ආවෙ?…”

ඒ ගෑණු කෙනා පුදුමෙන් වගේ අපි දිහා බලලා ඇහුවා.

“අපි ආවෙ සුජාතා මෑණියන්ව හම්බ වෙන්න. ගොඩක් දුර ඉඳන්…”

මං එහෙම කියද්දි ඒ ගෑණු කෙනා තවත් පුදුමෙන් වගේ ලාම්පු එලියෙන් මගෙ දිහා බැලුවෙ.එතරම් පුදුම වෙන්න දෙයක්වැ මං ඇහුවෙ.

“අනේ ඔය නෝනා දන්නැද්ද අපේ ලොකු මෑණියො ජීවතුන් නැති බව?දැන් අවුරුද්දකුත් ගෙව්නා නොවැ.දැන් මේ ආරාමෙ ඉන්නෙ මායි,සුභද්‍රා මෑණියොයි,පුංචි මෑණියොයි විතරයි…”

“අනේ දෙයියනේ,,,,,

මට එහෙම කියවුනා.දැන් මං මොකද කරන්නෙ?කොහෙද මං යන්නෙ.අනික මේ වගේ වෙලාවක මං කොහොමද බෝඩිමක් හොයාගන්නෙ.නොදන්න පළාතක මං කොහොමද රස්සාවල් හොයන්නෙ?

මං අසරණ වුනු තරමක් කියාගන්න මට වචන නැති උනා.දෙවියනේ මං දැන් මොකද කරන්නෙ?කව්ද මට පිහිට වෙන්නෙ?ඔබ වහන්සේටවත් මගෙ දුක පේන්නැද්ද?අනේ මට පිහිට වෙන්න දෙවියනේ.මං ගොඩක් අසරණ වෙලා ඉන්නෙ.

අර ගෑණු කෙනා දොර වැහුවා.මං කරකියාගන්න දෙයක් නැතුව ආරාමෙ වැට ගාව බිම වාඩි වෙලා ඇඬුවා.කාත් කවුරුවත් නැති අහිංසක මටම ඇයි මෙහෙම උනේ?මං මොන වරදක් කරාටද දෛවය මගෙන් මෙහෙම ප/ලි ගන්නෙ?

එකපාරටම මගෙ උරහිසට කව්දෝ අත තියනවා දැනුනා.ඒ සීතල ස්පර්ශයත් එක්ක මං ගැස්සිලා වගේ හැරිලා පිටිපස්ස බැලුවා.

විරාජ්…..

ඔහුටත් දැන් මාව කරදරයක් කියලා දැනෙනවා ඇති.ඔහු යන්න හදපු ගමනත් නොගිහින් අර මැරයින්ගෙන් මාව ආරක්ෂා කරලා අන්තිමේදි මං නිසා නොකා නොබී බඩගින්නෙ නිදිවරාගෙන එහාට මෙහාට ඇවිදින්න උනා.ඉස්සෙල්ලා මාව බේරගත්තු එකට ඔහු දැන් පසුතැවෙනවත් ඇති.

“අපි යමුකො.යන ගමන් කල්පනා කරලා බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා.දැන් නැගිටින්න…”

ඔහු මාව නැගිට්ටවලා ආරාමෙන් පල්ලම බැහැලා පාර දිගේ ආපහු ආවා.මග දිගට මං කඳුලු සලමින් හූල්ල හූල්ල ආවෙ.

“පිනිදිට නෑදෑයෙක් එහෙම නැද්ද?…”

ඔහු ඇහුවා.

“නෑ මහත්තයා.පුංචි කාලෙ ඉඳන්ම මං හැදුනෙ වැඩුනෙ ආච්චි ළඟ.ආච්චි නැති වෙලා දැන් අවුරුද්දක් විතර ඇති.එදා ඉඳන් මං තනි උනා මහත්තයා…”

කඳුලු සලමිනුයි මං ඔහුගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නෙ.හිනා වෙලා සතුටින් හිටපු දවසක් මතක නැති තරම්.කරදර බාධක කම්කටුලු දුක් වේදනා මගෙ ජීවිතේට දැන් හොඳට හුරුයි.

