මොකද බන් මේ? රවින් ඇහුවේ ගුවන් තොටුපලේ ඉඳල ආපහු යන ගමන්
මොකක් ගැන ද උඹ අහන්නේ?
උඹට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා මම අහන්නේ?
මට ඇති ප්‍රශ්නයක් නෑ
මචන් මට නිකම් බොරුව දාන්න එපා. උඹේ හිතේ තියෙන දේ හරියට කන්නාඩියකින් බලනවා වගේ මුනෙන් පේනවා. කියහන් කියහන්. ඩියාශි උඹත් එක්ක ආපු නැති හින්දද?
ඒ කියන්නේ උඹ දැනගෙන හිටියද කලින්ම එයා මා එක්ක එන්නේ නැහැ කියල?
රෙද්දක් කියවන්න එපා යකෝ. උඹ තනියම ආපු හින්දයි උඹේ මුණ අපායට ගහපු කැලැන්ඩරේ වගේ හින්ද මම ම හිතාගත්ත.ඒ කියන්නේ මම හරිනේ?
ඇයි බන් මගේ රෝස මට එහෙම කලේ?
කොහොම කලේ ද? කියන මගුලක් තේරෙන්න කියහන්කෝ.
මම හැමදෙයක්ම රවින්ට කිව්වේ හිත නිදහස් කරගන්න උවමනාවට.
උඹ යකෙක්නේ බං
මොකද?
දැන් තමා මට තේරෙන්නෙ උඹ මොකද ඔක්කොම පැත්තකින් තියල ඒකිත් එක්ක රට ගියේ මොකද කියල
මම මේ රැවුල ගිනි අරන් තියෙන අස්සෙ සුරුට්ටු පත්තු නොකර හිටපං. උඹට ඔක්කොම විහිලු. මම කීවෙ තරහෙන්
හ්ම්ම්… ඒකි කියන කතාවෙත් ඇත්තක් තියෙනවනේ බන්.
මොකද්ද ඇත්ත?
එකක් උඹ ගිත්නා එක්ක තියෙන සම්බන්දෙ නවත්තල නැහැ. ඒ කෙල්ලත් පව්. මම තොට කලින්ම කිව්වා ඕක වෙයි කියල.
මම දන්නේ නැහැ බන් මගේ ඔලුව විකාරයි
ඩියාශි ට ඔය ඉන්න පාඩුවේ ඉන්න දියන්. එයා හිතන්න ඇති ගන්න තියෙන හොඳම තීරණේ ඒක කියලා. මට පේන්නෙත් ඒකි හරි කියලා.
මගුලක් කියවන්නෙපා. මට ඒකි ඕනේ.
සමීර.. පොඩි එකෙක් වගේ හැසිරෙන්නෙපා. කෙල්ලෝ දෙන්නෙක්ගේ ජිවිත එක්ක උඹ සෙල්ලම් කරන්නේ.
මගේ අතින් ගිත්නාට වෙන කොල්ලෙක් ගාවට යන්න බැරි විදිහේ වැරද්දක් වෙලා නැහැ.
එහෙමයි කියලා උඹට පුලුවන්ද ගහෙන් ගෙඩි එන්න වගේ ගිත්නා ව අමතක කරන්න. ඒකි මැරෙයි. උඹ නැති ටිකේ කි සැරයක් ස්ටුඩියෝ එකට ආවද? උඹ අඩුගානේ කෝල් එකක් වත් දුන්නද? පව් බන්
කෝල් ගන්න පුළුවන් සිටුවේෂන් එකක නෙවේ මම හිටියේ
ඔව් ඉතින් හනිමුන් ගිහින් නේ.
විහිලු කරන්නේ නැතුව හිටපන් යකෝ. ඒක මාත් ඩියාශි වත් ප්ලෑන් කරලා වෙච්ච දෙයක් නෙවේ. ඒක උනේ අහම්බෙන්.
මට එයා ගැන බයයි.
එයා මෙච්චර කල් එයාගේ පරිස්සම බලාගත්තනේ. ඉස්සරහටත් ඒකි එහෙම ඉඳී
මම දන්නේ නැහැ බන්. මට මහා අමුතු බයක් දැනෙනවා.
හැමදෙයක්ම හොද විදිහට විසදෙයි. රවින් කිව්වා. හරි අපි ඔය කෙල්ලෝ දෙන්නව පැත්තකින් තියල උඹේ ප්‍රශ්නේ බලමු. මොකද්ද ඊළඟ පියවර?
සියා දීල තියෙනව එඩ්රස් එකක් ඒක හොයන ගිහින් අර මිනිහගේ බෙල්ලෙන්ම අල්ලගන්න ඕන.
