මොනවා?.. ඒක වෙන්න බෑනේ.. මට කියවුනේ ඉබේටම. එයා කොහොමද මට කියන්නෙත් නැතුව ගියේ.
හදිසියෙ ගියා නෙවේ අයියෙ. අක්කලා කොහොමත් යන්න හිටියෙ. හැබැයි ආයෙ ලංකාවට එන්නෙ නෑ කියල තීරණය කරල තියෙන්නෙ පස්සෙ. මටත් යන දවසේ හම්බුනේ නැහැ. ඩියාශි අක්කගේ අම්ම ඇවිල්ල තමයි අපේ අම්මට කියල තියෙන්නේ යනවා කියල. අක්ක නම් මට වත් හම්බුනේ නැහැ. මම හිතුවේ එයා ඔයාව අඳුනන හින්ද කියල යන්න ඇති කියල. පොඩි එකා කියාගෙන කියාගෙන ගියා.
මට ඒ කියපු දේවල් ඇහුනෙ හීනෙන් වගේ.. එයා ඇත්තටම ගිහින්ද.. ඇයි ඒ? මට ඕන උනා එයාට කියන්න මං තමයි එයාගෙ කුශ් අයියා කියල. ඇයි එයා ගියේ.
මට ආපහු ගෙදර ආපු විදිය වත් මතක තිබුනෙ නෑ.
පුතා මේ මොකද මූණෙ හැටි. මොකද උනේ? ගෙට යද්දිම ඉස්සරහට හම්බුනේ අම්මා.. එයාට දැක්ක ගමන් මගේ වෙනස තේරෙන්න ඇති.
මුකුත් නෑ අම්මා.. මට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන එකත් වෙහෙසයි වගේ.
මුකුත් නැත්තෙ නෑ.. මොකද උනේ. රවීන්ලගෙ මාමා වාහනේ දෙන්න බෑ කිව්වද? එහෙම නම් වෙන එකක් හරි හොයාගන්න බැරියැ.
අනේ නෑ අම්මෙ වාහනේ හම්බුනා.
එහෙනම් මොකෝ දාහට අරං නිකම් දීල වගේ.
ඩියාශිලා මෙහෙන් යන්නම ගිහින්.. අම්මා දන්නෙ නැද්ද?
මොකක්? අම්මගෙ කටහඬේ තිබ්බෙ පුදුමයක්. ඒ මොකෝ? ඔයා කොහොමද දන්නෙ? කවදද ගිහින් තියෙන්න ෙ? ප්‍රශ්න වැලයි. ඔක්කොටම මම උත්තර දෙන්න යැ මම දන්නෙත් නැති කොට.
මම දන්නෙ නෑ. මම කිව්වා. ලහිරු මල්ලි කිව්වේ.
කවද්ද ගිහින් තියෙන්න ෙ?
දන්නෙ නෑ අම්මා.
ඇයි එයාල හදිසියෙම එහෙම ගියේ? ෆ්‍රාන්සස් නෝනට තිබ්බනෙ අඩු ගානෙ මට කතාකරල වත් යන්න.
මම දන්නෙ නෑ අම්මෙ ඕව. මම කාමරේට ආව.
මා ලඟ අඩුගානෙ ඩියාශිගෙ ෆෝන් නම්බර් එකක් වත් නෑ. එයාට කතා කරන්න විදියක් වත් නැහැ. මොකද ඉතින් හම්බවෙච්ච ගමන්ම ෆෝන් නම්බර් ඉල්ලන්න ය. මට ඇත්තටම එයාව හොයං ප්‍රංශයට යන්න තරම් හිතුන.
ඒක න්ම් හොයන්නම ඕන දෙයක් තමයි.. විස්තරේ කිව්වම රවීන් කිව්ව.
අපි රවීන් කිව්ව් වගේ පාර දිගේ යන ගමන් හිටියෙ. මේකා කිව්ව වගේම යන්න තැනක් හොයල නෑ.
අවිස්සාවේල්ල පැත්තෙ හොලිඩේ ඉන් එකක් බලමු. මට මතකයි එහෙම එකක් තිබ්බ ෆැමිලි වලට. ඌ කිව්ව. මට ඒ ගැන හිතන්න වත් පුලුවන් උනේ නැහැ. ඔලුව අවුල් වෙලා.
