වාසනා පෙරේරා – Wasana Perera
සමීර.. ???? ඇය කිව්වෙත් පුදුමයෙන්. මේ මොහොතේ මෙතැනදී මාව කොහෙත්ම බලාපොරොත්තු නොවුන බවක් ඇගේ දෑස්වල තිබුනා. ඒ එක්කම ඇගේ දෑස්වල ඇඳුනේ සතුටක්.
කවදද රට ඉඳලා ආවේ?? කොහොමද මම මෙහේ කියලා දන්නේ?
ඒ එක්කම මගේ ඔලුවට ආවේ සිම් එක ලියාපදිංචි කරල තිබුන නම.
G.S. වික්‍රමනායක
මගේ නම ගීත්නා. ගීත්නා සයුරංගි. ඈ මුල්වරට කී අයුරු මට සිහි උනා. ගීත්නාගේ නමට ගත්තු සිම් එකක් අර මිනිහා පාවිච්චි කරන්න තරම් එයාගේ සම්බන්ධෙ මොකද්ද ගීත්නාට ?
සමීර. මොකද අනේ බය වෙලා වගේ ඉන්නෙ? ඔයා තනියම ද ආවෙ? රවීන් එක්ක ද? එන්න ඇතුලට.
ඇය හිටගෙන හිටියේ ගේට්ටුවෙන් ඇතුලට වෙන්න නිසා රවීන්ව වත් පිටත හිටපු පොලිස් නිලධාරීන් ව වත් දැක්කෙ නෑ. මම ඒ එක්කම දැක්කෙ ධනුශ්ක අයියා පොලිස් නිලධාරීන් පිරිස නවත්තගෙන ඉන්නවා. සමහරවිට රවීන් කියන්න ඇති ටිකක් ඉන්න කියලා.
ගීත්නා ඔයා මෙහෙ මොකද කරන්නේ?
මොනාද සමීර අහන්නේ? මම ගෙදර ඉන්නැතුව කොහෙද ඉන්නේ?
මේ ඔයාගේ ගෙදර ? එතකොට වාද්දුවේ තියෙන්නේ ?
ඒ අයියගේ ගෙදර නේ අනේ. තාත්ති ලංකාවට එනකම් තමා මම එහේ හිටියේ. ඊටපස්සෙ ඉතින් අපි ගෙයක් අරගත්තා. හැමදාම අයියලගෙ ගෙදර ඉන්න බෑනේ. ඉතින් කියන්නකෝ ඔයා කොහොමද මම ඉන්නේ මෙහේ කියල හොයාගත්තේ? අපේ අයියද කිව්වේ? ඔයා එහාට ගියාද මෙහෙ එන්න ඉස්සෙල්ලා ?
ඒ කියන්නේ? ඒ කියන්නේ?. ඒ අනුමානය මම හීනෙන් වත් හිතන්න අකමැති දෙයක්.
ගීත්නා .. ඔයාගෙ තාත්තගේ නම විජය ද? මම ඇහුවේ වෙවලන හඬින්. යටි හිතෙන් මම බලාපොරොත්තු උනේ නැහැ කියන උත්තරේ. ඇයත් සමග පෙම්වතුන් ලෙස ගෙවූ කාලය මට සිහිපත් උනේ නිමේශයකින්.
ඔව්.. ඇගේ ඇස් මහත් උනේ පුදුමයෙන්. ඔයා දන්නේ කොහොමද?
දෙවියනේ !!! ඉතාම ජුගුප්සාජනක හැඟුමකින් මගේ සිරුරම වෙවුලුවා. මගේ පෙම්වතිය ව හිටියේ මගේම නංගි ද?
ඔය හොඳටම ඇති. කෝ ඔයාගෙ තාත්තා ඉන්නවද ගෙදර . දනුෂ්ක අයියා ඉස්සරහට ආවෙ මම වික්ශිප්ත වෙලා බලන් ඉද්දි. ගීත්නා එතකොට තමයි මගේ පිටුපසින් හිටි පොලිස් නිලධාරීන් ව දැක්කේ.එවර ඒ ඇස් මහත් උනේ පුදුමයෙන්.
සමීර .. මොනවද මේ වෙන්නෙ?
අපිට ඔයාගේ තාත්තා එක්ක කතා කරන්න ඕන. ධනුශ්ක අයියා කිව්වා. එයින් නොනැවතී ඔහු නිවස දෙසට ගියේ අපිත් ඒ අනුවම ඔහුව අනුගමනය කරද්දි.
