පහුවදා උදේ මට ඇහැරුනේ නොනවතින වැස්සේ හඬට. ඩියාශි මට තුරුල් වෙලා හොඳටම නිදි. ඒ සුන්දර මුහුණෙ තිබ්බෙ සැනසිලිදායක සිනහවක්. ඒ දිහා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ.. මට ඇය හමුවෙච්ච මුල් දවස මතක් උනා. සමහර බැඳීම් ඇතිවෙන්නෙ සසර පුරුද්දට කියන කතාව නම් ඇත්තම වෙන්න ඕන. ඒ දවසෙත් එයාගෙන් මට දැනුනෙ හරිම හුරු පුරුදු බවක්.
නුපුරුදු ඔබ දුටු පලමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විඳ පුරුදු ඇති
සුසුම් සුවඳ දැනුනා
එයාටයි මටයි විතරක් අයිති අතීතයක් තිබුනත් ඒ අතීතයට දැන් මට අයිතිවාසිකමක් කියන්න බැරි මට ඒ අතීතයේ සමහර තැන් තවමත් මතක නැති හින්ද. ඒ අමතක වෙච්ච මතකය ගැන මට තියෙන්නෙ පුදුමාකාර ලෝබකමක්. මම ඇයගෙ නලලත හාදුවක් තිබ්බෙ හදිසියේම ඇති වෙච්ච පෙලඹවීමක් මත.
සමීර.. මේ වෙච්ච දේ හොඳ දෙයක් නෙවෙයි. හිත කියන්න ගත්ත. ඒත් ඇයි මට ඒ ගැන කිසිම පසුතැවීමක් දැනෙන්නෙ නැත්තෙ.
ඒත් මොකද්ද වැරැද්ද.. ඩියාශි කියන්නෙ මම ආදරේ කරන කෙල්ල. ඒක උනේ අපි දෙන්නගෙම කැමැත්තෙන්. හිතේ එක පැත්තක් මාව සාධාරණීකරණය කරනව. ඒ උනාට තව ටිකක් ඉවසන්න තිබුනා.. ආයෙත් මට වද දෙන්නෙ ඒ හිතමයි.
ගීත්නා.. ගීත්නාට මොනවද කියන්නෙ? යටිසිත මගෙන් ප්‍රශ්න කරනව. මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නෙත් ඒකයි. පලවෙනි වතාවට මට හිතුන ගීත්නා එක්ක සම්බන්ධයක් පටන් ගන්න මම හදිස්සි උනා වැඩියි කියල. ඒත් කෙල්ලක් කුශ් අයියෙ.. ඩියාශි ඊයෙ කියපු හැටි මට මතකයි.
ඉන්න ටිකේ සතුටින් ඉන්න හිතුන.. මොකද්ද ඊයෙ ඩියාශි කිව්ව ඒ කතාවෙ තේරුම. ඒ කියන්නෙ එයා මගෙන් ඈත් වෙනව කියන එකද ලංකාවට ගියාට පස්සෙ. නෑ නෑ මම එහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ.
මොහොතකින් එයාටත් ඇහැරුනා..
ගුඩ් මෝනිං මැඩම්..
ගුඩ් මෝනිං.. මම මැඩම් කෙනෙක් නෙවේ.. නිකම්ම ඩියාශි විතරයි..
තියෙන නපුරුකම මේ කෙල්ලගෙ..
ඉතින් ඇත්තනෙ කිව්වෙ.. බඩගිනිද කුශ් අයියෙ? ඉන්න මම ඉක්මනට තේ හදන්නම්.. එයා හැදුවෙ ඇඳෙන් නැගිටින්න.
කොහෙද යන්නෙ.. ඔහොම ඉන්න.. ඔයා මගේ සේවිකාවද ඔක්කොම කරල දෙන්න.. ආහ්..?
ආ දැන් ඔයාට තේ එපා ද..? කවුද පහුගිය ටිකේ මැරෙන්න හැදුවෙ කිරි එක නැත්තම් නැගිටින්න බෑ කියලා?
ඒ පහුගිය දවස් වලනෙ.. අද එපා.. මම කිව්වෙ එයාට හෙලවෙන්න වත් නොදී.
ඒ මොකෝ..
මට ඕන වෙන දෙයක්.. මම කිව්වෙ ඒ ඇස් දිහාම බලන්.. ඒ මූණ ලැජ්ජාවෙන් රතු උනා.. එයා මොහොතක් මගේ දිහා බලන් ඉඳල දෙනෙත් පියාගත්තෙ මට ඉඩ දෙන්න වගේ… සුන්දර වූත් අනුරාගී වූත් හෝරාවක් ගෙවිල ගියේ ඈ තවත් වරක් මගේම කරමින්.