අපි කොහොමද බං ඒ කෙල්ල හොයාගන්නෙ? මම ඇහුව.
ඒක පැත්තකින් තියහංකො. උබ මට කියහං උබ දැං අර කලාගාරෙ විස්තර හොයං යන්න තීරණය කලාද?
මම හැරිල බැලුවෙ අම්මල දිහා.. එයාල අපි ගැන අවධානයක් නැතුව ලොකු කතාවක්.
ඔව්. මම කිව්වෙ එක තීරණයකින්. මට ඒ ගැන හොයන්න ඕන දැනගන්න ඕන බං.
එහෙම නම් බං ඕක කාටවත් අණ බෙර ගහල කරන්න ඕන දෙයක් නෙවේ.. උඹ කුශින්ත් බව නොකිය හිටපං කාටවත්. මොකද ඒක අනතුරුදායකයි. අඩු ගානෙ ඩියාශිට වත් කියන්න එපා.
එයාට කියන්නත් එයාව හොයාගන්න එපැයි බං.
ඒක මහ වැඩක් නෙවේ බං. රොඩ්‍රික් අතුරලිය කියන්නෙ ප්‍රසිද්ධ කෙනෙක්. ඩියාශි ඇත්තටම ඒ පවුලේ කෙනෙක් නම් එයාව හොයාගන්න එච්චර අමාරු වෙන්නෙ නෑ. ඉතිං උබ ප්‍රංශයට යන්නද හදන්නෙ?
ඔව්..ඒත් මම තාම ඒක තීරණය කරල නෑ.
ඊටපස්සෙ අපිට වැඩිය ඒ ගැන කතා කරන්න උනේ නැහැ. මොකද අම්මල එක්ක ගමනක් යනකොට ඔව්ව කතා කරනන බැහැ. එයාල කියන එකක් අහගෙන ඉන්නවා මිසක්.
ඩියාශි ගැන කිසිම ආරංචියක් නැතුව මාසයක් දෙකක් ගත උනා. එකපාරටම මට ප්‍රංශයට යන්න පුළුවන් උනෙත් නැහැ.
අම්ම නම් කොහෙත්ම කැමති උනේ නෑ ඒ තීරණේට. එකම දේ එයාට මං ගැන තියෙන බය. තාත්තයි අයියයි නම් ඒ ගැන හිතුවෙ විවෘත ව. මම ගැන කවුරුත් දන්නෙ නැති හින්ද මට අනතුරක් නැහැ කියල ඒ දෙන්න කිව්ව. හැබැයි එයාල නොදන්න දේ තමයි ඩියාශි මං ගැන දැනගෙන හිටිය. මට හිතෙන විදියට එයා අර පොඩි ලමයින්ගෙ නාට්‍යයට අපි දෙන්නගෙ මතකයන් එකතු කලේ මම කවුද කියල මට මතක් කරල දෙන්න.
උබ මොනම වෙලාවක වත් ඩියාශිට උබ ඇත්තටම කවුද කියල දැනෙන්න දෙන්න එපා. උබ සමීර විදියටම ඉඳපං. මුල ඉඳලම බැලුවම මට එයාගෙ පවුල ගැනත් සැකයි. ඇයි එයාල හදිසියෙම මෙහෙන් ගියේ.
ඒ උනාට එයාට මුල ඉඳලම ඕන කරල තිබුන මම කවුද කියල මට මතක් කරල දෙන්න. මම කිව්වෙ මුල ඉඳලම ඩියාශිගෙ හැසිරීම සිහි කරල.
ඕන මගුලක්. ඔය කෙල්ල අතුරුදහන් වෙලා නැහැනෙ. එයාගෙ අම්මයි තාත්තයි හිතන්න ඇති ආපහු ප්‍රංශෙටම ගිහිල්ල එයාලගෙ කලාගාරෙ බලාගෙන ඉන්න.
උබ මොන විස්තරයක් වත් කියන්න එපා තේරුනාද?
හරි හරි බං මං කියන්න යන්නෙ නෑ.
