මොකද්ද ඔයා කිව්වේ? එයා ඇහුවෙ ආපහු හැරිල දුවගෙන වගේ මා ලඟට ඇවිත්.

මම ඇත්ත කිව්වේ ඩියාශි. මට ගොඩක් දේවල් මතකයි. මම තමයි ඔයාගෙ කුශ් අයියා. වෙන කවුරුත් නෙවේ.

එයා ආපහු තදින් මාව වැලඳගත්ත. මමත් ඒ හිසට නිකට තියාගත්තෙ මේ මොහොත ගත වෙන්නෙ නැත්තම් කියල හිත හිත.

දැන් මට කියන්න මොනවද ඔයා මගෙන් හංගන්නේ?

ඒක ගොඩාක් දිග කතාවක්. මෙහෙම කියන්න බෑ සමීර. මම ඔයාට කියන්නම්. එතකන් ඔයා කවුද කියලා කාටවත් කියන්න එපා. ඔයා ස්මීර විදිහටම ඉන්න.

මට මොනවත් තේරෙන්නෙ නැහැ ඩියාශි. ඇයි ඔයාට දැං කියන්න බැරි?

මම මේ ගමන ආවෙ අම්මිට හොරෙන්. එයා බලනව ඇති මං කෝ කියලා. අපි ඉක්මනට හම්බවෙලා කතා කරමු.

කවදද?

මම දවසක් කියන්නම්.

මට ෆෝන් නම්බර් එකක් දීල යන්න.

මා ලඟ ෆෝන් එකක් නැහැ.

මම ඔයාට කතා කරන්නෙ කොහොමද?

මම ස්ටුඩියෝ එකේ විස්තර දන්නව. මම ඔයාට කතා කරන්නම්.

ඩියාශි ඇයි ඔයා හැමදේම දැනගෙනත් මගේ ඉස්සරහට ආවෙ නැත්තෙ.

මම ආවෙ නැත්තෙ ඔයාගෙම හොඳට. මමත් හැමදේම දන්නෙ නැහැ. ඔයා මට උදව් කරන්න ඕන ඒ දේවල් හොයාගන්න. හොඳට මතක තියාගන සමීර අපි මේ ගනුදෙනු කරන්නෙ අපේම අයත් එක්ක.

මට ඔයා කියන දේවල් තේරෙන්නෙ නැහැ. ඔහොම වටින් ගොඩින් කියන්නෙ නැතුව ඔයා දන්න දේවල් මට කියන්න රෝස.

මට බැහැ සමීර. දැන් බැහැ. දැන් උනත් මම මේ ගමන ආවෙ හොරෙන්. මම ආයෙත් එන්නම්. මට තේරුනා මම ඔක්කොම හොයාගන්න කම් හිටියොත් මට ඔයාව නැති වෙයි කියල. සමීර කාවවත් විශ්වාස කරන්න එපා. අර ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට වත් ඔයා කවුද කියල කියන්න එපා. ඔයා කවුද කියල කවුරුත් නොදැන ඉන්න තරමට ඔයාට හොඳයි.

කවදද ඔයා එන්නේ?

ඉක්මනටම.

මම යනව. පරිස්සමින් ඉන්න බුදු සරණයි. එයා එහෙම කියල අඳුරේම ඇවිදගෙන ගියා.

එතකොටමයි මට කෝල් එකක් ආවෙ ගීත්නාගෙන්.

හෙලෝ..

සමීර. ගෙදර ගියාද? ඇයි මට කෝල් එකක් දුන්නෙ නැත්තේ ගියා කියල.

මම මේ ආව විතරයි ගීත්නා.

එහෙම ද?

මම ආස නැහැ එයාට බොරු කරන්නත්. කෙල්ලො දෙන්නෙක් මැද ජීවත් වෙන්නමට කොහෙත්ම ඕන උනේ නැහැ. ඒ උනත් ගීත්නාට වඩා වැඩි ඉඩක් ඩියාශිට තියෙනව. ඒක නැති වෙන්නෙ නැහැ.

