මම දෑස් විවර කලේ හිරු රශ්මිය ඇස් වලට දැනිච්ච නිසා. ජනේලෙන් පෙරී ආ හිරු රැස් කෙලින්ම වැදුනෙ මුහුණට. සිරුරට දැනුනෙ කෙඩෙත්තු බවක්. ඔලුව පුපුරන්න වගේ රිදෙනව.

නුහුරු යහනක්..

මොනවා. කොහෙද මම මේ ඉන්නෙ. ප්‍රියානිලගෙ ගෙදර. එයා මට පිටුපාල නිදි. ශිහ්.. බඳිනකම් ඉවසන්න බැරි උනානෙ. කෙල්ලට මොනවද මං කියන්නෙ දැන්.

එතකොටම කෙල්ල නිදිමතේම මගේ පැත්තට හැරුණා. එයාව දැකලා මම ගැස්සුනේ පෙර කවදාවත් නොවිච්ච තරමට.

මොකා මේ කවුද? විජිනි. මෙයා මොකද මෙතන කරන්නෙ?

මේ ඕයි තමුසෙ මොකද මෙහෙ කරන්නෙ? නැගිටිනවා.

අහ්.. රොඩ්‍රික්.. ඔයා නැගිට්ටද? ගුඩ් මෝනිං.

ගුඩ් මෝනිං නෙවේ. තමුසෙ මොකද්ද ප්‍රියානිගෙ ගෙදර කරන්නෙ.

ප්‍රියානිගෙ ගෙදර නෙවේ මේ මගේ ගෙදර.. එයා ඉවසිල්ලේ නැවතිල්ලේ කිව්වෙ මගේ මූණ දිහාම බලාගෙන.

එතකොටම වගේ කලින් දා රාත්‍රිය මනසේ ඇඳෙන්න ගත්තෙ සිතුවම් පෙලක් වගේ. මටම විශ්වාසයක් නෑ මට මතක් වෙන ඒවා ඇත්තද කියලවත්.

අහ්.. මගේ ඔලුව.. කරකැවෙනවා වගේ. දැන් නම් මට විජිනිගෙ මූණ දැක්කමත් හිතට එන්නෙ තරහවක්.

මොකද ඔලුව රිදෙනවද? දෙහි එකක් බිව්වම හරියයි.

මම එයා දිහා බැලුවෙ සැකෙන්..

තමුසෙ ඊයෙ කෝපි එකට මොනවහරි දැම්මා නේහ්?

ඔව්.. ටෙකීලා ටිකක් දැම්ම සීතල යන්න කියලා.

උඹ වල් ගෑනි. ඇයි මෙහෙම කලේ? මම ඒකිගෙ කොණ්ඩෙන් ඇදල ගත්තෙ තරහව මටම පාලනය කරගන්න බැරි තැන.

ඌහ්.. රොඩ්‍රික් අතාරින්න. මට රිදෙනව.

කියපං.. උඹ ඇයි එහෙම කලේ..?

මොකද්ද මම කලේ?

ගෙදර අම්මා ඉන්නව කියලා උඹ මාව රවට්ටගෙන. …

හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න. දැන් ඔයා කියන්නේ ඊයෙ වෙච්ච දේවල් උනේ මට ඕනවට විතරයි කියලද? එනිවේ ඒකට කමක් නෑ. අපි එන්ජෝයි කලානෙ. ඒකි කිසිම ගානක් නැතුව කිව්වා.

කියපන්.. උඹ ඇයි එහෙම කලේ? අපි ගැන දැනගෙනත් උඹ ඇයි එහෙම කලේ.. මම ඒකිගෙ ගෙල හිර කරේ මටම මාව පාලනය නොවුනු තැන.

රොඩ්‍රික් අතාරින්න මට හුස්ම ගන්න බෑ..

තෝ මැරිලා පලයං.. උඹ කොහෙන් පාත් උනාද අපේ ජීවිත වලට.

දෙවියනේ මම කොහොමද දැන් ප්‍රියාට මූණ දෙන්නෙ. ඒ කෙල්ල මැරෙයි මේව දැනගත්තොත්. මගේ වැරැද්ද. වැස්සෙම ගෙදර ගියා නම් මේ මුකුත් වෙන්නෑ.

උඹ හිතනව නම් මේ වෙච්ච දේ හින්දා මම උඹව කසාද බඳී කියලා උඹට වැරදිලා.

මට ලක්ශයක් ඕන. ඒකි කිව්වෙ කිසිම ගානක් නැතුව..

ඒ කාලේ හැටියට ලක්ශයක් කියන්නෙ සෑහෙන්න විශාල මුදලක්. සල්ලි නිසා තමන්ගෙ ආත්මය පාවල දෙන ගැහැණියක්. මම බලන් හිටියෙ විශ්වාස කරගන්නත් බැරුව.

ඔයාට මගෙන් කරදරයක් නැතුව ප්‍රියානිව බඳින්න ඕන නම් මට ලක්ශයක් දෙන්න වෙනවා.

තමුසේ ඒ කියන්නේ මේ සේරම කලේ ප්ලෑන් කරලා? මම අහද්දි එයා හිනා උනා.

ඔව්.. මම ඔයාව ෆලෝ කරා දවස් ගානක්. ඊයෙ වැස්ස එක හොඳට ගියා. ඒකි කිව්වේ කිසිම ලැජ්ජාවක් නැතුව.

