කිලාන් මව්බිමට පය තිබ්බෙ මේ අතරෙ. මෙහන්සා රෝහලේ බව දැඩිලෙස අසනීපෙන් බව කොල්ලට කවුරුත් කියල තිබ්බෙ නෑ. කොල්ල ගෙදර ආවෙ ගොඩක් සතුටින්.
කොහොමද අම්මේ. අම්මව වැලදගෙන කොල්ල කිව්වෙ. තාත්තේ නෙතුසර ඔන්න මම ආවා.
ගෙදර යමුකො පුතා. කොල්ලගෙ අම්ම කිව්වෙ ඔහුට වෙනසක් නොදැනෙන්න.
වාඩිවෙන්න මිස්ට වීරසේකර. මිහින් ඔයත්. මෙහන්සගෙ තාත්තයි මිහිනුයි හිටියෙ කාලයක් තිස්සෙ මෙහන්සව බාරව හිටපු වෛද්‍යවරයා ඉදිරියෙ.
මේ වැඩේ ගොඩක් සිරියස්. මම බොරු කියන්න ඕනෙ නෑනෙ ඕගොල්ලන්ට. මෙහන්සා එයාගෙ තත්වෙ දැනගෙනත් ගොඩක් අහන්සි වෙලා තියෙනව. අපි ඇත්ත තේරුම් ගන්න ඕනෙ. එයා ජීවත්වෙන බලාපොරොත්තුව අත ඇරල කියලයි මට හිතෙන්නෙ. ඇයි මිහින් මොකද්ද ඒකට හේතුව?
මට හිතාගන්න බෑ ඩොක්ට. මිහින් කිව්වෙ අන්ත අසරන විදියට. අපිට කරන්න පුලුවන් දෙයක් ඇත්තෙම නැද්ද ඩොක්ට.
එයාට ඉමජන්සි සර්ජරි එකක් කරන්න තියෙනව. එයාව යූ.කේ. වලට ගෙනියල තමයි කරන්න වෙන්නෙ.
සල්ලි ප්‍රශ්නයක් නෑ ඩොක්ට. අපිට ඒක හරි කරගන්න පුලුවන් නම්. මගේ කෙල්ලව බේරල දෙන්න ප්ලීස්. එහෙම කිව්වෙ කෙල්ලගෙ තාත්ත. මම මේ අවුරුදු ගානම මහන්සි උනේ මගේ කෙල්ල හින්ද ඩොක්ට.
මට තේරෙනව මිස්ට විරසේකර මට තේරෙනව. නමුත් මෙතන ප්‍රශ්නෙ සල්ලි නෙමෙයි. මෙයාව මේ විදියට රට ගෙනියන්න තරම් රිස්ක් එකක් ගන්න බෑ.
වෙන කරන්න දෙයක් ඇත්තෙම නැද්ද ඩොක්ට.
තව එක ඔප්ශන් එකක් තියෙනව. මිහින්ගෙයි තාත්තගෙයි දිහා මොහොතක් බලං ඉදල වෛද්‍යවරයා ආයෙම කිව්ව.
මෙහන්සට වාසනාව තියෙනවනම් ඊයෙ එක ඩොක්ට කෙනෙක් ලංකාවට ආව. එයාව කන්සල්ට් කරගන්න පුලුවන් නම් ඔයාලට අපිට බලාපොරොත්තු තියාගන්න පුලුවං. මොකද එයා තමයි දැනට ලංකාවෙ ඉන්න හොදම ස්පෙශලිස්ට් මේ වගේ සර්ජරිස් වලට.
කවුද ඩොක්ට?
ඩොක්ට කිලාන් සේනානායක. ඉයෙ තමයි එයා ලංකාවට ආවෙ. මේ වෙලාවෙ එයයි එයාගෙ ටීම් එකයි ඔයාට කන්ටැක්ට් කරගන්න පුලුවන් නම් ඒක තමයි අපිට කරන්න පුලුවන් ලොකුම දේ. මම ඩොක්ටව කන්ටැක්ට් කරගන්න බැලුව. ඒත් බැරි උනා.