“මං කොහොම හරි ඉක්මනට පිනිදිට නතර වෙන්න හොඳ තැනක් හොයලා දෙන්නම්.ඒත් එකපාරටම එහෙම ගෑණු ළමේකුට නතර වෙලා ඉන්න පුලුවන් ආරක්ෂාව තියන තැනක් හොයාගන්න අමාරුයිනෙ.තැනක් හොයාගන්නකල් කැමති නම් පිනිදි මගෙ ගෙදර ඉන්න.

වෙන කරන්න දෙයක් නැති කමටයි මං පිනිදිට එහෙම කිව්වෙ.මොකද මාත් පිනිදි වගේ අනාථයෙක්.මටත් මේ ලෝකෙ මගේ කියලා කියන්න කාත් කවුරුවත් නැහැ.ඉතින් එහෙම එකේ මට පිනිදිව නතර කරන්න කොහෙන්ද එකපාරටම විශ්වාසවන්ත තැනක් හොයන්නෙ…”

“කමක් නෑ මහත්තයා.මං කැමතියි ඒකට…”

“පිනිදිට මාව විශ්වාසයි නේද?…”

“ඔව් මහත්තයා.මහත්තයනෙ මගෙ ජීවිතේ බේර ගත්තෙ.මං ඒකට මහත්තයට ගොඩක් නයගැතියි…”

“මට මහත්තයා කියන්න එපා.මං මහත්තයෙක් නෙවෙයි.දුප්පත් කොල්ලෙක්. පිනිදි මට වඩා බාල නිසා අයියා කියන්න…”

“හ්ම්ම්…”

හිතුවාටත් වැඩිය ඔහු ගොඩක් හොඳ මනුස්සයෙක් වගේ.මුලින් නම් මාත් එක්ක කතා කරේ හරියට කේන්ති ගිහින් ගහගන්න වගේ.දැන් නම් හොඳට කතා කරනවා.

ස්ටේෂන් එකට ඇවිත් එතන පැයක් දෙකක් විතර හිටියා නුවරඑළියට යන ඊළඟ කෝච්චිය එනකල්.බෑග් එකේ තිබ්බ බිස්කට් පැකට් එක කාලා අපි දෙන්න බඩගින්න යාන්තමින් හරි නිවා ගත්තෙ.

පාන්දර හතරට තිබුනු කෝච්චියෙන් ඇවිත් අපි නුවරඑළියෙන් බැස්සා.නුවරඑළිය මං මේ දකින්නෙ ජීවිතේ පළමුවෙනි වතාවටයි.පුංචි කාලෙ ඉඳන් මගෙ හිතේ ලොකු ආසාවක් නුවරඑළියෙ යන්න.ඒත් ඒක හීනයක්ම විතරක් උනා.මේ සීතල පරිසරයට ඒ කාලෙ මං ගොඩක් ආස කරා.

“මේක තමයි මගේ ගෙදර.මේ ලෝකෙ මට මගේම කියලා වටින දේකට තියෙන්නෙ මේ දුප්පත් ගෙදරයි ඉඩමයි විතරයි.හැබැයි ඉතින් ගේ ඇතුලට ගියාට පස්සෙ පිනිදිට ආපු මෝ/ඩ/ක/ම කියලා හිතෙයිද දන්නෑ…”

ඔහු කියපු ඒ දේ මට තේරුම් ගියේ දොර ඇරගෙන ගේ ඇතුලට ගියාට පස්සෙයි.ඒක මනුස්සයෙක් ජීවත් වෙච්චි ගෙදරක් කියලා කියන්න අමාරුයි.හරියට යක්කු නටපු පිට්ටනියක් වගේ.කිසිම පිළිවෙලක් නැහැ.

සාලෙ මේසෙ උඩ ඊයෙ දවල් බීපු තේ කෝප්පයක් තිබුනා.ඒකෙ කූඹි පිරිලා.පුටුව උඩ හෝදන්න තියන ඇඳුම් වගයක් ඔහේ දාලා.එක පුටුවක් පෙරලලා ඒක උඩ මේස් එකක්.අනික් මේස් එක ටීවි ස්ටෑන්ඩ් එක උඩ.