දැන් වෙච්ච දේවල් හරිගස්සන්න බැහැ. මම තීරණය කලා ඒ වල් ගෑනිට සල්ලි දීල ඒ ප්‍රශ්නෙ ඉවර කරන්න.

හරි මම තමුසෙට සල්ලි දෙන්නම්. මොකද මගේ අතෙත් වැරැද්ද කියල මම දන්න නිසා. හැබැයි ආයෙ කවදාවත් තමුසෙ මගේ ඉස්සරහට එන්න එපා. අන්න එහෙම උනොත් තමුසෙට බලාගන්න පුලුවන් මේ රොඩ්‍රික් අතුරලිය කියන්නෙ කවුද කියලා. මම ඒ ටික විතරක් කියලා ඒ ගෙදරින් ආව.

ප්‍රශ්නෙ එතනින් ඉවර උනා කියල මම හිතුවෙ. ඒ අමිහිරි මතකය හිත ඇතුලෙම වලලල දාල මම වෙඩින් එකට ලෑස්ති උනා. එදායින් පස්සෙ විජිනිව මට මුණගැහුනෙත් නෑ. සල්ලි කාර පිරිමින්ගෙන් කප්පම් ගන්න එක ඒ ගෑනිගෙ පුරුද්ද වෙන්නැති. එයා ආයෙ මාව හොයාගෙන ආවෙත් නෑ.

තාත්තාගෙ බිස්නස් සේරම මට භාරදුන්න නිසා මමත් ගොඩක් කාර්‍යබහුල වෙලා හිටියෙ.

සර්.. සර්ව හම්බවෙන්න කවුද ලේඩි කෙනෙක් ඇවිත් ඉන්නව. එහෙම කියාගෙන ආවෙ මගේ ලේකම්වරිය.

හරි.. එවන්න ඇතුලට.

විජිනි තමුසෙ?

රොඩ්‍රික්..

මට එයාව දැක්කම හොඳටම තරහ ගියා.

උඹ මොකටද ආයෙ මෙහෙ ආවෙ?

අහන්න මම කියන දේ..

මට තමුසෙ කියන කිසි දෙයක් අහන්න ඕන නෑ. උඹට මම ආයෙ සතයක් වත් දෙන්නෙ නෑ. වහාම මෙතනින් පලයං. නැත්තම් උඹත් ගෑනියෙක් කියන එක මම අමතක කරනවා. මම කෑගැහුව.

රොඩ්‍රික් මම මම…

පලයං කිව්වම.. උඹලා වගේ ගෑනු.. සල්ලි වලට ඕන දෙයක් කරන. ශික්.. මගේ අනුකම්පාවෙන් ප්‍රයෝජන අරගෙන තව..

රොඩ්‍රික් මම ප්‍රෙග්නන්ට් !!

ඒ වචන මට ඇහුනේ කණ ලඟ අකුණක් පුපුරනව වගේ තදින්

මොකක්.. මම ඒකිගෙ දිහා බැලුවෙ විශ්වාස කරගන්නත් බැරුව.

උඹ ආයෙ මට බොරුවක් කියලා සල්ලි ගන්න නේද ආවෙ?

නැහැ දෙවියනේ නැහැ.

උඹ අවලම් බැල්ලී.. මට තව වචනයක් වත් කියන්න එපා. උඹ උවමනාවෙන් මේ දේ කරගත්තෙ.. මම හිටියෙ ඉවසීම කියන දේ නැත්තටම නැති වෙලා. ඔය ලමයා උඹ හදාගත්ත නම් උඹ නැති කරගනින්. තෝ වගේ අවලම් බැල්ලියෙක්ගෙන් ලමයෙක් හදාගන්න මට පිස්සු කියලා හිතුවද? උඹ දන්නවද මම කවුද කියල

රොඩ්‍රික් මම කියන දේ අහන්න ටිකක්..

පුතා.. මොකද්ද මෙතන වෙන්නෙ? කවුද මේ ගෑනු ලමයා? අපි දෙන්නම ගැස්සිලා බැලුව. දෙවියනේ අප්පච්චි..!! අප්පච්චිගෙ මූණෙ තිබිච්ච පෙනුමෙන්ම එයා ඔක්කොම අහගෙන හිටපු වග මට තේරුණා.

ඔය ගෑනු ලමයා ටිකක් මේ කාමරෙන් එලියට යන්න. එලියෙ ලොබි එකෙන් වාඩි වෙලා ඉන්න. තමුන් දන්නවනෙ මම කවුද කියලා. ඒ නිසා එක වචනයක් නොකියා එලියට යන්න.

රොඩ්‍රික් තමුසෙට පිස්සුද මිනිහෝ.. උඹ අතින් මෙහෙම දෙයක් උනේ කොහොමද?

අප්පච්චී මම දන්නෙ නැහැ. ඒ ගෑනි මාව රැවැට්ටුවා.

වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ. මම වෙච්ච සිද්ධිය ම කිව්වා. අප්පච්චී මොන වගේ තීරණයක් ගනී ද?? ඒත් අප්පච්චි කිව්වෙ මම හීනෙන් වත් නොහිතපු දෙයක්.

හහ්.. අර තක්කඩියා මගෙන් සල්ලි ගන්න උගේ එකම දුවව ඇමට තිබ්බා එහෙනම්..

මොකක්? කවුද? මට කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.