සමීර උඹ හිතනවද අපිට ඔය කියන තරම් ලේසියෙන් ඔය මිනිහව අල්ලගන්න පුළුවන් වෙයි කියලා?
මම දන්නේ නැහැ බන්. ගිහින්ම බලමු.
කොහේ එඩ්රස් එකක්ද දීල තියෙන්නේ?
මේක මේ අවිස්සාවේල්ල පැත්තේ එඩ්රස් එකක්.
මම නම් හිතන්නේ අපි ඕකට තනියම යන්න හොද නැහැ
කාවද ඉතින් අපි එක්ක යන්නේ? මොකෝ ගිහින් පොලිසියට කියන්න ද? මම ඇහුවේ අවිශ්වාසයෙන්
ඔව් ගිහින් කියමු
පිස්සුද යකෝ. ඔය රහස් සංවිධාන අනම් මනම්. උන් හිතයි අපි අන්ගොඩින් පැනල ආපු දෙන්නෙක් කියලා
මම නම් හිතන්නේ නැහැ. රවින් කිව්වේ කල්පනාකාරීව
මම රවින් දිහා බැලුවේ මොන යකා වැහිලද කියල දැනගන්න. උගේ මුණේ තිබුනේ සංකීර්ණ බවක්. ඒ කියන්නේ මු පොලිසියට යමු කියලා කිව්වේ විහිලුවට නෙවේ.
රවින් උඹට ඇත්තටම පිස්සුද?
සමීර මුල ඉදන් අගට උඹේ කතාව ඇහුවම අපි හොයාගත්තුව බැලුවම නම් හිතෙන්නේ මේක මේ ඇත්ත ලෝකේ වෙන්න බැරි දෙයක් කියල වගේ තමයි. අන්න එක තමයි පොයින්ට් එක. මොකද කවුරුවත් විශ්වාස කරන්නේ නැති එක.
ඒක තමයි යකෝ මාත් කියන්නේ.
හැබැයි මෙතන අපේ වාසියට ගන්න පුළුවන් කරුණු තියෙනවා. උදාහරණයක් විදිහට රොඩ්රික් අතුරලිය කියන්නේ ප්‍රසිද්ද කෙනෙක්. අපිට මේ වැඩේට උඹේ අනන්‍යතාවය ඔප්පු කරන්න වෙනවා මුලින්ම. හැබයි මම නම් ඒ අවධානම ගන්න කැමති නැහැ. උඹ මෙච්චර කල් යහතින් හිටියේ කවුරුවත් ඇත්තටම උඹ කවුද කියල දන්නේ නැති නිසා.
මේ ප්‍රශ්නේ විසඳගෙන මැරුණත් කමක් නැහැ බන්.
අඳුනන අයිය කෙනෙක් ඉන්නවා රහස් පොලිසියේ. එයාගෙන් උදව්වක් ගමු.
ඒ කොහෙන්ද මම දන්නේ නැති අයියා කෙනෙක් හම්බුනේ උඹට?
ඒක මාර වැඩක්නේ. ඇයි උඹ අඳුනන හැමෝම මම දන්නවද?
හරි ඉතින් සාමාන්යෙන් මම උඹේ පවුලේ හැමෝවම වගේ දන්නවනේ
අම්මප සමීර මේ වෙලාවේ උඹට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕකද? ඔය වෙලාවට තමයි මට උඹට මැරෙන්න ගහන්න හිතෙන්නේ.
නෑ මම කිව්වේ..
රවීන් මගෙ දිහා රවල බලල දුරකතන ඇමතුමක් ගත්තේ වාහනය පාර අයිනට කරල නවත්වල.
ඔව් අයියෙ. ඔක්කොම හරි. ඔව්. අපි දැන් එනව. රවීන් එහෙම කියල ආපහු වාහනය හරවගත්ත.
අපි දැන් කොහෙද යන්නේ?
පොලිස් මූලස්ථානය ට
හෑ.. උඹට පිස්සුද?
නෑ හැටි. උඹ මගෙන් කුණුහරුප නාහා කටවහගෙන හිටපං.
පොලිස් මූලස්ථානයට යනතුරු රවීන් වචනයක් වත් කතා කලේ නැහැ. මට අහන්න දේවල් තිබුනත් මමත් නිහඬවම හිටියෙ උගේ කට අවුස්සගන්න ඕන නැති නිසා.