කිලාන්…..? මිහින් නැගිට්ටෙ පුටුවත් පෙරලගෙන ඒතරම් කලබලෙන්.
තාත්තයි වෛද්‍යවරයයි දෙන්නම බැලුවෙ පුදුම වෙලා.
ඩොක්ට. කිලාන් කියන්නෙ මගේ හොදම යාලුව. එතකොට කිලාන්ගෙ පන තමයි මගෙ නංගී. මිහින් එපමනක් කියල එතනින් නික්මුනේ කිලාන්ව සොයාගෙන.
මෙහන්සා ගැන හාංකවිසියක් වත් නොදැන හිටපු කිලාන් තමන්ගෙ කාමරේට වෙලා ඇයට ගෙනා තෑගි දිග හරිමින් හිටියෙ. කොල්ල හිතාගෙන හිටියෙ ඇයගෙ රෝහලටම ගිහිල්ල කෙල්ලව පුදුමකරවන්න.
ඔයා මට ලැබෙන්නෙ නැත්තම් මෙහන්සා ඔයා වෙනුවෙන් මට කරන්න පුලුවන් මෙච්චරයි. අතිතයේ දවස් සිහි කරමින් කොල්ල මුමුනගත්තෙ තමන්ටම.
නෙතුසර, සේනානායක මහතා සහ මහත්මිය මේ මොහොතෙ කොල්ල හොයාගෙන ආවෙ මෙහන්සා ගැන ඔහුට කියන්න. මනාලියකට අවශ්ය කරන හැම දෙයක්ම ඇද මත දිග හැරගෙන ඒ දිහා බලං ඉන්න කිලාන් දැක්කම ඔවුන්ට දැනුනෙ පුදුමයක්.
මේ මොකද පුතා ඔයා මේ වෙඩින් එකකට බ්‍රයිඩ් කෙනෙකුට ඕනෙ දේවල් ගෙනල්ල තියෙන්නෙ ඔයා මැරි කරන්නද හදන්නෙ? කොල්ලගෙ අම්ම ඇහුවෙ පුදුමයෙන්
අනේ නෑ අම්ම මම මේව ගෙනාවෙ මෙහන්සට තෑගි දෙන්න. කොල්ල කියද්දි අනිත් කට්ටිය මූනෙන් මූන බලාගත්ත.
මෙහන්සා බ්‍රයිඩ් කෙනෙක් වෙන්න ඉස්සෙල්ල එයාගෙ ජීවිතේ බේරිලා තියෙන්න ඕනෙ පුතා. මෙහන්සා දැන් ඉන්නෙ හිදටම අසනීපෙන් අයි.සී.යූ. එකේ. එයාගෙ ජීවිතේ ගැන විශ්වාසයක් තියන්න බෑ කියල ඩොක්ටස්ල කියන්නෙ. සේනානායක මහත්මිය කිව හැකි සරලම අයුරින් කොල්ලට කිව්ව.
කොල්ලට ඒ වචන ඇහුනෙ කන ලග අකුනක් පුපුරනව වගේ. කොල්ල ඉදගෙන හිටපු තැනින් නැගිට්ටෙ ඉබේටම.
අම්ම මොනාද මේ කියන්නෙ? කොල්ල ඇහුවෙ කතා කරගන්න වචන හොයාගන්න පුලුවන් වූ ඇසිල්ලෙම.
ඒ දරුවට හාට් එකේ මොකද්ද ප්‍රශ්නයක්ලු.මට දැනගන්න… කොල්ලගෙ අම්ම කියද්දිම එතනට කඩා වැදුනෙ මිහින්.
කිලාන් …… මිහින් කිව්වෙ හතිලමින්.