අනේ සමීර.. මේ මොකද ? මගේ තාත්ති මුකුත් වැරැද්දක් කරල නෑ. එයා අහිංසකයි. අනේ.. ගීත්නා මගේ අතින් ඇද ඇද කියද්දී මට හිතාගන්න බැරි උනා මොකද්ද කියන්නෙ කියල.
දෙවියනේ !! මම කොහොමද මේ කෙල්ලට කියන්නේ එයා මගේ නංගි කියල.
මිස්ට විජය.. ශ්‍රීනාත් අතුරලිය සහ ඔහුගේ බිරිඳගේ මරණය සිදුකිරීමේ චෝදනාව මත තමුන්ව අතඩංගුවට ගන්නවා. පොලිස් නිලධාරින් පිරිස ඉදිරියෙන් ගිය ධනුශ්ක අයියා ගාම්භීර හඬින් කියන අයුරු අපිට ඇහුනා.
මම ඒ දේ බලාපොරොත්තු උනා. ඔහු සංසුන් හඬින් කියන අයුරු අපිට ඇසුනා. ඒ සමගම ඇසුනේ මාංචු වැටෙන හඬ. මම තාමත් ඒ පුද්ගලයා ව දැක්කේ නැහැ.
තාත්ති මොනවද මේ වෙන්නෙ ?ගීත්නාගේ පුදුමය පිරි හඬ.
ඒ මොහොතේයි මම ඔහුව දැක්කේ. සීයාගේම පෙනුමට සමාන හැඩි දැඩි සිරුරක් තිබූ ඔහු මට මතක් කලේ මගේ පියා. පින්තූර වලින් පමණක් දැක ඇති මගේ ම පියාව මට සිහි උනා. ඒ කියන්නේ ඔහු මගේ ලොකු තාත්තා. තමන්ගෙම මල්ලිව මරාගත්තු මිනිහෙක්. සේරම සල්ලි නිසා. දේපල නිසා.
එදා අපි මුලින්ම ගීත්නා කියූ උත්සවයට ගිය මොහොතේ ජනේලෙන් අහම්බෙන් වගේ දැක්කේ ඔහුව වග මට විශ්වාසයි. මේ සේරම සැලසුමක්. ඒ කියන්නේ ඔහු ගීත්නාව මගේ ලඟට එව්වේ ඒකයි.
මුල ඉඳන්ම ඇය අපිව සොයාගෙන ආපු තැන ඉඳලා සිදුවීම් මට සිහි උනේ චිත්‍රපටයක සිදුවීම් පෙලක් වගේ. ඈ තකහනියක් අපිව සොයාගෙන ආ අයුරු. චායාරූප ගැනීමට නිවස ට එන ලෙස බල කල අයුරු. කෙමෙන් කෙමෙන් මගේ ජීවිතයට සමීප වෙච්ච හැටි
සමීර මම ඔයාගෙ ජීවිතේ ට ආපු එක අහම්බයක් නෙවේ. වරක් ඈ කිව්වා මතකයි. මම එදා ස්ටුඩියෝ එකට ආවේ මගේ තාත්තා කිව්ව හින්දා. ඒත් ඒක වැරදීමක් . එයා වෙන කෙනෙක් කියලා ඔයාට රැවටිලා. ඔයා සමීර මිසක් එයා හිතන කෙනා නෙවේ කියලා මම තාත්තට කිව්වා. ඇය එදා කී අයුරුමට සිහි උනා.
ඕවා අමතක කරලා දාන්න ගීත්නා. මම කිව්වේ වැඩිදුර හිතන්නැතුව.
ඒ කියන්නේ ඩියාශිගේ තාත්තා ගෙන් දැනගත් තොරතුරු හින්දා මම කවුද කියලා දැනගන්න ගීත්නාව මම ගාවට එවන්න ඇති. රවීන්ට පින් සිද්ධ වෙන්න මම කවුද කියලා ගීත්නාට නොකිවූ හින්දා මම තාම ජීවතුන් අතර ඉන්නේ.
පින් සිද්ධ වෙයි. උඹ ඒකි එක්ක යාලු උනාට කමක් නෑ. උඹ කවුද කියලා විතරක් කියන්න එපා ඒ දවස් වල ඔහු කිව්වා මතකයි.