මං නිකමට වගේ කාමරේට එබිකම් කරලා බැලුවා.සාලෙ තව හොඳයි කාමරේට වැඩිය. ඇඳ සීට් එකෙන් බාගයක් බිම.පොරවපු සීට් එකෙන් බාගයක් ඇඳ යට.සපත්තුවක් මේසෙ උඩ.අනික් සපත්තුව ඇඳ යට.හෝදන්න තියන ඇඳුම් සීසීකඩ දාලා.

මාස ගානකින් ගේ අතුගාලා නැහැ වගේ.වැලි කිලෝගානට එකතු කරගන්න පුලුවන් ගේ අස් කරලා අතුගෑවා නම්.වහලෙ පුරාම මකුළු දැල්.බාගෙට හෝදපු පිඟානක්ද කොහෙද මේසෙ උඩ.ඒකෙත් මැස්සො වහනවා.

දෙයියනේ….. මේ මනුස්සයා මල පෙරේතයෙක්ද?

කිසිම පිළිවෙලක් නැහැ.තනිකරම අපායක් වගේ මේ ගෙදර.

“පිනිදිට දැන් හිතෙනවා ඇති මාත් එක්ක මේ ගෙදරට ආවට වැඩිය හොඳයි පාරෙම හිටියා නම් කියලා?…”

ඔහු මගෙන් එහෙම ඇහුවෙ මං මුළු ගේ පුරාම ඇස් කරකව කරකව බලපු විදිය නිසා වෙන්න ඇති.ගෙදර කොහොම තිබුනත් මේ මනුස්සයා දිහා බැලුවම එහෙම ගතියක් පෙනුනෙ නෑනෙ.හොඳ වැදගත් පෙනුමක් තිබුනෙ.ඒකනෙ මං මහත්තයා කියලත් කතා කරේ.

“එහෙම හිතුනෙ නෑ අයියෙ.මං ගේ අස් කරන්නම්…”

“එහෙම හිතුවටත් තෑන්ක්ස්.ඒත් පිනිදි මුලින්ම කාලා ඉන්න.ගොඩක් බඩගින්නෙනෙ ඇත්තෙ.මං කෑම ගෙනාවා…”

විරාජ් ගෙනත් දීපු කෑම පාර්සලේ කාලා ඉවර වෙලා මං දොරත් ලොක් කරගෙන කාමරෙන් නිදා ගත්තා.මටම පුදුමයි මං ඉන්න විදිය දැකලා.නන්නාඳුනන පිරිමියෙක් එක්ක එක ගෙදරක මෙහෙම ඉන්නැද්දි මට බියකුත් දැනුනා.නමුත් ඔහු ගැන මට සැකයක් නැහැ. මාව කොටු කරගෙන මට කරදර කරන්න ඕනිකමක් තිබුනා ඔහුට ඒක කරගන්න ඕනි තරම් අවස්ථාව තිබුනා.දුප්පත් උනත් ඔහු හොඳ ගතිගුණ තියන මනුස්සයෙක්.

මං නැගිටිද්දි දවල් උනා.විරාජ් ගෙදර හිටියෙ නැහැ.සමහර විට එයා මට ඉන්න බෝඩිමක් හොයන්න යන්න ඇති.

මුලින්ම මං කරේ කොනක ඉඳන් මුළු ගේම හොඳට අස් කරලා අතුගාපු එක.සාලෙ බඩු ටිකත් පිළිවෙලට අහුරලා දාලා මකුළු දැල් කඩලා සුද්ද කරා.කුස්සියයි කාමර දෙකයිත් හොඳට අස් කරලා පිළිවෙලට හැදුවා.

රෙදි ටික සේරම එලියෙ ටැප් එක ගාවට ගිහින් හෝදලා වේලෙන්න දැම්මා.ඊට පස්සෙ මුළු මිදුලම අතුගාලා රොඩු ටිකත් පුච්චලා දැම්මා.

දැන් නම් ගෙදරයි වත්තයි හොඳට එලියයි. හරිම පිරිසිදුයි පිළිවෙලයි.මාත් විරාජ් එන්න කලින් නාගෙන වෙන අඳුමක් ඇඳගත්තා. කුස්සියෙ කිසිම දෙයක් නැහැ උයන්න.ඒත් බඩගින්නෙ ඉන්න බෑනෙ.මොනවා හරි උයන්න ඕනි.

