එදා නින්ද ගියේ පරක්කු වෙලා හින්දා පහු වෙනිදා උදේ මට කිසිම ෆිට් එකක් තිබූ තිබුණේ නෑ.

මොකද බං උඹට වෙලා තියෙන්නේ. රවීන් ඇසූවේ මේ මගේ වෙනස් තේරුන හින්දා

මොනාත් නෑ බං. ඊයේ හරියට නින්ද ගියේ නෑ

ඇයි නින්ද අහුරනවද කවුරුහරි? ඌ අහන්නේ මාව බයිට් එකට ගන්න.

පලයන් බන් විකාර නොකියා.

හා හා ඔහොම යමුකෝ මල්ලි ආදරෙයි කැස්සයි හංගන්න බැහැ කියනවනේ

අනේ මේ මට ආදී කාලේ ටෝක් දෙන්නේ නැතුව හිටපන්

සිරාවට මොකෝ බන් උනේ

කියන්න තරම් දෙයක් උනේ නැහ ැ. නිකම් කතා කළා එච්චරයි.

මට මේ දේවල් රවින්ට කියන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඌ මගේ හොදම යාලුවා උනත් මාව මොන විදියට තේරුම් ගනීද කියන්න දන්නේ නැහැනේ.

ඒ කෙල්ල ටිකක් අමුතුයි නේද?

ටිකක් නෙවේ ගොඩක් අමුතුයි.

ඔව් මටත් හිතුන. හැබැයි හරි හොඳයි වගේ.

මේ උඹ මුණ බලල සාස්තර කියන්නේ නැතුව හිටපන්.

අම්මප මම වගේ මෝඩයෙක්. මට මෙච්චර කාලෙකට මේක හිතිලා නැහැ. නැහැ හිතිලා තියෙනවා ඒත් එච්චර උවමනා වෙලා නැහැ. මොකද මට මගේ වෛද්‍යවරයා කියල තිබුන මතකයන් අමුතුවෙන් උත්සහ කරලා මතක් කරන්න යන්න එපා කියල. ඇත්තටම මට එහම මතක් කරන්න උවමනාවක් තිබුනෙත් නැහැ ඩියාශි මුණගැහෙනකම්.

හරියටම හිතල බැලුවොත් මට තදින්ම අමුතු සිදුවීම් මතක් වෙන්න පටන් ගත්තේ එයා මුණ ගැහුනට පස්සේ. එත් මට තාමත් හිතාගන්න බැහැ එකට හේතුව.

හොඳට හෝ නරකට මට එක දෙයක් කරන්න පුළුවන්. ඇයි මම මගේ අතීතය ගැන කාලරාමුවක් හදාගන්න උත්සහ කරන්නේ නැත්තේ. මට මතක නැති උනත් අනිත් අයට මතක ඇතිනේ. ඒකට හොඳම කෙනෙක් තමයි රවින්. එතකොටම මට හිතුන රවින් මම ගැන කොච්චර දේවල් දන්නවද කියල බලන්න.

රවින් උබට මතකද අපේ පොඩි කාලේ?

ඔව් ඔව් බන් මොකෝ මට අමතක?

උඹ මාව දන්නේ මොන කාලේ ඉඳන්ද?

මොකද්ද බන් මේ අහන ප්‍රශ්න වල තේරුම?

හරස් ප්‍රශ්න අහන්නේ නැතුව උත්තර දියන්කෝ.

මට මතකයි උඹ ශිෂ්‍යත්වේ පාස් වෙලා අපේ ඉස්කෝලෙට ආව.

ඊට කලින් උඹ මාව දන්නේ නැද්ද?

සමීර උඹ අද ඇඳේ අනිත් පැත්තෙන් නගිටලද බන්.

විකාර ප්‍රශ්න නාහ මම අහන දේවල් වලට උත්තර දියාංකො රවීන්.

උඹ ඉස්සරල මට කියහන් ඕව අහන්න හේතුව

උඹට මම කලින් කියල නැතුව ඇති මට පොඩි කාලෙ කිසිම දෙයක් මතක නෑ බං

හෑ ඒ කිව්වෙ

ඒ කිව්වෙ ඉංග්‍රීසි හෝඩියෙ පලවෙනි අකුර

ඔන්න ඔතිම් මං සීරියස් වෙන්න ගත්තම තෝ පිස්සු කෙලින්න තියාගත්තනෙ. රවීන්ට මලපැනල ඒ සැරේ

සිරාවටම බං කියන්නෙ අපෙ අම්මල කියන විදියට මම ගෙදර ඉන්දැද්දි ගේ ගිනි අරගෙන මාව බේරගෙන තියෙන්නෙ අමාරුවෙන්ලු…. මම ඊටපස්සෙ මම දන්න දේවල් ටික රවීන් එක්ක කිව්ව.