දෙවියනේ !! මට පිස්සු වගේ. මට මේ මොනාත් තේරෙන්නෙ නෑ . ඔයාල ඔක්කොටම වැරදීමක් වෙලා. මගේ තාත්ති අපරාධකාරයෙක් නෙවෙයි. ගීත්නා කියන්න ගත්තෙ හඬමින්. ඒ දෙස බලා ඉන්න බැරි සෙයක් මට දැනුන. මොන දරුවටද පුලුවන් තමන්ගෙ පියා අපරාධකාරයෙක් කියන එක දරාගන්න. කියන්නකො තාත්ති ඇයි ඔයා කටවහන් ඉන්නෙ.
එයාලා කියන්නෙ ඇත්ත දුව. මම වැරදිකාරයෙක්. මම තමයි ඒ චෝදනාවට වග කියන්න ඕන. ඒ පුද්ගලයා කිව්වෙ ඉතාම සංසුන්ව. ඒ නිහඬ සංසුන් බව පිටුපස හිතාගන්න බැරි තරම් භයානක අපරාධකරුවෙක් ඉන්න වග කාටවත් හිතාගන්න බැරි දෙයක්.
නැහැ. නැහැ. ඔයා බොරු කියන්නේ ඔයා බොරු කියන්නේ. ගීත්නා වැලපෙමින් ඔහු අසල දණ ගසාගනිද්දි මගේ හිතටත් මොනවදෝ උනා. මගේ තාත්ති මිනීමැරුමක් කරන්න තරම් දරුණු නෑ. එයා අහිංසකයි. සමීර. අනේ ඔයාවත් කියන්නකො. තාත්ති අහිංසකයි නේද? ඇය මගේ ලඟට ඇවිල්ලා ඇහුවත් මගේ දෙවුරහිසින් අල්ලා සෙලෙව්වත් මට ඇයට දිය යුතු පිලිතුරක් තිබුනෙ නෑ.
තමන්ගේ අරමුණු ඉශ්ඨ කරගන්න තමන්ගේම දුව ව බිලිදෙන්න පුලුවන් තාත්තලා ඉන්න පුලුවන් ද ? මට ඔහු ගැන ඇති උනේ මහා පිලිකුලක්.
මම ඔහු දෙසට කඩා පැන්නෙ අනිත් කවුරුත් මාව නවත්තන්න ඉස්සෙල්ලා.
ඇයි මිනිහො එහෙම කලේ? ඇයි? මගේම නංගිව ඒ විදියට මා ලඟට එව්වෙ ඇයි?
නංගි? කවුද නංගි? ගීත්නා ඇහුවේ පුදුමයෙන්. ඇගේහැසිරීමෙන් කියවුනේ ඈ මේ කිසිත් නොදන්නා බව. මට ඈ ගැන ඇති උනේ කණගාටුවක්. දෙවියනේ! මේ ඇත්ත මම කොහොමද කියන්නේ. ඒත් මම කොහොමහරි මේ ඇත්ත කියන්න ඕන. හඬාම රතු වී ඇති ඒ ඇස් බලාගෙන ඒ හෙම්බත් වූ මුහුණ දෙස බලාගෙන මම ඇයට ඒ ඇත්ත කියන්නේ කොහොමද? ඈට එය දරාගන්න බැරි වෙයි. කොහොම කියන්නද මාස ගානක් පෙම් කලේ තමන්ගෙම සහෝදරයට කියලා.
ගීත්නා!! දන්නවා ඔයාට මේක දරාගන්න බැරි වෙයි. මේ ඉන්න ඔයාගෙ තාත්ති ඔයාව පාවිච්චි කරා සමීරගෙ ජීවිතේ ට ලං වෙන්න. ඔයාට මතකද ඔයා අපිව මුණ ගැහෙන්න ආපු හැටි. ඒක අහම්බයක් නෙවේ කියලා ඔයාම කිව්වේ. ඔයාගෙ තාත්ති ට සැකයක් තිබුනා එයා ඇහැ ගහගෙන හිටපු දේපල වල ඇත්තම අයිතිකාරයා සමීර ද කියලා. ඒ ගැන සහතික කරගන්නයි සමීරගෙ ඇත්ත අනන්‍යතාවය දැනගන්නයි ඔයාව එයා ගාවට එව්වේ. ඔය දෙන්නා අතරෙ සම්බන්දයක් ඇති උනත් එයාට ඒක වැදගත් උනේ නෑ. එයාට ඕන උනේ සල්ලි විතරයි. ඔයා දැනගන්න ඕන සමීර කියන්නේ ඔයාගේ තාත්තා හොයපු කුශින්ත් නිර්වාන් අතුරලියම තමා. ඒකියන්නේ ඔයාගෙ අයියා.
