5 කොටස-
නිශාදිගේ ඇස් වලින් කදුලු බේරෙනවා..පුංචි දේටත් සංවේදී වෙන නිශාදිට මේ විදිහට බැනුම් අහලා පුරුදුම නැහැ..
තරුන් කවදාවත් මෙහෙම සැර කරලා නැහැ….නිශාදිට බැන්නට මොකද හිමංස ඒ ගැන දහස් වතාවක් දුක්වුණා…
සොරි නිශාදි ….ඔයාට මෙහෙම කරන්න වුණු එක ගැන… ඒත් ඔයා අඩන්නෙ දුක් වෙන්නෙ අද විතරයි.. හෙට ඉදලා ඔයා කොච්චර සන්තෝසෙන් ඉදියිද?
මං මෙහෙම කළේ නැත්නම් ඔයා මගේ ලෝකෙයි තරුන්ගේ ලෝකෙයි අතරමැද අතරමං වෙලා යයි..මෙහෙම වුණාම ඔයාට ලේසියි හිත හදා ගන්න…
හිමංසට පුදුමයි තමන් ගැනම… ඇයි මං මෙහෙම කරන්නේ.. ඇයි……….. උත්තර නැහැ……….
හිමංස ඇහැරෙද්දි උදේ අටත් පහුවෙලා..සාලෙට යද්දි පොඩි එවුන් උඩ තට්ටුව දිහාට එබිකම් කරනවා….ඒත් හිමංසට ගාණක් නෑ..ඔහේ යනවා.
‘‘බාප්පි…. ගුඩ් මෝනිං… හැපි බර්ත් ඩේ ටූ මී .. කියන් නැද්ද ඔයා”
‘‘ඔහ් ..සොරි වුට්ටෝ…. බාප්පිට අමතක වුණානේ…. හැපි බර්ත්ඩේ ..”
“පුංචා කෝ බාප්පි… එයා තවම නිදිද?”
“ඇයි පුංචා ආවේ නැද්ද පහළට තාම”
“නැති නිසානෙ අපි මේ උඩ බලං ඉන්නෙ..”
“ඉතිං ඔයාලා ගිහින් බලන්නකො උඩට “
“අම්මෝ අපිට නම් බෑ”
“ඇයි”
“අම්මා තහනම් කරලා තියෙන්නෙ උඩට නගින්න..අපි ගියොත් ඔයාලට අර මොකද්දෝ වෙනවලු..”
“මොකද්ද ” හිමංස ඇස් හීනි කරගෙන පොඩි එකා දිහා බැලුවා
“ඇයි අනේ..මට ඒ වචනෙ මතක නැහැනෙ…ආ හරි..ඩිස් ටොබ්..”
‘‘හහ්.. “හිමංසට හිනා…
“ඩිස්ටර්බ් චුට්ටෝ..”
.”හරි ඉතිං ඒකනේ අපිට නම් යන්න බෑ උඩට. අනේ අපේ සුදු බාප්පිනෙ ?ඔයා ..පුංචව ගෙනත් දෙන්නකො මෙතෙන්න…”
පොඩි දෙන්නගෙන් බේරෙන්න බෑ… ඊයේ බැනපු හැටියට නිශාදිට කතා කරන්නෙ කොහොමද? මංමනෙ කීවේ පේන්න එන්න එපා කියලා.
කොහොමහරි හිමංස අමාරුවෙන් හරි ආයෙත් පඩිපෙළ නැග්ගා.. දැන් නම් කකුල ගොඩක් අඩුවෙලා…
නිශාදි මෙච්චර වෙලා නිදන්නෙ නැහැනේ…දොර ලොක් කරලත් නැහැ…නිශාදි කොට්ටෙකුත් තුරුළු කරන් හොදට නිදි… හිමංස සද්ද නොකර ළඟට ගියා… කොට්ටෙ පෙඟිලා හොදටම..
පව් කෙල්ල අඩන්න ඇති ඊයේ රෑ… නින්ද යන්න නැතුව ඇති.නිශාදිගේ මුණට වැටිලා තිබුණු කෙස් රොදක් හිමංස හෙමීට පාත්වෙලා අයින් කළා.එතකොටම නිශාදිට ඇහැරුණා…
හිමංස මූණට එබීගෙන ඉන්නවා දැක්කම බය වුණු පාරට නිශාදි ඇදෙන් බිම වැටෙන්නත් ගියා.