මිහින්.. මේ අම්ම කියන්නෙ ඇත්තද. මෙහන්සට මොකද වෙලා තියෙන්නෙ. මිහින් වෙත ගියපු කොල්ල ඇහුවෙ නොඉවසිල්ලෙන්. කොල්ලගෙ කටහඩ පවා වෙවුලනව.
මිහින් මොහොතකට සන්සුන් උනා. කිලාන් බොහෝ සංවේදී අයෙකු බව ඔහු දන්නව. ඔහුට යමක් කිවයුත්තේ සෙමිනි.
කාමරය සිසාරා බැලූ මිහින් හඩ අවදි කලේ සැම තැනම තිබුනු තම සොයුරියගේ චායාරූප දෙස බලමින්.
මුලින්ම මම කියන්න ඕනේ කිලාන් මෙහන්සා කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවි එකම නංගි.
මොකක්?
ඔව්. කිලාන්. ඒ මගේ නංගි. අපි දෙන්න ට්වින්ස්ලා. මට එහෙම කරන්න උනේ හේතුවක් ඇතුව. කියමින් කතාව පටන් ගත්තු මිහින් සියලුම දේ ඔවුන්ට පැහැදිලි කරලා දුන්න.
සේනානායක පවුල තමන්ගේ ජීවිතේටම අහල තිබුණු පුදුම එලවන සුළු කතාව ඒක
කිලාන්ට නම් ගොඩක් දේවල් පැහැදිලි උනා. කොල්ලට හැමදේම මතක් උනේ චිත්‍රපටයක සිදුවීම් පෙළක් වගේ. මාධ්‍ය තරගය දා ඔයාට බය වෙන්න හොද නැහැ මිහින් කියූ අයුරු. මිහින් ගැන යමක් කියනවිට ඇගේ මුවගට නැගෙන අමුතු සිනහව. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහු ඇගේම සොයුරා නිසාය. ඔයා දන්නේ නැහැ කිලාන්. හැම දේම දැනගත්තම ඔයාට හිතෙයි මම කොච්චර අවාසනාවන්ත ද කියල. ඔහු තරමට සමහරවිට ඔහුටත් වඩා ඇය ඔහුට ආදරය කර ඇති බව කොල්ල තේරුම් ගත්තේ දැන්.
ඔය දෙන්න කරලා තියෙන්නේ හරි මෝඩ වැඩක්නේ දරුවෝ. සියල්ල අහන ඉදල සේනානායක මහතා කිව්වා.
වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ අන්කල් නංගි කැමති උනේ නැහැ එයාගේ තත්වේ කිලාන් ට කියන්න. එහෙම කිව්වා නම් කිලාන් අනිවරෙන්ම මොන අසනීපෙ තිබුනත් එයාව බලා ගනී කියල එයා දැනගෙන හිටිය. එච්චර ලොකු කැප කිරීමක් කිලාන්ට කරන්න දෙන්න බහ කියල එයා හැම වෙලේම කිව්වේ.
කොල්ලගේ ඇස් වලට කඳුළු ආව එවෙලේ. එච්චර ආදරයක් මන් වෙනුවෙන්.
නංගිගේ ඔපරේෂන් එක කරන්න පුළුවන් එකම කෙනා උඹ කියල එයාගේ ඩොක්ට කියනවා. මිහින් කිව්වේ කිලාන් ගාවට ගිහින් අත් දෙක එකතු කරලා. ප්ලීස් කිලාන් මගේ නංගි බේරලා දියන්.
කිලාන් ඒ අත් දෙක පහල දැම්ම. මම ඒක කරනවා මිහින්. දැඩි අධිෂ්ටානයකින් කොල්ල කිව්වේ.
ඔයා එහෙනම් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නකෝ කවද හරි ඒක මට ඕනේ වෙන්නේ නැතැයි. දිනෙක ඇය කී අයුරු කොල්ලට මතක් උනා.