මම කිසිත් නොකියා ලත වෙද්දී රවින් තමයි ඇයට ඒ ටික කිව්වේ
මගේ අයියා වෙන්නේ කොහොමද?
ඔයාගේ අයියා කිව්වේ ඔයාගේ තාත්තිගේ මල්ලිගේ පුතා තමයි සමීර කියන්නේ. ඒක දිග කතාවක් ගිත්නා
නැහැ.. නැහැ. ඒක වෙන්න බෑ. ඔය හැමෝම බොරු කියන්නේ. .මගෙ තාත්ති මට එහෙම කරන්නෙ නෑ.
තාත්ති ඇයි ඔයා කටවහගෙන ඉන්නේ. මෙයාලට කියන්නකෝ ඔයා එහෙම කලේ නෑ කියලා. අනේ.. මේක වැරදීමක්. මේක වැරදීමක්.
මට සමාවෙන්න දුව. මගේ මුලු ජීවිතේම වැරදීමක්. මම දහස් වාරයක් පසුතැවුන.
තමුසේ පසුතැවුන ට ඒවා ආපහු හදන්න පුලුවන් ද. මගේ අම්මයි තාත්තයි මට ආයෙ ලැබෙනවද? මම ආපහු ඔහුගේ ගෙල සිරකරේ පොලිස් නිලධාරීන් මාව වලක්වන්න උත්සහ කරද්දි. මගේ ජීවිතෙන් කොටසක්ම නැති කරලා මගේ මතකය අහිමි කරලා මගේ දෙමව්පියන් මට නැති කරලා ඒ හැමදේම කරලා දැන් මේ මොහොත වෙනකම්ම මගෙන් පලිගන්න උත්සහ කරල මේ මිනිහා හරිම සංසුන්ව කතා කරන ලස්සන දැක්කම මගේ තරහව ඉහවහා ගියේ මට මාවත් පාලනය නොවෙද්දී.
මම දන්නවා ඒ වැරදි මට ආපහු හදන්න පුලුවන් ඒවා නෙවේ කියලා. මට සමාවෙන්න.
දුව මට සමාවෙන්න .. ඔයාගේ තාත්ති ඔයා හිතන තරම් හොඳ කෙනෙක් නෙවේ. අපරාධකාරයෙක් මිනීමරුවෙක්. ශ්‍රීනාත් ගේ ඇක්සිඩන්ට් එක මමයි කලේ. මේ වෙනකම් එයාලා කියපු හැමදේම ඇත්ත. මරණය ට බයෙන් නීතියට හොරෙන් ජීවත් වෙන එක මට ඇති වෙලා. මගේම හෘද සාක්ශිය මට හැමදාම හැමදාම වද දුන්නා. දැන් ඒ හැම දෙකින්ම නිදහස් වෙන්න කාලේ හරි. කවදාවත් නැතුව නොදන්න අංකයකින් කෝල් එකක් එද්දී මම දැනගතතා තව දුරටත් පැනලා ගිහින් වැඩක් නැහැ කියලා. ජිවිතේ එක පාරක් ගත්තු වැරදි තීරණයක් මගේ ජිවිතේ හෙවනැල්ල වගේ පස්සෙන් එනවා. මට ඒ හැමදේකින්ම ගැලවෙන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ. ඉන්ස්පෙක්ටර් ප්‍රංශ ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානය පටන් ගත්ත ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙක් මම. මගේ මරණයත් එක්ක ඒ හැම දෙයක්ම වැළලිලා යයි. මගේ වැරදි වලට මගේ දරුවෝ පලි නැහැ. ඉන්ස්පෙක්ටර් මේක ගන්න. ඔහු කිවේ අසලම සිටි ධනුෂ්ක අයියාගේ අත කුමක් හෝ තබමින්.
ඊටපස්සේ සිදු උනේ අපි කොහෙත්ම නොසිතු දෙයක්. ඔහු ක්ෂණිකව කුමක් හෝ ගෙන කටට දමා ගත්තේ මාංචු දැමු දෑතින්ම.