දැන් ඉතින් උඹ කවදද යන්නේ?
දිනයක් කියන්න බැහැබන් උඹ දන්නවනේ තිබිච්ච සල්ලි ඔක්කොම අර ගේ ගන්න යෙදෙව්වනේ. ආයේ අමුතුවෙන් හොයන්න ඕන.
ඒ ඔව්නේ බන් ඒකෙ වඩාත් බලන්න ඕන නේ.
මම ලංකාවට ආවේම ඒකට. මගේම කියල පරිගණක මෘදුකාංග නිෂ්පාදන සමාගමක් පටන් ගන්න. නැත්තම් ඉතින් අවුරුදු ගානක් ඉගෙන ගෙන අවුරුදු ගානක් පිටරට රස්සාව කරලා වැඩක් තියෙනවය. ඒ අතරේ වෘත්තීය චායාරුප ශිල්පියෙක් වෙන්නත් ඕනෑකමක් තිබ්බ.
උඹයි උඹ තෝරගත්තු ෆීල්ඩ් හරියට මීකිරි කිරි හොදි වගේ.
ඕක මුලින්ම කිව්වම රවින් කිව්වේ එහෙම.
නෑ නෑ දෙකම ගැලපෙනවා. මීකිරි වලත් කිරි තියෙනවා. කිරි හොදී වලත් තියෙන්නේ.
උඹට මම කිව්වා කියල හිතාගනින්.
හරි දැන් උඹ මට උදව් කරනවද නැද්ද කියහන්කෝ.
කොහොමහරි රවීන් කැමති උනා ස්ටුඩියෝ එකේ වැඩ වලට උදව් කරන්න. ඉතින් ආපු ගමන් ඔය ඔක්කොම කරන්න බැරි හින්දයි ගෙදර නිකම් ඉන්න බැරි හින්දයි තමයි රක්ෂණ සමාගමේ ජොබ් එකට ගියේ. ඒ අතරේ රවිනුයි මමයි ස්ටුඩියෝ එකටයි මගේ අනිත් වැඩ වලටයි හරියන්න තැනක් හෙව්වා. හොයල හොයල අන්තිමට අපිට කියාපු තැනක් හම්බුනා. ඉතින් ඒකේ රෙන්ට් එකට අතේ තිබ්බ ඔක්කොම යට කරලා මම හිටියේ. ඒ හින්ද ප්‍රංශයට යන්න තියා කොලබ ඉදන් අනුරාධපුරේට යන්න වත් සල්ලි තිබ්බේ නැහැ අතේ.
කාලය ගෙවුනේ මටත් රහසින්. සොෆ්ට්වෙයා කම්පැනි එක කොහොම උනත් චායාරුප ශිල්පයේ නමක් හදාගන්න මටයි රවින් ටයි පුළුවන් උනා. අපි ගත්තු ගෙදර මොඩිෆයි කරලා ස්ටුඩියෝ එකක් විදියට හදාගත්ත. රවින් ජොබ් එකෙන් අයින් වෙලාම ආවේ මම හින්දම.
මේක මම නම් කැමති ෆීල්ඩ් එක. ඒ උනාට උඹ එහෙම නැහැනේ. අවධානම් වැඩක් ස්ටුඩියෝ එකක් කරනවා කියන්නේ. උඹ ජොබ් එකෙන් අයින් වෙන්න එපා. මම මුලිනම රවින්ට කිව්වා.
අවධානමක් නොගෙන දියුණු වෙන්න බහ බන්. ඒ ගැන කිව්වම රවින් කිව්වා. ෆොටෝග්‍රෆි කියන්නේ කලාවක්. ඒක ඉගෙන ගත්තට පාඩුවක් වෙන්නේ නැහැනේ.
කොහොමහරි අපි දෙන්නට වැරදුනේ නැහැ. අපි දෙන්නට වෙන වැඩක් ගැන හිතන්න වත් බැරි තරමට වෙඩින් කවරේජ් ආව. ඒ නිසා ඒ වැඩ ත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ.