හරි යමං. මෑන් අපි එනකම් බලන් ඉන්නව. පොලිස් මූලස්ථානය ඉදිරිපිට වාහනය නවත්තල රවීන් කිව්ව
ආ.. එන්න. සර් ඔයාලා එනකම් ඉන්නව. පිළිගැනීමේ නිලධාරී කියල ගහල තිබුනු මේසෙ ඉස්සරහ හිටපු පොලිස් නිලධාරිනිය කිව්ව. ඔතනින් වමට ගිහාම කෙලින්ම පේන දොරෙන් ඇතුලට යන්න.
ඇයට ස්තුති කරල අපි ඒ කිව්ව විදිහට ගියා. දොරෙන් ඇතුල් වෙච්ච ගමන් මම දැක්කෙ බලාපොරොත්තු නොවූ දසුනක්. සාකච්ඡාවක යෙදුනු පොලිස් නිලධාරීන් සෑහෙන්න පිරිසක් අපි දිහා බලන් හිටිය. ඒ අතර විදේශිකයන් කිහිප දෙනෙකුත් හිටියා.
මම ගත්තු පියවර ආපස්සට තිබ්බෙ ඇත්තටම බය වෙලා.
යකෝ වැරදි කාමරයක් ද කොහෙද?
නැහැ නැහැ වමට ගිහාම කෙලින්ම තියෙන කාමරේ ඒක තමයි. යමන්. රවින් හිටියේ මට පිටිපස්සේ හින්ද ඌ දැක්කේ නැහැ කාමරේ ඇතුලේ හිටපු පිරිස.
උඹට ඕන නම් පලයන් මට නම් බැහැ
මෙන්න මෙහෙ වරෙන්
රවින් මාවත් ඇදගෙන ආපහු ඒ කාමරය තුලට ගියා.
එන්න එන්න ළමයි. මොකද රවින් යාළුවා බැහැ කියනවද? ඇහුවේ එතන හිටපු පොලිස් නිලධාරියෙක්. අපි මේ ඔය දෙන්න එනකම් තමයි හිටියේ
හෑ ඒ කියන්නේ කලින් මේ ඔක්කොම ප්ලෑන් කරලා. මමත් නොදැන කොහොමද මේ දේවල් උනේ. මට ප්‍රශ්න ගොඩයි.
කතා කරපු හැටියට නම් තේරුනේ රවින් හැමදේම දැනගෙන හිටපු වග.
සමීරගේ මුනෙන් පේනවා ප්‍රශ්න ගොඩක් තියෙන වග. ඒ උනාට රවින් දිහා බැලුවට වැඩක් නැහැ එයා වැඩිය මුකුත් දන්නේ නැහැ. එයා අපේ ධනුෂ්කගෙන් උදව්වක් ඉල්ලුවේ ධනුෂ්කව අඳුරන හින්ද. මේ කේස් එක භාර නිලධාරියා ධනුෂ්කම වෙච්ච එක සම්පුර්ණ අහම්බයක්. ඒ නිලධාරියා මට කිව්වේ තව තරුණ පොලිස් නිලධාරියෙක්ව පෙන්නලා. ධනුෂ්කගේ නංගි තමයි ශානි කියන්නේ. ඒ කිව්වේ රවින්ගේ වෙන්න නෝනා. මම හරි නේද? රවින් ලජ්ජාවෙන් සිනාසෙද්දී පොලිස් නිලධාරියා කිව්වා. අපි මෙහෙම උඩින් පල්ලෙන් විස්තරේ කියනවට වඩා ධනුෂ්කම ඒ කතාව ඔයාලට කිව්වොත් සිද්ධිය පැහැදිලි වෙයි.
ඊටපස්සේ කතා කරන්න ගත්තේ ධනුෂ්ක කියලා හඳුන්වලා දීපු පොලිස් නිලධාරියා. එකියන්නේ අපේ රවින්ගේ වෙන්න මස්සිනා. ඒක තමා මම බැලුවේ මුට කොහෙන්ද මම නොදන්නා අයිය කෙනෙක් හිටියේ කියල.
රවින් අපේ ගෙදර ආපු වෙලාවක ශානි එක්ක කතා කරද්දී රොඩ්රික් අතුරලිය කියන නම කියනවා මට ඇහුනේ අහම්බෙන් වගේ.
අනේ මන්ද ශානි. මිනිහා ඔය රොඩ්රික් අතුරලිය ගැන හොයන්න කියලනේ ගියේ. කියන ටික තමයි මට ඇහුනේ.
කවුරු ගැන ද ඔය දෙන්නා ඔය කතා වෙන්නේ. මම එතනට ගියාම දෙන්නම බය උනා.
මේ… අපි කිව්වේ මගේ යාලුවෙක් ගැන. රවින් කිව්වා.
කවුද යාළුවා.
මගේ පොඩි කාලේ ඉඳන් යාලුවෙක්. ඇයි අයියේ ඔච්චර ප්‍රශ්න අහන්නේ?