ඒයි එපා. දනුෂ්ක අයියා කෑගැසුවත් ඒ වෙද්දීත් ප්‍රමාද වැඩියි. ඔහු කපාහෙළු ගසක් මෙන් එක්වරම බිම ඇද වැටුනා.
තාත්ති ඊඊ …. ගිත්නා මහා හඬින් කෑගැසුවත් වැඩක් උනේ නැහැ.
මැරිලා .. ධනුෂ්ක අයියා කිව්වේ ඔහුගේ ගෙලට අත තබා බලලා.
සයනයිඩ්. ශික්. මම ඒක කොහොමට වත් අනුමාන කලේ නැහැ
තාත්ති අනේ නැගිටින්න. නැගිටින්න. ගිත්නා මළසිරුර ලඟින් අහකට ගන්න උත්සහ කලාට වැඩක් උනේ නැහැ.
සමීර තාත්ති බොරුවක් නේද කරන්නේ? මේ ඔක්කොම බොරු නේද? ඔයා මගේ අයියා නෙවේ නේද? අනේ කියන්නකෝ. ඇය එක දිගට කියවමින් හඬද්දී මම වගේම පොලිස් නිලධාරින් බලා හිටියෙත් ශෝකයෙන්. අද දවසේ සිදු වෙච්ච දේවල් ඒ හිතට දරාගන්න බැරි වෙන්න ඇති. ඒ හිත සනසන්න පුළුවන් නම් යයි මට හිතුන තරම්. එත් කලින් වගේ නෙවේ. මගේ හිතට ඇය දුරයි දැන්.
අපි මෙයාව එයාගේ අයියාගේ ගෙදරට භාර දෙමු. රවින් කිව්වා
මම හිතන්නේ ගිත්නා වගේම අර අයියත් මේ මුකුත් දන්නේ නැහැ වගේ. අපිට මේ හැමදේම එයාලට පැහැදිලි කරලා දෙන්න වෙනවා.
සාජන්. මේ ගැන ඩිපාට්මන්ට් එක දැනුවත් කරන්න. මරණ පරීක්ෂණ කටයුතු සේරම කරන්න. ඒ වගේම මිඩියා වලට දැනුම් දෙන්නත් වෙනවා. ඒ ගැන හැමදේම බලන්න. ධනුෂ්ක අයියා කිවේ අණ දෙමින්.
වාද්දුව ට එනතුරුම ගීත්නා කලේ හුල්ලමින් අඬමින් ආපු එක.
නැහැ එයා එහෙම කරන්නේ නැහැ. නැහැ. නැහැ. නැහැ. මගේ තාත්ති එහෙම නැහැ. මට තාත්ති ගාවට යනන ඕනේ. සමීර අපි මේ කොහෙද යන්නේ?
ඇය එකදිගට කියවන්න ගත්තේ පියවි සිහියෙන් නෙවේ.
මේ කෙල්ල ලෙඩ වෙයි බන්. රවින් කිව්වේ බලා සිටිය නොහැකි තැන. අපිට මෙයාව ඩොක්ට කෙනෙක් ලඟට ගෙනියන්න වෙයි.
ඔව් මමත් හිතන්නේ. ඒත් මුලින්ම අපි එයාගේ කවුරුහරි ලඟට එයාව ගෙනියන එක හොඳයි. ධනුෂ්ක අයියා කිව්වා.
ගීත්නාගේ සොහොයුරාගේ නිවසට යන විට වෙලාව මධ්‍යම රාත්‍රියටත් කිට්ටුයි. මේ කිසිත් නොදන්න ඔවුන් සුව නින්දක ඉන්න ඇති.
ගෙදර කට්ටිය නිදි වගේ. කරන්න දෙයක් නෑ. මේ ලමයව භාර දෙන්නත් එපැයි. ධනුශ්ක අයියා කිව්වේ නිවසේ සීනුව නාද කරමින්.
දොර විවර කලේ ගීත්නාගේ සොහොයුරාමයි. මහ රෑ පොලිස් නිලධාරීන් පිරිසක් නිවස අසල දකින්න ඔහු කොහෙත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.
මේ මොකද ? දෙවනුව තමයි ඔහු අපිත් එක්ක හිටි ගීත්නාව දැක්කෙ.
නංගි මේ මොකද? දෙවියනේ !
ඊටපස්සෙ ඔහු අපි දෙන්නවත් අඳුනගත්තා.
ඔය දෙන්න නේද ස්ටුඩියෝ එකේ.. ඔයාල කොහොමද …… ?
