දවස් ගත වුයේ විදුලි වේගෙනි. ඩියාෂි ගෙන් මොනම ආරංචියක් වත් නැහැ. එයා අම්මත් එක්ක හිටපු ගෙදර කොහෙද තියෙන්නේ කියල අපි දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් හොයල බලන්න වත් විදිහක් තිබුනේ නැහැ.

මේ කෙල්ල මට කෝල් එකක් වත් නොදී කොහොම ඉන්නවද මන්ද.

එයාට කරදරයක් ද?

එත් ඉතින් දැන් අර මිනිහා මේ ලෝකෙත් නැති හින්ද එයාට කරදරයක් වෙන්න විදිහක් නැහැනේ. මම හිත හදාගත්තේ එහෙම හිතල. ඒ උනත් මම සුදානම් වෙමින් හිටියේ ආයෙමත් ප්‍රංශයට ගිහින් එයාව එක්කගෙන එන්න. කලාගාරයේ වගකීම මගේ අනන්‍යතාවය හෙළිකරන එක ගැන මම තවම තීරණයක් අරගෙන තිබුනේ නැහැ.

දවසක හැන්දෑවේ ස්ටුඩියෝ එකේ වැඩ ඉවර වෙලා ගෙදර යනකොට අම්මා ඉන්නවා මම එනකම් මග බලාගෙන.

මචන් මොකෝ අර උඹලගේ අම්මා ඉන්නේ ගේට්ටුව ගාවට වෙලා කවදාවත් නැතුව. උඹ එනකම්ද ඒ? බයික් එක රයිඩ් කරේ රවින් හින්ද ඌ තමයි ඉස්සරලම අම්මා ඉන්නවා දැක්කේ.

ඒ සැරේ මොන මරාලයක්ද දන්නේ නැහැ.

අනේ මන්ද බන් අපේ අම්ම හිතන් ඉන්නේ මං තාම මොන්ටිසෝරි යන ළමයෙක් කියලද කොහෙද? එපා වෙනවා වෙලාවකට

ඉතින් උඹ කියපන් අම්මේ මම මොන්ටිසෝරි යන ළමයෙක් නෙවේ ඉස්සරහට මොන්ටිසෝරි යන ළමයෙක් ඉන්න තාත්තෙක් කියල එතකොට හරිනේ. රවින් කිව්වා. අම්මප කටේ තොලේ නොගෑවී මු කියන කතා

අනේ මගෙන මුකුත් නාහ හිටපන්

පුතා දැන් ඔයා මොකද කරන්න හිතන් ඉන්නේ? අම්ම ඇහුවේ මම බයික් එකෙන් බහින්නත් ඉස්සෙල්ල.

මොකද්ද අම්මේ ඒ කතාවේ තේරුම?

ඔය ළමයට ගේ ඇතුලට එන්න ඉඩ දෙන්න නෝනා. ඒ එක්කම ගෙයින් එලියට ආපු තාත්තා කිව්වා. ආ රවින් ළමයත් ඇවිත් ඉන්නේ. ඒක හොඳයි එන්න ඇතුලට.

මොකද අම්මේ අද වට සාකච්චාවක් ද?

මේ මම ගෙදර යන්නම්. ඒ අස්සේ රවින් කියනවා. උඹලගේ ගෙදර දේවල් වලට මම එන එක හරි නැහැනේ බන්.’

නැහැ නැහැ එකට කමක් නැහැ රවින් එන්න. ඔයත් ඉන්නෙක හොඳයි. රවින් හෙමිට කිව්වත් තාත්තට ඌ කිව්ව එක ඇහිලද කොහෙද

රවින් මගේ දිහා බලල මටත් අද කරලා ගේ ඇතුලට ගියා.

මමත් ගියේ ඒ සැරේ මොන මරාලයක්ද දන්නේ නැහැ කියල හිත හිත

යනකොට අයිය කාරයත් ඇවිල්ල. එයාගේ යක්ස පැටව් දෙන්න ඇවිල්ල මගේ ඇඟේ එතුනා.

බාප්පි මොනාද අපිට ගෙනාවේ.

බාප්පි දන්නවද ඔයාල එනවා කියල. මොනවත් ගෙනාවේ නැහැ.

ඔය බොරුවට අහන්නේ මල්ලි. මේගොල්ලෝ දැන් තේ බිව්වා විතරයි. ඒ කිව්වේ මගේ නෑනා

මොකද්ද බන් මේ වෙන්නේ? අද උඹේ උපන්දිනේ වත් ද? රවින්ට වගේම මටත් කුතුහලයක්. මොකද අපේ ගෙදර කට්ටිය මේ විදිහට එකතු වෙලා මම එනකම් බලන් ඉන්නවා කියන්නේ අනිවරෙන්ම මරාලයක් තමයි.

