දැන් උඹ හිතන්නේ කාට වෙන්න ඇතිද ගිත්නා කතා කරන්න ඇත්තේ.?
මම ඒ විස්තරේ ගිහින් රවින්ට කිව්වම ඌ ඇහුව.
මම දන්නේ නැහැ බන් මට හිතාගන්න බැහැ
මම කිව්වා උඹට ඔය කෙල්ල අලුත්ගම ඉඳල මෙහෙට ආපු එකම අසාමාන්‍යයි කියල කෝ ඇහුවද නැහැනේ. ඊට පස්සේ අපිට සැක හිතෙන්නේ නැති වෙන්න ගේමක් ගැහුවා. අර උපන්දින පාටියත් බොරුවට තිබ්බ එකක්ද දන්නේ නැහැ.
දන්නේ නැහැ.
ඒ කෙල්ලට ඕන වෙන්න ඇත්තේ උඹ එක්ක යාලු වෙන්න. එත් ඒ මොකටද?
අපි හොයාගන්න ඕන එයාගේ තාත්ත කවුද කියල. මම කිව්වා.
මචන් ක්‍රමයක් නම් තියෙනවා. මගේ දිහා බලල රවින් කිව්වා.
මොකද්ද?
ඌරගෙ මාළු උගේ ඇඟේ ම තියල කපමු අපි.
මොකද්ද බන් ඒ හරුපේ.
දැන් මේකනේ. ගිත්නාට ඕන කොහොමත් උඹ එක්ක යාලු වෙන්න. ඉතින් අපි එයාට ඒකට ඉඩ දීල එයා ගැන විස්තර හොයමු.
අපි දන්නවනේ ගෑනි මොකාටද එන්න හදන්නේ කියල. හැබැයි පුතේ උඹ පැණි පේරුවට කමක් නැහැ ඔය කෙල්ල අඩගහන තැන වලට තනියම යනවා හෙම නෙවේ.
මට එහෙම පිස්සුවක් නැහැ. මම කිව්වේ තරහෙන්.
ඕව කියන්න බහ. අපරාධකාරයෙක් උනත් ලස්සන කෙල්ලෙක්නේ. රවින් කිව්වේ ගානකට නැතුව.
උඹ මගෙන් මුකුත් නාහ ඉඳින්.
හොඳ වෙලාවට කෙල්ලට ෆෝන් එක තියන්න අමතක උනේ. ඒක නම් උඹේ වාසනාව. නැත්තම් උඹ ඔය අඩගහන තැනකට යන්න නේද හිටියේ.
පිස්සුද බන්. මම කිව්වේ හිතට එකඟව නෙවේ.
අනේ පල ඩෝ යන්න. මම දන්නේ නැද්ද තොගේ හැටි.
මේ දැන් ඔය කෙල්ල හෙට ඒවි නේද?
ඔව් ඔව් ඒවි.
මචන් මම හිතන්නේ නැහැ එයා තනියම එයි කියල. අපි පොඩ්ඩක් බලමු. මේක පිටිපස්සේ වෙන කවුරුහරි ඉන්නවා.
ඔව් ඔව් එයාගේ තාත්තා. එයා ඒ මනුස්සයට ඩෑඩා කියල කතා කළා.
සමීර මට හිතෙන්නේ මේ හැම දෙයක්ම එකකට එකක් සම්බන්දයි. උඹ ඩියාශිව හොයාගන්න ඕන. මේ ගිත්නා හින්ද උඹට ඒ කෙල්ලව අමතකම වෙලා ගියා. එත් මට හිතෙනවා අපි දන්නවට වඩා ගොඩක් දේවල් එයා දන්නවා ඇති කියල. එයා ඇත්තටම අර උඹේ නංගි නම්.
ලෝකේ කෙලවරින් හොයන්නද බන්.
එච්චර දුර යන්න ඕන නැහැ. එයා මේ ලංකාවේම කොහේ හරි ඇත්තේ. මට විශ්වාසයි එදා මම දකින්න ඇත්තේ ඩියාශිමයි කියල.
ලංකාවේ කියලත් කොහේ හොයන්නද බන්. අපි හරියටම තැනක් දන්නේ නැතුව.
එහෙම මනුස්සයෙක්ට හැමදාම හැංගිලා ඉන්න බහ. අනිත් එක එයා මොකටද හැංගිලා ඉන්නේ.
මචන් එයාගේ තාත්ත භාරේ නම් අර කිව්වා කලාගාරේ තියෙන්නේ අපි මෑන් ඉන්න ඕන ප්‍රන්ශේ නෙවෙයිද. එයාට හැංගෙන්න හේතුවක් නැහැනේ.