ඔව් අයියෙ අපි තමා. බය වෙන්නෙපා අයියෙ එයා ටිකක් ශොක් වෙලා ඉන්නෙ. එයාට දැන් ඕනහොඳ නින්දක්. සයුරු ඒ කියන්නේ ගීත්නාගේ අයියාටත් ඔහුගේ බිරිඳටත් කෙටියෙන් සිද්ධිය කියලා ගීත්නාව ඔහුගේ බිරිඳ එක්ක යැව්වෙ ඇයට ඇත්තටම විවේකයක් ඕන වෙච්ච හින්දා.
සිදුවෙච්ච හැමදෙයක්ම ඔහුටත් ඔහුගේ බිරිඳටත් පැහැදිලි කරලා දෙන්න තවත් පැයක් පමණ ගත උනා. ඒ හැමදෙයක්ම ඔවුන්ටත් විශ්වාස කරන්නබැරි උනා.
මට මේක විශ්වාස කරන්නත් බෑ වගේ. ඒ උනත් මට කිසිම දුකක් නැහැ. එයා විඳෙව්වේ එයා කරපු දේවල් වලට. සයුරු කීවේ නිවුන හඬකින්
මිස්ටර් සයුරු. තාත්තගෙ මේ දේවල් ගැන මොනවහරි දැනගෙන හිටියද ඒ කියන්නේ?
නැහැ මම මේ කිසිම දෙයක් අනුමාන වත් කරල තිබ්බෙ නෑ. තාත්තා ඉස්සර ඉඳන්ම ගත කලේ හරිම අබිරහස් ජීවිතයක්. ඔහු අපිත් එක්ක කතාබහ කලේ අඩුවෙන්. ඔහු වැඩි කාලයක් හිටියෙ පිට රට. එහෙ ව්‍යාපාර තිබුනා. ඒ මොන වගේ ඒවද කියන්න මම දැනගෙන හිටියෙ නෑ. ඔහු ඒවා ගැන අපිට මොනවත් කිව්වෙත් නෑ. ඇත්තටම එයා ලංකාවට ආවෙත් අවුරුද්දකට දෙතුන් පාරක්. අපි අම්මා එක්ක තමයි හිටියෙ වැඩියක්ම. හැබැයි එයාඅපිට කිසිම අඩුවක් කලේ නැහැ.
තාත්තා නිතර ගෙදර එන්නෙ නැතිකොට මම ඒ ගැන ප්‍රශ්න අහද්දි අම්මා කිව්වෙ එක දෙයයි.
සයුරු. ඔයා හිතන්න පුරුදු වෙන්න ඔයාට තාත්තා කෙනෙක් නෑ කියලා.
සමහරවිට අම්මා මොනවහරි දැනගෙන ඉන්නඇති . අම්මා ජීවත් උනේ මොකක්දෝ කලකිරීමකින් හැමදාම. තාත්තා එයාඑක්ක ගෙදර ඉන්නෙ නැති හින්දා කියලයි මම හැමදාම හිතුවේ.
ගිය අවුරුද්දෙ දවසක් තාත්තා හදිසියෙම ලංකාවට ආවා. මාවයි නංගිවයි ලඟට අඬගහලා මෙහෙම කිව්වා.
මට කෙනෙක් ගැන හොයාගන්න ඕන.
කවුරු ගැන ද?
මගේ බිස්නස් පාට්නර් මට වංචා කරලා පැනලා ගියා. මට උගේ පුතා ගැන හොයාගන්න ඕන.
හොයාගන්න ඕන කියන්නේ?
ඔය හොරා උගේ පුතාගෙ නම වෙනස් කරලා ලංකාවට එවලා.
ඉතින් ඔය කොල්ලා හොයාගෙන මොකද කරන්නේ.
මට දැනගන්න ඕන ඒ මාර්ගෙන් උගේ තාත්තා කොහෙද ඉන්නෙ කියල දැනගන්න. මම දැනටමත් විස්තර හොයාගෙන තියෙන්නේ . මට ඕන ඒක තහවුරු කරගන්න විතරයි. ඒකට ඔයා මට උදව් කරන්න ඕන . තාත්තා කිව්වෙ නංගි දිහා බලලා.
මම? ඒ කොහොමද මම උදව් කරන්නේ?
ඔයා ඒ කොල්ලට ළං වෙන්න ඕන.