මට ඇහුනා රොඩ්රික් අතුරලිය කියන නම. රොඩ්රික් අතුරලිය කියන්නේ බොහොම ප්‍රසිද්ද කෙනෙක්නෙ. මේ ළඟදිත් එතුමාගේ කලාගාරය හොරු කඩන්න උත්සහ කළා නේ. ඒ ගැන මොනවද ඔය දෙන්න කතා වෙන්නේ කියලා බැලුවේ.
අයිය එච්චර ද රොඩ්රික් අතුරලිය ගැන දන්නේ? රවින් ඒ ප්‍රශ්නේ ඇහුවේ හරිම උනන්දුවෙන්. එයා ඒක අහපු විදිහට ම මට හිතුන රවින් කියාපු කෙනයි මම දන්නා කෙනයි දෙන්නම එක්කෙනෙක් කියල. මම ඉතින් පොලිස් කාරයෙක්නේ. මිනිහෙක් හැරෙනකොට මට කිව්වැකි. මම ඉතින් ඒ බවක් පෙන්නන්නේ නැතුව මම දන්නා විස්තර කිව්වා
එයා කාලයක් ප්‍රොෆෙසර් කෙනෙක්. පස්සේ එයා ප්‍රංශ තානාපතිවරයා උනා. රොඩ්රික් අතුරලිය කියන්නේ හරිම දක්ෂ ඒ වගේම හරිම ප්‍රසිද්ද කෙනෙක් මනුස්සයෙක්. මම කිව්වා. එතුමාගේ පුතයි ලේලියි අනතුරකින් මරුන.ඒ ගැන අපි තාම හොයනවා.
රවීන් ඔයාට අයියගෙන් උදව්වක් ගන්න පුළුවන්නේ. එහෙම කිව්වේ අපේ නංගී
මොකටද මගෙන් උදව් ඕන වෙන්නේ?
අයියේ මේ රවින්ගේ හොඳම යාළුවා තමයි රෝද්රික් අතුරලියගේ මුණුපුරා. එයා දැන් සැහෙන්න කරදර ගොඩකට පැටලිලා ඉන්නේ.
මොනවා. එයාගේ මුණුපුරා ඇක්සිඩන්ට් එකෙන් මැරුනානේ
නැහැ නැහැ එයා මරුනේ නැහැ. එයා ඉන්නවා
එතනින් පස්සේ තමයි රවින් අපිට මුළු විස්තරයම කිව්වේ.
කාලයක් තිස්සේ යට ගැහිලා තිබ්බ ඇක්සිඩන්ට් එකේ විස්තර සේරම ආයේ එලියට ගත්තේ මගේ උවමනාවට. සමිරගෙන් දැනගත්ත කරුණු අපිට ගොඩක් උදව් උනා. මේ ඉන්න මහත්වරු ප්‍රංශ බුද්ධි අංශයේ කට්ටිය. ධනුෂ්ක අයියා කිවේ එතන හුන් විදේශිකයන් කිහිප දෙනෙක් පෙන්නලා.එයාලා කාලයක් ඒ කිව්වේ අවුරුදු ගානකට කලින් අපිට බුද්ධි අංශ වලින් දැනුම් දීලා තිබුනා ක්‍රෙසන්ට් ඩයමන්ඩ් කියන සංවිධානයේ සාමාජිකයෙක් මේ ලංකාවේ හැංගිලා ඉන්න වග. ඒ සිද්ධියයි මේ සිද්ධියයි අතරේ සම්බන්ධතාවයක් තියෙනව කියල අපිට සැකයක් තියෙනවා. ඒ අනුව තමයි ඒ මහත්වරු ලංකාවට ඇවිත් තියෙන්නේ. මේ වෙනකොට ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානයේ සාමාජිකයන් බොහොමයක් ඇත අඩංගුවට ගෙන ඉවරයි. ඉතින් සමීර. අපිට දැන් ඕන වෙන්නේ ඔයාගේ අතේ තියෙන සාක්ෂි ටික විතරයි.
එවෙලේ නම් මට කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුනේ නැහැ. මම කල්පනා කරේ සීයාගේ දිනපොත් දෙනවද නැද්ද කියලා.
මේ දිනපොත් මගේ සීයාගේ පෞද්ගලික දේවල්.
කිසිම දෙකට බය වෙන්න එපා සමීර. අපි ඒ හැමදේම රහසිගතව තියාගන්න පොරොන්දු වෙනවා. ඕවා පෞද්ගලික වගේම වැදගත් සාක්ෂි.
ඔවුන් මගේ ළඟ තිබුණු දිනපොත් සේරම ඔවුන්ගේ භාරයට ගත්තා.