දැං උබ කියන්නෙ උබලගෙ අම්මල උබට කියන්නෙ බොරුවක් කියලද? ඒක ඇත්ත වෙන්න බැරි ඇයි?

ඔක්කොම අහගෙන ඉඳල රවීන් ඇහුව.

ඔව් මටත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බැහැ. ඒත් මගේ හිත කියනව ඇත්ත නෙවෙයි කියල. මට හිතේ මැවෙන සිදුවීම් එක්ක සමහරවෙලාවට මට හිතෙනව මම මගේ පවුලට අයිති නැද්ද කියලත්. ඒත් මට මෙච්චර කාලෙකට මම එයාලගෙ පවුලෙ නෙවෙයි කියන්න කිසිම ඉඟියක් වත් වෙනසක් වත් දැනිල නෑ. සමහරවිට මම මේ හිතන්නෙ මහ පිස්සු විකාර වෙන්නැති.

සමීර පව් යකෝ උබ ඒ දෙන්නගෙම ලමය තමා. උබට මතක නැති උනාට මට මතකයි. ඇයි බං උබ ඕලෙවල් කරන කම් පන්ති ගානෙ එක්ක යන්න එන්න උබේ අම්මයි තාත්තයි මහන්සි වෙච්ච තරම්. යකෝ කෙල්ලෙක්ට වත් නෑ එච්චර ආරක්ශාවක් සැලකිල්ලක්. උබට මතකද ඉස්සර සෙට් එකේ උන් කියනව ඒ ගැන. පිට ලමයෙක් උනා නම් එහෙම සලකයිද?

ඔව් ඒක නම් එහෙම තමා..

අනිත් එක හිතපං උබේ අයිය කවදාවත් උබට පිට විදියට සලකල තියෙනවද නෑනෙ? හිතපං උබ පිටයි නම් ඌ එහෙම කරයිද? උගෙ අම්මයි තාත්තයි පිට ලමයෙක්ට ඔච්චර ආදරේ කරනව බලං ඉඳීද?

රවීන් ගොඩනගන තර්ක ඇත්තටම ලේසියෙන් බිඳින්න බැරි ඒව.

ඔව් ඒකත් ඇත්ත තමයි. මං අවසානෙදි පිලිගත්ත. මට ලැජ්ජ හිතුන අච්චර මං ගැන හොයල බලන මගේ අම්මයි තාත්තයි මගේ නෙවේ කියල මට හිතුන එක ගැන.

එහෙනම් බං මට නිතර නිතර පේන මිනිස්සු කවුද එතකොට?

හරි දැං මොන වගේ අයද උබට පේන්නෙ. මොනවගේ දේවල්ද?

මට පේනව වයසක මනුස්සයෙක්. අවුරුදු හැටක් විතර. මූණ පැහදිලි නෑ. ඒත් ඒ වයසට විතර ඇති. මම හැබහින් දැකල තියෙන කෙනෙක් කියලමයි මට හිතෙන්නෙ.

එතකොට තව තරුන ජෝඩුවක් ලස්සන ගෑනු කෙනෙක් ඒ ගෑනු කෙනා හරිම ලස්සනයි. තව පොඩි පිරිමි ලමයෙකුයි ගෑනු ලමයෙකුයි. ඒ කොල්ලගෙ නම කුශ්. කෙල්ලට ඒ කොල්ල කතා කරන්නෙ රෝස කියල. මම කියාගෙන කියාගෙන ගියේ හරියට මටම කියාගන්නව වගේ.

සමීර උඹට හිතෙන්නැද්ද ඕව සමහරවිට ගිය ආත්මෙ මතකයන් වෙන්න ඇති කියල. මම අහල තියෙනව සමහර අයට එහෙම ගිය ආත්මෙ දේවල් මතක් වෙනව කියල.

ඔව් මාත් එහෙම හිතාගෙන හිටිය ඩියාශි මුනගැහෙනකම්

මොකා? දැන් උඹේ ඔය කතාවට ඒකිගෙ මොකද්ද තියෙන සම්බන්දෙ?