එදත් අපි දෙන්න හිටියේ වෙඩින් ෆොටෝ වගයක් එඩිට් කරමින්. ඒකත් ලේසි වැඩක් නෙවෙයි. අපේ මුළු අවධානයම කම්පියුටර් එකට යොමු වෙලා තිබුනේ.
එක්සියුස් මී… අපි දෙන්නම බැලුවේ ස්ටුඩියෝ එකේ කවුන්ටර් එක දෙසින් ඇහිච්ච කටහඬක් නිසා.
අපි දෙන්නම එකපාරටම හැරිල බැලුව. මට එකපාරටම හිතුනෙ ඩියාශි කියල.
ඩියාශි දැං මොනව කරනව ඇත්ද? එයාගෙන් ආරංචියක් නැතුව කොච්චරකල් ද. එයාට තිබුන අඩු ගානෙ එක සැරයක් මටකතා කරන්න. නැත්තම් ලියුමක් එවන්න. මොකද එකම හවුසින් ස්කීම් එකේ ඉඳල එයා එඩ්‍රස් එක නොදැන ඉන්න බැහැනෙ මම එයාගෙ රට විස්තර දැනගත්තෙ නැතුවට.
කවුන්ටරේ ඉස්සරහ හිටගෙන හිටියෙ ලස්සන කෙල්ලක්.
උරහිස හරියට විතර දිග කොණ්ඩෙ. විලුඹ තෙක් දිගු සායක් සහ හැට්ටයක් ඇඳල හිටි ඇගේ පෙනුම මගේ ඇස් වලට සොඳුරුව දිස් උනේ එක වරම.
ඔව්.. මොකද්ද වෙන්න ඕනෙ.. රවීන් නැගිටල ඇහුව.
වස ලැජ්ජාවයි. ඒකා ශුවර් එකට දකින්න ඇති මම මෙලෝ සිහියක් නැතුව කෙල්ල දිහා බලං ඉන්නව.
මට අපේ අයියගෙ බබාගෙ බර්ත් ඩේ පාටි එකේ ෆොටෝස් ටික කරගන්න ඕන.
අපි බර්ත්ඩේ ෆොටෝස් බාරගන්නෙ නෑනෙ මිස්. රවීන්ගත් කටටම කිව්ව.
ඌ කිව්වෙ බොරු නෙවෙයි. අපිට ඇත්තටම ඒ වගේ පොඩි දේකට කැපකරන්න තරම් කාලයක් තිබුනෙ නැහැ. කෙල්ලගෙ මූණත් එක්ක අමුතු උනේ බලාපොරොත්තු කඩවෙච්ච හින්ද වෙන්න ඕන.
අනේ එහෙම කියන්නෙපා. මම ටිකක් දුර ඉඳල ආවෙ.
කොහෙ ඉඳලද?
රවීන්ටත් ඕන නැති මගුලක් නෑ.
අලුත්ගම ඉඳලා.
හෑ.. අලුත්ගම ඉඳලා නුගේගොඩට ආවා.. රවීන් ඇහුවෙ පුදුමෙන්.
ඔව් ඇත්තටම ඒක පුදුම වෙන්න දෙයක් තමයි.
ඔව්.. මම ඔයාලගෙ කවරේජ් ෆේස්බුක් එකෙන් බලල ආවෙ. ඒකෙ තිබුනෙ නැහැනෙ ඔයාලා බර්ත්ඩේ ස් කරන්නෙ නෑ කියලා.. එහෙනම් අර ෆොටෝ දාල තිබුනෙ. කෙල්ල කියාගෙන කියාගෙන ගියේ අපි දෙන්න පුදුම වෙලා බලං ඉඳිද්දි.
අපි ඉස්සර කරා.. දැං වෙලාවක් නෑ මිස් ඒකයි.
එහෙනම් ඉතිං ඒකත් ෆේස්බුක් එකේ දාන්න එපැයි නිකම් මිනිස්සු රස්තියාදු නොකර. කෙල්ල කියන්නෙ තරහෙං.
මම හිතන්නෙ අපි දැම්මා.. නැද්ද බං.. රවීන් ඇහුවෙ මගේ පැත්තට හැරිල.