මට මහන්සියි ගීත්නා. හෙට ස්ටුඩියෝ එකට යන්නත් ඕනනෙ. ඔයා නිදාගන්න හරිද?

ඔයා හරි අමුතුයි. මොකද උනේ. අර දවල් දැක්ක කිව්ව යාලුව හින්ද ද සමීර ඔයා මෙහෙම හැසිරෙන්නේ? එයාඇත්තටම ඔයාගෙ යාලුවෙක් විතර ද?

මේ කෙල්ලන්ට නම් ඉව තියෙනවද මන්දා. මට හිතුන. ඕනවට වඩා හිතන්න එපා ගීත්නා. එහෙම කිසිම දෙයක් නැහැ. මට ටිකක් මහන්සියි එච්චරයි.

හ්ම්ම්ම්ම්.

ඉතින් දැං තරහද ඔයා?

නැහැ සමීර. නැහැ. මට දුක හිතුනා.

පිස්සි. නිදාගන්න දැං. දහයත් පහුවෙලානෙ.

හා. ගුඩ් නයිට්. බුදු සරණයි.

ගෙදර යනකොටම මම දැක්කෙ අම්මා ඉණටත් අත් දෙක තියාගෙන බලන් ඉන්නව. සමීර හරි පුතේ අද අහගන්නව උඹ ගමකට.

පුතා.. මොකද පරක්කු මෙච්චර.

හරි හරි අම්මා ඔයා දන්නවනෙ මම එලි වෙන්න පැයක් තියා හරි එනවනෙ ගෙදර.

උඹට දැං ගමන් වැඩියි. මම හොයාගන්නම්කො.

අනේ අම්මා ස්ටුඩියෝ එහෙක අයිතිකාරයෙක් උනහම එහෙම තමයි.

හ්ම් හ්ම්. කාලද ආවේ.

ඔව්.. දවල්ට කෑවා. ඒ උනාට මට දැං බඩගිනියි. ලෝකෙ හොඳම හෝටලෙන් කාල ආවත් ගෙදර ආවම කන්න ඕන ඒක තමයි අපේ අම්මගෙ නීතිය.

පුතා.. අර ෆ්‍රාන්සස් නෝනල ගැන ආරංචියක් නැද්ද? තාත්ත ඇහුවෙ කෑම කද්දි.

දන්නෙ නැහැ තාත්තේ.

ස්ටුඩියෝ එකේ වැඩ කොහොමද දැන්?

කරගෙන යනව.

දැන් එතකොට කවද්ද අපිට පොඩි ලේලි කෙනෙක් ගේන්නෙ?

ලේලි කෙනෙක්? කකා හිටපු බත් කටත් හිර උනා ඒ ප්‍රශ්නෙ ට. මොකද මම කවදාවත් ඒ ගැන හිතල තිබ්බෙ නැහැ.

ඔව් නැතුව. හැමදාම ඔයා ඔහොම ඉන්නයැ.

ඒ අම්මා.

අනේ අම්මා අද නම් ඔය මාතෘකාව ඇදල ගන්න එපා. මට හොඳටම මහන්සියි.

හා හා බලමුකො ඉලන්දාරියා. කවද වෙනකම්ද කියල. අම්ම කිව්ව. මම මුකුත් කියන්න ගියේ නැහැ. මොකද ඔය කතාව දික්ගස්සගන්න මට කිසිම උවමනාවක් තිබ්බෙ නැහැ. ඊටත් වඩා සෑහෙන ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවෙ තිබුනා.

දවසම ඇවිදල මහන්සි වෙලා හිටපු හින්ද වැටිච්ච ගමන් නින්ද ගියා. පහුවෙනිද උදේ ස්ටුඩියෝ එකට යද්දි නමයත් පහු වෙලා.