ඔවුන් වහ වහා රෝහල වෙත ගියා. රිය පැදවුයේ කිලාන් ගේ පියා විසින් වූ අතර දුරකථන ඇමතුමක් ගෙන ඔහුගේ සහය වෛද්‍ය වරුන් පිරිසට සුදානම් වන ලෙස පැවසු කිලාන් ඉන්පසු මුළු කාලය ම ගෙවුවේ දෙනෙත් පියාගෙන ඔහුගේ ත් ඇගේත් සුන්දර මතකයන් වල ගිලිලා.
මිහින් ද රෝහලට එනකම් ම පසු වුනේ නිහඬව. නැගණිය සිටින්නී මොන තරම් අවධානම් තත්වයක ද යන වග දන්නේ ඔහු ය.
මෙහන්සා මොන තරම් යහපත් තරුණියක ද යන වග මේ සියල්ල නිසා වටහාගෙන සිටි කිලාන් ගේ දෙමාපියන් කිලාන් ට ඇයම බව තීරණය කලේ නිහඬව. තම පුතුට ඇය තරම් ආදරය කරන යුවතියක් තවත් නැති බව ඔවුන් තේරුම් ගත්ත.
රෝහල් අංගනයේ රිය නවත්තන්නත් කලින් එලියට පැනපු කොල්ල දුවගෙන ගියේ අනිත් ය එන්නත් කලින්. යන්ත්‍ර රාශියක උදව්වෙන් හුස්ම ගන්න ඇය තම ජීවිතය ම බව ඔහු දන්නවා. කදුළු පිරුණු දෑසින් ඇය දෙස බැලූ ඔහු කෙල්ල ලගින් වාඩි වෙලා ඇගේ සුරතින් අල්ලගත්ත. වෙනදා පුරුදු උණුසුම වෙනුවට ඒ සුරතේ තිබුණ අයිස් මෙන් සිතල බව ඔහු බියපත් කළා.
එකම එක වතාවක් මට මේ දේවල් කියන්න තිබුන මෙහන්සා. එකම එක පාරක්. ජිවිතේ අත අරින්න එපා. මට හුස්ම ගන්න කියල දීපු ඔයා ඇයි මෙහන්සා මෙහෙම. මට ජිවත් වෙන්න නම් ඔයා ඕනේ.
එවිට එතනට ආවේ මෙහන්සා භාරව හිටපු වෛද්‍යවරයා.
ඩොක්ට කිලාන්. අදුනගන්න ලැබීම ලොකු ගෞරවයක්. මේක චැලේන්ජ් එකක්. ඔයාට විශේෂෙන්ම. ඔයා ලැස්ති ද? ඔයාගේ ටීම් එක ඇවිත් ඉන්නවා.
මේ වන විට මෙහන්සා සහ කිලාන් ගැන හැම දේම දැනගෙන හිටපු හින්ද ඔහු එහෙම ඇහුවේ.
මේ මගේ ජිවිතේ ඩොක්ට. එයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නැහැ. කොල්ල ඇගේ සුරත සිපගෙන කීවේ ලොකු විශ්වාසයකින්. මම මට පුළුවන් හැමදේම කරනවා. ඔයා මාත් එක්ක ඉන්න මෙහන්සා ප්ලීස්.
දැඩි සත්කාර ඒකකය අසල නොඉවසිල්ලෙන් බියෙන් චකිතයෙන්යුතු හැඟීම් සමුදායකින් බලා සිටින පිරිසකි. දැන් පැය එකහමාරකුත් ගෙවිල. නෙතුසර හොදටම අඬනව පැත්තක ඉදන්. කවුරු නොදැන හිටියත් දැන් ඔහුගේ සුදු අක්කි ගැන දන්නා හින්ද කොල්ලට බයයි. සුදු අක්කි අසනීප උනේ තමන් හින්දද කියල කොල්ලගේ හිත කියනවා.
