හරි.. ඔයාට ලේසි වෙන්න අපි අපි දැනට දන්න ටික කියන්නම්. ඩියාශි මොනවත් කියන්නෙ නැතුව ඉන්නකොට රවීන් ආයෙම කිව්ව.
එයා අපි දිහා බලන් හිටියෙ පුදුමෙන්.
අපි දන්නව රොඩ්‍රික් අතුරලිය කියන්නෙ ඔයාගෙයි සමිරගෙයි සීය කියල. ඒක හරිද?
හරි. ඩියශි උත්තර දුන්නෙ ඇස් දෙකත් ලොකු කරගෙන.
එතකොට අපි පවුලෙ විස්තර දන්නව. ඔයාලගෙ සීයට කලාගාරයක් තිබුන දැං ඒක තියෙන්නේ ඔයාගෙ තාත්තගෙ භාරෙ කියලත් අපි දන්නව. අපිට තිබුනු ප්‍රශ්නෙ ඒ අපි දන්න පවුල ඔයාට සම්බන්දයක් තියෙනවද නැද්ද කියන එක. ඒ කිව්වේ අපි දැනගෙන හිටියා සේනක අතුරලිය කියන්නේ හිටපු ප්‍රංශ තානාපති ගෙ පුතා කියල. ඒත් අපි දැනගෙන හිටියෙ නැහැ ඒ ඔයාගෙ පවුල ගැනමද අපි හොයාගත්තෙ කියල. ඒත් අපිට සැකයක් තිබුන ඒ ඔයාලම වෙන්න ඇති කියල.
කොහෙන්ද ඕගොල්ලො ඔච්චර විස්තර හොයාගත්තෙ? ඩියාශි ඇහුවෙ පුදුමෙන්.
රොඩ්‍රික් අතුරලිය කියන්නෙ ප්‍රසිද්ධ කෙනෙක්.
ඔව්. ඇත්ත. සීයා ගොඩාක් ප්‍රසිද්ධ ඒ වගේම බලයක් තිබුනු කෙනෙක් තමයි. එයා කිව්වෙ සුසුමක් හෙළල.
අපි දන්නෙ නැති දේවල් අපිට කියන්න ඩියාශි. සමීරලාගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මොනවද උනේ?
මම මුල ඉඳන්ම කියන්නම්. ඔයාල ඒව දන්නව ඇති. ඒත් කමක් නෑ. අහන් ඉන්න. අපිට හරිම ලස්සන පුන්චි කාලයක් තිබුන. ටිකක් වෙලා ඉඳල ඩියාශි කතාව පටන් ගත්ත. අපේ පවුලෙ හිටියෙ සීයයි අම්මයි තාත්තයි කුශ් අයියයි එයාගෙ අම්මයි තාත්තයි. අපේ සීයා ඒ කාලෙ ප්‍රංශ තානාපති වෙලා හිටියා. සීයට තිබුනා පෞද්ගලික කලාගාරයක්. ඒක ගොඩක් ප්‍රසිද්ධ එකක්. අපිට මොනවත් ප්‍රශ්න තිබුනෙ නැහැ. එතකොට මට අවුරුදු අටක් විතර. කුශ් අයියට දහයයි. ඉතින් එක දවසක් මට ඇහුනා තාත්ත කලබලෙන් ඇවිල්ල කියනව කුශ් අයියල ඇක්සිඩන්ට් වෙලා ඒගොල්ලො මැරිලා කියලා. මම කෑගහල ඇඬුව එයා මැරිල නැහැ කියලා. කුශ් අයියගෙ අම්මගෙයි තාත්තගෙයි මල ගෙදර තිබුනා මට මතකයි. තාත්තා සීයගෙන් ඇහුවා කවුද මේවට වගකියන්න ඕන කියලා. එයා වචනයක් වත් කිව්වෙ නැහැ. ඒත් මම දැනගෙන හිටියා සීයා ගොඩාක් ලොකු ශොක් එකකින් හිටියෙ කියලා. කුශ් අයියගේ මල ගෙදරක් තිබුනෙ නැහැ. ඒ හින්ද එයා මැරිල නැහැ කියල හැමෝම සැක කලා. ඒත් සීයා කාටවත් එයාට මොකද උනේ කියල කිව්වෙ නැහැ. මට මතකයි ඉස්සර කවුරුහරි කුශ් අයියා ගැන අහනකොට සීයා මෙහෙම කියනව.