දොර වහලා පාර පැත්තට ගිහින් ගමේ කෙනෙකුගෙන් පාර අහගෙන කඩේට ගිහින් උයන්න බඩු ගෙනාවා.කුස්සියෙ ගෑස් එක ඉවරයි.ඒත් වෙලාවට දර නම් තිබුනා.

බත් උයලා සැමන් තෙල් දාලා,අඹ මාළුවක් හදලා,පොල් සම්බෝලෙකුයි,පපඩම් බැදලා ගත්තා.මට හොඳට උයන්න පුලුවන් නිසා හෝටලේක වගේ රස්සාවක් හම්බුනත් කරන්න පුලුවන්.ඒ ගැනත් විරාජ්ට කියන්න ඕනි.

දෙක විතර වෙද්දි විරාජ් ගෙදර ආවා.ගේ ඇතුලට ඇවිත් අඟහරු ලෝකෙට ගියා වගේ පුදුමයෙන් වටපිට බැලුවා.එයාටත් පුදුම හිතෙන්න ඇති මං ගේ එකපාරින් අනික් පැත්ත හරවපු හැටි පෙනෙද්දි.

“පිනිදි…. ඔයා හරිම ලස්සනට ගේ අස් කරලනෙ.කවදාවත් මං මෙහෙම පිළිවෙලක් පිරිසිදුකමක් මේ ගෙදරින් දැකලා නැහැ.මං ඔහේ ජීවත් වෙන්නන්වාලෙ ජීවත් වෙච්චි කෙනෙක්.ගේ දොර අස් කරගෙන පිලිවෙලක් ඇතුව ජීවත් වෙන්න ඕනි කියලා මට කවදාවත් දැනිලා නැහැ.උයන්න හිතුනොත් ගෙදර උයලා කනවා.නැත්නම් කඩෙන් මොනවා හරි ගෙනත් කනවා.

එහෙමයි මං ජීවත් උනේ.අද රෑ කාපු පිඟාන හෝදන්නෙ හෙට උදේට.රෑ බීපු වතුර එකේ ඉතුරු ටික විසික් කරන්නෙ පහුවදාට. එතකොට ඒකෙ මදුරුවො,නැත්නම් මැස්සො. මං කවදාවත් හෙටක් ගැන හිතුවෙ නැහැ.අද දවස ගැන විතරයි මං හිතුවෙ.ඒත් අද අමුත්තක් දැනෙනවා.සමහර විට ඒ ඔයා නිසා වෙන්න ඇති…”

“අයියා කෑම කාලා ඉන්න.මං ඉව්වා…”

“මොනවා?… ඔයා ඉව්වා?කොහෙන්ද බඩු ගෙනාවෙ?…”

“මං ගමේ මනුස්සයෙකුගෙන් පාර අහගෙන කඩේට ගිහින් බඩු ගෙනාවා.එන්න කෑම කන්න…”

මං විරාජ් එක්ක ගිහින් කෑම කන්න වාඩි උනා.

“නංගි කෑවෙ නැද්ද?…”

“නැහැ.මං අයියා එනකල් හිටියෙ…”

විරාජ් හදිස්සියෙන් හදිස්සියෙන් වගේ කෑම බෙදාගෙන හරිම සතුටින් කෑවෙ.පව්.මට දුකත් හිතුනා.ගොඩක් බඩගින්නෙ වගේ ඉඳලා තියෙන්නෙ.

“කෑම ටික නම් හරිම රසයි නංගි. ඇත්තමයි. නංගිට ගොඩක් පින් සිද්ද වෙනවා.මතක ඇති කාලෙක මෙහෙම කටට රසට කෑම ටිකක් කෑවමයි මේ.කඩවල් වල තියන කෑම මේ වගේ රස නැහැ.නංගිට ගොඩක් පින්…”

විරාජ් කෑම කාලා ආවට පස්සෙ මං එයත් එක්ක කතා කරා.