හරි. දැන් අපි අර එඩ්රස් එක හොයාගෙන යමු. ධනුෂ්ක අයියා එහෙම කිව්වේ හැමෝම දිහා බලලා.
හැමෝම? රවින් කිව්වේ පුදුමෙන්.
ඔව්. ඔය දෙන්නා දැන් ගෙවල් වලට යන්න.
බැහැ ැ. මෙච්චර දෙයක් කරලා අන්තිම මොහොතේ පැත්තකට වෙලා බලන් ඉන්න මට බැහැ . මම ඒ අදහසට කෙලින්ම විරුද්ධ උනා. පොලිස් නිලධාරින් මුහුණට මුහුණ බලාගත්තේ ඔවුන් එවැනි දෙයක් බලාපොරොත්තු නොවුන හින්ද වෙන්න ඇති. ඒ කොහොම උනත් මගේ අදහස වෙනස් කරන්න මම ලෑස්ති නැහැ.
අහන්නකො දරුවෝ. එතන හිටි මැදිවියට ආසන්න පොලිස් නිලධාරියෙක් කිව්වා. මම කියන්නේ ඔයා මෙච්චර කල් ඇත්තටම වැඩ කරලා තියෙන්නේ හරිම අනාරක්ෂිත විදිහට. ඉතින් මේ වෙලාවේ වත් අපිට උදව් කරන්න ඉඩ දෙන්න. අනිත් එක ඔයා දැන් නිකම්ම නිකම් කොල්ලෙක් නෙවේ. සුවස් කලාගාරයේ හිමිකරු වෙන්නේ ඔයා. ඒ වගේම සීයාගෙන් පස්සේ ඒ වගකීම ඔයාගේ අතේ තියෙන්නේ. ඔයාට පැවරිලා තියෙන්නේ ලේසි පහසු වගකීමක් නෙවේ. ධනය කියන්නේ අවධානමක්. ඒක මම ඔයාට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
ඒ මොන දේ උනත් මට මේ ගමන යන්නම ඕන. මට ඒ කෙනාට කතා කරන්න ඕන ඉන්ස්පෙක්ටර්. මට අහන්න ඕන ඇයි එයා කිසිම හිතක් පපුවක් නැති විදිහට මගේ පවුල විනාස කරලා දැම්මේ කියලා.
හරි එහෙම නම් හැමෝම නෙවේ. මමයි ඔය දෙන්නයි. මෙච්චර කල් හැමදේම ඔයාල කරගත්තේ තනියම තමයි.. තවමත් කුශින්ත්ගේ අනන්‍යතාවය කවුරුවත් නොදන්නා හින්ද ප්‍රශ්නයක් ඇති වෙයි කියලා මම හිතන්නේ නැහැ. එත් මම එන්නේ ඔයාලගේ ආරක්ෂාවට. ඒ වගේම මොනවහරි ප්‍රශ්නයක් උනොත් අපේ කට්ටිය ඒකට සුදානමින් ඉන්නවා. එහෙම කිව්වේ මෙතෙක් නිහඬව හිටපු ධනුෂ්ක අයියා. එකට අනිත් ය එකග උනත් ඔවුන් පෞද්ගලිකව ඒ අසහසට කැමති නැහැ කියල මට හිතුනා. එහෙමයි කියල මම ඒ ගමන නොයා ඉන්න කැමති උනෙත් නැහැ. මැරෙන්න හරි මට ඔය මිනිහා මුණ ගැහෙන්න ඕනේ.
අපි පොලිස් මුලස්තානයෙන් පිටත් වෙලා කෙලින්ම ගියේ අවිස්සාවේල්ලට. ඉස්සරහට මොන දෙකට මුණ දෙන්න වෙයිද කියලා මගේ හිතේ තිබුනේ බයක්. මගේ අම්මගෙයි තාත්තාගෙයි මිනීමරුවා මුණ ගැහෙන්න නේද මේ යන්නේ. ඒ මනුස්සයට මම කොහොමද මුණ දෙන්නේ කියන එක මගේ ඔලුවට ගොඩක් වධ දුන්නා. මම ලංකාවට ආවත් හරි තාම ගෙදරට වත් කතා කරේ නැහැ.
මචන්. ගෙදරින් බය වෙලා ඇති තාම ආවේ නැහැ කියලා. කෝල් එකක් වත් දෙන්න බැරි උනා.
ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. අම්මලා විස්තරේ දන්නවා රවින් කිව්වා
උඹ ඔක්කොම ප්ලෑන් කරගෙන ද හිටියේ. මම එත් බැලුව අම්මා කෝල් එකක් වත් නොදෙනකොට
මම නෙවේ පොලිසියේ ය තමයි ඔක්කොම ප්ලෑන් කරේ. මට තිබුනේ ඒ මුකුත් නොකියා උඹ එනකම් බලන් ඉන්න විතරයි.
