වාසනා පෙරේරා – Wasana Perera
ඒ මාත් ගීත්නාත් ආදරේ කරන්න පටං අරගෙන මාස තුනකට විතර පස්සෙ. අපි හිටියෙ කොහෙහරි ඇවිදින්න යන්න කියල. මොකද එයා ස්ටුඩියෝ එකට එනවා ඇරෙන්න අපි ගමනකට කියලා වෙන කොහේවත් ගිහින් තිබුනෙ නැහැ තවම. එයා හැමදාම වගේ යෝජනා කලත් මම ඒක කල් දදා හිටියෙ එයාව තව හොඳට දැනගන්නකම්.
සමීර අපි යමු කොහෙහරි ඇවිදින්න. එදත් යෝජනා කලේ ගීත්නාමයි.
හා කොහෙද ඔයාට යන්න ඕන.
පුදුමයි.. හා කිව්ව. ඔයා ඇත්තටමද කියන්නේ.?
මේ කෙල්ලො නම් අනේ මන්ද අප්ප. එක්ක යන්න බෑ කිව්වත් බනිනව. එක්ක යන්නම් කිව්වත් ඒත් එක එකේව කියනව.
හරි හරි ඉතින් ඒ ඔයා එක්ක යන්න කිව්වට එක්ක යන්නෙම නැති හින්දනේ.
හා.. හා දැං එක්ක යන්නම් කිව්වනේ. කියන්නකෝ කොහෙද යන්න ඕන.
ම්ම්ම්ම්… අපි පන්සල් යමු.
හා යමුකො. අලුත්ගම කන්දෙ විහාරෙ තියෙන්නේ අපි එහෙ යමු.
අනේ . මම හැමදාම වගේ යන එකනේ. බෑ බෑ අපි කැලනි පන්සල් යමු.
ඔයාට ලඟ හින්ද කිව්වේ. හා එහෙනම් යමුකො.
මචං.. ගීත්නා පන්සල් යන්න ඕන කියනවා.. මම මේ සෙනසුරාදා එක්ක යන්න ඉන්නෙ. උඹ ස්ටුඩියෝ එක බලාගනින් ඈ.
හම්ම. උඹට රෝන්දෙ යන්න. මම මේක බලාගන්න. කෝමද ඒක?
හරි හරි බං. හැමදාම යන්නෙ නැහැනේ. පව්නේ බං ඒකිත් ආසයිනේ.
මේ ශුවර් නේද උඹ පන්සල්මයි යන්නෙ කියලා? රවීන් ඇහුවෙ මහ වල්පාට හිනාවක් මූණෙ තියාගෙන.
ඔව් ඔව් නැතුව වෙන කොහෙ යන්න ද?වල්කතා නොහිත හිටපන්.
හරි හරි ඔහොම යමුකො මල්ලි.
ඊලඟ සෙනසුරාදා අපි පන්සල් ගියා. ගීත්නා මල් හඳුන්කූරු සේරම අරන් ඇවිල්ල තිබ්බෙ.
බොරුවට සල්ලි වියදම් කරන්න ඔනනැහැ. මේ වගේ තැන් වල ගාන වැඩියි.මල් පරවෙලා අනිත් එක. ගෙදර ගස් පිරෙන්න මල් තියෙද්දි පර වෙච්ච මල් පූජ කරන්නෙ මොකටද? එයා කිව්වෙ මටත් මල් දෝතක් දීල.
ඕන ඕන හැටියට වියදම් කරන්න සල්ලි තිබිලත් එයා ඒ හැසිරෙන විදිය ඇත්තටම මගේ හිත ගත්ත.
මට බෝධිය නාවන්න ආසයි. ඔයා මගේ බෑග් එක තියාගෙන මෙතන ඉන්න. මල් පූජ කරල ඔක්කොම ඉවර වෙලා ගීත්නා කිව්වෙ එයාගෙ බෑග් එක මගේ අතට දීල.
