13_වන_කොටස❄️

රාත්‍රිය පුරා නොනවත්වා වැටෙන පොද වැස්ස තවමත් නිමාවක් නැත………. පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් පමණ විය යුතුය……….. සීතල වැඩි කමට තුහින්‍යාට ඇහැරුණි…… ඇය එලාම් ඔරලෝසුව හරවා වෙලාව බැලුවාය…….. එහි පාන්දර තුන ලෙස සටහන්ව තිබුණි…….. ඇය හිස තෙක් පොරෝණයෙන් වසාගෙන දෑස් පියාගත්තාය……… අද ඉතා සුවිශේෂි දිනයකි……… ඊට හේතුව අද තුහින්‍යා බලා සිටි සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමයි………. කාමරයේ එක් පසෙක හැඟර් එකක දමා ඇත්තේ අද අඳින සාරියයි…… තනි නිල් පැහැති නවීන මෝස්තරයේ සාරියත් ඊටම මැසූ මල් ලියකම් සහිත හැට්ටයත් අතිශයින්ම සුන්දරය……….

මුළුතැන් ගෙය දෙසින් ඇසෙන වලන් පිඟන් ගැටෙන හඬින් අම්මා අවදිවී ඇතැයි තුහින්‍යාට සිතුනි……. ඇය පොරෝණය ඉවත් කර බිමට බැස්සත් කකුල් දෙකම හිරිවැටී ඇති සේ දැනුනි…….. තද දුඹුරු පැහැති ජර්සිය හිස තෙක් වසාගෙන අත්දෙකත් සාක්කු වලට දමාගෙන තුහින්‍යා හෙමින් සැරේ මුළුතැන්ගෙයට ගියාය…….

” Good morning අම්මා…….

” Good morning ලොකූ………
තේ එකක් දෙන්නද ලොකූ…….

” හා දෙන්නකෝ…… මොනවද හදන්නේ…..

” මං බැලුවේ ඉඳිආප්ප ටිකක් හදන්න……

” හා…… හදමු…… මං මිරිකන්නම්…… හැබැයි ඔන්න අම්මේ් තක්කාලි හොදියි සම්බෝලයි ඕනැ……..

තුහින්‍යා අම්මා හදලා දුන්න තේ එක බොන ගමන් ඉඳි ආප්ප තට්ටු වලට ඉඳිආප්ප මිරිකන්නට වුනා……… ටික වෙලාවකින් දෑස් පිසිමින් ගිහන්ස්‍යාත් ආවා……….

” අම්මා…… තේ එකක්……..
කෝ ඔයා අයින් වෙන්න මං පොල් ගාන්නම්…

ගිහන්ස්‍යා පොල් ගෙඩිය බිඳ පොල්ගාන්නට විය…… ඇත්තටම ගිහන්ස්‍යා හා තුහින්‍යා ⁣දෙන්නාම හොඳ ගැහැණු දරුවන්ය…….. සීතලේ පොරවණ වලට ගුලිවී නොසිට ඔවුන් අම්මාට උදව් වෙති…………

ඉඳිආප්ප හදා අවසන තුහින්‍යා හා ගිහන්ස්‍යා කෑලි කැපෙන ගල් ගැහෙන සීතලේ ගොස් නාගෙන ආවේ වෙව්ලමින්……ගිහන්ස්‍යා අක්කාට සාරිය අඳින්නට උදව් කලාය………

” මේ……. තමුසෙ බැදලා කියලා හිතන්නවත් බෑ හලෝ…..

ගිහන්ස්‍යා කීවේ ඇයව හරව හරවා හැඩ බලමින්…….. කාමරයට ආ අම්මාටද එය ඇසුනි………

” දැන් ලොකූ ඔය සම්මුඛ පරීක්ෂණයට අහයිනේ ඒකත්……. එතකොට…..

” එතකොට ඇත්තම කියමු නේද……

තුහාන්‍යා කීවේ ගිහන්ස්‍යා දෙස බලා සිනාසෙමින්…….. ඇයට අත්හැර ආ විවාහය ගැන කිසිඳු හැඟීමක් තිබුනේ නැත…….. දැන් අවශ්‍ය කෙසේ හෝ ජීවිතය ජය ගැනීම පමණි……..

” ඇත්ත කියලා හරියයිද……..

” බලමු අම්මා….. බොරු කියන්න මට බෑ කියලා ඔයා දන්නවානේ……….