කියන හැටි විතරක් හිපාටුවා.
උඹේ හොදටනේ
ඩියාෂි හොඳින් ඉන්නවා ඇති නේද බන්. ඒ ප්‍රශ්න අතරෙත් මට මතක් උනේ එයාව. මෙච්චර හැමදේටම ළඟ ඉඳලා මේ වෙලාවෙත් එයා හිටියනම් කියල මට හිතුනා.
මේ කරදරේ ඉවර උනහම ආයේ පලයන්. ගිහින් කෙල්ල එක්ක වරෙන්. එතකොට හරිනේ
හ්ම්ම්ම්……
අපි අවිස්සාවේල්ලට යනකොට එවෙලේ හවස පහට ත් කිට්ටුයි. ලිපිනයේ තිබුණු නිවස සාමාන්‍ය නිවසක්. නිවස වටා තාප්පයක්වත් නොතිබුණු අතර එවෙලේ පෙනුණු විදිහට නිවසේ කවුරුත් ජිවත් වෙන බවක් පෙනුනේ නැහැ.
අපි වාහනෙන් බැහැලා නිවාස ආසන්නයට ගිහින් සීනුවත් නාද කරලා බැලුවා. ඒ ළඟ පාතක තිබුනෙත් තව එක නිවසක් විතරයි.
මේ ගෙදර කවුරුත් ජිවත් වෙන්නේ නැහැ වගේ. ධනුෂ්ක අයියා කිව්වා.
වෙන්න බැහැනේ.
බලන් ඉඳල තේරුමක් නැහැ. අර ගෙදරින් වත් අහලා බලමු. ධනුෂ්ක අයියා ආයෙමත් කියලා අනිත් නිවාස දෙසට ගියා.
ඒ ගෙදර ඉස්සරහ දොර වහලා තිබුනත් නිවසේ විදුලි පහන් දැල්වෙමින් හින්දා කවුරුන් හෝ සිටින බවක් පෙනුනා.
ගෙදර කවුද? රවින් එහෙම අහන ගමන්ම දොරට තට්ටු කළා. මොහොතකින් දොර විවර කලේ මැදි වියේ කාන්තාවක්.
මහත්තයල කාව හම්බ වෙන්නද? ඒ ගැනු කෙනා ඇහුවේ අපි දිහා සැකෙන් වගේ බලලා.
මේ එඩ්රස් එක අයිති අරගෙදරට නේද? ධනුෂ්ක අයියා ඇහුවේ ලිපිනය පෙන්වමින් . ඇය ලිපිනය දිහා හොඳින් බැලුවා.
මම හිතන්නේ ඔව් මහත්තයා.
ඒ ගෙදර කවුරුවත් නැද්ද?
ඒ ගෙදර දැන් කාලෙක ඉඳන් වහලා දාල තියෙන්නේ.
මට දැනුනේ බලාපොරොත්තු කඩ වුනු බවක්. මෙච්චර වෙච්ච මහන්සියෙන් වැඩක් නෑ ඒ කියන්නේ.
කාලෙකට කලින් කවුද හිටියේ.
පවුලක් හිටියා. එයාලා මම හිතන්නේ රට ගිහිල්ලා.
ඒ පවුලේ කවුද හිටියේ.
මම දන්නේ නැහැ. අපි මේ ගෙදරට ආවේ අලුතෙන්.
අලුතෙන් කියන්නේ කොච්චර කල් වෙනවද?
දැන් අවුරුදු දෙකක් විතර වෙනවා.
එතකොටත් අර ගෙදර වහල දාලද තිබුනේ?
ඔව් මහත්තයා
එහෙමනම් තමුන් දන්නේ කොහොමද ඒ ගෙදර පවුලක් හිටියා කියලා. එගොල්ලොව් රට ගිහින් කියලා දන්නේ කොහොමද? ධනුෂ්ක අයියා අහපු විදිහට ඒ කාන්තාව වටපිට බැලුවේ කර කියාගන්න දෙයක් නැතුව වගේ.
රවින් මෙයාට මෙතනින් කොහෙවත් යන්න දෙන්න එපා. ධනුෂ්ක අයියා එහෙම කියලා එකපාරටම එතන ලඟම තිබ්බ කාමරයක් ඇතුලට ගියා.
උඹ කාට ද කෝල් කරන්න හැදුවේ. කියපන්. අපිට ඇහුනේ ඊට පස්සේ ඔහු කාට හෝ බනින හැටි. උඹලා වගේ උන්ට සලකන හැටි මම හොදට දන්නවා. ඔව්.
