වාහනේට නැග්ග ගමන් මිහින් ෆයිල් එක දිග ඇරලා බැලුව. එහි තිබුනේ ලියුම් දෙකක්. එකක් මිහින්ට අනික මෙහන්සට.
ආදරණිය මෙහන්සා, එහි ලියල තිබුන.
ඔයා මගේ හොදම යාළුවා. එත් මම මෙහෙම කරනවට සමාවෙන්න. ඔයා වගේම මමත් මිහින් ට ගොඩක් ආදරේ කළා. එත් මට ඔයාගේ කොල්ලව උදුරගන්න ඕනේ නැහැ. ඔය දෙන්න අතරට මම කවදාවත් එන්නේ නැහැ මිහි. මේ ලියුම ඔයාලට ලැබෙනකොට මම ලංකාවේ නැහැ. ආයේ එන්නෙත් නැහැ. මිහින් ව මට නොලැබෙන බව දන්නකොට තවත් මට එයාව දැක දැක මෙහෙ ඉන්න බැහැ කියල ඔයාව හොදටම තේරෙනවනේ. ඒ නිසා මේක තමයි මට ගන්න පුළුවන් හොදම තීරණේ. ගෙදරින් ප්රපොසල් ගේනවා. මට වෙන කවුරුත් ගැන හිතන්නවත් බැහැ. සමහරවිට කාලයක් යද්දී මගේ හිත හැදෙයි. ඒක මම දන්නේ නැහැ. දැනට මට මේ දේ කරන්නම ඕනේ. ඒ හින්ද මම යන්නේ. වරදවා හිතන්න එපා. මම වැරදි නම් සමාවෙයන්. මම හිතට තේරුම් කරන්න උත්සහ කළා එයා මගේ නෙමෙයි කියල. ඒත් ඒක සාර්ථක නැහැ.
මේ බිනූ.
ලිපිය කියවපු මෙහන්සා ඒක කිලාන් වෙත දිගු කලේ මොනවත් හිතාගන්න බැරුව. තමාගේ ආදරය ලබා දීමට වෙහෙස වූ සොයුරාට ඔහුගේ ආදරය අහිමි වේද?
මිහින් තමන්ගේ ලිපි කවරය දිග ඇරියෙත් නොඉවසිල්ලෙන්
මිහින්…. මම දන්නේ නැහැ මෙහෙම ලියුමක් ලියන්න වත් මට අයිතියක් තියෙනවද කියල. ඔයා මට ගොඩක් හොදට සැලකුව. හැමවෙලාවකම. කැම්පස් එකේ උනත් වෙන කොහෙ උනත්. ඒත් මම ඔයාගෙන් ආදරයක් බලාපොරොත්තු උනා. ඒක වැරදියි මම දන්නව. ඔයාගේ ආදරේ මට නෙමෙයි. මේ ලියුම ඔයාට ලැබෙනකොට මම ගොඩක් දුර ගිහින් තියෙයි. ඒත් මම ඔයාට මේක කියන්නම ඕනේ. මම ඔයාට ගොඩක් ආදරේ කළා කියල. ඒ ආදරෙත් ඔයත් එක්ක බැඳුනු මතකයන් හැම දෙයක්ම මා ලග හැමදාම තියෙයි. ඒ මතකය මාව ජිවත් කරවයි. හොද යාලුවෙක් විදියට හැමදාම මාව මතක තියෙයි කියල හිතනව. ඔයාටයි මෙහන්සටයි සුභ අනාගතයක්.
මේ බිනූ.
නංගි. ලියුම කියවල මිහින් මෙහන්සා දිහා බැලුවේ කදුළු පුරවගෙන.
බයවෙන්නෙපා බං අපි ගෙන්නගමු. කිලාන් කිව්ව
ඉන්න තැනක් වත් දන්නේ නැතුව කොහොමද බන් විස්තරයක් හොයාගන්නේ.
ගෙදරින් දන්නවා ඇති යකෝ. හිතනවද බිනුගේ තාත්ත හොයන්නේ බලන්නේ නැතුව කෙල්ලව යවයි ද රට?
කට්ටිය ආපහු ගියේ බිනූ ගේ ගෙදර.
ආන්ටි..
කියන්න දරුවෝ ඇයි මේ ආයෙමත්? බිනූ ගේ අම්ම ඇහුවේ කට්ටිය ගිය පයින්ම ආපහු ආපු හින්ද.