පුතා ඔයා දන්නෙ නෑ. ඔය කෙල්ලගෙ තාත්තා අපේ තේ ෆැක්ටරියෙ මැනේජර් වෙලා හිටිය. ඌ අපේ සල්ලි ලක්ශ ගානක් හොරකම් කලා. ෆැක්ටරිය දිගටම පාඩු පිට පාඩු ලබද්දි මම ඒ ගැන හොයල බැලුව. මිනිහා වැරදිකාරයා කියල ඔප්පු උනාට පස්සෙ මම මිනිහව අස් කරලා දැම්ම. ඒ වන්දි මොනවත් නොදී. ඌ අපේ සල්ලි ගසාකාල මම තව වන්දිත් දෙන්නෙ මොකටද? ඌ වාසනාවන්තයි මොකද පව් කියලා මම ඌට නඩුවක් දැම්මෙ නැහැ. ඌ හිරේ ගියොත් ගෑනියි ලමයයි අනාථ වෙන හින්දා. ඊටපස්සෙ තමයි උන් ගෙවල් ඇරලා ගියේ. මට ආරංචි උනා මිනිහා බිස්නස් එකක් පටන් ගත්ත කියල. ඊටපස්සෙ මම උන් ගැන හොයල බැලුවෙ නෑ. දැන් මගෙන් පලිගන්න ඌ උගේ කෙල්ලව ඇමට අරගෙන. අමන බල්ලා. එව්ව කොහෙද මාත් එක්ක. ඌ දන්නෙ නෑ මම් කවුද කියලා. අප්පච්චි කිව්වෙ ගොඩක් තරහෙන්.

තාත්තේ ඒත්..

ඔයා කලබල නොවී ඉන්න. මම ඒක බලාගන්නම්. අප්පච්චි එහෙම කියලා එලියට ගියා. මට අර ගෑනිගෙ මූණවත් බලන්න උවමනාවක් තිබ්බෙ නෑ. අප්පච්චි එයාට මොනවාකිව්වද කියල මම දන්නෙ නෑ.

රොඩ්‍රික් ඒ ප්‍රශ්නෙ ඉවරයි. ඒක දන්නෙ පුතයි මායි විතරයි. අම්මට වත් ප්‍රියානිට වත් ඒ ගැන දැනගන්න තියන්න එපා.

අප්පච්චි ඒත්..

ඒ ගෑනි වත් ඒකිගෙ අම්ම අප්ප වත් ආයෙ අපිට කරදර කරන්න එන්නෙ නෑ. අප්පච්චි කිව්වෙ ස්ථිර හඬකින්.

ඊටපස්සෙ අපිට ඔවුන් ගැන අහන්න ලැබුනෙ නෑ. අප්පච්චි කිව්ව විදිහට මට හිතුනෙ ඒ පවුල මරල දාල කියලයි. අප්පච්චිට ඒ කාලෙ තිබුනු තත්වෙ හැටියට එහෙම දෙයක් වත් කරන්න බැරි නෑ.

අපි විවාහ උනා. අපිට ලැබුනෙ එක දරුවයි. ඒ ශ්‍රීනාත්. ඔහු ලැබෙනකොට ප්‍රියානි ගොඩක් දුර්වල වෙච්ච නිසා අපිට තව දරුවෙක්ගැන හිතන්න එපා කියල වෛද්‍යවරු අවවාද කරා. මගේ අත්වැරැද්දෙන් මේ ලෝකෙට එන්න හිටපු දරුවා මට සිහි උනේ ඉබේටම. ලෝකෙන් බේරුනත් හර්ද සාක්ශියෙන් ගැලවෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ වැරැද්ද හදන්න බැරි උනත් මම හිතුවා තව දරුවෙක්ගෙ ලෝකය ලස්සන කරල දෙන්න. ප්‍රියානි උනත් මගේ අදහසට අකමැති උනේ නැහැ. ඈ කොහොමත් දරුවන්ට කැමතියි.

ගොඩක් හොඳ අදහසක් රොඩ්‍රික්. මම කැමතියි. මට ආඩම්බරයි ඇත්තටම ඔයා ගැන. ප්‍රියා කිව්වෙ එහෙම.

මගේ ඇත්තම සිතිවිලි දන්නව නම් ඈ මොනවා කියාවිද?

සේනක අපි අතරට ආවෙ එහෙමයි. එතකොට අපි ප්‍රංශයේ පදිංචියට ඇවිල්ල හිටපු හින්ද ඒ දරුවා අපේ නොවන වග කවුරුත් දැනගෙන හිටියෙ නැහැ.

කාලය ගත උනා. ධනය බලය ඔක්කොම එක්ක අපේ ජීවිත ගෙවුනා. ප්‍රංශ තානාපතිධූරය ලැබුනෙ ඒ අතරෙ. කලාගාරය ආරම්භ කලේ ගොඩක් කල් තිස්සෙ හිතේ තිබුනු ආශාවක් නිසා. ඒ අතීතය ආයෙ මගේ ජීවිතේට බලපෑම් කරන්න එන්නෙ නැති වග පැහැදිලි වෙද්දි මම උනත් සැහැල්ලුවෙන් හිටියෙ. කොටින්ම මට ඒ අවාසනාවන්ත සිදුවීම අමතක ම වෙලා ගියා.

අපේ දරුවො ටික ටික ලොකු උනා. ශ්‍රීනාත් වෙනස් දරුවෙක්.

තාත්තෙ මට ඉගෙන ගන්න ඕන ලංකාවෙ. ශ්‍රීනාත් කියද්දි අපි ඒකට එකග උනා. ඉගෙන ගෙන එහෙදිම හමුවෙච්ච යුවතියක් එක්ක එයා විවාහ උනේ අපේ ආශිර්වාදය ඇතුව.