අනේ මහත්තයා ගහන්න එපා එයාට. ඒ කාන්තාව අඩන්න ගත්තේ ධනුෂ්ක අයියා කවුද මනුස්සයෙක්වත් ඇදගෙන කාමරෙන් එලියට එත්දී.
ඇත්ත කියන එක දෙන්නගෙම ඇඟට ගුණයි. ඔහු කිව්වේ සැරෙන්.
අපි මොනවත් දන්නේ නැහැ. ඒ ගෙදරට මාස තුනකට සැරයක් වගේ පිරිමි කෙනෙක් ඇවිල්ලා බලලා කරලා යනවා. ඒ ගෙදරට එන ලියුම් කියුම් අපි එකතු කරලා තියෙනවා. ඒ මහත්තයා ඒවා අරගෙන යනවා. තව ඒ ගෙදරට කවුරුහරි ආවොත් මොනවහරි සැක හිතෙන දෙයක් උනොත් අපිට කතා කරන්න කියලා ටැලිපෝන් නොම්මරයක් දීල ගිහින් තියෙනවා. මෙච්චර කාලෙකට කවුරුවත් එහෙ කාවවත් හොයන් ඇවිල්ල නැහැ. ඒකයි අපිට සැක හිතුනේ. රට ලියුම් කවර වල එන ලියුම් නම් මාසෙකට එකක් වත් එනවාමයි.
ඒ ගෙදර ගැන අහපු අපිව සක හිතුනා. ඔච්චර සැක කටයුතු විදිහට හැසිරෙන ඒ එන මිනිහා ගැන සක හිතුනේ නැද්ද? ඌ අපරාධකාරයෙක් වත් වෙන්න ඇති කියලා හිතුනේ නැද්ද? ධනුෂ්ක අයියා ඇහුවේ අපහාසයෙන්.
පෙනුමෙන් නම් එහෙම පෙනුනේ නැහැ. ඒ මනුස්සයා හරි වැදගත් පාටයි. අපි එහෙම දෙයක් හිතුවේ නැහැ. ඒ පිරිමි කෙනා කිව්වේ කාන්තාව දිහා බලලා.
ඒක නෙවේ නේ ඇත්ත හේතුව. ඒ මිනිහා දෙන සල්ලි උඹලා ගේ කටවල් වහලා තියන්න ඇති. සල්ලි වලට ඕන ම දෙයක් කරන්න පුළුවන්නේ. ඔත්තු බලනවාට ඌ උඹලට ගානක් දුන්න ද නැද්ද? ධනුෂ්ක අයියා ආපහු ඇහුවේ සැරෙන්. ඒ හඬට ඇත්තට ම මටත් බය හිතුනා.
අනේ මහත්තයෝ අපි එදා වෙලා හරි හම්බ කරගන්න මිනිස්සු ඒ වගේ අමතර ගානක් අපිට ගොඩක් වටිනවා. ඊටත් අපි ඒ මහත්තයා අපරාධකාරයෙක් කියලා හිතුවේ නැහැ. උන්දැට හරි වැදගත් පෙනුමක් තිබුනේ.
පෙනුමෙන් මිනිස්සු මනින්න පුලුවන්ද මිනිහෝ. උබලා වගේ මෝඩ සල්ලි වලට නැවෙන ආත්මාර්ථකාමී හැතිකරේ මේ රටේ ඉන්නකම් කවදාවත් අපිට රටක් ගොඩනගන්න හම්බවෙන්නේ නැහැ. අපරාධකාරයෝ කොටි ත්‍රස්තවාදියෝ ආවත් එච්චරයි.
මමත් රවිනුත් මුහුණට මුහුණ බලාගත්දේ මෙතනට ඔහු නැතුව අපි දෙන්නා විතරක් ආවනම් කියන එක මතක් වෙලා වගේ. එහෙම නම් අපිට මෙච්චර දෙයක් කොහෙත්ම දැනගන්න ලැබෙන්නේ නැහැ. එහෙම නම් අපි කරන්නේ ඔවුන් දන්නේ නැහැ කියපු ගමන් ආපහු හැරිලා යන එකයි. මහන්සි වෙලා ලැබිච්ච අන්තිම හෝඩුවා වත් නැති වෙලා යන එක නුලෙන් වැළකුණේ ධනුෂ්ක අයියා හින්ද. ඔහු ඇත්තෙන්ම සුක්ෂම පොලිස් නිලධාරියෙක්.