සතියක් ගත වෙන්න ඇති. මගේ ලඟට වෙලා සොඳුරු පතිනියකගෙ යුතුකම් හැම එකක්ම අකුරක් නෑර ඉටු කරමින් එයා මගේ ලඟ හිටිය. දෙවියන් ඉදිරියේ මගේ බිරිඳ වෙච්ච ඇයව නීතියෙනුත් මගේම කරගන්න මට තිබ්බෙ නොඉවසිල්ලක්.
අපි ඉක්මනට බඳිමු ඩියාශි.. හැමදාම වගේ මම කිව්වෙ නිදි යහනෙදි .. මේ වෙනකොට මම එයාට ගතවෙච්ච දවසක් දවසක් ගානෙ කිහිප සැරයක්ම මේ කතාව එයාට කියල ඇති. ඇවිටිලි කරල ඇති.
හ්ම්ම්.. බලමුකො.. ඒ හැම වෙලාවකම වගේ එයා මට දුන්න උත්තරේ
ඇයි බලමු කියන්නෙ? මම ඇහුවෙ තරහෙන්. වෙන කපල් වල බඳිමු කිව්වාම කොල්ලා තමයි පස්ස ගහන්නෙ. ඒකට මෙයා. සමහරවෙලාවට මේ කෙල්ලව මුලු ජීවිත කාලෙම ගියත් මට තේරුම් ගන්න බැරි වෙයි. මට හිතුන. මම නොදන්න මොනවමහරි දෙයක් එයා හංගගෙන ඉන්නව කියල මට හිතුන. කොච්චර ආදරේ උනත් මේ කෙල්ලව තේරුම් ගන්නෙ කොහොමද මන්.. මගේ විතරක්ම උනත් ඒ හිත තාමත් මං ඉස්සරහ විවෘත නැහැ.
ඩියාශි.. තව මොනවද මගෙන් හංගන්න තියෙන්නේ ? කෙලින්ම කියන්න මට. ඔයා මාව මැරි කරන්න කැමති නැද්ද?
එහෙම එකක් නෑ.
එහෙනම් තාත්ති අකමැති වෙයිද කියල හිතෙනවද?
නෑ දෙවියනේ නෑ.
එහෙනම් මොකද හැම වෙලේම බලමු බලමු කියන්නෙ?
කුශ් අයියෙ. අපි මෙහෙ ආවෙ මොකටද කියල මතකද? අපි ඉස්සෙල්ල ඒ ප්‍රශ්නෙ විසඳගෙන ඉමු. එයා කිව්වෙ අන්තිම තීරණේ විදිහට. ආයෙත් ඒ ගැන කතා කරන්න එපා කියල නොකියා කිව්ව වගේ කියල මට හිතුන.
හරි මම ආයෙත් මේ ගැන ඔයාගෙන් අහන්නෙ නෑ.. ඒත් සමහරවිට ඔයාට පස්සෙ හිතෙයි දෙපැත්තට වෙලා අපි තව කාලයක් නාස්ති කරා කියල රෝස. මට ඔයාව ඕන වෙන කවරදාටත් වඩා. මම කිව්වෙ හැඟීම්බරව. මගේ ජීවිතේ කවදාවත් මම එච්චර හැඟීම්බර වෙලා නෑ කියල මට විශ්වාසයි.
මට සමාවෙන්න කුශ් අයියෙ. එයා කිව්වෙ මට තුරුල් වෙන ගමන්. අපි අද දවසෙ විතරක් ජීවත් වෙමු. සුන්දර සබැඳියාවකට ආරාධනයක් ඒ හැම ඉරියව්වකම තිබුන. මමත් එයාට තුරුල් උනේ මොහොතකට අපේ ප්‍රශ්න හැමදෙයක්ම අමතක කරමින්.
අපිට ආපහු ලංකාවට යන්න ටිකට් හදාගන්න තවත් සතියක් විතර ගත උනා. ඒ ගත උනු කාලය මගේ ජීවිතේ සුන්දරම කාලයක් විදිහට හැමදාම මතකයේ රැඳිල තියෙයි. ලංකාවට යන්න තව පරක්කු වෙනව නම් හොඳයි කියල දවස ගානෙ මට හිතුන තරම්. මොකක් හරි අසුබ දෙයක් වෙයි කියල මගේ හිත නිතරම කිව්ව. ඩියාශි ගෙ අසාමාන්‍ය හැසිරීම හින්ද තමයි වැඩියත්ම.