ආන්ටි අපිට බිනූ ව ආපහු ගෙන්න ගන්න ඕනේ. මෙහන්සා කිව්වා. එයා මේ අපි එක්ක තරහ වෙලා රට ගිහින් තියෙන්නේ. පටන් ගත්තු මෙහන්සා බිනුගේ අම්මට පැහැදිලි කරා බිනූ යන්න හේතුව.
මෙච්චර හරියක් වෙනකම් අපිට කිව්වේ වත් නැත්තේ ඇයි දරුවෝ?
‘
බිනූ ගෙදරට කතා කරනවද ආන්ටි. කිලාන් ඇහුවේ බිනුගේ අම්මගේ ප්රශ්නෙට උත්තර නොදී.
කතා කරනව. මට නම්බර් එකක් දීල තියෙනවා කතා කරන්න. බිනුගේ අම්ම කිව්වා. ඇයට ඉතින් මිහින්ට අකමැති වෙන්න හේතුවක් තිබුනේ නැහැ. ඊටත් කෙල්ල රට ගියාට බිනූ ගේ අම්ම පොඩ්ඩක් වත් කැමති වෙලා හිටියේ නැහැ. ඒ නිසා ඇගේ උදව්ව ලැබුන. ඉන්නකෝ මම නම්බර් එක දෙන්න. එත් මට නම් කතා කරලා එන්න කියන්න බහ දරුවෝ. ඔය කෙල්ල හිතන් ඉන්නේ මම එයාව බලෙන් බන්දල දෙයි කියල. අප්පච්චිත් එක්ක තමයි කතා කරත් වැඩිපුර කතා කරන්නේ.
හරි අපි ගහමු ප්ලැන් එකක් ගෙන්නගන්න බිනු අක්කව. සියල්ල අහන ඉදල කිව්වේ නෙතුසර.
මොකද ඉතින් කරන්නේ? කිලාන් ඇහුවේ මල්ලිගෙන්.
අනේ අනේ අයියේ ඔක්කොම දග වැඩ ප්ලෑන් කරපු කෙනෙක් නේද ඔයා? ඒවා ඔක්කොම අමතක වෙලා ද? නෙතුසර අහද්දී කොල්ලට ඔහුගේම දගකාර අතීතය මතක් උනා. ඔහු කෙල්ල දිහා බැලුවේ ඒ මතකයෙන්ම.
ඔයාගේ නෑනා මට ඒ ඔක්කොම අමතක කරල තියෙන්නේ.
අනේ. කෙල්ල කිව්වේ ලැජ්ජාවෙන්. ඇයට මතක් උනා ඔහු හමුවෙච්ච මුල් දවස්.
ඒ රතු වෙච්ච වූවන සිපගන්න ඔහුට හිතුන. දැන් අපි මොකද කරන්නේ කියහන්කෝ පණ්ඩිත කම් නැතුව. කිලාන් ආපහු සිතිවිලි මැඩගෙන කිව්වේ මිහින් ඉන්න මානසිකත්වය තේරුම් අරගෙන හිටපු හින්ද. තමන්ගේ යාළුවගේ ආදරේ ඔහුට ලබා දෙන්නේ නැතුව ආදරේ විඳින්න කොල්ලට හිතුනේ නැහැ.
අපි මෙහෙම කරමු. අපි කෝල් එකක් අරන් බිනූ අක්කට කියමු මිහින් අයිය ඇක්සිඩන්ට් වෙලා හොදටම අමාරුයි බිනූ අක්කිව අහනවා කියල.
මෙන්න ප්ලෑන්. තෝ වහාම නතර කරන්න ඕනේ හින්දි ෆිල්ම් බලන එක. කිලාන් කිව්වේ මල්ලිට.
මම ඕව ඉගෙන ගත්තේ ෆිල්ම් බලල නෙමෙයි අමතක කරන්න එපා මම කිලාන් සේනානායක ගේ මල්ලි කියලා.
ඇත්ද ඔය අහගත්තා. මෙහන්සා කිව්වා.
ආ…… දැන් ඔයත් මල්ලිගේ පැත්තේද?
මම කොහොමත් මල්ලිගේ පැත්තේ.
තොපිලා පස්සේ රණ්ඩු වෙලා දැන් මගේ කෙල්ල ගෙනල්ල දෙනවද. මිහින් කිව්වේ ඉවසල බැරිම තැන. බිනූ හිටියා නම් මේ සතුටු අවස්තාව කොච්චර විඳින්න තිබුනද කියල කොල්ලට හිතුන.