කෝ කොහෙද තියෙන්නෙ? කෙල්ල එවෙලෙම ෆෝන් එක අතට ගත්ත.
ඇත්තටම කිව්වොත් අපි ඒක ෆේස්බුක් දැම්මෙ නැහැ මොකද අපිට ලැබුන තරමක් ලැබුනෙ වෙඩින්. බර්ත්ඩේ නොකර ඉන්න තීරණය කලත් අපිට අපේ ෆේස්බුක් පේජ් එක වත් අප්ඩේට් කරගන්න වෙලාවක් තිබුනෙ නැහැ.
හරි හරි මිස් අපිට ඒක ෆේස්බුක් අප්ඩේට් කරන්න බැරි වෙන්න ඇති. අපි මේක ගොඩින් බේරගමුද? රවීන් ඇහුවෙ එන පොට හොඳ නෑ වගේ තේරිච්ච හින්ද වෙන්න ඕනෙ.
ඒ කියන්නෙ ඔයාලා මේක භාරගන්නව කියන එකද?
ඔ..ඔව්.. නේ බං.. අපි භාරගමු නේද? රවීන් ඇහුවෙ මගෙන්.
මට කියන්න දෙයක් තිබ්බෙ නෑ. මම ඇත්තටම හිටියෙ ඒ රුවට වශී වෙලා කිව්වොත් මම හිතන්නෙ මම හරි.
ඔයා ද සමීර? කෙල්ල රවීන්ගෙන් ඇහුවෙ මගේ දිහා බලාගෙන. ඒ බලපු විදියෙන්ම මට තේරුනා එයා සමිර කියන්නෙ මම කියල දන්න බව. අච්චර අපේ ස්ටුඩියෝ එක ගැන විස්තර හෙව්වා නම් අපි දෙන්න කවුද නම් මොනාද කියල එයා නොදැන ඉන්න විදියක් නැහැනේ.
ඔව්.. මම තමයි සමීර. අරයගෙ නම රවීන්. රවීන් කිව්වෙ මාව පෙන්නලා. ඌ ටත් මට හිතුන එකම හිතිලද කොහෙද.
බොරු.. ඔයා රවින් එයා සමිර. කෙල්ල ආයෙත් කිව්ව
දන්නව නම් මොකටද අහන්නේ මිස්.
ඔයා ඔච්චරටම අපේ ෆේස්බුක් පේජ් එක බැලුවා නම් අපි දෙන්නා කවුද කියලා නොදැන ඉන්න විදිහක් නෑනේ.. රවීන් කිව්වෙ පොල්ලෙන්ගහන්න වගේ. රවින්ගේ හැටි එහෙමයි. හිත හිත ඉන්නේ නැහැ කෙලින්ම කියල දානවා. හැබැයි කෙල්ලන් සම්බන්දයෙන් නම් ඒ තත්වේ වෙනස්.
එත් මේ කෙල්ලව නම් ඌට කෙල්ලව හිතට ඇල්ලුවෙ නැද්ද කොහෙද? නැත්තම් රවීන් කවදාවත් ඔය වගේ කතා කරන්නෙ නෑ.
එතකොට මට? අනේ මන්ද. ඇගේ තිබුනා සැරින් සැරේ බලන්න හිතෙන තරම් ආකර්ෂණීය බවක්.
කෙල්ල රතු උනේ ලැජ්ජාවට. එයා එහෙම කතාවක් බලාපොරොත්තු උනේ නැතුව ඇති. මොකද ආපු වෙලේ ඉඳන්ම වැඩ සිද්ධ උනේ එයා හිතාගෙන ආපු පිලිවෙලටනේ. අපි දෙන්න ඔහේ රූකඩ දෙක වගේ හිටියනෙ.