ඔය එනවා කියන මනුස්සයා ගෙ ඇඩ්‍රස් එකක් තමුන් දන්නේ නැද්ද? ධනුශ්ක අයියා ආපහු ඇහුවා.
නැහැ මහත්තයා.
හ්ම්ම්.. ඒකත් එහෙම ද? කෝ ගන්නවා බලන්න දැන් අර කෝල් කරන්න ගියපු නොම්මරේ.
ඒ මිනිස්සු බයටම දුරකතන අංකය ධනුශ්ක අයියා අතට දුන්නා.
අහ්.. ආපහු ඔහු කිව්වේ ඒ අංකය දිහා බලලා.
ඇයි අයියෙ මොකක්ද?
මේක මොබයිල් නම්බර් එකක්. මිනිහා දැන් පාවිච්චි කරන එක වෙන්න තියෙන ඉඩ බොහොම අඩුයි. එහෙම කියලා ඔහු බැලුවේ අර ජෝඩුව දිහා.
දෙන්න ම ලෑස්ති වෙනවා පොලීසිය ට යන්න.
අනේ මහත්තයා අපි කිසි වැරැද්දක් කරල නෑ
ඒක බලාගන්න පුලුවන් පොලිසියට ගිහින්.
ඔවුන් දෙදෙනාව අත් අඩංගුවට අරගෙන අනිත් වාහනේ පොලිස් නිලධාරින් ට භාර දුන්න. නිලධාරින් දෙදෙනෙක් වාහනය තුලම පරිගණක වලින් යමක් කරමින් හිටිය අපි යද්දි.
සර්.. ඒ සිම් එක අරන් තියෙන්නේ නම් G. S. වික්‍රමනායක නමට.
එඩ්‍රස් එකක් තියෙනව ද?
ඔව්. ඒ අර ගෙදර එඩ්‍රස් එකමයි.
හ්ම්ම්. ගුරුන්ටත් අකුරු වරදිනව කියන්නෙ ඕවට තමයි. ධනුශ්ක අයියා කිවෙ කල්පනාකාරීව
සිම් එක අරන් තියෙන්නේ ලඟදි. මාස හයකට කලින්. පොලිස් නිලධාරියා නැවත කිව්වා.
සීයට අනූවක විතර පොසිටිව් මිනිහා ගාව මේ නම්බර් එක තියෙනව . උත්සහ කරල බලමු.
මම කෝල් එක ගනිද්දි ලොකේශන් එක ට්‍රැක් කරන්න. ධනුශ්ක අයියා එගෙම විධානය දීල අර අංකයට ඇමතුමක් ගත්තා.
අපේ හදගැස්ම වැඩි වෙද්දී ඇමතුම සම්බන්ධ උනා.
හෙලෝ.. ආ මේ සුමනපාලද කතා කරන්නේ. ධනුශ්ක අයියා ඇහුවේ කිසිම චකිතයක් නැතුව.
ආ වැරදීමක් සමාවෙන්න. ඊලඟ මොහොතෙම ඔහු දුරකතනය විසන්ධි කලා.
ශුවර්ද මිනිහට සැක හිතුනෙ නෑ කියලා? රවීන් ඇහුවා.
සැක හිතෙන්න විදිහක් නෑ. කොහෙද ලොකේශන් එක?
වැඩි දුරක නෙවේ පානදුර පැත්තෙ
හරි එහෙනම් දැන්මම යමු..
පොලිස් නිලධාරීන් යුහුසුලු ව රථය පාරට ගත්තා. අදාල ස්ථානයට අපි ලඟා උනේ පැයක් යන්නත් ඉස්සෙල්ල.
සර් ලොකේශන් එකේ පෙන්වන විදිහට මේක තමයි තැන.
විසල් තාප්පයකින් වට වී තිබූ එය සුන්දර දෙමහල් නිවසක්.
පොලිස් නිලධාරියෙක් ගේට්ටුවේ පසෙකින් සවිකර තිබූ සීනුව නාද කලා.
කවුරුත් පිලිතුරක් දුන්නෙ නැහැ.
මිනිහට සැක හිතුන වත් ද?
අපේ හදවත් වේගයෙන් ගැහෙන්න පටන් ගත්ත. මේ අන්තිම අවස්ථාවත් මගහැරුනොත්!!
මොහොතක් ගත උනා. කිසිවෙකු ගේට්ටුව දෙසට ඇවිද එන හඬ ඇසුනා. හදවතේ වේගය වැඩි උනා. පොලිස් නිලධාරීන් ඔක්කොම හිටියෙ ගිනි අවිත් ඇතුව සූදානම් පිට. විවර වූ ගේට්ටුවෙන් පිටතට ආවෙ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ රුවක්.
ගීත්නා!!!!! ඔයා!!!!