ආ වරෙන් වරෙන් අපිට කොහෙද උඹලට වගේ සැප. ඕන වෙලාවට එන්නයි ඕන වෙලාවට යන්නයි. මාව දැක්ක ගමන් රවීන් කිව්ව.

අනේ පලයං බං යන්න.

ඉතින් ඉතින් කියපං කොහොමද ඊයෙ දවස?

හොඳයි වරදක් නෑ.

උඹ සිරාවටම පන්සලටම නේද කෙල්ල එක්ක ගියේ?

ඔව් බං. ඔව්.

ඉතින් ඉතින්….

දැං මොනා ගැනද උඹ අහන්නේ? පන්සල් ගියා.. එයාව ගෙදරට ඇරලුව.

ගෙදරට ඇරලුව. හෑ උබ ගෙදරට ම ගියාද?මාමන්ඩිය හිටියද?

නෑ නෑ මගට ඇරලුව. මම ගෙදර ආව. ඊටපස්සෙ ටික තමයි වැදගත්.

මොන උඹ ගෙදරට ආවට පස්සෙ කාල නිදාගත්ත කියන ටිකද?

නෑ බං. මට ඩියාශි මුණ ගැහුන.

හෑ.. ඒ කොහේදිද?

මුලින්ම පන්සලේදි කියල පටන් ගත්ත මම එයා කියපු විස්තරේම රවීන්ට කිව්ව. මගේ හිත ගොඩාක් නිදහස් උනා එහෙම කිව්වට පස්සෙ.

මේක මහ උභතෝකෝටික ගැටලුවක් නෙ බං.

ඔය කෙල්ල කොහෙද ඉන්නව ඇත්තෙ.

එයා ම කියන්නම් කිව්ව. කොයි වෙලේ හරි ආයෙ එයා එනකම් මට ඉන්න වෙනව.

අනේ මන්ද බං. කවදද මේ ප්‍රශ්නෙ විසඳෙන්නෙ?

මම දන්නෙ නෑ.
තවත් සතියක් විතර ගෙවුනෙ ඩියාශිගෙන් ආරංචියක් නැතුව.

මේ අර අශේන්ගෙ වෙඩින් එකේ ඇල්බම් එක ඉවරයි. එයාට ඒක අපි ඩිලිවර් කරන්නම් කිව්වද? රවීන් ඇහුව. එදා සතියෙ දවසක්.

ඔව්. උඹ ගිහින් දීල වරෙන්.

ඔව්. හැම එකටම මාවම යවපන්.

ඒකා ඉතින් උඹේ ප්‍රියම්භිකාවගෙ ගෙවල් ලඟනෙ ඉන්නේ. උඹට ඒ පැත්තටත් ඔලුව දාල එන්න බැරියැ.

ඒ උනාට ප්‍රියම්භිකාව අද නෑ බං. ඒකිට ලෙක්චර්ස්.

ඒක තමා මේ..

හා හා දියං දියං. මං ඕක දීල එන්න. උඹ එහෙනම් අර ශාලිනීගෙ ඇල්බම් එක ඉවර කරපන්. ඔය වෙඩින් ගත්තු උන් හිතන් ඉන්නෙ අපිට උන්ගෙ ඇල්බම් එක හදනවට වඩා වෙන වැඩ නැහැ කියලා. ඇයි යකෝ ගිය සතියෙ වෙඩින් එක තිබ්බෙ. අද කතා කරල අහනව ඇල්බම් එක හරිද කියල. රවීන් එහෙම කියල ඇල්බම් එකත් අරං ගියා. ඌ එනකම් මම පටන් ගත්ත ඒ කිව්ව වැඩේ ඉවර කරන්න.

කෝල් එකක් ආවෙ අතරෙ.

ගුඩ් ආෆ්ටර්නූන්. සමීර ෆොටෝග්‍රැෆි.

හෙලෝ.

ඩියාශි..

සමීර කවුද ස්ටුඩියෝ එකේ ඉන්නේ

කවුරුත් නෑ.. මම විතරයි.