හරි.. හරි.. මං එච්චරටම ඒක බැලුවෙ නෑ. එයා කිව්වෙ නවත්ත නවත්ත වචන එකතු කර කර. ඒ කිව්ව විදියෙන්ම අපිට තේරුනා ඒ බොරු කියලා. සමහරවිට එකපාරටම ඉතින් අපි ගැන විස්තර දන්නවා කියල පෙන්නන්න ලැජ්ජාවට වෙන්න ඇති. හපොයි මේ කෙල්ලන්ගේ මායම්. කවුද දන්නේ නැහැ හැට හතරයි කියල ගණන් කරපු එකා. මම හිතන්නේ ඌ ට වැරදිලා. හැට හතරට වැඩි මිසක් අඩු නැහැ. හපොයි.. මොනාද මම හිතන විකාර මේ කෙල්ල දිහා බලාගෙන. එයා හිතුවද දන්නේ නැහැ මම කවදාවත් කෙල්ලෙක් දැකල නැහැ කියල. සමීර උඹ නම් අද ඉවරයි.
මිස්. ඇඩ්වාන්ස් එකක් පේ කරනවද? රවීන් ඇහුවෙ රිසිට් පොත අතට අරගෙන.
මම ෆුල් පේමන්ට් එක කරනවා. එයා කිව්ව.
මිස් අපේ ගාන හතලිස්දාහයි. රවීන් මගේ දිහත් බලල කිව්වෙ අපි සාමාන්‍යයෙන් අය කරන මුදලට වඩා වැඩියෙන්. ඒ වගේම අපි කාඩ් පේමන්ට් භාරගන්නෙත් නෑ.
ප්‍රශ්නයක් නෑ .. රිසිට් එක ලියන්න.
මේ කෙල්ලත් එක්ක ලේසි වෙන්නෙ නෑ වගේ. රවීන් මගේ දිහා බැලුව. මට තේරුනා ඌ හිතන දේ. අපි දෙන්නට ඊලඟට මොන මරාලයක් කඩං වැටෙන්නද දන්නෙ නෑ යන්නෙ.
මිස්ගෙ නම.
ගීත්.. නෑ මං කිව්වෙ ගීත්නා. ගීත්නා සයුරංගි.
මට මුලින්ම ඩියාශි මුණගැහිච්ච මොහොත මතක් උන ා. මගේ නම දෙව්. නෑ මං කිව්වෙ ඩියාශි දෙවංගනා.
මේ කෙල්ලත් එයා වගේමයි. නැත්තම් මගේ හිතේ අස්සක් මුල්ලක් නෑර ඩියාශි ගැන මතකයන් පිරිල තියෙන හින්ද්ද මන්ද මට හැමකෙනෙක්වම එයා වගේ පේන්නෙ.
අර ඔයාගේ යාළුවා ගොළු එක්කෙනෙක්ද? ඉඳල ඉඳල හිතල මතල කෙල්ල ඇහුවේ මම ගැන?
ආ… ඔව්.. ඌ ට හිටපු ගමන් කතා කරන්න බැරි ලෙඩක් තියෙනවා. රවින් කිව්වේ ගානකට නැතුව.
එහෙමද?
ඔව්. විශේෂ පිරිසකට විතරයි ඌ කතා කරන්නේ. රවින් ආයෙම කිව්වා. හරි මිස්. මෙතන අත්සන් කරන්න. රවින් රිසිට් එක ලියල දුන්න. කෙල්ල ඒක අත්සන් කරලා බෑග් එකෙන් දාහේ කොළ මිටියක් අරගෙන ගණන් කරලා මේසේ උඩින් තිබ්බා. ඒ කියන්නේ එයා හොඳට ලැස්ති වෙලා අපිව මේකට කොහොම හරි කැමති කරවගන්නමයි ඇවිත් තියෙන්නේ. ඒත් ඒ ඇයි?
මිස්.. අපිට දැනගන්න පුලුවන්ද ඔයා මෙච්චර විශේෂයෙන් අපේ ස්ටුඩියෝ එකම හොයන එන්න හේතුව? රවින් වචන වලට නැගුවේ මම හිතපු දේමයි.
එහෙම විශේෂ හේතුවක් නැහැ. මම කලිනුත් කිව්වා වගේ මම ගොඩාක් හෙව්වා හිතට හරියන ස්ටුඩියෝ එකක්. අන්තිමට හොයල හොයල තමයි ඔයාලගේ පේජ් එක දැක්කේ. මම හිතුව මගේ වැඩේට ගැලපෙනවා කියල.