මම ඉතින් එයාගෙ බෑග් එකත් තියාගෙන බලන් හිටියෙ එයා වතුර කලයකුත් අරගෙන පොලවට රිදෙන්නෙ නැති වෙන්න අඩි තිය තිය මොනවදෝ මුමුණ මුමුණා බෝධිය වටේ යන දිහා. එයාට ඒ තරම් සංයමයක් කොහොම ඇවිල්ලද මන්දා. ඒ මුහුණෙ තිබ්බෙ හරිම ශාන්ත පෙනුමක්.
ඔව්.. මං එයාව දැක්කෙ අහම්බෙන්. මට හිතාගන්න බැරිඋනා ඒ ඩියාශිම ද කියල. සුදුපාට නෙලුම් මල් පොකුරකුත් අරගෙන එයා මගේ දිහා බලන් හිටිය.
ඩියාශි.. මම හැදුවෙ එයා ලඟට යන්න. ඇයි රට ගියා කියල බොරු කිව්වෙ කියල අහන්න. මට ගොඩක් දේවල් තිබුනා එයාගෙන් අහන්න. ඔක්කොටම වඩා අපි දෙන්නා සහෝදරයෝ කියල එයාට කියන්න. මට තේරුන එයා ඉන්නෙ මම ලඟට එනවද නැද්ද කියල හිත හිත කියල.
එතකොටමයි ගීත්නා ඇවිත් මගේ අතින් අල්ලගත්තෙ. ගීත්නාව දැක්කම ඒ ඇස් වල මතු උනේ පුදුමයක්. ඒ මා එක්ක තව යුවතියක් හිටපු නිසාද එහෙම නැත්තම් වෙන මොකක් හරි හෙතුවක් හින්දද කියල මට හිතාගන්න බැරිඋනා.
එයා ආපහු හැරිල අතේ තිබ්බ මල් ටික එතන ම තිබ්බ කුණු කූඩෙකට දාල දුවල ගියා.
ඩියාශි ඔහොම ඉන්න. මම කිව්වෙ ගීත්නා ලඟ ඉන්න බවත් අමතක කරල.
කෝ.. කවුරු.? සමීර කාටද ඔයා කතා කරන්නේ? ගීත්නා ඇහුවෙ පුදුමෙන් මම බලන් හිටපු දිහාවම බල බල.
මේ අපේ ගෙවල් ලඟ ඉස්සර හිටපු මගේ යාලුවෙක් දැක්ක. මම කිව්ව.
කෝ ඉතිං. එයත් ඔයාව දැක්කනම් එන්න එපැයි කතා කරන්න.
සමහරවිට මම වෙන කාටහරි රැවටිලා වෙන්න ඇති. මම කිව්ව. ඒ කතාව දික්ගස්සන්න මට ඕන උනේ නැහැ. ඔයා බෝධිය නවල ඉවර ද?
ඔව්. ඉවරයි. ඔයාත් යනවද.
නැහැ මටත් එක්ක ඔයා වැන්දනේ. ඒ ඇති.
හ්ම්ම්. අපි දැන් කොහෙද යන්නේ?
දැන් කොහෙ යන්නද ඔයාව ගෙදරට ඇරලවන්නම්. මම කිව්ව. තව කොහෙවත් යන්න මට මූඩ් එකක් තිබ්බෙ නැහැ ඇත්තටම.
අනේ…
ඇයි අනේ කියන්නේ.
මට බඩගිනියි. එයා කියන්නෙ පොඩි ලමයෙක් වගේ මූණත් හදාගෙන.
ආ.. ඒකද මේ.. හරි හරි අපි කොහෙන්හරි මොනවහරි කමුකෝ.
හාකො එහෙනම්.
සමීර ඔයා හොඳින් නේද? එයාටත් මගේ වෙනස තේරුනාද කොහෙද.
ඔව්. මම හොඳින්. ඇයි?
නෑ මොනවත් නෑ කවුද ඔයා අරදැක්ක කිව්වෙ ?