අයියා තමාට විහිලුවට කියුවක් ඇයට කිව්වේ මේ කිසිවක් දැනගෙන නොවේ.
සුදු අක්කිට හොඳ වෙයි දරුවෝ. සේනානායක මහත්මිය කිව්වේ හිත තද කරගෙන.
නැහැ අම්මි. අක්කි අසනීප උනේ මන් හින්ද.
ඒ කොහොමද.
අයිය මැරි කරන්න යන්නේ කියල මම අක්කිට කිව්වා. මම එයාට කිව්වා අයිය ගැන හොයන්නතුව ඉන්න කියල. මම මගේ සුදු අක්කිට බැන්න අම්මි.
සුදු අක්කිට හොද වෙනව. ඔයාගේ අයියව විශ්වාසයි නේද? එයා කොහොමහරි සුදු අක්කිව බේරාගන්නව.
ශල්‍ය කර්මය අවසන් විය. කිලාන් හැර අනිත් වෛද්‍යවරු පිටතට ආව.
කොහොම ද ඩොක්ට අපේ දුවට. කිලාන් ගේ අම්ම ඇහුවේ නොඉවසිල්ලෙන්. කෙල්ලගේ අම්මටයි තාත්තටයි නම් කතා කරගන්න වත් බැරුව හිටියේ.
කිලාන් වගේ දක්ෂ ඩොක්ට කෙනෙක් ඉන්දැද්දී ඔයාලගේ දුව ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ මිසිස් සේනානායක. ඔපරේෂන් එක සාර්ථකයි. වෛද්‍යවරයා කිව්වේ හැමෝටම සහනයක් ගෙනල්ල.
මෙහන්සාට නැවත සිහිය එනකොට ඈ අසල හිටියේ කිලාන් විතරයි. කොල්ලව දැක්කම ඇගේ දෑස් කැළඹුනේ පුදුමයෙන්.
කිලාන් ඔයා?
ඔව්. මම තමයි මෙහන්සා. කෙල්ලගේ සුරත ගෙන පිරිමදිමින් කොල්ල කිව්වේ ආදරණිය ලෙස. දැන් ඇය තමන්ගේ ය. වසර ගණනකට පෙර දුටු ඒ යුවතිය හිමි කරගැන්ම ඔහු කොපමණ වෙහෙස වීද අද ඒ හිනය සැබෑ වී ඇත. ඔහුට දැනුනු සතුටේ තරමට පියාබන්න තරම් හිතුන කොල්ලට.
මේක මතක ද මෙහන්සා? සාක්කුවෙන් යමක් ගෙන ඇය ට පෙන්වමින් කොල්ල ඇහුව. ඒ ඔහු විදෙස්ගත වෙන්න කලින් ඇය ම දීපු බ්‍රේස්ලට් එක. මේක මට මුලින්ම ගලවන්න උනේඔයාගේ ඔපරේෂන් එකට.
මගේ ඔපරේෂන් එක කලේ ඔයා ද?
ඔව්. ඔයා කිව්වා වගේම. මම කාඩියෝලොජිස්ට් කෙනෙක් උනහම ඔයාට ඕනේ වෙයි කිව්වේ. එදා මම ඔයා එහෙම කිව්ව හේතුව දැනගෙන හිට්යේ නැහැ. එත් දැන් දන්නවා. දැන් ඔයාට මොනවත් ප්‍රශ්න නැහැ මෙහන්සා. මම ඉන්නකම් ආයේ මොනවත් වෙන්න දෙන්නේ නැහැ. ඔයාට දැන් මොනවත් අවධානමක් නැහැ. අම්ම කෙනෙක් වෙන්නත් පුළුවන්.
අම්ම කෙනෙක්? කෙල්ල ඇහුවේ අදහගන්න බැරි හින්ද මේ හැමදේම.
ඔව් මෙහන්සා.
