එදා දවස ඉතින් සුපුරුදු විදිහට ගත උනේ රවීන් එක්ක රස්තියාදුවේ ගිහිල්ලා . කොහොමත් අපි දෙන්නා සෙනසුරාදා ගිහිං ෆිල්ම් එකක් බලල කොහෙ හරි හෝටලේකින් කාල බීල එන එක පුරුද්දකට ගිහින් තිබුනෙ මම ලංකාවට ආවට පස්සෙ. මේ හෙණ ගෙඩියක් පාත් වෙන්න වගෙ එකපාරටම දැනගන්න ලැබුන දේවල් හින්ද ඒ පුරුදු වෙනස් කරන්න රවීන් වත් මම වත් කැමති උනේ නැහැ. මොකෝ ඉතින් ඕක දැනගත්ත කියල ගෙදරට වෙලා ගෑනි මැරිච්ච මිනිහ වගේ ඉන්න යැ. ඔව් ඇත්ත මගේ අම්මයි තාත්තයි නැති වෙලා.. සීයා නැති වෙලා ඒත් මට ඒක එකපාරටම ශොක් එකක් උනත් දැං හිතනකොට මට දැනෙන්නෙ මහා හිස් හැඟීමක්.. මොකද මගේ කියන අය ගැන මතක නැහැ. ඉතින් එයාල මැරිල කියනෙක මට දැනෙන්නෙ කොහොමද. එකකට එකක් වෙනස් සිතිවිලි දහස් ගානක් හිතට ගලාගෙන එද්දි මම තීරණය කලා තවත් ඒ ගැන නොහිත ඉන්න. තීරනයක් ගන්න ඕන කියල දැනගෙන හිටියත් මම තාම ඒක ගැන හිතන්න වත් සූදානම් නැහැ.

ඉරිද දවස ගෙදර අයත් එක්ක ගත උනා වෙනද වගේම. සාමාන්‍යයෙන් අපි කට්ටියම ඉරිදට කොහෙ හරි ටිකක් දුර පන්සලකට ආශ්‍රමයකට යන එක පුරුද්දක්. අපේ පවුලෙ බැඳීම හැමදාම එකම විදියට ආරක්ශා වෙලා තිබුනෙ මේ විවිධත්වයත් එක්ක. මම ඇත්තටම ඒකට ගොඩක් ආස කලා. මම ආඩම්බර උනා ඒ වගේ පවුලක් මට තියෙන එක ගැන. මම මේ පවුලට අයිති නැහැ කියල හිත දැනගෙන හිටියත් ඒක අම්මට වත් තාත්තටවත් අයියට වත් එයාගෙ නෝනට වත් ප්‍රශ්නයක් උනේ නැහැ. ඔවුන් අවුරුදු ගානකට කලින් මාව පිලිඅරගෙන තිබුනෙ හදවතින්ම. මම වෙනස් උනොත් මිසක් ඒ අයව දාල යන්න මට හිතුනොත් මිසක් ඔවුන්ගෙ හිතේ මට තියෙන තැන නැති වෙන්නෙ නැහැ කියල නම් මට විශ්වාසයි.

ගෙදර ආවට පස්සෙත් ගෙදරටම වෙලා ඉන්න උනා. ඩියාශි මුණගැහෙන්න මේ ගැන එයත් එක්ක කතා කරන්න එයා රොඩ්‍රික් අතුරලියගෙ පවුලට සම්බන්දද කියල දැනගන්න උවමනාවක් තිබුන හින්දම මම ගෙදර ආපු ගමන් වොශ් එකක් දාල යන්න හැදුවෙ ග්‍රවුන්ඩ් එක පැත්තෙ.

පුතා.. කොහෙද යන්නේ? අම්මගෙ රේඩාර් එකට අහු උනා කියහංකෝ.. අද නම් ගෙදරින් පනින්න වෙන්නෙ නෑ..

මේ.. මේ.. ටිකක් එලියට අම්මේ.. මම කිව්වෙ ගොත ගගහ. හිතේ කලබලේට වචන එන්නෙත් නෑ යකූ. ඇයි සමීර උඹ ඔහොම.

මට පේනවා එලියට යන බව. මම ඇහුවේ කොහෙද කියල. අම්ම ඇහුවෙ ඉණටත් අත් දෙක තියං. කලින් දවසෙ රෑ වෙනකම් ඩියාශිත් එක්ක කතා කර කර හිටිය කියල කවුරුහරි අම්මගෙ කණේ තිබ්බද දන්නෙ නෑ. මට හිතුනෙ නිකමට වගේ.