“ඔ..ඔයා.. ඇයි ආවෙ මෙතෙන්න..යනවා මගෙ කාමරෙන් යනවා…”
අහිංසක නිශාදි දැන් ගොඩක් නපුරු වෙලා.. හිමංස වගේම..
“ඇයි මං යන්නෙ ..මේක මගේ කාමරේ…”
“එහෙනම් මං යන්නම්.”
.නිශාදි දඩිබිඩි ගාලා නැගිට්ටා..
“ඔහොම ඉන්නවා… ඔය විදිහට කොණ්ඩෙත් කඩාගෙන මළ පෙරේතියක් වගේ ගියොත් අර පොඩි උන්ට නූල් බදින්න වෙයි..පොඩි උන් පහල බලං ඉන්නවා එනකල්..”
“මං අද කාමරෙන් එළියට බහින් නෑ…”
“ඇයි”
“ඇයි ඊයේ රෑ මට තර්ජනේ කළේ ඇස් දෙකට පේන්න හිටියොත් නරක මිනිහා කියන්න එපා කියලා.. ඒ නිසා මං කාමරෙන් එළියට යන්නෙ නැහැ..”
“එතකොට අර පොඩි එවුන්”
“මං දන්නෙ නෑ ඕවා..”
“නිශාදි ..තමුසෙ කොහොමද ඔය තරම් නපුරු වුණේ..”
“ඔයාට නපුරුකම් කරන්න හොදයි එතකොට මට…මං කොච්චර බය වුණාද ඊයේ..මේ මගෙ පපුව තාමත් ගැහෙනවා.. “
නිශාදිගෙ මූණ වහින්න ලෑස්ති අහස වගේ..
“සොරි නිශාදි..දැන් ඒක අමතක කරන්න…” හිමංසට නිකම්ම කියවුණා..
“ඔයා ඔහොම මට වෙනස් කම් කරන්නෙ ඇයි හිමංස ..මං ඔයාට කරපු වරද මොකද්ද”
“ඔයාගෙ වරදක් නැහැ නිශාදි ..වරද මගේ…ඒ වරද මංම හරිගස්සනවා….”
හිමංස කාමරෙන් එලියට ආවා…
💙💙💙💙
“පුංචෝ..අද මගේ බර්ත්ඩේ එක”
“ආනේ නෝටි ළමයි ඔයාලා..නිකමටවත් මට කීවෙ නැහැනෙ ඔයාලා..හැපි බර්ත්ඩේ..”
හිමංස ඊයෙ කීවා වගේම නොදන්න විදිහට නිශාදි ඇක්ට් කලා…
“පුංචා අද රෑ පාර්ටි එකක් තියෙනවා..අපෙ යාළුවො ඔක්කොම එනවා.. ඔයාගෙ විසේස යාළුවෙකුත් එනවලු අද”
“කවුද කිව්වෙ..”
“බාප්පි කීවෙ…පුංචාව අද එයා එක්කගෙන යනවලු …පුංචා කැමතිම රටක් බලන්න..බාප්පිගෙ කකුල තුවාල නිසා පුංචාව එක්ක යන්න බැහැලු..අනේ පුංචෝ ඔයා ගිහින් ඉක්මණට එනවා නේද? අපිට පාළුයිනෙ ඔයා නැතිව…අපි බාප්පි එක්ක තරහයි..එයා තමා ඒ යාළුවට එන්න කීවෙ.. අපිට ඇහුණා කතා කරනවා…නෝටි බාප්පි…”
නිශාදිට හරි දුකයි පොඩි දෙන්නා ගැන..ගිරව් වගේ ඔක්කොම කියවනවා…ඒත් මොනවා කරන්නද?හිමංස බලාගෙන ඉන්නෙ මං යනකල්…
💙💙💙
තරුන්ව නිශාදිට මුණ ගැහුණෙ නිශාදි කසාදෙට කලින් වැඩ කරපු කම්පැණියෙ ක්ලයන්ට් කෙනෙක් විදිහට..නිශාදිගෙ කරුණාවන්ත කම නිසාම තරුන් නිශාදි එක්ක ගොඩක් හිතවත් වුණා…
ගොඩ කාලයක් කතාබහ කලාට පස්සෙ තරුන් හිතේ තියෙන දේ කිව්වා..නිශාදිත් කැමති වුණේ තරුන් හොද කෙනෙක් කියලා හිතුණු නිසා..