හරි කාලෙ එනකම් මේ ලෝකෙට කුශින්ත් අතුරලිය කියන්නෙ මැරුණු කෙනෙක්. සමහරවිට ඒ සදහටම වෙන්නත් පුලුවන්.
එයා ඒ කාලෙ කුශ් අයියව හංගල තියාගත්තෙ කොහොමද කියන්න මම අදටත් දන්නෙ නැහැ. එයා මොනවද මීඩියා වලට කිව්වෙ කියල මම දන්නෙ නැහැ. මම දන්නෙ එයා කොහෙන්වත් ප්‍රශ්නයක් නොවෙන්න හැමදෙයක්ම මැනේජ් කරගත්ත කියල විතරයි.
ඔයා එතකොට පොඩියි කියමු. ඒත් අම්මියි තාත්තියි වත් දැනගෙන හිටියෙ නැත්තෙ කොහොමද? රවීන් ඇහුව.
මගේ අම්මයි තාත්තයි වත් ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ. සීයගෙ පුතා උනත් මගේ තාත්ති ට සීයා කුශින්ත් අයියගෙ තාත්තිට තරම් ආදරේ කලේ නැහැ කියල මට හිතෙනව. ගෙදරදි උනත් එච්චර සමීප නැහැ එයාලා. ඉතින් සීයා තාත්තිට මොනවත්ම කිව්වෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. ඒත් සීයා මටයි කුශ් අයියටයි සැලකුවෙ එකම විදිහට. ඩියාශි කිව්වෙ මගේ දිහා බලල. නැහැ. සමහරවිට එයා කුශ් අයියට වැඩියෙන්ම ආදරේ ඇති. මම දන්නෙ නැහැ. ඊටපස්සෙ ඩියාශි ආයෙම කිව්වෙ ටිකක් වෙලා කල්පනා කරල.
හරි හරි ඒක ගැන දැං හිතන්න එපා. මම කිව්ව. අහල බලන්න වත් සීයා දැන් නැහැනෙ.
ඉතින් ඊටපස්සෙ මොකද උනේ? රවීන් ඇහුව.
කුශ් අයියා ගැන ආරංචියක් නැතුව ගියා. මීඩියා වලිනුත් ඒ ඇක්සිඩන්ට් එක කොහොමහරි යටපත් උනා කාලෙත් එක්ක. මට විතරයි එයා ගැන හොයන්න ඕනකම තිබ්බෙ. මොකද එයා ජීවත් වෙනවද නැද්ද කියල දැනගන්න කිසිම තොරතුරක් තිබුනෙ නැහැ. මොකද එයා ගැන විස්තර නොදී ඉන්න තරමට කලගාරෙ ඇතුලුව සීයගෙ දේපල ආරක්ශිතයි කියල සීයා දන්නව.
ඒ ටික පැහැදිලි මදි ඩියාශි. කොහොමද කුශින්ත් ගෙ මරණෙත් එක්ක සීයගෙ දේපළ ආරක්ශා වෙන්නෙ?
ඩියාශි ටිකක් වෙලා අපි දිහාබලන් හිටියෙ එතනින් එහාට විස්තර කියනවද නැද්ද කියල හිතාගන්න බැරුව වගේ.
ඒක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් ද ඩියාශි? මම ඇහුව. අකමැති නම් කියන්න එපා.
මට තේරෙන වයසට එනකොට ඕව තමයි මටත් තිබුනු ප්‍රශ්න. ඩියාශි කිව්වෙ ඈතක් බලාගෙන.