“අයියා ඉස්සෙල්ලා ගිහින් හිටියෙ මට නවතින්න තැනක් හොයන්නද?…”

“ඔව් නංගි.මං තැන් දෙකතුනක්ම බැලුවා. ඒත් බෝඩිම් ගාස්තු සැරයි.තව ටිකකින් මං ආපහු යනවා බලන්න.ඉක්මනට තැනක් හොයාගන්න පුලුවන් වෙයි.බය නැතුව ඉන්නකො…”

තුනහමාරට විතර විරාජ් ආපහු මට බෝඩිමක් හොයන්න යනවා කියලා ගියා.මං විරාජ්ගෙ කාමරේට ඇවිත් එයාගෙ කබඩ් එක ඇරලා බැලුවා.වෙලාවට ඒක ලොක් කරලා තිබුනෙ නැහැ.විරාජ්ට මං ගැන සැකයක් හිතිලා නැහැ.

කබඩ් එකේ ලාච්චුව ඇතුලෙ ෆයිල් කිහිපයක්ම තිබුනා.ඒවා නම් හරිම පරිස්සමට පිළිවෙලට තිබුනා.ඒකෙන් මට ඕනි ෆයිල් එක අරගෙන මං ඩීඅයිජී සර්ට කෝල් එකක් ගත්තා.

“සර් මං ඕඅයීසී පිනිදි නානයක්කාර…”

“කියන්න පිනිදි.ඔයාට ඒ මනුස්සයා ගැන තොරතුරක් හොයාගන්න පුලුවන් උනාද?…”

“ඔව් සර්.මිනිහා අපි හිතපු කෙනා තමයි. ෆයිල් එක මං හොයාගත්තා.මිනිහගෙ ඇත්ත නම මාධව සේනානායක.මෙහෙ ඉන්නෙ විරාජ් මධුෂාන් කියන නමින්.සර් පුලුවන් තරම් ඉක්මනට අපි ක්‍රියාත්මක වෙන්න ඕනි. විරාජ් මට ඉන්න බෝඩිමක් හොයාගත්තොත් වැඩේ අප්සට්…”

“හරි මිස් පිනිදි.ඔයා ඉක්මනට ඔය ෆයිල් ටික අරගෙන ස්ටේෂන් එක ළඟට එන්න.මං අපේ නිළදාරියෙක් එවන්නම්…”

“ඕකේ සර්…”

විරාජ් එන්න කලින් මං ස්ටේෂන් එකට ගිහින් ෆයිල් එක අවශ්‍ය නිළදාරියගෙ අතට දුන්නා.

“මැඩම් හොඳින් නේද?ඒ මනුස්සයගෙන් ප්‍රශ්නයක් උනේ නැහැනෙ?…”

“නැහැ දේවක.ඒත් ඊයෙ දේවක ගහපු පාරට මිනිහගෙ තොලත් පැලුනා…”

දේවකට හිනා.පොලිස් නිළදාරීන් උනාම එහෙම තමයි.අවශ්‍ය වෙලාවට විවිධාකාර විදියට වෙස් වළාගෙන ක්‍රියාත්මක වෙන්නෙ. දේවකයි තවත් පොලිස් නිළදාරීන් දෙන්නෙක් තමයි ඊයෙ මැරයො විදියට කෝච්චි පෙට්ටියෙදි මට කරදර කරන්න හදනවා වගේ රඟපෑවෙ.

අපිට ඕනි විරාජ්ව කොටු කරගන්න.විරාජ් කියන්නෙ මි/නී ම/ රු/ වෙ/ ක්.අවුරුදු කිහිපයකට කලින් විරාජ් වැඩ කරලා තියෙන්නෙ කොළඹ බංගලාවක ඩ්‍රයිවර් කෙනෙක් විදියට.ඒ බංගලාවෙ හිටපු ලොකු මහත්තයා හදිස්සියෙම ප/ පු/ වෙ කැක්කුමක් හැදිලා මැ/ රු/ නා.

පොලීසියෙන් අරඹපු වැඩිදුර පරීක්ෂණ ඔස්සේ පසුව අනාවරණය උනා ඒ මි/ නී මැ/ රු/ ම සිදු කරලා තියෙන්නෙ විරාජ් බවයි. මාස ගානක් තිස්සෙ විරාජ්ව අල්ල ගන්න පොලීසිය ගොඩක් මහන්සි උනා.

මතු සම්බන්දයි