ඔක්කොම හරි කුශ් අයියෙ. අපිට අනිද්දාට ආපහු යන්න පුලුවන්.. කෝ ඔයාගෙ පාස්පෝට් එක කොහෙද තිබ්බෙ? ආපහු යන්න හැමදේම සූදානම් කලෙත් එයාමයි.
මට නම් ආස තව ටික දවසක් මෙහෙ ඉන්න. මම කිව්ව.
ඒ මොකද. එයා ඇහුවෙ අපේ අවශ්‍ය ලියකියවිලි සූදානම් කරමින්.
මට ඔයත් එක්ක තව කල් ඉන්න ආසයි ඩියාශි. ඒ ප්‍රශ්න ගොඩට යනවට වඩා. මෙහෙදි අපිට අපි විතරනෙ. අනිත් එක මට ඔයත් එක්ක ඉන්න තිබ්බ කාලය මගඇරුන ගොඩක්. තව ඉස්සරහට එක තප්පරයක් වත් නැති කරගන්න මම කැමති නෑ. මම කීවෙ අවංකවම.
එයා ඇඳුම් අසුරන එක නවත්තල මගේ ලඟට ආව. මේ බලන්න කුශ් අයියෙ. එයා කිවේ මගේ මූණ ඒ දෝතින් අරගෙන. ඒ දෑත් වල තිබුනෙ ආදරණීය උණුසුමක්. ඒ ඇස් වල තිබුනු බැල්ම මාව නොසන්සුන් කලා. මේ සුන්දර යුවතිය මගේම නේද කියන හැඟීම විතරයි මට දැනුනෙ. මම එයාගෙ දෑතින් යලිත් අල්ලගත්තෙ ඒ හැඟීමෙන්මයි.
අපිට ඉස්සරහට තව ගොඩක් කල් ඉතුරු වෙයි කුශ් අයියෙ. දැනට අපි මේ ප්‍රශ්නෙ විසඳගෙන ඉමු. එයා කිව්වෙ මගේ දෑතින් ඒ සුරත මුදවගෙන.
හ්ම්ම්……. මම සුසුමක් හෙලුව. තව කොච්චර කීවත් එයා එයාගෙ තීරණේ වෙනස් කරන්නෙ නෑ.
අහන්නකො කුශ් අයියෙ.. මායි ඔයයි එකට නෙවේ එයාපෝට් යන්නෙ.. ඔයා තනියම යන්න. මම වෙනම එන්නම්.
ඇයි ඒ?? අපි ආවෙත් එකට. යන්නෙත් එහෙමයි මට බෑ ඔයා නැතුව තනියම යන්න.
ඔයාගෙම පරිස්සමට මම එහෙම කරන්නෙ. කිව්වම අහන්නකො ඉතින්.
බෑ.. මාව කොන්ද පණ නැති පිරිමියෙක් ගානට දාන්න එපා රෝස. මම කොල්ලෙක් .. ඔයා මාව පරිස්සම් කරන්න එපා. මම කියාගෙන ගියේ තරහට. එයා හැමදේම දැනගෙන මාව අඳුරෙ තියන එක මට ඇති කලේ තරහක්. අපේ ගෙදර මිනිස්සු ත් මුලින් කලේ කිසිම දෙයක් නොකියා මාව පරිස්සම් කරන්න හඩ්ගන එක. දැන් ඩියාශි.
එයා මොහොතක් නිහඬව හිටියෙ ඊලඟට කියන්න ඕන මොනවද කියල හිතාගන්න බැරුව වගේ. මොහොතකට පස්සෙ එයා ආයෙ හඬ අවදි කලේ හෙමින්.
අපේ තාත්ති දැනගෙන මම ෆ්‍රාන්ස් වල ඉන්නෙ කියල.
ඒ කොහොමද? මම ඇහුවෙ කලබලෙන්.
මේ රටේ අස්සක් මුල්ලක් නෑර ඉන්නෙ තාත්ති අඳුනන අය කියල අමතක කරන්න එපා කුශ් අයියෙ
හරි ඒත් එයා දන්නව කියන්නෙ මම නෙවේ පරිස්සම් වෙන්න ඕන ඔයානෙ. අනිත් එක ඔයා මොකටද මාව ඔය හැටි පරිස්සම් කරන්නෙ? මගේ කටහඬේ තිබුනෙ නොඉවසිල්ලක්.