තුහින්‍යා සූදානම් වෙලා ඉවරයි…… ඇය කුඩා හෑන්ඩ්බෑග් එකත් අරන් සහතික දැමූ ෆයිිල් එකත් අතට ගත්තා…… ඔවුන් තිදෙනාම එළියට යන විට අප්පච්චි ඉස්තෝප්පුවේ වාඩි වෙලා හිටියේ පාත බෑවුමත් ඉන් පැහැදිලිව අක්නට නොලැබෙන මීදුම් පිරි කඳුපන්තිත් දෙස……. තුහින්‍යා මුලින්ම අප්පච්චිටත් ඉන්පසු අම්මාටත් වැන්දාය…….

” කැමති නම් මටත් වදිනවා මොකද මංනේ තමුසෙව ගිහින් දාන්නෙ…….

මල්ලි ස්කූටියේ වාඩි වෙලා අපසු හැරිලා කිව්වා………

” අප්පච්චි මල්ලිගේ වැඩේ මොකද කරන්නේ……

තුහාන්‍යා ඇසුවේ ඇයට අමතකව තිබූ දෙය යලිත් සිහිවූ හෙයින්………

” මං රන්ජන් මාමා එක්ක කතා කලා….. එයා කිව්වා ලබන සඳුදා ඉඳන් මල්ලිට කැම්පස් යන්න පුළුවන් කියලා…….

” ඒක හොඳයි……. එහෙනම් අපි ගිහින් එන්නද අප්පච්චි…….

තුහින්‍යා ස්කූටියට නැගලා මල්ලිගේ උරහිසෙන් තදින් අල්ලගත්තා……

” අක්කි….. සාරිය හදාගන්නවා……. නැත්තම් රෝදෙ අස්සෙ යයි……

මල්ලි කීවට දුවින්‍ය මල්ලි නෙවේ අයියා වගේ වෙලාවකට……… ඔවුන් නොපෙනී යනතුරු බලා සිටි අප්පච්චි එළියට බැස්සේ රන්ජන් හම්බවෙන්න හිතාගෙන………

🌷🌷🌷__🌷

මංගල්‍යයට අවශ්‍ය මල් සැකසුම් සියල්ල අවසන්ය……. තෙනුක හා භුමි නැවත වරක් ඒවා පරීක්ෂා කර බැලුවේය…… ඒවා සියල්ල සිතුවාටත් වඩා සුන්දරව තිබේ……….. තවමත් වෙලාව හතටවත් නැත………… Monrose Amenra උත්සව ශාලාව හා තරුපහේ හෝටලයේ පැවැත්වෙන මේ විවාහ මංගල උත්සවය අතිශයින් උත්කර්ෂවත්ය……

❤️ Sushim.. + ❤️ Shavenri

රන් පැහැයෙන් හා කහ සහ සුදු පැහැයෙන් රටා මවා තිබූ පුවරුවක ඒ නම් දෙක ඇඳ තිබුණි……….. ඒ පුවරුව වටා මල් වැලක් ආකාරයට සැරසිලි කල භූමි තෙනුක සෙව්වේ මනාලියගේ මල් කලඹ පිලිබඳ විමසීමටයි……..

” කෝ මූ තවත් නෑනේ………

භූමි සිය සේවක සේවිකාවන් කීපදෙනාට උත්සව ශාලාව අස් කරන ලෙස උපදෙස් ලබාදී මදක් පිටතට ආවේය………

” භූමි………. මල්.පොකුර ටිකක් ලේට් මචං…….. නිර්භයා ඒක තාම හදනවා…..

තෙනුක කීවේ ඔහු අසලට එමින්…….

” මචං කොහොම හරි අටහමාරට කලින් ඒක ඕනෑ…… සුශීමයා මගේ ඔළුවත් කයි….. photographer එනවලු නවය වෙද්දි……

” හරි බං ඒ වෙද්දි ඒක ගන්න පුළුවන් කලබල නොවී ඉඳපන්…… හරියට උඹේ වෙඩිම වගේනේ……

තෙනුක කීවේ අසල බැම්ම මත වාඩි වෙමින්……..