මේ පැත්තෙ ගෑනුංගෙ ඇස් හරියට සීසීටීවී කැමරා වගේ.. හතර වටේම කරකැවෙනව. ශිහ් මට බින්දුවක් වත් ඒ ගැන කල්පනා උනේ නැහැනෙ.

මොකද දැං මගේ මූන දිහා බලාගෙන කල්පනා කරන්නෙ ආහ්. අම්ම ආයෙ ඇහුවෙ මගේ දිහාම බලාගෙන. සමීර වලක් කපාගෙන වැලලියං උඹ ඊට වැඩිය හොඳයි.

මම මේ නිකමට ග්‍රවුන්ඩ් එක පැත්තෙ යන්න හැදුවෙ අම්මේ. කම්මැලියි.

අනේ මේ අද දවසම එලියට ගිහිං ඇවිල්ලත් උඹට කම්මැලියි. පුතේ මාව තම්බන්න උඹේ ලුණු ගොරක මදියි. ඔය යන්නෙ අර ෆ්‍රාන්සස් නෝනගෙ දෝනියන්දෑ හම්බෙන්න නෙවේද කියාපං.

හරි හරි ඉතින් එයා අර පොඩි ලමයි කට්ටියක් එක්ක ග්‍රවුන්ඩ් එකට එනව තමා. මම කිව්වම අම්මා මූණ අමුතු කරල බැලුව. අද නම් මට ගැලවීමක්ම නෑ වගේ.

පුතේ මේ ඕස්ට්‍රේලියාව නෙවෙයි ලංකාව . ඒ ගෑනු දැරිවියක් කියල අමතක කරන්නෙපා..

හරි හරි අම්මේ කොහේ උනත් මම මම ම තමයි.

ඒක මම දන්නව ඒ උනාට මේ පැත්තෙ ගෑනුන්ගෙ කටවල් වහන්න බෑනෙ. උඹ නම් කොල්ලෙක් ඒ ලමයා ගෑනු ලමයෙක්නෙ.

එයා තනියෙන් නෙවේ අම්මෙ එන්නේ එතන මුලු ස්කීම් එකේම පොඩි ලමයි එනවා. මම ඉතිං නිදහසට කරුණු කිව්ව. මේ වෙලාවට තමයි හිතෙන්නෙ දෙයි හාංදුරුවනේ ලංකාව තාම කොච්චර ප්‍රාතමික මට්ටමක රටක්ද කියල. තාම මිනිස්සු බලන්නෙ සම්ප්‍රදායික ඇහැකින්. හැබැයි ඉතින් ඕව කියන්න ගිහිල්ල මගේ බත් කාඩ් එක කපාගන්නවට වඩා හොඳයි මම කට පියාගෙන ඉන්නව.

ඒත් එක්කම මට මතක් උනා ඩියාශි ගැන විස්තර අම්ම දන්නව ඇති නේද කියල.

අම්මේ ඔයා මොනවද ඩියාශි ගැන දන්නේ? මම ඇහුවෙ ඉබේම..

ඔය පැන්නෙ බලල මල්ලෙන් එලියට උඹට මොකටද ඒ විස්තර.. ඇයි මම කලින් වතාවකත් කිව්ව නේද?

කාල වරෙංකෝ.. අපෙ අම්මටත් මාර මීටරයක් අප්ප තියෙන්නෙ.

උබ හොරා වගේ මූණ හදාගත්තට පුතේ මට පොතක් වගේ ඔයාව කියවන්න පුලුවන්. අම්ම කිව්වෙ හිනාවෙවී.

ඉතින් එහෙනම් කියන්නකො අනේ විස්තර. ලස්සන කෙල්ලෙක්නෙ. මම ටිකක් දැනගෙන හිටියම මක්වෙනවද?

ඒ ලමයට බඳින්න කෙනෙක් ඉන්නවා. අම්ම කිව්වෙ ගහෙන් ගෙඩි එන්න වගේ.