අපිට හංගන්නෙ නැතුව හැමදේම කියන්න ඩියාශි. මේ ප්‍රශ්නෙදි ඔයා දන්න තරම්ම දේවල් මම දැනගන්න එක වැදගත්. මම කෙලින්ම කිව්ව. මොකද එච්චර වෙලා එයා කිව්ව දේවල් වලිනුත් හරියටම මට තිබුනු ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුලූවන් උනෙ නැහැ.
මම කියන්නම් සමිර. අනේ මං ගැන මොනවත් හිතන්න එපා. මම මුලදි මේ කිසිදෙයක් දැනගෙන හිටියෙ නැහැ.
මොකක් ගැනද ඩියාශි ඔයා කියන්නෙ?
මම විස්තරේම කිව්වම ඔයාට තේරෙයි. එයා එහෙම කියල කතාව පටන් ගත්ත.
සීයෙ මට කියන්න මගේ කුශ් අයියා කෝ? මම ඇහුවෙ සීයගෙ ඔඩොක්කුවෙ ඉඳන්.
කවදහරි එයි පුතේ. සීයා කියන්නෙ මගේ ඔලුවත් අතගාල.
එහෙම බැහැ. කවදද එන්නෙ? සීයෙ කුශ් අයියා මැරිල නෑ නේද?
මම දන්නෙ නෑ දරුවෝ. සීයා කියනව.
සීයේ කුශ් අයියා කවදාවත්ම එන එකක් නැද්ද?
දන්නෙ නැහැ පුතේ.
මෙයා බැලුවොත් ඇත්තම් ඒ කොල්ලත් එක්ක රණ්ඩු කරනව. ඒ උනාට ඒකාවම හොයනව. තාත්තෙ දැන්වත් අපිට කියන්න. අයියගෙ පොඩි එකා කොහෙද? එහෙම කිව්වෙ එතනට ආපු තාත්තා.
මම දන්නව නම් මම කොල්ලව එක්ක එනවනෙ ගෙදර?
තාත්ත දන්නව ඒත් තාත්ත මට කියන්නෙ නෑ. තාත්තා කියද්දි සීයා නිහඬ උනා.
කාලය ගත උනා. සීයා අසනීප උනේ අපි හිතුවෙවත් නැති විදිහට. අම්මයි තාත්තයි මායි සීයගෙ ඩොක්ටයි සීයගෙ ඇඳ වටේට හිටියා.
සේනක.. මට දුවට ටිකක් තනියම කතා කරන්න ඕන. සීයා කතා කරේ අමාරුවෙන්. ඒකටවෙකඟ වෙලා මාව සීයා ගාව තියල අම්මලා එලියට ගියා.
අනේ සීයේ කුශ් අයියත් නැහැ. මට සීයත් නැතුව නම් ඉන්න බැහැ. මම හොඳටම ඇඬුවා.
රෝස හොඳට අහන්න මම කියන දේ. සීයා කතා කලේ අමාරුවෙන්. මම ගෙනාපු ආයුශ එච්චරයි.
අනේ සීයේ එහෙම කියන්න එපා.
අහන්න දුවේ. ඔයාගෙ කුශ් අයියා මැරිල නැහැ.
මොනවා? කෝ එතකොට එයා?
මම එයාව ලංකාවට යැව්ව.
ලංකාවට? ඇයි ඒ?
ඒක දිග කතාවක්. රෝස මම මැරුණම ඔයාට ඒ ගැන දැනගන්න ලැබෙයි.
නැහැ නැහැ සීයෙ. ඔයාට මුකුත් වෙන්නෙ නෑ.
රෝස කුශ් අයියව හොයාගන්න. ඒ තමයි සීයා මට අන්තිමට කිව්ව වචන ටික. එයා නැති උනේ මගේ ඉස්සරහමයි.
සීයේ.. අනේ මාව දාල යන්නෙපා..සීයේ.. මගේ කෑගැහිල්ලට අම්මයි තාත්තයි සීයගෙ ඩොකටර් එක්ක කාමරේට ආව.