ඒක දැං වැඩක් නෑ ගීත්නා. මම හිතුව මම දන්න කෙනෙක් කියල. පොඩි වැරදීමක් එච්චරයි.
ඒ හින්දද ඔයා අප්සට් ගියේ? ඒ අර ඔයා මට දව්සක් කිව්ව ගෑනු ලමයද?
කෙල්ලන්ට ඉව තියෙනව කියන්නෙ මේවට තමයි.
එහෙම දෙයක් නෑ ගීත්නා. මම හොඳින්. ඕකේ.
එහෙමනම් කමක් නැහැ . අපි යමු කොහෙන්හරි කන්න. මට හිඳටම බඩගිනියි. කෝච්චිය කීයටද දන්නෙ නෑ තියෙන්නේ?
රෙස්ටුරන්ට් එකකින් දවල්ට කෑම කාල එහෙම ම කෝච්චියෙ ගිහින් ගීත්නාව ගෙදරට ඇරලවල ආපහු මම ගෙදර එද්දි හොඳටම හැන්දෑ වෙලා. බස් එකේ එන්න වෙලා යන හින්ද මම ආයෙ ආවෙත් කෝච්චියෙමයි. ගෙවල් ලඟ ස්ටේශන් එකෙන් බැහැල ස්කීම් එකට පයින්ම එන්න ආවෙ වැඩි දුරක් තිබුනෙ නැති හින්ද.
සමීර… පුරුදු කටහඬක් ඇහුනෙ ග්‍රවුන්ඩ් එක හරියට එද්දිම. මම හැරුනෙ විදුලි වේගෙන්.
ඩියාශි..
ඔව්. එයා උදේ ඇඳන් හිටපු ඇඳුම පිටින්ම.
ඩියාශි.. ඔයා දෙවියනේ ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ?
සමීර.. එයා දුවගෙන ඇවිල්ල මාව වැළඳගත්ත. සමීර.
නුහුරු හැඟීමක් හිත වෙලාගත්ත. හරියට මම කාලාන්තරයක් තිස්සෙ ඒ පහස බලාපොරොත්තුව හිටියා වගේ. මගේ දෑත් ඒ බඳ වටා එතුනෙ මටත් නොදැනිම. මේ ඉන්නෙ අපි දෙන්නම දන්න අඳුනන මිනිස්සු ගැවසෙන තැනක කියන එකත් මට අමතක උනා. මට හිතුන එයාගෙයි මගෙයි හදවත ගැහෙන රාවය එකක්ම කියල. මට හිතුන අපි දෙන්න මනසින් එකම කෙනෙක් කියල. ඒක හරියට සංසාර පුරුද්දක් වගේ. මට හිතුන මේ මම එයාව මෙහෙම වැළඳගෙන හිටපු පලවෙනි අවස්තාව නෙවෙයි කියල. ගීත්නා එක්ක මේ මාස තුනට කොච්චර තනි වෙලා තිබුනත් මෙහෙම හිතිල නැහැ මට. ආදරයයි ආකර්ෂණයයි කියන්නෙ දෙකක්. එතකොට මේ ආදරය ද? මම දන්නව එයා මගේ නංගි කියල. ඒ උනත් මට එයා ගැන නංගි කෙනෙක් විදිහට හිතන්න බැහැ. කොතන හරි වැරදීමක් වෙලා තියෙනව. ඇයි එයාව මට නංගි කෙනෙක් විදිහට හිතන්න බැරි. සමීර හිත පාලනය කරගනින්. උඹට දැන් කෙල්ලක් ඉන්නව. හදවත තර්ක කලත් මට ලෝභයි ඒ පහසින් මිදෙන්න. මම මේ කරන්නෙ ගීත්නාට වැරද්දක්.
මේ පහසින් මිදෙන්න ඩියාශිට වත් මට වත් ඕනකමක් තිබුනෙ නැහැ. කාලය ගත උනේ අපිටත් නොදැනිම. ඒ ගතවෙච්ච කාලය තුල අපේ හදවත් කතාකරගන්න ඇති.