මොකක්? මට කියවුනේ ඉබේටම. හිතට එක පාරටම අමුතුම හැඟීමක් ඇති වෙලා නැතිවෙලා ගියා. හරියට මගේ දෙයක් වෙන කවුරුහරි අයිති කරගෙන වගේ. ඒත් එයා මගේ නංගි නම්? මට ඒ ගැන සිහිවෙද්දි දැනෙන හැඟීමට කියන්න වචනයක් මට තේරෙන්නෙ නැහැ. එත් එදා එයා කිව්වනේ එයාට කවුරුවත් නැහැ කියල.

ඒත් මේ වෙලාවෙ එයා බඳින්න කෙනෙක් ඉන්නවද නැද්ද කියනෙකට වඩා මට වැදගත් එයා රොඩ්‍රික් අතුරලියගෙ පවුලට සම්බන්ද ද නැද්ද කියල දැනගන්න එක.

අම්මේ ඔයා එදා ඒ කියපු විස්තර වලට වඩා වෙන මොනවත්ම ඩියාශිගෙ පවුලෙ අය ගැන දන්නෙ නැද්ද?

නැහැ දරුවෝ. මොකද මේ? අම්ම ඇහුවෙ කුතුහලයෙන්.

මට මතක හිතුන එයා රොඩ්‍රික් සීයගෙ කවුරුහරිද් කියල. එයාගෙ අම්මත් ප්‍රන්ශ කිව්වනෙ. මම කිව්වෙ ඇත්තටම මට හිතුන දේ. අම්ම මගේ දිහා බැලුවෙ බය වෙලා. ඒ බැල්මෙන්ම මට තේරුනා එයා ඒක කවදාවත් හිතල තිබුනෙ නැහැ කියල.

පුතා. ? නැහැ ඒක වෙන්න බැහැ.. අම්ම කිව්වත් ඒ ගැන එයාටම විශ්වාස නැති බවක් ඒ කටහඬේ තිබුන. ඇයි ඔයා එහෙම කියන්නෙ?

මම දන්නෙ නැහැ අම්මෙ. මට නිකමට හිතුන. මට නිතර මතක් වෙන පුංචි ගෑනු ලමයෙක් ඉන්නව. ඒ ලමයගෙ ගතිගුණ හැසිරීම හරියට ඩියාශි වගේමයි. මට හිතුන එයාගෙයි මගෙයි මොකක් හරි සම්බන්දයක් ඇට්ජි කියල. ඇත්තටම එයාව දැනගත්තට පස්සෙ තමයිඅට ඔය එක එක දේවල් මතක් වෙන්න ගත්තේ. මම කිව්ව. මම වෙනුවෙන් අච්චර කැපකිරීමක් කරපු මනුස්සයට මොකටද බොරු කියන්නෙ.

අම්මා නිහඬව හිටිය. නැහැ. ඒක වෙන්න බැහැ. ෆ්‍රාන්සස් නෝනව මම දන්නෙ අවුරුදු ගානක් තිස්සෙ. එයා කවදාවත් ඒ ගැන කියල නැහැ. ඊටපස්සෙ අම්මා කල්පනාවට වැටුන. නැහැ. එයා එයාගෙ මහත්තයයි ලමයයි ගැන කතා කරා මිසක් එතනින් එහාට වෙන මොනවත් කතා කරල නෑ මං හිතන්නෙ. අපිට ඉතිං බලෙං ඕව අහන්නත් බෑනෙ.

ඔව් ඔව් ඉතින් ඔය ගෑනු එකතු උනාම මම දන්නැද්ද අරයගෙ ගවුමෙ කරේ ඇදයි මෙයාගෙ මල්පෝච්චියෙ කෑල්ලක් කැඩිච්ච එකයි පහල ගෙදර සුමනගෙ වඳ පුංචි අම්මගෙ දුව බැන්දෙ කවුද කියන එකයි වගේ දේවල් ඇරෙන්න වෙන වැදගත් දෙයක් කතා කලේ නැතුව ඇති මෙච්චර කාලෙකට. මට හිතුන. ඔය හිතිච්ච ටික වචන කරන්න ගියා නම් ආයෙ දත් නැතුව බත් කන්න වෙනෝ ශුවර්. කොයිකටත් කියල ලට පියාගෙන ඉන්න ඕනෙ.

අම්ම තාම කල්පනා කරනව..

මොනාද අප්ප ඔයා මේ හැටි කල්පනා කරන්නෙ. මටත් කියන්නකො අනේ. මම බැලුවෙ එහෙම චුට්ටක් විතර හුරතල් වෙලාවත් එලියට පැනගන්න.