මම මොහොතක් හිටියෙ රවීන්ට ඒ ගැන කියනවද නැද්ද කියල හිත හිත. පස්සෙ මම තීරණය කලා මෙච්චර කල් වෙච්ච හැමදේම ඌට කියන්න. එක ඔලුගෙඩියකට වඩා ඔලු ගෙඩි දෙකක් හොඳනේ කොහොමත්.

මචං ඒක නම් බොන්න ඕන ප්‍රශ්නයක්. දැන්නම් මටත් ඔලුව කරකැවිල්ල වගේ. ඔක්කොම අහං ඉඳල රවීන් අන්තිමට කිව්ව.

ඈ බූරුවො තොගෙන් ඔය ටික අහගන්නද මං මෙච්චර නැහුනෙ. මට මල කියන්නෙ උපරිම.

නැහැ නැහැ ඉඳපං ඉඳපං මම තාම කියල ඉවර නෑ.

උඹට චිත්‍ර අඳින්න පුලුවන් එකේ ඒ හැකියාවෙන් වැඩක් ගනින්. ඔය මතකෙට එන අයව නැත්තම් ඔය මතක් වෙන මොක උනත් ඇඳපං පොතක් අරගෙන . ඒ කතාවෙන ඒව මතක විදියට ලියපං. අපිට මොකක් හරි පොටක් පාදගන්න බැරි වෙන එකක් නෑ.

ශහ්.. බූරුව වගේ හිටියට උඹටත් යමක් කමක් තේරෙනව නේහ්?

පලයං ගෙම්බො යන්න. තොට මං කීව කියල හිතාගනිං.

ඇත්තටම රවීන් දුන්නෙ හොඳ අදහසක්. මට පුලුවන් ඒ මතකයන් අඳින්න.

හරි මං ආපහු මොනවහරි මතක් වෙච්ච ගමන් ඒක කරන්නම්. දැං උඹ කියපන්කෝ උඹට තව මොනාද මතක කියල.

සමියා.. මට මතකත් උබට මතක ටිකම තමයි. උඹල මෙහෙ කොලඹ නෙවේනෙ. මට මතක පහේ පන්තියෙදි උබ අලුතෙන් අපේ ඉස්කෝලෙට ආව. මගෙ එහා පැත්තෙන් ඉඳගත්ත. එදා ඉඳන් අපි යාලුවො. එච්චරයි. සමහරවිට උබල කලින් හිටිය ගමේ අයට මොනවහරි මතකඇති උඹගැන.

උඹ දැන් මට කියන්නෙ හොයන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැතුව හොයාගෙන යන්න කියල ද? අනිත් එක අවුරුදු පහලවකට කලින් දේවල් ඒ මිනිස්සුන්ට මතක ඇතිද? අනිත් එක හරියට කාගෙන් ද අහන්නෙ? මට මුකුත් තේරෙන්නෙ නෑ බං.

ඒක තමයි කියන්නෙ දැනට ඉවසල හිටහං. උඹට මුකුත් නැති වෙල නෑනෙ.

අන්න ඒක තමයි ප්‍රශ්නෙ. මට මොනවහරි ලොකු දෙයක් නැති වෙලා කියල හිතෙනව බං.

අවුරුදු දහයක අතීතය කියන්නෙ ලොකු දෙයක් තමයි. ඕව හිතන්නෙ නැතුව ඉන්න බලපං. රවීන් නැගිට්ටෙ එහෙම කියාගෙන.

එදා හවස මම ගෙදර යනකොට ගෙදර එකම ගාලගෝට්ටියයි. අයිය ඇවිල්ල ගෙදර. සාමාන්යෙන් හැම සිකුරාදා ම එනවා. ඔය බෙරිහන් දෙනවා ඇහෙන්නේ පොඩි උන් දෙන්න.

සමීර බාප්පි ආවම මම කියනෝ ඔයාව. ඒ අයියගේ පොඩි එකී.

ඉතින් මම බයද? ඒ එයාගේ අයියා. දෙන්නේ උඩින් ගිහින් පුඩින් වෙන්න. ඒ චන්ඩි කතා කියන්නේ අයියගේ ලොකු පුතා. තාම අවුරුදු හතක වත් නෑ

හා දැන් ලොකු මට බය නැද්ද? මොනවද මේ කතා කරන හැටි. ඉස්කෝලේ ගිහින් ඔවද ඉගෙන ගන්නේ ආහ් ?

මම ගිහින් සද්දේ දාල අහපු විදියට දෙන්නම බය උනා. දැන් ලොකු කියමු බලන්න මොකෝ නඟට චන්ඩි පාට දදා හිටියේ.

නෑ මම මුකුත් කිව්වේ නැහැ බාප්පේ.