පිස්සුද බන් ඒක පහු උනානේ.

ඉඳ ගන්නකෝ ළමයි. තාත්තා සාලේ වාඩිවෙන ගමන් අපි හැමෝටම කිව්වේ පොදුවේ.

පුතා බලනවා ඇති මේ හදිස්සියේම මොකද මේ විශේශේ කියල. වැඩිය වටේ යවන්නේ නැතුව කෙලින්ම කියන්නම්කො. අද ප්‍රංශ තානාපති කාර්යාලයෙන් මෙහාට ආව. එයාල කියනවා දැන් පුතා කලාගාරයේ වගකීම භාරගන්න කල් හරි කියල. ප්‍රංශ රජය බලන් ඉන්නේ පුතා ආපහු ප්‍රංශයට යනකම් .

ඒත් තාත්තා…

ඉන්නකෝ මම කියල ඉවර නැහැ. අපිට බල කරන්න බැහ පුතාට මෙහෙ ඉන්න කියල. පුතා කැමති තීරණයක් ගන්න. ඒක ඔයාගේ අයිතියක්. ඔයා මොන තීරණය ගත්තත් අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා කියල මතක තියාගන්න

ඉතින් මල්ලි මොකද ඔයා කරන්නෙ? ඒ අයියා.

මම ඒ ගැන හිතුවෙ නෑ අයියා එච්චර.. මට ඒ වගකීම ගන්න බැහැ. මම කිව්ව. කොහොමද දෙවියනේ අර කෝටි ගානක් වටින කලාගාරේ වගකීම මම තනියම දරන්නේ. ඊටත් මගේ පවුලට වෙච්ච හැමදේම උනේ ඒ කලාගාරේ නිසා කියන හැඟීමෙන් මිදෙන්න මට පුළුවන් උනේ නැහැ.

ඒ උනත් ඔයා ඒක කරන්නම ඕන දරුවෝ. ඒ ඔයාගේ දේවල්.

ඉන්පස්සෙ දේවල් උනේ හිතාගන්න බැරි තරම් වේගෙන්. මගේ පවුලේ හැමෝටම ප්‍රංශයට යන්න ප්‍රංශ රජය විසින් කටයුතු සම්පාදනය කළා. ඒ වෙලාවේ ඒ දේ මම පිළිගත්තේ මට ඩියාශිව හොයාගන්න ඒ හැමදේම එයාට පැහැදිලි කරලා දෙන්න ලොකු උවමනාවක් තිබුණු හින්ද. එයා මාව දාලා ගියේ ගිත්නා නිසා හින්ද මට ඒ දේවල් එයාට පැහැදිලි කරලා දෙන්න ඕන උනා.

අපි ප්‍රංශයට ආවේ සතියක් ගත වෙන්නත් ඉස්සර. මාධ්‍යවේදීන් විශාල පිරිසක් හිටිය අපිව පිළිගන්න. කලාගාරයේ අයිතිය නිල වශයෙන්ම මට භාරදුන්නේ උත්සවයකින් පස්සේ.

වඩාත්ම වැදගත් දේ තමයි ඩියාශිගේ තාත්තාව මට හරියටම අඳුනගන්න ලැබුනේ ඒ ගමනේදී. මම වැඩ භාරගන්නකම් එයානේ කලාගාරෙ වැඩකටයුතු කරගෙන ගියේ. මම හිතුවට වඩා එයා හරිම වෙනස් කෙනෙක්. කොටින්ම
එයා හරිම අහිංසක මනුස්සයෙක්.

පුතා මට හරිම සතුටුයි ඔයාව දකින්න ලැබිච්ච එක ගැන. මම මේ දේවල් බලාකියා ගත්තෙ ඔයා කවද හරි එයි කියන බලාපොරොත්තුව ඇතිව. දැන් මට බය නැතුව ලංකාවට ගිහින් මේ හැම දේකින්ම ඈත් වෙලා ඉන්න පුලුවන්. එයා මට කීවෙ හරිම සුහදව.

ඒ වගේම මට සමාවෙන්න දරුවෝ මම හැමදේම කරේ මගේ පවුල බේරගන්න. විජය කියන්නේ කොච්චර භයානක මනුස්සයෙක්ද කියල මම ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඒ ගැන පැහැදිලි කරන්න ඕන නැහැ අන්කල්. අන්කල්ගේ තැන මම හිටියනම් සමහරවිට මම උනත් එහෙම කරන්න ඉඩ තිබුන. මම කිවේ ඇත්තටම මට හිතිච්ච දේ.

