Episode_04
එදා රෑ පුරාම මට මතක් උනේ එයාව ම විතරයි. මට හිතාගන්නත් බෑ එක දවසට එයා මගේ හිත ඇතුලටම කොහොම ආවද කියල. මට දැනෙන්නෙම කාලාන්තරයක් තිස්සෙ දන්නවා වගේ හැඟීමක්. ගිය ආත්මෙ පුරුද්දක්ද?
පුරුද්දක්ද සසරේ හමුවූ
පරද්දන්න බැරි සේ දිනපු
අනන්ත වූ ප්‍රේමයකින් බැඳුනේ
හරස්වෙන්න හැදුවත් කවුරූ
පරද්දන්න බැලුවත් කවුරූ
වෙනස් නොවූ පවුරයි ඔබ ලඳුනේ..
මගෙ ඔලුව හොඳටම විකාර වෙලා. සිංදුත් මතක් වෙනව ඒ අස්සෙ. හිතට ආදරයක් එබුනම හැමදේම සොඳුරුවට පේනවලු. කවිකාරයෙක් වෙනවලු. කවදාවත් අහල නැති සිඳුවක තේරුම ගැන හොයන්න හිත යනවලු. ඕව මිනිස්සු කට කහනවට කියපුව නෙවෙයි කියල මට හිතෙනව. හෑ.. ඒ කියන්නෙ මම ආදරේ කරන්න පටං අරගෙනද? නෑ නෑ ඒක වෙන්න බෑ. දවසක් දැකල කතා කල පලියට ආදරේ කරන්න පුලුවන්ද? සමීර ඔයා ඒ කෙල්ල ගැන මුකුත් දන්නෙ නෑ. විකාර හිතන්න එපා.
ඩියාශි… ඔයා හින්ද මං අද නිදාගෙනත් ඉවරයි වගේ. නින්ද අහලකවත් නෑ කියහංකො. මම ඇඳේ පෙරලි පෙරලි හිටිය ගොඩක් වෙලා. අර දෙව්දුව මගේ ඔලුව අරක් අරගෙන හින්ද නිදි දෙව්දුව අද මා එක්ක ඔරොප්පු වෙලා වෙන්ඩ ඕන ශුවර් එකට. ඒකනෙ වෙනද ඇඳ පේන මානෙට ආවත් මාව හොයන් එන එකී අද එලිවෙන්න කිට්ටු වෙලත් තාම නැත්තෙ.
කොහොමහරි මට නින්ද යනකොට එලිවෙන්නත් කිට්ටු වෙලා. එදා දවස මම ගත කරේ පුදුමාකාර නොඉවසිල්ලකින්. කොහොමහරි ඔෆිස් ගිහින් ඇවිල්ල අපෙ අම්මගෙ රේඩාර් එකෙනුත් ශේප් එකේ බේරිලා එදා රෑ මම ග්‍රවුන්ඩ් එකට යනකොට එයා පොඩි ලමයි කට්ටියක් වට කරගෙන කතන්දර කියනව.
ඔන්න එතකොටම ඔලු නවයෙ රාක්ශයා ඉතුරු වෙලා තිබුනු ඔලුවෙන් ගිනි පිඹින්න පටන් ගත්තලු. කුමාරයා ඒ ගිනිදැල් වලින් වැහිල ගියාලු. කුමාරයා බිම දිගේ රෝල් වෙලා ගියේ ඒ ගිනිදැල් වලින් බේරෙන්න.
මාත් ගිහින් ඒ ලමයින්ට පිටිපස්සෙන් ඉඳගත්ත.
ඉක්මනට තෙල් ටික ඉහින්න. ඉක්මන් කරන්න. මේ වෙලාවෙ හැංගිලා හිටපු කුමාරිය කුමාරයට කිව්වා. එතකොට තමයි කුමාරයට මතක් උනේ කුමරිය එයාට තෙල් කුප්පියක් දුන්න කියල.
එතන හිටපු පොඩිම ලමය වත් උකුලෙ තියාගෙන එයා ලස්සනට කතන්දරේ කියනව. ඇත්තටම මටත් අහං ඉන්න ආස හිතුන. එයා හදිස්සියෙම ඔලුව උස්සල බැලුවම තමයි මම එතන ඉන්නව දැක්කෙ.