මොන.. අපෙ අම්මත් එක්ක ඒව හරියන්නෙ නෑ. දැං උබ මට බොරු චාටුවක් දාල යන්න හදනවනම් පුතේ ඒව මේ කපේදි කරන්න හම්බවෙන්නෙ නෑ. අම්ම කිව්වෙ මගේ දිහා රවල බලල.

මදැයි වෙච්ච වැඩේ. සමීර උඹට හොඳ වැඩේ කට පියාගෙන ඉන්න බැරුවට.

මොකද මොකද මේ අම්මගෙයි පුතාගෙයි රණ්ඩුව? තාත්ත එතනට ආවෙ එහෙම කියාගෙන.

මේ අම්ම මට ටිකක් එලියට යන්න දෙන්නෙ නෑ තාත්තෙ.. මම පුරුදු විදියට තාත්තට පැමිණිලි කලා.

ඔය කොල්ල ටිකක් ගිහින් ආපුවාවෙ නෝනා..

කෝ දැං අර මට කියපු ටිකම තාත්තටත් කියමු බලන්න. අම්ම කිව්වෙ මට අභියෝග කරන්න වගේ. මදැයි කට පියන් ඉන්නැතුව මම කරගත්ත හදියක්. ජොබ් එකත් පැත්තකින් දාල ගෙදර ඉන්න කියයිද දන්නෙ නෑ.

මොකද්ද මට කියන්න තියෙන්නෙ ? තාත්තා ඇහුව.

මේ මෙයා අහන්නෙ රොඩ්‍රික් මහත්තයයි අර ප්‍රංශ නෝනගෙ පවුලෙ අයයි සම්බන්දයිද කියල. අම්ම කිව්ව. තාත්තගෙ මූණත් එක්ක අමුතු උනා ඒක ඇහුවම.

ඇයි පුතා ඒ?

දන්නෙ නෑ. මම කිව්ව. මොකෝ මට හීනෙන් පේන ගෑනු ලමයෙක් ගැන තාත්තට කියන්නැයි. ඒ උනාට මම ලැජ්ජාවෙන් ඇඹරෙද්දි අම්ම මේ විස්තරේ තාත්තගෙ කනේ තියල ඉවරයි.

ඔයා නම් මහ හොඳ නෑ අම්මේ.. මම කිව්වත් දෙන්නගෙම මූණු වල තිබුනෙ බරපතල පෙනුමක්.

පුතා.. අපි ඇත්තටම ඒ පවුල ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. එයාල නිතර නිතර ප්‍රංශයට යනව එනව. ඒත් මෙච්චර කාලෙකට අපිට කිසිම කරදරයක් වත් ප්‍රශ්නයක් වත් වෙලා නෑ. ඒගොල්ලො පාඩුවෙ ජීවත් වෙන පවුලක්. ඒත් අපිට මේ ගැන කිසිම තොරතුරක් හරියටම දැනගන්න බැරි හින්ද ඔයා ටික දවසක් ඒ ගෑනු ලමයව ආශ්‍රය නොකර ඉන්න. මම එයාල ගැන විස්තර හොයාගන්නකම්. මොකද අපිට අපි ලඟම තියෙන්නෙ අනතුරක්ද අවධානමක්ද කියල බලන්න බෑනෙ. පරිස්සම් වෙන එක කෝකටත් හොඳයිනෙ.

තාත්තා අවසාන තීරණය දුන්න. මොන හේතුවකට වත් ඒ තීරණේට පිටින් යන්න මට බැහැ. මම ආපහු කාමරේට ආවෙ ඒ හින්ද.

ඊට පස්සෙ සතියෙම වැඩට ගියා.. පුරුදු විදියට ගෙදර ආව. කෑව නිදාගත්ත. සුපුරුදු කම්මැලි ජීවන රටාව තමයි. කිසිම විශේශ දෙයක් උනේ නැහැ ඒ දවස් ටිකේ. ඩියාශිලගෙ විස්තර තාත්ත හොයාගත්තද කියල මම අහන්න ගියෙත් නෑ. කොච්චර ඕනකම තිබ්බත් මට ලැජ්ජයි.. ඔව් ඔව් මං ඉතිං ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක්නෙ. මේ ටිකේ මං හිතේ නිදහසේ නිදාගත්තත් එක්ක. මට කිසිම අතීත සිදුවීමක් හීනෙන් වත් මතක් උනෙත් නැහැ.