හා. කියල එයා ෆෝන් එක තිබ්බ. ශිට්. එයා ඔක්කොම විස්තර දන්නව. ස්ටුඩියෝ එකේ ෆෝන් නම්බර් එක හිටන්. මම තමයි එයා ගැන මොනවත් නොදන්නෙ.

ඊට විනාඩි ගාණකට පස්සෙ ස්ටුඩියෝ එකට ආවෙ මුස්ලිම් යුවතියක්. ඔලුවට ශෝල් එකක් දාල අව් කණ්නාඩි යුවලක් දාල හිටිය එයා.

මිස් මොකද්ද වෙන්න ඕනේ? මම ඇහුව.

ඔයත් එක්ක කතා කරන්න තමයි ඕනේ. කියල එයා කණ්නාඩිය ගැලෙව්වා.

ඩියාශි!!

ඩියාශි.. ඔයා? මේ මොකද ඇඳගෙන ඉන්න විදිය? මම නැගිට්ටෙ ඉඳගෙන හිටපු තැනින් නැගිටල.

කවුරුත් මාව දකියි කියලා. එයා කිව්වෙ ශෝල් එකත් ගලවල දාල.

කියන්න මට ඇයි මෙහෙම හැංගෙන්නේ කාගෙන්ද?

සමීර මම සේරම කියන්නම්. අදට ස්ටුඩියො එක වහන්න පුලුවන් ද? මට බයයි දන්න කවුරුහරි එයි කියලා. එයා කිව්වෙ දොර දිහා බල බල.

මම එවෙලේම ගිහින් දොර වහල ආව.

රවීන් ආවට කමක් නැද්ද? මම ඇහුවෙ එයා ඒකටත් කැමති නැද්ද කියල හිත හිත.

කමක් නෑ. එයා කිව්වා. මට තේරුනා එයා ඉන්නෙ ගොඩක් නොසන්සුන් වෙලා කියල.

ඔයාට මොනවහරි බොන්න දෙයක් දෙන්නද ඩියාශි?

හා..

හොඳ වෙලාවට ෆ්‍රිජ් එකේ ශානි ගෙනත් තිබුන බීම කෑන් වගයක් තිබ්බ. මම එයින් දෙකක් අරගෙන එකක් එයාට දුන්න. එයා ඒක බිව්වෙ අවුරුදු ගානක් තිබහෙ හිටියා වගේ.

තව ඕන ද?

නැහැ. එයා කිව්වෙ කෑන් එක ටීපෝ එක උඩින් තියල අත් දෙක පිරිමදිමින්.

ඔයාට බඩගිනිද? මම ඇහුවෙ එයා බීම එක බීපු විදිය හින්ද.

නැහැ. මට මහන්සියි. මම ගොඩක් දුර ඉඳල අද මේ ආවෙ ඔයාව මුණගැහෙන්න.

කොහෙ ඉඳලද?

නුවර ඉඳලා.

නුවර?

ඔව්.

ඩියාශි ඔයා මොකක් හරි ප්‍රශ්නෙ කද ඉන්නේ?

ඔව් සමීර. ඔයයි මායි දෙන්නම ලොකු ප්‍රශ්නෙක.

මම දන්නව. සල්ලි ගෑවිච්ච තැන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. මට හැමදේම කියන්න රෝස.

කොතනින් කතාව පටන් ගන්නද කියල එයා හිතනව ඇති. එයාට සන්සුන් වෙන්න කල් දෙන්න ඕන කියල මට හිතුන.

මම රවීන්ට කෝල් එකක් අරන් කියන්නම් පිටිපස්ස පැත්තෙ න් එන්න කියල. ඔයා ටිකක් වෙලා ඔහොම ඉන්න. රිලැක්ස් වෙන්න ඩියාශි. මම කිව්වේ කරුණාවෙන්. අපි දෙන්නා මුලින් හම්බවෙනකොට කොච්චර සැහැල්ලුවෙන් හිටපු කෙල්ලෙක්ද? කියල මට හිතුන. ඒ හිතේ හැම ප්‍රශ්නෙකටම කොණකට මමත් සම්බන්ද ඇති.