හිත හදාගන්න රෝස. එහෙම කිව්වෙ සීයගෙ ඩොක්ට.
මම ගොඩක් ශොක් වෙලා හිටියෙ.
පුතේ කවද වෙනකම් ඔයා ඔහොම ඉන්නද? අම්ම ඇහුවෙ සීයගෙ මරණෙන් සතියකට විතර පස්සෙ. මම වචනයක් වත් කතා කලේ නැහැ.
දරුවො. ඔයා ඔහොම හිටියට සීයා ආයෙ එන්නෙ නැහැනෙ. අම්මා කිව්වෙ මට කෑම කවන්න උත්සහ කරමින්. හිත හැදෙන්න ගොඩක් දේවල් කියල එයා කාමරෙන් ගියා.
කෝ.. දුව මොනවත් කිව්වද? මට ඇහුනා තාත්ත එහෙම අහනව අම්මගෙන්.
ඔයාට පිස්සුද සේනක. දුව තාමත් ඉන්නෙ ශොක් වෙලා. ඒ ලමයගෙන් ඕව අහන්න පුලුවන් ද?
එහෙම කියල බෑ ෆැනී. අපි කොහොමහරි දැනගන්න ඕන. නැත්තම් කොහොමද ආට් ගැලරි එකේ වැඩ කරගන්නෙ.
ඒව මෙච්චර කල් වෙච්ච විදිහටම වෙයි. ඔයා දුවගෙ තාත්තා නේද? චුට්ටක් දුව ගැන හිතන්න.
මට ඕව හිත හිත ඉන්න බැහැ. එයා පොඩි ලමයෙක් නෙවේනෙ. කන්නෙ බොන්නෙ නැතුව හිටිය කියල තාත්තා ආයෙ එනවද නෑනෙ.
අනේ මන්ද සේනක. මට නම් තේරෙන්නෙ නැහැ. නැති උනේ ඔයාගෙ තාත්තා. ඔයා කොහොමද ඔහොම කතා කරන්නෙ? අම්මා පුදුමෙන් අහනව මට ඇහුන. එතනින් එහාට ඒගොල්ලො කතා කරපුව මට ඇහුනෙ නැහැ.
ඊටත් දවස් කිහිපෙකට පස්සෙ මම කාමරේ ඉඳිද්දි කවුද අමුත්තෙක් ඇවිල්ල අම්මයි තාත්තයි එක්ක කතා කර කර ඉන්නව. මට එයාලගෙ කතාව ඇහුනෙ අතරින් පතර. ඊටත් වැඩිහිටියන්ගෙ කතා වලට ඇහුම්කන් දෙන්න උවමනාවක් මට තිබ්බෙ නැහැ. මොහොතකින් අම්මා කාමරේට ආව.
පුතේ සීයගෙ ලාස්ට් විල් එක ගැන කතා කරන්න ලෝයර් අන්කල් ඇවිල්ල ඉන්නව.
මට ඕක ගැන දැනගන්න ඕනනැහැ අම්මේ.
ඒ උනාට ලෝයර් අන්කල් ඔයාට කතා කරන්න ඕන කියනව.
මම සාලෙට ආවෙ අකමැත්තෙන් අම්මගෙ බල කිරීමට.
ලෝයර් අන්කල් මාව දැකල හිනා උනා. කොහොමද රෝස?
හොඳින් ඉන්නව අන්කල්.
ලෝයර් අන්කල් ලාස්ට් විල් එක කියෙව්ව. ඒකෙ හැටියට සීයා එයාගෙ ආට් ගැලරි එක ලියල තියෙන්නේ කුශින්ත් අයියගෙ නමට. බිස්නස් වල ශෙයාර්ස් උනත් එහෙමයි. 25% මට දීල තිබුන.