අපි දන්නේ නැහැනේ ඇත්තටම ඒ පවුලට මාත් එක්ක සම්බන්දයක් තියෙනවද නැද්ද කියල.
අපි ඔය ඔක්කොම දැනගමු උඹ ඔය කෙල්ල එක්ක යාලු වෙයන්. තාම අපි ආරක්ෂිත අඩවියේ නේ ඉන්නේ කවුරුවත් ආවේ නෑනේ.
අම්මප තෝ යාලුවෙක්ද මාව මාරු කටට යවන්න හදන්නේ.
උඹ අර ගිත්නා කාටද කියපු විස්තරේ ඇහුනේ නැත්තම් උඹ කොහොමත් මාරු කටට යන්නනේ හිටියේ, ඒ හින්ද අවුලක් නැහැ.
නොදකින් තෝ වගේ යාලුවෙක්.
නරක වෙලා හිටියි මම මුල ඉඳන්ම ඔය කෙල්ල සක කලේ නැත්තම්.
පහුවෙනිදා ගිත්නා ආවේ අපි ස්ටුඩියෝ එක ඇරපු ගමන්ම වගේ. අපි දෙන්නම කොහොමත් වේලාසනින් ආවේ එයා එන වෙලාව කා එක්කද එන්නේ කින්ද මන්ද කියල බලන්න ඕන නිසා. මම විතරයි ස්ටුඩියෝ එක ඇතුලේ හිටියේ. රවින් එලියට ගියා වාහනේ විස්තර තව මිනිස්සු ඉන්නවද කියල දැනගන්න කියල.
ආ ලමයි කොහොමද? ගුඩ් මෝනින්. එයා තුලට ආවේම එහෙම කියාගෙන.
කවුද ඔයාට එන්න කිව්වේ. මම ඇහුවේ සාමාන්‍ය විදියට ඉන්න උත්සහ කරන ගමන්.
ඇයි අනේ ඔයානේ කිව්වේ මගේ වැඩේ ඉවරයි කියල. කෙල්ල ඇහුවේ අඬන්න වගේ මුණත් හදාගෙන. අම්මප මේ කෙල්ලෝ. අර කතාව ඇහුනේ නැත්තම් මම ඇත්තටම මේ රඟපෑමට රැවටෙනවා නේද කියල අමතක් වෙනකොට මට මම ගැනම ලැජ්ජයි.
හපෝ බොරු කිව්වේ වැඩේ ඉවරයි මේ තියෙන්නේ. මම එයාගේ ඇල්බම් එක දුන්න අතට. එයා ඒක අරන් බැලුවේ හරිම සතුටින්. ආරාධනාවක් නැතුවම ස්ටුඩියෝ එක ඉස්සරහ දාල තිබුණු සොපාවේ ඉඳගෙන එයා පින්තුර බලන්න පටන් ගත්තා. එයාට මම එතන ඉන්න එක ගැනවත් අවධානයක් නැහැ වගේ. එයා ඒ තරම ට පින්තුර ගොඩේ කිමිදිලා හිටියේ. මට ඇත්තටම හිතාගන්න බැරි උනා එයා කරන්නේ රඟපෑමකද නැත්තම් ඇත්තටමද කියල. ඒ හැසිරීම ඒ තරම් තාත්විකයි. මට මොහොතකට හිතුන මම එයා ගැන වැරදියට හිතාගෙන වත්ද කියල. නැහැ එහෙම වෙන්න බහ. මගේ කනට ම ඇහිච්ච දේ බොරු වෙන්න පුළුවන් ද? සමීර උඹ හොඳ සිහියෙන් හිටපන්.
ෂාහ් හරිම ලස්සනයි. ඔයාල සෑහෙන්න කොලිටි එකට වැඩේ කරලා තියෙනවා. ස්තුතියි ගොඩක්. එයා කිව්වේ පින්තුර වලින් ඇස අහකට ගන්නේ නැතුවම.
ඒක අපෙ ජොබ් එකනේ.
මම මේ ෆීල්ඩ් එකට ගොඩක් ආසයි. කවද හරි මම මගේ ම කියල ස්ටුඩියෝ එකක් දානවා. එයා කිව්වා. ඒ කටහඬේ තිබුනේ අවංක බවක්. සමහර විට එයා ඇත්තටම ෆොටෝග්‍රෆි වලට ආස ඇති.