තාත්තේ පිස්සුද ? තාත්තගෙ පලිගැනීම් වලට නංගිව බිලිදෙන්න යන්නේ? මම කෑගැහුව.
කට වහනවා. ඔහු කිව්ව විදිහට අපි දෙන්නම බය උනා. ඔහු කවදාවත් අපිට ඒ විදියට සැරෙන් කතා කරලා තිබුනෙ නෑ.
මෙතන වැඩ වෙන්න ඕන මට ඕන විදියට උඹලා මේ මාලිගාවල් වගේ ගෙවල් දොරවල් හදාගෙන ඉන්නේ කාට පින් සිද්ධ වෙන්නද?
තාත්තෙ ඔයා කොහොමද ඔහොම කතා කරන්නේ? මම කීවේ විශ්වාස කරගන්න වත් බැරි විදිහට.
කිව්වනේ. මට වෙන්න ඕන දේ වෙන්න ඕන.
නැහැ මම මේ වැඩේට පොඩ්ඩක් වත් කැමති නෑ. ඔයා නෙවේ නංගිව හැදුවෙ මම. ඔයාගෙ ජීවිතේම ඔයා බිස්නස් වලටම යට කලා. මම නංගිව හැදුවෙ මගේම දරුවෙක් වගේ. එයාව මම ඔයාගෙ ඔය වැඩ වලට යවන්නෙ නෑ. මට ඔයාගෙ සල්ලිත් එපා ගෙවලුත් එපා. ඔක්කොම ඔයා ම තියාගන්න. මට රස්සාවක් තියෙනව. මගේ ගෑනිටයි ලමයටයි කන්න දෙන්න මට පුලුවන්. නංගි මට වැඩි නැහැ. ඔයා නංගිව යවනවනම් ඒක කරන්න වෙන්නේ මගේ මිනිය උඩින් තමයි. මම එහෙම කියලා නැගිට්ටා.
හරි එහෙනම් උඹ මැරෙන්න ලෑස්ති වෙයං. උඹට ඕන විදිහට නටන්න බෑ සයුරු. මෙතන වෙන්න ඕන මට ඕන දේ. උඹ ඉහොම නෙවේ කොහොම කිව්වත් මම මට ඕන දේ කරනවා. තාත්තා එහෙම කිව්වේ මගේ දිහාවට පිස්තෝලයක් දික් කරලා. ඒ ඇස් වල තිබුනේ රුදුරු බවක්. මම වගේම නංගිත් බැලුවෙ තිගැස්සිලා. ඔහුගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් අපි දෙන්නාම බලාපොරොත්තු උනේ නැහැ .
නංගි ඒ එක්කම මගේ ඉස්සරහට පැන්නා.
දෙවියනේ !!! ඔය දෙන්නා ඔහොම රණ්ඩු වෙන්න එපා. තාත්තේ පිස්සු හැදිලද. අනේ.. අයියේ මේ කියන දේට කැමති වෙන්න. මම යන්නම් ඔය කියන කොල්ලා ගාවට මම යන්නම්. අනේ දැන් ඕක නවත්තන්න. ප්ලීස් තාත්ති. නංගි කියන්න ගත්තේ අඬ අඬ.
අන්න එහෙම ඉඳපන්. කියන්නවත් බැරි තරම් අසභ්‍ය විදියට නංගිටත් මටත් කතා කරලා එයා ගියා එවෙලෙ.
පිස්සුද නංගි ?
කරන්න දෙයක් නැහැ. මට තාත්තත් ඕන අයියත් ඕන.
ඒ උනාට මේක ලේසි පහසු දෙයක් නෙවේ. එයා කොහොමද ඔයාගෙ ජීවිතේ එහෙම අවදානමකට දාන්නේ?
මම එන දේකට මූණ දෙනවා අයියෙ. නංගි කිව්වෙ එහෙම.
එහෙම තමයි අපි උපන්දින පාටිය ලෑස්ති කලේ ගීත්නාට සමීරව මුණගස්සන්න. අපිට කරන්න දෙයක් ඇත්තටම තිබ්බෙ නෑ. තාත්තා ඔක්කොම ප්ලෑන් කරලා තිබ්බා.
