රවීන්ටත් මොකද්ද වැඩකට යන්න ඕන කිව්ව හින්ද ස්ටුඩියෝ එක කලින් වහල අපි දෙන්නම ගෙවල් වල ගියා. කොහොමත් මට හිත එක තැනක තියාගෙන වැඩ කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. වෙලාවකට මට හිතෙනව මම මෙච්චර දුර්වල උනේ කොහොමද කියල. කවදාවත් තීරණ ගන්න හිතන්න පසුබට වෙච්ච කෙනෙක් නෙවෙයි මං. එකපාරම ඔලුවට ආපු ප්‍රශ්න ගොඩ හින්ද මම දුර්වල වෙලා කියල මට හිතෙනව.
පුතා මොකද මේ මූණෙ හැටි? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? අම්මා ආවෙ මම සාලෙ සැටියට වෙලා කල්පනා කර කර ඉන්දැද්දි.
නෑ අම්මේ මම හොඳින්
එහෙනම් මොකෝ මේ. එයත් ඇවිත් මම ලඟින් ඉඳගත්ත. මම අම්මගෙ උකුල උඩින් ඔලුව තියාගත්තෙ ඉස්සර ඉඳන්ම පුරුද්දට.
ඔලුව ටිකක් අතගාන්නකෝ. ඔලුව රිදෙනව.
ආ.. නාකි හුරතල්. බොරු ලෙඩ. අම්ම හිනාවෙලා එහෙම කිව්වත් එයා මගේ ඔලුව අතගාන්න පටන් ගත්ත.
මම හැමදාම අයියත් එක්ක රණ්ඩු කරල අම්මගෙ උකුලට එනව. අයිය එතකොට මට බැන බැන තාත්ත ගාවට යනව. ඒ අතීතය කොච්චර සුන්දර ද? ඒව විතරක්ම මට අයිති උනා නම්. මට කියලා වෙනම අතීතයක් තිබ්බෙ නැත්තම් කොච්චර හොඳද කියලා වෙලාවකට මට හිතෙනව.
නරකද දැන් ඔලුව අතගාන්න වෙන කාවහරි හොයාගත්තොත්? අම්මා ඇහුවෙ සනීපෙට මගේ හිසකෙස් අතරින් දෑඟිලි යවමින්.
අනේ යන්න අම්මා යන්න. මම කිව්වෙ ගීත්නා සිහියට නැගෙද්දි. අද රෑට කෝල් එකක් අරන් එයාට කියන්න ඕන. මම හිතාගත්ත. ඊට කලින් අමාරු ටාස්ක් එක තමයි අම්මට කියනෙක.
අම්මා ..
මොකෝ?
මට දෙයක් කියන්න තියෙනව.
ම්ම්ම්ම්..
මොකද්ද මේ අම්මගෙයි පුතාගෙයි හුරතලේ. තාත්තත් ආව ඒ අතරෙ.
මම හුරතල් වෙන්නැතුව මේ ගෙදර තව පොඩි ලමයි නෑනෙ. මම කිව්වා.
ඒක තමයි මාත් කියන්නේ දැන් ඉතින් ඔයාටත් දරුපැටියෙක් ගේන්න කාලෙ හරි කියලා.
හම්මට යකෝ අම්මා හිතලා තියෙන දුර. මම හිතුව.
මොනාද අම්මා ආයෙත් පටන් ගත්තද?
හා හරි හරි ඉතින් ඔයා කියන්න ගිය දේ කියන්නකෝ?
අම්මා ….
ම්ම්ම්ම්…
අම්මා මම තීරණයක් ගත්තා.. මම කිව්වේ හොඳ හුස්මක් අරගෙන ඔන්නොහෙ ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිතාගෙන.
තීරණයක් ගත්තා කිවේ?
මම මගේ අම්මගෙයි තාත්තගෙයි මරණෙට හේතුව හියන් යන්න තීරණය කලා අම්මා.. මන ඇහුවේ අම්මා දිහාම බලාගෙන. මගේ හිස මත තිබ්බ එයාගෙ අත නතර උනා.
පුතු.. අනේ. එයා මට ගොඩාක් ආදරේ හිතිච්ච වෙලාවට තමයි පුතු කියලා කතා කරන්නේ. එයා මගේ අම්මා නොවුණත් මට ඒ ආදරේ අඩුවක් කවදාවත් නොදැනිච්ච තරම්. මම ලේසියෙන් කිව්වාට මොකද එයා දන්නවා මම කිව්ව කාරණේ බරපතලකම. ඒ ඇස් වලින් වැටුණු කඳුලු මගේ නලල මත පතිත උනා. එයා අඬන එක තමයි මට මේ ලෝකෙ ඉවසන්නම බැරි .