ඒ බලාපොරොත්තුව ඉක්මනට ඉෂ්ට වෙන්න කියල මම විශ් කරනවා. මම කිව්වා. එයා හිනා උනා.
කෝ අද යාළුවා නැද්ද?
රවින් ද? ආ ඌ මේ ළඟකට ගියා දැන් එනවා ඇති.
එහෙමද?
ඔව්. අපි තාම උදේට කාලත් නැහැ. ඔයා කුකුළා අතින් අරන් එයි කියල හිතුවේ නැහැනේ. ඌ ගියා කන්න ගෙන්න.
රවින් ආවේ එතකොටම.
කන්න ගෙන්න ගියා කිව්වට කෝ මුකුත් ගෙනල්ල නැහැනේ. ගිත්නා කිව්වේ රවින්ගේ අත් දෙක දිහාම බලල. මලා. දීපන්කො උත්තර. එත් රවින්ට පට ගාල මීටර් උනා වැඩේ.
ඔව්. කන්න ගෙන්න තමයි ගියේ. ඒත් සුභා කෝල් කරලා කිව්වා එයාලගේ ගෙදර පිට්ටු හදනවා කියල තව ටිකකින් එනවා කියල අපි දෙන්නට ඉන්න කියලා. ඌ කියාගෙන කියාගෙන ගියා. ඒ හින්ද මම ආපහු හැරිලා ආව.
කවුද සුභා? කෙල්ල ඇහුව. ඒකිට ඒවත් දැනගන්න ඕන.
ආ ඒ අපේ අල්ලපු ගෙදර ගෑනු එක්කෙනා.
මොකක්? අල්ලපු ගෙදර ගෑනු එක්කෙනා මොකටද ඔයාලට කෑම ගේන්නේ? මේ කෙල්ලටත් ඕන නැති එකක් නැහැ.
එයා මේ අපේ සමීර ගැන ඉන්ටරෙස්ට්. රවින් කියනවා. යකු මු බොරු කියන හැටි කටේ දිවේ තොලේ නොගෑවී. කෙල්ලගේ මුණ බලන්න ලස්සනයි.
එහෙමද?
ඔව් එහෙම නේද සමීර.
මන්ද ඔය රවින් නේ කියන්නේ. එයා ගෙන්ම තමයි අහන්න වෙන්නේ.
මම නම් කියන්නේ අවුලක් නැහැ. මුටත් වේලි වේලි ඉන්නේ කෙල්ලෙක් වත් නැහැනේ. ඒ මනුස්සය හොඳයි එක ලමයයි ඉන්නේ. ඒ පොඩි එකත් මෙයාට තාත්තේ කියාගත්තු ගමන්මයි. මුගේ කට ට මේ බොරු කොහෙන් එනවද මන්ද.
රවින් ඔයා ඔය බොරු නේද කියන්නේ? කෙල්ල අහනවා.
මම මොකටද බොරු කියන්නේ.
ඇයි සමීර ඔයා මට මේ ගැන කිව්වේ නැත්තේ?
කියන්න ඔයා දුන්න ය ැ. මම කතා කරන වෙලාවට ඔයා ට කවුරුහැරිම කතා කරනවනේ.
ඒ උනත්… එතකොට මට මොකද වෙන්නේ? කෙල්ල ඇහුව. අපි දෙන්නම බැලුවේ පුදුම වෙලා.
ඔයාට මොනවා වෙන්නද? ඔයා මේ හොඳට ඉන්නේ?
මම හිතුව ඔයා මට කැමතියි කියලා. මේ කෙල්ල නම් මාර යි. තව කොල්ලෙක් ඉස්සරහ මෙහෙමත් කැමැත්ත කියන කෙල්ලෝ ඉඳීද? එත් එක්කම මට මතක් උනා එයා මේ රඟපෑමක් නේද කරන්නේ කියල. ඇත්තටම එහෙම කැමැත්තක් තිබුන නම් කවදාවත් කෙල්ලක් ඉස්සර වෙන්නේ නැහැ කියල මම අත්දැකීමෙන්ම දන්නවා.
ඇයි එහෙම හිතුවේ.
නිකම්. මට එහම් හිතුනා.
අම්මටසිරි එකත් ජයසිරි මංගලම් කිව්වලු. සමීර. තව බොරු කරන්න ඕන නැහැ. ඔය කෙල්ලට ඇත්ත කියහන්.
මොකද්ද ඇත්ත?