සොරි අයියේ. මෙහන්සා කිව්වේ දුකෙන්. ඔහුට මේ දේ උනේ තමන් නිසා කියල කෙල්ල දන්නවා.
හරි හරි අක්කේ ඔයා බය වෙන්නෙපා. අපි කොහොමහරි එයාව ගෙන්න ගමු. නෙතුසර ආයේ කිව්වා චන්ඩියා වගේ.
මෙයා ලොක්ක වෙලා තියෙන තරම් බලන්නකෝ.
හරි දැන් ඔයාම කියන්නකෝ සුදු අක්කේ මගේ ප්ලෑන් එක හොද නැද්ද?
හොදයි හොදයි අපි දැන්මම කතා කරමුද?
කවුද කතා කරන්නේ?
අපේ අයියට තමයි කතා කරන්න වෙන්නේ. හොදටම අමාරු ලෙඩෙක් පැත්තක තියල සුදු අක්කි කෝල් ගනී ද නෑනේ. එයා තාම හිතන් ඉන්නේ මිහින් අයිය ඔයාගේ කොල්ල කියලනේ. එහෙම එකේ සුදු අක්කි එන්න කියාවි ද එයාට. බොරුවක් උනත් අහු වෙන්නේ නැති වෙන්න කරන්න එපැයි
මූ හිතල තියෙන තරම්.
ඔව් ඔව් නැතුව.
කිලාන් ගේම මල්ලි තමයි.
කොහොමහරි අන්තිමට කිලාන් තමයි ඇමතුම ගත්තේ.
හෙලෝ බිනූ.
කවුද මේ කතා කරන්නේ?
මම කිලාන් කියලා කෙනෙක් අදුරනවද?
ඔහොම ලතාවට කතා කරන්නෙපා. කලබලෙන් කතා කරන්න අපි මේ මැරෙන්න ලං වෙලා ඉන්න ලෙඩෙක් ගැන කියන්නේ. නෙතුසර ලග ඉදන් මුමුණනවා.
බිනූ. ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒක අහල කිලාන් හඬ වෙනස් කළා.
කිලාන්. ඔයා හොදින් නේද? මොනවත් ප්රශ්නයක් නැහැනේ? බිනු ඇහුවෙත් බය වෙලා.
ප්රශ්නයක් තමයි මට නෙමෙයි මිහින්ට
ඇයි ඇයි මිහින් ට මොකද? කෙල්ල ඇහුවේ කලබල වෙලා.
මිහින් ඇක්සිඩන්ට් වෙලා බිනූ. හොදටම අමාරුයි. ඔයාව අහනවා.
කිලාන්. මොනවද මේ කියන්නේ? කොහොමද එහෙම උනේ?
විස්තර කතා කරන්න බැහැ බිනූ. මම ලංකාවට ආවෙත් ඒ හින්ද. ඔයාව අහනවා එයා.
මම එනවා කිලාන්. දෙවියනේ. මම එන්න පුළුවන් පලවෙනි ෆ්ලයිට් එකේම එනවා. අනේ කිලාන් එයාට කරදරයක් වෙන එකක් නැහැ නේද?
කෙල්ල බය වෙලා ඉන්න විදියට කිලාන්ට දුක හිතුන තව බොරු කියන්න.
ඉකමනට එන්න බිනූ. ඔයාගේ ෆ්ලයිට් ඩිටෙල් මට කියන්න මම එන්නම් ඔයාව ගන්න. කොල්ල එහෙම කියල ෆෝන් එක තිබ්බ.
හම්මේ මට දැන් තේරෙනවා රඟපාන එක කොච්චර අමාරු රස්සාවක්ද කියල. කිලාන් එහෙම කිව්වේ ෆෝන් එක තිබ්බට පස්සේ.
කවදද එයා එන්නේ? මිහින් ඇහුවේ නොඉවසිල්ලෙන්.
ඉවසල හිටපන් උබ කියන විදියට එන්න එයා ඉන්නේ අල්ලපු නගරේ නෙමෙයි. ෆ්ලයිට් එක බුක් කරලා මට කියයිනේ.