සමීර කවුද ඒ ඔයත් එක්ක හිටපු ගර්ල්. මොහොතක් එක නිමේශයක් වගේ දැනිච්ච් විනාඩි ගාණකට පස්සෙ එයා ඇහුව මගේ තුරුලින් ඈත් වෙන්නෙ නැතුවම.
ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මට එයාට බොරු කියන්න ඕන කමක් තිබුනෙ නැහැ.
ගර්ල් ෆ්‍රෙන්ඩ්.. එයා කිව්වෙ විශ්වාස කරගන්නත් බැරි විදිහට. ඔයාට කොහෙන්ද ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බුනේ මෙච්චර ඉක්මනට. එයා ඇහුවෙ මගෙන් ඈත්වෙලා මගේ ඇස් දෙක දිහාම බලාගෙන.
හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනව ඩියාශි. ඒ තරු ඇස් දිහා බලන් මට වෙන කෙල්ලක් ගැන කතාකරන්න වත් බැහැ වගේ දැනුන. ඒත් මට ඒ ගැන කියනව ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නැහැ . සමීර උඹ ඉක්මන් උනා වැඩියි වත් ද? ඒත් එහෙමයි කියල මම කොහොමද මගේ ම නංගි ගැන ඒ විදියට හිතන්නෙ. හිත ඇතුලෙ දහසක් ප්‍රශ්න කරකැවෙනව. ඒව මගේ ඔලුවට ලොකු පීඩනයක්.
හැමදේම වෙනස් උනත් බැඳීම් වෙනස් වෙන්නෙ නැහැ සමීර. ඔයාගෙයි මගෙයි තියෙන්නේ කාටවත් වෙනස් කරන්න බැරි බැඳීමක්. ඒක කවුරු නැතත් ඔයයි මායි දන්නව. එයා එහෙම කියල මම ලඟට ආව. ඊටපස්සෙ මගේ මූණ දෝතින් ගත්ත. ඒ පහස මට මොකක් හරි මතකයක් අවදි කරවන්නක් උනා. එයා හරියට මායාකාරියක් වගේ. මගේ හැම මතකයකම රැඳිල ඉන්නෙ එයා වගේ එයා ලඟ ඉන්දැද්දි මට ගොඩක් දේවල් මතක් වෙනව. මගේ ඇස් පියවුනේ ඉබේටම.
මතක් කරන්න සමීර. ඔයාට අමතක වෙන්න බැහැ. මම රෝස. ඔයාගේ රෝස. එයා කියනව මට ඇහුනෙ හරියට ඈත ලෝකෙකින් වගේ. ඔයා මගේ කුශ් අයිය නේද?
ඔව්.. අර පොඩි ලමයි දෙන්න.
කුශ් අයියා.. ඔයා මොකද අර හෙලන්ට හග් එකක් දුන්නෙ? පුන්චි කෙල්ල අහන්නෙ තරහෙන් මූණ රතු කරගෙන.
එයා හරිම කියුට්.
බැහැ බැහැ ඔයා මාව ඇරෙන්න වෙන කෙල්ලන්ව හග් කරන්න බැහැ.
ඒක හරි වැඩක්නෙ. හෙලනුත් මගේ නංගි. ඔයත් මගේ නංගි.
එයා නංගි නෙවේ. ශී ඉස් ජස්ට් අ ෆ්‍රෙන්ඩ්. (එයා යාලුවෙක් විතරයි)
ඕකේ. ජස්ට් අ ෆ්‍රෙන්ඩ් ඇන්ඩ් අයි ලයික් හර්. ( හරි යාලුවෙක් විතරයි..ඒ උනාට මම එයාට කැමතියි )
නෝ.. නෝ.. එහෙම බැහැ . සීයා මේ බලන්න මේ කුශ් අයිය අර හෙලන්ව හග් කරා.