” ඔව් යකෝ……. මගේ වගේ තමා…. මට කොහොමත් මේක වටිනවා……. මේම අපේ පලවෙනි Function එක

” ඔව් උඹට වගේම මටත් ඒක වටිනවා… හ්ම්ම්ම්ම්ම් යමන් ඇතුලට තව මොනවද අඩු කියලා බලන්න………

භූමි හා තෙනුක ඇතුලට ගියේ තවත් සූදානම් කල යුතු දෑ පිළිබඳ සොයා බැලීමටයි………

🌿💙🌿

දුවාන්‍යත් තුහින්‍යා ත් දැන් පසු කලේ සීතාඅම්මාන් කෝවිලයි…….. තුහින්‍යා මදක් ඒ දෙස බලා දූවින්‍ය දෙසට හැරුනාය…….

” මල්ලි තව ටිකයි මං හිතන්නේ…… ඔ හරියෙම ඇති……..

ඇය මාවත දෙපස බලමින් කීවාය…….

” ආ ඔය තියෙන්නෙ අක්කේ…….

දුවින්‍ය වාහනය නැවැත්වුවේ මල්සැකසුම් ආයතනයේ දොරටුව අසලමයි………. එය මල් සැකසුම් ආයතනයක් පමණක් නොවේ…… එය එක්පසෙකින් තරමක් ලොකු තේ කර්මාන්ත ශාලාවකි…….. අනෙක් පසින් මල්සැකසුම් ආයතනය හා ඉතා විශාල වපරිසරයක පැතිරුන මල් වගාවකි…….

” ඒ අක්කා…… තැන නම් පට්ට හලෝ……

” මාව තේරුනොත් නම් හොඳයි……

” තමුසෙ තේරෙයි අක්කා…….

” දුවී….. එහෙනම් ඔයා දැන් යන්න…… පරෙස්සමින් යන්න…… වැඩියේ වේගෙන් නම් යන්න එපා හරිද…. අනුරාධපුර වගේ නෙවේනෙ මෙහෙ පාරවල්……. ගිහින් මට කතා කරන්න…….

” හරි අක්කා…… මං පරෙස්සමින් හෙමින් යන්නම්…… මේ එනකොට මට කතා කරනවා මං එන්නම්……

” ඔිනෙ නෑ…… මෙතනින් බස් එක ගන්නම්…….. මං ඉතින් පුරුදු වෙන්නත් එපැයි………

තුහින්‍යා මල්ලිට සමු දෙමින් කීවාය…….. නිවසේ සිට මෙතැනට ඇත්තේ අඩ හෝරාවක පමණ දුරකි…….. තද නිල් පාට සාරියට මල් විසිරුණ හැට්ටයකින් සැරසී දිගු වරලස පිට මැදට වන්නට ගොතාගෙන දොරටුවෙන් ඇතුළු වූ යුවතිය දෙස ඈත බැල්කනියේ සිට බලා සිටියේ හේෂරයි………

” හ්ම්ම්ම්ම්ම්ම්ම්……. කට්ටිය එනවා ඉන්ටර්වීව් එකට……. ඒත් මේ මිනිස්සු අරන් අපිට කරන්න පුළුවන් වෙයිද…… දැනටමත් තාත්තා ඒක කරන්න දෙන්නෙ නෑ…….. එයා විතරක් නම් බැරියැ Golden Roses…. උන් හැමෝටම දේශපාලන මයියක් හරි මැර පාතාල හයියක් හරි තියනවා…… ඒත් අපිට……… අනේ මන්දා….. අම්මත් අසනීප වෙනවා මේවා ගැන හිතලා…… භූමි අයියා…… එයා කවදාවත් එන්නැතිවෙයිද……. මට කතා කරන්නත් හිතෙනවා එයාව හොයාගෙන ගිහින්…….

” පුතාා හේෂර……. ළමයි දහයක් විතර පහල ඇවිත් ඉන්නවා….. තවත් රස්තියාදු නොකර වැඩේ පටන් ගනිමුද……….

හේෂරගේ අම්මා නන්දිතා සමරවික්‍රමගේ හඬින් ආපසු හැරුනේ සුසුමක් හෙලමින්……..

තුහින්‍යා කාර්යාලයට යනපවිට තවත් තරුණියන් දහ දෙනෙක් පමණත් පිරිමි ළමුන් පස් දෙනෙක් පමණත් පැමිණ සිටියහ……….. #නන්දිතා_සමරවික්‍රම හා හේෂර වික්‍රමනායක ඔවුන් දෙස එක බැල්මක් පමණක් හෙලමින් කාර්යාලයට ඇතුළු විය……….. සේවකයෙක් පැමණ එක එක්කෙනා කාර්යාලය තුලට යව්වේය………….