අනේ අඬන්න එපා අම්මා .
පුතා හොඳට හිතලද ඔය තීරණේ ගත්තේ. එහෙම ඇහුවෙ තාත්තා
ඔව් තාත්තා..
මම දැනගෙන හිටියා ඔයා ඔය තීරණේ ගන්නව කියල. කොල්ලට හිතේ නිදහසින් මේ ප්‍රශ්නෙ විසඳගන්න ඉඩ දෙමු නෝනා.. තාත්තා කිව්වා
මට බයයි දෙයියනේ.
දරුවා පරිස්සම් වෙන්න දන්නවා.. අවුරුදු ගානක් අපි නැතුව රට හිටියේ ඔයා බොරුවට බය වෙලා
ඒ රට හිටියෙ මේ කිසි ප්‍රශ්නයක් නොදැන. දැන දැන මරු කටට යන්නෙ ඇයි පුතේ?
මට මේ දේවල් ගැන හොයාගන්න ඕන අම්මා.. මාව නවත්තන්න උත්සහ කරන්න එපා ප්ලිස්. මම කිව්වෙ අමාරුවෙන් හිත තද කරගෙන.
දරුවව තේරුම් ගන්න නෝනා. අපි එයාට යන්න දෙමු. තාත්තා කිව්වා.
අනිත් එක මම කවුද කියලා කවුරුවත් දන්නෙ නැහැනෙ අම්මා. ඒ හින්දා බයවෙන්න දෙයක් නෑ. මම පොරොන්දු වෙනවා . අනිත් එක මගේ අම්මගෙයි තාත්තගෙයි මරණ වලට වගකියන්න ඕන අය හොයාගන්නෙ නැතුව ඉන්නව නම් මම හොඳ පුතෙක් නෙවෙයි නේද? ඔයාට ඕන නැද්ද ඔයාගෙ හොඳම යාලුවට සාධාරණයක් වෙනව දකින්න. ඒ මගේ අන්තිම තුරුම්පුව.
ගොඩාක් වෙලා අනම් මනම් කියවලා අම්මව සනසගන්න පුලුවන් උනා. ඊටපස්සෙ ගිත්නා
එයාට කියන්න එච්චර අමාරු උනේ නැහැ. කම්පටිශන් එකකට යනවා කියලනේ.
ඔයාව මීට් වෙන්නෙ නැතුව මාසයක් ඉන්න නම් අමාරුයි. එයා කිව්ව. ඒත් මේක යන්නම ඕන ගමනක්නේ. දිනල එන්න සමිර. මම හදවතින්ම සුබ පතනව.
එයාට බොරු කියන්න වෙච්ච එක ගැන මට දැනුනෙ ලොකු පසුතැවීමක්. ඒත් කරන්න දෙයක් නැහැ.
මම අනිවාර්යයෙන්ම දිනනව. මේ සැරේ හතුරා කවුරු උනත් දිනන්නෙ මම.
ඩියාශි කතා කලේ ඊලඟ දවසෙ හවස.
සමීර. ඔක්කොම හරි. තව සති දෙකකින් අපිට ෆ්ලයිට් එක !!!!!!!!!!
මොකද බය වෙලාද ඉන්නේ? ඩියාශි ඇහුවේ මගේ මූණේ වෙනස දැකලා. එයා අදත් ස්කාෆ් එකකුයි අව් කන්නාඩි දෙකකුයි දාගෙන හිටියේ. ගුවන් යානයට නගිනකම් අපිට මොනවත් ප්‍රශ්නයක් උනේ නැහැ .
මොකට බය වෙන්නද? මම කිව්වා.
සමහරුන්ට ප්ලේන් වල යනකොට ඔලුව කැක්කුම හැදෙනව.
ආ.. ඔව්නේ.. මම මේ පුරුදු වෙන්න ප්ලේන් එකක යන්නෙ. මම කිව්වා..
ආහ්.. ඔව්නේ මට අමතක උනා කලින් ගිහිං තියෙනව කියල. ඩියාශි කිව්වේ ගනනකට නැතුව.
මේකි යකෝ. හිතුනත් මුකුත් කියන්න ගියෙ නෑ.