කුශින්ත් මැරිල නම් කාටද කලාගාරෙ අයිති වෙන්නෙ. එහෙම ඇහුවෙ තාත්තා. මම එයා දිහා බැලුවෙ පුදුමෙන්. කොහොමද එආ නිකමට වත් කුශින්ත් අයිය මැරිල කියල හිතන්නෙ.
එහෙම උනොත් කලාගාරය රොඩ්‍රික් මහත්තයගෙ පුතාලට අයිතිවෙනව පිය උරුමයෙන්.
එහෙමද?
කුශින්ත්ට වයස සම්පූර්ණ වෙනකම් කලාගාරය භාරකාරිත්වය සේනක මහත්තයට පවරල තියෙනව.
එතකොට ඒකෙ ආදායම?
25% චැරිටි ෆවුන්ඩේශන් එකකට යනවා. ඉතිරිය සේනක මහත්තයට පාවිච්චි කරන්න පුලුවන් කුශින්ත් එනකම්.
වෙන කිසිම කෙනෙක්ට තාත්තා එයාගෙ දේපල ලියල නැද්ද?
කාටවත් ලියල නැහැ.
ඔය වගේ විස්තර ගොඩක් කියල ලෝයර් අන්කල් ගියා.
එතකොට මේ කුශින්ත් ඉන්නව කියන එක තමයි ඒ හැමදේකින්ම කියවෙන්නෙ. තාත්ත කිව්වෙ ලෝයර් අන්කල් ගියාට පස්සෙ. තාත්තා ඒ හින්ද තමයි මේ කොල්ලා ජීවත් වෙන බව අපි කාටවත් නොකීවෙ.
ඒ ගැන තමයි සීයා මට අන්තිම මොහොතෙ කිව්වෙ. මම කිව්වා. කුශින්ත් අයියට දැන් ඉන්නෙ අපි විතරයි. අපි එයාව හොයාගන්න ඕන තාත්තෙ.
ඔව් අපි එයාව හොයාගමු රෝස.
තාත්තෙ මට ප්‍රශ්නයක් තියෙනව. මම ඇහුව.
සීයා ඇයි තාත්තට මොනවත් ලියල නැත්තෙ? තාත්තයි අම්මයි මූණට මූණ බලාගත්ත. තාත්තා සීයගෙ පුතානෙ.
ඒකට හෙතුවක් තියෙනව රෝස. තාත්ත කිව්ව. ඒක ඔයා නොදැන ඉන්න තරමට මම කැමතියි. අතීතය කියන්නෙ අතීතය.
තාත්තා ට ආරංචියක් ලැබුනා කුශින්ත් අයියා ඉන්නෙ ලංකාවෙ කියල.
අයියගෙ කොල්ලාව ලංකාවටලු යවල තියෙන්නෙ. තාත්ත එක දවසක් ගෙදර ආවෙ එහෙම කියාගෙන.
ඇත්තද? ඔයා කොහොමද දන්නෙ?අම්ම ඇහුව.
මම දැනගත්තනෙ කොහොමහරි.
කියන්නකො අනේ.
අර තාත්තගෙ බොඩිගාඩ් කෙනෙක් හිටියෙ ජේකබ් කියල. මිනිහව මට හම්බවුනා. මිනිහගෙන් දැනගත්තෙ. හැබැයි මෑන් වැඩි විස්තරයක් දැනගෙන හිටියෙ නෑ. තාත්ත මම හිතන්නෙ කාටහරි ලමයව හදාගන්න දීල තියෙනව.
ඉතින් අපි ලංකාවට යනවද? අම්ම ඇහුව.
ඔව්. නැතුව. ලංකාව කියන්නෙ පොඩි රටක්. අපිට මොනවහරි හෝඩුවාවක් හොයාගන්න බැරිවෙන එකක් නැහැ.
ඊටපස්සෙ අපි ලංකාවට ආව. සාමාන්‍ය විදියට ජීවත් උනා. ඒත් කුශින්ත් අයිය ගැන කිසිම ආරංචියක් ලැබුනෙ නැහැ. ලංකාවට ආවට පස්සෙ අම්මි මෙහෙ ඉන්න ආස උනා.