ඇය අසළම වාඩි වී සිටි තරුණිය මදක් බියට පත්ව ඇති සේ පෙනුනි…..ඇය තමාට කතා කිරීමට උත්සහ කරන බවක් පෙනුන බැවින් තුහින්‍යා ඇය දෙස සිනාවක් හෙළුවාය..

” මේ…….. මිස් ඔයා කොහේද……

තරුණිය අසයි………. තුහින්‍යා ඇය දෙසට හොඳින්ම හැරුනාය…….

” මිස්…… අයියෝ මට මිස් කියන්න එපා මං….. තුහාන්‍යා…… තුහින්‍යා දෙව්සිත්මි රණසිංහ

” තුහින්‍යා……. මං ජාන්වී…….. මේ මේක ඔයාගේ ෆස්ට් ඉන්ටර්වීව් එකද……

තුහින්‍යා හිස සැළුවේ ඔව් කියන්නටයි….

” ඔව් ජාන්වී…… මේක පලවෙනි එක…

” අනේ මන්දා මටත් ටිකක් බයයි වගේ…. ඒත් තේරුනොත් හොඳයි මං ආසයි flower decorations වලට

තුහින්‍යාට අනෙක් පසින් සිටි තරුණිය අසද්දි ජාන්වී හා තුහින්‍යා ඇය දෙස බැලුහ…….

” ආහ්….. මේ…… මං…….. දිල්රූ….. දිල්රූ චතුරංගි…….. මං අහගෙන හිටයේ ඔයාලගේ කතාව ජාන්වී තුහී……..

දිල්රූ කාර්යාලයේ වැසුන දොරටුව දෙසත් ඔවුන් දෙසත් මාරුවෙන් මාරුවට බලමින් පැවසුවේ සෙමින්……

” ඒකට නම් කමක් නෑ දිල්……. ඔයා ඇප්ලයි කලේ මොකකටද…..

ජනේවී ඇහුවේ ඇය අත වූ රතු පැහැති ෆයිල් එක දෙස බලමින්…….

” මං ඇප්ලයි කලේ Flower decorator එකට……. එතකොට ඔය දෙන්නා…..

” මං අකවුන්ටන්ට්…..

තුහින්‍යා ජාන්වී දෙස බලමින් කීවේ ඇයගේ පිලිතුර අපේක්ෂාවෙන්..

” මාත් එහෙමයි……

ඊලඟට දිල්රූගේ වාරයද පසුව ජාන්වීගේ වාරයද පැමිණියේය……. තුහින්‍යාගේ හදගැස්ම මදක් වැඩි විය…….. සිතට කෝල බවක් මුසු බියක් දැනෙමින් තිබුණි………

💙🌿🌷🌿💙

⁣භූමිගේ ඔරලෝසුවෙහි වෙලාව අට හමාර ලෙස සනිටුහන් වෙද්දි ඔහුගේ ජංගම දුරකතනය හැඬවුනේ අවට සියල්ලන්ගේ අවධානය ඔවුන් වෙත යොමු කරමින්…….

” ශිට් මොන මගුලක්ද මෙ මාත් රිගින්ටෝන් එකට දාගෙන ඉන්නේ…. දෙමලෙක් කියලා හිතුවද දන්නෑ කට්ටිය….

භූමි මුමුණමින් පිටතට යන ගමන් ඇමතුම සම්බන්ධ කරගත්තේය…..

” අහස්…… අපි පහල ඉන්නේ Flower bouquet එකයි හෙඩ්ඩ්‍රස් එකයි ගේනවද……

” හා ඉන්න මං ඉක්මනින් එන්නම්…..

භූමි මල් පොකුරත් හිස් පලඳනාත් අතට ගත්තේය…….. සුදෝසුදු රෝසත් ලිලීත් මැදට බේබිස්බ්‍රෙත් මල් හා විසිතුරු අතු රිකිලි ආධාරයෙන් තැනූ ස්වභාවික මල් කළඹ සුන්දරය අහිංසකය……. එයත් රැගෙන ඔහු පිටතට යන විටත් මනාල යුවල හා බොහෝ නෑදෑපිරිසක් පහල විය……….

” ආ…. අහස් ගෙනාවද……. shavenri බලන්න flower bouquet එක හොදද කියලා………..

මනාලිය සීනු සිනා හඬ මැදින් හැරී මල් කලඹ දෙස බැලුවාය………

❤️••••මතු සම්බන්ධයි••••❤️