සේනක ප්‍රංශ යුවතියක් එක්ක විවාහ උනා. ඒක ඔහුගෙ කැමැත්ත. කුශින්ත් වගේම ඩියාශි අපේ ජීවිත වලට ආවෙ ඒ අතරෙ.

ප්‍රියානි අපෙන් සමුගත්තෙ අහිමි වීම කියන්නෙ හැමදෙනාටම උරුම දෙයක් කියල ඔප්පු කරලා.

රොඩ්‍රික් මම ගොඩක් වාසනාවන්තයි ඔයාගේ වයිෆ් වෙන්න ලැබිච්ච එක ගැන.

එහෙම කියන්න එපා ප්‍රියා.. මමයි වාසනාවන්ත.

ඔයත් එක්ක ගත කරපු හැම දවසක්ම ගෙවුනෙ සතුටින්. ලබන ආත්මෙත් මගේ වෙන්න. ඒ ඇය මට අන්තිමට කියපු වචන ටික.

ඇගේ අහිමිවීමෙන් දැනුනු තනිකම නැතිකලේ මගේ මුනුපුරයි මිනිපිරී. සේනකගෙත් ශ්‍රීනාත්ගෙත් දරුවො දෙන්නා මගේ තුරුලෙමයි. ඒ වගේම ඔවුන් දෙන්න අතරෙ තිබ්බෙත් ලොකු බැඳීමක්. හරියට සංසාරයේ පුරුද්දක් වගේ. එක්කෙනෙක් නැතුව අනිත් එක්කෙනා කන්නෙ බොන්නෙත් නෑ. අපි හැමෝම ඒ බැඳීම දිහා බලන් හිටියෙ සතුටින්.

අපේ ජීවිත වලට කණ කොකා හඬන්න පටන් ගත්තෙ අපි හිතුවෙවත් නැති විදිහට. නොදන්නා හතුරෙක්ගෙ සේයාවක් දැනෙද්දි මට හිතාගන්න බැරි උනා මොකද මම කරන්නෙ කියල. ඒ නොදන්න පුද්ගලයා හොයාගන්න මම නොකරපු දෙයක් නෑ.

ඒත් එක දවසක්..

එදා මම කෞතුකාගාර වැඩ වල නිරත වෙලා කාර්‍යාලයෙ හිටියෙ.

සිඤ්ඤෝරෙ රොඩ්‍රික් .. ඔබතුමා හම්බවෙන්න මහත්මයෙක් ඇවිත් ඉන්නව. මට ඇවිත් කිව්වෙ පෙස්කා. මගේ විශ්වාසවන්තම සේවකයා.

කවුද පෙස්කා?

දැක නම් නෑ. පෙනුම නම් ඔබතුමා වගේමයි. බාග වෙලාවට ඔබේ නෑදෑයකු වෙන්න ඇති සිඤෝරෙ.

එන්න කියන්න බලන්න.

විවර වූ දොරෙන් ඇතුල් වූ පුද්ගලයා දුටුවාම මගේ හුස්ම නතර උන තරම්. මම හිඳ සිටි අසුනෙන් නැගිටුනේ ඉබේටම.

මිස්ට රොඩ්‍රික් අතුරලිය.. විජිනි කියලා කෙනෙක් ව අඳුරනවද?


ආපු පුද්ගලයා කවුද කියලා මට අනුමාන කරගන්න පුලුවන් උනා.

මිස්ට රොඩ්‍රික් අතුරලිය විජිනි කියලා කෙනෙක් ව අඳුනනවද?

මම නිහඬවම හිටියේ කියන්න දෙයක් හිතාගන්න බැරුව. මම හිටියෙ ඇත්තටම ව්‍යාකූල වෙලා. මෙහෙම දෙයක් මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නැති හින්ද. විජිනිගේ කිසිවෙක් මාව හොයාගෙන ප්‍රංශයටම එන්න තරම්!!! ඊටත් ඔහුගෙ පෙනුම.

ඔහු ඇවිල්ලා අමුත්තන්ට වෙන් කරලා තිබුනු පුටුවකින් වාඩි උනේ මම මොනවත් කියන්න ඉස්සෙල්ල.

ඉතින් මිස්ට රොඩ්‍රික් විජිනි කියල කෙනෙක්ව මතක් උනාද?

ඔයා කවුද? ඔහු කවුද කියල හිතාගන්න පුලුවන් උනත් මම ඇහුවෙ සැකහැර දැනගන්න.

මම කවුද කියලා මිස්ට රොඩ්‍රික් ට හිතාගන්න බැරිද? ඔහු ඇහුවෙ මහ අසභ්‍ය විදිහට හිනාවෙලා. හ්ම්ම්ම්.. මට පේන්නෙ එහෙම හිතාගන්න බෑ වගේ. මම තමයි ඔහේගෙ අවජාතක පුතා. ඔහු කිව්වෙ මම දිහා කෙලින්ම බලාගෙන. ඉතින්.. මම කොහොමද ඔබතුමන්ට කතා කරන්න ඕන. තාත්තෙ කියලද? නැත්තම් මිස්ට රොඩ්‍රික් ම කියන්නද?