කෙල්ලගේ ඇස් වලට කඳුළු ආව. කොල්ල ඒ කදුළු පිසදැම්මේ දෑතින්ම. දැන් අන්දන්න එපා මෙහන්සා. පහුගිය දවස් වල ඔයා ඇති වෙන්න ඇඬුව නේ.
කෙල්ල කිලාන් ගේ සුරතින් අල්ලාගත්තේ තදින්ම. මම හීනයක් දකිනවද කිලාන්. ඔයා ඇත්තටම ඉන්නවද මා ගාව?
කොල්ල මොහොතකින් ඇගේ දෙතොලට නැඹුරු උනේ කෙල්ල තව වචනයක් වත් කියන්න ඉස්සෙල්ල. වසර අටකටත් වඩා මේ ආදරය මෙලෙස ඇයට දක්වන්න ඔහු බලා සිටි තරමක්. කෙල්ලගේ ඇස් කෙවෙනි අගින් කඳුලක් ගිලිහුනේ මේ ඇගේම ආදරය බව වැටහිලා. කාලය ගත නොවී මෙලෙසම නතර වෙනවානම් යයි දෙදෙනාට ම සිතුන තරම්.
දැන් විශ්වාසද? මම ඉන්නව කියල. විනාඩි ගණනාවකට පස්සේ ඇගේ දෙතොලින් මිදිලා ඔහු ඇහුවේ කෙල්ලගේ දෑස් තුලට ම එබිලා.
ඇය මොහොතක් වෙලා ඔහු දෙස බලා හිටියේ සොම්නස පිරුණු දෑසින්. මේ තරම් තමා අසනීප උනෙත් ඔහු අහිමි වේ යයි සිතු නිසා නොවේද? දැන් සියල්ල යහපත් ලෙස විසඳි ඇත.
මං ඔයාට ආදරෙයි කිලාන්. ඔහු සතුටු සයුරක ගිල්වමින් කෙල්ල සරලවම කිව්වා. ඇගෙන් මේ වදන් ටික අසන්නට ඔහු බලාසිටි තරමක් දන්නේ ඔහුම පමණි.
මම ආදරෙයි මෙහන්සා. දැකපු දවසේ ඉදලම. මට තේරෙන්නේ නැහැ ඔයාට කියන්න මම වින්දවපු තරමක් ඔයා මට ලැබෙන එකක් නැහැ කියල. එකම එක වතාවක් මට කිව්වා නම් මේ සේරම. එත් දැන් ඔයා මගේ. මගේ විතරමයි. මට තේරෙන්නේ නැහැ ඔයාට කියන්න මට සතුටු තරම්. මට පියාබන්න තරම් හිතෙනවා. ඇයව තුරුල් කරගෙන පොඩි දරුවෙක් වගේ ඔහු කිව්වේ. ආයේ කවදාවත් මගෙන් ඈත් වෙන්න හිතන්න වත් එපා මෙහන්සා.
කවදාවත් නැහැ කිලාන්.
කොල්ල ඇගේ සුරත සිපගත්තේ කියන්න බැරි තරම් සෙනෙහසකින්.
එතකොටම තමයි පවුලේ අනිත් අය ආවේ.
කොහොම ද දුව. කිලාන් ගේ අම්ම ඇහුවේ හද පිරි සතුටින්.
හොදයි ආන්ටි.
මොන ආන්ටි ද. මට අම්ම කියන්න දැන් ඔයා.
ඔව්. අපි වෙඩින් එකට ලැස්ති වෙමු දැන්. අපේ පුතා ඔයා වෙනුවෙන් මෙච්චර කල් බලන් හිටය ඇති නේ දුව. සේනානායක මහතා එහෙම කියද්දී කෙල්ල ලජ්ජාවෙන් බැලුවේ කොල්ල දිහා.
අයියා. ඔයාට ගොඩක් පින්. කෙල්ල ඊළගට කිව්වේ මිහින්ට.