මොකා? මුකුත් කිව්වේ නැහැ. එහෙනම් මට ඇහුනේ.

මෙයාට මම කිව්වා බාප්පිගේ ඇඳේ නගින්න එපා කියල. අයිය නෝටි. කියන දේ අහන්නේ නැහැ. එයාටත් වඩා තඩි බෝනික්කෙකුත් බැරි මරගාතේ උස්සගෙන පොඩි එකී කියන්නේ කටත් උල් කර කර.

ඒ දෙන්නත් එක්ක කල් ගත කරද්දී මට මොහොතකට මට තියෙන ප්‍රශ්න අමතක වෙලා ගියා.

රෑ වෙද්දී තමයි අයිය ආවේ.

මල්ලා මොකෝ මේ.ඔයා හොඳින්ද?

අයියා ආවේ මම රෑ නිදාගන්න ගිහින් ඇඳට වෙලා කල්පනා කර කර ඉඳිද්දි.හවස් වරුවම පොඩ්ඩො දෙන්නා එක්ක ගතවුනා.අද ඩියාෂි මුනගැහෙන්න ගියෙත් නෑ. හැමදාම යන්න ඕන කියලා නෑනෙ.මට හිතුනා අද යන්න ඕන නෑනෙ කියලත්.

මොකෝ මේ කල්පනාව? අයියා ඇවිල්ලා මං ළඟින් වාඩිවුනා.

මොනවත් නෑ අයියා.අයියා මට වඩා අවුරුදු 8කින් වැඩිමල් වුනු හින්දා මගේ හිතේ ඔහු ගැන තිබුණේ බියමුසු ගෞරවයක්.

නැති වෙන්න බැහැ.කියහං කියහං මොකක්ද අවුල?

අයියා මම දෙයක් අහන්න ඇත්තම කියනවද?

හා අහංකො බලන්න.

මට පොඩි කාලේ ගැන දැනගන්න ඕන.

මට ඕන වුනේ ඒ ඇස්වල මොනාහරි වෙනසක් වෙනවාද කියල බලන්න.ඒත් මට බලාපොරොත්තු වුනු විදියට ඔහු කිසිම තිගැස්මකට පත් වුනේ නෑ.

මොකෝ මේ හදිස්සියේම ඒක අහන්නේ?

අයියා ඇහුවෙ මං අහපු ප්‍රශ්නෙට උත්තර නොදී.ඕකනේ ඉතිං මේ මිනිස්සු එක්ක බැරි දෙයක් ඇහුවම හරස් ප්‍රශ්න අහන්න එනෝ මඟුල.

මට දැනගන්න ඕන.මම කිව්වා.

එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නෑ මල්ලා.අපි හිටියේ මාතර.සීයලගේ ගෙදර. එදා ගේ ගිනිගන්නකොට මං හිටියෙ නැහැ ගෙදර. ඔයාට අවුරුදු 10ක් විතර ඇති. ඉතිං…

මට දැනගන්න ඕන මට වෙච්ච අනතුර ගැන නෙවේ. මම මැදින් පැන්නා.මොකද ඔය එකම රෙකෝඩ් එක අහල වැඩක් නෑනෙ.

එහෙනම්? මට දැනගන්න ඕන අනතුර වෙන්න කලින් අපි හිටපු හැටි.

මේ කොල්ලට මොකො මේ වෙලා තියෙන්නේ.අයියා ඇහුවෙ පුදුමෙන්.

මොනවත් නැහැ .මට දැනගන්න ඕන.ඔයාට මොනවත් අමතක වෙලා නෑනෙ.ඒ හින්දා ඔයාට තේරෙන්නෑ මට දැනෙන හැටි.මම කිව්වේ සුසුමක් හෙලලා.

මල්ලී අතීතය කියන්නේ මුලු ජීවිතේම නෙමේ.හැමදේම අමතක වෙලා වගේම හැමදේම නැතිවෙච්ච මිනිස්සු බිංදුවෙන් පටන් අරං ජීවිතේම ඉස්සරහට යනවා.අතීතෙත් එක්ක ගැටිලා හිටියොත් සමහරවිට අනාගතයේ ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙන්න පුලුවන්.

ඒ හින්දා ඔයා අමතක වෙච්ච දේවල් ගැන නොහිත ඉස්සරහට මුහුණ දෙන්න.දැං කියලයි අවුරුදු පහළොවකට කලින් කියලයි එහෙම අමුතු වෙනසක් නෑ.අපි හතර දෙනා සමඟියෙන් හිටියා.