මම මෙච්චර කල් මේ දේවල් බලාගත්තේ ඔයා එනකම්. දැන් ඉතින් මට ලංකාවට යන්න වෙලාව හරි.

ඒ උනාට මට එකපාරටම එයා මෙච්චර කල් කරගෙන ගිය දේවල් වලින් එයාව අයින් කරවන්න උවමනා උනේ නැහැ. මොනා උනත් එයා තමන්ගේ පවුලේ අයවත් දාල මම එනකම් කලාගාරේ බලාගත්තු එක මට අමතක කරන්න පුළුවන් උනේ නැහැ.

අන්කල් මම වෙනුවෙන් උදව්වක් කරන්න. තව ටික දවසක් මාත් එක්ක මේ දේවල් බලාගන්න. මට මේ දේවල් හුරු වෙනකම්. ප්ලීස්. මම ඉල්ලුව. ඇත්තටම මට සේවක පිරිස මට කරන්න තියෙන දේවල් ඒ හැමදේම නුහුරුයි. කලාගාරයට මොකද්ද මම කරන්න කියන එක ගැන ස්ථිර ආහසක් මගේ හිතේ තිබුනත් ඩියාශි නැතුව මට ඒ දේ කරන්න හිතුනේ නැහැ. එයා ඒක මොන විදිහට හිතයිද එයාගේ සැලසුම් මොනවද කියල මම දන්නේ නැහැනේ. කලාගාරය මගේ නමට තිබුනත් මට සමානවම අයිතියක් එයාටත් තියෙනවා කියන හැඟීමෙන් මිදෙන්න මට බැරි උනා.

අනිවාරෙන්ම දරුවෝ. මම ඒ හැමදේම ඔයාට කියල දෙන්නම්. ඩියාෂිගේ තාත්තා සතුටින්ම එකග උනා මට ඒ වැඩ වලට උදව් කරන්න.

සති දෙකක් විතර යනකල් පුවත්පත් වල ප්‍රධාන සිරස්තලය උනේ මම ගැන. වෙන කාටහරි උනා නම් ඒක මහා විශාල ජයග්‍රහණයක් නැත්තම් ආඩම්බර වෙන්න පුළුවන් සිදුවීමක් වෙන්න ඇති. ඒත් මට නම් ඒ හැමදේම දැනුනේ මහා කරදරයක් විදිහට.

මම යන යන තැන මාධ්‍යවේදීන් පස්සෙන් එනවා. එකක් පස්සේ එකක් සම්මුඛ සාකච්චා අනම් මනම්. මේ රටේ මිනිස්සුන්ට සියා කොච්චර වැදගත් පුද්ගලයෙක්ද කියල මට දැනුයි තේරෙන්නේ. කොටින්ම මට ඩියාශි ගැන හිතන්න වත් හොයන්නවත් කිසිම වෙලාවක් ලැබුනේ නැහැ.

එකම එක වතාවයි ඩියාෂිගේ තාත්ත එක්ක එයා ගැන කතා කරන්න ලැබුනේ.

අන්කල් ඩියාශි කොහෙද? එක දවසක් මම එයාගෙන් ඇහුවේ ගොඩක් හිතල හිතල. එයා මගේ දිහා බැලුවේ මම අහන්න නුසුදු දෙයක් ඇහුව වගේ.

කවුද ඩියාශි කියන්නේ. ඒ ප්‍රශ්නෙන් පුදුමයට පත් උනේ මම. තාත්තෙක් ඉන්නවද තමන්ගේ දුවගේ නම දන්නේ නැති. ඊලග මොහොතේ එයා හිනාවෙන්න ගත්ත.

කොල්ල බය උනා ද? මම මගේ දුවගේ නම දන්නෙත් නැහැ කියල හිතල. එයා කියපු විදිහට මටත් හිනා ගියා.

එයා ලංකාවට ගියානේ.

කවදද ගියේ. ඩියාශි ලංකාවට ගියා නම් එයා මාව මුණගැහෙන්න ආවේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය හිතට වද දෙද්දී මං ඇහුව. එයාට තිබුනනේ එකම වතාවක් හරි ඇවිල්ලා මාව මුණ ගැහෙන්න. අඩුගානේ මට කියන්න වත් එයාට ඕනෑකමක් නැද්ද

ඔයා මෙහෙට එන්න කලින් තමයි ගියේ. මොකද මගේ නෝනා තනියමනෙ. මමත් මෙහෙ එයත් මෙහෙ ඉඳල හරියන්නේ නැහැනේ.