ගුටි කන්නේ කෙල්ල. ඔයා මගේ නංගි. මතක ද දවසක් මම කිව්වා ඔයාව මට වඩා හොදට බලාගන්න කොල්ලෙක් හම්බුනොත් ඔයාව මම එයාට බාර දෙනවා කියල. කිලාන් මටත් වඩා ඔයාව හොදට බලාගනී කියල මට විශ්වාසයි නංගි
කෝ, බිනු. මම ඔයාව එයාට භාර දෙන්න ඕනේ. කෙල්ල අහද්දී මිහින් තිගැස්සුණ. ඔහුට එතකොට මතක් උනේ බිනු මේ වෙච්ච කිසි දෙයක් දන්නේ නැහැ කියල.
එයා ආවේ නැද්ද මාව බලන්න. කෙල්ල ආපහු ඇහුවේ මිහින් උත්තරයක් නොදීපු හින්ද.
මට එයාට කතා කරන්න සිහියක් තිබුනේ නැහැ නංගි. ඔයා හිටියේ ගොඩක් අසනීපෙන්.
ඒකට කමක් නැහැ. අපි යමු එයාගේ ගෙදර.
කෙල්ල රෝහලෙන් ඇවිල්ල දවස් කිහිපයකට පස්සේ තුන් දෙනාම ගියේ බිනුගේ ගෙදර මේ විස්තරේ ඇයට කියන්න. නෙතුසරත් ඔවුන් එක්ක එකතු උනා. ඔවුන්ව පිළිගත්තේ බිනුගේ අම්ම.
ආ……. මේ ළමයි.
ආන්ටි බිනූ ඉන්නවද?
බිනූ? බිනුගේ අම්ම ඇහුවේ පුදුමෙන්. කට්ටිය මුනට මුණ බලාගත්තේ ඇගේ පුදුමයට හේතුව වැටහුනේ නැති හින්ද.
ඇයි ආන්ටි. මිහින් ඇහුවේ යන්තම් බියක් ඔහුගේ සිතට එද්දී. අනුරාධපුරයෙන් එන්න කලින් ඇය විවාහය ගැන කිව විදිය ඔහුට මතකයි. තමන්ට කියන්නෙත් නැතුව ඇය විවාහ උනා ද?
බිනූ රට ගියානේ දරුවනේ. ඔයාලට කියල නෙමෙයිද ගියේ? මම එත් බැලුව ඇයි යන දවසේ වත් එයාගේ හොදම යාළුවො වෙලත් ඔය දෙන්න ආවේ නැත්තේ ඇයි කියල. කිලාන් නම් ලංකාවේ හිටියේ නැහැනේ.
අපි දන්නේ නැහැ ආන්ටි. මෙහන්සට උනත් වෙන කියන්න දෙයක් මතක් උනේ නැහැ.
ඇයි රට ගියේ?
අප්පච්චි එක්ක රණ්ඩු කරලා කරලා ජොබ් එකකට යන්න ඕනේ කියල ඔය ගියේ.
මම එත් හිතුව යාළුවො මොකකට හරි තරහ වෙලාද කියල. එයා අන්න මොනවද ෆයිල් එකක් දීල ගියා මිහින් ආවොත් දෙන්න කියල. ඔෆිස් එකේ මොනාහරි වෙන්නැති මගේ හිතේ. කියල බිනුගේ අම්ම ගියේ ඒ කියූ දේවල් අරගෙන එන්න.
ඇය ගියපු සැබෑ හේතුව ඔවුන්ට හිතාගන්න පුළුවන්.
බිනුගේ අම්ම දුන්න ෆයිල් කවරෙත් අරන් ඔවුන් ආපහු එන්න ආව.
වාහනේට නැග්ග ගමන් මිහින් ෆයිල් එක දිග ඇරලා බැලුව. එහි තිබුනේ ලියුම් දෙකක්. එකක් මිහින්ට අනික මෙහන්සට.