අනේ සේනක. මම මේ රටට ගොඩක් කැමතියි. අපි මෙහෙ ඉමු. අම්මා කිව්වා. මටත් ඒකට අකමැති වෙන්න හෙතුවක් තිබ්බෙ නැහැ. තාත්තත් කැමති උනා. මොකද ලංකාවෙ ලිවින්ග් කොස්ට් එක ගොඩක් අඩුයි. ඊටපස්සෙ ඉතින් අපි මෙහෙ හවුසින් ස්කීම් එකක් අරගෙන ජීවත් වෙන්න පටන් ගත්ත. තාත්ත සැරින් සැරේ ගිහින් කලාගාරෙ කටයුතු බලල ආව. අපිත් සමහර දවස් වලට ගියා අම්මිගෙ ෆැමිලි එකත් එහෙනෙ ඒ හින්ද. කලාගාරෙ මුදල් අපිට ලැබෙන්න ඕන උනත් මම දන්නෙ නෑ තාත්ති ගාව හිතන තරම් සල්ලි තිබුනෙ නැහැ.
ඒක මට මුලින්ම ප්‍රශ්නයක් උනේ තාත්ති මගේ ඉන්ශුවරන්ස් එක මටත් නොකිය ක්ලේම් කරගෙන තිබුනු හින්ද. එයාට අම්මිගෙ මෙඩිකල් වලට ඒක ක්ලේම් කරන්න පුලුවන් උනත් එයා මට ඒක නිකමට වත් කිව්වෙ නැහැ. මගේ බොස් ඒ ගැන අහනකොට මම ශොක් උනේ ඒකයි. ඒත් වාසනාවට එයා ඒක අරගෙන තිබ්බෙ ලීගලි. ඒ හින්ද මට බය නැතුව බොස්ට ෆේස් කරන්න පුලුවන් උනා.
තාත්ති. ඔයා ඇයි මට කියන්නෙ නැතුව මෙඩිකල් එක ක්ලේම් කලේ.
ආ මට ඒක කියන්න බැරි උනා රෝස. අම්මිගෙ චෙකප් වලට මම ඒක ගත්ත. එයා කිව්වෙ කිසිම ගානක් නැතුව.
ගත්ත එක නෙවේ ප්‍රශ්නෙ. මට නොකියපු එකයි. මගේ ජොබ් එකෙන් ප්‍රශ්නයක් උනා.
මොකද්ද දුව. අම්මිත් ඇහුව.
අම්මි දන්නෙත් නැද්ද?
මොනවද?
තාත්ති මගේ මෙඩිකල් එක ක්ලේම් කරල මම දන්නෙත් නැහැ.
දැන් ප්‍රශ්නයක් නැහැනෙ. ඔයා ඒ ජොබ් එකට යන්නෙ නැහැනෙ.
හරි ඒක කමක් නෑ කියමු. තාත්ති ආට් ගැලරි එක ගොඩක් වටින නිතරම සල්ලි ලැබෙන තැනක්. ඇයි අපිට හැම වෙලේම සල්ලි නැත්තෙ? මම තාත්තිගෙන් ඇහුවෙ මට ඇත්තටම තිබුනු ප්‍රශ්න.
රෝස ඔයාට ඕන දේත් තියෙනව. එපා දේත් තියෙනව. හැමදේම මගෙන් ප්‍රශ්න කරන්න එපා. එදා කවදාවත් නැතුව තාත්ති මට කෑගැහුව.
සොරි තාත්ති. මම කිව්වෙ බයෙන්.මම කවදාවත් තාත්ති ඒ වගේ ඉන්නව දැකල නැහැ. එයාට හොඳටම තරහ ගිහින්. එදායින් පස්සෙ මම කවදාවත් ඒ ගැන ප්‍රශ්න කලේ නැහැ. පස්සෙ පස්සෙ තාත්ති විතරයි නිතරම ෆ්‍රාන්ස් වලට ගියේ. අම්මයි මායි පිරිමහගෙන මෙහෙ ජීවත් උනා.