ඒ වෙලාවෙ ඇත්තටම මම මොහොතකට ගොලු උනා. කොහොමද මම මේව අහගෙන ඉන්නෙ. මොන තරම් බලපුළුවන්කාර කෙනෙක් උනත් මම ගොඩාක් සංවේදී කෙනෙක්. මම හිතන්නෙ ඒක තමයි මගේ ලොකුම දුර්වලකම. අවුරුදු ගානකට කලින් විජිනි ප්‍රයෝජනයට ගත්තු මගේ එකම සහ ලොකුම දුර්වලකම. එදා ඒ මහ වැස්සෙ මම එයා ගැන සලකන්නෙ නැතිව ගියා නම් අද මේ අවස්ථාවට මට මූණ දෙන්න වෙන්නෙ නැතිවෙන්න තිබ්බා. ඒ වෙලාවෙත් මට හිතුනෙ මේ ඉන්නෙත් මගේ දරුවෙක් නේද කියන එක විතරයි.

හ්ම්ම්ම්.. මේක හරිම ලස්සන තැනක් තානාපතිතුමා. ඔහු කිව්වේ කාර්‍යාල කාමරය පුරාවට ම එහි තිබූ පෞරාණික දේවල් සිසාරා නෙත් යවලා.

මට තේරෙනව තානාපතිතුමාට මම ගැන ප්‍රශ්න ගොඩක් ඇති. එහෙම නේද? පලවෙනි ප්‍රශ්නෙ මං හිතන්නෙ බඩේදිම නැතිකරන්න කියලා සල්ලි දීලත් තාම නොමැරී මම ඉන්නෙ කොහොමද කියල වෙන්න ඇති. ඔහු ඇහුවේ මේසය මත තිබූ පළිඟුවක් අතට ගෙන. ඔහු එය ඒ මේ අතට හරවා බලද්දී මගේ නෙත ගැටුනේ ඔහුගේ අතේ මැණික් කටුව ආසන්නයේ කොටා තිබු සලකුණක්. අඩ සඳක හැඩයක් හා කාඩ් කුට්ටමක රුයිත එසේත් නැත්තම් ඩයමන්ඩ් ලෙස හඳුන්වන සංඛේතයෙන් එය නිර්මාණය වී තිබුනා. දුටු විගසම මගේ මතකයේ රැඳුනේ එය ඉතාම සුන්දර නිර්මාණයක් වූ නිසාමයි.

හරි ඔයා කතා කරන්න එපා තානාපතිතුමා. මම ම කතා කරන්නම්. ඔය වචන ඉස්සරහට ඕන වෙයි. තමුන් ලෑස්ති වෙනවා නීතිය ඉස්සරහට යන්න! එතකොට ඔයපොරවගෙන ඉන්න සිංහ හම නිකම්ම ගැලවිලා යයි.

පුතා ඔයා වැරදි වැටහීමක ඉන්නේ . මම කිව්වෙ කතා කරන්න පුලුවන් වෙච්ච ඇසිල්ලේම. මොනව කියන්නද කියල හිතාගන්න බැරුව මම ඇත්තටම හිටියෙ

හහ්. වැරදි වැටහීමක්. මගේ අම්ම තමුන්ට ආදරේ කලා මිනිහෝ. තමුසෙ අම්මව බඳිනව කියල බොරු බලාපොරොත්තු දීල ඒ අහිංසක ගෑනිගෙ හැමදේම අරගෙන බඩට දරුවෙකුත් දීල කොහේවත් ඉන්න ගෑනියෙ බැඳගත්තා. තමුසෙට සාප වෙනවා. මම අවුරුදු ගානක් ඔව් මම මේ දේවල් දැනගත්ත දවසෙ ඉඳන්ම තමුසෙව හෙව්වා. තමුසෙ ලෑස්ති වෙනවා ඒ අහිංසක ජීවිතේ විනාස කරාට වන්දි ගෙවන්න. ලෝකෙට සිල්වතෙක් වගේ ඉන්න රොඩ්‍රික් අතුරලිය.. තමුසෙගෙ ඔක්කොම බලපුළුවන්කාරකම් මෙතනින් ඉවරයි.

දෙයියනේ පුතා ඔයා මොනවද මේ කියන්නෙ. ඔයා හිතන විදිහට නෙවෙයි ඒක උනේ.

එහෙනම් කියනවා.. කොහොමද උනේ. මගේ අම්මා මට කිව්වේ බොරුද? තමුන් කියන්නේ මගේ අම්ම මාව රැවැට්ටුවා කියලද ආහ්?

ඔව්.. ඔව්.. ඔයා හිතන් ඉන්න ඒවා වැරදියි. මම පිලිගන්නවා දරුවා නැති කරන්න කියලා මම කිව්ව තමයි. ඒ වෙලාවේ මම හිටියෙ සිහියෙන් නෙවේ. ඔයාගෙ අම්මා මගේ ජීවිතේට ආවෙ බලෙන්. එයාට ඕන කරල තිබ්බෙ සල්ලි විතරයි. සල්ලි විතරමයි. එයා හැදුවේ ඒ වෙනුවෙන් මගේ ජීවිතේ විනාස කරල දාන්න.. පුතා ඒකයි ඇත්ත. රොඩ්‍රික් මහ හයියෙන් කෑගැහුව.

නෑ නෑ මගේ අම්මා එහෙම කෙනෙක් නෙවේ. එයා එහෙම කරන්නෙ නෑ. ඔයා බොරු කියන්නේ.