මොකද? එයා ආයෙ ඇහුවෙ මගේ දිහා හොඳට බලල. මම නෝන්ඩියට හිනා වෙනවා දැක්කද කොහෙද එයා.
නෑ මගේ මගපෙන්වන්නා ඔයානෙ. ඒ හින්දා අදට දිනුම දෙනවා.
හහ්.. එයා ගස්සලා අහක බලාගත්තා.
කුශ් අයියේ… ඊටපස්සෙ එයා කතා කලා. හිතේ අමුතුම පෙරලියක් වෙනවා එයා එහෙම කුශ් අයියේ කියද්දි. මට තේරෙන්නෙ නෑ ඒක වචන වලින් පැහැදිලි කරන්න.
ම්ම්ම්… මම කිව්වේ ඒ හැඟුම් හිතේ පෙරලි කරද්දි.
මොකද බස්සෙක් වගේ හුම් හුම් ගාන්නෙ?
මේකිගේ සැර.. හා කියන්නකො ඉතිම්.
ඔයාට බින්දුවක් වත් මොනවත්ම මතක් වෙන්නෙ නැද්ද?
නැහැ රෝස..
එහෙම ද? එයා කිව්වෙ මූණත් අමුතු කරගෙන.
ආදරවන්තයින්ගේ පාරාදීසය ලෙස ප්‍රංශය හඳුන්වන්නේ නිකම් නෙවෙයි.. රටට පය තැබූ මොහොතේම මට හැඟුනේ එහෙම. බලන බලන අත හිතට අමුතුම හැඟුමක් ගෙනෙන දසුන්.. විදුලි පහන් එලියක් වුව නිකම් සාමාන්‍ය ගොඩනැගිල්ලක් වුව එහි තිබුනේ අමුතුම සොඳුරු බවක්. නිකමට මට හිතුනා ආදරවන්තියක් එක්ක ආපු කොල්ලෙකුට නම් මේ ගමන කොච්චර සොඳුරු වෙන්න තිබුනාද කියලා. නමුත් මට වෙලා තියෙන්නේ දුටුදා පටන් සිතේ අමුතු හැඟුම් පුබුදු කල යුවතිය සොයුරිය ලෙස ලඟින් තියාගෙන අතීතය සොයා යන්න. ඒක මතක් වෙලා සුසුමක් හෙලුනෙ ඉබේටම
සමීර? ඔයා හොඳින්ද? ඩියාශි ඇහුවෙ මගේ වෙනස එයාටත් තේරිලාද කොහෙද.
මුකුත් නෑ. මම කිව්වා.
හිතට වද දෙන හැඟුම් වලට එහා ගියපු හුරුපුරුදු බවක් මට බලන බලන අත දැනුනා.
මොකද දැන් වත් මොනවහරි මතක් වෙනවද?
එහෙම නෑ ඩියාශි. මට නිකම් පුරුදු ගතියක් දැනෙනව විතරයි.
ආයුබෝවන්. ප්‍රංශයට ඔබව සාදරයෙන් පිලිගන්නවා. එහෙම කිව්වේ කුලීරථ රියදුරෙක්.
ආයුබෝවන්. ස්තුතියි . මමත් කිව්වා.
කොහෙටද යන්න ඕන.
ඩියාශි කොහෙටද අපි යන්නෙ?
ඩියාශි මගේ දිහා පුදුමෙන් බලලා යන්න ඕන දිහාව කිව්වා.
ඇයි ඔහොම පුදුම වෙලා බලන්නෙ? මම ඇහුවෙ ඒ ඇස්වල බැල්ම දරාගන්න බැරි තැන. දෙවියනේ ඒ මගේ නංගී නොවුනා නම්. මම හිතට කිව්වෙ සිය දහස් වෙනි වතාවට වෙන්න ඕන.
දැන් ඔය මොනවත් මතක නෑ කිව්වේ. එයා කිව්වා.
ඉතින් මතක නෑ තමයි.
ඔයාට තාම ප්‍රංශ භාශාව මතකයි සමීර.
එතකොට තමයි මට තේරුනේ මට ඒ රියදුරා කියපු දේවල් වැටහුන බවත් මමත් ඊට පිලිතුරු දුන්න බවත්.
මම ප්‍රාර්ථනා කරන්නෙ කවදහරි දවසක ඔයාට හැමදේම මතක් වෙන්න කියලා. එයා ඊටපස්සෙ කිව්වෙ සුසුමක් හෙලලා. අපි දෙන්නම එකට බෙදාගත්තු අතීතේ මට විතරක් තනියම විඳින්න බැහැ සමීර.