බිනුට ලංකාවට එන්න පුළුවන් උනේ තව දවස් දෙකක් ගියාට පස්සේ. කට්ටිය තීරණය කරලා තිබුනේ ඇය ආවම මේ විස්තර කියන්න. ඒ අතරේ විවාහ උත්සව දෙකම එකට ගන්නත් ඔවුන් සැලසුම් කළා. ඒ නිසා හැමෝම කාර්යබහුල වෙලා හිටියේ.
බිනු ඒමට නියමිත දිනයේ හතර දෙනාම ගුවන් තොටුපලට ගියා. අන්තිම මොහොතේ හරි ගුවන් යානය එන එකක් නැති වෙයිද කියල මිහින් හිටියේ බයෙන්. මේ දවස් දෙකත් ඔහු ගෙවාගත්තේ අපහසුවෙන්.
අදාළ ගුවන් යානය ගොඩ බැස්ස බව නිවේදනය උනහම තමයි කොල්ලගේ ඇගට ලේ ටිකක් ඉනුවේ.
කොල්ලගේ ඇස් රැදිලා තිබුනේ මගීන් පිටවෙන දොරටුව දිහා. කිලාන් මෙහන්සා වගේම නෙතුසර පැත්තකට වෙලා හිටියේ මේ සතුට ඔහුට මිහින් ට තනිවම විඳින්න දෙන්න ඕනේ හින්ද.
මොහොතකින් හැමෝම බලාපොරොත්තු වෙච්ච විදියට බිනූ එලියට ආව. කෙල්ල එනකොටම ඇස ගැටෙන තැනක තමයි මිහින් හිටියේ. ඒ ඇස් පුදුමෙන් මහත් උනේ මිහින් ව දැකල. කෙල්ල කොච්චර පුදුම උනාද කිව්වොත් අතේ ඇගේ ගමන් බෑගයත් අතහැරලා දුවගෙන ආවේ මිහින් දෙසට.
මිහින් දෙවියනේ ඔයා හොදින්ද? කිලාන් මට කිව්වා ඔයා ඇක්සිඩන්ට් වෙලා කියල. කෙල්ල කියාගෙන කියාගෙන ගියේ අඬමින්. මිහින් ඇයව තදින් තුරුළු කරගත්තේ ආයේ වෙන් නොවන්න හිතටම පිළින දෙමින්.
මෙහන්සා කිලාන්ට තුරුළු උනේ ඒ සතුට දිහා බලන් ඉදල.
මෙච්චර තද තීරණයක් ඇයි බිනූ. ඔයා නැතුව මම විදවපු තරමක්. ඔයාට දැනුනේ නැත්ද මම ඔයාට කොච්චර ආදරේ කළා ද කියල?
අදහාගත නොහැකි යමක් කියවුනා වගේ කෙල්ල ඔහුගේ තුරුලෙන් මෑත් වෙලා ඔහු දිහා බැලුව. ඔයා….. මට……… ආදරෙයි? කෙල්ල කඩින් කඩ ඇහුවේ ඇයට හරියට ඇහුනද යන්න තේරුම් ගන්න වගේ.
ඔව්… මම ආදරෙයි බිනූ.
මෙහන්සා……..?
මෙහන්සා කියන්නේ මගේ නංගි අපි දෙන්න ට්වින්ස්ලා. ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ගෙදර යමු බිනූ. කොල්ල එහෙම කියමින් බැලුවේ කිලාන් සහ මෙහන්සා හිටපු දිහා. ඔවුන් දෙන්නත් එතනට ආවේ නෙතුසර බිනූ අමතක කරලා ආපු ඇගේ ගමන් බදු අරගෙන එද්දී.
මදැයි උඹ අල්ලපු අඩව්ව. මෙහන්සා කිව්වේ මිතුරිය වැළඳගෙන. බිනූ ට තාමත් වෙන දේවල් අදහගන්න බැරි තරම්.
මිහි. මොනවද බන් මේ වෙන්නේ?
වෙන්න ඕනේ දේවල් තමයි ඉතින්. එයාපෝට් එකේ ඉදල නුවරට වෙනකම් සැහෙන්න දුරක් තියෙනවනේ. යන ගමන් කතා කරන්න බැරිය. දැන් අපි යමුද? නෙතුසර කිව්වේ ගමන් මලු වාහනේට දාල.
මිහින් අයියේ ඔයාට ඉතින් අවුරුදු ගානක ඒවා ඇතිනේ බිනු අක්කට කියන්න. අපේ අයියට කියලත් වෙනසක් නැහැනේ. ඔන්න මමයි එලවන්නේ වාහනේ. ඔයාලා ඔය ආගිය මුලගිය ඔක්කොම විස්තර කියාගන්ඩ ඈ. වෙඩින් එකත් ලග එකේ.