මගේ දිහා බලන්න. ඔයාට හිතෙන්නේ මම බොරු කියනවා කියලද? මම අදටත් පසුතැවෙනව දරුවෙක් නැති කරන්න මම කැමති වෙච්ච එක ගැන. කෝ ඔයාගෙ අම්මා? ඇයි එයා නාවේ? එන්න කියන්න එයාට. මගේ ඉස්සරහ තියලා එයාගෙන් අහන්න.

එයා මැරුනා. තරුණයා කිව්වෙ බිඳුනු හඬකින්. අවුරුදු පහකට කලින්. මට අම්මා විතරයි හිටියේ. මට කවුරුත් නෑ දැන්. ඔහු හඬන්නට පටන් ගත්තේ මගේ හදවත ඔහු වෙනුවෙන් සැලෙද්දි. ලෝකයා මොනවා කිව්වත් ඔහු මොන විදියට බිහි උනත් ඒත් ඔහුගේම ලෙයින් මසින් හැදිච්ච දරුවා. ඔහුට පිය සෙනෙහස අහිමි උනේ මම හින්ද කියන එක මට දැඩිව හිතට වද දුන්නා. මම තරුණයාව තදින් වැලඳගත්තේ ඒ හැඟීම තදින් දැනෙද්දි.

මට සමාවෙන්න පුතා. ඔයා ජීවත් වෙන බවක් මම දැනගෙන හිටියේ නෑ.

අප්පච්චි. තරුණයා කිව්ව විදිහට හදවත මොහොතකට නතර උන තරම්. ශ්‍රීනාත් මෙන්ම සේනක මාව ඇමතුවේ තාත්තා නැත්තම් ඩැඩී යනුවෙන්. එබැවින් ආගන්තුක තරුණයාගේ මේ නුහුරු ඇමතුම මාව මොහොතකට කැලඹුවා.

පුතා..

අප්පච්චි මට හැමදේම දැනගන්න ඕන.

ඔයාගෙ නම මොකද්ද පුතා.

විජය.

හ්ම්ම්. පුතා ඔයා විශ්වාස කලත් නැතත් ඇත්ත මේකයි. එයා මගේ ජීවිතේ ට ආවෙ බලෙන් වගේම අහම්බෙන් . අපි කවදාවත් ආදරේ කලේ නෑ. මම අතීතය හෙලිකලා. කිසිම සිදුවීමක් නොවලහා ඔහුට කිව්වා.

දෙයියනේ මෙච්චර වංචාවක්. හැමදේම අහන් ඉඳල ඔහු කිව්වෙ එච්චරයි. අම්ම වෙනුවෙන් මට සමාවෙන්න අප්පච්චි.

දැන් ඒ දේවල් සිද්ද වෙලා ඉවරයි. ඒ ඇස්වල තිබුනෙ පසුතැවීමක. ඔයාගෙ විස්තර කියන්න දරුවො.

අම්මා අමාරුවෙන් මාව හදාගත්තෙ. මාව නැති කරන්න කියලා අප්පච්චිගෙ තාත්තා සල්ලි දුන්නම අම්මා කැමති උනාලු. ඒත් ඒ සල්ලි අරගෙන අම්මා වෙනම ජීවත් උනා මාවත් හදාගෙන. අප්පච්චි කොහෙ ඉන්නවද කියල අම්මා දැනගෙන ඉඳල නෑ. අහම්බෙන් විස්තර දැනගත්තෙ පත්තරේ මේ කලාගාරෙ ගැන ආටිකල් එකක් දැකලා.

විජය මොකද කරන්න? රස්සාවක් කරනවද?

ඔව්.. .. ඔහු රජයේ සමාගමක නමක් මට කිව්වා.

බැඳලා ද?

ඔව්. පුතෙක් ඉන්නවා.

පුතා මට සමාවෙන්න. මම අප්පච්චි කෙනෙක් විදිහට ඔයාට වෙන්න ඕන එක යුතුකමක් වත් කලේ නෑ. ඒත් මෙතන ඉඳන් ඒ හැමදෙයක්ම ඉශ්ඨ වෙයි. හැබැයි එක දෙයක් ඔයාග්මට වෙන්න ඕන. ඒ මේ රහස අපි දෙන්න අතර විතරයි තියෙන්න ඕන. මම කැමති නැහැ මගේ අනිත් දරුවො ඒ දේවල් දැනගන්නවට. මේව ඔය විදිහටම රහසක් උනාවේ.

ඒකට කමක් නෑ අප්පච්චි. ඔහු කියද්දි මට දැනුනෙ සහනයක්.

එවෙලෙ මට මොහොතකට වත් හිතුනෙ නෑ ඔහු කරන්නෙ රඟපෑමක් කියල. මට සතුටක් දැනුනෙ ඔහු මාව විශ්වාස කරපු බව පේන්න තිබ්බ හින්ද.

ඒත් ඒ කියපු හැම වචනයක් ගානෙම යටි අරමුණක් තිබුන බව තේරුම් ගන්න මට අවුරුදු ගානක් ම ගත උනා.

මෙච්චර කාලයක් තිස්සේ ගොඩනගාගත්තු තමන්ගෙ ප්‍රතිරූපය ට හානියක් වෙනවට මම කැමති උනේ නෑ. තමන්ගෙ අම්මව මම රැවැට්ටුව බව ශ්‍රීනාත් හිතන එක මට දරාගන්න බැරි වෙයි. ඒ නිසා ඒක ඒ විදිහටම රහසක්ව තියාගන්න විජය මාත් එක්ක එකඟ උනා. ඔහු කිසිම වෙලාවක මාව මුණගැහෙන්න නැවත කලාගාරයට ආවෙ නෑ. ඔහුට ඕන හැම මුදලක්ම මම ඔහුට යැව්වා.