ඔන්න ලමයි අද අපිට අමුත්තෙක් ඉන්නව. එයා කිව්වම ඔක්කොම ලමයි ටික කතා වෙලා වගේ මගේ දිහා බැලුව. හයියෝ ලැජ්ජයි අප්පා.. මම නිකම් ආරාදිත අමුත්තා වගේ.
අමුත්තෙක් යැ ඩියාශි අක්කෙ. මේ අපේ සමීර අයියනෙ.
ඔයාල දන්නවද සමීර අයියව?
ඔව් මොකෝ අපි නොදන්නෙ.
හා හරි හරි දැං ඔක්කොටම ගෙවල් වල ට යන්න වෙලාව හරි. නැත්තම් අම්මල එයි මෙතන මාව හොයාගෙන . හෙට එන්න කතාවෙ ඉතුරු ටික අහගන්න.
ගුඩ්නයිට් ඩියාශි අක්කෙ ගුඩ්නයිට් සමීර අයියෙ.
ලමයි ටික ගියා. හැමෝම එයාට කීකරුයි වගේ.
ඔයාට ලස්සනට කතන්දර කියන්න පුලුවන් නේද ?
නර්සරි වැඩ කරල පොඩි අයට කතන්දර කියල පුරුදු නෙ ඉතිං .
හ්ම්. ඒක තමයි .
ඉතිං ……
මොනාද ඉතිං … මම හිටපු තැනින් නැගිටල ඇවිල්ල එයා ගාවින් ඉඳගත්ත. පුරුදු පිච්ච මල් සුවඳක් දැනෙනව. ඒ සුවඳත් එක්ක මොකක් හරි මතකයක් තියෙනව. ඒ මොකද්ද කියල මට හිතාගන්න බැහැ.
නෑ මුකුත් නෑ .. එයා කිව්ව.
මුකුත් නැති වෙන්න බෑනෙ
යන්න අනේ..
කොහෙද යන්න කියන්නෙ?
යනව යන්න මෝඩයා.. එයා කියද්දි මට දැනුනෙ මීට කලිනුත් කවුරුහරි මෙහෙම කියල තියෙනව .
යනව යන්න මෝඩයා.. සීයෙ මේ බලන්නකො මෙයා. රෝස පාට ගවුමක් ඇඳල කොන්ඩෙ පිග් ටේල් දෙකක් දාගත්ත ලස්සන පොඩි ලමයෙක් එහෙම කියනව මට මැවිල පෙනුනා. ඒත් එක්කම මට දැනුනෙ තද ඔලුවෙ කැක්කුමක්.
මගෙ ඔලුව රිදෙනව. කාවද මට සැරින් සැරේ මෙහෙම මතක් වෙන්නෙ.
සමීර.. මොකද උනේ ඔයා හොඳින් නේද? මොහොතකින් මට ඇහුන ඩියාශි කතා කරනව.
ඔහ්.. මට මොකද උනේ? මොහොතකට මට හිතාගන්න බැරි උනා මොකද්ද මට උනේ කියල.
දන්නෙ නෑ. ඩියාශි මූනත් අමුතු කරගෙන මගේ දිහා බලං ඉන්නව.
නෑ මං හිතන්නෙ මට ඔලුව කැක්කුමක් ආව. මං කිව්ව.
එයා මගෙ දිහා බලං හිටියෙ මාව විශ්වාස නොකරන බැල්මකින් කියල මට හිතුන.
කවදද ඩියාශි රට යන්නෙ? මම ඇහුවෙ මොහොතකට සිතුවිලි වලට තිත තියල
ලබන සතියෙ
එහෙමද
හ්ම්ම්..
අපි දෙන්න අඳුනගත්තු ගමන්ම යනවනෙ ඔයා.
මෙච්චර කාලයක් නම් මට යන්න හදිස්සියක් තිබුනෙ නෑ. ඒත් දැං යන්න ඕන. එයා කිව්ව.
ඇයි ඒ? මගෙන් බේරිල ඉන්නද? මම ඇහුවෙ විහිලුවට.
නැහැ ඔයාව බේරන්න. එයා දුන්නෙ පුදුම උත්තරයක්.
හෑ.. ඒ කිව්වෙ?
එයා හිනාඋනා. ඒක අමතක කරන්න. මං ගියාට ආපහු එනව.
ඇයි ඔයා ආස නැද්ද ෆ්‍රාන්ස් වලට
ආසයි ඒත්…. කියල එයා නැවැත්තුව.
ඇයි ඒත් කියල නැවැත්තුවේ ?