වෙඩින් එක? බිනූ ආපහු ඇහුවේ පුදුමෙන්.
ඔය කියන්නේ අපිට ආදරේට නෙමෙයි වාහනේ එලවන්න ඕනේ හින්ද. කිලාන් කිවේ හිනා වෙවී
ඔව් නැතුව ඉතින් ඔයා මට මේක අල්ලන්න වත් දෙනවය. නැහැනේ. බිනු අක්කේ ඔයාට තව පුදුම වෙන්න ගොඩක් ඒවා තියෙනෝ. දැන් නම් ඉතින් ඔයා විශේෂෙන් මට මොනවහරි අරන් දෙන්න ඕනේ මොකද ඔයාව ලංකාවට ගෙන්වීමේ මහා මෙහෙයුම මගේ තනිකරම.
මගේ කොල්ලා මැරෙන්න යනවා කියන්නේ නැතුව වෙන බොරුවක් කියන්න බැරි උනාද ඔය කියන මෙහෙයුමේ.
වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියන්නේ මේවට තමයි. නෙතුසර කිව්වේ අනිත් අය හිනා වෙද්දී. වෙන බොරුවක් කිව්වා නම් ඔයා ලංකාවට එයිද කියන්නකෝ? මොකක් උනත් ලංකාවට එන්නේ නැහැ කියන තැන ඉදලනේ අර ලියුම ලියල ගිහින් තියෙන්නේ. ඉතින් අපිට මිහින් අයියව තමයි ඇක්සිඩන්ට් කරවන්න උනේ.
මිහි. මේ අර උඹ උගන්නපු පොඩි එකාමද බන්?
මටත් තියෙන ප්රශ්නේ ඒකම තමයි බන්.
මෙහන්සා වගේම බිනූ සුන්දර මනාලියන් උනේ ඉනුත් මාසෙකට පස්සේ.
මිහී. උඹට මතක ද ඉස්සර අපි කතා උනා උඹගේ බ්රයිඩ්ස්මේට් ට ඉන්නේ මම කියල. දැන් අන්තිමේදී වෙච්ච දේ.
බ්රයිඩ්ස්මෙට් තමයි මෙයා අපි ඔක්කොම අමතක කරලා ගිහිල්ල මෙතන. මිහින් කිව්වේ බිනූ ලැජ්ජාවෙන් රතු වෙද්දී.
අනේ යකෝ. වේදීන් එක දවසේ තමන්ගේ ගෑනිව විහිලුවට ගන්නේ උඹගේ මොලේ අමාරුව ද? කිලාන් ඇහුවේ මිහින්ගෙන්.
අනේ අනේ මේ මට උපදෙස් දෙන්නේ නැතුව උඹ බලාගනින් උඹගේ ගෑනිව.
ඒක ඉතින් උඹ උගන්නන්න ඕනෙය මට?
මම ගියාම මගේ අම්මයි තාත්තයි අයියයි හොදට බලාගනින් බිනූ. මිහින්ගේත් කිලාන්ගේත් වාදය බලන් ඉදල මෙහන්සා කිව්වේ බිනූ ට.
උඹ කිසි දෙකට බය වෙන්නෙපා ඒක මම උඹටත් වැඩිය හොදට කරන්නම්.
හා හා දැන් ඔය මනමාල මනමාලියන්ගේ කියවිල්ල ඇති යන්ද ලැස්ති වෙන්නලා. සුදු අක්කි නම් ඉතින් අපේ ගෙදරනේ යන්නේ.
නෙතුසර එහෙම කිව්වේ මදුසමය සඳහා අමුතුවෙන්ම කොහෙවත් යන්න කෙල්ල කැමති නොවිච්ච හින්ද. ඇගේ චායාරුප වලින් හැඩවුණු ඒ සුන්දර කාමරය කිලාන්ගේත් ඇයගේත් මතකයන් පිරුණු තැනක්. ඇයට අද මෙන් මතකයි ඔහු විදෙස්ගත වූ දින ඇය ඒ කාමරයට ගිය අයුරු. ඒ මතකය අලුත් කරගන්න මෙන් අද තමා ඔහුගේම වන දින එහිම ගත කරන්න ඇයට ඕනේ උනා.
මිහින් අයියේ අපි යමු නේද?