එයා කතා කරද්දී කිසිම පැකිලීමක් නැහැ. හැසිරීමත් ඩියාශි වගේමයි. නැත්තම් ඒ මට හිතෙන හැටිද?
එහෙනම් හරිනේ. හරියටම සෙනසුරාද හවස තුනට මම ඔයාලව බලාපොරොත්තු වෙනවා. මෙන්න එඩ්රස් එක. එයා එහෙම කිව්වේ අපි දෙන්නටම පොදුවේ.
ඊට පස්සේ එයා යන්න ගියා.
හනේ අම්මේ.. මොකද්ද බන් ඒ උනේ? රවින් ඇහුවේ කෙල්ල ගියාට පස්සේ.
ඒ කෙල්ල නම් මුල ඉඳන් අගටම හරිම අමුතුයි. ආයෙත් ඌ ම කිව්වා. මොකද උඹ ඒ කෙල්ලව දැක්ක වෙලේ ඉඳල කන්න වගේ බලන් හිටියේ. ඒකි හිතන්න ඇති උඹ කෙල්ලෝ දැකල නැහැ කියල. මදැයි මුටත් ඒක නොට් වෙලා කියහන්කෝ. දැන් ඉතින් මම ඉඳල හමාරයි.
ඒත් නැහැ. රවින් හිටියේ මාව විහිලුවකට ගන්න මුඩ් එහෙක නෙවෙයි. තද කල්පනාවක. මට ඩියාශි මතක් උනා බන්. ඒ කෙල්ලගේ හැසිරීම ඩියාශි වගේමයි. මම කිව්වේ ඒ හින්දමයි.
උඹේ මුළු ඔලු ගෙඩියටම ඩියාශි රිංගලා නේ ඉන්නේ. ඒ හින්ද තමයි එහෙම හිතෙන්නේ.
ඔව්…සමහරවිට අපි හැම වෙලේම ඩියාශි ගැන කතා කරන හින්ද හැම වෙලේම ඒහෙම හිතෙනවා ඇති. මම පිළිගත්තා. නැතුව වෙන මොනා කියන්නද?
ඒ කෙල්ල නම් මහා අමුතුයි. කවුද බන් අලුත්ගම ඉඳන් නුගේගොඩට මේ පොඩි ස්ටුඩියෝ එකක් හොයාගෙන එන්නේ.
ඔව් ඒක නම් බොන්න ඕන ප්‍රශ්නයක් තමයි.
මචන් මෙතන මොකක් හරි තියෙනවා. රවින් ආයෙම කිව්වා. මට නම් සැක හිතුනෙම අර අපි දෙන්න කවුද කියල හරියටම දැනගෙනත් නම් අහපු එක.
උබ හොඳයි සී. අයි.ඩී එකට. මම කිව්වේ නිකමට. ඒකීට ලජ්ජා හිතෙන්න ඇති එකපාරටම අපේ නම් කියල කතා කරන්න. කෙල්ලොනේ බන්.
ඔව්. මම කවදාහරි සි.අයි.ඩී එකට යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ උනාට මට නම් ඒ කෙල්ලව එච්චර ඇල්ලුවේ නැහැ.
ඔව්. ඔව් මට නම් ඒක තේරුණා.
උබට නම් හොදටම හිතට ඇල්ලුවා කියල මටත් තේරුණා. රවින් කිව්වේ නෝන්ඩි හිනාවක් දාල.
එහෙම නෙවේ බන්. එයා ඇත්තටම ඩි යාශි වගේ කියල මට හිතුන. ඇත්තටම ඩියාශි දැන් මොනා කරනවා ඇත්ද?
ඕක ඔච්චර හිතන්න එපා බන්. අපිට මේ හැමදේටම උත්තර ලැබෙයි කවදාහරි.
හ්ම්.
මට නම් අර ආපු එකී ගැන සැකයි.
ඒ අහිංසක කෙල්ලෙක් වෙන්න ඇති බන්. කවුද දන්නේ ඇත්තටම අපේ වැඩ බලල ආවද කියලා.