රවියා ?

මොකද උඹට මම එනකම් වත් ඔය ස්ටුඩියෝ එකේ වැඩ ටික හරියට කරගන්න බැරිද තනියම?

මොන රෙද්දක් කියනවද උඹ මට කතා කරන්න නොදී? මටත් මල. ඇයි යකෝ. මම මේ වැදගත් දෙයක් කියන්න ගත්තම මූ බලකො.

හරි හරි දැං මොකද්ද සීන් එක?

ඩියාශි ඇවිත් ඉන්නව

හෑ? ස්ටුඩියෝ එකට?

නෑ උඹලගෙ ගෙදරට. අම්මප මූ නම්

මචං සිරාවටම ද කියන්නේ?

ඔව් ගෝතයො. ඒක කියන්න ගත්තෙ. උඹ ඉස්සරහ පැත්තෙන් එන්න එපා දොර වහල තියෙන්නේ. සයිඩ් ගේට් එකෙන් වරෙන් පිටිපස්සෙ.

අම්මට. දෙන දෙයියො ටොකු ඇන ඇන දෙනව කියන්නෙ ඕවට. උඹ ස්ටුඩියො එකත් වහලා ඒකි එක්ක තනියම.

අම්මප මේ කලබල අස්සෙ මූට මතක් වෙන ඒව. ගොනෝ. කුණුහරුප කතා නොකර ඉක්මනට වරෙන්. මම එහෙම කියල ෆෝන් එක තිබ්බ.

මොකද රවීන් කිව්වෙ? ඩියාශි ඇහුව. එයා දැන් නම් ටිකක් සන්සුන් වෙලා වගේ.

දැං එනව කිව්ව.

ඉතිං සමීර? කොහොමද ස්ටුඩියෝ එකේ වැඩ එහෙම ? එයා ඇහුවෙ ස්ටුඩියෝ එකේ එල්ලල තිබ්බ පින්තූර බල බල.

හොඳයි. වරදක් නැහැ .

දැනගන්න දේවල් ගොඩක් තිබුනත් මම ඒව අහන්න ගියේ නැහැ. එයාම මට කියයිනෙ. මට හිතුන එයා ඉන්නෙ රවීනුත් එනකම් කියල.

මාත් ආසයි ෆොටෝග්‍රැෆි වලට. පින්තූර බල බල ඉන්න අතරෙ එයා කිව්ව.

ඇත්තට? මම ඇහුවෙ ඒක විශ්වාස කරන්න බැරුව. මට හම්බවෙන හැම කෙල්ලම ෆොටෝග්‍රැෆි වලට කැමට්ජි මොකද.

ඔව් ඇත්තමයි. මුලින් නම් මම ආස නැහැ. මම ආස චිත්‍ර අඳින්න. ඔයා තමයි මට ෆොටෝග්‍රැෆි පුරුදු කලේ.

මම? මම ඇහුවෙ පුදුමෙන්.

සමීර.. ඔයාට පුන්චි කාලෙ මතකයන් අමතක වෙන්න පුලුවන්. ඒත් ඔයාට පුරුදු ආස දේවල් අමතක වෙන්නෙ නැහැ. ඔයා ඉස්සර ඉඳන්ම ෆොටෝග්‍රැෆි වලට ආසයි. ඒක දන්න හින්ද සීයා ඔයාට කැමරාවක් ගෙනත් දුන්න. ඔයා ඒකෙන් මාව තමයි මුලින්ම කැප්ච කලේ.