වෙනස අම්මයි තාත්තයි මට වඩා ආදරෙන් උඹව බලාගත්ත.අයියා අන්තිම ටික කිව්වෙනං හිනාවෙවී.සමහර වෙලාවට මට හිතුනා අම්මපා දෙයියනේ මගෙත් මතකෙ නැති වුනානම් කියල.

විකාර කියවන්නෙපා අයියේ.මං විහිලුවට කිව්වේ.දැං හොඳ කොල්ල වගේ නිදාගන්න.අයියා එහෙම කියල ගියා.ඒ වචන වලට මගේ හිත ටිකක් හැදුන කිව්වොත් මං හිතන්නේ මං හරි.

මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්.

ප්‍රංශයේ සූවස් කලාගාරයට අනවසරයෙන් ඇතුලු වීමට දැරූ උත්සහයක් අසාර්ථක වේ.ප්‍රංශයේ පෞද්ගලික කලාගාර අතරින් විශාලතම කලාගාරය වන සූවස් කලාගාරයේ සමස්ථ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 7කට අදික වේ. ඊයේ දින සිදුවූ මෙම මංකොල්ලය නවත්තන්නට ප්‍රංශ පොලිසිය සමත්ව ඇති නමුත් මංකොල්ලකරුවන් අතඅඩංගුවට ගැනීමට ඔවුන් අසමත්වී ඇත.

මංකොල්ලකරුවන් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර පලාගොස් ඇත. මෙහි මුල් අයිතිකරු වන දිවංගත රොඩ්රික් අතුරලිය මහතා ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයකි.රොඩ්රික් අතුරලිය මහතා මීට වසර 20කට පෙර ප්‍රංශ තානාපතිවරයා ලෙස සේවය කළ තැනැත්තෙකි.

සූවස් කලාගාරයේ වත්මන් අයිතිය දිවංගත රොඩ්රික් අතුරලිය මහතාගේ මුණුපුරුට හිමිවිය යුතු බවට රාවයක් ඇති නමුත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

රොඩ්රික් අතුරලිය මහතාගේ වැඩිමහල් පුත් ශ්‍රිනාත් අතුරලිය මහතාද ඔහුගේ බිරිඳද අබිරහස් රථවාහන අනතුරකින් ජීවීතක්ෂයට පත් වූයේ මීට වසර 15 කට පමණ පෙර වන අතර ඒ පිළිබඳව තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.

එය සිතාමතා කළ රිය අනතුරක් බවට පොලිසිය සැක පහළ කළ අතර මේ හේතුව නිසාවෙන් රොඩ්රික් අතුරලිය මහතා සිය එකම මුණුපුරාගේ අනන්‍යතාවය සඟවා තැබීමට කටයුතු කළ බව නොරහසකි. ප්‍රංශ අපරාධ පරීක්ෂණ අංශය මඟින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවට විශේෂ ආරංචි මාර්ග පවසයි.

පහුවෙනිදා උදේ මම නිදිමරගාතේ නැගිටලා එනකොට ගෙදර කට්ටිය වටවෙලා මේ ලෝකේ තියෙන අන්තිම නිව්ස් එක දිහා බලනවා වගේ වටවෙලා බලං හිටියෙ ටී.වී එකේ ගිය ඔය ප්‍රවෘත්තිය දිහා.

තාත්තා නම් රෑ හතටත් බලලා නමයටත් බලලා ආයෙ චැනල් එක මාරු කරලා දහයටත් තියාගෙන එකම නිව්ස් එකත් බලනවා වුනත් අනිත් කට්ටිය බයවෙලා වගේ ඒක දිහා බලං හිටියේ මොකද කියලා මට තේරුණේ නැහැ. හුටා අපේ නෑණන්ඩියි අම්මයිත් බලනවා කියහංකෝ. මටනම් කිසිම විශේෂත්වයක් තේරුණේ නැහැ ඒ ප්‍රවෘත්තියෙ.

හා හා බලාගෙන තව ටිකකින් ඔය ටී.වී එකට ඔච්චර එබෙන්න ගිහිල්ලා ටී.වී එකේ වීදුරුවත් කඩගෙන ඇතුලට ගිහිල්ලා නවතියි.පිටිපස්සෙන් හිටපු මං කිව්වේ මේ විකාරෙ බලං ඉන්න බැරුව.කට්ටිය එකපාරටම බයවෙලා වගේ බැලුවා මගේ දිහා. අයියා දුවලා ගිහිං ටී.වි එක ඕෆ් කරා