එයා මගේ දිහා බැලුව.. මොනවහරි දෙයක් මට කියන්නත් හදල ආයෙ නොකිය හිටිය කියල මට හිතුන.
ෆ්‍රාන්ස් කියන්නෙ ලව් කන්ට්‍රි එකක්. මොහොතක් ඉඳල එයා කිව්ව.
ඉතින්… එයා ඒ කිව්වෙ එයා හිතපු දේමද කියල හිතුනත් මං ඇහුව.
මං කැමතියි මගෙ මහත්තයත් එක්කම එහෙ යන්න. එයා කිව්වෙ මගේ ඇස් දිහාම බලාගෙන. මාව ගැස්සුනේ නෑ කිව්වොත් ඒක බොරුවක් වෙනවා.
ඉතින් මහත්තය කැමති නැද්ද එහෙ යන්න. මං ඇහුවෙ හැඟීම් හංගගෙන.
මහත්තය අකමැතිද දන්නෙ නෑ.. ඒත් එයාට කැමති වෙන්නම වෙනව..
ඒ කියන්නෙ එයාට දැනටම කවුරුහරි ඉන්නවද? සමීර උඹ දැනටමත් පරක්කුයිද
එයා අකමැති උනොත් එහෙම? මම ඇහුවෙ හිතට දැනුනු තිගැස්ම පාලනය කරගෙන.
එයා අකමැති වෙන එකක් නැහැ. මට විශ්වාසයි එයා අකමැති වෙන එකක් නැහැ. මොකද කියනවනම්…. කියල එයා එකපාරටම කියාගෙන ගියපු දේ නැවැත්තුව. මේ කෙල්ල නම් මට පිස්සු හදවල තමයි පස්ස බලන්නෙ..
ඇයි කියන්න ගිය එක නැවැත්තුවෙ? මම ඇහුවෙ නොඉවසිල්ලෙන්. මම දැනගන්න ඕන දෙයක් එයා හංගනව කියල මට හිතෙනව.
නැහැ මුකුත් නැහැ සමීර.. මට තාම මහත්තයෙක් නැහැ.. එයා එහෙම කිව්වම මට හරිම සැහැල්ලුවක් දැනුන. ඔව් මම හිතන්නෙ මම එයාට ආදරේ කරනව. අපි හම්බවෙලා තාම ගෙවුනෙ දවස් දෙකයි.. ඒක ඇත්ත. මම එයා ගැන මොනවත් දන්නෙ නෑ.. ඒකත් ඇත්ත. ඒත් මට හිතෙන්නෙ ආදරේට ඔය මොන සීමාවක් වත් ඕනෙ නැහැ කියලා.
එයා අදත් හිටියෙ කොන්ඩෙ එකට ගුලි කරල අර චීන කටුව ගහගෙන.
අච්චර ලස්සන කොන්ඩෙ ඕනෙ වෙලාවක හංගගෙන ඉන්නෙ මොකද මන්ද.. මට හිතුන.. මම එයාගෙ කොන්ඩෙ රඳවල තිබුන කටුව ගලවල ගත්ත අතට. එහෙම කරන්න කියල හිත මට බල කලා. ඇගේ දිගු වරලස රූටල වැටුන පහලට.
මට මතක් වෙනවා මේ වගේම කොන්ඩයක්.. රෝසපාට ගවුම් ඇඳලා රෝස පාට රිබන් වලින්් කොන්ඩෙ පිග්ටේල් දාන ගෑනු ලමයා.. එයා ගාව පිරිමි ලමයෙක් හිටිය. ඒ පිරිමි ලමය ඒ ගෑනු ලමයගෙ කොන්ඩෙ රඳවල තිබුනු පටිය ලිහුව.
මොනවද කුශ් ඔයා කරන්නේ සීයේ මේ බලන්නකෝ කුශ් මගේ කොන්ඩෙ ලිහනවා..
කොන්ඩෙ ලිහල ඉන්න රෝස එතකොට ඔයාට ලස්සනයි..
රෝස… මම මිමිණුවෙ ඒ මතකෙන්මයි. ඩියාශි මගේ දිහාවට හැරුනෙ විදුලි වේගෙන්..
මොකද්ද? මොකද්ද ඔයා කිව්වෙ? එයාගෙ කටහඬේ තිබ්බෙ අසාමාන්‍ය කලබලයක්.. එයා මගේ ඇස් ඇතුලට එබිල මොනවදෝ හොයන්න උත්සහ කරනව වගේ කියල මට හිතුන.