හැමදෙයක්ම හොඳින් සිද්ධ උනා. මම අවසන් කැමැත්ත ලියල තිබුනෙ දරුවො හැමෝටම සාදාරණ විදියට.

ඒත් ඒ හැමදෙයක්ම වෙනස් උනේ මම නොහිතපු විදිහට. මගේ පවුල වටේ අදිසි බලවේගයක්. නොදන්නා හතුරෙක්. මට හිතාගන්න බැරි උනා ඒ කවුරු වෙන්න ඇතිද කියලා.

තාත්තෙ මට තේරෙන්නෙ නෑ.. මොකද්ද මේ අපේ පවුලට වෙන්න යන්නෙ. ශ්‍රීනාත් ඒ මට කතා කලේ බැරිම තැන.

අදත් වාහනයක් සේයාව හප්පගෙන යන්න හැදුව.

මොනවා.. ඒ කොහෙදිද

ක්ලිනික් එකට ගිහින් එද්දි. අනූනවයෙන් බේරුනේ.. ඒක වැරදීමකින් උනු දෙයක් නෙවේ. කවුරුහරි හිතාමතා අපිව මරන්න හදනව.

ඒ හරියෙ සීසීටීවී චෙක් කරන්න මම කමිශනර්ට කතා කරන්නම්.

ඊට වඩා දෙයක් අපිට කරන්න බැරිද? මගේ දරුවො අනතුරේ.. සේයා හොඳටම බය වෙලා..

සැක කරන්න වත් කෙනෙක් නැතුව මම මොනවද දරුවො කරන්නේ?

මම දන්නෙ නෑ තාත්තෙ. මට බයක් දැනෙනවා. මම දැනුවත්ව මට කිසිම හතුරෙක් නෑ. ඇයි මගේ ගෑනිටයි ලමයින්ටයි කවුරුහරි කරදර කරන්න හදන්නෙ.

මම මේ ගැන හොයන්න හැමදෙයක්ම කරනව පුතා. සේයාටයි කුශින්ත් ටයි ගාඩ් එක වැඩි කරන්න. ඔයාටත්. සේයාට මීටපස්සෙ හොස්පිටල් එකට යන්න ඕන නෑ. මම එයාට ඩොක්ටස්ලා ගෙදරට ගෙන්නන්නම්.

විජය ගැන සැක කරන්න මට කිසිම හේතුවක් තිබුනෙ නෑ.

මට මොහොතකට වත් ඔහුගැන සැක හිතුනෙ නෑ. එකපාරටම ඔහු මාව විශ්වාස කලේ ඇයි කියලවත් මට හිතුනෙ නෑ. ඔහු ඒ වෙලාවෙ කලේ තාත්තෙකුගෙ හැඟීම් වලින් ප්‍රයෝජන ගත්තු එක කියල මට තේරෙනකොට මම ගොඩක් පරක්කුයි.

ඒකට වන්දි ගෙවන්න උනේ මගේ දරුවන්ට. මගේ දරුවා ජීවිතයෙන් සමුගනිද්දි මගේ මුණුපුරාට අම්ම තාත්ත අහිමි වෙද්දි කරකියාගන්න දෙයක් නැතුව මම අසරණ උනා.
එතකොට මට මගෙ මුලු පවුලම නැති වෙලා ඉවරයි. ඒ අවාසනාවන්ත අනතුර වෙද්දි සේයා පස් මස් ගැබිණියක්. ඉතාම අහඹු ලෙස කුශින්ත් බේරුනේ දෛවයේ හාස්කමකින් වගේ.

නොහිතපු විදිහට මගෙ දරුවන්ට අනතුරු සිදු වෙද්දි මට මොහොතකට වත් හිතුනෙ නෑ ඒ දේවල් පිටිපස්සෙ ඉන්නෙ විජය බව.

මම කොච්චර බලවත් කෙනෙක් උනත් මට මගේ දරුවො වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරි උනා. කිසිම සාක්ශියක් ඉතුරු නොවෙන්න ඔවුන් සුක්ශම වෙලා තිබුනා.

මගේ සෞඛ්‍ය තත්වය එන්න එන්න පිරිහෙනවා මට දැනුනා. ප්‍රංශ පොලීසිය අපරාධ විමර්ශන අංශය එක පිටඑක පරීක්ශන දියත් කරා. ඒත් වගකිවයුතු පුද්ගලයා හොයාගන්න ඔවුන්ට කිසිම හෝඩුවාවක් තිබ්බෙ නෑ.

මිස්ට රොඩ්‍රික් සැකකරන්න පුලුවන් කිසිම කෙනෙක් ගැන ඔබතුමන්ට හිතාගන්න බැරිද? ඔවුන් අහද්දි මම දැනගෙන හිටියෙ නෑ මොනවා කියන්නද කියල. ඇතැම් විට මම වගකිව යුත්තා දැනගෙන ත් ඔවුන්ට කිසිවක් නොකියා උන්න වග ඔවුන් හිතන්නට ත් ඇති.

මගේ හිතට ඒ විජය බවට පුංචි සැකයක් ඇති උනේ මට ඔහු හැර වෙනත් අයෙකු සිහි නොවුනු නිසා.