නෙතුසර එහම් ඇහුවේ මිහින් මෙන්ම බිනූ ඔවුන්ගේ මදුසමය සඳහා නුවර එලිය තෝරාගෙන තිබුන හින්ද.
මේකාට ඩ්රයිව් කරන්න තියේ නම් වෙන මුකුත් ඕනේ නැහැ. කිලාන් එහෙම කිව්වේ මල්ලිගේ කනෙන් ඇදල
අර අයියගේම මල්ලිනේ. එහෙම කිව්වේ බිනු. ඔයාට පින් සිද්ද වෙන්න තමයි මල්ලි මේ හැමදේම. බිනු ආයේ කිව්වේ නෙතුසරට.
අනේ අම්මප බිනු අක්කේ ඔයා ඕක දවසට කි සැරයක් කියනවද ආහ්?
මුගේ තියෙන සැර බලහන්කො. කිලාන් ආයේ කිව්වේ මල්ලිව අවුස්සන්න.
මේ අයියේ ඔයා වැඩිය කියවගෙන එන්නෙපා. එහම ආවොත් මම සුදු අක්කිට කියනවා අරක
ඒ මොකද්ද ඒ?
කිලාන් ටත් මතක නැහැ මල්ලි මොනවා කියනවද කියල.
මොකද අයිය කියන්නේ මම සුදු අක්කිට කියන්නද අර කපන්න බැරි අත. නෙතුසර කියද්දී කිලාන්ට වහා මතක් උනා සිදුවීම.
මේ.. මේ… ඉතිහාසේ දිග අරින්නේ නැතුව යනවා. කිලාන් ඉක්මනට කිව්වේ ඒ හින්ද. නෙතුසරට හිනා.
මම පස්සේ කියන්නම්කො සුදු අක්කී. දැන් ඉතින් අපිට ඕනේ තරම් කල් තියෙනවනේ අයිය ඉස්සර කාලේ කරපුව කතා කරන්න. නෙතුසර කිව්වේ කිලාන් රවල බලද්දී. තව මෙතන හිටියොත් මම අයියගෙන් ගුටි කන සයිස් එකක් තියෙන්නේ. මිහින් අයියේ අපි යමුද.
සාදය අවසන්ව මිහිනුත් බිනුත් නෙතුසර එක්ක නුවර එලිය බලා පිටත් වෙද්දී කිලාන් මෙහන්සා එක්ක ආවේ සේනානායක මැදුරට.
මේ ගෙදරට මුලින් ආපු වෙලාවේ මම හීනෙන් වත් හිතුවේ නැහැ මනමාලියක් වෙලා මෙහාට එන්න වෙයි කියල. ගෙදරට පය තියනකොටම කෙල්ල කිව්ව.
මගේ හිතේ නම් බලාපොරොත්තුවක් තිබුන මෙහන්සා ඔයාව ම ගේන්න. ඒක ඉෂ්ට වෙයි කියල නම් මම හිතුවෙත් නැහැ. කොල්ල කිව්වේ අවංකවම.
කොල්ලගේ අම්මයි තාත්තයි එක්ක රෑ කෑම අරගෙන නව යුවල ඔවුන්ගේ කාමරයට ආව.
මේ කාමරේ තියෙන මගේ ෆොටෝ අයින් කරලා අපි දෙන්නගෙම ඒවා තියන්න ඕනේ. කෙල්ල කිව්වේ කාමරේට ආපු ගමන්.
ඔයා කැමති දෙයක් කරන්න මැඩම්. කොල්ල කිව්වේ ඇයව සිපගනිමින්. වසර ගණනාවකට පෙර දුටු සුන්දර එඩිතර යුවතිය. හීනෙන් වත් තමාගේ කරගන්නට නොලැබේ යයි ඔහු සිතු ඇය. ඇගේ එක් සිනහවක් පමණක් තමාට ඇති යයි සිතු ඔහුට නීතියෙන්ම ඇයව හිමි වී ඇත. කිලාන් අද සිටින තැන ඔබ සිටියා නම් ඔබ ඒ හිතේ හැඟුම් අපුරුවට තේරුම් ගනු ඇත. ඒවා කියන්නට භාෂාවේ වචන ප්රමාණවත් නොවන තරම්.