මොකද මම ඔයාට මගේ පණටත් වඩා ආදරේ නිසා. ඔයාට මොනාහරි උනොත් මට ඉඳලා වැඩක් නැති නිසා. එයා කියාගෙන ගියේ අඬ අඬ ලොකු ආවේගයකින්.
මම එකපාරටම එයාව වැලඳගත්ත.
සමාවෙන්න රෝස. මම හෙමිහිට කිව්ව.
මට බයයි කුශ් අයියෙ. මට බයයි ඔයාට මොනවහරි වෙයි කියල.
ශ්..ශ්.. ඔක්කොම හරි.. ඔයා කියනව නම් අපි දෙන්න වෙන වෙනම යමුකො. හරි නෙ.
හ්ම්ම්ම්…
මට මෙහෙම බය වෙලා ජීවත් වෙන එක ඇති වෙලා තියෙන්නේ .. මට හිතුනත් එයාට මම ඒක කියන්න ගියෙ නෑ.. සීයගේ අසාමන්‍ය ධනස්කන්ධය මටදැනුනෙ මහා කරදරයක් තරමට.
නියමිත දවසෙ මම ගුවන් තොටුපලට යන්න සූදානම් උනා.
මම ටැක්සි එකකට එන්න කිව්ව කුශ් අයියෙ. ඩියාශි ඇවිල්ල මට කිව්ව. එයා මොනම විදිහකින් වත් මාත් එක්ක යන්න ලෑස්ති කියල මට පෙනුනෙ නෑ.
ඩියාශි. ඔයා ඇත්තටම මා එක්ක යන්න එනව නේද?
මම හරියටම පැය බාගෙකට පස්සෙ පිටත් වෙන්නම්. ඩියාශි කිව්ව. මගේ දිහා නොබල ඉන්න එයා පරිස්සම් උනාද කියල මට හිතුන.
අන්න කුශ් අයියෙ ටැක්සි එක ආව. පරිස්සමින් යන්න හරි ද.
ඔයත් පරිස්සමින් එන්න. ඉක්මනට.
මම ගුවන් තොටුපලට ආව. පිටත අංගනයෙ රැඳිල හිටියෙ ඩියාශි එනකම් ඉන්න ඕන උන නිසා.
ෆ්ලයිට් එකට වෙලාව ටික ටික ලං වෙද්දිත් ඩියාශි තාම නෑ. මගේ හිත ටික ටික නොසන්සුන් උනේ මටත් නොදැනීම. එයාට කරදරයක් ද? මගීන් ට කෙරෙන අවසාන නිවේදනයත් නිකුත් උනා. එයා තාම නෑ. මම සූදානම් උනේ ආපහු යන්න. එයාට මොකද උනේ කියල බලන්න.
එවෙලෙම මගේ දුරකතනයට පණිවිඩයක් ලැබුන.
කුශ් අයියෙ . මම ෆ්ලයිට් එකට නැග්ග.. ඔයා කොහෙද ..
මොනව. මට නොපෙනී එයා ගියේ කොහොමද.. මමත් ගුවන් යානයට නගින්න යුහුසුලු උනා.
මගේ ආසනයෙ ඉඳගන්නෙවත් නැතුව මම බැලුවෙ එයා කොතනද ඉන්නෙ කියල. මොකද මගේ ලඟම අසුනෙ වෙන කෙනෙක් හිටිය. සමහරවිට එක ලග සීට් වෙන් කරගන්න බැරි වෙන්න ඇති කියල මම හැමතැනම බැලුව. ඒත් එයා කොහෙවත් නෑ.
ගුවන් යානය පිටත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මට ලැබුනෙ තවත් දුරකතන පණිවිඩයක්.
සමාවෙන්න කුශ් අයියෙ. බොරු කියල ඔයාව යවන්න උනාට. මෙහෙම කරන්න වෙන්නෙ අපි දෙන්නගෙම ආරක්ශාවට. ඊටත් තව කෙල්ලෙක්ට වැරද්දක් කරන්න මම කැමති නෑ. ඔයා ගීත්නා එක්ක සතුටින් ඉන්න. රවීන් අයියා ඔයාව ගන්න එයි. අනිවාර්යයෙන්ම සීය දීපු එඩ්‍රස් එක හොයාගන්න. මම ආදරෙයි ගොඩක්. ආපහු ෆ්‍රාන්ස් වල මාව හොයන්න එපා..