ඒ අතීතේ මතක් කරගන්න මම මහන්සි වෙන තරම් දන්නේ මම විතරයි ඩියාශි.
කාලය අපිට විසඳුමක් දෙයි. බලන් ඉමු. එයා කිව්වා. මොනම හේතුවකට වත් මට පොඩිකාලෙ නම කියල කතා කරන්න එපා දැන් ඉඳන්.. මාත් ඔයාට එහෙම කියන්නෙ නෑ. අපි හැම අතින්ම පරිස්සම් වෙන්න එපැයි.
දැන් අපි කොහෙද යන්නේ? මම ඇහුවා.
අපි ඉස්සෙල්ලම යන්නේ හෝටලේකට. ඩියාශි කිව්වා.
බය වෙන්නෙපා. මේ ලංකාව නෙවේ. මගේ මූණ වෙනස් වෙනවා එයා දකින්න ඇති. යකූ මම කියන්න ඕන ඒවා මේකි මට කියනවා.
අපි ගිහිල්ලා අපේ බඩු තියලා ලෑස්ති වෙලා කලාගාරෙට යනවා.
ඇයි ඒ?
මගේ හිත කියනවා අපි ඉස්සෙල්ලම යන්න ඕන එතනට කියලා. කොහොමත් ඔයාට අයිති තැනනෙ.
දැන් අපි එතනට ගිහාම ඔයාගෙ තාත්තා අපිව අඳුනගන්න එකක් නැද්ද?
නෑ එයා අඳුනගන්න එකක් නෑ. මමනෙ කියන්නෙ.
ඔයා කොහොමද දන්නෙ?
බලන්නකෝ.
හෝටලේට තව දුරයි. මම නිදාගන්නවා. එයා එහෙම කියලා මගේ උරහිසට ඔලුව තියාගත්ත.
විඳින්නත් ඕන විඳින්නත් බැරි හුරුපුරුදු පිච්ච මල් සුවඳක් ඒ හිසින් මෘදුවට දැනෙද්දි මගේ හිත මටම අවනත උනේ නැහැ. විසිරී යන සිතිවිලි එකතු කරගන්න උත්සහ කරමින් අමාරුවෙන් හිත පාලනය කරගත්තෙ මමත් දෑස් පියාගන්න ගමන්.
අපි හෝටලේට ආවා. යලිත් අපි ඇහැරුනේ රියදුරාගේ හඬින්. රියදුරාගේ කුලිය ගෙවලා අපි දෙන්නම හෝටලයට ගියා.
ආයුබෝවන්! කොහොමද අපිට ඔබට උදව් කරන්න පුලුවන්. හෝටලයේ පිලිගැනීමේ නිලධාරියෙක් ඇහුවේ අපි යද්දිම
අපිට කාමරයක් වෙන් කරගන්න ඕන.
දවස් කීයකටද?
අද හවස් වරුවට විතරයි.
පැය කිහිපයකට කාමරයක් වෙන් කරගත්තේ ඩියාශිම.
කාමරේට ගිය ගමන් එයා කලේ එයාගෙ සූට්කේස් එක ගත්තු එක. මෙහාට එන්න. මෙතනින් ඉඳගන්න. එයා කිව්වෙ මගේ දිහා බලල.
ඊටපස්සෙ එයා සූට්කේස් එකෙන් ගත්තු බොරු කොණ්ඩයක් අරගෙන ඒක මගේ ඔලුවට දැම්ම.
බලන්න කොණ්ඩෙකට පුලුවන් මනුස්සයෙක්ව සෑහෙන්න වෙනස් කරන්න. දැක්කද? එයා කිව්වේ කණ්නාඩියෙන් පේන මගේ පිලිබිඹුව දිහා බලල. හරි දැන් ඔයා මේ කණ්නාඩියත් දාගන්න. දැන් මම ලෑස්ති වෙලා එනකම් ඔහොම ඉන්න.
ඊටපස්සෙ එයා එහෙම කියලා වොෂ් රූම් එකට ගියා. විනාඩි විස්සකට විතර පස්සෙ එයා ආපහු ආවම මටත් අඳුරගන්න බැරි උනා ඒ ඩියාශිමද කියලා.
හරි දැන් තාත්ති දැක්කත් එයා අඳුනගන්නෙ නෑ මේ මම කියලා. අපි යමු.