විජය ද? නෑ වෙන්න බෑ.. ඔහු ඉන්නේ ලංකාවෙනේ. ඔහුට මෙච්චර හරියක් කරන්න බෑ. මම හිතාගත්තේ එහෙම…

නමුත් ඒ සිතිවිල්ල වැරදි බව ඔප්පු උනේ වැඩි දවසක් යන්න ඉස්සෙල්ල.

රොඩ්රික් මහත්මයා ඔබව වතාවක් හමුවෙන්න ආ තරුණයා ඔබේ පවුලේ කෙනෙකුද? දිනක් මගෙන් ඇහුවේ අල්මන්සෝ.. මා යටතේ වැඩ කරන අයෙක්. කලාගාරයේ ආරක්ෂාව පිළිබඳව වැඩි වගකීමක් තිබුනේ ඔහුටයි.

කවුරුන් ගැන ද ඔබ ඔය කියන්නේ?

අර දවසක් මෙහාට ආවේ. ඔබ වැනිම පෙනුම. උස මහත.. ඔහු විස්තර කරද්දී මට තේරුම් ගියා මේ කියන්නේ විජය ගැන වග.

ආ… ඔව්… මගේ පවුලේ කෙනෙක් ඒ.. ඇයි ඔබ ඔහු ගැන අහන්නේ?
මම කීප දිනකම ඔහුව මේ කලාගාරය ආසන්නයේ ඉන්නවා දැක්කා. ඒත් ඔබව මුණගැහෙන්න ආ බවක් දැක්කේ නැහැ. මුලින් මම හිතුවේ ඔහු ඔබව හමුවෙන්න අවස්තාවක් ලැබෙන තුරු ඉන්න බවයි. සමහරවිට මම වැරදි ඇති. ඒත් මේ ගැන ඔබ දැනුවත් කිරීම මගේ වගකීම.

මමත් නොදැන විජය තවමත් ප්‍රංශයේ ඉන්නවා කියන කාරණය මගේ හිතට තිගැස්මක් ඇතිකළා. නමුත් මට එය සේවකයා ඉදිරියේ පෙන්වන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ

ඔව්. ඔහු මගේ පවුලේ කෙනෙක්. නමුත් ඔබ කියූ විස්තරයට ස්තුතියි අල්මන්සෝ.

නමුත් අල්මන්සෝ පිටත්ව ගියේ නැහැ. ඔහු මා දිහා බලන් හිටියේ අවිශ්වාසයෙන් වගේ.

අල්මන්සෝ.. මොකද? මොනවාහරි ප්‍රශ්නයක්ද?

මට මෙය ඔබතුමාට කියනවාද නැද්ද කියන එක හිතාගන්න බැහැ.

ඔබ දන්නවා මම ඔබ හැමදෙනාටම සලකන්නේ සේවකයන් ලෙස නොවන බව. මොකක් නමුත් කමක් නැහැ මට කියන්න.

රොඩ්රික් මහත්මයා ආරක්ෂක අංශය කියන්නේ ඉතාම පුළුල ක්ෂේත්‍රයක්. මම එහි පළපුරුදු කෙනෙක්.

ඔව් මම දන්නවා ඔබේ සුදුසුකම් අල්මන්සෝ. මම ඔබ මෙහි සේවයට බඳවාගත්තේ ඒ නිසයි.

ඒ වගේම මට තිබෙන සම්බන්ධතා ගැනත් ඔබතුමා හොඳින් දන්නා බව මම විශ්වාස කරනවා.

අල්මන්සෝ.. වෙනත් කතා වැඩක් නැහැ. ඔබට කීමට ඇති දෙයක් කෙලින්ම කියන්න.

මහත්මයා මේ ප්‍රංශය.. ඔබ දන්නා දේ සේම නොදන්නා දේ ද බොහොමයි. ක්‍රෙසන්ට් ඩයමන්ඩ් සංවිධානය ගැන ඔබ යමක් දන්නවද?

ඒ මොකක්ද?

එය ප්‍රංශයේ ඇති භයානක මිනීමරු සංවිධානයක් මහත්මයා. එහි සාමාජිකයෙකුට යලිත් එයින් ගැලවිය නොහැකි සේම ඔවුන් එවැන්නක් තියෙන බවත් මිත්‍යාවක් ලෙස හැඟෙන අන්දමට ජිවත් වීමට සුක්ෂමයි. ප්‍රංශ බුද්ධි අංශ තවමත් ඒ පිලිබඳ හොයමින් ඉන්නේ. ඔවුන්ගේ මුලස්තානයක් තිබෙන තැනක් වත් කවුරුවත් දන්නේ නැහැ.

අල්මන්සෝ ඔබ මේ තරම් ඒ ගැන විස්තර දන්නේ කොහොමද?

මගේ සහෝදරයා එහි සාමාජිකයෙක් වෙලා හිටියා. ඔහු ඊට කොහොම සම්බනධ උනාද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔහු ට ඔහු කල වරද තේරෙනකොට ආපසු හැරෙන්න බැහැ. ඔවුන් ඔහු මරා දැම්මා.

ඉතින් දැන් ඔය විස්තරය ඔබ මට කියන්නේ ඇයි?

මහත්මයා ඔබට හිතාගන්න බැරිද? ක්‍රෙසන්ට් ඩයමන්ඩ් කියන නම ගැන වත්. අඩ සඳක් සහ දියමන්තියක්. එදා ඔබ හමුවෙන්න ආ තරුණයාගේ අතේ එම සංවිධානයේ ලාංචනය කොටා තියෙනවා මම දැක්කා!!!!!!!!!!!!!!!