ඔව් ඉතින් ඒකත් ඇත්ත.

ඇයි අන්කල් ඉතින් ඒ දෙන්නවත් මෙහෙට ගෙන්න ගන්නේ නැතුව අන්කල් තනියම මෙහෙ හිටියේ.

මගේ නෝනා කැමති නැහැනේ මෙහෙ ඉන්න. එයා කැමති ඉතින් ලංකාවට. මමත් මෙහෙ ඉන්න ආසාවක් නැහැ. ඒත් මම තාත්තට පොරොන්දු උනා ආට් ගැලරි එක බලාගන්න. ඒ නිසයි හිටියේ මෙච්චර කල් . දැන් මගේ හිතට නිදහසයි.

අන්කල් දන්නවනේ මට මෙච්චර දුරට මේ හැමදේටම උදව් කලේ ඩියාශි. එයා නැත්තම් කීයටවත් අද මම ඉන්න තැන මට ඉන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි හැමෝම ඒ අපරාධකාරයාගෙන් බේරෙන්නෙත් නැහැ. මට එයාට කතා කරන්න ඕන අන්කල් ගාව නම්බර් එකක් නැද්ද?

මේ.. මේ.. මට ඒ ගෙදර නම්බර් එකක් මතක නැහැ දරුවෝ. මට කෝල් ගන්නත් එපා කියල මම තියෙන්නේ. ඒ ගෙදරට අපි මාරු උනේ හදිසියේම හින්ද ටෙලිෆෝන් ගත්තෙත් නැහැ. මට කතා කරන්න ඕන වෙලාවට මම කියල තියෙන්නේ එයාලට මෙහෙට ගන්න කියලා. දුව කතා කරාම මම ඔයාට දෙන්නම්කො. ඔහු කිව්වා.

ඩියාශි ලග ෆෝන් එකක් නැද්ද. ඒක වෙන්න බැරි දෙයක්ද? ඒත් ඉතින් එයාගේ හැටියට පුදුම වෙන්න දේකුත් නැහැ. මට ඇය මුණගැසුණු මුල් දවස් මතක් උනා. ෆේස්බුක් එකේ එයාව හොයන්න ගිහින් මම කාපු කට්ට.

විවේක වෙලාවට මොකද කරන්නේ ඇහුවම කියපු දේ.

ඔයා එෆ් බි නැද්ද?

නැහැ. මම විවේක වෙලාවට මාළුන්ට කන්න දානවා. මල් වවනවා. එයා කිව්වා හැටි. ඉතීම් එහෙම එකේ ෆෝන් එකක් නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මම හිත හදාගත්තේ එහෙම හිතල.

ඒ උනත් මට තේරුනා කොතැනක හරි මොකක් හරි වැරද්දක් තියෙනවා කියල. ඒ මොකක්ද කියල මට හිතාගන්න බහ. මගේ හිත කියනවා ඩියාශිට අනතුරක් කියල. ඇයි ද මන්ද මට එහෙම හිතෙන්නේ.

මම කෝල් එකක් ගත්තේ රවීන්ට .

අඩෝ එහෙනම් උඹට මේ දුප්පත් මාව මතක් උනා එහෙනම් ඈ

අමතක වෙන්න මම මැරිලා ඉපදිලා කියල හිතුවද ගොනෝ

හරි හරි උඹ කවුද කියන්න මං දන්නවා. ඉතින් කියපන් මොකද්ද වෙන්න ඕනේ.

ස්ටුඩියෝ එකේ වැඩ කොහොමද කියපන්කො ඉස්සෙල්ලා

උඹ නැතුව මං සැහෙන්න එරිල ඉන්නේ. වැඩ එනවා හෝ ගාල. කොහෙද බන් තනියම කරන්නේ. තව කොල්ලෝ දෙන්නෙක් වත් ගන්න වෙයි.

ඉතින් ගනින්කෝ බල බල ඉන්නේ.

එක තමයි මම බැලුවේ මම ධනුෂ්ක අයියටත් කිව්වා අඳුනන කවුරුහරි හිටියොත් කියන්න කියල.

ගිත්නාට දැන් කොහොමද බන්.

කෙල්ල දැන් නම් ශේප් මම හිතන්නේ. ධනුෂ්ක අයියට තාම කැමැත්තක් නැහැලු. ඒත් එයා ටික ටික නෝමල් වෙනවා කියල සයුරු අයිය කිව්වා

කෙල්ල කවදාවත් ආයේ මාත් එක්ක කතා කරන එකක් නැද්ද බන්?