කමෝන් සීයා. නංගි ඉස් ක්‍රේසි. (නංගිට පිස්සු)
හරි හරි මේ නංගි එක්ක කුශ් අයියට ලොකු උනාම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් හොයගන්න බැරි වෙයි වගේ. සීයා කියන්නෙ හිනාවෙවී.
සීයා කවුද ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ? රෝස අහනව.
ගර්ල් ෆ්‍රෙන්ඩ් කියන්නේ කුශ් අයියා ලොකු උනාම මැරි කරන එක්කෙනා.
මැරි කරනව කියන්නේ මොකද්ද සීයා.
සීයා රෝසව වඩාගත්තා. රෝසට මතක ද අපි දවසක් පල්ලියේ උත්සවේකට ගියා අන්කල් ජේම්ස්ගෙ.
ඔව් මට මතකයි. අර අන්කල් ජේම්ස්ගෙ ගාව ලස්සන දිග ගවුමක් ඇඳලා ආන්ටි කෙනෙක් හිටියේ. එයා හරීම ලස්සනයි. හරියට සුරංගනාවියක් වගේ.
ඔව් අන්න ඒ වගේ ලස්සනට ඇඳලා උත්සවයක් ගන්න එකට තමයි මැරිකරනවා කියන්නේ.
සෝ.. මටත් ඕන මැරි කරන්න. මටත් ඕන ඒ වගේ ලස්සන ගවුමක් ඇඳලා ඒන්ජල් කෙනෙක් වගේ ඉන්න. කුශ් අයියා මැරි කරන දවසට මට ඕන ඒ ආන්ටි හිටියා වගේ ඉන්න.
එහෙම බැහැනේ රෝස.
ඇයි බැරි. කෙල්ල අහන්නේ මූණත් නරක් කරගෙන .
කුශ් අයියා කැමති වෙන්න එපැයිනේ රෝසව මැරි කරන්න
ඔයා කැමති නැද්ද කුශ් අයියේ
නැහැ. මම කැමතියි හෙලන් ව මැරි කරන්න. ශී ඉස් ලයික් අ ඩෝලී.
රෝස අඬන්න ගත්තේ මහා හයියෙන්.
නංගි ව අඬවන්න එපා පුතා
පිරිමි ලමයා එක සැරේටම පුන්චි ගැහැණු ලමයාව වැලඳගත්ත. ශ්..ශ්.. කමෝන් රෝස. අයි වෝස් ජස්ට් කිඩිං. ( මම විහිලුවක් කලේ) කුශ් අයියා රෝස්ව විතරම විතරයි මැරි කරන්නේ. අයි ප්‍රොමිස්.
ප්‍රොමිස්? ශුවර්? ගැහැනු ලමයා අහන්නෙ අඬන එක මොහොතකට නවත්තල.
යස්. අයි ප්‍රොමිස්.
සමීර… මතකයිද මොනවම හරි. මම ඇස් ඇරලා බැලුවම ඩියාශි මගේ ඉස්සරහ. ඒ ඇස් වල බලාපොරොත්තු ගොඩක්.
සමීර.. මොනම හේතුවකට වත් උඹ කවුද කියලා කාටවත්ම අඟවන්න එපා. මේ ගේම් එක ලේසි නැහැ. ඒ අතරින් මට මතක් උනා රවීන් කියපුවා.
මට මොනවත් මතක් උනේ නැහැ ඩියාශි. මම කිව්වා. ඒ ඇස් වල තිබුනේ මාව විශ්වාස නොකරන බැල්මක්. බලාපොරොත්තු කඩවුන බවක්. මම සමීර. ඇයි ඔයා හැමවෙලේම මට ඔය වගේ කතා කියන්නේ. අනිත් එක මට කියන්න ඔයා කොහෙද මෙච්චර කල් හිටියේ? ඇයි රට ගියා කියල බොරු කිව්වේ?
එහෙම කරන්න උනා.
ඒ කිව්වේ?
ඒක දිග කතාවක්.