මතකද මම රෝස පාට ගවුමක් ඇඳලා කොණ්ඩෙ පිග් ටේල් දෙකක් දාල හිටියා. ඒ පින්තූරෙ අදටත් මියුසියම් එකේ තියෙනව සීය රාමු කරල. ඔයා මිනිස්සුන්ගෙ පින්තූර ගන්න වැඩිය කැමති නැහැ. ඔයා ආස වතුර බින්දු, මකුලු දැල්, තණකොල, කුරුමිණියො වගේ දේවල් වලට. ෆ්‍රාන්ස් වල අපේ මියුසියම් එකේ ඔයාගේ ෆොටෝග්‍රැෆි වලට වගේම මගේ ආට් වලටත් වෙනම සෙක්ශන් එකක් තියෙනව.

මට ඒ කියන දේවල් අදහගන්නත් බැහැ වගේ. ඔව් ඇත්තටම මම සොභාවික දේවල් ෆොටෝ ගන්න ආසයි තමයි. ඒත් ඒක ජොබ් එක විදියට කරන්න බැහැනේ.

ඔයා ඉස්සර හැම වෙලේම සීයට කිය කිය හිටියා ඇමේසන් වනාන්තරේට යනව කියල පින්තූර ගන්න. ඒත් ඒ හැම ආසාවක්ම වෙනස් උනා.

ඩියාශි මට හැමදේම කියන්න. ඔයා දන්න හැමදේම. අකුරක් නෑර මට දැනගන්න ඕන. මට වෙන හැමදේටමත් වඩා මම ගැන දැනගන්න ඕන.

දැං අවුරුදු ගානක් ගත වෙලා. ඔයා ඔයාව ගොඩනගාගෙන තියෙනව අලුත් කෙනෙක් විදිහට. මම දන්නව මගේ කුශ් අයියව ඔයාගෙන් බලාපොරොත්තු වෙන්න මට බැහැ. ඒත්….

හා… ලමායි.. මෙන්න මම ආවා. රවීන් කඩාපාත් උනේ එතකොටම. හලෝ ඩියාශි කොහොමද? අපේ මනුස්සය ඔයා නැහැ කියලා පොලවෙ පස් කාපු නැති ටික විතරයි.

ඇත්තටම ? ඩියාශි ඇහුවෙ මගේ දිහා බලල. මෝඩ එලුවා. ඕකා මගේ කාඩ් එක කනව. පාප මිත්‍රයෝ.

මොකද තෝ මට රවන්නේ? මොකෝ මම කිව්වේ බොරුද?

නෑ.. අමූලික ඇත්ත.

ඇල්බම් එක දුන්නද කියපන්?

ඔව් ඔව් දුන්නා.

ඩියාශි අපිට ප්‍රශ්න පත්තරයක්ම තියෙනව ඔයාගෙන් අහන්න.

රවීන් අයියෙ. මමත් ගොඩාක් දේවල් කියන්න දන්නෙ නැහැ. අපිට ඒව හොයාගන්න වෙනව. මම මගේ ජීවිතෙයි මගේ අම්මිගෙ ජීවිතෙයි අනතුරේ දාගෙන ඔයාලට උදව් කරන්නෙ. එකක් මෙයා මගේ කුශ් අයියා. එයාව මට ආයෙ නැති කරගන්න බැහැ.

අනිත් එක මම සීයට පොරොන්දු උනා. සීය නැති වෙනකොට එයා ඉල්ලුවෙ කුශ් අයියව හොයාගන්න එයාව බලාගන්න කියල විතරමයි. ඩියාශි එහෙම කියල කඳුලු බිඳු පිහිදගත්ත. මටත් වඩා වැඩි කාලයක් එයා සීයත් එක්කම හිටපු හින්ද එයාට ගොඩක් දුක ඇති.

හැමදේම කියන්න නංගි. රවීන් කිව්ව.

අපි දෙන්නම දිහා බලල එයා ලොකු හුස්මක් ගත්තෙ කතාව කියන්න ඕන කොතන ඉඳන්ද කියල හිතාගන්න වගේ.