එයා ටික ටික ඇත්ත තෙරුම් ගනී සමීර. උඹ ඒ ගැන එච්චර හිතන්නේ නැතුව ඉඳපන්. ඒක නෙවේ ඩියාශි හම්බුනාද? මොකද ඒකි කියන්නේ?

ඒකම තමයි බන් මම මේ ගත්තේ උඹට. ඩියාශි ලංකාවට ඇවිල්ලා.

නෑහ් … කවද්ද ඇවිත් තියෙන්නේ?

මම මෙහෙට එන්න කලින් සතියෙලු ඇවිත් තියෙන්නේ.

ඉතින් ඒකි එහෙනම් අපිව මීට් වෙන්න වත් ආවේ නැත්තේ. අඩුගානේ උබට කියන්න වත් තිබ්බනේ

මම ඉතින් එහෙන් එනකොට ගිත්නාගේ ප්‍රශ්නේ හින්ද හිත අවුලෙන්නේ බන් හිටියේ එයා. මට කරදර නොකර ඉන්න හිතන්න ඇති. එයා ඉතින් කොහොමත් වෙනස්නේ.

ඒක නම් එහෙම තමයි

ඒත් මගේ හිතට හරි නැහැ බන්. මට හිතෙනවා කෙල්ලට මොකක් හරි කරදරයක් ද කියල.

ඇයි උබට එහෙම හිතෙන්නේ?

මම දන්නේ නැහැ. මට හිතෙනවා එයා හොදින් නෙවේ කියල. මම එයා ඔය ඉන්නවා කියන ගෙදර වත් දන්නේ නැහැ. සේනක අන්කල් ගාව නම්බර් එකක් වත් නැතිලු බන්. කෙල්ල ලංකාවට ආවද කියල දැනගත්ත නම් මට හිතට හොඳයි

හරි අපිට එයාපෝට් එකෙන් ඒ ගැන දැනගන්න පුළුවන් වෙයි..

ඒ කොහොමද?

ඇයි බන් මගේ වෙන්න මස්සිනා පොලිසියේ ලොක්කෙක්නේ. එයාට බැරි දේවල් තියෙනවද? ඩියාශි මෙහාට ආව නම් එයා ඉන්නේ කොහෙද කින්ද මන්ද ඔය ඔක්කොම හොයාගන්න එක සුළු දෙයක්.

රවින් උඹ නම් දෙයියෙක් නෙවේ දේවාලයක්. මම කිව්වේ සතුටෙන්.

ඔව් ඔව් උබ දන්නේ ඉතින් ඔච්චර තමයි.

අනේ මේ මගුලක් කියන්නෙපා. මගේ ඔලුව උඩ කිලෝ දාහක විතර බරක් පටවල වගේ දැනෙනවා මේ ආට් ගැලරි එකක් හින්දා. යන යන තැන මිදියාකාරයෝ පස්සෙන් එනවා. ගාඩ් එක දාල ඒ මදිවට. ඉස්සර මන් කොච්චර නිදහසේ හිටපු කොල්ලෙක්ද?

ටිකක් කල් යද්දී උබ ඕවට පුරුදු වෙයි බන්. හිතන්නේ නැතුව හිටහන්.

උබ නම් කියයි. මල කරුමයක් බන් මේක.

මල කරුමයක් නෙවේ. ගිය ආත්මේ කරපු හොඳ කරුම තමයි ඕව.

එහෙනම් උඹ දනුෂ්ක අයියගෙන් උදව් අරගෙන ඩියාශි ගැන ටිකක් හොයල බලල මට කියනවද?

හරි මම බලල උඹට කෝල් එකක් දෙන්නම්

රවින්ගෙන් මට කෝල් එකක් ආවේ ඊටත් පස්සේ දවසේ හවස් වරුවේ වගේ.

සමීර…

මොකද බන් .. රවින්ගේ කට හඬේ තිබ්බේ ලොකු කලබලයක්.

උබට හොදටම විශ්වාස ද ඩියාශි ලංකාවට ආව කියලා?

ඔව් ඔව් සේනක අන්කල්මනේ කිව්වේ. ඇයි මොකද වෙලා තියෙන්නේ?

එයා ලංකාවට ඇවිල්ල නැහැ බන්.

මොකක. එහෙම වෙන්නේ කොහොමද?

අන්තිම රෙකෝඩ් එක තියෙන්නේ උඹත් එක්ක ෆ්රාන්ස් වලට ගිය දවස. ඊටපස්සේ එයා ලංකාවට ඇවිත් නැහැ!!!!!!!!

මොනවා….