අනේ මේහ් මුණ බලල මිනිස්සුන්ට සහතික දෙන්න හදන්න එපා උඹත් ගොබ්බය වගේ. උඹල වගේ යට තමයි අර මොහිදීන් බෙග් මහත්තය කියල තියෙන්නේ සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා කියල. රවින් කිව්වේ මල පැනල.
උඹ කෝකටත් පරිස්සමින් ඉඳපන්.
හපොයි .. හා..හා.
නිකමට හිතපන්කෝ උඹ දන්නා කෙල්ලන්ගෙන් කවුද රුපියල් හතලිස්දාහක් පනස්දාහක් අරගෙන ඇවිදින්නේ කියලා කොච්චර සල්ලි තිබුනත්.
මම එහෙමට කියල කෙල්ලන්ව අඳුරන්නේ නැහැ. මම කිව්වා. ඔව් ඇත්තනේ. මගේ ජිවිතේ කෙල්ලන්ට කියල මම දන්නේ අතේ ඇඟිලි ගානටත් අඩු ප්‍රමාණයක් මගේ හිතේ.
උඹ නොදන්නවට මම දන්නවා. ක්‍රෙඩිට් කාඩ් එකක් අරන් ඇවිද්දත් ඔච්චර සල්ලියක් අරන් ඇවිදින්නේ නැහැ. එයා අපිව මේ වැඩේට එක්කගෙන යන්නයි ඇවිත් තියෙන්නේ. ඕක මොන මර උගුලක්ද දන්නේ නැහැ බන්.
ඉතින් දැන් අපි වැඩේ බාරගත්තනේ. උගුලක් නොවුනොත් මොකද කරන්නේ? ඒ මිනිස්සු බලන් ඉඳි අපි එනකම්
උඹ ඒ ගැන බින්දුවක් වත් බය වෙන්නෙපා. මම ඒ ගැන බලාගන්නම්.
ඒ කියන්නේ අපි සෙනසුරාදට යනවද? මම ඇහුව. මු මොන මගුලක් හිතේ තියාගෙන ඉන්නවද මන්ද.
ඔව් යනවා. රවින් කිව්වා. හැබැයි තනියම නෙවෙයි. නිකම් අවධානමක් ගන්න ඕන නැහැනේ.
මොකද්ද බන් තියෙන අවධානම?
සමීර බබෙක් වගේ කතා කරන්නෙපා. මට නෙමෙයි තොට තමයි අවධානම තියෙන්නේ බුරුවො.
අනේ බන් මට ඔය මල විකාර කලාගාරේ ගැන නම් කියන්නෙපා. මම කිව්වේ නොරිස්සුමෙන්. මොන රෙද්දක්ද. මේ මගුලක් හින්ද මට මගේ පාඩුවේ ජිවත් වෙන්නත් නැහැ කරුමේ.
අපි දන්නේ නැහැනේ බන්. මට නම් ඒ කෙල්ලගේ හැසිරීම ගැන හරිම සැකයි. සමහරවිට එයා ඇත්තටම අපේ ස්ටුඩියෝ එක හොයන ආව වෙන්න පුළුවන්. සමහරවිට නොවෙන්නත් පුළුවන්. කෝකටත් අපි මේ ගැන කාවහරි දැනුවත් කරලා යමු.
ඉතින් දැන් පොලිසියට ගිහින් කියන්නද තියෙන්නේ? මොනාද අපි කියන්නේ? කෙල්ලෙක් ඇවිල්ල අපිව සෙනසුරාදට බුක් කරා උපන්දින පාටියක ෆොටෝ ගහන්න කියලා. එහෙමද?
උඹ නම් මහා බුරුවෙක් බන්. රවින් කිව්වේ මාව කන්නේ තම්බලාද බැදලාද කියල හිතාගන්න බැරුව වගේ.
ඉතින් ඇත්තනේ. මොන හේතුවක් හින්දද මන්ද මට නම් ඒ කෙල්ල ගැන මුකුත් නරකක් හිතන්න හිතෙන්නෙම නැහැ.
අපි ඔය කියන උත්සවේට යනවා. උඹ හැම වෙලේම මට පෙන මානේ ඉන්න මතක තියාගනින් එච්චරයි. රවින් කිව්වේ තීරණයක් අරගෙන වගේ.