එයා තාත්ති කියන කෙනා නෙවේ අයියෙ. එයා අහිංසක කොල්ලෙක්. නංගි කිව්වෙ මාස දෙකකට විතර පස්සෙ. සමීරගෙ ගෙදර විස්තර ඒ හැම දෙයක්ම අපි හොයාගත්තට තාත්ති කියන දේවල් වලට කිසිම සම්බන්ධයක් තියෙනව කියල අපිට දැනගන්න ලැබුනෙ නෑ
තාත්ති ට කවුරුහරි වැරදි ඔත්තුවක් දීල තියෙන්නේ . ඒ කොල්ලා ගෙ නම සමීර ගුණරත්න. මේ සාමාන්‍ය පවුලක අහිංසක කොල්ලෙක්. නංගි කිව්වම තාත්ති ඒ ගැන හොයන එක අතෑරලා දැම්මා.
ඊටපස්සෙ වෙච්ච දේවල් සමීර දන්නවා. නංගිගෙ සම්බන්දෙ ගැන මම දන්නවා. වැරදි වැටහීමක් එක්ක මුණ ගැහුන උනත් නංගි හිටියෙ ගොඩක් සතුටින්. මටත් එයාගෙ සතුටට බාධා කරන්න හිතුනෙ නෑ.
දැන් කියන විදිහට තාත්තිගෙ හිතේ මුල ඉඳන් තිබ්බ සැකේ හරි. ඒත් මට සතුටුයි මම අවංකවම සතුටු වෙනවා එයා ඇත්තටම ඔයා කවුද කියලා දැන නොගත්ත එක ගැන.
සයුරු අයියා එහෙම කියද්දිම ආවෙ ඔහුගෙ බිරිඳ.
කෝ නංගි නිදිද රිතූ
අඬ අඬ ඉඳලා නිදාගත්තා.
කතාකරාද?
මා එක්ක කතා කලේ නෑ. තනියම මුමුණ මුමුණ ඉඳලා නිදාගත්තා.
අනේ මන්ද මේ ලමයගෙ හිත හදන්නෙ කොහොමද ?
ටික කාලයක් යද්දි හරියයි. ධනුශ්ක අයියා කිව්ව .
ඔයා දන්නෙ නෑ ඉන්ස්පෙක්ට. මගේ නංගී ගොඩක් සංවේදී කෙනෙක් . එයා පොඩිකාලෙ ඉඳන්ම එහෙමයි. එයාට පොඩි දෙයක් වත් දරාගන්න බෑ. අම්මා නැති වෙච්ච වෙලාවෙත් ශොක් වෙලා සතියකට වඩා හොස්පිටල් එකේ හිටියා. ඊටපස්සෙ අවුරුද්දකට වඩා බෙහෙත් ගත්තා ඒකට. අපි ඒ හින්දා පුලුවන් තරම් උත්සහ කරන්නෙ එයාගෙ හිත සතුටින් තියන්න.
සමීර එක්ක සම්බන්ධයක් පටන් ගනිද්දිත් මම ඒ ගැන මුකුත් කියන්න නොගියෙ එයා ඇත්තටම සතුටින් නිසා. තාත්තගෙ මරණෙ කොහොම උනත් මට හිතාගන්න බෑ එයා සමිර කියන්නෙ එයාගෙම සහෝදරයෙක් කියන එක කොහොම දරාගනීද කියලා. මට බෑ ආපහු මගේ නංගිව ආපහු මෙන්ටල් හොස්පිටල් එකට යවන්න. මට ඒක කරන්න බෑ දෙවියනේ !!
ඒ කියූ හැම වචනයක්ම හදවතට දැනෙද්දි ඈ ගැන මට දැනුනෙ දරාගන්න බැරි තරම් දුකක්. එච්චර ලඟින් ඉඳලත් මම ඇය ගැන එවැනි දේවල් දැනගෙන හිටියෙ නෑ. නෑ මම එයාට අසනීප වෙන්න දෙන්නෙ නෑ.
කලබල වෙන්න එපා මිස්ට සයුරු හැමදේම හොඳින් වෙයි. දනුෂ්ක අයියාත් කිව්වා.
මම එයා ගැන බලාගන්නම් අයියෙ. මම කිව්වා. මට පුලුවන් වෙයි එයාට තේරුම් කරලා දෙන්න.
ඔව් ඉතින් කොහොමත් උඹට එයා ගැන දැන් වගකීමක් තියෙනවනෙ. එයා උඹේ නංගිනෙ දැන්. රවීන් විහිලුවට වගේ කිව්වේ එතන වාතාවරණය යම් තරමකට ලිහිල් කරලා