තාත්ත එපා කිව්ව නම් උඹ ඒ ගැන එයාටම හොයන්න දීල පාඩුවෙ ඉඳපං. මේගැන රවීන්ට කිව්වම ඌත් කිව්ව. කොහොමත් උඹට ඒ විස්තර හොයන් යන්න ඕන කමකුත් නැහැනෙ.

ඔව්.. ඒකත් ඇත්ත.. මොකටද මං මේ ගැන බොරුවට වද වෙන්නෙ? ඊට පස්සෙ සතියෙ සෙනසුරාදා ත් රවීන් එක්ක උන්ගෙ මාමලගෙ ගෙදර ගියා..උන්ගෙ ගෙදරින් ට්‍රිප් එකක් යන හින්ද මාම කාරයගෙ වෑන් කට්ට ඉල්ලන් එන්න තමයි අපි ගියේ. අපිත් කොහොමත් ඉරිද කොහෙහරි යන හින්ද පවුල් දෙකම එකතුවෙලා යන්න තමයි ප්ලෑන් කරගෙන හිටියෙ.

කොහෙද බං අපි යන්නෙ? මම ඇහුවේ අපි රවින් ලගේ මාමාගෙන් වාහනෙත් ඉල්ලගෙන ආපහු එන ගමන්. යද්දී මගේ ප්‍රශ්න කතා කර කර ගියා මිසක් ඒ ගැන වත් උගෙන් අහන්න බැරි උනා.

දන්නෙ නෑ බං ඔය කොහෙහරි යමු. මේකා කියපි.

ඈ ගෝතයො උබ ට්‍රිප් එකක් යමු කියල තාම යන තැනක් වත් හිතුවෙ නැද්ද?

නෑ බං ගෙදර එවුන් ටිකයි උබලගෙ කට්ටියයි වාහනේ පටවගෙන අපි පාර දිගේ යමු. ඔහොම යනකොට යනකොට තැනක් සෙට් වෙන්නැතෑ.

අම්මප උඹ නම්.. මට ගහන්න ඕන පොල්ලාකින් තෝ වගේ එකෙක් ආශ්‍රය කරනවට.

ප්ලෑන් කර කර හිටියොත් ට්‍රිප් යන්න වෙන්නෙ නෑ මොකක් හරි මලකරුමයක් කඩා පාත් වෙලා ගමන යන්න බැරි වෙනව. ඊට හොඳයි ප්ලෑන් නොකර ඉබාගාතෙ යනව. රවීන් කිව්ව.

ඌ කියන එකත් ඇත්ත තමයි එක අතකට. මට හිතුන.

ආපහු එන ගමන් ට්‍රැෆික් වලට අහු නොවෙන්න අස්සෙන් මුල්ලෙන් දාල කොහොමහරි වාහනේ දාගත්තෙ ස්කීම් එක පිටිපස්සෙ පාරට.

වල් ඌරො. මේ පැත්තෙන් යන්න බෑ.. වාහනේ ගන්නෙ කොහොමද? ගෙදරට දුරයි. මම කිව්ව.

හරි ඉතින් ඒක මම හිතල කරපු දෙයක්‍ යැ. ආපු පාරෙන් කෝම හරි මෙච්චර හරි ආවනෙ. රවීන් කිව්වෙ ගානක් නැතුව. උඹ ඉතින් ඔය තඩි බඩ අඩු වෙන්නත් එක්ක මෙතනින් බැහැල පයින් පලයන්කෝ. මේ පාරෙන් කෙලින්ම ගිහාම මේන් රෝඩ් එකට දාගත්තැකිනේ.

මදැයි මේ යකා කරපු ගොං වැඩේ.. ශික්.. මම උගේ හත්මුතු පරම්පරාවටම බැන බැන වාහනෙන් බැස්ස.

එහෙනම් හෙට හයාමාර වෙද්දි ලෑස්ති වෙලා හිටපං ඈ. ඌ ගියේ කිණ්ඩි හිනාවක් දාගෙන. දැන් ඉතිම් ස්කීම් එකේ එහා කොණට වෙනකම් හැතැප්මක් විතර ඇවිදගෙන පලයන්කෝ. නොදකින් හිපාටුවා. ඕකා කරොත් කරන්නෙ ඔය වගේ වැඩක්මයි.