දැන් ඇය තමාගේ ය. මරණයෙන් වෙන් වන තුරුම තමාගේ ය. වසරට අටකටත් වඩා එකම සිතින් ඇයව ම පැතූ ඔහුට ඒ සිතේ මිතුරුකම වත් පමණක් පැතූ ඔහුට ඒ මුළු හිතම ඔහුටම හිමිව ඇත. ජිවිතයෙන් කියා යමක් බලාපොරොත්තු වුව නම් ඒ ඇය පමණක්ම නොවේද? ඔහු සිතු දේ පැතු දේ එලෙසම ඉටු වී ඇත.
මම හීනයක් දකිනවද කියල හිතෙනවා මෙහන්සා. දිගු වෙලවකට පසුව ඇගෙන් මිදුන ඔහු කිව්වා.
අපි එලියට යමු ටිකක්. කෙල්ල එහෙම කියල කොල්ලවත් ඇදගෙන ආවේ සඳැල්ල ට.
මොකද්ද අර මල්ලි කිව්වේ කපන්න බැරි අතක් ගැන? කෙල්ල ඇහුවේ ඔහුගේ පපුතුරට තුරුළු වෙමින්.
ඇය කොයි මොහොතේ හෝ මේ ගැන අහන බව දැනගෙන හිටපු හින්ද කොල්ලට හිනාවක් ආව.
හොර කෙල්ල ඒක මතක තියන් හිටිය නේද? කියපු කොල්ල ඇගේ බඳ වටා දෑත් යවමින් ඇයව තමාට තවත් සමීප කරගත්ත. අනතුරුව නෙතුසර කියපු අතීත සිදුවීම ඇයට කිව්වේ කෙල්ල විස්මයෙන් අහන ඉද්දි.
මේ ආදරය කෙතරම් පැරණි ද? ඔහු කොපමණ තරම් මේ සිත සිරකරගෙන ඉන්නට ඇති ද? එවන් ආදරයක හිමිකාරිය වන්නට තමා වාසනාවන්ත ය.
දන්නවද කිලාන්, මම මුලින්ම මේ කාමරේ ට ආව වෙලාවේ හිතුව ඔයත් එක්ක මට රැයක් ගෙවෙනකම් මෙතන ඉන්න පුළුවන් නම් කියල.
දැන් ඉතින් හැමදාම ඉන්න පුළුවන්නේ.
හ්ම්ම්ම්ම්.
ඔයා මට එදා හරි ඇත්ත කියන්න තිබුන මෙහන්සා.
මම එහෙම කියපු නැති නිසානේ මම දැනගත්තේ ඔයාට මම මෙච්චර ආදරෙයි කියල. කෙල්ල කිව්වේ ඔහුගේ පපුතුරේ දෙතොල් තියල. එහෙම කිව්වා නම් ඔයා මෙච්චර ප්රසිද්ද්ද කාඩියෝලොජිස්ට් කෙනෙක් වෙයිද? ඔහු දෙස බලමින් ඈ ආයෙ කිව්ව.
ඒ සුන්දර නිල් පැහැති දෑස දෙස මොහොතක් බලා සිටි කොල්ල ඇගේ දෙනයන සිපගත්ත. අද ඉදල අලුත් ජිවිතයක් මෙහන්සා. කඳුලුත් නැති දුකත් නැති. ඔයයි මමයි අපේ පැටවුනුයි විතරමයි ඒ ලෝකේ ඉන්නේ.
මම ජීවිතෙන් දෙයක් බලාපොරොත්තු උනා නම් ඒ ඔයාව විතරමයි මෙහන්සා. ආදරෙයි මට වචනෙන් කියන්න බැරි තරම්.
සඳ මුදුන් වන යාමයේ සිය ජීවිතයත් ආත්මයත් ඇගේ දෑත් මතින් තැබූ කිලාන් අවසානයේ ඇගේ සිරස සිපගත්තේ ඇය කෙරෙහි තිබු ආදරයත් ගෞරවයත් එකට කැටි කරලා.
මගේ ලෝකෙට ආදරෙන් පිලිගන්නව මිසිස් මෙහන්සා නිල්නයනි සේනානායක. කොල්ල අවසානයේ කිව්වේ ඇයත් එක්ක ජිවන ගමනට යන්නට පිළින දෙමින්.
නිම්හිම් සෙව්වා මා සසරේ
හමු වී යුගයෙන් බැඳී යුගයේ
ලංවී වෙන්වී වරින්වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැඳුනා
ඉර හඬ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකිලා
සටනින් අද මා දිනුවා