ඒත් තරුන් දුප්පත්..නිශාදි මධ්‍යම පාන්තික යුවතියක්.. ඉතින් ඒ බාධකේට තරුන් හැම වෙලේම බයවුණා..ඒ නිසා ඒ සම්බන්ධෙ ප්‍රසිද්ධ කරන්න තරුන් ඉඩ දුන්නෙ නැහැ…හැමදාම ක්ලයන්ට් කෙනෙක් විදිහට ඔෆිස් එකට ඇවිත් කතා කරලා ගියපු එක විතරයි තරුන් කළේ…
“තරුන් .. මං ඔයාට කීවෙ අර වෙඩිං එකේදි මට ප්‍රපෝස් කරපු බෝයි…එයා ඊයේ අපේ ගෙදර ආවා තරුන්…අනේ මට හිතා ගන්න බැරි වුණා.. එයා ආවෙ නැකැත් අරගෙන…
එයාගෙ පේරන්ට්ස්ලත් එක්ක ..අම්මලා උඩින්ම කැමති වුණා.. අනේ මට මොකුත්ම කියාගන්න බැරිවුණා…මං ඔයාට මුලින්ම කීවනෙ තරුන් අපි මේ ගැන ගෙවල් වලට කියමු කියලා ඔයා ඇහැවෙ නැහැනේ… දැන් ඔක්කොම අවුල් වෙලා…
හිමංසගෙන් බේරෙන්න ලේසි නෑ තරුන්… එයා ලොකු සල්ලිකාරයෙක්..ඒ වගේම ..අනේ මන්දා…මට බය හිතෙනවා දකිද්දිත්…මාව ගිලින්න වගේ බලන්නෙත්….අනේ තරුන් ප්ලීස් මොනවා හරි කරන්න..ඉහි..ඉහි…”
“නිශාදි .ඔයාගෙ අම්මලා දැන් කොහොමත් මට කැමති වෙන් නැහැ… ඔයා යමු මා එක්ක”
“පිස්සුද තරුන්. එහෙම යන්න පුලුවන්ද …”
” එහෙනම් වෙන කරන්න දෙයක් නැහැ නිශාදි.. ඔයා හිමංසව බදින්න…..”
“මොනවද තරුන් මේ කියවන්නෙ… ඔයාට බැරිද කෙලින්ම ඇවිත් අපෙ ගෙදරින් අහන්න..”
“ඇහැවට වැඩක් නැහැ නිශාදි… හිමංස මාව හම්බවෙන්න ආවා… එයා හොදින් හරි නරකින් හරි ඔයාව කසාද බදියි ….නිශාදි … දුප්පත් මං මොනවා කරන්නද.. ඔයාට සැප සම්පත් දෙන්න මට බැහැ නිශාදි … තේරුම් ගන්න…”
“ඔයාට ලැජ්ජහ නැද්ද හිමංස ඔහොම කියන්න.”
“ලැජ්ජාව නෙවේ නිශාදි .. අසරණකම….”
එතනින් එහාට නිශාදි තරුන් එක්ක තර්ක කරන්න ගියේ නැහැ.. තරුන් කොච්චර හොද උනත් මෙහෙම පස්සට යන එකට නිශාදි කැමති උනේ නැහැ….
💙💙💙💙
හිමංස පේන්න හිටියෙ නැහැ හවස් වෙනකල්ම … කොහෙ ගිහින්ද දන් නැහැ.. කාමරේට යන්නත් බයයි… නිශාදි හිමංසව ගනන් ගන් නෑ කියලා හිතුවට පේන්න නැති උනාමත් හරි ප්‍රශ්නයක් …
චූටියි …. චුට්ටයි දෙන්න අම්මලා එක්ක එකතුවෙලා ගේ සරසනවා….
“බලන්නකො පුංචා.. බාප්පා තාම නෑ.. එයා මගෙ කේක් එක මග තියාගෙන කනවද දන් නැහැ.. එයා කේක් කන්න හරි ආසයි..”
නිශාදිට ප්‍රශ්නෙ අහන්නත් කලින් උත්තරේ හම්බුනා…
“පුංචා .. ඔයා ගිහින් ලෑස්තිවෙන්න ….අපිත් යනවා..”
නිශාදිට ලෝබයි පොඩි උන්ගෙ ආදරේට….