රෝස. මට දුකයි පුතේ ඔයා ගැන. අම්ම කිව්වෙත් දුකෙන්. ඒත් මට ඔයාට උදව් කරන්න විදියක් නැහැනෙ.
අම්මි දුක් වෙන්න එපා. මම ඉන්නෙ සතුටෙන්. මම කිව්වෙ එයාගෙ හිත හදන්න. ඒත් මට ඕන උනා තාත්ති ඒ හම්බවෙන සල්ලි වලට මොකද කරන්නෙ කියල බලන්න. මම එයාගෙ ඩොකියුමන්ට් ඔක්කොම ඇදල බැලුව. ඒත් මොනවත් මට හොයාගන්න පුලුවන් උනේ නැහැ.
ඉන්ශුවරන්ස් ප්‍රශ්නෙ හින්ද අහම්බෙන් මට සමීරව දැනගන්න ලැබුන. දැක්ක පලවෙනි දවසෙම මට දැනුන එයා මගේ කුශ් අයිය තමයි කියල. එයා ලග ඉන්නකොට දවස ගානෙ මට තේරුනා අපි ලංකාවට ආපු අරමුණ ඉශ්ට උනා කියල. ඒත් ප්‍රශ්නෙ එයාට මාව වත් පොඩි කාලෙ කිසිම දෙයක් මතක තිබුනෙ නැහැ. ඉතින් මට ඉවසන්න උනා උනා එයාට මාව මතක් වෙනකම්. මම දැනගෙන හිටිය ඒ දවස වැඩි ඈතක නෙවේ කියල. මුලින්ම මතකද සමීර මම ඔයත් එක්ක ග්‍රවුන්ඩ් එකේදි කතා කරල ගෙදර ආවෙ හරි සතුටින්.
මොකද පුතේ ගොඩක් සතුටින් අද? අම්මි ඇහුව.
අම්මි මම හිතන්නෙ මම කුශ් අයියව හොයාගත්ත. මම කිව්ව. එදා තාත්ති ගෙදර හිටියෙ නැහැ.
මොනව? කොහෙද එයා?
එයා දන්නෙ නැහැ අම්මි. එයාට අපි කාවවත් මතක නැහැ. එයා තමයි කුමුදු ආන්ටිගෙ රට ඉඳල ආපු පුතා.
ඔයාට පිස්සුද රෝස. එහෙම වෙන්නෙ කොහොමද?
කොහොමහරි එහෙම තමයි. මට විශ්වාසයි. මම කිව්ව.
මොකද්ද කිව්වේ? කුශින්ත් ඉන්නවා කියලද?
ඔව් තාත්ති.
කෝ කොහෙද ඉන්නෙ? තාත්ති ඇහුවෙ ගොඩක් කලබලෙන්.
මමත් හරියටම දන්නෙ නෑ තාත්ති.
එහෙනම් දැන් අම්මිට කිව්වෙ?
මම හිතන්නෙ කුමුදු ආන්ටිගෙ රට ඉඳන් ආපු පුතා තමයි මගේ කුශ් අයිය.
එහෙම වෙන්නෙ කොහොමද?
මම දන්නෙ නැහැ මට හිතෙනව.
ඇයි ඒ?
මට දැනෙනව තාත්ති. ඒත් එයාට මාව මතක නැහැ.
ඒ කිව්වෙ? විකාරද රෝස ඒ වෙන කොල්ලෙක් වෙන්න ඇති.
නෑ ඒ මගේ කුශ් අයියමයි. මම ඒක ඔප්පු කරන්නම්කො. මට තව ටික දවසක් දෙන්න.
මම එවෙලෙ තාත්තිට එහෙම කිව්වෙ හීනෙන් වත් එයා හිතාගෙන හිටපු දේ දැනගෙන නෙවේ.
හොඳයි අපි බලමුකො