අපි බොරු කිව්වේ ගිත්නා. සමීරත් ඔයාට කැමතියි. රවින් කිව්වා. ඌ කොහොමත් මට කියා කියනේ හිටියේ කෙල්ල එක්ක යාලුවෙන්න කියල. ඉතින් අවස්තාව එයාම දීපු එකේ මගාරින්නේ මොකටද කියල ඌ හිතන්න ඇති.
ඇත්තමද සමීර?
කෙල්ල ඇහුවේ මගේ ලඟට ඇවිල්ල මගේ අත දෙකෙන්ම අල්ලාගෙන. එයා ඒක කරපු විදිහ නම් හරිම ආදරනියයි.
සමීර හොඳට මතක තියාගනින් මේක රඟපෑමක්.
ඔව් ගිත්නා ඇත්ත. මම ඔයාට කැමතියි. යකෝ කෙල්ලෙක්ට ආදරෙයි කියන්න මෙච්චර අමාරුද? සමහරවිට බොරුවට කියන්න අමාරු ඇති. කොහෙද ඉතින් මට එහම අත්දැකීමක් වත් නැහැනේ. කෙල්ලගේ මුණේ ලස්සන හිනාවක් ඇඳුන. සමහර විට එයා ගේ අරමුණ සාර්ථකයි කියල හිතෙන්න ඇති.
මට සතුටුයි ගොඩක්. විනාඩි දෙක තුනක් මගේ දිහා බලන් ඉඳල එයා කිව්වා. දෙවියනේ මට හිතාගන්න බහ එයා කොහොම මෙහෙම හැසිරෙනවද කියල ඒ හැම ඉරියව්වක්ම ඇත්ත කියලයි මට හිතෙන්නේ. සමීර. සිහියෙන් හිටපන්.
මට පරක්කු වෙනවා මම දැන් යන්න ඕන. හදිසියේම මතක් වෙලා වගේ එයා කිව්වා. යකෝ මෙහෙමත් කෙල්ලෝ.
හ්ම්ම්ම්.
අපි කවද්ද ආයේ මිට වෙන්නේ? ආපහු ඇහුවේ එයාමය ි.
දන්නේ නැහැ ඔයාම දවසක් කියන්නකෝ.
මම කෝල් කරන්නම් ඔයාට. රවින් තැන්කු සෝ මච්
මට මොකටද තැන්ක්ස් කරන්නේ?
නැහැ ඔයා කිව්වේ නැත්තම් මම මේ හිතේ තියෙන දේ දැනගන්නේ නැහැනේ.
ආ එහෙම නැහැ එයා උ කොහොමත් ඕක ඔයාට අද කියන්න තමයි හිටියේ.
ඇත්තද?
ඔව් ඇත්ත. එයා ලස්සනට හිනා උනා. මට අද දවසම මෙහෙ ඉන්න හිතිලා තියෙන්නේ.
ඉතින් ඉන්නකෝ.
අපොයි බැහැ . අයියා මාව සම්බෝල හදයි.
අයියා වස ද?
එහෙම වස නැහැ. ඒ උනාට මම විතරනේ නංගි කෙනෙක්ට ඉන්නේ. පරිස්සම් කරනවා වැඩියි.
එහෙනම් මුලින්ම මට අයියගෙන් අවසර ගන්න වෙයි වගේ. මම කිව්වා.
එක මම බලාගන්නම්කො. එයා කිව්වේ හරිම දඟ විදිහට.
මට පරක්කු උනා. මම යනවා එහෙනම්. තැන්කු ඇල්බම් එකට දෙන්නටම. එක කියන්න බැරි තරම් ලස්සනයි.
ඊට පස්සේ එයා ගියා අපි දෙන්නගෙන්ම සමු අරගෙන ගියා.
ෂුහ් … රවින් කිව්වේ කෙල්ල ගියාට පස්සේ. පට්ට රඟපෑම ඒක නම්. යකූ ඔස්කාර් සම්මාන දෙන්න ඕන මෙව්වටනේ.
ඒ කරේ ඇත්තක්ද බොරුවක්ද කියලවත් මට හිතාගන්න බැහැ බං
උබට අර ඇහිච්ච ඒව ඇත්ත නම් ඒ බොරුවක් වෙන්න එපැයි බං.
හරි හරි ඒකෙන් කමක් නෑ.. අන්න අර දසුන්ගෙ වෙඩින් ඇල්බම් එකේ වැඩ ටික ඉවර කරපන්. ඌ ඊයෙත් කෝල් කරා.
කරන්න වැඩ සෑහෙන්න තිබ්බ හින්ද අපි ඒ වැඩ වලට යොමු උනා.