ඇවිදින එක මහ එපා කරපු වැඩක්. යන යන තැන බයික් එකේම යන්න පුරුදු වෙලා අඩි දහයක් යනකොට මට හති වගේ. ශිහ්.. බයික් එක ගෙදර දාල ගියෙත් අරූ යන්නෙ වාහනේ ගේන්න කිව්ව හින්ද.

පාරෙන් ස්කීම් එකට ඇතුල් උනාට පස්සෙ හම්බවෙන්නෙ හෝල් එක. ඒක ඇතුලෙ ලමයි මොනවද නාට්‍යක් ද කොහෙද පුරුදු වෙනව. නත්තල් නාට්‍යක් වෙන්න ඇති. මොකද නත්තලත් ළඟ එනවනේ. මට නිකමට හිතුන ඒක ඇතුලට ගිහින් බලන්න. ඩියාශි ඇති සමහර විට. එයා ඉතින් ඔය ළමයි ටික වට කරගත්තු ගමන්ම නේ ඉන්නේ.

ඇත්ත තාත්තා කිව්වා තමයි එයාව මුණ ගැහෙන්න එපා කියල. එත් මට මේ වෙලාවේ නම් ඒ කීම අහන්න හිතුනේ නැහැ. බැරි වෙලාවත් තාත්ත ඇහුවොත් අහම්බෙන් හම්බුනා කියල හරි කියන්න බැරිය. මම හිතුව.

ළමයි කට්ටියක් ස්ටේජ් එක උඩ. මම ඉතින් ඒ ළඟටම වගේ ගියා.

පොරොන්දු වෙනවා නේද කුෂ් අයියේ ඔයා අනිවාරෙන්ම නත්තලට එනවා කියලා. ඔයා නැතුව මම නත්තල් ගහක් හදන්නේ නැහැ. එතන හිටපු පොඩි ගෑනු ළමයා ඇහුවේ අනිත් පිරිමි ළමයාගෙන්.

ඔව් මම අනිවාරෙන්ම එනවා රෝස. නෑවිත් ඉන්නේ නැහැ. මොකක් හින්ද වත් මම නතර වෙන්නේ නැහැ එහෙ. එනවාමයි. අපි ලොකුම ලොකු නත්තල් ගහක් හදමු. පිරිමි ළමය කිව්වා.

මේ වගේම කතාවක්!. ඔව් මගේ ඔලුව රිදෙන්න ගත්තා ආයෙමත්. ඔව් මට මතකයි අම්මයි තාත්තයි මාව එක්කගෙන කොහෙද යන්න ලැස්ති වෙනවා. එතකොට රෝස ! ෆ්රාන්සස් නැන්ද එක්ක අපේ ගෙදර ඇවිත් හිටිය. එයා කඳුළු පුරවාගෙන.

ක්‍රිස්ට්මස් එකට එනවා නේද කුශ් අයියේ? අර ගෑනු ළමයා අහපු විදියටම අහපු බව මට මතකයි.

ඔව් මම අනිවාරෙන්ම එනවා රෝස. මම කියපු බවත් මට මතකයි. ඔව් මට හොඳට මතකයි. දෙවියනේ මට මතකයි. මට මතකයි කාරෙක ඇක්සිඩන්ට් වෙනවා. අම්මා මාව වාහනෙන් එලියට තල්ලු කළා. ඊට පස්සේ වාහනේ ගිනි ගත්තා.

සමීර අයියේ. ඔයා මොකද මෙතන කරන්නේ? මම පියවි සිහියට ආවේ ඒ කට හඬින්.

අහ.. මම නිකම් ආවේ ලහිරු මල්ලා . ඒක නෙවේ මට කියන්න කවුද මේ නාට්ටිය හැදුවේ?

ඩියාශි අක්කා හැදුවේ අයියේ.

ඔව්. ඒ කියන්නේ එයා මගේ රෝස තමයි. ආයේ මිට වඩා සාක්ෂියක් මොනවටද?

කෝ මල්ලි ඩියාශි අක්කා?

ලහිරු මල්ලි මගේ දිහා බැලුවේ පුදුමෙන්. ඇයි අයියේ? අක්කලා ආපහු රට ගියානේ. ආයේ එන්නේ නැහැලු ලන්කාවට. ස්කීම් එකම දන්නවා. ඔයා දන්නේ නැද්ද?