ඒකට කමක් නැහැ. ඔයා දන්නෙ නැහැ මම වද වෙච්ච තරම්. ඔයාට අඩු ගානෙ මට කියල යන්න තිබුනනෙ.
ඒක හදිසි තීරණයක් සමීර.
හරි කමක් නැහැ. දැං ඔයා මට ඒක කියන්නෙ නැද්ද?
දැං රෑ වෙලා. මම ගෙදර යන්න ඕන.
අපි කවදද ආයෙ හම්බවෙන්නේ? මට ෆෝන් නම්බර් එකක් දෙන්න ඩියාශි. ඔයාට බැහැ හැමදාම ඔහොම පැනලයන්න.
මම නෙවේ පැනල යන්නෙ සමීර ඔයා. මම හිතුවේ ඔයා මට ආදරේ කලා කියලා.
අපි ආදරේ ගැන කවදාවත් කතා කරල තියෙනවද?
ආදරේ වචන වලින් කතා කරන්න ඕන කියල නියමයක් නැහැ සමීර. මම මේවා කියන්න ඕන නැහැ. ඔයා හොඳටම දන්නව ඒක. මම ආවේ ඔයාට ඒ ගැන කියන්න. ඒත් මට දැන් හිතෙනවා බේරගන්න බැරි තරමට ඔයා දුර ගිහිං කියලා
මොකක්? මොනවද ඩියාශි ඔයා මේ කියන්නේ? කාගෙන්ද මාව බේරගන්න ඕනේ.
මම දන්නෙත් නැහැ. මගේ හිත කියනව ඔයා මගේ කුශ් අයියමයි කියල. ඒකයි මම ආවේ. මොකද මම සීයට පොරොන්දු උනා මොන දේ උනත් මම කුශ් අයියව බලාගන්නව කියලා. ඒත් ඔයා මගේ කුශ් අයියා නෙවේ නම් එහෙම නම් ඔයාට මම කියන කිසිම දෙයක් අදාල වෙන්නෙ නැහැ.
ඩියාශි. මට ඔයා කියන කිසිම දෙයක් තේරෙන්නෙ නැහැ.
ඒකට කමක් නැහැ සමීර. ඔයා අර ගර්ල් එක්ක සතුටින් ඉන්න. මම යනවා. එයා යන්න හැරුණ.
ඇත්ත කියල එයාව නවත්තගන්න වගේම යන්න දෙන්නත් එක වගේම මට ඕන වෙද්දි මම නතර උනේ මොහොතකට මොනවත් හිතාගන්න බැරුව. මේ අඳුරේ අතපත ගෑම මට ඇතිවෙලා. මට ඕන හැම තොරතුරක්ම එයා ගාව තියෙනව. එයා පිලිගත්තා මට නිතර මතක් වෙන ගෑනු ලමයා එයා කියලා. ඉතින් ඇයි මට බැරි. එක මොහොතකට මට ඕන උනා එයාව විශ්වාස කරන්න. මෙච්චර කල් හංගගෙන හිටපු මගේ අනන්‍යතාව ය එලි කරන්න. අද මම එයාව මගඇරගත්තොත් සමහරවිට කවදවත් මට ඒ ප්‍රශ්න වලට උත්තර් ලැබෙන එකක් නැහැ. මම කල්පනා කලේ එයා පියවරෙන් පියවර මගෙන් ඈතට යද්දි. නැහැ. දැං ඉවසුව හොඳටම ඇති. මොන අවදානම උනත් කමක් නැහැ. මම ලෑස්තියි ඒකට මුහුණ දෙන්න.
ඩියාශි.. නතර වෙන්න. ඔහොම ඉන්න. මම කිව්වත් එයා නතර උනේ නැහැ.
රෝස. 🌹 යන්න එපා ඔහොම ඉන්න. ඔයා වැරදි නැහැ. හැම වෙලාවකම ඔයා හරි. මම තමයි ඔයාගෙ කුශ් අයියා.
කුශින්ත් නිර්වාන් අතුරලිය