💙💙💙💙💙
නිශාදි ලෑස්ති වෙලා.ඉවරයි .. හිමංස ආවද දන්නෙ නැහැ.. සද්දයක් වත් නැහැ.. වෙලාව රෑ හතයි.. තරුන් කොයි වෙලේ හරි එයි.. අමුත්තො කීප දෙනෙකුත් ඇවිත්…
.කණ්ණාඩියෙන් පේන තමන්ගෙ රූපෙ දිහා නිශාදි බලං හිටියෙ පුදුමෙන්… හිමංස අරන් දුන්නු රන්වන් පාට ගවුමට දිග කොන්ඩෙ කඩන් දාල ඉද්දි මේ ඉන්නෙ මංමද කියලත් නිශාදිට පුදුමයි..
හිමංසගෙ සිලෙක්ශන් නියමයි.. එක පාරයි තේරුවෙ… නිශාදි දිග කරාඹු ජෝඩුවකුත් දා ගත්තා..
එක පාරටම පහලින් ඇහෙන්න ගත්තෙ ගිටාර් සද්දයක්….හරිම ලස්සනට ප්ලේ කරනවා..
“ඇස ගැටෙනා දස.. දහසක් නෙතු මත
ඔය දෑසම මා සෙවූ තරම් ….
ඒ නෙතු කිසිදින මා සතු නොම බව
දැන දැන මා පෙම්.. කෙරූ තරම්…
ඔබ නොදනී මුලු ලොවම දනී…
ඔබ නොදනී මුලු ලොවම දනී…”
නිශාදිගෙ ඇස් නිකම්ම පියැවුනා.දැහැන් ගතවෙලා අහන්න පුලුවන් හඩක්… ඒ කටහඩ.. තරුන්ගෙ.. නෑ නෑ.. ඒ තරුන් නෙවේ.. මීට කලින් අහලා නෑ… ශිහාන් මිහිරංග වගේම ලස්සනට කියනවා…
නිශාදි කාමරෙන් පිටවෙලා හෙමින් හෙමින් පඩිපෙල බහින්න පටන් ගත්තා… ගිටාර් එකේ තත් තාලෙට නාද වෙනවා…
“ඔබෙ දෑස් මතින් මා පැතු පැතුම්
ඔබෙ නෙතු මගෙමයි පිරු පෙරුම්..
ඒ පැතු පැතුමන් ඒ පිරු පෙරුමන්
කඳුලැල්ලක් වී ගැලු තරම්
ඔබ නොදනී මුලු ලොවම දනී..”
ආලින්දයේ කොනක ඉදගෙන ගිටාර් එක ප්ලේ කර කර ඒ සිංදුව කීවෙ.. හිමංස. මෙච්චර ලස්සනට හිමංසට සිංදු කියන්න පුලුවන් කියලා නොදන්න නිශාදි දෑස් විසල් කරගෙන පඩිපෙල බැස්සා… හිමංසගෙ නෙත් යොමු වෙලා තිබුනෙ නිශාදි දිහාට.. සුරංගනාවියක් වගේ…
“ඔය නෙතු දැහැනේ සම වැදී මෙමා
ඔය නෙතු තුල මා සිතු සිතුම්…
බොඳ වු සිතුවම් බිඳුනු හසරැල්
සොවින් මා ඒ හෙලු සුසුම්
ඔබ නොදනී මුලු ලොවම දනී…”
වෙඩින් එකේ හිටියටත් වඩා අද හිමංස ගොඩක් කඩවසම්…කලු පාට ට්‍රවුසර් එකට සුදු පාට ෂර්ට් එක ඇදලා ඊට උඩින් කලු කෝට් එක…. ශාරුක් ඛාන් වගේ… නෑ..ශාරුක් වයසයිනෙ දැන්. වරුන් ධවාන් වගේ….. නිශාදි ඇසිපිය නොහෙලා බලං ඉන්නවා…
ගීතය පුරාවටම රැදිලා තිබුනෙ මහ වේදනාවක්… ඒ වියරු ඇස්… තමන්ව මෙච්චර ආකර්ශනය කරන්නෙ ඇයි…. හිමංස සිංදුව ඉවර කලා… හැමෝම අත්පොලසන් දෙද්දි නිශාදි විතරක් තුෂ්ණිම්භූත වෙලා බලං ඉන්නවා…